සමකාලීන ශ්‍රී ලාංකික දේශපාලන නායකයින්ගේ නාමාවලිය තුළ, ලක්ෂ්මන් කදිරගාමර් කැපී පෙනෙන්නේ අසමසම ඒකාග්‍රබව, කුසාග්‍ර බුද්ධිය සහ අව්‍යාජ දේශප්‍රේමය පිළිබඳ දිදුලන චරිතයක් ලෙස ය. ඔහුගේ මතකය සමාජය තුල මහා ගෞරවය, සහ කනගාටුව යන දෙකම ඇති ඇති කරලනු ලැබිය. ඔහු කෙරෙහි වූ ගෞරවය වන්නේ නායකයෙකු ලෙස ඔහු ළඟා වූ උසට වෙනත් කිසිවෙකුට ලඟා වීමට නොහැකි මහා කන්දක් වීමයි. එහෙත් කඩා හැලෙන කණගාටුව වන්නේ, ඔහු ඉතිරි කළ හිස්බවයි.
පටු ප්‍රචාරකවාදී අරමුණු වලින්, සහ බලයෙන් උද්දච්චව ව දේශපාලන පොරපිටියේ අද සමහර අඟුටුමිටි නායකයින්, "අපි කදිරගාමර්වරුන් 159 දෙනෙකු බිහි කළා!" යනුවෙන් පුරසාරම් දොඩවති. අවස්ථාවාදීන්ගේ මෙවැනි ප්‍රකාශ විසින් ඔහුගේ නම අපහරණය කිරීම ඛේදවාචයක් වගේම විකාර සහගතය. ඒ මක්නිසාද යත්, කදිරගාමර් චරිතය මූර්තිමත් නොකර ඔහුගේ නම යොදා ගැනීම කදිරගාමර් මතකයට කැළලක් ඇති කරන නිසාවෙනි. එනම් ජීවත්ව, සිටියේ සහ තවදුරටත් සිටින්නේ එක් ලක්ෂ්මන් කදිරගාමර් කෙනෙකු පමණක් නිසාවෙනි.
ලක්ෂ්මන් කදිරගාමර් මහතාගේ මිය යාම පිළිබඳ මරණ දැන්වීමක් පලකල ගාඩියන් පුවත්පත (The Guardian 2005 අගෝස්තු 13) මෙලෙස සටහනක් දක්වා තිබිණ.

“රාජ්‍ය තාන්ත්‍රික කටයුතුවලට හෘද සාක්ෂියක් ලබා දුන් ඒ දුර්ලභ මිනිසා ඔහුයි.”
දේශපාලනය බොහෝ විට ප්‍රඥාවන්තයන්ට වඩා කපටියන්ට සම්මාන සහ අවස්ථාවන් දෙන යුගයක, ලක්ෂ්මන් කදිරගාමර් වෙනස් අනුපිළිවෙලක රාජ්‍ය ත්‍රාන්තිකයෙක් විය. ඔහුගේ ප්‍රවේශයන් සහ දූත මෙහෙවර හුදෙක්ම අලංකාරවාදී නොවුවා පමණක් නොව, එය ක්‍රියාකාරී ප්‍රවේශයක් විය. ඔහු කතා කළේ හුදෙක් අසා සිටීමට පමණක් නොව, විසඳුම් අභිමුඛ කිරීමට ය. ඔහුගේ වචන ගෝලීය රාජ්‍ය තාන්ත්‍රිකත්වයේ ගැඹුරු ආකර්ෂණයට රැගෙන යන ලදී.
එහෙත් ඔහුගේ හදවත ශ්‍රී ලංකාවේ රිද්මයට අනුව ස්පන්දනය විය. අද, දේශපාලන ප්‍රචාරකවාදීන් ඔහුගේ නම නොසැලකිලිමත් ලෙස භාවිතා කරන විට, තමන් ආමන්ත්‍රණය කරන මිනිසාගේ ආත්මය කවදා හෝ තේරුම් ගෙන ඇත්දැයි කෙනෙකුට කල්පනා වේ.
විද්වතෙක් සහ විශිෂ්ඨ රාජ්‍යත්‍රාන්තිකයෙක්
1932 දී කොළඹ උපත ලබා, කදිරගාමර් මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලැබීය. ඔහු කුඩා කල සිටම බුද්ධිය සහ නායකත්වය යන දෙකෙහිම විශිෂ්ටත්වය පෙන්නුම් කළේය.
පාසලේදී ඔහු ප්‍රසිද්ධ වූයේ විචිත්‍රත්වය සඳහා පමණක් නොව විනය හා ගැඹුරු දේශප්‍රේමිත්වයද ඔහු තුල විශද කළේය. වරෙක යෞවන කදිරගාමර් අග්‍රගන්‍ය රෝම කවියෙකු වූ හොරේස්ගේ කවි පේළියක් සිය පාසල් සමකාලින මිතුරෙකුගේ සමරු පොතක මතක සටහනක් ලෙස තැබිය. "තම රට වෙනුවෙන් මිය යාම කෙතරම් ගෞරවනීය හා කොතරම් මිහිරිද?" යනු ඒ සටහනයි. මෙම තරුණ හැඟීම අවසානයේ රට වෙනුවෙන් වූ ප්‍රාණ පරිත්‍යාගික මරණයක් වෙනු ඇතැයි කාට නම් කිව හැකිව තිබුණිද?.
ඔහු රග්බි සහ ක්‍රිකට් ක්‍රීඩාවේ ත්‍රිත්ව සිංහයා වූ අතර, අසමසම කුසලතාවයකින් යුත් විවාදකරුවෙකුද විය. ඔහුගේ සර්ව සම්පූර්ණ විශිෂ්ටත්වය වෙනුවෙන් ත්‍රිත්ව විද්‍යාලයේ කීර්තිමත් රයිඩ් රන් පදක්කම දිනා ගැනීමට සමත් විය. පසුව, ඔහු ලංකා විශ්ව විද්‍යාලයෙන් නීතිය හැදෑරූ අතර අනතුරුව ඔක්ස්ෆර්ඩ් හි බැලියෝල් විද්‍යාලයට ඇතුළත් වීය. එහිදී ඔහු ජාත්‍යන්තර නීතිය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ලබා ගත්තේය. එමෙන්ම ඔහු ඔක්ස්ෆර්ඩ් සංගමයේ සභාපති ධුරයටද තේරී පත්විය. එය ගෝලීය වේදිකාවේ දක්ෂ හඬක් ලෙස ඔහුගේ අනාගතය පුරෝකථනය කළ සුවිශේෂී සන්ධිස්ථානයකි.

ඔක්ස්ෆර්ඩ් සංගමයේ සභාපති බවට පත්වීම යනු, ශ්‍රී ලාංකිකයෙකුට ලැබුණු දුර්ලභ ගණයේ ගෞරවයකි. එතුලින් ඔහුගේ බුද්ධිමය භාවිතය සහ චතුර භාෂාමය ශක්‍යතාවය සංකේතවත් කළේය. ඔහුගේ සකලවිද කුසලතා, අනන්‍යතා, සහ ශිල්පිය නිපුණතා, භාවිතා කරමින් පහසුවෙන්ම ඔහුට විදේශයක සුවපහසු වෘත්තියක් වෙත ප්‍රවේශ වීමට හැකියාව තිබුණි. නමුත් කදිරගාමර් තෝරා ගත්තේ අතිශය දුෂ්කර මාවතකි. ඔහු ආපසු සිය මව්බිම දෙසට හැරී, තම රටට සේවය කිරීමේ තීන්දුව ගනු ලැබීය. ඔහු තුල උපන් එකී දේශප්‍රේමය හුදු අවස්තාවාදයක් හෝ තක්කඩි කමක් නොව ස්වකීය ජිවන විලාසිතාවකි.
කදිර්ගාමර් ශාස්ත්‍රීය ක්ෂේත්‍රය නියෝජනය කල විද්වතෙකු ලෙස පමණක් පෙනී නොසිට, සිය වෘත්තීය ජීවිතය ජාත්‍යන්තර නීතිය, මානව හිමිකම් සහ රාජ්‍ය තාන්ත්‍රිකභාවය ප්‍රයෝගික භාවිතයක් දක්වා විහිදුවා ලීමට කටයුතු කළේය. ඒ අතරතුර, ඔහු 1994 දී විදේශ කටයුතු අමාත්‍ය ධුරයට පත්විය. ඒ අවස්ථාවද ඔහු තම මාතෘභූමිය සහ සිය ජිවන භාවිතය නැවත අර්ථකථනය කරන දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කළේය. එය අන් කිසිවක් නොව LTTE ත්‍රස්තවාදයට එරෙහිවය. එනම් එවකට ශ්‍රී ලංකාව වෙලාගෙන සිටි දිගු හා වේදනාකාරී බෙදුම්වාදී ම්ලේච්ඡත්වය පිලිබඳ ගෝලීය මතය නැවත සකස් කිරීමට ඔහු එඩිතර ප්‍රවේශයකට එළඹීය.
කොටි බෙදුම්වාදීන් විසින් ස්ථාපිත ගෝලීය දෘෂ්ඨිවාදය කණපිට ගැසීම
ලක්ෂ්මන් කදිර්ගාමර් විදේශ අමාත්‍යාංශයේ වගකීම බාර ගන්නා මොහොත වන විට, දෙමළ ඊලාම් විමුක්ති කොටි (LTTE) ඒවන විටත් ගෝලීය සන්නිවේදන ආඛ්‍යානය තුල ස්ථාන ගතව සිටියේ, “නිදහස් සටන්කරුවන්” (Freedom Fighters) ලෙසය. ඔවුන් වෙනුවෙන් අනුකම්පා සහගත ඩයස්පෝරාවක් සහ වැරදි තොරතුරු ලබා දුන් ලොබිවාදීන් (Lobbyists) පිරිසකගේ දරුණු ලෙස බලපෑමට ලක් වූ බටහිර අගනගරයන් බොහෝ විට කොටි ත්‍රස්තවාදීන් දුටුවේ ආක්‍රමණිකයන් ලෙස නොව රාජ්‍ය ප්‍රචණ්ඩත්වයට ගොදුරු නිදහස් සටන්කාමින් ලෙසය.
කදිර්ගාමර් තම රාජ්‍ය තාන්ත්‍රික මෙහෙයුම් ව්‍යාපාරය දියත් කළේ එලෙස ස්තාපිතව තිබු වැරදි තොරතුරු රැල්ලට එරෙහිවය. ඇත්ත වශයෙන්ම එය තුවක්කු කටවල් බිම් බෝම්බ, විතරක් නොව මායිම් ගම්මාන ලෙස මාතෘ භුමියේ ඉරි ගසා වෙන්කරන ලද දුෂ්කර භූමිවල එසවුන මන්නා, කැති, සහ තියුණු මුවහත් පොරෝ වලට එරෙහි උපායමාර්ගික සටනක් හැටියටය.
තම මාතෘභූමිය තුල වෙනම ඊලාම් රාජ්‍යක් ගොඩනගා ගැනීමේ ඊළම්වාදී ලෝක ප්‍රතිරූපය, තනි මිනිසෙකුට වෙනස් කළ හැකි යැයි විශ්වාස කළේ ස්වල්ප දෙනෙකි. එහෙත්, කදිර්ගාමර්, ඔහුගේ සන්සුන් සහ නිරවද්‍ය ප්‍රවේශයෙන් මෙන්ම සදාචාරාත්මක අධිකාරියෙන්, එය හරියටම ඉටු කළේය.
ඔහුගේ වඩාත්ම කැපීපෙනෙන, කල් පවතින රාජ්‍ය තාන්ත්‍රික මෙහෙයුම වූයේ ලෝකයේ ප්‍රධාන රටවල ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස දෙමළ ඊලාම් විමුක්ති කොටි (LTTE) ත්‍රස්තවාදීන් තහනම් කිරීමට ඔහු දැරූ එඩිතර උත්සාහයයි. ඔහු ලෝකය හමුවේ තර්ක කළේ කෝපයෙන් නොව තර්කානුකූලවය. “ත්‍රස්තවාදයට ජාතියක්, ආගමක්, කලාපයක් නැත, එය මනුෂ්‍යත්වය කෙලෙසන වසංගතයකි” යනුවෙන් තිර අධිටනකින් ඔහු පැවසීය.
ඔහුගේ නායකත්වය යටතේ, එක්සත් ජනපදය, එක්සත් රාජධානිය සහ ඉන්දියාව වැනි රටවල් LTTE ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස පිළිගත්තේය. එය ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදයට එරෙහි සටන පිළිබඳ ගෝලීය සංජානනය නැවත හැඩගස්වන ලද පියවරකි.

රට වෙනුවෙන් ඔහුගේ රාජ්‍යත්‍රාන්තික මෙහෙයුම මෙම ක්‍රියාමාර්ග තුලින් ඉතා පැහැදිලි විය. එල්ටීටීඊය විමුක්ති ව්‍යාපාරයක් නොවන බවත්, නූතන යුගයේ වඩාත්ම කුරිරුතම සහ ම්ලේච්ඡතම ත්‍රස්තවාදී සංවිධානයක් බවත් ලෝකයට පෙන්වීමට ඔහුට හැකි විය. ඒ සඳහා ඔහු එක්සත් ජාතීන්ගේ සංවිධානය, පොදුරාජ්‍ය මණ්ඩලය, සහ තවත් විවිධ ජාත්‍යන්තර වේදිකා අවස්ථාවන් ලෙස යොදා ගන්නා ලදී. ඔහුගේ එකී ප්‍රකාශන තුලින්, LTTE ම්ලේච්ඡ් ඝාතන, ළමා සොල්දාදුවන් බලහත්කාරයෙන් බඳවා ගැනීම්, සහ ප්‍රජාතන්ත්‍රවාදී ආයතන විනාශ කිරීම කෙරෙහි ජාත්‍යන්තර අවධානය යොමු කළේය.
මෙම සාර්ථක සන්නිවේදනය පරිණත වන විට, එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉන්දියාව සහ යුරෝපීය සංගමයේ සාමාජිකයන් ඇතුළු රටවල් 34 ක් එල්ටීටීඊය සංවිධානය තහනම් කිරීමට කටයුතු කෙරිණී.
මෙය හුදෙක්ම හුදකලා අහම්භයක් නොවන අතර එය ගෝලීය මනෝ සංජානනයේ කම්පන වෙනසක් ඇති කිරීමට සමත් වූ ප්‍රවේශයක් විය. එනම් දශක ගණනාවක් යුද්ධයෙන් බැට කෑ කුඩා දූපත් ජාතියකට, ලෝකයේ මනස වෙනස් කිරීම අසාමාන්‍ය ඕපපාතික අහම්භයක් නොවේ. එම ජයග්‍රහණය එක් මිනිසෙකුගේ බුද්ධිය, ඉවසීම සහ සදාචාරාත්මක ධෛර්යයේ නොමැකෙන සලකුණු දරා සිටියි.
දේශාභිමානී සොල්දාදුවෙකුගේ සන්නාහය දරා සිටි රාජ්‍ය තාන්ත්‍රිකයෙක්

ඔහු මිලිටරි පුහුණුව ලත් සොල්දාදුවෙකු නොවේ. එහෙත් කදිරගාමර් ජාතික ආරක්ෂාව යනු කුමක්ද ? යන්නෙහි සැබෑ අර්ථය මැනවින් කියවා තේරුම් ගත්, දෑ හිතකාමී පුරවැසියෙකි. රටේ ගෞරවය සහ එකමුතුකම ආරක්ෂා කිරීම ඔහුගේ පරම අපේක්ෂාව විය. ඔහුගේ සන්නිවේදන හැකියාව නිරවද්‍ය වූ අතර, ඔහුගේ විශ්වාසයන් යටත් නොවන සහ නොනැමෙන සුළු විය. සටන් විරාම කාල වකවානුවලදී, බොහෝ අය සැනසීමෙන් සහ මනෝමුලික ආලවන්ත හැඟීම්වලින් මුසපත්ව සිටි විට, ඔහු ස්ථිරව ප්‍රකාශ කර සිටියේ, "සැබෑ සාමයක් නොමැති නම් ත්‍රස්තවාදය සංහිඳියාවේ භාෂාවෙන් සුදු හුනු ගෑමට නොහැක" යනුවෙනි.
ඔහුගේ දේශප්‍රේමය ඝෝෂාකාරී, ප්‍රදර්ශනාත්මක හෝ හුදු කයිවාරුවක් නොවීය. ඇත්ත වශයෙන්ම එය ශ්‍රී ලාංකීය ජාතිය අන් සියල්ලටම වඩා ඉහළින් තැබූ මිනිසෙකුගේ නිහඬ, වුවත් ස්ථාවර ගිනිදැල් මෙන් විය. ඔහුට යමෙක් දේශපාලන රැලිවලට හෝ ප්‍රසිද්ධ වේදිකාවකට සහභාගී වීමට ආරාධනා කළ විට, බොහෝ විට එම ආරාධනාව සුහදව ප්‍රතික්ෂේප කරමින්, මෙසේ පැවසිය.
"මම සාම්ප්‍රදායික අර්ථයෙන් දේශපාලනඥයෙක් නොවේ. මම රටේ සේවකයෙක්" (I am not a politician in the traditional sense. I am a servant of the country)
ඔහුගේ කෘත්‍යභාවය සහ හැඟීම දේශපාලන පක්ෂ රේඛා ඉක්මවා ගිය අතර, එනිසාම ඔහුට සමාජයේ සෑම කොනකින්ම ප්‍රශංසාව දිනා ගැනීමට හැකිවිය. වරෙක ඔහු අගමැති අපේක්ෂකත්වයට පමණක් නොව අප රටේ ජනාධිපති අපේක්ෂකයාට පවා සුදුසු බවට එවකට ජවිපෙ නායකත්වයද යෝජනා කළේය.

පුද්ගලිකව තමාට මුහුණ දීමට සිදුවිය හැකි අනතුරක් හමුවේ පවා, ඔහු කිසි විටෙකත් නොසැලී සිටියේය. ඔහු නිහතමානීව ජීවත් විය, බොහෝ විට ඔහුගේ ජීවිතයට තර්ජන තිබියදීත්, පිරිවරක් නොමැතිව ගමන් කළේය. ඒ ධෛර්යය හුදෙක් නිර්භීතකමටත් වඩා එහා ගිය සමාජ ඒත්තු ගැන්වීමකි. අද "අපි කදිරගාමර් වගේ" යයි කෙඳිරිගාන ඩුප්ලිකේට් කදිරගාමර්ලාට කිසිදා අනුකරණය කළ නොහැකි සදාචාරාත්මක හා මහා පෞරුෂ ගුණය එයයි.
ඇත්ත දේශප්‍රේමියෙකුගේ ඛේදජනක අවසානය
2005 අගෝස්තු 12 වන දින රාත්‍රියේ, කොළඹ ඔහුගේ පෞද්ගලික නිවසේ පිහිනුම් තටාකය තුල සිටි ලක්ෂ්මන් කදිරගාමර්, එල්ටීටීඊ ස්නයිපර් කරුවෙකුගේ ඉලක්කයක් බවට පත්විය. ඔහුගේ ඝාතනය ජාතියක් කම්පාවට පත්කළ සිදුවීමකි. එමෙන්ම ඔහුගේ ජීවිතය නිහඬ කළ උණ්ඩය මිනිසෙකුට පමණක් නොව ජාතියක හෘද සාක්ෂියට එල්ල කල එකක් විය. ඔහුගේ මරණය ශ්‍රී ලංකාව ශෝකයට පත් කළ අතර, ආසියාවට විශිෂ්ඨතම රාජ්‍ය තාන්ත්‍රිකයෙකු අහිමිවූ බව පවසමින් ජාත්‍යන්තර ප්‍රජාව කනගාටුව පල කළහ. ලොව නන් දෙසින් උපහාර සහ ශෝකප්‍රකාශ ගලා ආවේය.
එක්සත් ජාතීන්ගේ මහලේකම් කොෆි අනන් ඔහුව "සාමය සඳහා වෙහෙස නොබලා පෙනී සිටි අයෙකු සහ මධ්‍යස්ථභාවයේ හඬක්" ලෙස හැඳින්වීය.
ඉන්දියාව ඔහුව "ත්‍රස්තවාදයට එරෙහි සටනේ මිතුරෙකු සහ සගයෙකු" ලෙස විස්තර කළේය.
එක්සත් ජනපද රාජ්‍ය ලේකම් කොන්ඩලීසා රයිස් දන්වා සිටියේ “ඔහු ශ්‍රී ලංකාවට සාමය ගෙන ඒම සඳහා තම ජීවිතය කැප කළ, ගෞරවනීය, සහ අවංක මිනිසෙකි.” වශයෙනි.
ඉන්දියාවේ අගමැතිතුමා ඔහුට "මහා ප්‍රඥාවෙන් හා ධෛර්යයෙන් යුත් රාජ්‍ය තාන්ත්‍රිකයෙකු" ලෙස උපහාර දැක්වීය.

මුළු රටක්, සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් යන සෑම ප්‍රජාවකින්ම ජනතාව එක්ව ශෝක වූහ. එක් නිමේෂයකින් ශ්‍රී ලංකාව ශෝකබරිතව එක්සත් විය. ඔහුගේ දේහය ජාතික කොඩියෙන් ඔතා තිබුණි. "රට වෙනුවෙන් මිය යාම කොතරම් ගෞරවනීය හා කොතරම් මිහිරිද" යනුවෙන් වරක් ලියූ ඒ යෞවනයා, එම සිහිනය සැබෑ කර ගත්තේ, මරණය ලුහුබැඳීමෙන් නොව, ස්වකීය මාතෘභුමියේත් ජීවිතයේත් උදාර අරමුණ උදෙසාය. එනිසාම දේශපාලන විරුද්ධවාදීන් පවා හිස නමා ආචාර කළේ රටට දුර්ලභ ආකාරයේ නායකයෙකු අහිමි වූ බව හඟවමිනි.
අනුකරණවාදය සහ අපහාසය
කෙසේ වෙතත්, වර්තමානයේ කදිර්ගාමර් පිළිබඳ මතකය අවස්ථාවාදය විසින් පවරා ගෙන ඊට පහසුවෙන් අත්පොළසන් දීමට උත්සාහ කරන අය විසින් සිදු කරන්නේ ඔහුගේ කිර්තිනාමය අපයෝජනයට ලක් කිරීමයි.
දැක්මක් හෝ ප්‍රතිපත්තියක් නොමැති දේශපාලනඥයන් ඔහුගේ නම තම හිස්වූ ජිවිත මත තවරා ගන්නේ ශ්‍රේෂ්ඨත්වය යන්න පහසු අභ්‍යාසයක් යැයි සිතමිනි.
ඔවුන් කදිරගාමර් පෞරුෂය සිය ප්‍රචාරක මෙවලමක් ලෙස භාවිතා කරන්නට උත්සහ කරන නමුත් ඔහුගේ නිහතමානීකමේ, දේශප්‍රේමිත්වයේ, හෝ බුද්ධියේ අංශු මාත්‍රයක්වත් ප්‍රදර්ශනය කිරීමට අපොහොසත් වුවෝ වෙති.
යමෙකු “අපි කදිර්ගාමර්වරුන් 159 දෙනෙකු බිහි කර ඇත්තෙමු” යැයි පවසන විට, එය ඔවුන්ගේ ප්‍රශංසාවට වඩා ඔවුන්ගේ නොදැනුවත්කම හෙළි කරයි. ශ්‍රේෂ්ඨත්වය සංඛ්‍යාවලින් ගුණ කළ නොහැක. එය මනිනු ලබන්නේ සදාචාරාත්මක ගැඹුරකින්, ජිවන භාවිතාවකින් සහ කෙනෙකුගේ ක්‍රියාවන්හි බරින් ය. සැබෑ කදිර්ගාමර් කිසි විටෙකත් මාතෘකා, සටන් පාඨ හෝ වීර වන්දනාව සෙව්වේ නැත. ඔහු ප්‍රතිඵල සෙව්වේය. ඔහු යුක්තිය හඹා ගියේය.
ලක්ෂ්මන් කදිර්ගාමර්ගේ උරුමය ඩුප්ලිකේට් පරම්පරාවට පාඩම් කිහිපයක් රැගෙන එයි.
* කෙනෙකුට තම වටිනාකම් පාවා නොදී රටට සේවය කළ හැකි බව ඔහු ඔප්පු කළේය.
* ඔහු ගෝලීය බලවතුන්ට මුහුණ දුන්නේ තර්කනය සහ සාක්ෂි සමඟ මිස ප්‍රශංසාවෙන් හෝ යටත් වීමෙන් නොවේ.
* ශ්‍රී ලංකාව කෙරෙහි ඔහුගේ ආදරය ස්වෝත්තමවාදී නොවීය, එය ප්‍රතිපත්තිගරුක වූ අතර, සියලු පුරවැසියන් සඳහා යුක්තිය සහ සමානාත්මතාවය එතුළ මුල් බැසගෙන තිබුණි.
* දේශපාලනයට ඔහුගේ අරමුණ බෙදීමට ඉඩ දීම ඔහු ප්‍රතික්ෂේප කළේය.

ඔහුගේම වචන වලින්, ඔහු වරක් මෙසේ පැවසීය. "මේ මගේ රට. මට වෙන කෙනෙක් නැහැ. මම මෙහි ඉපදුණා, මම මෙහි ජීවත් වෙනවා, මම මෙහිම මිය යන්නෙමි." එම වචන දැන් වසර ගණනාවක් පුරා පොරොන්දුවක් සහ අභියෝගයක් ලෙස දෝංකාර දෙමින් පවතී.
එබැවින්, අපට හමුවූ ඇත්ත කදිරගාමර් නියෝජනය කළේ කුමක්දැයි ඔවුන්ට මතක් කර දීමෙන් "ඩුප්ලිකේට් කදිර්ගාමර්වරුන්ට" උදව් කරමු. කුහකකම සහ මධ්‍යස්ථභාවය හෙළි කිරීමට කැඩපතක් ලෙස ඔහුගේ මතකය ඔසවා තබමු.
ශ්‍රී ලංකාවේ අනාගතය රඳා පවතින්නේ ශ්‍රේෂ්ඨත්වය අනුකරණය කරන අය මත නොව එය තේරුම් ගන්නා අය මත ය. ශ්‍රී ලාංකීකයින් සැබෑ ලක්ෂ්මන් කදිරගාමර්ව මතක තබා ගන්නා තාක් කල් මිථ්‍යාව හෝ අනුකරණය නොව, ඒ විශිෂ්ඨ මිනිසා දල්වා ගිය දීප්තිමත් පහන් ආලෝකය, අන්ධකාරය වෙතින් පියනැගීමට අපට මඟ පෙන්වනු ඇතැයි යන බලාපොරොත්තුව තවත් බොහෝ කලක් පවතිනු ඇත.

(සටහන | විජේපාල දිසානායක)
wijepaladissanayake@gmail.com
භාණ්ඩාගාරික;
ආසියානු භූ දේශපාලන තිරසතාවය, සහ සාමය සඳහා වූ කවුන්සිලය
Asian Geopolitical Sustainability & Peace Council. (AGSPeC)
Treasurer- Asian Geopolitical, Sustainability & Peace Council




