The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

හෙද නිල ඇඳුම වෙනස් විය යුතු ද? හෙදියන්ට අවශ්‍ය වෙනස කුමක් ද?

T

The Leader Desk

October 30, 2025 • 9:02 AM

හෙද නිල ඇඳුම වෙනස් විය යුතු ද? හෙදියන්ට අවශ්‍ය වෙනස කුමක් ද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකාවේ හෙද සේවයේ වසර 4ක පමණ කාලයක් සේවය කර, දැන් එක්සත් රාජධානියේ ලියාපදිංචි හෙදියක ලෙස සේවයේ නිරත නදීරා රත්නායක බීබීසී සිංහල සමග එලෙස පැවසුවේ, වර්තමානයේ හෙදියන්ගේ නිල ඇඳුම සම්බන්ධයෙන් රට තුළ නිර්මාණය වී ඇති කතාබහ පිළිබඳව අදහස් දක්වමිනි.
  • පසුගිය දා මුස්ලිම් සිවිල් සංවිධාන නායකයින් සමග පැවති සාකච්ඡාවකදී විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් ප්‍රකාශ කළේ, ආගමික අනන්‍යතාව ආරක්ෂා කර ගනිමින් හෙදියන්ට නිල ඇඳුම ඇඳීමේ බාධාවක් නොමැති බව ය.
  • නමුත් මෙම ප්‍රකාශය හෙද සංගම්වල විරෝධයට හේතු වූ අතර ඇතැම් පාර්ශව ප්‍රකාශ කළේ, තමන්ට අදාළ නොවන විෂය පථයක් සම්බන්ධයෙන් තීන්දු තීරණ ලබා දීමට ඔහුට බලයක් නොමැති බව ය.
  • නදීරා 32 හැවිරිදි වියේ පසුවන අතර එක්සත් රාජධානියේ හෙද සේවයේ ද වසර තුනකට අධික කාලයක් සේවයේ නියුතු හෙදියකි.
අකුරු ප්‍රමාණය (Font Size):


ශ්‍රී ලංකාවේ හෙද සේවයේ වසර 4ක පමණ කාලයක් සේවය කර, දැන් එක්සත් රාජධානියේ ලියාපදිංචි හෙදියක ලෙස සේවයේ නිරත නදීරා රත්නායක බීබීසී සිංහල සමග එලෙස පැවසුවේ, වර්තමානයේ හෙදියන්ගේ නිල ඇඳුම සම්බන්ධයෙන් රට තුළ නිර්මාණය වී ඇති කතාබහ පිළිබඳව අදහස් දක්වමිනි.

පසුගිය දා මුස්ලිම් සිවිල් සංවිධාන නායකයින් සමග පැවති සාකච්ඡාවකදී විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් ප්‍රකාශ කළේ, ආගමික අනන්‍යතාව ආරක්ෂා කර ගනිමින් හෙදියන්ට නිල ඇඳුම ඇඳීමේ බාධාවක් නොමැති බව ය.

"මුස්ලිම් නර්සස්ලාට, ඩොක්ටර්ස්ලාට මේක අඳින්න එපා කියලා චක්‍රලේඛයක් කොහෙවත් ගහලා නැහැ. ඒ නිසා ඒකට නිදහස තියෙනවා. NTS එකට තමයි තියෙන්නේ," ඔහු පැවසීය.

 



නමුත් මෙම ප්‍රකාශය හෙද සංගම්වල විරෝධයට හේතු වූ අතර ඇතැම් පාර්ශව ප්‍රකාශ කළේ, තමන්ට අදාළ නොවන විෂය පථයක් සම්බන්ධයෙන් තීන්දු තීරණ ලබා දීමට ඔහුට බලයක් නොමැති බව ය.

නදීරා 32 හැවිරිදි වියේ පසුවන අතර එක්සත් රාජධානියේ හෙද සේවයේ ද වසර තුනකට අධික කාලයක් සේවයේ නියුතු හෙදියකි. ඇය පෙන්වා දුන්නේ, සේවය කිරීමට පහසු නිල ඇඳුමක් කෙරෙහි අවධානය යොමු විය යුතු අතර ම ක්ෂේත්‍රය තුළ දැනුම සහ කුසලතා සංවර්ධනය කෙරෙහි ද වැඩි අවධානය යොමු විය යුතු බව ය.

මේ, ඒ පිළිබඳව කෙරෙන විමසුමකි.

'මට තේරෙන විදිහට මම ඇඳපු පහසු ම කිට් එක තමයි ස්ක්‍රබ්ස් කිට් එක'

නදීරා රත්නායක ශ්‍රී ලංකාවේ රජයේ රෝහල් කිහිපයක ම සේවය කර තිබේ. නමුත්, තමන් ලද අත්දැකීම් ඇසුරෙන් ඇය පෙන්වා දෙන්නේ, ස්ක්‍රබ්ස් නිල ඇඳුම වඩාත් පහසු බව ය.

medical cloths

"මම මෙහෙ අඳින්නේ ස්ක්‍රබ්ස් කිට් එක. නිල් පාට ෂර්ට් එක සහ දිග කලිස ම කියන එක, ලේස් නැති කලු සපත්තු එක්ක. මම හිතන්නේ, මට තේරෙන විදිහට මම ඇඳපු පහසු ම කිට් එක තමයි ස්ක්‍රබ්ස් කිට් එක," ඇය පැවසුවා ය.

රෝගීන්ට සත්කාර කිරීමේදී ඇති පහසුව අනුව ජාත්‍යන්තර වශයෙන් හෙදියන් අඳින ස්ක්‍රබ්ස් ඇඳුම ලොව බොහෝ රටවල්වල භාවිත වන බව කී ඇය මෙරට හෙදියන්ගේ නිල ඇඳුම වෙනස් නොවන්නේ හෙදියන්ගේ ම ආකල්ප හේතුවෙන් බව පැවසීය.

"සමහර හෙද හෙදියන් හිතන් ඉන්නවා යුනිෆෝම් එක නැති වුණා ම, ඒ කියන්නේ අපේ මේ සම්ප්‍රදායික හෙද නිල ඇඳුම නැති වුණා ම නර්සින් නැති වෙයි කියලා. මම හිතන්නේ නැහැ නිල ඇඳුම මූලික කරගෙන නර්සින් නැති වෙයි කියලා.

මම හිතන්නේ නර්සින් නැති වෙන්නේ ලෝකය ඉස්සරහට යනකොට අපි ඒකට විරුද්ධව ගතානුගතික විදිහට හිටපු තැන ම ඉන්න ගත්තා ම, අපි ලෝකයත් එක්ක ම ඉස්සරහට යන්නේ නැති වුණා ම තමයි නර්සින් අගාධයට යයි කියලා මම විශ්වාස කරන්නේ," ඇය විස්තර කළා ය.

'වටිනාකම අතින් ගත්තා ම දැනට තියෙන යුනිෆෝම් එක හොඳයි'

"යුනිෆෝම් එක හදලා තියෙන්නේ හැම කොටසකින් ම සංකේතයක් එන විදියට. වටිනාකම අතින් ගත්තා ම දැනට තියෙන යුනිෆෝම් එක හොඳයි," අනන්‍යතාව හෙළි නොකරන ලෙස ඉල්ලා සිටි මධ්‍යම පළාතේ රජයේ රෝහලක සේවයේ නියුතු හෙදියක් පැවසුවා ය.

වසර 5කට වැඩි හෙද සේවයේ අත්දැකීම් ඇති චතුරිකා [සැබෑ නම නොවේ] බීබීසි සිංහල වෙත පැවසුවේ, හදිසි අවස්ථාවලදී පවා දැනට පවතින නිල ඇඳුම භාවිත කිරීමේ අපහසුවක් නොමැති බව ය.

"ආමි එකේ යුනිෆෝම් එකක් හරි පොලිසියේ යුනිෆෝම් එකක් හරි ගත්තා ම ඒකත් ටිකක් අර මේ අපේ යුනිෆෝම් එක වගේ නේ. ස්ටෑන්ඩර්ඩ් එකක් තියෙනවා නේ. ඒ විදිහට, කෙනෙකුට වෘත්තිමය විදිහට පේන විදියට යුනිෆෝම් එකක් තියෙනවා නම් හොඳයි," හෙදියන්ගේ නිල ඇඳුම වෙනස් විය යුතු නම් ඒ කෙසේ දැයි කළ විමසීමේ දී ඇය පැවසුවා ය.

 

nurse
වසර 11කට ආසන්න කාලයක් කොළඹ ප්‍රධාන පෙළේ කාන්තා රෝහලක සේවයේ නිරත හෙදියක වන මහේෂිකා [සැබෑ නම නොවේ] බීබීසි සිංහල වෙත අදහස් දක්වමින් සඳහන් කළේ, "අපි මේ දවස වෙනකම් මේ යුනිෆෝම් ඒක පාවිච්චි කළා නේ. දැඩි අපහසුවක් කියන එකක් නම් මම අත්දැකලා නැහැ," යනුවෙනි.

"පිටරටවල ෆොටෝ එකක් දැක්කත් මෙයා නර්ස් ද, ඩොක්ටර් ද කියලා හඳුනාගන්න අපහසුයි නේ. හැබැයි අපේ ෆොටෝ එකක් දැක්කොත් පොඩි ළමයෙක් වුණත් දන්නවා මේ නර්ස් කෙනෙක් කියලා. මේක වෙනස් වීමට ලක් වෙනවාට වඩා මේ විදිහට තියෙන එක හොඳයි. කොලිටි එකක් රැකෙන විදිහට පොඩි පොඩි වෙනස්කම් වෙනවා නම්, ඒක ජාත්‍යන්තරවත් කොලිටි එක රැකගෙන වෙනස් වෙනවා නම් ඒක ප්‍රශ්නයක් නැහැ," මහේෂිකා පැවසුවා ය.

හෙදියන්ගේ නිල ඇඳුම කෙරෙහි දක්වන ඇල්ම හේතුවෙන් බොහෝ දෙනෙකු හෙද සේවයට ඇතුළත් වන බව ද හෙදියන් දෙදෙනා ම සඳහන් කළහ.

'අපි කොරෝනා කාලේ ඇඳපු එක පහසුයි. දැන් අපි අඳින එකේ කෑලි වැඩියි'

කෙසේ වෙතත්, නැගෙනිර පළාතේ රජයේ රෝහලක සේවයේ නිරත හෙදියක වන ෆාතිමා [සැබෑ නම නොවේ] බීබීසී සිංහල වෙත පැවසුවේ, වත්මන් හෙද නිල ඇඳුමේ ගැටලු පවතින බව ත් රාජකාරි කිරීමේදී ඒ හේතුවෙන් අපහසුතාවට පත්වන අවස්ථා ඇති බව ත් ය.

ජාතීන් පදනම් කර ගත් ගැටලු ඇති නොවන පරිදි "ආගමික අනන්‍යතාව ආරක්ෂා කර ගනිමින්" නිල ඇඳුම් ඇඳීමට අවසර දෙන්නේ නම්, තමා ඒ පිළිබඳව සතුටට පත්වන බව ඇය පැවසුවා ය.

එසේ වුව ද ඇය පෙන්වා දුන්නේ, නිල ඇඳුම සම්බන්ධයෙන් ගත් කල පහසුව කෙරෙහි අවධානය යොමු විය යුතු බව ය.

"දැන් තියෙන යුනිෆෝම් එකේ ගැටලු තියෙනවා. ඒක කොටයි. අපි පහත් වෙලා වැඩ කරද්දී ඒ නිසා අපහසුතාවට පත් වෙනවා. පිරිමි ලෙඩ්ඩුන්ට පවා අපි සාත්තු කරනවනේ.

IV දානකොට, IV ස්ටෑන්ඩ් උසයි නේ. අත උස්සල නේ දාන්න ඕනේ. එතකොට ලෙඩා ඉන්නේ ඇඳේ. ඒ වෙලාවට අපහසුතාවක් දැනෙනවා. සමහර අයට කොටට අඳින එක සාමාන්‍ය වෙන්න පුළුවන්. නමුත් අපිට ඒක අවුල් වගේ දැනෙනවා," ඇය තමන් විඳි අත්දැකීම් ඇසුරින් පැවසුවා ය.

"අපේ ආගමේ තියෙන්නේ ඔළුවත් වහන්න ඕනේ කියලා. පිටරටවල මුස්ලිම් නර්ස්ලා වහනවා. වහන්නේ නැතුවත් ඉන්නවා. ඒ වගේ අපේ විධියට යුනිෆෝම් එක අඳින්න දුන්නොත් හොඳයි.

අපි සේවය දෙන්න ආවේ හැමෝට ම. මුස්ලිම් අපියි කියලා වෙනසක් පෙන්නන්න නෙවෙයි. අපි නිදහසේ වැඩ කරන්න ඕනේ. එතකොට අපිට හිතටත් සතුටයි නේ," ඇය පැහැදිලි කළා ය.

 

nurse kovid
ෆාතිමා යෝජනා කරන්නේ, කොවිඩ් වසන්තගත සමයේ හෙදියන් ඇඳි ඇඳුම වඩා ත් පහසු බව ත් එවැනි ඇඳුමක් නිල ඇඳුමක් ලෙස හඳුන්වා දෙන්නේ නම් වඩාත් උචිත බව ත් ය.

"අපි කොරෝනා කාලේ ඇඳපු එක පහසුයි. දැන් අපි අඳින එකේ කෑලි වැඩියි නේ. කොලර් වෙන ම, ගැලටි වෙන ම, ඒප්‍රන් වෙන ම... ස්ක්‍රබ්ස් වගේ වුණා ම, ඒක ඉක්මනට වේලන්න පුළුවන්. දැන් තියෙන යුනිෆෝම් එක, හුළඟක් ආවොත් පිටිපස්සෙන් අල්ලන් තමයි අපි යන්න ඕනේ. එතකොට අපහසුතාවට පත් වෙනවා," ඇය තවදුරටත් පැවසුවා ය.

හදිසි අවස්ථාවලදී පහසු ඇඳුමක් ඇඳ සිටීමෙන් වඩාත් ඵලදායී මෙන් ම කාර්යක්ෂම සේවයක් රෝගීන් වෙනුවෙන් ලබා දිය හැකි බව ඇය පෙන්වා දුන්නා ය.

"CPR දෙනකොට පහසු ඇඳුමක් තිබ්බා නම් ගොඩක් ලේසියි. මමත් ICU කරනකොට CPR දීලා තියෙනවා. ඒ වෙලාවට මට අතන පේනවා, මෙතන පේනවා කියලා හිතට එන්නේ නැහැ. හැබැයි, අපේ ඉස්සරහ අනිත් මිස්ලා CPR දෙද්දී අපිට පේනවනේ. එතකොට අපිට හිතෙනවා පහසු ඇඳුමක් තිබ්බා නම් හොඳයි කියලා."

නදීරා රත්නායක ද මීට සමාන අදහසක් පළ කළා ය.

"සමහර වෙලාවට බිමට අරන් CPR දෙන අවස්ථා තියෙනවා. එතකොට ඒ වගේ දෙයක් කොච්චර පහසුවෙන් කරන්න පුළුවන් ද කියන එක බලන්න ඕනේ අර සාය ‍ඇඳගෙන. මොක ද ඔය සාය ඇඳලා බිම දණ ගහගෙන, නැමීගෙන CPR දෙන්න නර්සස්ලා කම්ෆටබල් නෑ. අනික කොතනින් පෙනෙයි ද, බෙල්ල හිර වෙනවා, කොලර් එකට, ඒවාගේ දේවල් නිසා තමයි මම හිතන්නේ නිල ඇඳුම වෙනස් වෙන්න ඕන කියලා," ඇය පැහැදිලි කළා ය.

 

nurse SL
හෙද නිල ඇඳුම සම්බන්ධයෙන් ඇතැම් හෙද හෙදියන් සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් දක්වමින් සඳහන් කර තිබුණේ, එය "ආගමික ඉල්ලීම් මත නොව හෙදියගේ රාජකාරී ස්වභාවය අනුව යාවත්කාලීන කළ යුතු බව ය."

මේ අතර ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව සේවාව සැපයීමට සිදු වන බැවින් එවැනි තත්ත්වයන්ට මුහුණ දීමට වර්තමාන නිල ඇඳුම කොතෙක් දුරට සුදුසු ද යන්න සිතා බැලිය යුතු බවට, හෙද සේවාව සම්බන්ධ ෆේස්බුක් සමූහයක පළ කර තිබිණි.

අධ්‍යයන මගින් හෙළි වූ තොරතුරු

ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ සෞඛ්‍ය විද්‍යා පීඨයේ හෙද අධ්‍යයනාංශයේ පර්යේක්ෂකයින් පිරිසක් විසින් 2019 වසරේදී සිදු කරන ලද 'සාම්ප්‍රදායික හෙද නිල ඇඳුම: ශ්‍රී ලාංකික හෙදියන්ගේ දෘෂ්ටිකෝණයන්' යන අධ්‍යයනයෙන් හෙළි වී ඇත්තේ, හෙදියන් සාම්ප්‍රදායික නිල ඇඳුමට පමණක් නොව නවීන නිල ඇඳුමකට ද එක සේ කැමැත්තෙන් සිටින බව ය.

මෙරට සියලු ම මහ රෝහල් සහ ශික්ෂණ රෝහල්වලින් අහඹු ලෙස තෝරාගත් කාන්තා හෙදියන් 2,233 දෙනෙකු මෙම අධ්‍යනය සඳහා සම්බන්ධ කර ගෙන තිබේ. ඔවුන්ගෙන් බහුතරයක් එනම් 88%ක් විශ්වාස කළේ, නිල ඇඳුම හෙදිය සහ සේවාදායකයා අතර විශ්වාසය ගොඩනගන බව පර්යේෂකයින් සිය අධ්‍යනය මගින් පෙන්වා දී ඇත.

හෙදියන්ගෙන් 35%ක් නිල ඇඳුම තමන් විලාසිතාවලින් ඈත් කර තබන බවටත් 30%ක් එය තමන් කළමනාකරණයට පක්ෂපාතී කරන බවටත් සඳහන් කර තිබේ.

nurse2

ප්‍රතිඵලවලින් අවධාරණය කර ඇත්තේ, හෙදියන් 44.1%ක් වෙනස්කම් නොමැතිව වත්මන් නිල ඇඳුමට කැමැත්තක් දැක්වූ අතර, 43.4%ක් අනාගත නිල ඇඳුම ලෙස හිස් වැසුමක් සහිත ස්ක්‍රබ් භාවිත කිරීමට කැමති වූ බව ය.

කෙසේ වෙතත්, 60.5%ක්, රාජකාරි කටයුතු කිරීමේදී එක් නිල ඇඳුමක් සහ උත්සව වැනි අවස්ථා සඳහා වෙනත් නිල ඇඳුමක් තිබිය යුතු බවට සඳහන් කළ බව පර්යේෂකයෝ පවසති.

නව නිල ඇඳුමක් හඳුන්වා දිය යුතු බවට කැමැත්ත දැක්වූ අය අතරින් 89%කට විදෙස් රටවල අත්දැකීම් තිබුණු බව ද ඔවුන් සිය පර්යේෂණය මගින් පෙන්වා දී ඇත.


තව ද, සපත්තු (72%), ගවුම් (46%) සහ කැප් (38%) ඇඳීම සුවපහසු වූ නමුත් වත්මන් නිල ඇඳුම තුළ හෙදියන්ට ඒප්‍රන් (55%), කරපටි (54%) සහ බඳ පටිය (35%) ඇඳීම අපහසු බව පර්යේෂකයෝ පෙන්වා දෙති.

අනාගත නිල ඇඳුම නිල් පැහැති විය යුතු බවට 62% දෙනෙකු කැමැත්තක් දැක්වූ අතර එමගින් ජ්‍යෙෂ්ඨත්වය පෙන්වීමට අවශ්‍ය නොවන බවට 56.4%ක් එකඟ වූහ. එමෙන් ම 51.8%ක් ළමා වාට්ටු සඳහා විශේෂ ඇඳුමක් අවශ්‍ය නොවන බව සිතන බව එහි වැඩිදුරටත් දක්වා තිබේ.

'ස්ක්‍රබ්ස් ඇඳුම ගැහැනු පිරිමි දෙපාර්ශවයට ම අඳින්න පුළුවන්'

නදීරා රත්නායක පෙන්වා දුන්නේ, වර්තමානයේ මෙරට භාවිත වන හෙදියන්ගේ නිල ඇඳුම ඇඳීමට සැලකිය යුතු කාලයක් ගත වන බව ය.

"ඔය ඇඳුම කොටස කොටස මැදලා ඇඳ ගන්න සෑහෙන වෙලාවක් යනවා. ස්ක්‍රබ්ස් කිට් එකෙන් තියෙන අනිත් වාසිය ඒක. ඒකෙ කලිසම ඇඳ ගත්තා, ෂර්ට් එක දාගත්තා. අර තරම් අමාරු නැහැ," යැයි ඇය සිය අත්දැකීම් ඇසුරින් විස්තර කළා ය.
doctors scrub suits 2015549252 p1szm1ye"ස්ක්‍රබ්ස් ඇඳුම පිරිමි සහ ගැහැනු හෙද නිලධාරීන්ට වෙනස් නොමැතිව භාවිත කරන්න පුළුවන් ඇඳුමක්," ඇය පෙන්වා දුන්නා ය.

ඇය සඳහන් කළේ, එක්සත් රාජධානියේ උණුසුම අධික කාලවලදී හෝ විශේෂ උත්සව කාලවලදී ස්ක්‍රබ්ස් ඇඳුම් නොවන සැහැල්ලු ඇඳුමකින් සැරසී සේවයේ නිරත වීමට ද අවස්ථාව ඇති බව ය.
"මම අහලා තියෙනවා ගොඩක් අය නර්සින් එන්න කැමති ඇයි කියලා ඇහුවා ම කියන ප්‍රධාන හේතුවක් තමයි නිල ඇඳුමට තියෙන කැමැත්ත. නිල ඇඳුම ලස්සනයි කියන එක.

ඒක ඇත්ත. නමුත් එයාලා නර්සින්වලට ඇවිල්ලා ටික දවසකින් ඒ ආසාව නැති වෙලා යනවා. මොක ද ඒ අයට තේරෙනවා ප්‍රයෝගිකව මේකෙ තියෙන ගැටලු."

| බීබීසී සිංහල

සබැඳි පුවත් :

මුස්ලිම් හෙදියන්ට තම ආගමික අනන්‍යතාව රකිමින් නිල ඇඳුම් ඇඳීමට අනුමැතිය දීමට මුරුත්තෙට්ටුවේ හිමිගේ විරෝධය  

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...