The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ආණ්ඩුව අපරාධකරුවන් ගැන පිළිවෙත විවෘතව කිව යුතුයි | සුනිල් කන්නන්ගර

T

The Leader Desk

October 28, 2025 • 6:29 AM

ආණ්ඩුව අපරාධකරුවන් ගැන පිළිවෙත විවෘතව කිව යුතුයි | සුනිල් කන්නන්ගර

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ පුවත පමණක් නොව ඔහු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරන දර්ශන ද සමාජ මාධ්‍යයේ බෙදා හැරීම එම රාත්‍රියේම සිදුවිය.
  • මේ රථ වාහන පොලිස් නිලධාරීන් දෙදෙනාගේ හඹා යාම සැලකිය හැක්කේ ශ්‍රී ලංකා පොලිසියේ කීර්තිය ඉහළ නැංවීමට ඉවහල් වන සැබෑ වීර ක්‍රියාවක් ලෙසටයි.
  • නීති විරෝධී රියදුරා පොලිස් අණ නොතකා සිය වෑන් රථයෙන් පලා යද්දී මෝටර් සයිකලයකින් රථය ලුහුබඳින අතර එක් පොලිස් නිලධාරියකු සිය ජංගම දුරකතනයෙන් මේ දර්ශනය වීඩියෝ ගත කරන බව පැහැදිලි වේ.
  • අනික් පොලිස් නිලධාරියා යතුරු පැදිය පදවන අතර තම සගයාට මෙහෙයුම් උපදෙස් ද නිකුත් කරනු ලබන බව පෙනේ.
අකුරු ප්‍රමාණය (Font Size):


ඒ පුවත පමණක් නොව ඔහු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරන දර්ශන ද සමාජ මාධ්‍යයේ බෙදා හැරීම එම රාත්‍රියේම සිදුවිය.

ඒ අතර වඩාත් උද්වේගකර දර්ශනයක් සහිත තවත් වීඩියෝවක් ද සමාජ මාධ්‍යයේ බෙදා හැරෙමින් තිබේ. ඒ රථවාහන පාලන පොලිස් නිලධාරීන් දෙදෙනකු විසින් සිය අණ නොතකා ධාවනය කෙරුණු වෑන් රථයක් හඹා ගොස් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක් පිළිබඳ වන වීඩියෝ දර්ශනයකි. මේ රථ වාහන පොලිස් නිලධාරීන් දෙදෙනාගේ හඹා යාම සැලකිය හැක්කේ ශ්‍රී ලංකා පොලිසියේ කීර්තිය ඉහළ නැංවීමට ඉවහල් වන සැබෑ වීර ක්‍රියාවක් ලෙසටයි.



නීති විරෝධී රියදුරා පොලිස් අණ නොතකා සිය වෑන් රථයෙන් පලා යද්දී මෝටර් සයිකලයකින් රථය ලුහුබඳින අතර එක් පොලිස් නිලධාරියකු සිය ජංගම දුරකතනයෙන් මේ දර්ශනය වීඩියෝ ගත කරන බව පැහැදිලි වේ. අනික් පොලිස් නිලධාරියා යතුරු පැදිය පදවන අතර තම සගයාට මෙහෙයුම් උපදෙස් ද නිකුත් කරනු ලබන බව පෙනේ. එයින් සිතා ගත හැක්කේ යතුරුපැදිය පදවන්නේ වඩාත් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා බවයි.

මේ නිලධාරීන් දෙපළම තම අණ නොතකා පලා යන වෑන් රථය නතර කර ගැනීමට එය පසුපස හඹා යමින් දැක් වූ ශිල්පය මෑත කාලයකදී ශ්‍රී ලංකා පොලිසියේ කීර්තිය ඉහළටම නංවාලන වෘත්තීය භාවයෙන් පරිපූර්ණ ආදර්ශමත් මෙහෙයුමක් බව සටහන් කළ යුතු ය. එම මෙහෙයුම ක්ෂණිකව අවස්ථානුකූලව සිදු කළ එකක් මිස පූර්ව සැලසුම් සහිතව සිදු කළ එකක් නොවේ.

රථවාහන රාජකාරිවල යෙදී සිටි පොලිස් නිලධාරීන් දෙදෙනකුට ලැබෙන දැනුම් දීමක් මත අනතුරුදායක ලෙස ධාවනය කරන වෑන් රථයක් නතර කිරීමට අණ කළත් එය නොනවත්වා ධාවනය කිරීම නිසා එය නතර කරවා ගැනීමට එය පසුපස යතුරු පැදියෙන් හඹා යාමට තීරණය කිරීම අවස්ථානුකූලව ගත් ක්ෂණික තීරණයකි. එම හඹා යාමේදී යතුරු පැදිය පදවන නිලධාරියා එහි පසුපස අසුනේ ගමන් කරන සිය සගයාට වෑන් රථය වීඩියෝ ගත කරන ලෙස උපදෙස් දීම සිදු කරයි.

 

vehical accident
අනතුරුව වෑන් රථය පදවන අයට නතර කරන ලෙස කෑ ගසා අණ කරයි. ඔහු නතර නොකර වේගයෙන් ධාවනයේ යෙදෙයි. හඹා යන පොලිස් යතුරු පැදියේ ජ්‍යෙෂ්ඨයාගේ ඊළඟ අණ “වෙපන් එක” හෙවත් ගිනි අවිය අතට ගන්නා ලෙසට ය. ඊළඟට නතර නොකළොත් වෙඩි තබන බවට කීප විටක්ම වෑන් රථය පදවන අයට අනතුරු අඟවයි. එය නොතකා ධාවනය වන වෑන් රිය වීඩියෝ කරන ලෙස දිගටම උපදෙස් දෙයි. ඒ සමඟම ඔහු වෑන් රථයට ඉස්සර කිරීම සඳහා යතුරු පැදියට ඉඩ නොදෙන බවත් ඉස්සර කරන්න ගියොත් වෑන් රථය හරස්කර හැප්පීමට ඉඩ ඇති බවත් මැනවින් තේරුම් ගෙන සගයාට පවසයි. තමාගේත් සගයාගේත් ජීවිත ආරක්ෂා කරගැනීමේ වැදගත්කම මේ කලබල අස්සෙම බුද්ධිමත් පොලිස් නිලධාරියා තේරුම් ගත් බව ඉන් පැහැදිලි ය.

ඔහු සිය සගයාට තුවක්කුවේ කොකා අස්සට ඇඟිල්ල නොදාන ලෙස උපදෙස් දෙන්නේ වැරදී පත්තු වුණොත් මිනිසුන්ට තුවාල සිදුවිය හැකි බැවිනි. “මිනිස්සු පව්”. යන වචන දෙකෙන් ඔහු සාමාන්‍ය මිනිසුන් පිළිබඳව තමන් සතු වගකීම මැනවින් තේරුම් ගෙන සිටින්නෙකු බව පෙන්වයි. මිනිසුන් සහිත ස්ථානවලදී “ගහන්න එපා” යැයි සගයාට කියන්නේ සාමාන්‍ය මිනිසුන් ගැන හිතා බව ද පැහැදිලි ය. අවසානයේ රියැදුරා වෑන් රථය නතර කර දුවද්දී ද රියදුරාට වෙඩි තැබීමට ක්‍රියා නොකර එලවා අත්අඩංගුවට ගැනීමෙන් අවම බලය යෙදීම ගැන ද සැලකිලිමත් වූ බව පෙනේ. එමෙන්ම තමන් අත්අඩංගුවට ගත් තැනැත්තා බාහිර සමාජයට හඳුනා ගැනීමට නොහැකි වන ලෙසට වීඩියෝ කිරීමට ද ප්‍රවේශම් වීමෙන් ඔවුන් සිය ඉහළම වෘත්තීය භාවයක් ප්‍රදර්ශනය කිරීමට ද සමත් ව ඇත.

police logo

මේ වීඩියෝ පටයෙන් ශ්‍රී ලංකා පොලිසියේ නිලධාරීන් සතුවිය යුතු ඉවසීම, කලබල නොවීම, ප්‍රවේශම් සහිත වීම, මහජන ආරක්ෂාවට ප්‍රමුඛ ස්ථානය දීම, අත්අඩංගුවට ගැනීමක දී අවම බලය යෙදීම, අත්අඩංගුවට ගත් අය ප්‍රදර්ශනය නොකිරීමෙන් අධිකරණ ක්‍රියාවලියට හානි වීම වැළැක්වීම යන ඉහළම වෘත්තීය ගුණාංග මැනවින් ප්‍රදර්ශනය කර ඇත. ශ්‍රී ලංකාවාසී නීති ගරුක පුරවැසියන් කවුරුත් මේ පොලිස් නිලධාරීන් දෙදෙනාට ගෞරව කළ යුතුව ඇත්තේ මහජන ආයතනයක් වන ශ්‍රී ලංකා පොලිසියේ ගෞරවය ඔප් නංවමින් සිය රාජකාරිය මැනවින් ඉටු කළ නිසා ය. ශ්‍රී ලංකා පොලිසිය ද මේ දෙදෙනාගේ සේවය අගය කිරීම මගින් ඔවුන්ගේ මේ වෘත්තීය භාවය අභිප්‍රේරණය කළ යුතු ය.

මෙසේ ශ්‍රී ලංකා පොලිසියේ නිලධාරීන් ක්ෂණිකව කළ මෙහෙයුමක් ඉතා සාර්ථකව කීර්තිමත් අයුරින් සම්පූර්ණ කරද්දී වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඝාතනය කළ වෙඩික්කරු යැයි සැලකෙන සැකකරුවා අත්අඩංගුවට ගැනීම කඩිනමින් කිරීමෙන් උපයා ගත් කීර්තිය පළුදු කර ගැනීමක අවසානයේ යෙදීම අතිශයින් කණගාටුදායක ය. අත්අඩංගුවට ගත් මිනී මැරුම් චෝදනා නැඟිය හැකි සැකකරුවෙකු ප්‍රසිද්ධියේ සමාජ මාධ්‍යයේ පෙන්වමින් ප්‍රශ්න කිරීම ඔහුට එරෙහිව ගත යුතු අධිකරණ ක්‍රියාවලියේ දී රජයට බෙහෙවින් අවාසිදායක දෙයක් බව ඒ අත්අඩංගුවට ගැනීම කළ නිලධාරීන් තේරුම් නොගත්තේ ඇයි?

 



අපරාධ නඩුවකදී අපරාධය කළ අය නිවැරදිව සාක්ෂිකරුවන් විසින් හඳුනා ගැනීම අතිශය වැදගත් ය. අපරාධකරු යැයි සැක කරන අයව අත්අඩංගුවට ගෙන සමාජ මාධ්‍යයෙන් ඔහුව ප්‍රදර්ශනය කළ පසු සාක්ෂිකරුවන් ඔහුව හඳුනා ගත්තේ සමාජ මාධ්‍යයෙන් ප්‍රදර්ශනය කළ නිසා යැයි පහසු තර්කය ගොඩ නැඟීමට ඒ අපරාධකරු යැයි සැක කරන අයට ඉඩ ලබා දීමකි. දවස පුරා වෙහෙස මහන්සි වී වතුර ඇද එක් රැස් කළ ජලයට අවසාන මොහොතේ ගොම එකතු කළාක් වැනි මෙබඳු මෝඩ වැඩ කිරීමට ඉඩ හැරී නිලධාරීන් පිළිබඳව සුදුසු පියවර ගැනීම පොලිසියේ යහපතට හේතු වන බව පෙන්වා දිය යුතු ය.

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ප්‍රසිද්ධියේ ඝාතනය කළ අපරාධකරුවන් යැයි සැක කරන පිරිස් අත්අඩංගුවට ගැනීම සිදු කළ කාර්යක්ෂම භාවයෙන් සෙසු අපරාධ අරබයා ද පොලිසිය ක්‍රියාත්මක වන්නේ නම් මේ රටේ නීතියේ පාලනය ඇති කිරීමට එතරම් අපහසු නොවනු ඇත. බ්‍රිතාන්‍ය පාලනය යටතේ තරුණ වයසට පත්ව භද්‍ර යෞවනය ගෙවූ අයෙකු වන මගේ පියා ගෙන් මා එදිනවල බ්‍රිතාන්‍ය යුගය හා අපේ පාලන යුගය ගැන කිව හැකි වෙනස්කම් ගැන විමසූ විට ඔහු පැවසුවේ “සුද්දන්ගෙ කාලෙ කිසිම අපරාධකරුවෙකුට අපරාධ කරල බේරෙන්න නම් හම්බු වුණේ නෑ. සුද්දන්ගෙ කාලෙ මිනීමැරුම් අපරාධයක් කරල අවුරුදු පහක් යනකොට මිනීමරුව අල්ලල උසාවි දාල නඩු අහල එල්ලලත් ඉවරයි. ඒකට දැන් උසාවියෙ නඩුව අහන්න පටන් ගන්නෙම අපරාදෙ කරල අවුරුදු පහළොවක් වත් ගියාට පස්සෙ නෙ. ඒ වෙනකොට අපරාධෙ කරපු එකාටත් මතක නෑ තමන් අපරාධයක් කළ බව. ඉතින් දඬුවම් කළාම මිනිස්සු දුක් වෙන්නෙ දඬුවම ලැබුණු අපරාධකාරය ගැනනෙ. පුතේ.” කියාය. සාමාන්‍ය ගැමියෙකු වූ මගේ පියා කියූ පරිදි අප්‍රමාදව අපරාධ සඳහා නීතිය මගින් දඬුවම් දිය හැකි තත්වය ඇති කිරීම සඳහා පොලිසියේ විමර්ශනය හා සැකකරුවන් අත්අඩංගුවට ගැනීම මෙන්ම නීතිපති දෙපාර්තමේන්තුව, අධිකරණය ආදී ආයතන වල කාර්යක්ෂම භාවය වැඩිකිරීම අත්‍යාවශ්‍ය වෙයි.

මේ සියල්ලටම වඩා අත්‍යාවශ්‍ය ප්‍රමුඛතාවක් පවතින බව මේ දිනවල ආණ්ඩුවේ බොහෝ මැති ඇමතිවරුන් කියන කතා මෙන්ම ආණ්ඩුවේ සපෝටර්ලාගෙන් පමණක් නොව පොලිසියේ ඇතැම් උසස් බලධාරීන්ගෙන් අහන්න ලැබෙන කතා දෙස බැලීමෙන් පෙනේ. වැලිගම ප්‍රාදේශීය සභා සභාපතිවරයා ඝාතනය වූ අවස්ථාවේ ආණ්ඩුවේ ලොක්කන් ප්‍රකාශ කළේ ඝාතනය වූ අය ලියාපදිංචි අපරාධකරුවෙක් නිසා ඔහුට පොලිස් ආරක්ෂාව ලබා දීම නොහැකි වූ බව ය. එමෙන්ම ඔහුට එරෙහිව නීති විරෝධී අවි ආයුධ සන්තකයේ පවතින බවට තොරතුරු ලැබී තිබුණු බව ය. 

waligama lasa 251024

ඒ අන්දමින් අපරාධවලට සම්බන්ධතා ඇති බවට තොරතුරු ලැබී ඇත්නම් එබඳු පුද්ගලයින්ට එරෙහිව ජීවිත තර්ජන හෝ වෙනත් හානි කරන බවට තර්ජනවලින් ඔවුන් ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා රාජ්‍යයේ ක්‍රමවේදයක් නැතැයි ආණ්ඩුවේ බලධාරීන්ම ප්‍රසිද්ධියේ නොකියා කියා තිබේ. ඒ මගින් එබඳු තර්ජන ඇති අපරාධ චෝදනාවලට නඩු පවතින විත්තිකරුවන්ට ආරක්ෂාව සඳහා නීති විරෝධී ක්‍රම හරහා රටින් පලා යන ලෙස හෝ තමාගේ ආරක්ෂාව තමාම බලාගත යුතු බවට වක්‍ර පණිවුඩයක් දුන්නේ ද යන්න පැහැදිලි නැත. ඒ අනුව ආණ්ඩුව අපරාධකරුවන් ගැන පිළිවෙත විවෘතව කිව යුතු ය.

පොලිසියේ ඉහළ බලධාරීන් ද නොකියා කියන්නේ සංවිධානාත්මක අපරාධ කල්ලි අතර ගැටුම් පවතින බවත් මේ සිදුවන මරණ හා වෙඩි තැබීම් ඒවායේ ප්‍රතිඵල බවත් ඒ නිසා තර්ජන ඇත්තේ එබඳු කල්ලිවල අයට හා ඔවුන් හා සම්බන්ධතා ඇති අයට බැවින් මහජනතාව ඒ ගැන බිය විය යුතු නැති බව ය. සංවිධානාත්මක අපරාධ කල්ලි අතර ගැටුම් නිසා විවෘත සමාජයේ මිනී මරා ගැනීම හා වෙඩි තබා ගැනීම් නිසා රටේ නීතියේ ආධිපත්‍යයට බරපතල ගැටලුවක් පවතින බව පොලිසියේ මේ බලධාරීන් නොදන්නේද? දේශපාලඥයින් හා ඔවුන්ගේ සපෝටර්ලා කෙසේ කතා කළත් රටක පොලිසියේ බලධාරීන්ට මෙසේ කතා කළ නොහැකි ය.

මේ නිසා සියලුම අපරාධකරුවන් අරබයා ආණ්ඩුවේ ප්‍රතිපත්තිය වන්නේ ඔවුන්ට එරෙහිව අප්‍රමාදව අධිකරණ ක්‍රියා මාර්ග ඔස්සේ නීත්‍යානුකූලව දඬුවම් ලබා දීමට අවශ්‍ය කරන කටයුතු සිදු කිරීම බවත් නීතියෙන් බලය ලත් නිලධාරීන් හැර වෙනත් කවර හෝ පුද්ගලයෙකුට අනීතිකව ක්‍රියාත්මක වීමට ඉඩ නොතැබීම ආණ්ඩුවේ ප්‍රතිපත්තිය බවත් ආණ්ඩුවේ සාමාජිකයින්ට හා සහය දක්වන්නන්ට හා නීතිය ක්‍රියාත්මක කරන්නන්ට අවබෝධ කර දීම ප්‍රමුඛ කාර්යයක් ලෙස කළ යුතුව ඇත. එවිට වත් ඔය ආකාරයේ මෝඩ අදහස් පළ කිරීම නවතිනු ඇති දැයි බැලිය හැකි ය.

cort 250530

ඒ අතර කවර හෝ අපරාධයක් සිදුව උපරිම වසර පහක් තුල අධිකරණ ක්‍රියාමාර්ග අවසන් කළ හැකි වන ලෙස රාජ්‍ය පද්ධති වැඩි දියුණු කිරීමටත් ආණ්ඩුවේ ප්‍රමුඛතාවයට ඇතුළු කළ යුතු වීම ද අවශ්‍ය ය. මේ අන්දමින් පැහැදිලි ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමේදී ආණ්ඩුවේ කකුලෙන් නොඇද සහය දැක්වීම විපක්ෂයේ වගකීම ය. එසේ නොමැතිව කැලෑ නීතියක් සමාජයේ ක්‍රියාත්මක කර පවත්වාගෙන යාමට තනි තනි පුද්ගලයින්ට හෝ කල්ලි කණ්ඩායම්වලට ඉඩ නොමැති වන අන්දමට නීතියෙන් පවරාදී ඇති බලතල ක්‍රියාත්මක කිරීමට නීතිය ක්‍රියාත්මක කිරීමේ රාජ්‍ය බලධාරීන් ක්‍රියා කළ යුතු ය.

එය අපූරුවට කළ හැකි වෘත්තීය මට්ටමේ නිලධාරීන් ශ්‍රී ලංකා පොලිසියේ හිඟ නැති බව ඉකුත් 26 වන දා එළි දැක්වුණු වීඩියෝවේ සිටි පොලිසියේ අණ නොතකා ධාවනය වූ වෑන් රථය ලුහුබැඳගෙන ගොස් රියදුරාව අත්අඩංගුවට ගත් රථ වාහන පොලිස් නිලධාරීන් දෙදෙනා රටට මැනවින් පෙන්වා දී තිබේ.

sunil Kannangara
(සටහන | සුනිල් කන්නන්ගර)
කොළඹ රත්නපුර සහ අම්පාර හිටපු මහ දිසාපති
skannangara1959@gmail.com

(vinivida.lk)

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ආණ්ඩුව අපරාධකරුවන් ගැන පිළිවෙත විවෘතව කිව යුතුයි | සුනිල් කන්නන්ගර | The Leader