රනිල්ට එරෙහි නඩුව කල් යයි
නඩුවට වෙලාව නියම කර තිබුණේ දහවල් එකයි තිහට පමණ ය. රනිල් දහවල් 12.40ට විතර උසාවි භූමියට ගියේ ය. මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහද රනිල් සමග එහි පැමිණියා ය.
රනිල්ගේ නඩුව ඇසුණේ දහවල් වුණත් එදින උදෑසන සිටම නීතිඥයෝ, දේශපාලනඥයෝ, මෙන්ම පාක්ෂිකයෝ බොහෝ පිරිසක් අධිකරණ පරිශ්‍රයේ රොද බැඳ සිටියහ. රනිල් අධිකරණ පරිශ්‍රයට එන විට ඔවුහු ඔල්වරසන් දෙමින් රනිල් පිළිගත්හ. මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ඣායනා කළහ.
නීති කෘත්‍ය සිදු කෙරුණේ කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්ති කුමාර ඉදිරියේ ය. රනිල් කලින් අත්අඩංගුවට පත් අවස්ථාවේ කොටුව මහේස්ත්‍රාත් ලෙස සිටි නිලුපුලී ලංකාපුර මෙනවිය මහාධිකරණයට උසස් වීමක් ලැබ ගොස් තිබිණි.
මෙහිදී අදහස් දක්වමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා පැවසූයේ අදාළ සිදුවීම සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන කෙරෙන බවයි.
මෙහි දී අතිරේක සොලිස්ටර් ජනරාල් දිලීප පීරිස් රනිල් පෙරදී ඉදිරිපත් කළ වෛද්‍ය වාර්තා ගැන සැක පළ කළේ ය. වෛද්‍ය වාර්තා ගැන පැමිණිල්ලට ප්‍රශ්න තිබෙනවා යැයි ඔහු කීය. රනිල් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ තිලක් මාරපන කීවේ නඩුවේ පදනම රනිල්ට මහා බ්‍රිතාන්‍ය සරසවියෙන් නිල ආරාධනයක් කළා ද නැද්ද යන කාරණය බවයි. ඒ ගැන පරීක්ෂණ ඉවරයක් කරගන්නට අසමත් වීම නිසා දැන් ඒක වසා ගැනීමට වෛද්‍ය වාර්තා ඇද ගන්නා බව තිලක් මාරපන සඳහන් කළේය.
විමර්ශන වල ප්‍රගතිය විමසීම සඳහා නඩුව යළි ජනවාරි 28 කැඳවීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය. අනතුරුව රනිල් අධිකරණ පරිශ්‍රයෙන් ඉවත්ව ගියේ රැස්ව සිටි ජනකායකගේ ආචාර සමාචාර මධ්‍යයේය.
ආණ්ඩුවට ආශිර්වාදයක් වූ විපක්ෂ නායක
කිරෙන් බාල වූ බුද්ධියක් සහිත විපක්ෂ නායකයකු තරම් ආශිර්වාදයක් ආණ්ඩුවට තවත් නැත. මෙලෝ හසරක දේශපාලන විඥානයක් නැති එදා වේල පිරිමසා ගැනීමට ඔහේ කටමැත දොඩවන විපක්ෂ නායක "උන්නැහේ" ටිකෙන් ටික අවලංගු කාසියක් බවට පත් වෙමින් සිටින සැටි විපක්ෂයේ නායකයෝ මේ දිනවල අධ්‍යයනය කරමින් සිටිති. නොවැම්බර් 21 වෙනිදා පැවැත්වීමට යන විපක්ෂයේ දැවැන්ත රැළිය යෝජනා වූයේ ද සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂයේ කණ්ඩායමකගේ සහයෝගයෙන් පැවති රැස්වීමක දී ය.එහෙත් දැන් විපක්ෂ නායකයා ඒ රැස්වීමට නොයන බව කියන්නේ ඔහුගේ මොන්ටිසෝරි විඤ්ඤාණය ගැන සමාජයට තව තවත් කරුණු නිරාවරණය කරමිනි.
විපක්ෂයේ ඒකාබද්ධ රැළියට නොයමියි ළදරු විපක්ෂ නායකයා කීව ද සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් අති බහුතරයකගේ මතය වන්නේ එම රැස්වීමට සහභාගී විය යුතු බවයි. සජබ මන්ත්‍රීවරු කිහිපදෙනෙක් එළිපිට ම ඒ බව කීහ. සජිත්ගේ අන්තේවාසිකයෝ කිහිප දෙනෙක් පමණක් ඒ රැස්වීමට නොයා යුතු බව කියති. නමුත් මන්ත්‍රීවරුන්ගේ අති බහුතරය මේ බොළඳ සිතුවිල්ල එළිපිටම විවේචනය කරන අයුරු දැක ගත හැකි ය. මේ තත්ත්වය දැන් ඇතුළත මෙන්ම එළියේ ද පුපුරන ලාවා පිරුණු ගිනි කන්දකට සමාන වී ඇත. ප්‍රගතිශීලී මන්ත්‍රීවරුන් තවදුරටත් සජිත් ගේ බාල බොළඳ ළාබාල වැඩ ඉවසනු නැති බව පොදු මහජන මතය යි.

සාමාන්‍යයෙන් රටක විපක්ෂ නායක යනු ගැඹුරු දේශපාලන විඤ්ඤාණයක් සහිත සැලසුම් සහගත තීක්ෂණ බුද්ධියකින් හෙබි තැනැත්තෙකි. නමුත් දැන් ඉන්න විපක්ෂ නායකවරයා ඊළඟට පත්වන විපක්ෂ නායකවරයකුට පුටුවේ වාඩිවෙන්නටත් හිරිකිත තරමට ම එහි තත්ත්වය බාල කරමින් පුටුවේ වසුරු හලමින් සිටින බව සජබ මන්ත්‍රීවරු කිහිප දෙනෙක් ම රහසිගතව ප්‍රකාශ කර තිබිණි.
රනිල් ගේ නඩුව ගැන අනුර ගේ උනන්දුව අඩු වෙලා
නඩුවට පෙර විපක්ෂ මන්ත්‍රී කණ්ඩායම රැස්වූ අවස්ථාවේ දී හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක පැවැසූයේ ජනාධිපති අනුර දැන් නායක රනිල්ගේ නඩුව සම්බන්ධ කටයුත්තෙන් ඉවත් වී තිබෙන බව හැඟෙන බවයි.
"ඔහුට ඒ ගැන දැන් උනන්දුවක් නැතුව වගේ පේන්නේ," යනුවෙන්ද දිනිත් කීය.
"මේක හරියට කළේ නෑ කියලා එයා පොලිසියට දොස් කියල තියනවා කියලත් ආරංචියි."

රනිල් සිනහ නගමින් පැවසූයේ අතීත යාළුකම් ගැන සිහිපත් වූවක් මෙනි.
"ඇමති තුමා කියපු විදියට තමයි අපි වැඩ කළේ,'' යැයි එහි දී පොලිසිය පවසා තිබෙන බව දැනගන්නට ඇත.
ආණ්ඩුව, අටුව කඩා පුටුව හදන්න සැලසුම් කරයි
කෙසේ වුවද වෙනදා කුලප්පු වී දඟලන මාලිමාවේ සමාජ මාධ්‍ය මෙවර රනිල්ගේ නඩුව ගැන මුනිවත රැකීම බොහෝ දෙනකුගේ කුකුසට හේතු වී තිබේ.
ආයෝජන වලට දෙනවා කියූ ඇමතිවරුන් හිටපු කොළඹ ගෙවල්වල දැන් මහාධිකරණ පිහිටුවන්නට යෑම ගැන ද සමාජයේ කතා කතාබහට ලක්ව පවතී. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් විපක්ෂ මන්ත්‍රීවරුන් කීවේ ආණ්ඩුව කටින් බතල කොළ හිටවීමේ තවත් අවස්ථාවක් ලෙස මෙය නම් කළ හැකි බවයි.
"කියවන කොට කිව්වේ මේ ගෙවල් කෝටි ගණන් ආයෝජනවලට දෙනවා කියලා. දැන් ඒවා උසාවි හතරකට දීලා.''

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රීවරයෙක් රනිල්ට පෙන්වා දුන්නේ විජේරාමේ ගෙදර උසාවි දැමීමෙන් එහි විශාල මාර්ග තදබදයක් ඇතිවීමේ අවධානමක් තිබෙන බවයි. පාසල් කිහිපයක්ම එහි පවතින බැවින් ඒ තදබදය තවත් තීව්‍ර වන බව ද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.
"අටුව කඩලා පුටුව හදනවා කියලා කියන්නේ ඔය වගේ දේවල් වලට තමයි."
රනිල් සැහැල්ලුවෙන් කීය.
ජනතාව නැවතත් එජාපය වටා
රනිල් ඉකුත් සතියේ රඹුක්කන මළ ගෙදරකට ගියේ ය. එහිදී ප්‍රාදේශීය සභා විපක්ෂ නියෝජිත පිරිසක් රනිල් හමුවට පැමිණ පැවසුවේ ගම් මට්ටමේ තත්ත්වය බෙහෙවින් සුභවාදී වෙමින් පවතින බවයි.
"අපි දැන් ගොඩක් උද්‍යෝගෙන් ඉන්නේ, ආපහු ගෙන් ගෙට යන්න පටන් අරගෙන තියෙන්නේ," යැයි ඔවුහු රනිල් හමුවේ කීහ.
ටිකෙන් ටික නැවතත් ජනතාව එක්සත් ජාතික පක්ෂය වටා රොද බඳිමින් සිටින බව හැම පැත්තකින්ම ලැබුණු ආරංචි වල සඳහන් විය.
නිදා සිටි යුඑන්පීකාරයෝ අවදි කළ වජිර
සභාපති වජිර මේ සතියේ ගුවන් විදුලි සම්මුඛ සාකච්ඡාවකට සහභාගී වූයේ කාලයකට පසුව ය. රනිල් ආපහු පාර්ලිමේන්තුවට එනවා දැයි එහි දී මාධ්‍යවේදියා විමසී ය.

"අපි මෙහෙම උදාහරණයක් ගමුකෝ... ඔබතුමාගේ සීයා හෝ ආච්චි සල්ලි පොට්ටනියක් ගෙදර පොදි ගහගෙන ඉන්නවා. නමුත් ඒ පොට්ටනියේ තිබෙන සල්ලි පැටව් ගහන්නේ නැහැ. ඉතින් මෙන්න මේ වගේ සල්ලි පොට්ටනියක් රනිල් රටට ඉතිරි කරලා ගියා. ඉතින් ඒ සල්ලි පොට්ටනියේ සල්ලි ඉවර වෙනකන් වියදම් කරන්න පුළුවන්. නමුත් ඒ සල්ලි පැටව් ගහන්නේ නෑ කියලා අපි මතක තියාගන්න ඕන. ඒ නිසා තමයි අපි කියන්නේ අපේ රටේ ආර්ථිකය දිනෙන් දින වැටෙමින් තිබෙනවා. එහෙම වෙලාවක රනිල් ජාතියේ අවශ්‍යතාවය වෙනුවෙන් භාවිත කිරීමට අවශ්‍ය වුනොත් ඕනෑම අවස්ථාවක එය කිරීම හරිම සරල කාරණයක් හැටියටයි මම නම් දකින්නේ.”
වජිර ගැඹුරු යමක් හිතන්නට ඇති පිළිතුරක් සරලව කීය.
"එදා ගෝඨාභයගෙ කාලේ මම රටේ ආර්ථිකය ගැන අනාවැකි කිව්ව වගේ දැනුත් මම අනාවැකියක් කියන්නම්. රනිල් ගිය පාර වෙනස් කරන්න එපා. ඒ පාර වෙනස් කළොත් මේ රටේ ජනතාව නැවත මහා ව්‍යසනයකට ගොදුර වෙනවා,'' යැයි පැවසූ වජිරයේ ඒ පිළිතුරට තවත් ඌණ පූරණයක් එකතු කළේ ය.
වජිර සහභාගී වූ ඒ වැඩසටහන ගැන අදහස් දක්වමින් බොහෝ පාක්ෂිකයන් පවසා තිබුණේ "නිදාගෙන හිටපු යු.එන්.පී කාරයෝ ඇහැරවන්න හොඳම අවස්ථාවක් ඔබතුමා භාවිතා කර තිබෙනවා,” යනුවෙනි.
(සටහන | මල් පාරේ ලියුම්කරු )




