The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

සුනඛයන් විතැන් කිරීම අර්බුදය වවාගෙන කෑමක් - මනේකා ගාන්ධි

T

The Leader Desk

October 31, 2025 • 8:40 AM

සුනඛයන් විතැන් කිරීම අර්බුදය වවාගෙන කෑමක් - මනේකා ගාන්ධි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අගෝස්තු 22 වන දින ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් 2023 සත්ත්ව උපත්පාලන පනත රට තුළ සුනඛ ගහන පාලනය සඳහා බල පවත්වනා එකම නීත්‍යානුකූල වැඩපිළිවෙළ ලෙස යළි තහවුරු කළේය.
  • මනේකා ගාන්ධි විසින් රචිත මෙම ලිපියෙන් සාකච්ඡාවට බඳුන් වන්නේ ක්ෂනිකව සුනඛයන් විතැන් කිරීමෙන් ඇතිවිය හැකි අහිතකර පාරිසරික බලපෑම් සහ විධිමත් සහ මානුෂීය ගහන පාලන වැඩපිළිවෙළක අවශ්‍යතාවයි.
  • ඉතිහාසයේ දරුණුතම වසංගත තත්ත්වයක් වන මහාමාරිය රෝගය යළි හිස ඔසවා ඇති බව වාර්තාවෙන්නේ තවත් සති දෙකක් ගෙවී යනවාත් සමගය.
  • විලෝපිකයන් අතුරුදහන් වීමත් සමග පුරවරය මී පුරයකට පෙරළී ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):


2025 අගෝස්තු 22 වන දින ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් 2023 සත්ත්ව උපත්පාලන පනත රට තුළ සුනඛ ගහන පාලනය සඳහා බල පවත්වනා එකම නීත්‍යානුකූල වැඩපිළිවෙළ ලෙස යළි තහවුරු කළේය. ඒ වීදි සුනඛයන් ගාල් කර තැබිය යුතු බවට සති කිහිපයකට පෙර පැනවුණු අධිකරණ තීන්දුවකට එරෙහිව සත්ත්ව සුබසාධන ක්‍රියාකාරිකයින් විසින් ගොනු කෙරුණු අභියාචනයක තීන්දුව ප්‍රකාශයට පත් කරමිනි.   මෙම තීන්දුව ඓතිහාසික එකක් වන්නේ, සතුන්ට හිතවත් මිනිස්සුන්ට අපරාධකරුවන්ට මෙන් සැලකිය නොහැකි බවටත්, මානුෂීය සත්ත්ව ගහන කළමණාකරණය මහජන සෞඛ්‍ය ආරක්ෂා කිරීමක් මිස එය අභියෝගයට ලක් කරන්නක් නොවන බවටත් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් පිළිගැනීම හේතුවෙනි. මෙම ජයග්‍රාහී තීන්දුවට මුල් වන්නේ ලක්ෂ ගණනාවක් වූ සත්ත්ව ප්‍රේමීන් වීදි සුනඛයන් අනාථාගාරවලට ගාල් කිරීමට එරෙහිව ගෙන ගිය අරගලයයි. මනේකා ගාන්ධි විසින් රචිත මෙම ලිපියෙන්  සාකච්ඡාවට බඳුන් වන්නේ ක්ෂනිකව සුනඛයන් විතැන් කිරීමෙන් ඇතිවිය හැකි අහිතකර පාරිසරික බලපෑම් සහ විධිමත් සහ මානුෂීය ගහන පාලන වැඩපිළිවෙළක අවශ්‍යතාවයි.

.........
WhatsApp Image 2025 10 31 at 12.12.47 PM 2
එක්දහස් නවසිය අනූ හතර වසරේදී ගුජරාටි ප්‍රාන්තයේ සුරට් නම් පුරවරයේ නාගරික කොමසාරිස්වරයා නගර සීමාවේ වසන සියලු වීදි සුනඛයන් ඝාතනය කිරීමට ආඥාවක් නිකුත් කළේය. නගරවාසී සුනඛයන් එකෙකු නෑර සමූලඝාතනය කිරීමට ගතවූ කාලය සති දෙකකි. ඉතිහාසයේ දරුණුතම වසංගත තත්ත්වයක් වන මහාමාරිය රෝගය යළි හිස ඔසවා ඇති බව වාර්තාවෙන්නේ තවත් සති දෙකක් ගෙවී යනවාත් සමගය. විලෝපිකයන් අතුරුදහන් වීමත් සමග පුරවරය මී පුරයකට පෙරළී ඇත. බොහෝ  දෙනා සපාකෑම්වලට මුහුණ දුන් අතර වාර්තා වුණු මහාමාරිය ආසාදිතයන් සංඛ්‍යාව තුනකි. ඉන්දියාවේ සතර දික්බාගයේම වසන පුරවැසියන්ට මුහුණු ආවරණ පැලඳීමට සිදු විය. අපනයනය ඇණහිටිණි. සංචාරක කර්මාන්තයට එල්ල වූයේද මරු පහරකි.
මෙවැනි අවවාදාත්මක පුරාවෘත්ත නම් ඉතිහාසයේ හිඟ නැත.
 
locusts

1880දී සුනඛයන් හා බළලුන් සමුල ඝාතනය කළ පැරීසියට අත්වූයේ ද ඒ ඉරණමයි. ධාන්‍ය සොරකම් කිරීමේ චෝදනාව මත ගේ කුරුල්ලන් වැනසීමට ගිය චීනයට පළඟැටි ආක්‍රමණයකින් පසුව ඇති වූ සාගතයකට මුහුණ දීමට සිදු විය. පසුගිය සඳුදා (2025.08.11) සියලු වීදි සුනඛයන් වීදිවලින් ඉවත් කළ යුතු බවට ආඥාවක් නිකුත් කළ ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරුවරයා වෛරී ආකල්පයක් මුල් කරගනිමින් කටයුතු කළ බවක් පෙනී යයි. ඔහු පවත්නා නීතිය ගැන හෝ මෙම නියෝගය බලාත්මක වූවා නම් ඇති විය හැකි අහිතකර පලාපල ගැන තැකීමක් කළ බවක් නොපෙනේ.
 
තීන්දුවෙහි අහිතකර බලපෑම්

පහත විස්තර කර ඇත්තේ ඇති විය හැකි අහිතකර බලපෑම් කිහිපයකි:
 
පළමුව දිල්ලිය, රාජස්ථානය හෝ තමිල්නාඩුව මෙම ආඥාව බලාත්මක කළේ නම් ඔවුන්ට ඔවුන්ගේ අයවැයෙන් හරි අඩකට වඩා යෙදවීමට සිදුවන්නේ අනාථාගාර ඉදිකිරීම වෙනුවෙනි. නව දිල්ලියේ පමණක් අනාථාගාර 3000ක් ගොඩනැගීමට භූමිය වෙන් කිරීමටත්, සනීපාරක්ෂක කම්කරුවන් 150,000දෙනෙකු සේවයට බඳවා ගැනීමටත්, වාහන 500ක් මිලදී ගැනීමටත්, පශු වෛද්‍යවරුන් සහ ආරක්ෂක නිලදාරීන් සේවයේ යෙදවීමටත්  සිදු වනු ඇත. භූමිය සඳහා වැය වන පිරිවැය නොසලකා හැරියද මෙම ක්‍රියාවලිය සඳහා ඇස්තමේන්තුගත පිරිවැය ඉන්දියානු රුපියල් කෝටි 15,000කි.
WhatsApp Image 2025 10 31 at 12.12.48 PM
 
දැනට ප්‍රජාව විසින් ස්වකැමැත්තෙන් ලබාදෙන ආහාර වේල් සඳහා ඉදිරියේදී සතියකට දැරීමට සිදු වන පිරිවැය ඉන්දියානු රුපියල් කෝටි 5ක් පමණ වේ.
 
දෙවනුව අනාථාගාරවල අසාර්ථකභාවය සනාථ වී ඇත්තේ වරක් දෙවරක් නොවේ. මීට තිස් වසරකට ඉහතදී ජොඩ්පූර්හි ඉදි කළ අනාථාගාරයක් සති කිහිපයක් ඇතුළත වසා දැමීමට සිදු වූයේ එහි සිටි සුනඛයන් සියලුම දෙනා හදිසියේ මියයාම හේතුවෙනි. එහි තත්ත්වය කොතරම් අනාරක්ෂිත වූවාදැයි කිවහොත් සුනඛයන් නිරතුරුවම කුලල්කා ගැනීම නිසා සේවකයන්ට පරිශ්‍රයට ඇතුළු විය නොහැකි තත්ත්වයක් උද්ගතව තිබිණි; ආහාර තාප්පයට උඩින් විසි කිරීම මිස අන් විකල්පයක් නොවුණි. මහජනතාවගෙන් එල්ල වූ දැඩි විරෝධතා හමුවේ එය සත්ව ගහන පාලන මධ්‍යස්ථානයක් බවට හැරවිණි. මොහාලි ප්‍රදේශයේ  සුවිසල් අනාථාගාරයක් ඉදි කළ ද එය මේ මොහොත වන තෙක් ම හිස්ය- ඔවුන් එය සුනඛයන්ගෙන් පුරවද්දී ඉහත සඳහන් ගැටලු සියල්ලටම පාහේ මුහුණ පෑමට සිදු විය.

ඉතින් එය විසඳුමක් වශයෙන් සාර්ථකද යන පැනයට දිය හැකි පිළිතුර “කිසිසේත්ම නැත” යන්නයි. ජීවීන් ආහාර ඇති තැන්වලට එක්කාසු වීම සහජයෙන්ම සිදුවන්නකි. මස් කඩ දහස් ගණනක් තිබෙන දිල්ලියෙහි කෑමෙන් නම් අහේනියක් නැත. සුනඛයන් 5000ක් වුවද නගරයෙන් ඉවත් කළහොත් රික්තයක් වාතයෙන් පිරෙන්නා සේ නගර මෙතෙක් නගර සීමාවෙන් පිට විසූ සුනඛයන් 5000ක් ඒ ප්‍රදේශය අරක්ගැනීම නොවැළැක්විය හැක්කකි. නමුත් වන්ධ්‍යකරණය නොකළ, ප්‍රදේශය නුහුරු මෙම නවකයන් සපාකෑමට දක්වන නැඹුරුවද වැඩි ය.
 
472206365 10162784096164759 3528438950033978264 n
සුනඛයන් ඉවත්කිරීම රිළවුන්ගේ නැවත ආගමනයකට අතවැනීමකි. දැනට දිල්ලිය ආශ්‍රිතව සිටින රිලවුන් ප්‍රමාණය 25,000 ඉක්මවන අතර ඒ අතරින් 16,000ක් අසෝල ප්‍රදේශයට මුදාහැර ඇත. වීදි සුනඛයන් සිටින ප්‍රදේශවල ඔවුන් තුරු වියනින් බැස එන්නේ කලාතුරකිනි. සුනඛයන් ඉවත් කළහොත් මහා රිළා ආක්‍රමණයක් සිදු වනු ඇත.
එකම විසඳුම 'වන්ධ්‍යකරණය'

පවත්නා ක්‍රමයෙහි දහසකුත් එකක් අඩුපාඩු ඇතත් කෙටි කාලයක් තුළ ගත හැකි ප්‍රායෝගික ක්‍රියාමාර්ගද රැසක් පවතී.
 
a52cf990 87d4 11f0 b391 6936825093bd

මහා පරිමාණ අධ්‍යයනයක් සිදු කළ ලෝක සෞඛ්‍ය සංවිධානය වන්ධ්‍යකරණය එකම ඵලදායී විසඳුම බව නිගමනය කළ අතර එය ඉන්දියානු අධිකරණ පද්ධතිය විසින් ද බලාත්මක කර තිබිණි. අවාසනාවකට මෙන් ඉන් දශකයකට පසුවත්, නීතිමය රාමුව සකස් කර තිබියදීත්, වැඩපිළිවෙ‍ළ විධිමත් කිරීමට හෝ ප්‍රමාණවත් පරිදි මූල්‍යමය ප්‍රතිපාධන යෙදවීමට උත්සාහ දරන බවක් නොපෙනේ. මෙම වැඩපිළිවෙළෙහි වගකීම පැවරී ඇත්තේ ඉන්දීය සත්ව පාලන අමාත්‍යංශයට අයත් සත්ව සුබසාධන මණ්ඩලයට වන අතර ඔවුන් සතුව ප්‍රමාණවත් සේවක පිරිසක් හෝ ඒ සඳහාම වෙන් කළ මූල්‍යමය ප්‍රතිපාදන නොමැත. සුනඛ වන්ධ්‍යකරණ මධ්‍යස්ථාන සඳහා අරමුදල් සෑම ප්‍රාන්තයටම අදාළ නාගරික සංවර්ධන අමාත්‍යංශ මගින් ලබා දුන්නද එම ප්‍රතිපාදන මහනගරසභා වෙත බෙදී යද්දී ග්‍රාමීය ප්‍රාදේශීය සභාවලට සිදු වන්නේ ස්වෝත්සාහයෙන් ප්‍රතිපාදන සපයාගැනීමටයි. කාන්චිපුරම්, බෝපාල්, සහ ඉන්දොර් වැනි වන්ධ්‍යකරණ මධ්‍යස්ථාන රැසක් කුණු  කඳු ආශ්‍රිතව පිහිටා ඇති අතර ඒවායින් ප්‍රයෝජනයක් ගැනීම අසීරු වී ඇත්තේ දැරිය නොහැකි දුගඳ නිසාමය.
 
සත්ව ගහන පාලනය උදෙසා පවත්වාගෙන යන මධ්‍යස්ථාන සියල්ලක්ම පාහේ සපාකෑම් වැඩි කිරීමට දායක වන්නේ දෛනිකව සුනඛයන් වෙනත් ප්‍රදේශවලට මුදාහැරීම නිසාය. සුපුරුදු වාසභූමිය වෙත නැවත මුදාහරිනු වෙනුවට අනීතිකව නුපුරුදු ප්‍රදේශ වෙත මුදාහැරෙන සුනඛයන්ට බියපත්ව, කුසගින්නෙන් පීඩා විඳීමට සිදු වන අතරම ප්‍රදේශය හුරුපුරුදු සුනඛයන්ගේ සහ මිනිසුන්ගේ පහරකෑම්වලට ද මුහුණපෑමට සිදු වේ. එවැනි අවස්තාවකදී ආත්මාරක්ෂාව වෙනුවෙන් ඔවුන්ට ගතහැකි එකම ක්‍රියාමාර්ගය සපාකෑමයි.
dogy82173681
 
“සත්ව ප්‍රේමීන්” සහ “සත්ව විරෝධීන්” යනු එකිනෙකාගෙන් පරිබාහිර කුලක දෙකකැයි සිතීමම මුළාවකි. ඉන්දීය පොදු ජන විඥානය තුළ එකී අන්ත දෙකම අඩු වැඩි වශයෙන් සම්මිශ්‍රණය වී පවතින අතර ඒ සියල්ලන්ම ඒකාබද්ධ වී ඇත්තේ  එක පොදු අරමුණකිනි. එනම් අඩු සුනඛ ගහනයක් සහ සපාකෑම් නොවන හෝ අවම වන වාතාවරණයක් නිර්මාණය කිරීම තුළින් යළිත් මිනිස්සුන්ට හා සුනඛයන්ට සහජීවනයෙන් විසිය හැකි, මිනිස් ප්‍රජාව සුනඛයන් නැවත උණුසුම්ව පිළිගන්නා හෙට දිනක් දැකීමයි.
 
සංඛ්‍යා දත්තවල 'අතිශයෝක්තිය'

සුනඛ සපාකෑම් පිළිබඳ සංඛ්‍යා දත්ත අතිශයෝක්තියෙන් ඉදිරිපත් කිරීමටද කඩිනමින් තිත තැබිය යුතුය. සත්‍ය වශයෙන්ම සුනඛ සපාකෑම් පිළිබඳ සංඛ්‍යා දත්ත ලේඛනගත වන්නේ සපාකෑම්වලට ලක්වූ අයට ජලභීතිකා එන්නත ලබාදෙන වෛද්‍යවරුන් අතිනි. එන්නත් මාලාවට එන්නත් වාර පහක් ඇතුළත් වන අතර ඒ සෑම වාරයක්ම වාර්තා වන්නේ නව සපාකෑමක් ලෙසය.
 
73614997 604
සපාකෑම් පිළිබඳ නිල වාර්තාවල සුරතල් සුනඛන්ගේ සපාකෑම් සහ වීදි සුනඛයන් විසින් සිදුකළ සපාකෑම් වෙන්ව දක්වා නොතිබීමද ගැටලුවකි. නිල නොවන මූලාශ්‍ර අනුව එම අනුපාතය 70: 30 ට ආසන්න අගයකි. 2024 වසර තුළ ඉන්දියාවෙන් වාර්තා වූ සමස්ත ජලභීතිකාව ආශ්‍රිත මිනිස් මරණ ප්‍රමාණය 54කි. සංසන්දනාත්මකව ගත් කල මෝටර් රථ අනතුරු නිසා සතියකට වාර්තා වන මරණ ප්‍රමාණය 2,000කට ආසන්නය.
ඇතැම් නගර දැනටමත් විසඳුම් සෙවීමේදී පුරෝගාමී කාර්යභාරයක්  ඉටුකරමින් සිටියි. උත්තර් ප්‍රදේශ්හි ලක්නව් නගරය සිටිනුයේ ඉන්දියාවේ සෙසු ප්‍රදේශවලට වඩා පියවර ගණනාවක් ඉදිරියෙනි. පුරවරය සතුව උසස් ම තත්ත්වයේ ගහන පාලන මධ්‍යස්ථානයක් පවතිනවා පමණක් නොව සියලු සුරතල් සුනඛයන් ලියාපදිංචි කළ යුතු බවට නීතියක් ද පනවා ඇත. ආනයනික සුනඛ විශේෂ ඇතිකරන හිමිකරුවන් වාර්ෂිකව ඉන්දියානු රුපියල් 500ක ගාස්තුවක් ගෙවිය යුතු අතර දේශීය සුනඛයන් හදාවඩාගන්නා හිමිකරුවන් එම ගාස්තුවෙන් නිදහස්ය. විධිමත් පහසුකම් සහ කාලීන නීතිමය රාමුවක් ඒකාබද්ධ කරමින් සැකසුණු මෙම වැඩපිළිවෙළ අනෙකුත් නගරවලටත් ආදර්ශයට ගතහැකි මාදිලියක් ලෙස හඳුන්වාදිය හැක.

නෙදර්ලන්ත ආදර්ශය
chewy fGxiRXr2oZg unsplash
මීට සමාන සාර්ථක වැඩපිළිවෙලක් පිළිබඳව නෙදර්ලන්තයෙන්ද වාර්තා වේ. නෙදර්ලන්තයේ අයාලේ යන එකම සුනඛයෙකුවත් නැත. ඔවුන් එම සාර්ථකත්වය උදා කරගත්තේ සතුන් සමූලඝාතනය කිරීමෙන් හෝ අනාථාගාරවලට ගාල් කිරීමෙන් නොවේ. ඔවුන්ගේ ක්‍රමවේදය මානුෂීය එකක් වූ අතර සත්ව අයිතිවාසිකම් පනතක් සම්මත කර ගනිමින් සුරතලුන්ට හිංසා කිරීම හිමිකරුන්ට නීතියෙන් තහනම් කිරීම එයින් සිදු විය. ඔවුහු වීදි සරන සුනඛයන් එක්රැස් කරගෙන, වන්ධ්‍යකරණයට ලක් කර, වාර්ෂිකව එන්නත් ලබාදෙමින් නැවත මුදහරින වැඩපිළිවෙළක් දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කළහ. වීදිවලින් එසේ එක්රැස් කෙරුණු සුනඛයන් සංඛ්‍යාව මිලියනයකි.
ඉන්දියානු අධිකරණ පද්ධතිය සුනඛයන් අනාථාගාරවලට ගාල් කිරීමේ ඇති සීමා අවබෝධ කර ගනිමින් සිටියි. දෙදහස් විසි දෙක වසරේදී විනිසුරු මහේෂ්වරීගේ නායකත්වයෙන් සැදුම්ලත් ද්විපුද්ගල විනිසුරු මඬුල්ලක් වීදි සුනඛයන්ට ආහාර ලබාදෙන අයට උන්ව නිවසේ ඇතිදැඩි කරන ලෙස හෝ අනාථාගාරයකට ගෙනගොස්  දමන ලෙස නියෝග කරන්නැයි නාග්පූර්හි අදිකරණයට ඉදිරිපත් වූ ඉල්ලීමක් බැහැර කළේ “වීදි සුනඛයන් සිරකර තැබිය නොහැකි බව” ප්‍රකාශ කරමිනි. අධිකරණ නියෝගයකට නෛතිකව එය ඉක්මවා යා හැකිද? ඉන්දියාව සතුව දැනටමත් සත්ත්ව ආරක්ෂණය වෙනුවෙන් කැපවුණු ප්‍රබල නීතිමය රාමුවක් පවතී. ඒ අතර සතුන්ට එරෙහි කෘෘරකම් වැළැක්වීමේ පනතට සහ සත්ත්ව ගහන පාලන නීතිවලට හිමිවන්නේ සුවිශේෂ ස්ථානයකි. ක්‍රියාමාර්ගයක් ගතයුත්තේ මෙම නෛතික රාමුව තුළය. ඉන් පරිබාහිරව ගන්නා ක්‍රියාමාර්ගයක ප්‍රතිඵල ඛේදනීය වනු ඇති බවට කල්තියාම අනතුරු ඇඟවිය හැක.
 
WhatsApp Image 2025 10 31 at 12.12.48 PM 1
 
වීදි සුනඛයන්ගේ, අපේක්ෂාව දැල්වුණු ඇස් සහ නැටවෙන වලිගවලින් බුහුමන් ලබන වතු ආශ්‍රිත ප්‍රජාව ඉන්දියාවේ වීදිවල සුලබ දසුනකි. ඔවුහු තම අතේ ඇති සොච්චම හිමිකරුවන් නැති සතුන්ට බත් වේලක් හෝ විස්කෝතු මිලට ගැනීමට පුදන්නේ ඔවුන්ගේ මානව දයාවේ හා නිහඬ සබැඳියාවේ පරිමාව ලොවට කියාපාමිනි.  මෙම මිනිසත්බව වීදි සුනඛයන්ට සෙත සලසන අතරම මහජනතාවගේ ආරක්ෂාව තහවුරු කරන විධිමත් රාජ්‍ය වැඩපිළිවෙළක් දක්වා වැඩිදියුණු කිරීමට කල් පැමිණ ඇත. ඒ ගමනට මග පහදා දිය යුත්තේ සානුකම්පාව, සාධාරණත්වය සහ සදාචාරය පෙරදැරිවය.
 

WhatsApp Image 2025 10 31 at 12.12.46 PMමනේකා ගාන්ධි සත්ව සුබසාධන ක්‍රියාකාරිණියක වන අතර ඇය People for Animals සංවිධානයේ ආරම්භක සභාපතිවරියයි. භාරතීය ජනතා පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයක් හොබවන ඇය රජයන් 4ක් යටතේ කැබිනට් අමාත්‍යධුර කිහිපයක් දරා ඇත. දේශපාලන භූමිකාව හැරුණු විට ඇය නීතිය, පරිණාමවාදය හා සත්ව අයිතිවාසිකම් වැනි විශයන් ඇසුරින් ග්‍රන්ථ රැසක් සම්පාදනය කළ ලේඛිකාවකි.
 
 

පරිවර්තනය- අරුන්දි ජයසේකර
arundijayasekara2025@gmail.com

(ඡායාරූපය: සචිත් කන්නා)

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...