The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

සම්මුති විසම්මුති : වර්ගවාදී- සාමවාදී, අයිඑම්එෆ්වාදී-අයිඑම්එෆ් විරෝධී නයි මුගටි සන්ධානය කොයිබට ද? | සුනන්ද දේශප්‍රිය

T

The Leader Desk

October 31, 2025 • 9:07 AM

සම්මුති විසම්මුති : වර්ගවාදී- සාමවාදී, අයිඑම්එෆ්වාදී-අයිඑම්එෆ් විරෝධී නයි මුගටි සන්ධානය කොයිබට ද? | සුනන්ද දේශප්‍රිය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එහි හරි මැද සිටියේ මෛත්‍රීපාල සිරිසේනය.
  • මේ ‘වංචනික පාලනය’ට එරෙහි මහා හඩ නැගීමට අධිකරණය හමුවෙහි දශ ලක්ෂ ගණනාවක කප්පම් ගත් බව පිළිගෙන දඩුවම් හිමි වූ ප්‍රසන්න රණතුංග ද සිටීම සංකේතාත්මකය.
  • සහනාධාර ගසා කෑ බවට චෝදනා එල්ල වී ඇති අනුර ප්‍රදර්ශන යාපා එහි සිටින්නේ මහත් සතුටිනි.
  • නොමිලයේ වීසා සැපයිය යුතු වූ රටවලින් පැමිණි සංචාරකයින්ගෙන් ඩොලර් 18.5 බැගින් අය කර තවත් රුපියල් මිලියන 380ක් හොරකම් කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):

එහි හරි මැද සිටියේ මෛත්‍රීපාල සිරිසේනය. ව්‍යවස්ථාපිත ඒකාධිපතිත්වය ගැන කතා කිරීමට විපක්ෂ පක්ෂවලට ඊට වඩා වැඩ්ඩෙකු සොයා ගැනීමට බැරි වීම සාධාරණය.

සිරිසේන වනාහි ව්‍යවස්ථා කුමන්ත්‍රණයක් කරන්නට ගොස් හොට බිම ඇණ ගත් දේශපාලනඥයා නිසාය. 2018 ඔහුගේ ඔක්තෝබර් ව්‍යවස්ථා කුමන්ත්‍රණය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වල පල්ලට යවන තුරු ඔහු දන්නා තුරුම්පු සියල්ල දැම්මේය. එම ව්‍යවස්ථා කුමන්ත්‍රණයෙන් බැට කෑ එජාපයේ දෙබෑයම එම පුවත්පත් සාකච්ඡාවේ සිටියේ හිරිකිතයක් නැතිවය.

 f72eda47 0258 4fd2 ac86 35aab3f7274d
දැන් පෙනෙන විදියට ඒ සන්ධානය නැත. ඒ වෙනුවට ‘වංචනික මාලිමා ආණ්ඩුවේ මුග්ධ පාලනයට එරෙහි මහා ජනහඬ’ යැයි හවුලක් සෑදී තිබේ. එය පසුදා පුවත්පත් සාකච්ජාවක් පැවැත්වීය. එහි සජබ නැත. එය සජබට හොඳය.

මේ ‘වංචනික පාලනය’ට එරෙහි මහා හඩ නැගීමට අධිකරණය හමුවෙහි දශ ලක්ෂ ගණනාවක කප්පම් ගත් බව පිළිගෙන දඩුවම් හිමි වූ ප්‍රසන්න රණතුංග ද සිටීම සංකේතාත්මකය. මන්ද යත් මේ මහා ජන හඬ නැගීමට එක් වූ බොහෝ දෙනෙකු දැනටමත් වංචා දූෂණ සම්බන්ධයෙන් අධිකරණය හමුවෙහි චෝදනා ලබා සිටින්නන් වීම නිසාය. ‘රත්තරන්’ තුවක්කුවේ අයිතිකාරයාද එහි සිටී. වජිර අබේවර්ධනත් සිටියා නම් දූෂණ විරෝධී ක්‍රියාවලිය අඩපණ කරන්නේ කෙසේදැයි අසා දැන ගන්නට තිබුණි. සහනාධාර ගසා කෑ බවට චෝදනා එල්ල වී ඇති අනුර ප්‍රදර්ශන යාපා එහි සිටින්නේ මහත් සතුටිනි.

 

අලි මදිවාට හරක් කීවා සේ වීසා මඟඩියේ මහ මොළකරු වූ ටිරන් අලස් ද ඉදිරියෙන්ම වාඩි වී සිටියේය. ඔහු දියත් කළ විසා මගඩියට උර දුන් ආගමන විගමන පාලකවරයා හිර ගෙදරය. එම මගඩිය යටතේ පත් කළ සමාගම් තුනක් මෙරටට අය විය යුතුව තිබූ රුපියල් මිලියන තුන්සිය හතළිහක් හොරකම් කළේය. නොමිලයේ වීසා සැපයිය යුතු වූ රටවලින් පැමිණි සංචාරකයින්ගෙන් ඩොලර් 18.5 බැගින් අය කර තවත් රුපියල් මිලියන 380ක් හොරකම් කළේය. මෙම මුදල් ශ්‍රී ලංකික බැංකු මඟ හැර කෙලින්ම විදෙස් බැංකු වලට යවන ලදී. ‘වංචනික’ ආණ්ඩුවකට එරෙහිව හඬ නැගීමට ටිරන් අලස් තරම් හොඳ වෙනත් මහත්මයෙක් වෙන කොහෙන් සොයා ගන්නද?

සියල්ලට වඩා උත්ප්‍රාසය වන්නේ ජාතිවාදී මඩ ගොහොරුව ඇවිස්සීම සිය දේශපාලනය කර ගත් ගම්මන්පිල සමඟ රනිල්ගේ ලේකම් තලතා අතුකෝරල ඉඟිබිඟි පාමින් සිටීමයි. රනිල් වික්‍රමසිංහගේ උග්‍රතම මතාවාදී සතුරන් වූ විමල් වීරවංශ සහ ගම්මන්පිල දැන් මේ හවුලේ ලොකු පොරවල්ය. නොවැම්බර් මාසයේ 21දා පැවැත්වෙන බව කියන මහා හඬ රැළියෙහි ජාතිවාදය සහ ආගම් වාදය නොතිබුණහොත් පුදුමය. ජාතිවාදය සහ ආගම් වාදය ඇවිස්සීම පිණිස කැළනි නයා නිර්මාණය කළ දිලිත් ජයවීරගේ පක්ෂය ද හවුලේ මහා හඩකි.

 

රනිල් රාජපක්ෂ සිය පිං ජනාධිපති සමයෙහි යුද්ධ කාලීන මානව හිමිකම් කෙලසීම් ආමන්ත්‍රණය කිරීම පිණිස සත්‍ය සෙවීමේ සහ යුක්තිය සඳහා කොමිසම’ක් පිහිටුවීම පිණිස විශේෂ වැඩපිළිවෙළක් දියත් කළේය.  ඔහුගේ නව සන්ධානයේ සගයෙක් වන විමල් වීරවංශ සත්‍ය සෙවීමේ කොමිසමකට මාරාන්තික විරෝධයක් දක්වයි. රනිල් රාජපක්ෂ ජ්‍යාතන්තර මූල්‍ය අරමුදල හිස මුදුනින් පිළිගනී.  විමල් වීරවංශට එය නයාට අඳු කොළ වැන්න. ගම්මන්පිල ද සත්‍ය සෙවීමේ කොමිසමකට විරුද්ධය. නාමල් රාජපක්ෂද ඊට විරුද්ධය.

කිසිදු මුස්ලිම් හෝ දෙමළ ජාතික පක්ෂයක් මේ හවුලේ නැත. එම පක්ෂවල වැඩි බර ඇත්තේ සජබ දෙසටය. කදුරට වතුකර ප්‍රජාවගේ දෛනික වැටුප 1700 දක්වා ඉහළ නැංවීමට වතුහිමියන් එකඟ කරවා ගැනීමට අනුර කුමාර සමත් වූවහොත් කදුරට දේශපාලන සමීකරණය වෙනස් විය හැකිය. එය දුෂ්කර පිම්මකි. 200 වසරක් එම ජනයා අන්ත දුංඛිත  වහල් බාවයේ තබා ගත් වතු හිමි පංතිය ඔවුන් ඉන් නිදහස් කිරීමට කැමති නැත. එම පොරොන්දුව ඉටු කිරීමට නොහැකි වුවහොත් එම ප්‍රජාව අතර ජාජබ ඩවුන්ද පල්ලම් වනවා ඇත.

මුස්ලිම් නියෝජනය සඳහා මෙම මහා හඬ හවුලට කැඳවා ගත හැකි දේශපාලනඥයා නම් සිරිසේන විසින් නැගෙනහිර ආණ්ඩුකාරවරයා ලෙස පත් කළ මහමුද් හිස්බුල්ලාය. ගිනී රටෙන් රුපියල් මිලියන 600ක රත්රන් ගැනීමට ගොස් දැන ඔහු ඉන්නේ එරට අධිකරණය හමුවේය. හිස්බුල්ලාට රුපියල් මිලියන 600ක් ලැබුණේ කෙසේද යන්න  මේ හවුලට ප්‍රශ්නයක් නොවනු ඇත. මන්ද යත් හොරකම වැඩි වන තරමට ලංසුව ඉහළ යන නිසාය. සිරිසේන පාස්කු වන්දිය ලෙස මිලියන සියයක් ගෙවූයේ කෙසේ ද කියා අප දන්නේ ද නැත.


1540575856 ranil maithri 5
එය දූෂිතයින්ගේ දුෂ්ට වර්ගවාදී සන්ධානයකි. සිරිසේනගේ සිට නාමල් රාජපක්ෂ හරහා වික්‍රමසිංහ දක්වා එහි පිරී සිටින්නේ දූෂිතයින් සහ වංචනිකයින්ය. ඔවුන්  සිහින දකින්නේ ජාතික ජන බලවේග ආණ්ඩුවේ දුර්වලතා ප්‍රයෝජනයට ගෙන තමන්ට බලයට පැමිණ පරණ සෙල්ලම් යළි පටන් ගත හැකි බවටය.

ලබන වසර මුලදී පැවැත්වීමට ඉඩ තිබෙන පලාත් සභා මැතිවරණයෙහි දී මෙම නයි මුගටි සන්ධානය පළමු අභියෝගයට මුහුණ දෙනු ඇත.

හවුලේ නායකත්වය යා යුත්තේ රනිල් වික්‍රමසිංහට බව  රනිල්ගේ සභාපති සහ වංචාවට කුප්‍රසිද්ධ වජිර අබේවර්ධන කියයි. ඔටුන්න හිමි රාජපක්ෂ කුමාරයා එයට කුමන ප්‍රතිචාරයක් දක්වනු ඇත්ද යන්න රහසක් නොවේ. පාර්ලිමේන්තුවෙහි රනිල්ට/එජාපයට ඇත්තේ ආසන එකකි. නාමල්/පොදු ජන පෙරමුණට තුනකි. සජිත්/ සජබට 40කි.

ඕනෑම තර්කයක් අනුව විපක්ෂ හවුලක නායකත්වය හිමි විය යුත්තේ සජබටය. සජිත්ටය.  නාමල් රාජපක්ෂ, රනිල්ට රාජපක්ෂට නායකත්වය දීමට සුදානම් නැත. රනිල්ට නායකයා විය හැක්කේ වජිර අබේවර්ධනට පමණය.

image 723c40114a

මෙම හවුලට ඒකාබද්ධ විකල්පයක් විය නොහැකි බව බැලූ බැල්මට පෙනේ. මාධ්‍ය වාර්තා කරන අන්දමට රනිල් රාජපක්ෂට නායකත්වය දීමට සැරසෙන වජිර අබේවර්ධනට බියෙන් නාමල් රාජපක්ෂ පොහොට්ටුව රැගෙන වේදිකාවෙන් බස යෑමට ඉඩ ඇත.

නයි මුගටි සන්ධානයේ මහා පොදු සාධකය වන්නේ දූෂණ වංචා සෙවීමේ ජාජබ ආණ්ඩුවේ මෙහෙයුම පීලි පැන්නවීමයි. එහෙත් එය පමණක්ම සන්ධානයක් පවත්වා ගෙන යෑමට අප්‍රමාණවත්ය. මන්දයත්  මැතිවරණ ජය ගැනීම අවසාන ඉලක්කය වන දේශපාලන පක්ෂ අතර ගැටුම ඇති වන්නේ ආසන සහ දිස්ත්‍රික් නායකත්වය වැනි ප්‍රශ්න අරබයා නිසාය.

නයි මුගටි සන්ධානය තාවකාලික සුරතාන්තයකින් එපිටට ගෙන යෑමට තරම් ජව සම්පන්න දේශපාලනයක් එයට නැත. ඇත්තෙන්ම නම් ජාජබ ආණ්ඩුවට විරුද්ධ වීම හැර කිසිදු සාමුහික වැඩ පිළිවෙළකට එකඟ වීමට එයට ඇති අවකාශය ඉතා පටුය. එහි මරණය කෙටී ඇත්තේ එහිය.

එසේ නමුත් ජාජබ ආණ්ඩුව තවමත් උඩු හුළඟ ඇල්ලූ සරුංගලයක් නොවේ. එය අනපේක්ෂිත අවස්ථාවල කූරියා ගසමින් පොළොව සිප ගැනීමට සැරසෙයි. කූරියා ගැසීම නවත්වා ගත හැක්කේ පළ පුරුදු සරුංගල් යවන්නෙකුට පමණි. සරුංගලයේ නූල දෙඅතින් රෙදි මනින්නකු මෙන් පට කිහිපයක්  ගෙන නූල එකවර අතහැරිය යුතුය. එය කලාවකි. ජාජබ සරුංගලය කූරියා ගැසීම නැවැත්වීමේ හැකියාව පෙන්වා ඇත්තේ දෙතුන් දෙනෙකු පමණි. ජනාධිපති දිසානායක නැතිනම් එය කොතරම් ඉහළ අහසේ තිබුණද කූරියා ගසා වල කජ්ජ කරා යෑමට ඉඩ නැතුවා  ද නොවේ.

ඔහු ඉක්මනින් නවත්වා ගත යුතු කෝලමක් ද තිබේ. ඒ පොලිස් කෝලමය. දිනපතා සමාජ මාධ්‍යට ආතල් දෙන පොලිස්පතිගේ නාඩගම්, වේදිකාව මත පමණක් නොව සැබෑ ජීවිතයේ ද රජතුමාගේ ශ්‍රී දේහයේ සාරය උරා බොන මැස්සන්ට ටී 56න් වෙඩි තැබීමට ඉඩ ඇති ජනප්‍රවාදගත එනමුත් නූතන වඳුරන් බව ඉක්මනින් තේරුම් ගන්නා තරමට ඇඟට හොඳය.

sunanda deshapriya6(සටහන | සුනන්ද දේශප්‍රිය)
Journalist, Writer and Human Rights Activist
sunandadeshapriya@gmail.com

Twitter: @sunandadesh
Editor: http://srilankabrief.org

(උපුටා ගැනීම - srilankabrief.org)


whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...