The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ජයග්‍රහණයට පියවරු බොහෝය...

T

The Leader Desk

October 30, 2025 • 11:37 AM

ජයග්‍රහණයට පියවරු බොහෝය...

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දකුණු ආසියාතික මළල ක්‍රීඩා උළෙලේ රන් පදක්කම් තුනක් දිනා ගනිමින් සිරිලක් මාතාව රනින් සැරසූ ''සෆියා යමික් දියණිය'' ගැන අද අපේ රටේ බොහෝ දෙනා ආඩම්බරයෙන් කතා කරන්නේ ඇය දිනාගත් අනගි පදක්කම් නිසාම නම් නොවේ.
  • ඒ සම්බන්ධයෙන් සංවේදී කරුණු රැසක් මේ වන විට රට පුරා අනාවරණය වී ජනී ජනයා අතරේ කතා කතාබහට ලක්වී උණුසුම් මාතෘකාවක් වී ඇති නිසාය.
  • සෆියා යමික් නැමැති ඒ උදාර අභිමානවත් යුවතියගේ ජයග්‍රහණයට අද වනවිට අයිතිකරුවන් බොහෝ සිටින බව පෙනේ.
  • නිලක්ෂි හපුගොඩ ඒ ගැන දුක හිතෙන අනුවේදනීය කතාවක් පසුගිය දිනෙක මට අසන්නට ලැබුණේ සෆියා යමික් පුංචි කාලයේ සිට ඇයගේ දෙමව්පියන්ට අමතරව රැක බලාගත් ආදරණීය විහාරමහා දේවී විදුහල් මාතාවේ විදුහල්පතිනිය ලෙස සේවය කළ නිලක්ෂි හපුගොඩ මැතිණිය හමුවීමත් සමග ය.
අකුරු ප්‍රමාණය (Font Size):


දකුණු ආසියාතික මළල ක්‍රීඩා උළෙලේ රන් පදක්කම් තුනක් දිනා ගනිමින් සිරිලක් මාතාව රනින් සැරසූ ''සෆියා යමික් දියණිය'' ගැන අද අපේ රටේ බොහෝ දෙනා ආඩම්බරයෙන් කතා කරන්නේ ඇය දිනාගත් අනගි පදක්කම් නිසාම නම් නොවේ. ඒ පදක්කම් තුන දිනාගන්නට ඈ මෙතෙක් දුර ආ දුෂ්කර ගමන හා එහිදී ඇයට මෙන්ම ඇගේ භාරකරුවන්ටද කරන්නට සිදු වූ අප්‍රමාණ කැපකිරීම ගැන බොහෝ දෙනා සංවේදී නිසාය... ඒ සම්බන්ධයෙන් සංවේදී කරුණු රැසක් මේ වන විට රට පුරා අනාවරණය වී ජනී ජනයා අතරේ කතා කතාබහට ලක්වී උණුසුම් මාතෘකාවක් වී ඇති නිසාය.

සෆියා යමික් නැමැති ඒ උදාර අභිමානවත් යුවතියගේ ජයග්‍රහණයට අද වනවිට අයිතිකරුවන් බොහෝ සිටින බව පෙනේ. ''ජයග්‍රහණයකට පියවරු බොහෝ'' යැයි කතාවක් ද තිබේ. මව්වරුද බොහෝ ය. එහෙත් අද සෆියා යමික් වට කරගෙන මල්මාල පළඳවන හා ඇයට අනේකවිද හරසරින් බුහුමන් පුදන පිරිවර නිලධාරීන් හා පාලක පැලැන්තියේ අයිතිකරුවන් අතරින් වචනයකින් පෑන් පහරකින් වෙනත් උපකාරයකින් නොව, ඇහිපිල්ලමකින් හෝ තමන් මේ ජයග්‍රහණයයේ ''ජය මාවත තනන්නට'' යම් මෙහෙවරක් ඉටු කළේ යැයි අවංකව සතුටු වන්නට හැකි සුධීමතුන් සිටින්නේ කීයෙන් කී දෙනෙක්ද.

 

නිලක්ෂි හපුගොඩ

 

ඒ ගැන දුක හිතෙන අනුවේදනීය කතාවක් පසුගිය දිනෙක මට අසන්නට ලැබුණේ සෆියා යමික් පුංචි කාලයේ සිට ඇයගේ දෙමව්පියන්ට අමතරව රැක බලාගත් ආදරණීය විහාරමහා දේවී විදුහල් මාතාවේ විදුහල්පතිනිය ලෙස සේවය කළ නිලක්ෂි හපුගොඩ මැතිණිය හමුවීමත් සමග ය... මේ වනවිට කොළඹ දේවී බාලිකාවේ විදුහල්පතිනිය ලෙස රටට දැයට සේවාවක් ඉටු කරන මේ ගුරු මාතාව 2016 වසරේ සිටම 2025 වන තෙක් වසර අටහමාරක්ම විහාරමහා දේවී බාලිකාවන්ගේ භාරකාරිය වූවා ය...

''මම දැක්කා සෆියා යමික් දියණිය ඇගේ උපරිම දක්ෂතා දක්වා රන් පදක්කම් දිනා ගෙන මව්බිමට ඇවිල්ලා හැමෝටම ආචාර කරන හැටි. ඇය ඉතාමත්ම නිහතමානීව කතා කරන හැටි ඇහුවා. හැමෝටම ස්තුති කළා. හැමෝගෙම හිත දිනාගෙන ආදරණීයව කටයුතු කළා. ඒ ගැන මට පුදුමාකාර සතුටක්, ගෞරවනීය හැඟීමක් ඇතිවුණා. ඒ වගේම මම දැක්කා ඇයව පිලිගන්න හැම පැත්තෙන්ම බලධාරීන්, නිලධාරීන්, වගකිව යුත්තන් ඇවිල්ලා ඇයට මල්මාල පළඳවලා පිළිගන්න හැටි. එතන හිටපු සමහර මුහුණු දැක්කම මට මගේ මතකය මටත් නොදැනීම අතීතයට ඇදිලා ගියා. ඒත් සමහර අය මේ උණුසුම් ජයග්‍රහණයක් සමග ඇයව පිළිගන්න මල්මාලා අරන් පෙරමගට ආවත්, ඔවුන් එදා ඔවුන්ට කළ හැකි යුතුකම් හා වගකීම් ප්‍රමාණය එක පෑන් පාරකින්වත් එක වචනයකින් වත් ඉටු කරාද කියලා ඔවුන්ගේ හෘද සාක්ෂිය වද දෙන්නේ නැද්ද කියල මට හිතුණා...    

 

සෆියා යමික් දියණිය එකේ පන්තියේ ඉඳන්ම විහාර මහා දේවියට ආපු දියණියක්. ඇත්තෙන්ම මම මුලින්ම දන්නේ දියණියගේ පියා මොහොමඩ් යමික් මහත්තයා. එතුමා අපේ පාසැල් සංවර්ධන සමිතියේ ඉතාමත්ම කැපවීමෙන් කටයුතු කළ තාත්තා කෙනෙක්. එතුමාත් හොඳ ක්‍රීඩකයෙක්. එතුමා දියණියව අපට භාර දීලා කිව්වේ එකම එක දෙයයි...

''මටත් හීනයක් තිබුණා මළල ක්‍රීඩාව ඔස්සේ ඉදිරියටම යන්න. ඒත් මගේ දෛවය ඒකට මට ඉඩ දුන්නේ නෑ. මං දැන් උත්සාහ කරන්නේ මගේ එකම ප්‍රාර්ථනාව, මට බැරිවුණු ඒ ඉලක්කයට මගේ දුවේ අරගෙන යන්න. දුවට ඒ ගමන යන්න පාර කියා දෙන්න. ඔබතුමීලා අපට ඒකට උදව් කරන්න...''

ඒ පියතුමා ඒ ප්‍රාර්ථනාව වෙනුවෙන් කැප වෙලා හිටියා. ඒකයි මම කියන්නේ මේ ජයග්‍රහණයෙන් භාගයක්ම ඔහුගේ. ඒගොල්ල ලොකුවට මිල මුදලින් සවිය ශක්තිය තිබුණු අය නොවුනත් හිතේ ධෛර්යයෙන් හා උත්සාහයෙන් හැම වෙලාවෙම පාසලට උදව් කළා. හැබැයි අපේ පාසලට හුඟක් ප්‍රශ්න තිබුණා. අපේ පාසැල තියෙන්නේ ඉතාමත්ම පුංචි බිම් කඩක. මුළු ඉඩම පර්චස් 117 යි.  ඒ පුංචි ඉඩකඩේ ලඟ ළඟ ගොඩනැගිලි උසට හදලා. ළමයින්ට ඒ ගොඩනැගිලි අතරේ ක්‍රීඩා කරන්න තබා රැස්වී සිටින්නටවත් ඉඩකඩක් තිබුණේ නෑ.

මම මේ කියන්නේ අපේ පාසලට විතරක් නෙවෙයි. මහනුවර තියෙන හුඟක් පාසැල්වලට තියෙන පොදු ප්‍රශ්නයක්. ඉතින් අපට ක්‍රීඩාවට ළමයින් අවට තිබෙන පිට්ටනිවලට අරගෙන යන්න සිද්ධ වුණා. ළඟම තිබුණෙ බෝගම්බර ක්‍රීඩාංගනය. අස්ගිරියේ තියෙන්නේ ටිකක් එහයින්... ළමයින්ට දුවන්න පනින්න ක්‍රීඩා කරන්න තැනක් නැතිකම අපේ පාසැල් වලට තිබුන ලොකුම හිසරදය...

අවට පිට්ටනි වලට ක්‍රීඩා කරන්න පුහුණුවෙන්න යවනකොට පුහුණුවීම්වලටත් බලධාරීන් සල්ලි අය කලා. sport meet එකකට ලක්ෂ හතරක් විතර ගෙවන්න වුණා. පාසැල් සංවර්ධන සමිතියේ පාසලේ දරුවන්ගේ සල්ලි. අපිත් වියදම් කළා. අපි කොච්චර ලියුම්වලින් අවසර ඉල්ලුවද පාසැලට ක්‍රීඩා කරන්න, පුහුණුවීම් කරන්න සහන මුදලට හරි ක්‍රීඩාංගනයක් දෙන්න කියලා. ක්‍රීඩා බලධාරීන්, මහනුවර නගර සභාවේ අය ඒව කණකට ගත්තේ නෑ. මම දැක්කා ඒ සමහර මුහුණු ගිහිල්ල මේ දැරිවිට මල්මාලා පලඳවලා පිළිගන්නවා. මට දුක හිතුනේ එකයි. දරුවන්ගේ ක්‍රීඩාවෙ උන්නතිය වෙනුවෙන් එක පෑන් පහරකින් අත්සනකින් වචනයකින්වත් උදව් කරපු නැති මිනිස්සු. ජයග්‍රහණවලට අයිතිවාසිකම් කියනවා මහනුවර විදිහට ගිහිල්ලා...

අපේ පාසල ළඟම තිබුණා. හිස් ඍෂිවේෂන් ඉඩම් කෑල්ලක්. ඒක අයිති නගර සභාවට. දරුවන්ට රැස්වෙන්න, අඩුම ගානේ තණකොළ ටිකක් පයට පෑගෙන්න මේ ඉඩම් කෑල්ල පාසැලට පවරලා දෙන්න කියලා මම නොලියපු ලියුමක් නෑ. ගියපු නැති ආයතනයක් නෑ. අන්තිමට ලොකු ප්‍රශ්නයක් වෙලා නගර සභාව විරුද්ධ වෙලා ඒ ඉඩම ගන්න එක පාස්ලට නැති කළා. මේ දරුවා හැදුනෙ වැඩුනේ ක්‍රීඩා කළේ පුහුණු වීම් කළේ ඔන්න ඔය වගේ දුෂ්කරතා රාශියක් මැද කියල කියන්නයි මට ඕනා. මහනුවර ළමයි හරිම දක්ෂයි. ඒ ළමයින්ට මීට වඩා පහසුකම් හා අවස්ථා ලැබුනනම් මේ දක්ෂතා දක්වන ප්‍රමාණය කොයිතරම් ඉහළ යයිද කියල හිතන්න...

මේ දරුවා ක්‍රීඩා කරනවාට ආගමික පාර්ශ්වයන්ගෙන් යම් යම් විරෝධතා මතුවුණා කියලත් කතාවක් තියෙනවා නේද..?

 

4f614ca5fa66a09b0c4f193e0037731d rimg w720 h478 gmirjpg gallery 10662

''ඔන්න ඕකනම් හරිම පරිස්සමින් කතා කරන්න ඕන දෙයක්. ඒ මොකද අපේ පාසැල, විහාරමහා දේවී එක කියල බෞද්ධ විද්‍යාලයක් විදියටයි හැඳින්වෙන්නේ. ඒ වුනාට අපේ පාසල සිංහල දෙමළ ඉංග්‍රීසි කියන මාධ්‍ය තුනෙන්ම ඉගැන්වීම් කරන, දියණියෝ තුන්දාහක් විතර ඉන්න නාගරික පාසැලක්. මේකට බහුතරයක් සිංහල බෞද්ධ දරුවෝ එනවා වගේම දෙමළ මුස්ලිම් ළමයිනුත් ඉගෙන ගන්නවා. ඒ හැමෝම අපට ළමයි මිස  ජාතික ආගමික බැඳීම්වලින් බෙදීම්වලින් ඔද්දල් වුන අය විදිහට පේන්නේ නෑ.

මේ දරුවට ක්‍රීඩාවට ඔය කියන පැත්තෙන් ප්‍රශ්නයක් තිබුණද කියලා මට දැනුමක් නෑ. හැබැයි පාසලේදී නම් එහෙම් බෙදීමක් අපි දැක්කේ නෑ. කොටින්ම ඔය දියණිය මුස්ලිම් දරුවෙක් කියලා අපි දන්නෙ ගොඩක් පස්සේ නමෙන්. ඒ මොකද එයා හැම වෙලාවෙම පොදු වැඩවල හිටියේ. ටිකක් කඩිසර දඟකාර ළමයෙක්. හරිම ක්‍රියාශීලීයි. ඉගෙන ගත්තෙත් සිංහල මාධ්‍යයෙන් බුද්ධාගමත් එක්ක. ඉතිං කොහොමද අපට වෙනස්  කමක් දැනෙන්නේ. අපේ දරුවෝ කවුරුත් එහෙමයි.

ක්‍රීඩාවට ප්‍රශ්න තිබුණා නම් තිබුණේ ජාති ආගම් වාද භේදවලින් නෙවෙයි. නිලධාරීන්ගේ බලධාරීන්ගේ තීන්දු තීරණ හා සීමා මායින්වලින්. අන්න ඒගොල්ලෝ තමයි අපේ ක්‍රීඩාවන්ට තිබුණු බාධකය. ඔයදැන් ජයග්‍රහණයෙන් උදම් වෙලා මල්මාල දාලා පිළිගන්න ආවට. ඕවා මම කතා කරාට මං හිතන්නෙ මහනුවරක පාසලක ගුරුවරයෙක් ගුරුවරියක් වුවත් ඕවා කතා කරයි කියලාා. අපට වුනත් මාධ්‍යවලට ප්‍රකාශ නිකුත් කරන්න බෑ.

 



ඉතින් ඔබ හැමෝම සෆියා යමික්ගේ ජයග්‍රහණය වෙනුවෙන් ආඩම්බර වුණා වගේම සතුටු වුණු බව මම දන්නවා වා. සෆියා ක්‍රීඩාවට සමාජ සේවා වැඩවලට දක්ෂ උනාට අධ්‍යාපනය පැත්තට ලොකු උනන්දුවක් දක්වපු ළමයෙක් නෙවෙයි. සමහට විට එහෙම උනානම් එයාගේ ක්‍රීඩාව පැත්තෙන්ම යම්කිසි අඩාලත්වයකට ලක්වෙන්න ඉඩ තිබුනා. හැබැයි එයා සාමාන්‍ය පෙළ ප්‍රමාණවත් විදියට සමත්. උසස් පෙළත් කළා.  උසස් පෙළින් පස්සෙ එයා හමුදාවට ගියා. එතනින් එහාට ඉතින් එයාගේ භාරකාරත්වය හමුදාව අතේ තමයි තිබුණේ. මට මතක විදියට මීට අවුරුදු තුනකට විතර කලින්. ඈ පාසලින් සමු ගන්න කොටස මම හිටියනේ. මම කොළඹට ආවේ 2025 අප්‍රේල් මාසේ. හැබැයි ආමි එකට ගියා කියලා නෑ.. එයා නිතරම ඉස්කෝලෙට ආව ගියා, ඉස්කෝලෙ ගැන හොයා බැලුවා.

මට මතකයි මීට කලිනුත් එයා ලෝකඩ පදක්කමක් වගේ අන්තර්ජාතිකව ගත්තා. සමහර අවස්ථාවල එයාලව රට යවන්න ගොඩක් අවහිරතා ආවා. සමහර ඒවා ආර්ථික දුෂ්කරතා. ඒ වගේ අවස්ථාවල මං මගේ සම්බන්ධකම් පාවිච්චි කරලා උදව් අරන් දීල තියෙනවා. ගුරු මණ්ඩලයත් කැප කිරීම් කළා. මහාචාර්ය ආශු මාරසිංහ මැතිතුමත් අපට ඒ වගේ වෙලාවක උදව් කරා මට මතකයි. ඒ රාජකාරිමය වශයෙන් ඇතිවුණු අවහිතාවක් මගහරවල දෙන්න...

සෆියගේ වගකීම තිබුණේ එයා භාරව හිටපු ක්‍රීඩා උපදේශක නෝනා මහත්වරුන් අතේ. අපට ඒ වගේ කීපදෙනෙක්ම මාරු කරන්න සිදුවුණා. මට මතකයි වීරක්කොඩි කියලා හොඳ ''කෝචර්'' කෙනෙක් හිටියා. උගන්නපු ඔක්කොම හොඳ අය. ඇත්තම කියනව නම් මුළු ඉස්කෝලෙටම ගුරු මණ්ඩලයටම ඒ හැම කෝචර් කෙනෙකුටම ඔය දරුවගේ රන් පදක්කම්වල ගෞරවය අත් වෙන්න ඕන. එහෙම කියන එක මගේ යුතුකමක්...

 

IMG 4071

මම මේ වෙලාවේ හැමෝටම කියන්නේ එකම එක දෙයයි.  අපි පටු ආගම් භේදවාද මතක තියාගෙන මේ වගේ තැන්වලදී බෙදෙන්න යනවට වඩා හොඳ නැද්ද හැමෝම සමාජයේ සාමාජිකයින් විදියට නිලධාරීන් විදියට බලධාරීන් විදියට දෙමව්පියන් විදියට තම තමන්ගේ යුතුකම් හා වගකීම් කොටස දරුවන්ගේ අනාගතය වෙනුවෙන් ඉටු කරල තියෙනවද නැද්ද කියලා හිතා බලන එක.

මෙතෙක් ඒ යුතුකම් හා වගකීම් ඉටු කරලා නැත්තං අනාගතයේදී වත් අපට වැඩි වැඩියෙන් සෆියා යමික්ලා දකින්න පුළුවන් වෙන්න දැන්වත් තමන්ගේ වැඩ කොටස හරියට ඉටු කරන්න හිතට ගත්තොත් මේ රට හැදේවි...

මම ආඩම්බර වෙනවා මහනුවර ඒ අභිමානවත් පාසලේ දැරියන් සමඟ අවුරුදු අටහමාරක්ම හරිම සතුටෙන් ජීවත් වෙන්න ලැබිච්ච එක ගැන.
ඒ අභිමානවත් ගුරු මාතාව එහෙම කියලා අපේ කතාබහ එතනින් නිමා කළා....

එහෙමනම් ඉතින් දැන් අපි කාටත් යුතුකමක් තියෙනවා නේද... තම තමන්ගේ වැඩ කොටස රට වෙනුවෙන් ඉටු කරන්න. තව තවත් සෆියා යමික්ලා බිහි කරන්න...

bulitha(සටහන | බුලිත ප්‍රදීප් කුමාර)
colomboreport.lk කර්තෘ
bulitha@gmail.com

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...