The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

'සුන්බුන් විපක්ෂයට' අනාගතයක් නොමැත්තේ ඇයි? | සුමිත් චාමින්ද

T

The Leader Desk

November 1, 2025 • 9:04 AM

'සුන්බුන් විපක්ෂයට' අනාගතයක් නොමැත්තේ ඇයි? | සුමිත් චාමින්ද

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජනප්‍රිය දේශපාලන අලංකාරෝක්ති ඔස්සේ යම් යම් න්‍යායික අදහස් ජනගත කිරීම මාක්ස්වාදී දේශපාලන සම්ප්‍රදායට අලුත් යමක් නොවේ.
  • මාක්ස් "ආගම පීඩිතයාගේ දුක් සුසුමයි, හදවතක් නැති ලෝකයේ හදවතයි" කියන විට එය ගැඹුරු න්‍යායික අදහසක් කාව්‍යමය ලෙස ඉදිරිපත් කිරීමක් නොවේද?
  • වත්මන් ලාංකීය දේශපාලන ශබ්ද කෝෂයට අලුතින්ම එකතු වී ඇති 'සුන්බුන් විපක්ෂය' යන්නෙහිද එවන් දේශපාලනික න්‍යායික අන්තර්ගතයක් තිබේය යන්න මගේ අදහසයි.
  • පළමුව යමක් සුන්බුන් බවට පරිවර්තනය වන්නේ කෙසේද?
අකුරු ප්‍රමාණය (Font Size):


 ජනප්‍රිය දේශපාලන අලංකාරෝක්ති ඔස්සේ යම් යම් න්‍යායික අදහස් ජනගත කිරීම මාක්ස්වාදී දේශපාලන සම්ප්‍රදායට අලුත් යමක් නොවේ. විශේෂයෙන්ම මාවෝ සේතුංගේ චීන කොමියුනිස්ට් සම්ප්‍රදාය තුළ න්‍යායික අන්තර්ගතයකින් යුත් දේශපාලන අලංකාරික නිතර භාවිතා විය. මාක්ස් "ආගම පීඩිතයාගේ දුක් සුසුමයි, හදවතක් නැති ලෝකයේ හදවතයි" කියන විට එය ගැඹුරු න්‍යායික අදහසක් කාව්‍යමය ලෙස ඉදිරිපත් කිරීමක් නොවේද? වත්මන් ලාංකීය දේශපාලන ශබ්ද කෝෂයට අලුතින්ම එකතු වී ඇති 'සුන්බුන් විපක්ෂය' යන්නෙහිද එවන් දේශපාලනික න්‍යායික අන්තර්ගතයක් තිබේය යන්න මගේ අදහසයි.

 


පළමුව යමක් සුන්බුන් බවට පරිවර්තනය වන්නේ කෙසේද? එය කඩා බිඳ වැටීමෙනි. යමක් සුන්බුන් බවට හැරෙනවා යනු ඒ දෙය යළිත් කිසිදාක පෙර පැවති ස්වරූපයෙන් ගොඩ නැගිය නොහැකිය යන්නයි. දේශපාලනය තුළ යමක් සුන්බුන් බවට හැරීම යන්නෙන් අදහස් වන්නේ එය මුළුමනින්ම අතීතයට එක්ව තිබේය යන්නයි. එසේ පැවති දෙය බිඳ වැටීමට හැක්කේ කිසියම් සංසිද්ධියක් මගිනි. එකී දේශපාලන සංසිද්ධියත් එහි ඓතිහාසික බලපෑමත් අවබෝධ කරගන්නට අසමත් වන කවරෙකුට වුවත් තවදුරටත් දේශපාලන ලෝකය තුළ පැවැත්මක් නැත. සමකාලීන ලංකාවට අදාළව ගත් කල එතෙක් පැවති දේශපාලන රාමුව කඩා බිඳ දැමීමට ඉවහල් වූ සංසිද්ධිය වනාහී 2022 අරගලය බව අමුතුවෙන් කිව යුතු නැත. අරගලය හුදෙක් පැවති දේශපාලන බලාධිකාරය බිඳ දැමුවා පමණක් නොවේ. එය ලාංකීය පොදුජන විඥානයේද විශාල පරිවර්තනයක් ඇති කළේය.

එම පරිවර්තනයට සංවේදී නොවූ සියලු දේශපාලන නායකයින්, ක්‍රියාකාරීන් සේම චින්තකයින්ද ඉතා ඉක්මණින් අතීතයේ සුන්බුන් අතරට එක් විය. නිදසුනක් ලෙස, 2022 අරගලයෙන් පසුව ලාංකීය පොදුජන විඥානයේ සිදු වූ නව හැඩගැස්ම හඳුනාගත් අයවලුන් 2024 ජනාධිපතිවරණයෙන් සිදුවන්නට නියමිත දෙය කලින්ම දැන සිටියහ. අරගලය සහ ජනාධිපතිවරණය අතර කාල පරිච්ජේදයේදී සිදු වූ රනිල් වික්‍රමසිංහගේ මැදිහත්වීම කරණ කොටගෙන පැරණි දේශපාලන තන්ත්‍රයට යළි අවස්ථාවක් ලැබේ යැයි විශ්වාස කරමින් සිටි උදවිය නොදැන සිටි කාරණාව නම් තම දෙපා යටින් දේශපාලන පොළොව වෙනස් වෙමින් පැවතුනාය යන්නයි. ඒ අතුරිනුත් මහත්ම විපත සිදු වූයේ ජනාධිපතිවරණයේ අවසන් මොහොතේදී කෙසේ හෝ රනිල් වික්‍රමසිංහ ජයග්‍රහණය කරාවි යැයි විශ්වාස කළ උදවියටයි.  

ඒ අතර ඇතැම් ලාංකීය ලිබරල් ප්‍රාඥයන් මෙන්ම සිංහල-පශ්චාත් නූතනවාදීන්ද විය. සංයුක්ත දේශපාලන ජීවිතය පිළිබඳ සංවේදනය අහිමිව ගිය ඒ කිසිවෙකුත් තවදුරටත් බරපතල විශ්ලේෂකයින් ලෙස සැලකිය නොහැකිය. විශ්ලේෂකයින් සහ චින්තකයින් ඓතිහාසික සුන්බුන් අතරට එක්වන්නේ එලෙසිනි.  

නව සමතුලිතතාවක්ද? නව සන්දර්භයක්ද?    

2022 අරගලයෙන් සහ ඉනික්බිති පැවති මැතිවරණවලින් සිදු වූ පරිවර්තනය වනාහි එතෙක් පැවති දේශපාලන සමතුලිතතාව (equilibrium) වෙනස් වීමකට වඩා වැඩි දෙයකි. සාමාන්‍යයෙන් අප දේශපාලන විද්‍යා පාරිභාෂිකය තුළ දේශපාලන සමතුලිතතාව වෙනස් වීමක් ලෙස හඳුන්වන්නේ එතෙක් දේශපාලන බලවේග අතර පැවති බල තුලනයේ නව හැඩ ගැස්මකි. සමතුලිතතාව වෙනස් වූ පමණින් දේශපාලනය ක්‍රියාත්මක වූ රාමුව සහ ඊට අදාළ රීතීන් වෙනස් වන්නේ නැත. එබැවින් නව සමතුලිතතාව තුළ පරිවාරයට තල්ලු වී සිටින කණ්ඩායමකට ඉදිරියේ එන මැතිවරණයකින් යළිත් කේන්ද්‍රයට පැමිණිය හැකි වෙතැයි අපේක්ෂා රඳවාගත හැකිය. එසේම බල තරඟයේ නිරත වී සිටින සියලු කණ්ඩායම් එකම 'තරඟයේ රීතීන් මාලාවකට' (rules of the game) එකඟ වී සිටී. එබැවින් යමෙකු බල තරඟය තුළ තාවකාලිකව පරාජයට පත් වුවද එය ඔහුගේ/ඇයගේ දේශපාලන පැවැත්ම අහෝසි වී යාමක් වන්නේ නැත. ලිබරල් පක්ෂ ක්‍රමය ක්‍රියාත්මක වන්නේ මෙම මූලධර්මය මතය.
 


ලංකාවේ පසුගිය දශක කිහිපය තුළ ප්‍රධාන ධාරාවේ පක්ෂ දේශපාලනය ක්‍රියාත්මක වූයේ ඉහත කී ලිබරල් මූලධර්මය ලාංකීය තත්වයන්ට විපරීත ලෙස ගලපා ගැනීමෙනි. එනම් විශේෂයෙන්ම 1980 දශකයෙන් පසුව ක්‍රමානුකුලව ගොඩ නැගුණු ලාංකීය කොන්ත්‍රාත්කාර ධනේශ්වරයේත්, ඒ හා සම්බන්ධ දේශපාලන නායකත්වයන්ගේත්, නිළධර තන්ත්‍රයේත් හවුලක් මගින් පක්ෂ දේශපාලනයේ රීතීන් හැඩ ගස්වනු ලැබීමයි. ජනප්‍රිය දේශපාලන වේදිකා තුළ 'දූෂිත වළල්ල' ලෙස හඳුන්වන ලද්දේ මෙකී අධිපති බල හවුලයි (power bloc). ඉන්පසුව කවර පක්ෂයක් බලයට පත් වුවද විපක්ෂ දේශපාලකයින්ගේ දූෂණ හෝ අපරාධවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක වනු ඇතැයි බිය වීමට හේතුවක් නොතිබිණ.  
බොහෝ විට මධ්‍යම පන්තික ජන්දදායකයින් ආකර්ෂණය කරගැනීම සඳහා යහපාලනය, මූල්‍ය අපරාධ පරීක්ෂණය වැනි සංදර්ශන භාවිත කෙරුණද අවසන් මොහොතේදී බල හවුලේ එකිනෙකා ආරක්ෂා කරගන්නා රීතියක් ගොඩ නැගී තිබුණි. "උන් ඔක්කොම යාලුවෝ මල්ලී" යන රන්ජන් රාමනායකගේ ප්‍රකාශය මෙරට ජනප්‍රිය පොදු ජන වහරක් බවට පත්වීමෙන් සංකේතවත් වූයේ එයයි.
ranil
ලාංකීය පක්ෂ ක්‍රමය නැවත හැඩ ගැස්වූ මෙම නව තරඟයේ රීතිය ක්‍රමානුකුලව විකාශනය වූයේ 1994 චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ පාලන සමයේ ආරම්භයත් සමගය. අවසන් වරට එය ආරක්ෂා කිරීමට ප්‍රයත්න දැරූ නායකයා වූයේ අරගලයෙන් පසුව කෙටි කලකට බලයට පත්ව පැරණි දේශපාලන බලාධිකාරය ප්‍රතිස්ථාපනය කරන්නට වෙර දැරූ රනිල් වික්‍රමසිංහය. ඒ අරුතින් ඔහු ලාංකීය ලුම්පන් නොහොත් පාදඩ ධනේශ්වරයේ අවසන් නායකයා ලෙස හඳුනාගත හැකිය. වික්‍රමසිංහ බලය හෙබවූ කෙටි කාල පරිච්ජේදය තුළදී පාදඩ ධනේශ්වරයේ ආරක්ෂාව වෙනුවෙන් සංවිධානය වූ ඓන්ද්‍රීය බුද්ධිමතුන් අතර ලාංකීය ප්‍රවර්ගයේ ලිබරල්වාදීන්, ජනවාර්ගික ජාතිකවාදීන් මෙන්ම සිංහල-පශ්චාත් නූතනවාදීන්ද වූ බව අමතක නොකළ යුතුය.    

සංක්ෂිප්තව කිව හොත්, අඩුතරමින් පසුගිය දශක තුනක කාල පරිච්ජේදය තුළ මෙරට ප්‍රධාන ධාරාවේ පක්ෂ අතර සම්බන්ධය හැඩ ගැස්වූ පොදු තරඟයේ රීතීන් සැකසුණේ ලිබරල් වටිනාකම් පදනම් කොටගෙන නොව කොන්ත්‍රාත්කාර ධනවාදයේ පොදු අභිලාෂයන් පදනම් කොටගෙනය. පසුගිය ජනාධිපතිවරණය සහ මහා මැතිවරණය මගින් සිදු වූයේ ඉහත කී දේශපාලන සන්දර්භයම වෙනසකට ලක් වීමකි. එය පැවති සන්දර්භය තුළම සිදු වූ බල තුලනයේ වෙනසකට ලඝු කළ නොහැකිය. එසේම එතෙක් මෙරට ප්‍රධාන ධාරාවේ පක්ෂ ක්‍රමය හැඩ ගැස්වූ තරඟයේ රීතීන් දැන් තවදුරටත් වලංගු වන්නේ නැත. 

පසමිතුරුතාවේ නැවත පැමිණීම  

පැන නැගී ඇති සහ ගොඩ නැගෙමින් පවතින මේ නව දේශපාලන සන්දර්භය සඳහා ඇති කදිම නිදර්ශකයක් වන්නේ දැන් මෙරට පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය අතර පවත්නා ආතති සහගත තත්ත්වයයි. ආණ්ඩු පක්ෂය විපක්ෂයේ බොහෝ මන්ත්‍රීවරුන්ව දකින්නේ නීතිමය දඬුවමට ලක් කළ යුතු දූෂකයින් සහ අපරාධකරුවන් ලෙසයි. විපක්ෂයේ මන්ත්‍රීවරුන් චෝදනා කරන්නේ ආණ්ඩුව තමන් දේශපාලන පළිගැනීම්වලට ලක් කරන්නට උත්සාහ කරන බවටයි. එබැවින්, පාර්ලිමේන්තු විවාදයකින් පසුව උණුසුම් ක්‍රිකට් තරඟයක් අවසානයේදී මෙන් දෙපිළේ ක්‍රීඩකයින් සුහදව අතට අත දී ඊළඟ තරඟයේදී හමුවෙමු යැයි පවසා සමුගැනීමක් මෙහිදී අපේක්ෂා කළ නොහැකිය. 
 
siragewal
ආණ්ඩුව පවසන පරිදි දේශපාලකයින්ගේ අතීත අපරාධවලට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කළ හොත් දැන් සිටින ඇතැම් විපක්ෂ මන්ත්‍රීවරුන් නුදුරු අනාගතයේදී සිටිනු ඇත්තේ සිරගෙවල්වලය. එසේම, කිසියම් ආශ්චර්යයකින් වත්මන් විපක්ෂයේ කවර පක්ෂයක් අතට හෝ ආණ්ඩු බලය මාරු වුවහොත් (දැන් නම් එවැන්නක් විය හැක්කේ ආශ්චර්යයකින් පමණි), තමන් දරුණු පළිගැනීමකට ලක් වීමට ඉඩ තිබේය යන්න ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ හැඟීමයි. එබැවින් වත්මන් ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය අතර සිදුවන විවාදය වනාහි එකිනෙකාගේ අනාගත දේශපාලන හා පුද්ගලික ඉරණම හා ඓන්ද්‍රීයව බැඳුණු එකකි. ශ්‍රී ලංකාවේ පක්ෂ දේශපාලන ඉතිහාසය තුළ මෙවන් තත්ත්වයක් නිර්මාණය වී ඇත්තේ පළමු වතාවටය.  
ප්‍රධාන පක්ෂ අතර මේ තියුණු ආතති සහගත අභිමුඛ වීම මනාව ප්‍රදර්ශනය වූ අවස්ථාවක් නම් මාස කිහිපයකට පෙර කුප්‍රකට බටලන්ද වද කඳවුර පිළිබඳව පැවති පාර්ලිමේන්තු විවාදයයි. විවාදයේ එක් පසෙක අතීත ජයවර්ධන යුගයේ පුද්ගලික වද කඳවුරු පවත්වාගෙන ගිය බවට චෝදනා එල්ල වූ අයවලුන්ද අනෙක් පස එම වද කඳවුරු තුළ පීඩාවට පත් වූ අයවලුන්ද සිටින තත්ත්වයක් ගැන සිතන්න. විශේෂයෙන්ම අතීතයේ වද බන්ධනයන්ට ලක්වූ අයවලුන්ට ආණ්ඩු බලය හිමිව ඇති වාතාවරණයක් තුළ මේ විවාදය කෙසේවත් සාම්ප්‍රදායික පාර්ලිමේන්තු විවාදයක් විය නොහැකිය. 
 
 
බටලන්ද විවාදයේදී ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක බිමල් රත්නායක විසින් කරන ලද දේශනය කතානායකවරයාගේ දෑසට පවා කඳුළු නැංවූ එකක් වීමෙන් සංකේතවත් වූයේ එයයි. එම සංවේදී හැඟීම කතානායකවරයා සමග එක්ව බෙදා ගත් සමාජ තීරුවක් මෙරට දේශපාලනය තුළ සක්‍රීයව සිටින බව මෙහිදී සිහි තබා ගත යුතුය. එම සමාජ තීරුව හැඟීම්මය ලෙස බැඳී සිටින්නේ දශක ගණනාවකට පෙර කිසියම් පොදු දේශපාලන අරමුණක් වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් වැඩ කළ තම අතීත සගයින් පිළිබඳ මතකය සමගය. නමුත්, බොහෝ විපක්ෂයේ නියෝජිතයින් හට කිසිසේත්ම එම හැඟීම් කලාපය බෙදා ගත නොහැකිය. ඔවුනට අනුව අසූව දශකයේදී වද කඳවුරු තුළ දුක් විඳ මිය ගොස් ඇත්තේ ත්‍රස්තවාදීන්ය.
ඉහත නිදර්ශකය අපට පෙන්වා දෙන කාරණය වන්නේ ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය අතර තවදුරටත් සාකච්ජාවෙන්, සංවාදයෙන් සමනය කර ගත නොහැකි පසමිතුරු සම්බන්ධයක් පවතින බවයි. පශ්චාත්-මාක්ස්වාදී න්‍යාය තුළ පසමිතුරුතාව (antagonism) ලෙස හඳුන්වන්නේ 'මිතුරා එරෙහිව සතුරා' යන සම්බන්ධයයි. මිතුරු/සතුරු සම්බන්ධතාවේ මූලික ලක්ෂණය වන්නේ සැබවින්ම ඒ දෙපිළ අතර සබඳතාවක් නොපැවතීමයි. මිතුරු කතිකාව තුළ පවතින අරුත්, හැඟීම්, පොදු මතක, සහ ලෝක දැක්ම සතුරු කතිකාවට කිසිසේත්ම ගෝචර නොවේ. 
 
එබැවින් දෙපිළ අතර කතිකාමය පාළමක් ගොඩ නැගිය නොහැකිය. වෙනත් වචනයෙන් කිවහොත් පසමිතුරුතාව වනාහි සංවාදයේ සීමාවයි. එහි නිශේධනයයි. ලාංකීය දේශපාලන පක්ෂ ක්‍රමය තුළ  මෙසේ පසමිතුරුතා තර්කනය ඉස්මතු වී පවතින්නේ මෙතෙක් කලක් ප්‍රධාන ධාරාවේ දේශපාලනයෙන් ආන්තික වී සිටි ජනතා විමුක්ති පෙරමුණ (ජාතික ජන බලවේගය නොවේ) ජාතික දේශපාලනයේ කේන්ද්‍රයට පැමිණීම නිසාය. දැන් මේ නව කේන්ද්‍රය සහ පැරණි දේශපාලන සංස්ථාපිත අතර පවතින්නේ ගැටුමකි; අරගලයකි.

විපක්ෂයේ ඉරණම  

නිර්මාණය වී තිබෙන මෙම නව සන්දර්භය වටහා ගැනීමට අසමත් වූ ඇතැම් විපක්ෂ මන්ත්‍රීවරුන් සහ ප්‍රකාශකයින් විටෙක දැඩිවත් තවත් විටෙක ආයාචනාත්මකවත් ආණ්ඩුවෙන් ඉල්ලා සිටින්නේ කලින් පැවති ආකාරයේ ආණ්ඩු පක්ෂයක් ලෙසින් හැසිරෙන ලෙසටය. ආණ්ඩුව නීතිය හා යුක්තිය ඉටු කිරීමක් ලෙසින් දකිනා දෙය එම විපක්ෂ නියෝජිතයින් දකින්නේ දේශපාලන පළිගැනීමක් ලෙසටය. මේ තේරුම්ගැනීම් දෙක අතර පාළමක් ගොඩනැගිය නොහැකි බැවින් කුමන තේරුම්ගැනීම යථාර්තයක් බවට පත් වේද යන්න තීන්දු කෙරෙනු ඇත්තේ හුදෙක් දේශපාලන බලය මගින් පමණි. දැන් නිශ්චිතවම බලය (එහි සෑම අරුතකින්ම) පවතින්නේ ආණ්ඩු පක්ෂය සතුව බැවින් අනාගත යථාර්තය බවට පත් වනු ඇත්තේ ආණ්ඩුව දකින්නට ආශා කරන දෙයයි. 
 
election in sri lanka 2019  
දැන් පවතින තත්ත්වය ඇසුරින් ඉදිරි ජනාධිපතිවරණයේ සහ මහා මැතිවරණයේ ප්‍රතිපල පුරෝකථනය කරන්නට උත්සාහ කරන විපක්ෂයට හිතවත් අනාවැකිකරුවන් බොහෝ දෙනෙකුට වරදින තැන මෙයයි. ඔවුනගේ අනාවැකි පදනම් වන්නේ එක් මූලික පෙර සිතා ගැනීමක් මතය. එනම්, එම මැතිවරණ පැවැත්වෙන කාලය වන විට පැරණි දේශපාලන සන්දර්භයම පවතිනු ඇත යන්නයි. දැනටමත් සන්දර්භය වෙනසකට ලක් වී තිබේය සහ නව සන්දර්භය ඉදිරියේදී තවදුරටත් විකාශනය වීමට ඉඩ තිබේය යන්න ඔවුන් පිළිගන්නේ නැත. මන්ද යත්, 2022 අරගලයෙන් පසුව මෙරට පොදුජන දේශපාලන මනෝභාවයේ ගුණාත්මක පරිවර්තනයක් සිදුව තිබේ යැයි ඔවුන් වටහාගෙන නොමැති බැවිනි. 
 
නමුත්, දැන් ආණ්ඩු පක්ෂය නිරතව සිටින්නේ සියලු දෙනාට දේශපාලනය කරන්නට සිදු වන සන්දර්භය (නොහොත් ජනප්‍රිය වදනින් දේශපාලන පොළොව) තවදුරටත් වෙනසකට ලක් කිරීමේ දේශපාලනයකය. පශ්චාත්-මාක්ස්වාදී අරුතින් දේශපාලනයේ වඩාත් රැඩිකල් මානය නොහොත් දේශපාලනිකය (the political) යනු එයයි. හැඩ ගැසෙමින් පවතින නව සන්දර්භය තුළ වත්මනෙහි පවතින විපක්ෂය පවා තව වසර කිහිපයකට පසුව එලෙසින්ම පවතිනු ඇතැයි කිව හැක්කේ කා හටද?

weeraya marila
වත්මන් විපක්ෂයේ නියෝජිතයින්ගේ අපේක්ෂාව ගැන සිතන විට මට රාජිත දිසානායකගේ 'වීරයා මැරිලා' නාට්‍යයේ එන එක්තරා නාට්‍යමය ජවනිකාවක් සිහියට නැගේ. එහිදී එක්තරා පොලිස් නිළධාරියෙකු දූෂිත දේශපාලකයෙකු වන තම මිතුරාව අත්අඩංගුවට ගනී. බියට පත් මිතුරා දෙස බලා හඬ නගා සිනාසෙන පොලිස් නිළධාරියා ඔහුගේ පිටට තට්ටුවක් දමා තමන් කළේ විහිළුවක් බව මිතුරාටත් නාට්‍යාගාරයටත් හඟවයි. ආණ්ඩුවේ දූෂණ හා අපරාධ මර්දන ව්‍යාපෘතිය උපහාසයට ලක් කරන වත්මන් විපක්ෂ දේශපාලකයින් බලා සිටින්නේ සුපුරුදු පරිදි ජවනිකාවේ දෙවන කොටස පැමිණෙන තෙක්ය. 
TOPSHOT - Sri Lanka's former president Ranil Wickremesinghe looks on as he sits in a prison bus in Colombo on August 22, 2025, after a magistrate ordered him to be held in remand custody till August 26, 2025, following allegations that he misused state funds to travel to Britain in 2023. (Photo by Ishara S. KODIKARA / AFP) (Photo by ISHARA S. KODIKARA/AFP via Getty Images)
 
නමුත්, ඒ වෙනුවට තමන් සැබවින්ම අත් අඩංගුවට පත්ව ඇතැයි දැනගන්නා ඔවුන් විස්මයට පත්ව වත්මන් ආණ්ඩු පක්ෂය 'ආණ්ඩු පක්ෂයක්' ලෙසින් කටයුතු නොකරනවා යැයි චෝදනා නගන්නට පටන් ගනී! රනිල් වික්‍රමසිංහ පොලිස් අත් අඩංගුවට පත් වීමේ මොහොත මෙරට දක්ෂිණාංශික විපක්ෂයේ දේශපාලන නියෝජිතයින් පමණක් නොව එහි බුද්ධිමය ආරක්ෂකයින්ද විස්මයට පත් කළ මොහොතක් වීමෙන් ගම්‍ය වන්නේ මෙයයි.  

අනාගතයට හැරුණු විපක්ෂයක්?  

ජවිපෙ/ජාජබ ලැබූ මැතිවරණ ජයග්‍රහණය ස්ථාවර දේශපාලන ජයග්‍රහණයක් බවට පරිවර්තනය කරගත හැක්කේ දේශපාලනයේ පොදු සන්දර්භය තවදුරටත් වෙනස් කිරීමේත්, මෙරට පක්ෂ ක්‍රමය ග්‍රහණයට ගෙන තිබූ මාෆියා අනුග්‍රාහක ජාලයේ බලය මුළුමනින්ම බිඳ හෙලීමේත්, එමගින් දේශපාලනයට අදාළ ශිෂ්ට සම්පන්න තරඟයේ රීතීන් රාමුවක් හඳුන්වා දීමේත් තම වැඩ පිළිවෙළ නොපසුබටව පෙරට ගෙන යාම මගිනි. 
 Anura21
පසුගිය දශක කිහිපය තිස්සේ රාජ්‍ය-මූල්‍ය-නිලධාරී බලය අව-භාවිත කරමින් අපරාධ සංස්කෘතියක් ගොඩ නැගූ බලවතුන් ඉදිරි මැතිවරණ සමය වන විට සිටිය යුත්තේ දේශපාලන වේදිකා මත නොව බන්ධනාගාර තුළය. පැරණි යුගයේ සුන්බුන් මතින් අවතාරවලට නැගී සිටීමට ඉඩක් නොලැබෙන වාතාවරණයක් නිර්මාණය කළ යුතුව ඇත. අනාගතයට හැරුණු විපක්ෂයක් අවශ්‍ය නම් එය නිර්මාණය විය හැක්කේ අරගලයෙන් පසු යුගයේ නව වටිනාකම්, නව සදාචාර පිළිගැනීම් හා නව සමාජ සම්මුතිය තුළිනි.   

Sumith Chminda
(සටහන | සුමිත් චාමින්ද)
කතිකාචාර්ය
කොළඹ විශ්ව විද්‍යාලය
sumith.chaaminda@yahoo.com

 
 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...