The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

අම්බලන්ගොඩ නගරය මැද යක්ෂ විමානයක්! - සෝබා කෝලියවංශ

T

The Leader Desk

October 30, 2025 • 7:01 AM

අම්බලන්ගොඩ නගරය මැද යක්ෂ විමානයක්! - සෝබා කෝලියවංශ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පළා පෙති කැටයමින් සැදුණු ඇහිබැමද, කුණ්ඩලාභරණද මුහුණෙහි සියුම් කැටයම් සහ වර්ණ රටාද දෙස නෙත් යොමන විට ඔහු පෙනෙන්නේ යකෙකු නොව රජෙකු මෙනි.
  • ජර්මන් ‍ෆෙඩරල් ජනරජයේ විදේශ අමාත්‍යාංශයෙහි සහ බටහිර බර්ලිනයේ මානව විද්‍යා කෞතුකාගාරයෙහි අනුග්‍රහය ඇතිව ඉදි කෙරුණු එය 1987 අප්‍රේල් 02 වැනිදා මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත කෙරිණි.
  • එවක් පටන් පුරා 38 වසරක් මුළුල්ලේ දෙස් විදෙස් සංචාරකයින් දසලක්ෂ සංඛ්‍යාත පිරිසක් එහි ඇති අනගි කලා කෘති රස විඳ තිබේ.
  • ලාංකීය සාම්ප්‍රදායික කලා ශිල්ප ලොවට හඳුන්වාදීමට මෙන්ම ලාංකීය සමාජය සතු ආගන්තුක සත්කාරක ගුණය පිළිබඳව විදේශිකයන්ට සමීප අත්දැකීමක් ලබා දීමටද එය හේතු වන්නට ඇති බව නිසැකය.
අකුරු ප්‍රමාණය (Font Size):


පළා පෙති කැටයමින් සැදුණු ඇහිබැමද, කුණ්ඩලාභරණද මුහුණෙහි සියුම් කැටයම් සහ වර්ණ රටාද දෙස නෙත් යොමන විට ඔහු පෙනෙන්නේ යකෙකු නොව රජෙකු මෙනි. මට ඔහු ගැන බියක් වෙනුවට 'පිළිබඳ සිතක්' පහළ වෙයි. නූතන කුල සිරිතට අනුව මම ඔහුට ළං වී 'සෙල්ෆියකට' මුහුණ යොමමි.

ඒ යකා මට මුලිච්චි වුණේ, යකුන්ට මෙන්ම යකුන් මට්ටු කරන යකැදුරන්ටද පරසිදු, දකුණු පළාතේ අම්බලන්ගොඩදීය. හරියටම කිවහොත් අම්බලන්ගොඩ වෙස්මුහුණු කෞතුකාගාරයේදීය.

 

WhatsApp Image 2025 10 30 at 10.15.32 AM

අම්බලන්ගොඩ නගරයේ පිහිටි, ආරියපාල වෙස්මුහුණු කෞතුකාගාරය, ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික ශාන්තිකර්ම හා නර්තන කලාව හා බැඳුණු අපූරු ඉතිහාසයකට උරුමකම් කියන ඉපැරණි කලාවක් වූ 'වෙස්මුහුණු කලාව' වෙනුවෙන්ම කැප වුණ එකම කෞතුකාගාරයයි. ජර්මන් ‍ෆෙඩරල් ජනරජයේ විදේශ අමාත්‍යාංශයෙහි සහ බටහිර බර්ලිනයේ මානව විද්‍යා කෞතුකාගාරයෙහි අනුග්‍රහය ඇතිව ඉදි කෙරුණු එය 1987 අප්‍රේල් 02 වැනිදා මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත කෙරිණි. එවක් පටන් පුරා 38 වසරක් මුළුල්ලේ දෙස් විදෙස් සංචාරකයින් දසලක්ෂ සංඛ්‍යාත පිරිසක් එහි ඇති අනගි කලා කෘති රස විඳ තිබේ.

නොමිලේ දෙන අමිල වරම

WhatsApp Image 2025 10 30 at 10.25.53 AM
එය අම්බලන්ගොඩ පාරම්පරික වෙස්මුහුණු කලාවේ සියවස් දෙකකටත් එහා ගිය සාඩම්බර උරුමයක් සහිත 'ජුවන්වඩු' පරපුරේ ශිල්පීන්ගේ මිල කළ නොහැකි නිර්මාණාත්මක වටිනාකම් එක්තැන් වූවකි. සාම්ප්‍රදායික ශාන්තිකර්මවලදී භාවිත වන යක්ෂ, රාක්ෂ සහ දේව මුහුණු මෙන්ම හාස්‍යය ආත්ම කොට ගත් පැරණි කලාංගයක් වූ 'කෝලම්'වලදී භාවිත කරන මුහුණුද එහිදී දැක ගත හැකිය.

මෙම කලා කෘති ස්පර්ශ නොකර සමීපව නිරීක්ෂණය කිරීමට, සටහන් කර ගැනීමට මෙන්ම ඡායාරූපයට නැගීමටද තහනමක් නැත. එහි ඇසුර ලැබූ කලාකරුවන් සහ පර්යේෂකයන් බොහෝය. මෙම කෞතුකාගාරය ඇරඹූ දා සිට එතරම් අනගි සේවාවක් ඉටු කරන්නේ සම්පූර්ණයෙන්ම නොමිලයේ වීම සුවිශේෂ කාරණයකි. ලාංකීය සාම්ප්‍රදායික කලා ශිල්ප ලොවට හඳුන්වාදීමට මෙන්ම ලාංකීය සමාජය සතු ආගන්තුක සත්කාරක ගුණය පිළිබඳව විදේශිකයන්ට සමීප අත්දැකීමක් ලබා දීමටද එය හේතු වන්නට ඇති බව නිසැකය. එහෙත් ඇතැම් දේශීය යක්ඛ පුතුන් එම කලා කෘතිවල වටිනාකමට මෙන්ම රටේ නම්බුවටද නොගැළපෙන ලෙස හැසිරෙනු දුටු විට, 'යකෙක් වත් ගහපිය මුන්ට' කියා සිතුණි.

ජුවන්වඩු කලා පරපුර

WhatsApp Image 2025 10 30 at 10.25.59 AM
WhatsApp Image 2025 10 30 at 10.15.33 AMඅම්බලන්ගොඩ ජුවන්වඩු කලා පරපුර, වසර 225කට වඩා පැරණි ඉතිහාසයකට හිමිකම් කියන, වෙස් මුහුණු හා ශාන්තිකර්ම ශිල්පයෙහි නිපුණ පරම්පරාවකි. කෞරව වංශික ප්‍රභූ පරපුරක් ලෙස පිළිගැනෙන ඔවුන්ගේ දායකත්වය, අම්බලන්ගොඩ ආශ්‍රිත කලාපයෙහි ආගමික හා කලා සංස්කෘතික ඉතිහාසය සමග බැඳී පවතී. අම්බලන්ගොඩ සුනන්දාරාම පුරාණ විහාරය අභියස ඇති කලාත්මක තොරණ, ජුවන්වඩු ඔන්දිරිස් ද සිල්වා (1860-1929) වඩු ආරච්චි මහතාගේ නිර්මාණයකි. ඔහුගේ මුණුපුරකු වන ජුවන්වඩු ආරියපාල ද සිල්වා විජේසූරිය (1901-1995) හෙවත් ආරියපාල ගුරුතුමා එම පරපුරේ උරුමය ලොවට ගෙන යෑමට පුරෝගාමී මෙහෙවරක් ඉටු කළ අනුප්‍රාප්තිකයාය. ඔහු විසින් නිර්මාණය කරන ලද කලාත්මක වෙස් මුහුණු ලොව පුරා විවිධ කෞතුකාගාරවල ප්‍රදර්ශනය කෙරෙන අතර, කෝලම් නර්තනයෙහි දක්ෂ ශිල්පීන් රැසක් බිහි කිරීමට පුරෝගාමී වූවෙකි. දක්ෂ ශාන්තිකර්ම ශිල්පියකු හා නක්ෂත්‍රයෙහි ප්‍රවීණයකු වූ ඔහු, අම්බලන්ගොඩදී වාර්ෂිකව පැවැත්වෙන, දෙවොල් දෙවියන් අනුස්මරණය කෙරෙන පෙරහැර සඳහා පුරෝගාමී විය. ඔහුගේ දෙටු පුත් බන්දු විජේසූරියද (1939-2005) දක්ෂ කැටයම්කරුවකු මෙන්ම නාට්‍ය හා සංගීත ශිල්පියෙකි. අම්බලන්ගොඩ වෙස් මුහුණු කෞතුකාගාරයේ ඇති වෙස් මුහුණු බොහොමයක් ඔහු විසින් නිර්මාණය කර ඇති අතර, පරපුරේ සෙසු සාමාජිකයින් සමග එක්ව කෞතුකාගාරය පිහිටුවීමේ පුරෝගාමී වැඩ කොටසක් ඉටු කර ඇත්තේ ඔහුය.

අම්බලන්ගොඩ වෙස්මුහුණු කලාවට ජුවන්වඩු විජේසූරිය පරපුරේ සබැඳියාව පිළිබඳ අපූරු තොරතුරු රැසක්, කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථියකු වන එම්.ඒ. දිශාන් මධුෂංඛ විසින් 2022 වසරේදී සම්පාදනය කෙරුණු, 'ලාංකේය වෙස්මුහුණු නිෂ්පාදන කලාවේ ව්‍යුහාත්මක වෙනස් වීම් පිළිබඳ සමාජ විද්‍යාත්මක අධ්‍යයනයක්' නැමති පර්යේෂණ නිබන්ධයෙහි ඇතුළත් වේ. එහි ඇතුළත් එක් නිරීක්ෂණයක් වන්නේ අතීතයේ මෙම කලාව මුළුමනින්ම පිරිමින්ට පමණක් සීමා වී තිබුණු අතර මෑතකාලීනව එම තත්ත්වය යම් පමණකට වෙනස් වී ඇති බවයි.

යක්ෂ, රාක්ෂ සහ කෝලම් මුහුණු

amb 1

ශ්‍රී ලංකාවේ පාරම්පරික වෙස්මුහුණු ප්‍රභේද කිහිපයකට වර්ග කෙරෙන නමුත් පර්යේෂකයන් අතර ඒ පිළිබඳ ඒකමිතියක් නැත. කෙසේ නමුත් රාක්ෂ මුහුණු, යක්ෂ මුහුණු, සන්නි මුහුණු, මිත්‍යා මුහුණු, දිව්‍ය මුහුණු, කෝළම් මුහුණු, සත්ව මුහුණු යනාදී එම ප්‍රභේද සියල්ලටම අයත් වෙස්මුහුණු අම්බලන්ගොඩ කෞතුකාගාරයේදී දැක ගත හැකිය. කෞතුකාගාරය සතු එකතුවෙහි විවිධ වර්ගවල වෙස්මුහුණු 120ක් පමණ ඇති අතර සීමිත ඉඩකඩ හේතුවෙන් එහි ප්‍රදර්ශනය කරන්නේ ඉන් කොටසක් පමණක් බව දැනගන්නට ලැබිණි. කෙසේ නමුත් අප කොතෙක් අසා තිබුණද දැක නොතිබුණු අනංගයාද, මහසෝනාද තවත් බොහෝ අයද එහිදී මුණගැසිණි. ඇතැම් මුහුණක් අප දන්නා හඳුනන මිතුරන්ද සිහිගැන්වීය.

එහි ඇති කෝලම් මුහුණු එකතුව, ජසයලා- ලෙන්චිනාලා වැනි පොඩි මිනිසුන් පමණක් නොව, ආරච්චිලා, මුදලිලා සහ රජුන් පවා නිර්දය ලෙස උපහාසයට ලක් කළ අපූරු කලාවක් පිළිබඳ සාක්ෂියකි. හිටිවන කොමඩියකට හෝ හාස්‍යජනක පෝස්ටුවකට පවා සීඅයිඩී දුවන උදවිය අම්බලන්ගොඩ පැත්තේ රවුමක් ගිහින් ආවොත් හොඳ නැද්දැයි අපට සිතිණි.

වෙස්මුහුණු වැඩපොළ සහ අලෙවිසැල

 

AMB 2
වෙස්මුහුණු කපන්නේ කදුරු ලීයෙනි. කදුරු ගස් දැක නැති අයට බලාගන්නට යෝධ කදුරුගස් දෙකක් කෞතුකාගාර මිදුලේ වවා තිබේ. මිදුලේ කෙළවරක ඇති වෙස්මුහුණු වැඩපොළේදී, වෙස්මුහුණු කැපීමේ විවිධ අදියර සජීවීව නැරඹිය හැකිය. ඇතැම් විදෙස් සංචාරකයෝ, කැටයම් ශිල්පීන්ගෙන් උපකරණ හා අමුද්‍රව්‍ය ඉල්ලාගෙන එම ශිල්පය පිළිබඳ සුළු අත්දැකීමක් විඳ ගනිති. එම මහඟු අවස්ථාව ඡායාරූපයට නගති. තැනෙක කෝලම් මුහුණකට සිය උපැස් යුවළ පළඳවා කුඩා දරුවකු සේ අහිංසක සතුටක් ලබන විදේශිකයෙකි. තවෙකෙකු වෙස්මුහුණු වර්ණගැන්වීමේ නිරත යුවතියකට සමීප වන්නේ එම අත්දැකීම ලබා ගැනීමේ උද්යෝගයෙනි. සංචාරක බස් රථයක් පැමිණි විට බොහෝ වෙලාවකට වැඩපොළේ කටයුතු සිදු වන්නේ ඔයාකාරයෙනි.

 

WhatsApp Image 2025 10 30 at 10.25.57 AM 2

කෞතුකාගාර උඩුමහලේ පිහිටි වෙස්මුහුණු ඇතුළු කලා නිර්මාණ වෙළෙඳසැල, එහි පැමිණෙන සියල්ලන්ට විවෘත වූවක් නොවේ. සංචාරකයින් සහ කලා කෘති මිලදී ගන්නා පාරිභෝගිකයින් සඳහා සීමිත ප්‍රවේශයකට ඉඩ සලසන එම විස්කම් මැදුර නැරඹීමේ අවස්ථාව අපට ලැබුණු විශේෂ වරප්‍රසාදයකි. විවිධ පරිමාණයේ වෙස්මුහුණු, ලී කැටයම්, චිත්‍ර, ආභරණ, කාඩ්පත් ආදී නිර්මාණ විශාල එකතුවක් එහි තිබේ. ඒවායේ මිල ගණන්, කලා කෘතියක අගය හඳුනන හා එවැන්නක් අත්පත් කර ගැනීමට ක්‍රයශක්තිය ඇති අයට මිස සාමාන්‍ය රසිකයන්ට නොවන බව පෙනුණි. කෞතුකාගාරයේදී අප දුටු වෙස්මුහුණක රුව ගුණ සහිත ඇතැම්  වෙස් මුහුණක වටිනාකම රුපියල් ලක්ෂ 5ක් පමණ විය. ශාන්තිකර්ම හා බැඳුණු එහි සාම්ප්‍රදායික අරුතින් ක්‍රමයෙන් විතැන් වූ වෙස්මුහුණු කලාව මේ තරමින් හෝ ආරක්ෂා වී පවතින්නේ එයට ඇති වෙළෙඳපොළ වටිනාකම හේතුවෙනි. කලාත්මක වටිනාකම් ආරක්ෂා කර ගනිමින්, රටට විදේශ විනිමය උපයා දිය හැකි මාධ්‍යයක් ලෙස වෙස් මුහුණු කලාව ප්‍රවර්ධනය කළ හැකිය.

කර්මාන්තයෙහි අභියෝග

WhatsApp Image 2025 10 30 at 10.25.57 AM
අම්බලන්ගොඩ වෙස්මුහුණු කෞතුකාගාරයේ ප්‍රධාන හවුල්කරු ජුවන්වඩු භද්‍රානන්ද විජේසූරිය, සිය පරපුරේ උරුමය ගැන මෙන්ම එහි වත්මන් අභියෝග පිළිබඳවද අපට විස්තර කළේය.

 

"මගේ තාත්තා ඉන්න දවස්වල තමයි වුල්ෆ්ගන් කියන ජර්මන් ජාතික මහත්මයා තමන්ගෙ ආචාර්ය උපාධි පර්යේෂණය සඳහා ලංකාවට එන්නෙ. පර්යේෂණයට විෂය වුණේ ලංකාවේ වෙස්මූණු කලාව. ඒ විදියට තමයි අපේ තාත්තා අඳුනාගන්නේ. මේ වටින කලාව සංරක්ෂණය කරන්න ලංකාවේ රජයෙන් පියවර ගන්නෙත් නැති නිසා කාලෙකින් අභාවයට යයි කියලා හිතලා එතුමාගේ රටට මේ කෞතුකාගාරය හදන යෝජනාව ඉදිරිපත් කරලා තියෙනවා. ජර්මන් රජය ඒ යෝජනාව පිළිඅරගෙන නිවසම කෞතුකාගාරය බවට පත්කරනවා.


අපිට ඕන අපේ කලාව ගැන අවබෝධයක් ලබාදෙන්න. කෞතුකාගාරය පවත්වාගෙන යන්නේ මූල්‍ය පරමාර්ථයකින් නෙවෙයි. කලා කෘති අලෙවි කිරීමෙන් ලබාගන්නා මුදලින් තමයි කෞතුකාගාරය නඩත්තු කරන්නෙ. සම්පූර්ණයෙන්ම නොමිලේ ප්‍රදර්ශනය කළත් ඇතැම් අයට මේකෙ කිසි වටිනාකමක්, අගයක් දැනෙන්නෙ නෑ. වසර සියයක් තරම් පැරැණි කලා කෘතිවලට හානි වෙන විදියට හැසිරෙනවා.
 
AMB 3
සේවක සේවිකාවන් 20කට ආසන්න ප්‍රමාණයක් ආයතනය තුළ සේවය කරනවා. ඒ වගේම අපේ වැඩබිමෙන් පුහුණුව ලබා  ගෘහස්ත කර්මාන්තයක් ලෙස පවත්වාගෙන යන අයත් ඉන්නවා. පුහුණු වෙන්න කැමති ඕනම කෙනෙකුට අපි මේ කලාව උගන්වන්න සූදානම්. මේ දිනවල විශ්වවිද්‍යාල සිසුන් පවා අප ආයතනයේ පුහුණු වෙනවා.
අපේ කර්මාන්තයට තියෙන විශාලම අභියෝගය තමයි වෙස්මුහුණු කැපීමට භාවිත කරන කදුරු ලී හිඟ වීම. ලවණ ගතිය වැඩි නිසා වී ගොවිතැන් කිරීමට නොහැකිව අතහැර දමා තිබෙන පුරන් කුඹුරුවල කදුරු ශාක වගා කරන්න පුළුවන්. අපේ ශ්‍රමයෙන් හා වියදමෙන් කදුරු ශාක සිටුවීමේ බලාපොරොත්තුවෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහාය ඉල්ලා සිටියත් සාර්ථක පිළිතුරක් ලැබුණෙ නැහැ. වගා කටයුතු සඳහා භාවිත කිරීමට නොහැකි වගුරු බිම් කදුරු වගාව සඳහා නිදහස් කර දෙනවා නම් මේ කර්මාන්තයට කරන විශාල උදව්වක්.”
amb 4
 
සංස්කෘතික අමාත්‍යාංශය යටතේ ඇති අටෝරාසියක් අනුමණ්ඩලවලින්, වෙස්මුහුණු කලාව අයත් වන්නේ කවර අනුමණ්ඩලයකට දැයි පැහැදිලි නැත. කෙසේ වෙතත්, සංස්කෘතික ඇමති ආචාර්ය සුනිල් සෙනවි මහතා ගම රට බලා යන වෙලාවක අම්බලන්ගොඩ මඳක් නතර වුණොත්, මේ ප්‍රශ්නවලට විසඳුම් එතරම් දුර නොවනු ඇතැයි අපට සිතුණි.

WhatsApp Image 2025 10 30 at 10.25.59 AM 1සෝබා කෝලියවංශ
sobakoliyawanshe@gmail.com
 
 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

අම්බලන්ගොඩ නගරය මැද යක්ෂ විමානයක්! - සෝබා කෝලියවංශ | The Leader