The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

අනුරපුර කොළඹ කන්තෝරු කෝච්චි සිහිනය සැබෑවේ ද? | රීටා ජෙනට් පෙරේරා

T

The Leader Desk

November 2, 2025 • 11:15 AM

අනුරපුර කොළඹ කන්තෝරු කෝච්චි සිහිනය සැබෑවේ ද? | රීටා ජෙනට් පෙරේරා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේ බව අනාවරණය කරන ලද්දේ ප්‍රවාහන අමාත්‍යාංශයේ අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ ප්‍රවාහන කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත කුමාර නවරත්න විසිනි.
  • ඒ ඉකුත් 17 දා අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදි පැවැති අනුරාධපුර ආශ්‍රිත දුම්රිය ගැටළු පිළිබඳ සාකච්ඡාවක දීය.
  • පෙරවරු 5.30 ට අනුරාධපුරයෙන් පිටත් වන එය කොළඹට ළඟා වන විට පෙරවරු 10.30 පසු වීම හේතුවෙන් කාර්යාල සේවකයින්ට සහ අනුරාධපුර සිට කාර්යාල සහ ව්‍යාපාරික අවශ්‍යතා සඳහා කොළඹට පැමිණෙන ජනතාව දැඩි අපහසුතාවන්ට මුහුණ දීමට සිදුව තිබේ.
  • ඒ අනුව අඩුම වියදමකින් කෙටිම වේලාවක් තුළ අනුරාධපුර අවට ජනතාවට අගනුවර බලා පැමිණිය හැකි මෙම නව කාර්යාල දුම්රිය සේවය ඉතා සාධනීය එකක් සේ යමකුට පෙනී යනු ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):


මේ බව අනාවරණය කරන ලද්දේ ප්‍රවාහන අමාත්‍යාංශයේ අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ ප්‍රවාහන කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත කුමාර නවරත්න විසිනි. ඒ ඉකුත් 17 දා අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදි පැවැති අනුරාධපුර ආශ්‍රිත දුම්රිය ගැටළු පිළිබඳ සාකච්ඡාවක දීය. මේ සාකච්ඡාව සඳහා අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසූරිය හා දුම්රිය දෙපාර්තමේන්තු පාර්ශවයෙන් දුම්රිය සාමාන්‍යාධිකාරී රවීන්ද්‍ර පද්මප්‍රිය, දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගමනාගමන) නන්දන ඉඳිපොලගේ, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (වාණිජ) රංජිත් පත්මලාල්, ප්‍රධාන ඉංජිනේරු (මාර්ග සහ කර්මාන්ත) ප්‍රියන්ත දීගල, අනුරාධපුර දුම්රිය ප්‍රවාහන අධිකාරී නිරන්ත විස්සුන්දර යන නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වී තිබේ.

 

image ec1139014c

එහි දී නව දුම්රියක් ආරම්භ කිරීමට අවශ්‍ය දුම්රිය එන්ජින් ලබා දීම දුම්රිය දෙපාර්තමේන්තුවට යම් අපහසු කාර්යයක් වී ඇති බැවින් දැනට සවස 6.05 ට කොළඹින් මහව හන්දිය බලා පිටත් වන දුම්රිය අනුරාධපුරය දක්වා ධාවනය කිරීමට හැකි බවත් එය පොල්ගහවෙල දක්වා ශීඝ්‍රගාමී දුම්රියක් ලෙස ධාවන වී පැය තුනකුත් විනාඩි විසි පහක කාලයක් තුළ රාත්‍රී 9.30 පමණ ළඟා වන බවත් සඳහන් විය. ඒ අනුව එය අනුරාධපුරය දක්වා දිගු කළහොත් අගනුවර කාර්යාල වල සේවය කරන සේවක සේවිකාවන්ටත් මහජනතාවටත් අනුරාධපුර කොළඹ අතර සෘජු ගමන් පහසුව සැලසෙන අතර ඔවුනට එය මහත් අස්වැසිල්ලක් වනු ඇති බව ද මෙහි දී අවධාරණය කෙරිණ.එ මෙන්ම මෙම දුම්රියට පසු දා අලුයම 3.30ට අනුරාධපුරයෙන් පිටත්ව පෙරවරු 4.45ට මහව හන්දියට ළංවී පෙරවරු 8.00ට පෙර කොළඹ කොටුවට ළඟාවීමට ඇති හැකියාව ද දුම්රිය බලධාරීන් විසින් මෙහි දී අවධාරණය කරන ලදී.

an3

මෙතෙක් අලුයම් කාලයේ අනුරාධපුරයෙන් පිටත්ව කොළඹට ළඟා වීමට හැකි මුල්ම දුම්රිය වූයේ වව්නියාවේ සිට බෙලිඅත්ත බලා යන ‘රජරට රැජින’ දුම්රියයි. පෙරවරු 5.30 ට අනුරාධපුරයෙන් පිටත් වන එය කොළඹට ළඟා වන විට පෙරවරු 10.30 පසු වීම හේතුවෙන් කාර්යාල සේවකයින්ට සහ අනුරාධපුර සිට කාර්යාල සහ ව්‍යාපාරික අවශ්‍යතා සඳහා කොළඹට පැමිණෙන ජනතාව දැඩි අපහසුතාවන්ට මුහුණ දීමට සිදුව තිබේ. ඊට විසඳුමක් ලෙස මෙම නොවැම්බර් මාසයේ ආරම්භ කිරීමට නියමිත මෙම අනුරාධපුර කොළඹ නව කාර්යාල දුම්රිය අත්හදා බැලීමක් වශයෙන් පළමුව සතියේ සිකුරාදා සවස කොළඹ සිට අනුරාධපුරය තෙක් ධාවනය කිරීමටත් සඳුදා අලුයම අනුරාධපුර සිට කොළඹට ධාවනය කිරීමටත් සැලසුම් කර ඇති බව ප්‍රවාහන අමාත්‍යාංශයේ ප්‍රවාහන කමිටු සභාපති වරයා මාධ්‍යයට අවධාරණය කොට තිබේ.

ඒ අනුව අඩුම වියදමකින් කෙටිම වේලාවක් තුළ අනුරාධපුර අවට ජනතාවට අගනුවර බලා පැමිණිය හැකි මෙම නව කාර්යාල දුම්රිය සේවය ඉතා සාධනීය එකක් සේ යමකුට පෙනී යනු ඇත. එමෙන්ම අතීතයේ අගනුවර හා තදාසන්න ප්‍රදේශ වල ජනතාව ගේ දීර්ඝ වන්දනා ගමනාන්තයක් වූ අනුරාධපුරය හා අගනුවර අතර පවත්නා දෛනික මඟී පර්යටනය ඉහළ නැංවීම ද ඉතා සාධනීය දෙයක් සේ අපි ද දකිමු. නමුත් ප්‍රවාහන අමාත්‍යාංශයේ අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ ප්‍රවාහන කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත නවරත්න ජනතාව ඉදිරියේ මවා පෑ මෙම “සිහිනය” යථාර්ථයක් වීමේ සම්භාවිතාව ද අප සලකා බැලිය යුතු වේ.

 

an2

කිලෝ මීටර් 204ක පමණ දුරකින් යුතු කොළඹ සහ අනුරාධපුර අතර දුම්රියක් ධාවන වීමට ගත වන සාමාන්‍ය කාලය පැය හතරක් වේ. ශීඝ්‍ර ධාවනයක දී එම වේලාව විනාඩි දහයකින් පමණ අඩුවීමත් සාමාන්‍ය ධාවනයක දී එම වේලාව විනාඩි දහයේ සිට පැය භාගය හෝ ඇතැම් විට පැය දක්වාත් දිගු වීම සාමාන්‍ය තත්වයකි. එමෙන්ම මහව හන්දියේ සිට අනුරාධපුර තෙක් වන කිලෝ මීටර් 63 අතර දුම්රියක් ධාවනය වීමට ද පැය එක හමාරකට ආසන්න කාලයක් ගත වනු ඇත. ඒ අනුව දැනට රාත්‍රී 9.30 ට මහව හන්දියට ළඟාවන කාර්යාල දුම්රිය අනුරාධපුරයට ළඟා වන විට නිසැක ලෙසම රාත්‍රී 10.30 පසුවනු ඇත. එම දුම්රිය කොළඹින් පැය භාගයකට කලින් පිටත් වුව ද ඊට රාත්‍රී 10.00ට පෙර අනුරාධපුරයට ළංවීමට ඇති හැකියාව ඉතා අඩු ය. එමෙන්ම එලෙස ඒ වෙලාවට අනුරාධපුරයෙන් දුම්රියෙන් බසින කොළඹ කන්තෝරු නෝනා මහත්වරුන්ට තම ගම් බිම් කරා යන්නට පොදු ප්‍රවාහන පහසුකම් සපයා ගැනීම ද ලොකු අභියෝගයක් වනු ඇත. ඒ අනුව ඔවුනට සිය සේවය නිමවා නිවෙස් වලට යාමට හැකි වනුයේ “යකුන් ගස් නඟින යාමය”ට ය ය. එහෙත් දවසේ වැඩ කටයුතු නිමවා පැය කිහිපයක් නිදි සුවය ලැබීමට ඔවුනට නොපුළුවන. ඒ පසු දා අලුයම 3.30 ට අනුරාධපුරයෙන් පිටත් වන කොළඹ කන්තෝරු කෝච්චිය අල්ලා ගත යුතු බැවිනි.

an1

නමුත් ඒ වේලාවට අනුරාධපුර සිට මහව හන්දිය තෙක් කොටසේ වේගවත් දුම්රිය ධාවනයකට ඉඩ නැත. ඊට හේතුව දුම්රිය මඟ අවට සැරිසරන වන අලි ඇතුන් ය. මේ වන විට මිනිසුන් සිය සුපුරුදු වාස භූමි අහිමි කිරීම නිසා මං මුලාවූ වන අලින් එම දුම්රිය මාර්ගය අවට ගැවසීම නිසා විශේෂයෙන් අලුයම් සන්ධ්‍යා සහ රාත්‍රී කාල තුළ එම සීමාව තුළ දුම්රිය ධාවනය ඉතා සීරු මාරුවට කළ යුතු බව දුම්රිය රියැදුරෝ කියති.

එමෙන්ම මේ වන විට වන අලින් ගේ ජල අවශ්‍යතා සපුරා ලූ රාජාංගනය ජලාශය අවහිර වන සේ රාජාංගනයේ සිට ගිරිබාව තෙක් ඉතා ශීඝ්‍රයෙන් හා අවිචාරවත් ලෙස ඉදි වෙමින් පවතින අලි වැට නිසා තඹුත්තේගම ගල්ගමුව සීමාවේ දුම්රිය මාර්ගය බද ප්‍රදේශයට තවත් වන අලින් විශාල පිරිසක් සංක්‍රමණය වීම වැලැක්විය නොහැක. ඒ අනුව ඉදිරි කාලය තුළ මෙම දුම්රිය මාර්ගයේ ද වන අලින් දුම්රියට අසු වීම ඒකාන්ත ලෙසම ඉහළ යනු ඇත.

මේ අතර පසුගිය පෙබරවාරි 19 වන දා රාත්‍රී 11.30ට පමණ ‘මීනගයා’ දුම්රියට, මින්නේරිය සහ ගල්ඔය දුම්රිය ස්ථාන අතර පිහිටි කි.මී. 140 කණුව ආසන්නයේදී අලින් 7 දෙනෙකු ගැටී තිබූ අතර ඉන් පස්දෙනකු එතැනම මිය ගොස් තිබීම ද අප මෙහි දී අමතක කළ යුතු නැත. ඒ අනුව වන අලින් බහුලව ගැවසෙන අලුයම් හා සන්ධ්‍යා යාමයේ අනුරාධපුර මහව හන්දිය අතර වේග සීමා සහිතව දුම්රිය ධාවනය කළ යුතු බැවින් මෙම කාර්යාල දුම්රියට වෙන දා සුපුරුදු ලෙස පෙරවරු 4.45 ට මහව හන්දියට හෝ පෙරවරු 8.00ට පෙර අගනුවරට ළඟා වීමට හැකි වේ නම් එය එක්තරා ආශ්චර්යයකි.

ele 887

 

එමෙන්ම උතුරු දිග දුම්රිය මාර්ගය ඔස්සේ පැමිණෙන මෙම දුම්රියට පොල්ගහවෙල හන්දිය දුම්රිය ස්ථානයෙන් පසු ප්‍රධාන මාර්ගය ඔස්සේ අගනුවර දෙසට දිවෙන කාර්යාල හා වෙනත් දුම්රිය රැසක් සමඟ පෙළ ගැසෙන්නට සිදු වේ.

ශ්‍රී ලංකාවේ කාර්යාලවල සේවය කරන රජයේ සේවකයන් සඳහා වන සාමාන්‍ය රාජකාරී වේලාව පෙරවරු 8.30 සිට පස්වරු 4.15 දක්වා වේ. මෙය සියලුම වැඩ කරන දිනවල අනිවාර්යයෙන්ම කාර්යාලවල රැඳී සිටිය යුතු කාලය වේ. එවන් තත්වයක් තුළ අනුරාධපුර සිට කොළඹ එන කාර්යාල දුම්රිය වන අලින් පෙරලාගෙන හා ප්‍රධාන මාර්ගයේ දුම්රිය පෝලිමෙන් පැන නියමිත වේලාවට කොළඹට සේන්දු වුණා යැයි සිතමු. එහෙත්, එම සේවක සේවිකාවන් හට අගනුවර පවත්නා දැඩි රථ වාහන තදබදය මැද නියමිත වේලාවට සේවා ස්ථාන වෙත යෑමට හැකි වේද? යන්න සැකයකි.

එමෙන්ම එසේ දිනපතා කෙසේ වුවත් සතියකට දින කිහිපයක් ප්‍රමාද වී සේවයට පැමිණීමෙන් ඔවුනට අත් විඳීමට සිදුවන ආනිසංසය අමුතුවෙන් කිව යුතු නැත. එමෙන්ම දවසේ වේලාවෙන් පැය අටක් සේවය සඳහාත් පැය දහයක් හෝ ඊට වැඩි කාලයක් මඟ තොටටත් ගත කොට දවසේ සෙසු සියළු කටයුතු සඳහා පැය හයකටත් අඩු කාලයක් ගත කරන ඔවුන් ගේ ශ්‍රම කාර්යක්ෂමතාව කෙබඳු වේදැයි සිතා ගැනීම අප කිසිවකුටත් බැරි කමක් නැත.

 

wr4534dfgdyr6

2024 ජන හා නිවාස සංගණනය අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ ජනගහණයට අනුව කොළඹ දිස්තික්කය ද අබිබවා ඇති බව පෙනේ. ඒ සඳහා වන හේතු අතුරින් පිටපලාත්වලින් අගනුවරට රැකියා සඳහා පැමිණෙන්නවුන් තම වත් පොහොසත්කම් අනුව අගනුවර සිට කිලෝ මීටර් හතලිහක පමණ සීමාව තුළ නිවාස ඉදි කර ගැනීම බව අතිශය පැහැදිලි ය. එවන් පසුබිමක් තුළ වත්මන් රජය ක්‍රියාත්මක කිරීමට යන අනුරාධපුර කොළඹ කන්තෝරු කෝච්චියේ සාර්ථකත්වය දෙස අපි ද මහත් උනන්දුවෙන් බලා සිටිමු.


Screenshot 2024 12 25 at 10.13.44 copy(සටහන | රීටා ජෙනට් පෙරේරා)

madampagereetajenet@gmail.com

උපුටා ගැනීම - vinivida


whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...