The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

වැඩ කරන ජනයාගෙන් අයවැයට යෝජනා

T

The Leader Desk

October 27, 2025 • 6:56 AM

වැඩ කරන ජනයාගෙන් අයවැයට යෝජනා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රාජ්‍ය හා පෞද්ගලික අංශයේ වැඩ කරන ගැහැණුන්ගේ හා මිනිස්සුන්ගේ මුලික අභිප්‍රාය වන්නේ ඉහල යමින් තිබෙන ජිවන වියදමට සරිලන වැටුප් වැඩිවීමකි.
  • මේ සම්බන්ධයෙන් වෘත්තීය සමිති විසින් සිය යෝජනා විටෙක ඒකාබද්ධවත්, තවත් විටෙක තනි තනිවමත් ජනාධිපති මෙන්ම මුදල් අමාත්‍යවරයා ලෙස අනුර කුමාර දිසානායක වෙත යොමු කොට ඇත.
  • රජය යටතේ පවතින ආයතන සියල්ලේම පසුගිය කාලය තුල ක්‍රියා කර ඇති අයුරු විමර්ෂණයට වෝහාරික විගණනයක් කළ යුතුය.
  • කම්කරු ප්‍රඥප්තිය වැඩකරන ජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන් කම්කරු ප්‍රඥාප්තියක කතා බහ ඇතිවුයේ අනුව දශකයේ මුල සිටය.
අකුරු ප්‍රමාණය (Font Size):

රාජ්‍ය හා පෞද්ගලික අංශයේ වැඩ කරන ගැහැණුන්ගේ හා මිනිස්සුන්ගේ මුලික අභිප්‍රාය වන්නේ ඉහල යමින් තිබෙන ජිවන වියදමට සරිලන වැටුප් වැඩිවීමකි.

මේ සම්බන්ධයෙන් වෘත්තීය සමිති විසින් සිය යෝජනා විටෙක ඒකාබද්ධවත්, තවත් විටෙක තනි තනිවමත්  ජනාධිපති මෙන්ම මුදල් අමාත්‍යවරයා ලෙස අනුර කුමාර දිසානායක වෙත යොමු කොට ඇත.

akd 21 10 24 1 1000x600

රාජ්‍ය බැංකු, විදුලිබල මණ්ඩලය, ඛනිජ තෙල් සංස්ථාව, ශ්‍රීලන්කන් ගුවන් සමාගම, ටෙලිකොම් ආයතනය වැනි රාජ්‍ය ව්‍යවසායකත්වය යටතේ පවතින ආයතන සියල්ලම ප්‍රතිව්‍යුහගතකරණයකට අවශ්‍ය වුවද, නවීනත්වයට පත් කිරීම යනු පෞද්ගලිකකරණය කිරීම හෝ ඒවා වසා දැමීම නොවන බව අවධාරණය කර ඇත්තේ  වෘත්තීය සමිති 13 ක් එක්ව ජනාධිපතිවරයාට යැවූ යෝජනාවලියක් මගිනී.

ජාතික කම්කරු උපදේශක සභාවට අයත්, අන්තර් සමාගම් සේවක සංගමය, ලංකා බැංකු සේවක සංගමය, නිදහස් වෙළඳ කලාප හා පොදු සේවක සංගමය, ලංකා වෘත්තීය සමිති සම්මේලනය, ලංකා වතු සේවා සංගමය, වැඩකරන කාන්තා මධ්‍යස්ථානය, ශ්‍රීලංකා නාවික වෘත්තිකයන්ගේ ජාතික සංගමය, ඩාබිඳු සාමුහිකය, නිමි භාණ්ඩ,ඇඟළුම් හා රෙදිපිළි සේවක සංගමය, ලංකා ජාතික වතු කම්කරු සංගමය, පොදුජන ප්‍රගතිශීලි සේවක සංගමය, ලංකා කම්කරු සම්මේලනය හා ජාතික සේවක සංගමය වැනි වෘත්තීය සමිති මෙම යෝජනා සකස් කිරීමට දායකවුවන්ය.

රජය යටතේ පවතින ආයතන සියල්ලේම පසුගිය කාලය තුල ක්‍රියා කර ඇති අයුරු විමර්ෂණයට වෝහාරික විගණනයක් කළ යුතුය. ඒ මගින් අවශ්‍ය තීරණයන්ට එළඹිය හැක. එහෙත් එම ආයතන මනා කළමනාකාරිත්වයකින් යුතුව ඉදිරියටත් පැවතිය යුත්තේ රාජ්‍ය ව්‍යවසායකත්වය යටතේය.

කම්කරු ප්‍රඥප්තිය

mahinda file
වැඩකරන ජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන් කම්කරු ප්‍රඥාප්තියක කතා බහ ඇතිවුයේ අනුව දශකයේ මුල සිටය. 1994 දී බලයට පත් පොදුජන එක්සත් පෙරමුණු ආණ්ඩුවේ කම්කරු ඇමැතිවරයා වූ මහින්ද රාජපක්‍ෂ මේ සඳහා මුල් වූ අයෙකි. එහෙත් කම්කරු ඇමතිවරයාව සිටියදීවත්, ඉන්පසු අගමැති ලෙසත්, ජනාධිපති ධූර කාල දෙකක් ගත කළ ද කම්කරු ප්‍රඥාප්තියක් එළිදැක්වීමට ඔහු උත්සුක නොවීය. මීට විරෝධය දක්වමින් ලංකා වෙළඳ,කාර්මික හා පොදු සේවක සංගමයේ ප්‍රධාන ලේකම්ව සිටී බාලා තම්පෝ ජාතික කම්කරු උපදේශක සභාවෙන් 2013 දී ඉවත්විණි.

යළිත් කම්කරු ප්‍රඥාප්තිය ගැන කතාබහක් හට ගත්තේ එය ජාතික ජනබලවේගයේ මැතිවරණ ප්‍රකාශනයට ඇතුලත් වීමෙන් අනතුරුවය. එහෙයින් වත්මන් ආණ්ඩුවේ මැතිවරණ පොරොන්දුවක් වූ කම්කරු ප්‍රඥාප්තියක් හඳුන්වා දීම ඔවුන්ට  අත්හළ නොහැකි වගකීමකි. අද පවතින නීති පද්ධති හා කම්කරුවන්ගේ ආර්ථිකය  හා වැඩ කොන්දේසිවල අනාරක්ෂිත බව හේතුවෙන් ශ්‍රම පලදායීතාව හීනවී ගොස්ය. එබැවින් ශක්තිමත් නෛතික රැකවරණයක් සහිත කම්කරු ප්‍රඥාප්තියක අවශ්‍යතාව කම්කරුවන්ට හොඳින්ම දැනේ.

වෘත්තීය සමිති ඉල්ලා සිටින්නේ වැඩකරන ජනතාවගේ ආරක්ෂාව සහතික කරන එවැනි කම්කරු ප්‍රඥාප්තියක් එළිදක්වන ලෙසය. එය සම්පාදනය, සම්මත කිරීම හා සක්‍රිය කිරීමට වෘත්තීය සමිති, සංවිධිත ස්වාධීන ප්‍රජාව ඇතුළු සියළු පාර්ශවයන්ගේ අදහස් ලබා ගැනීම වැදගත්ය.

 

courtscorruptionandjudicialsystem 6562675065

2001,2015,2023 වැනි වසර වලදී පැවති ආණ්ඩු විසින් කම්කරු නීති සංශෝධනයට උත්සහා කරද්දී ඒවා වලක්වනු ලැබුවේ වෘත්තීය සමිති ගෙන ගිය අරගල නිසාවෙනි. වත්මන් ආණ්ඩුව ද කම්කරු නීති සංශෝධනයට සැරසේ. වෘත්තීය සමිති ඒකාබද්ධව ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ, කම්කරු නීති ප්‍රතිසංස්කරණය කරන්නේ නම් එහි මුලික පදනම වන හාම්පුතුන් ඉදිරියේ සේවකයාගේ අයිතීන් ආරක්ෂාවන පරිදි කළ යුතු බවය. මෙවැනි පදනමක් යටතේ කම්කරු නීති යාවත්කාලින කළ හැකි මුත් එකම රටක කළාප දෙකක් ලෙස නීති දෙකක් පැනවීම නොකළ යුතුය.

අර්ථසාධක අරමුදලට වෝහාරික විගණනයක්  

image 7eaccd2cde
රුපියල් ට්‍රිලියනය හතරකට ආසන්න වූ සේවක අර්ථසාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදල සම්පුර්නයෙන්ම එහි සාමාජිකත්වය සතුය. මෙහි අයිතිකරුවන් වන සේවකයන් වෙනුවෙන් නියෝජිතයා වන්නේ කම්කරු කොමසාරිස් ජනරාල්වරයාය. මෙම සේවක අර්ථසාධක අරමුදල ආයෝජනය කිරීමේ බලය ශ්‍රීලංකා මහ බැංකුව සතුය.

ශ්‍රීලංකා මහ බැංකුව හරහා සිදුවන කම්කරුවන්ගේ මුදල් ආයෝජන ක්‍රියාවලිය විශාල ලෙස දුෂණ සහ අවභාවිතයන්ට ලක්ව ඇති බව කොටස් වෙළඳ පොළ ආයෝජන සිදුවීම් වලදී මෙන්ම මහ බැංකු බැඳුම්කර සිදුවීම් වලදී සාක්ෂි සහිතව කොමිෂන් හමුවේ හෙළිවී ඇතැයි ලංකා බැංකු සේවක සංගමය විසින් ජනාධිපතිවරයා වෙත යොමු කළ ලිපියේ දැක්වේ.

ආයෝජන ප්‍රතිලාභ මත සියයට දහයක බද්දක්  1989 දී හඳුන්වා දෙන තෙක් සේවක අර්ථ සාධක අරමුදලින්  සේවකයන්ට බදු රහිත ඉතිරියක් විය. 2018 දී එය සියයට දාහතර දක්වා වැඩි කෙරිණි. වෘත්තීය සමිති පෙන්වා දෙන්නේ මෙය ප්‍රධාන වශයෙන් ශුද්ධ ආදායම හා අඩු පළදායි අනුපාත මත බදු අය කෙරෙන  මුල්‍ය ආයතන වලට වඩා සේවක අර්ථ සාධක අරමුදලේ ආයෝජනය එතරම් හිතකර නොවන බවට හුවා දැක්වීමක් ලෙසය.

2018 සහ 2022 අතර කාල වකවානුවේදී සේවක අර්ථ සාධක අරමුදල මත දළ ආදායමෙන් සියයට 13.7 ක සාමාන්‍යයක් බදු ලෙස ගෙවූ අතර එම අවුරුදු වල බැංකු ගෙවා ඇත්තේ සියයට 8.1 කි. සේවක අර්ථ සාධක අරමුදල මත මෙම බදු ඉවත්කිරීමේ අවශ්‍යතාව වෘත්තීය සමිති දෙනු ඇත.

 

477380667 926787429661424 8669404403972888429 n
වත්මන් අරමුදල් පනතේ  5 [1] [h] වගන්තිය මගින් ඇමතිවරයාට වාර්ෂික වාර්තාවේ ආයෝජන තොරතුරු හෙළිදරව් කිරීම මුදල් මණ්ඩලයට නියෝග කරයි. කෙසේ වෙතත්, මහ බැංකුව යටතේ ඇති සේවක අර්ථසාධක අරමුදලේ කළමනාකාරිත්වය  මෙම අවශ්‍යතා ස්ථාපිත කිරීමට, සාමාජිකයින්ට අරමුදල වගවීම තහවුරු කිරීම සහ සේවක ඉතුරුම් ආරක්ෂා කිරීම සඳහා ප්‍රමාණවත් විනිවිදභාවයක් සඳහා මෙහිදී යෝජනා ඉදිරිපත් කර ඇත.

ඉතිහාසය පෙන්නුම් කරන්නේ සේවක අර්ථසාධක අරමුදල් කොටස් වෙළඳපොළේ සමුච්චිත ප්‍රතිලාභය වසරක රාජ්‍ය සුරැකුම්පත් වලින් ලැබෙන ප්‍රතිලාභයෙන් අඩකටත් වඩා අඩු බව පර්යේෂණ මගින් පෙන්වා දී ඇති බවය. 1988 සිට 2017 දක්වා කාලය තුළ සේවක අර්ථසාධක අරමුදල  කොටස් වෙළඳපොළේ රුපියල් මිලියන 9,859 ක අලාභයක් ලබා ඇති  බව වෝහාරික විගණනයේ දී අනාවරණය වී ඇත. එම  වාර්තාවෙන් පෙන්වා දෙන්නේ   2002 ජනවාරි පළමු වැනිදා සිට 2025 පෙබරවාරි 28 වැනිදා දක්වා බැඳුම්කර වෙළඳපොලේ සේවක අර්ථසාධක අරමුදලේ මුළු පාඩුව රුපියල් බිලියන 10 [මිලියන 9,826] පමණ වන බවය.

එම නිසා සේවක අර්ථසාධක අරමුදලේ සංශෝධන මගින් බැඳුම්කර ගනුදෙනු විනිවිදභාවයෙන් යුතුව ප්‍රකාශයට පත් කිරීම  වෘත්තීය සමිති යෝජනාවය. එහෙත් කනගාටුවට කරුණ නම්, ඒ සම්බන්ධවුවන්ට එරෙහිව නීතිමය පියවරයන් මෙතෙක් නොගැනීමය. සේවක අර්ථසාධක අරමුදල තවදුරටත් අපයෝජනය කිරීමේ අවදානමක් පවතී. වගවීම සහතික කිරීම සහ අනාගත වැරදි කළමනාකරණය වැළක්වීමට  නම් සෑම  වසර තුනකට වරක් සේවක අර්ථසාධක අරමුදලේ ගනුදෙනු ගැන විධිමත් වෝහාරික විගණනයක් පැවැත්වීමට මෙවර අයවැයට යෝජනා කර ඇත.

ඌබර්- පික් මී හා අවිධිමත් ආර්ථික සේවකයෝ

pick mes

ලංකාවේ සියළුම යෙදවුම් පාදක ප්‍රවාහන සහ බෙදාහැරීමේ සේවකයන්ට ස්වයං මුලයනය වන සමාජ ආරක්ෂණ සහ සුබසාධන යෝජනා ක්‍රමයක් හඳුන්වා දීම. සෑම ගනුදෙනුවක් [කුලී ගමනක් හෝ ආහාර/ භාණ්ඩ බෙදාහැරීමක්] සඳහාම පාරිභෝගිකයාගේ අවසන් බිල්පතට රුපියලක අනිවාර්ය ගාස්තුවක් අයකිරීම මගින් එකතු කරනු ලද මුදල් ``යෙදවුම් පාදක සේවක, සමාජ ආරක්ෂණ හා සුභසාධන අරමුදල`` නමින් ලංකා රාජ්‍ය යටතේ ඇති විශේෂ ගිණුමකට බැර කෙරේ. වෘත්තීය සමිති, යෙදවුම් පාදක සමාගම් සහ රජය මැදිහත්  ත්‍රෛපාක්ෂික මණ්ඩලයක අධීක්‍ෂණයට යටත්ව මෙම අරමුදල පුර්ණ  විනිවිදභාවයකින් රාජ්‍ය වගකීමක් යටතේ පාලනය කළ යුතුවේ. පළමු වසර දෙක තුළ මෙම ප්‍රාග්ධනය තවදුරටත් වර්ධනය කර ගැනීම සඳහා ආයෝජනය කළ යුතු අතර මේ මගින් සේවකයින්ට ජිවිත සහ හදිසි අනතුරු රක්ෂණය [රුපියල් 1,000,000 දක්වා] රෝහල් ගතවීම සඳහා සෞඛ්‍ය රක්ෂණය වැනි ප්‍රතිලාභ දිය යුතුය.

මෙම අරමුදල ක්‍රියාත්මක වන්නේ රජයට හෝ සේවකයාට අමතර බරක් නොවන  සරල හා තිරසාර යාන්ත්‍රණයක් ඔස්සේය. සෑම සේවාවක් සඳහාම පාරිභෝගිකයාගෙන් අය කෙරෙන රුපියලක නාමික ගාස්තුවක් යෙදවුම් පාදක සමාගම් විසින් එකතුකර මාසිකව රජයට ලබා දේ.  වසර දෙකක වැනි කෙටි කලක් තුල රුපියල් මිලියන 360 ඉක්මවන මෙම අරමුදල මගින් සේවකයන්ට ජිවිත හා සෞඛ්‍ය රක්ෂණ, හදිසි ණය පහසුකම් සහ විශ්‍රාම වැටුප් වැනි අතවශ්‍ය ප්‍රතිලාභ රැසක් ලබා දිය හැක.  මෙය හුදෙක් සුභ සාධන වැඩසටහනක් පමණක් නොව, මෙරට ආර්ථිකයේ අදෘශ්‍යමාන බලවේගයක් වන දහස් ගනනක් සේවකයන්ගේ ශ්‍රමය අගය කරමින් ඔවුන් සහ ඔවුන්ගේ පවුල්වල ජිවන තත්වය නගා සිටුවීමට ගන්නා ලද වැදගත් ආයෝජනයක් බව වෘත්තීය පෙන්වා දී තිබේ.

pickme sri lanka s favourite
මේ අතර අවිධිමත් ආර්ථික සේවකයන්, ගෘහ සේවිකාවන් ඇතුළු රැකවරණ අංශයේ සහ සංක්‍රමණික සේවකයන් සඳහා සෞඛ්‍ය, මාතෘ,රැකියා අනතුරු සහ විශ්‍රාම ප්‍රතිලාභ ආවරණය වන සමාජ ආරක්ෂණ යෝජනා ක්‍රමයක් සැලසුම් කර ක්‍රියාත්මක කිරීම. දායකත්වය ප්‍රතිලාභ දැරිය හැකි සහ ප්‍රවේශ විය හැකි බව සහතික කිරීම, අවිධිමත් වැඩ සහ රැකවරණ භුමිකවන්ගේ ස්වභාවය පිළිබිඹු කිරීම සහ රාජ්‍ය සමාජ රක්ෂණයට සමගාමිව ප්‍රජා පාදක යාන්ත්‍රණ, සමුපකාර සහ වෘත්තීය සමිති හරහා බඳවා ගැනීම සහ ආරක්ෂාව වැඩි දියුණු කිරීම ආදී යෝජනා රැසක් ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කොට ඇත.

වෙළඳ කලාප හා දෙමළ සංක්‍රමණික කම්කරුවා

ccts7ssusus


නිදහස් වෙළඳ කලාප තුල පිහිටුවා ඇති දිවා සුරැකුම් මධ්‍යස්ථානවලට ප්‍රතිපාදන වැඩි කරමින්, ප්‍රමිතියෙන් යුත් රැකවරණ මධ්‍යස්ථාන, සුරැකුම් නිවාස සහ දිවා සුරැකුම් මධ්‍යස්ථාන පිහිටුවීම සහ ව්‍යාප්ත කිරීම. ඒ තුලින් කාන්තාවන්ට  ආරක්‍ෂිත වැඩ  පරිසරයක් නිර්මාණය වනු ඇත. ඒ හා සමානව  සේවා නියුක්තිය ඉහළ නැංවීමට අවශ්‍ය යටිතල පහසුකම් සැලසීම ද වැදගත් වන බව  නිදහස් වෙළඳ කලාප හා කර්මාන්තපුර කම්කරුවන්ගේ  සුභසාධනය වෙනුවෙන් වූ  යෝජනා අතර වේ.

අතවශ්‍ය මහජන සේවාවන් තිරසාර ලෙස සැපයීමට ප්‍රමාණවත්  ආදායමක් රජයට ලබා ගැනීමේ අරමුණින් අගතිගාමී ලෙස  බදූ පැනවීම. එනම් ගෙවල් හිමියන්, නේවාසික කම්කරුවන්ගෙන්, ව්‍යාපාරික විදුලි ගාස්තු අයකිරීම සහ සනීපාරක්ෂක තුවා ඇතුළු අතවශ්‍ය භාණ්ඩ මත පනවන බදු අවම මට්ටමකට සංශෝධනය කරමින්, ඒ වෙනුවට ධනවත් පුද්ගලයන්ගෙන් උපයන ආදායම මත ප්‍රගතිගාමී බදු පැනවීමත්,නීති විරෝධී මුල්‍ය පිටතට ගලා යාම් [Illicit  Financial Flow] වැලක්වීමට ශක්තිමත් යාන්ත්‍රණයක් ස්ථාපිත කිරිම කළ යුතුය. එමෙන්ම වෙළඳ කලාප ආශ්‍රිතව, අවිවාහක මව්වරුන්ගේ සංඛ්‍යාව ඉහළ යාමේ ප්‍රවණතාව නිසා පැන නගින ගැටළුවලට විසදුම් ලබා දීමට සෞඛ්‍ය ආයතනයන්හි මැදිහත් වීමේ අවශ්‍යතාව.

kkj788878787

නිදහස් වෙළඳ කලාප වල සහ කර්මාන්ත පුර වල සේවය කරන සංක්‍රමණික කම්කරුවන්ගේ දරුවන් පාසැල් වලට ඇතුලත් කිරීමේදී පදිංචිය සහතික කිරීමට නොහැකි වීමෙන් මතුවන ගැටලුවලටත්, දෙමළ ජාතික සංක්‍රමණික කම්කරුවන්ට දෙමළ වීම නිසා මුහුණ දෙන්නට වන ගැටලුවලටත් විසදුම් මෙවර අයවැයෙන් වෘත්තීය සමිති අපේක්‍ෂා කරනු ඇත.

රුපියල් 2000 ක වතු කම්කරු වැටුපක්

මැතිවරණවලදී පොරොන්දුවූ පරිදි වතු කම්කරු දිනෙක  වැටුප රුපියල් 2,000 ක් දක්වා ඉහල දැමීමත්, වතු ක්ෂේත්‍රයේ ක්‍රියාත්මක වෙමින් තිබෙන කම්කරුවන්ට අහිතකර Out Grower ක්‍රමය අහෝසි කිරීම,සේවය කරන සේවකයන් සඳහා නීති පද්ධතියක් සකස් කිරීම.

wwee334455667

ජනතා වතු සංවර්ධන මණ්ඩලය, රාජ්‍ය වැවිලි සංස්ථාව හා ඇල්කඩුව වැවිලි සමාගම ආදී රාජ්‍ය අයිතිය යටතේ පවතින වතු වල කම්කරුවන්ට හා කාර්ය මණ්ඩල සේවකයන්ට, ඔවුන් විශ්‍රාම යාමේදී හා සේවයෙන් ඉවත්වීමේදී ලැබිය යුතු අර්ථසාධක අරමුදල් හා සේවක භාරකාර අරමුදල් 2019 වසරේ සිට ගෙවා නොමැත. මෙම හිඟ මුදල වන රුපියල් 3,380,568,367.88 පියවීමට 2026 අයවැයෙන් මුදල් වෙන් කරන ලෙස වෘත්තීය සමිති ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබේ.

නාස්තිය හා දුෂණය පිටු දැකීමේ රජයේ දැක්මට අනුකූලව, ශක්තිමත්ව පවත්වා ගෙන යාමේ අරමුණින් යුතුව ජනතා වතු සංවර්ධන මණ්ඩලය, රාජ්‍ය වැවිලි සංස්ථාව,ඇල්කඩුව වැවිලි සමාගම, කුරුණෑගල වැවිලි සමාගම සහ හලාවත වැවිලි සමාගම වැනි රාජ්‍ය ආයතන ඒකාබද්ධ කරමින් එක් වැවිලි සමාගමක් බවට පත් කළ යුතුය. දිගු කලක් පුරාවට පවතින සාම්ප්‍රදායික වැවිලි වෙනුවට බෝග විවිධාංගිකරණය වැදගත්ය. වැවිලි කර්මාන්තයේ නව දැනුම සම්පාදනය සහ ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් පිහිටුවා ඇති ජාතික වතු කළමනාකරණ ආයතනය ක්‍ෂේත්‍රයට අදාළ උපාධි පිරිනමන විශ්ව විද්‍යාලයක් බවට පරිවර්තනය කළ යුතුය.

වතු කම්කරුවන්ගේ සහ කාර්ය මණ්ඩල සේවකයන් වෙනුවෙන් පර්චස් 10 ක බිම් කැබැල්ලක අයිතිය තහවුරු කරන අතර දැනට පවතින ලයින් කාමර වල යටිතල පහසුකම් ද ඉහළ දැමිය යුතුය. වතු පාසැල් සඳහා ගණිතය, විද්‍යාව සහ ඉංග්‍රීසි ඉගැන්වීමට ගුරුවරු ලබා දෙන ලෙසත්,ජාතික මට්ටමේ ක්‍රීඩා සඳහා වතුකරයේ දරුවන්ට ප්‍රමුඛතාවක් ලබා දෙන ලෙසත් වෘත්තීය සමිති යෝජනා කර තිබේ.

පෞද්ගලික අංශයට විශ්‍රාම වැටුපක් ඕනෑ

විශ් රාම වැටුප් දෙපාර්තමේන්තුව
රාජ්‍ය,අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවයේ නියුතු සියලු සේවක ප්‍රජාව උදෙසා ප්‍රමාණවත් සමාජ ආරක්ෂණ ක්‍රමවේද කෙරෙහි අවධානය යොමු කිරීම අත්‍යවශය වන අතර ඔවුන්ගේ සැන්දෑ සමයේ කිසිවෙකුට අත නොපා දිවි ගෙවීමට ඉඩකඩ සලසා දීම වැදගත්ය. ඒ අනුව රාජ්‍ය සේවයේ නියුතු සියලු සේවකයන්ට විශ්‍රාම ප්‍රතිලාභ ලැබීමතහවුරු කළ යුතුය. මෙහිදී කටයුතු කළ යුත්තේ රාජ්‍ය මුදල්වලට අවම පීඩනයක් ඇතිවන අයුරින්ය.

පෞද්ගලික අංශයේ සේවකයන් ඉලක්ක කරමින් ආයතන මට්ටමින් විශ්‍රාම ප්‍රතිලාභ ලබා දීමට දිරිමත් කළ යුතුය. රාජ්‍ය මැදිහත් වීම හරහා විශ්‍රාම වැටුප් අරමුදල් ගොඩනැගිය යුතු අතර ඒවා විධිමත්ව අධීක්ෂණය ද කළ යුතුය.

පෞද්ගලික අංශයේ කම්කරුවන්ට රැකියා අහිමිවීම නිසා දරිද්‍රතාවයට පත්වන්නන්ට සහන සැලසීමට ත්‍රෛපාක්ෂික දායකත්ව පාලනය තුල විරැකියා ප්‍රතිලාභ යෝජනා ක්‍රමයක් සැකසීම. මිලියන අටක් වන පෞද්ගලික අංශ කම්කරුවන්ගේ සුරක්ශාව හා සුභසාධනය වෙනුවෙන් ඇති එකම රාජ්‍ය ආයතනය වන කම්කරු දෙපාර්තමේන්තුව යළිත් කම්කරුවන් වෙනුවෙන් පෙනී සිටින්නට අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කිරීම. පසුගිය කාලය පුරාවට එම දෙපාර්තමේන්තුව හාම්පුතුන් වෙනුවෙන් පෙනී සිටී බවට ද වෘත්තීය සමිති චෝදනා එල්ල කර ඇත.

බදු සහන

vat66y
අත්තිකාරම් පුද්ගල ආදායම් බදු [APIT] අනුපාතය ඉහල දැමීම හා බදු අයකරන සීමාවන් අඩු කිරීම බැංකු සේවකයන් ඇතුළු වෘත්තිකයන්ගේ ජිවන තත්වය පහල වැටීමට හේතුවන බවට ලංකා බැංකු සේවක සංගමය විසින්  ඉදිරිපත් කර ඇති අයවැය  යෝජනා මගින් පෙන්වාදී ඇත.

බදු නිදහස් සීමාව රුපියල් 200,000ට ඉහල දැමීම, බදු ප්‍රතිශතය සියයට හය වෙනුවට සියයට හතරට සංශෝධනය කිරීම, දේශීය ආදායම්, රේගුව සහ සුරාබදු දෙපාර්තමේන්තුව වැනි බදු රැස් කරන ආයතන කොන්දේසි විරහිතව පුර්ණ ඩිජිටල්කරණයට ලක් කිරීම, අත්‍යවශ්‍ය භාණ්ඩ මත පනවා ඇති බදු නැවත සමාලෝචනය කිරීම, ජනතාවගේ නිවාස අවශ්‍යතා සැපිරීම වෙනුවෙන් ශක්‌තිමත්  නිවාස බැංකුවක් පිහිටුවීම, බැංකු සේවක සංගමය ඉදිරිපත් කළ ඉල්ලීම් 23 අතර වේ.

ලෝක කම්කරු සංවිධානයේ සම්මුති අනුමත කිරීම හා අධීක්ෂණය

Domestic workers.png
මෙරට කම්කරු නීති ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව සකස් කිරීමේදී සැලකිය යුතු ප්‍රගතියක් ලබා ඇතත්, තවමත් මෙරට තුල අයි.එල්.ඕ සම්මුතීන් වන C189 [ගෘහ සේවිකාවන් සඳහා සූනිසි වැඩ] සහ C190 [වැඩබිමේ  ප්‍රචණ්ඩත්වය හා හිංසනය] අනුමත කර නොමැත. ගෘහස්ථ, රැකවරණය, අවිධිමත් ආර්ථිකය සහ සංක්‍රමණික සේවකයින් සඳහා ආරක්ෂාව ශක්තිමත් කිරීම සඳහා මෙම සම්මුතීන් අනුමත කිරීම අත්‍යවශ්‍ය ලෙස අපි දකිමු.

දැනට, අනුමත කිරීමේ ක්‍රියාවලියට පහසුකම් සැලසීමට, අනුමත කිරීමෙන් පසු අනුකූලතාව නිරීක්ෂණය කිරීමට හෝ ජාත්‍යන්තර කම්කරු සමුළුවට රටක් ලෙස වාර්තා කිරීමේ බැඳීම් සහ  වගකීම් වලට සහාය වීමට කැපවූ යාන්ත්‍රණයක් නොමැත. එම නිසා කම්කරු අමාත්‍යාංශය යටතේ කැපවූ මධ්‍යස්ථානයක් මේ සඳහා පිහිටුවීම වැදගත්ය.

වැඩකරන කාන්තා මධ්‍යස්ථානය මගින් ඉදිරිපත් කර ඇති මෙම යෝජනාව මගින් C189 සහ C190 අනුමත කිරීමට පහසුකම් සැපයීම හා එය  අඛණ්ඩ අධීක්ෂණ යාන්ත්‍රණ ස්ථාපිත කළ යුතුව ඇත. එමෙන්ම  ක්‍රමානුකූල වාර්තාකරණය සහ පාර්ශවකරුවන්ගේ සම්බන්ධීකරණය හරහා ජාත්‍යන්තර කම්කරු සමුළුව සමඟ ශ්‍රී ලංකාවේ සබැඳියාව වර්ධනයවේ. මෙම යාන්ත්‍රණය ඊට රුකුළකි.


(සටහන | ඉෂංඛා සිංහආරච්චි)

Ishankha Singha Arachchi
Freelance Journalist
ishanka.singhe@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

වැඩ කරන ජනයාගෙන් අයවැයට යෝජනා | The Leader