The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

දුස් තොරතුරු පතුරවමින් හා චේතනාන්විතව මගහැරීම් කරමින් අනාථ කර ඇති රටේ ප්‍රජාතන්ත්‍රවාදය | සුනිල් ජයසේකර

T

The Leader Desk

October 30, 2025 • 9:29 AM

දුස් තොරතුරු පතුරවමින් හා චේතනාන්විතව මගහැරීම් කරමින් අනාථ කර ඇති රටේ ප්‍රජාතන්ත්‍රවාදය | සුනිල් ජයසේකර

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අතීතයේ අවස්ථා ගණනාවක් සැලකිල්ලට ගතහොත් බිහිසුණු යුද ගැටුම් මැද හා වෙනත් ආකාරයේ අතිශය දුෂ්කර වාතාවරණයන් තුළ පවා ශ්‍රී ලංකාව තුළ පළාත් සභා මැතිවරණ පවත්වා තිබේ.
  • එහෙත් මේ වන විට පළාත් සභා තුනකට අදාළව 2012 වසරින් පසු මැතිවරණ පවත්වා නැත.
  • තවත් පළාත් සභා තුනක අවසන් වරට මැතිවරණ පවත්වා ඇත්තේ 2013 වසරේ දී ය.
  • ඉතිරි පළාත් සභා තුනෙහිද අවසන් වරට මැතිවරණ පවත්වා ඇත්තේ 2014 වසරෙහිය.
අකුරු ප්‍රමාණය (Font Size):

අතීතයේ අවස්ථා ගණනාවක් සැලකිල්ලට ගතහොත් බිහිසුණු යුද ගැටුම් මැද හා වෙනත් ආකාරයේ අතිශය දුෂ්කර වාතාවරණයන් තුළ පවා ශ්‍රී ලංකාව තුළ පළාත් සභා මැතිවරණ පවත්වා තිබේ.

 

local government250510

එහෙත් මේ වන විට පළාත් සභා තුනකට අදාළව 2012 වසරින් පසු මැතිවරණ පවත්වා නැත. ඒවා නම් නැගෙනෙහිර, සබරගමුව හා උතුරු මැද ය. තවත් පළාත් සභා තුනක අවසන් වරට මැතිවරණ පවත්වා ඇත්තේ 2013 වසරේ දී ය. ඒ මධ්‍යම, වයඹ හා උතුරු පළාත් සභාවන්හිය. ඉතිරි පළාත් සභා තුනෙහිද අවසන් වරට මැතිවරණ පවත්වා ඇත්තේ 2014 වසරෙහිය. එනම් ඌව, බස්නාහිර හා දකුණු පළාත් සභාවන්හිය. ඒ අනුව 2012 වසරේ මැතිවරණ පවත්වා 2017 දී කාලය අවසන් වූ පළාත් සභා තුන සැලකිල්ලට ගෙන බැලීමේදී වසර අටක කාලයක සිට මේ රටේ පළාත් සභා අක්‍රීය කිරීම ආරම්භ කර තිබේ.

මේ ආකාරයට එක් අතකින් රටේ මූලික නීතියට, එනම් රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පිටුපාමින් හා ජනතාවගේ චන්ද හිමිකමට නිග්‍රහ කරමින් පළාත් සභාවන්හි මහජන නියෝජනය වලක්වා ඇත්තේ මේ රටේ ආණ්ඩු කිහිපයක්ම චේතනාන්විතවම තම මූලික වගකීමක් පැහැර හරිමිනි. ඊට දැක්විය හැකි හේතුන් දෙකකි.

Vote
* පළමුවැන්න, රටේ විධායක ජනාධිපවරයාට ව්‍යවස්ථානුකූලව ලැබී ඇති බලය තව දුරටත් ව්‍යාප්ත  කරගනිමින් ආණ්ඩුකාරවරුන් හරහා මහජන නියෝජිතයන් වෙත පැවරී ඇති බලයක් ද නතුකර ගැනීමට ඒ මගින් හැකියාව ලැබෙන නිසාය.

* දෙවැන්න බලයේ සිටින ආණ්ඩුව කෙරෙහි මතුවන ජනතා අප්‍රසාදය හේතුවෙන් විරුද්ධ පක්ෂ කරා ජනතාව ඒකරාශී වීම වැලක්වීමය. 2015 දී බලයට පත් වූ  යහපාලන රජය පළාත් සභා මැතිවරණ සම්බන්ධයෙන් අනුගමනය කර ඇති පිළිවෙත සළකා බැලීමේදී ඒ බව මැනවින් තේරුම්ගත හැකිය.

ඒ කුමණ අරමුණකින් හෝ වේවා මේ අකාරයට රටේ ප්‍රජාතන්තවාදයට පිටුපා කටයුතු කරන්නටද, ජනතාවගේ අභිවෘද්ධියට සෘජුවම අදාළ වන ක්‍රේෂ්ත්‍ර ගණනාවක්ම පාලනය වන ආයතන පද්ධතියක පැවැත්ම හා ක්‍රියාකාරිත්වය දුර්වල කිරීමට හේතුවන ජනතා නියෝජනය අහිමි කරන්නට ද මේ රටේ ජනාධිපතිවරුන් ප්‍රමුඛ ආණ්ඩුවලට පහසු වී ඇත්තේ පළාත් සභා ක්‍රමය පිළිබඳව ජන මනස තුළ තහවුරු කර තිබෙන දුර්මත ද හේතුවෙනි. එවැනි ප්‍රධාන දුර්මත දෙකක්  දැකිය හැකිය. ඉන් පළමු වැන්න  වන්නේ පළාත් සභා වෙත බලය විමධ්‍යගත කිරීම, බෙදුම්වාදයට පාර කැපීමක් වන බවය.

TV small

එවැනි මතයක් ජන මනස තුළ කාවැද්දීමට ජාතිවාදී දේශපාලන හා සමාජ බලවේග පසුගිය කාලය පුරාම අනවරත ක්‍රියාන්විතයක යෙදුනි. ඒ සඳහා අවශ්‍ය ප්‍රමාණයටත් වඩා දුස් තොරතුරු සමාජගත කිරීමට අප රටේ ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍ය තුළ ජනමාධ්‍යවේදීන් ද අප්‍රමාණ දායකත්වයක් ලබා දී තිබේ.

පළාත් සභා හදුන්වාදීමට පදනම සැපයූ ඉන්දු ලංකා ගිවිසුම හා එකී ගිවිසුම සඳහා ඉන්දියාව අප රටට ඇතිකළ දේශපාලන හා යුදමය තෙරපුම ද ඊට හේතුවක් වූ බව පිළිගත යුත්තකි. එහෙත් අද වන විට එය අප රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ද තහවුරු කර ඇති හා 1987 අංක 42 දරණ පනත හෙවත් පළාත් සභා පනත  මගින් බලාත්මක කර ඇති පාලන ඒකකයක් බව අප අමතක නොකල යුතුය.

එමෙන්ම බලය විමධ්‍යගත කිරීමක් රටක් බෙදී යාමට නොව එකාග්‍ර කිරීමට හේතුවන බවට වන උදාහරණ ඕනෑ තරම් තිබේ. ඒ සමගම බලය විමධ්‍යගතකරණය විශාල රටවල් සඳහා පමණක්‍ සුදුසු එකක් යන්නද මිත්‍යාවකි. ඒ සඳහා හොඳම උදාහරණය වන්නේ ස්විස්ටර්ලන්තය ය. එමෙන්ම මනා පාලනයකින් යුතු පළාත් සභාවකට ජනතා යහපත වෙනුවෙන් කොතරම් දේ කල හැකිද යන්නට ජයවික්‍රම පෙරේරා මහ ඇමතිවරයා යටතේ පාලනය වූ වයඹ පළාත් සභාවම අපට උදාහරණයකි.

 

dd112aaaassaa

පළාත් සභා පිළිබඳව දුස් තොරතුරු මගින් ජන මනස තුළ පැළපදියම් කර ඇති දෙවැනි හා තවත් එක් බලවත් දුර්මතයක් වන්නේ පළාත් සභා යනු සුදු අලියෙක්‍ ය යන්නය. එය එසේ නොවන බවට හොඳම උදාහරණය වන්නේ මහජන නියෝජිතයන්ගෙන් සමන්විතව ඇතැම් පළාත්  සභාවන් පැවැති 2019 වසරට සාපේක්ෂව මහජන නියෝජිතයන් නොමැතිව පාලනය වූ 2022 වසරේදී පළාත් සභා සඳහා වැඩි මුදළක් වැයකර තිබීමය.

2023 අගෝස්තු මස 22 වන දා නිකුත් වූ ලංකාදීප පුවත්පත වාර්තා කර ඇති ආකාරයට පළාත් සභා මන්ත්‍රීවරුන් සිටි,2019 වසරේ පළාත් සභා සඳහා දැරූ වියදමට වඩා මහජන මන්ත්‍රීවරුන් නොසිටි, 2022 වසරේදී රුපියල් කෝටි 14,136 ක වැඩිපුර මුදලක් පළාත් සභා සඳහා වැයකර ඇත.

aa189268921746891724
එපමණක් ද නොව මුදල් කොමිසමේ ලේකම්වරයා උපුටා දක්වමින් එදා ලංකාදීප පුවත්පත වාර්තා කර ඇති ආකරයට පළාත් සභාවන්හි මහජන නියෝජිතයන් සඳහා එනම් මහ ඇමැතිවරුන් හා අනෙකුත් මැති ඇමැතිවරුන් සඳහා වැය වී ඇත්තේ පළාත් සභා සඳහා වැය වන සමස්ථ වියදමින් සියයට එකටත් වඩා බොහෝසෙයින් අඩු මුදල් ප්‍රතිශතයකි. අනෙක් අතට පළාත් සභා සඳහා වැය කරන මුදල් සැලකීමේදී වැඩිම මුදලක් වැය කරන්නේ සේවක වැටුප්, වෙනත් දීමනා ද ඇතුළත් පුනරාවර්ථන වියදම් වෙනුවෙනි.

පළාත් සභා ක්‍රියාත්මක වුවද නොවුව ද රටක් වශයෙන් අප කොහොමටත් එකී මුදල වැය කල යුතුය. ඒ අනුව පැහැදිලි වන්නේ පළාත් සභා සුදු අලියෙක් ය යනුවෙන් පතුරවා ඇත්තේ දැවැන්ත මිත්‍යාවක් වන බවය.

දැන් අප සලකා බැලිය යුත්තේ අද වන විට පළාත් සභා මැතිවරණ පැවැත්විය නොහැකි ආකාරයට අක්‍රීය වී ඇත්තේ, නොඑසේ නම් වඩාත් නිවැරදි ආකාරයට එකී මැතිවරණ අක්‍රීය කර ඇත්තේ කෙසේද යන්නය. එය එසේ වූයේ පළාත් සභා ක්‍රමය සංශෝධනය කිරීමට ගෙන ආ සංශෝධනයක් නිසා නම් නොවේ. පසුගිය යහපාලන ආණ්ඩු සමයේදී පළාත් සභා මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම අරමුණු  කරගනිමින් පත්කළ පළාත් සභා මැතිවරණ සම්බන්ධ සීමා නිර්ණ කමිටුව ඉදිරිපත් කළ වාර්තාව පාර්ලිමේන්තුවේ බහුතරයකින් පරාජයට පත්කිරීම හේතුවෙනි.

 

8 1 1068x601
මෙම ප්‍රශ්නය විසඳීම සඳහා සීමා නිර්ණ කමිටුව විසින් ඉදිරිපත් කරන ලද වාර්තාව 2018 දින 52 ව්‍යවස්ථා අර්බුදය මධ්‍යයේ යටපත් විය. එතැන් සිට කිසි විටෙකත් සලකා බැලීම සඳහාවත් සීමා නිර්ණ යෝජනාවක් ඉදිරිපත් කරනු ලැබුවේ නැත.

ඒ අනුව දැනට ක්‍රියාත්මක පළාත් සභා පනත අනුව පළාත් සභා මැතිවරණ පවත්වන්නට නම් අලුත් සීමා නිර්ණයක් සිදු කල යුතුය. එහෙත්, ඒ සඳහා විධිමත් අන්දමින් කටයුතු කරන බවක් නොපෙනේ. ඒ සඳහා ගතවිය හැකි කාලය ද බොහෝ විශාල විය හැකිය. එහෙත් එකී තත්වය හේතුවක් කර ගනිමින් තවදුරත් පළාත් සභා මැතිවරණය කල් දැමීමට කටයුතු නොකල යුතුමය. දැන් කල යුත්තේ පළාත් සභා පනත තිබුණු ආකාරයෙන් ප්‍රතිස්ථාපනය කිරීම සඳහා අවශ්‍ය සංශෝධන සිදු කිරීමය.

එහිදී පළාත් සභා මැතිවරණය දින නියමයක් නොමැතිව කල්දැමීමට හේතු වූ අර්බුදකාරී තත්ත්වයට විසදුමක් ලෙස එම්. ඒ සුමන්තිරන් මන්ත්‍රීවරයා විසින් පසුගිය පාර්ලිමේන්තුවේදී ගෙන ආ පෞද්ගලික මන්ත්‍රී යෝජනාව උපයෝගී කර ගත හැක. පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් විසින් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ඉදිරිපත් කර තිබුණේ පෙර පැවති මැතිවරණ ක්‍රමයට යලිත් ප්‍රවේශ වීමේ අවහිරය බිඳ දැමීමටය. එය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සුළු සංශෝධන සහිතව අනුමත කර ඇති බව ද අප අමතක කල යුතු නැත.

එදා එම පාර්ලිමේන්තුවට එකී යෝජනාව ගෙන ආ මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් අද පාර්ලිමේන්තුව නියෝජනය කරනේ නැත. එබැවින් එකී යෝජනාව වත්මන් පාර්ලිමේන්තුවට සලකා බැලිය නොහැකි බව ද සත්‍යයකි. එහෙත් එම යෝජනාවම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දී තිබුණු  සුළු සංශෝධන ද සැලකිල්ලට ගනිමින්, අද පාර්ලිමේන්තුව නියෝජනය කරන ශානක්‍යන් රාසමානික්කම් මන්ත්‍රීවරයා විසින් ඉදිරිපත් කර තිබේ.

 

Parliment 1200px 22 11 14 1000x600
අද පාර්ලිමේන්තුව සතු වගකීම වන්නේ ඒ අනුව කටයුතු කරමින් නොපමාව පළාත් සභා මැතිවරණය පවත්වා රටේ මහජන නියෝජනය සහතික වූ පළාත් සභා ආයතන සුජාතකරණය කිරීමය. විධායක ජනාධිපති බලයෙන් ජනනය වන බලයෙන් පළාත් සභා මුදාගැනීමය

ඒ සඳහා අද බලයේ සිටින රජයට කිසිදු අපහසුවක් නැත. පාර්ලිමේන්තුව තුළ මන්තීවරුන් 159 කින් සමන්විත අති බහුතර බලයක් ඔවුන් සතුව තිබේ. එමෙන්ම 2024 ජනාධිපතිවරණයේ ප්‍රචාරණ ව්‍යාපාරය තුළදී වත්මන් ජනාධිපතිවරයා වන අනුර කුමාර දිසානායක මහතා ද  එකී ජනාධිපතිවරණයේ දී අනුශූරයා  වූ සජිත් ප්‍රේමදාස මහතා යන දෙදෙනාම 13වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීමට සහ කල් දැමූ පළාත් සභා මැතිවරණ පැවැත්වීමට කැපවන බව ප්‍රකාශයට පත් කර ඇත.

ඒ අනුව වත්මන් රජය පාර්ලිමේන්තුව තුළ ඒ  සඳහා ගනු ලබන පියවරකට ආණ්ඩු පක්ෂයේ අති බහුතරය ද ඉක්මවාලන ඒකමතික අනුමතයක් පවා ලබාගත හැකි විභවයක් පවතී. ඔවුන් එසේ නොකරනතාක් සිදුකරන්නේ රටක් ලෙස ජනතා පරමාධිපත්‍යය බරපතළ ලෙස උල්ලංඝනය කිරීමකි. එමෙන්ම එකී දෝෂය දුරු කරන තෙක් ශ්‍රී ලංකාව තවදුරටත් ව්‍යවස්ථාවාදයට ගරුකරන රාජ්‍යයක් ලෙස සැලකිය නොහැකිය.

sunil jayasekara(සටහන | සුනිල් ජයසේකර)
මාධ්‍යවේදී හා සමාජ ක්‍රියාකාරික
sunil.jayasekara@gmail.com>

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...