The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

බොහෝ දෙනකු නොදත් කෙහෙල්බද්දර රණ විරුවා

T

The Leader Desk

November 3, 2025 • 6:05 AM

බොහෝ දෙනකු නොදත් කෙහෙල්බද්දර රණ විරුවා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේ දිනවල බහුලවම කතා බහට ලක් වන සංවිධානාත්මක අපරාධ කරුවකුගේ නමට ඉදිරියෙන් කෙහෙල්බද්දර යන ග්‍රාම නාමය භාවිතා වීම ඊට හේතුව වී තිබේ.
  • ඒ ඔස්සේ අද වන විට ජාතික මට්ටමේ ප්‍රසිද්ධියක් හිමිව තිබෙන කෙහෙල්බද්දර නාමය ඊට පෙර එම ගම්වරය අයත් ගම්පහ දිස්ත්‍රික්කයේ වත් සැලකිය යුතු පිරිසක් අසා නොතිබුණු බවට සැක නැත.
  • ඉහත සඳහන් සංවිධානාත්මක අපරාධකරුගේ නම පසෙක තිබිය දී එම ගමට කෙහෙල්බද්දර යන නම පටබැඳීම සම්බන්ධයෙන් කාට වුව එක්වරම වැටහී යන නිමිත්තක් තිබේ.
  • එනම් එය සුවිසල් කෙසෙල් කොරටුවක් තිබූ හෝ ප්‍රදේශය පුරා පැතිර ගත් කෙසෙල් වගාවක් තිබූ ගම්වරයක් වන්නට ඇති බව ය.
අකුරු ප්‍රමාණය (Font Size):


මේ දිනවල බහුලවම කතා බහට ලක් වන සංවිධානාත්මක අපරාධ කරුවකුගේ නමට ඉදිරියෙන් කෙහෙල්බද්දර යන ග්‍රාම නාමය භාවිතා වීම ඊට හේතුව වී තිබේ. ඒ ඔස්සේ අද වන විට ජාතික මට්ටමේ ප්‍රසිද්ධියක් හිමිව තිබෙන කෙහෙල්බද්දර නාමය ඊට පෙර එම ගම්වරය අයත් ගම්පහ දිස්ත්‍රික්කයේ වත් සැලකිය යුතු පිරිසක් අසා නොතිබුණු බවට සැක නැත.

ඉහත සඳහන් සංවිධානාත්මක අපරාධකරුගේ නම පසෙක තිබිය දී එම ගමට කෙහෙල්බද්දර යන නම පටබැඳීම සම්බන්ධයෙන් කාට වුව එක්වරම වැටහී යන නිමිත්තක් තිබේ. එනම් එය සුවිසල් කෙසෙල් කොරටුවක් තිබූ හෝ ප්‍රදේශය පුරා පැතිර ගත් කෙසෙල් වගාවක් තිබූ ගම්වරයක් වන්නට ඇති බව ය. එහෙත්, මෙම කෙහෙල්බද්දර ග්‍රාම නාමය සහ කෙසෙල් වගාව අතර කිසිදු සබැඳියාවක් නැත. එමෙන්ම එහි ඇත්තේ වර්තමානයේ බොහෝ දෙනකු නොදන්නා අතිශය අප්‍රකට හා රසාලිප්ත රාජකීය පුරාවෘත්තයකි. ඊට හේතුව කෙහෙල්බද්දර යනු කෝට්ටේ රාජධානි සමයේ විසූ රණකාමී සෙන්පතියකු ගේ නාමයක් හා සෘජුව සම්බන්ධ ගම්වරයක් වීම ය.

හීනටියන පෙරහැරට පමණක් ආවේණික සත්ව රූප
ගම්පහ නගරයේ සිට මිනුවන්ගොඩ දෙසට වැටී ගත් ප්‍රධාන මාර්ගය ඔස්සේ කිලෝ මීටර් තුනක පමණ දුරක් වන විට උඩුගම්පොල මංසන්ධිය හමුවෙයි. වර්තමානයේ උප නගරයක ස්වරූපයෙන් පැවැතිය ද මෙම උඩුගම්පොළ යනු කෝට්ටේ රාජධානි සමයේ මෙරට තිබූ ප්‍රධානම උප රාජධානියකි. දහ අට වන සියවසේ ලියැවුණු රාජාවලියේ උඩුගම්පොළ ලෙසින් හඳුන්වා ඇති මෙම රාජධානිය ඊට පෙර ලියැවුණු අලංකේශ්වර යුද්ධයේ සඳහන් වනුයේ උඩිගම්පල යනුවෙනි.

අතීතයේ සිට දියුණු ශිෂ්ටාචාරයකට හිමිකම් කී උඩුගම්පල අප රටේ නිරිත දිග පිහිටි අංග සම්පූර්ණ උප රාජධානියක් බවට පත් වනුයේ කෝට්ටේ රජ කළ අට වන වීර පරාක්‍රමබාහු නමින් රජකමට පත් අම්බුළුගල කුමාරයා (ක්‍රි.ව. 1477-1496) ට දාව අග මෙහෙසියගේ සොයුරිය ගේ කුසින් උපන් කුමාරවරුන් දෙදෙනා ගෙන් වැඩිමල් කුමරුවන් වන සකල කලා වල්ලභයන් උඩුගම්පල උප රාජධානියේ රජකමට පත් වීමත් සමගිනි.

අට වන වීර පරාක්‍රමබාහු රජුගේ දෙවන පුත් තනියවල්ලභ කුමරු හලාවතට නොදුරු කටුපිටි මාදම්පේ උප රාජධානියේ රජකමට පත් වූ බව ද ප්‍රකට කරුණකි. සිංහලයෙන් සකල කලා වල්ලභ යනුවෙන් පැවසෙන වදන ද්‍රවිඩ ඌරුවට අනුව සකල කලා වල්ලවන් යනුවෙන් පැවසෙන අතර වල්ලවන් යනු ස්වාමියා, නායකයා, ශූරයා ආදී බහු විධ අරුත් ගෙනෙන වදනකි.

උඩුගම්පොළ රාජධානිය හා සම්බන්ධ පැරණි ලේඛන සහ ජනශ්‍රැති මූලාශ්‍ර පිළිබඳව විමසීමේ දී ඊට පිවිසෙන ප්‍රධාන වාසල් දොරටු සතර මේ වන විට ද හඳුනා ගත හැකි වේ.

k7පසු කලෙක දේවත්වයට පත් තනිය වල්ලභයන් වෙනුවෙන් ඉදි වූ මාදම්පේ තනි වැල්ලේ දේවාලය
ඉන් උතුරු වාසල් දොරටුව ගම්පහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් අංක 217 ඒ දරන වත්මන් වැලිකඩ ග්‍රාම නිලධාරී කොට්ඨාශය ලෙස හඳුනා ගැනීමට හැකිව තිබේ. අද වන විට පෙතියාගොඩ ලෙසින් හැඳින්වෙන පතියගොඩ උඩුගම්පොළ රාජධානියේ නැගෙනහිර වාසල් දොරකඩ පිහිටි ගම්වරය ලෙස හඳුන්වනු ලැබේ. මේ වන විට මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පෙතියාගොඩ උතුර (108) සහ පෙතියාගොඩ දකුණ (108/1) වශයෙන් ග්‍රාම නිලධාරී වසම් දෙකකට බෙදී ඇති මෙම පැරණි ගම්වරය හැඳින්වුණු පතියාගොඩ යන නාමයේ ‘පති’ යන කොටසින් යම් අධිපතියකු පිළිබඳව පැවසුණු බව නොරහසකි.

වර්තමානයේ නැගෙනහිර (130) සහ බටහිර (130/1) ලෙසින් ග්‍රාම නිලධාරී කොට්ඨාශ දෙකකට බෙදී ඇති මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් වීදියවත්ත උඩුගම්පල රාජධානියේ බටහිර වාසල් දොරකඩ පිහිටි ප්‍රදේශය වන අතර දොලොස් වන සියවසේ ලියැවුණු ධර්ම ප්‍රදීපිකාව ආදි ග්‍රන්ථවල සඳහන් අන්දමට වීථිය යනු ප්‍රධාන මාර්ගය හැඳින්වීම පිණිස යෙදෙන වදනකි. ඒ අනුව එය උඩුගම්පල රාජධානිය සඳහා වූ නාගරික පිවිසුමක් බව පෙනෙයි.

පැරණි උඩුගම්පල උප රාජධානියේ දකුණු වාසල් දොරටුව කෙහෙල්බද්දර පිහිටා තිබූ අතර සෑම වාසල් කඩක් භාරව සිටි සෙන්පතියන් අතුරින් කෙහෙල්බද්දර වාසල් දොරටුව භාරව සිටි සෙන්පතියා එවක ප්‍රකටව ඇත්තේ “කෙහෙළිබැඳි රාළ” යනුවෙනි. ඒ අනුව ද කෙහෙල්බද්දර කෙසෙල් වගාව අතර කිසිදු සබැඳියාවක් නොමැති බව අපට තව දුරටත් තහවුරු වනු ඇත.

k6උඩුගම්පල පැරණි ප්‍රාකාර කොටසක්
මෙම කෙහෙළිබැඳි රාළ හා ඔහුගේ පිරිවර උඩුගම්පල රාජධානියේ දකුණු වාසල් දොරටුව සම්බන්ධ ආරක්ෂක කටයුතු මැනැවින් ඉටු කළ අතර මෙම වීර සෙන්පතියා පිළිබඳ ලේඛන ගත මූලාශ්‍ර අතිශය දුලබ ය. නමුත් ඒ. එස්. එෆ්. වීරසුරිය කූරුකුලවෙන්දර් නම් විද්වතකු විසින් කෞරව වංශයේ හෙවත් කරාව කුලයේ යටගියාව ඇසුරින් රචනා කරනු ලදුව 1960 වසරේ කුරුණෑගල සුජාතා ප්‍රකාශකයන් විසින් මුද්‍රණයෙන් එළි දක්වන ලද “කුරුකුල චරිතය” දෙවන ඛාණ්ඩය ග්‍රන්ථයේ මෙම කෙහෙල්බද්දරට ඒ නම් වරය ලබා දුන් කෙහෙළිබැඳි රාළ නම් වීර සෙන්පතියා පිළිබඳව සඳහන් වේ. එමෙන්ම ඔහු වැඩ සිටි උඩුගම්පොළ රාජධානී සමයේ තවත් රණවිරුවකු සිටි අතර ඔහු වත්මන් කටාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් මේ වන විට බටහිර (153), නැගෙනහිර (153 ඒ) සහ දකුණ (153 බී) වශයෙන් ග්‍රාම නිලධාරී වසම් තුනකට බෙදී ඇති හීනටියන ග්‍රාමය මුල් කරගත් උඩවල රාළ නැමැත්තෙකි. එමෙන්ම ඔහුගේ නායකත්වයෙන් යුතු උඩුගම්පල උප රාජධානිය හා සම්බන්ධ එක් යුද බල ඇනියක් තිබූ බව පැවසෙයි.

කෙහෙළිබැඳි රාළගේ නිජ බිම වන උඩුගම්පල උප රාජධානියේ දකුණු වාසල් දොරටුව වූ කෙහෙල්බද්දර මේ වන විට තරමක දියුණුවක් පෙන්වන ගම්වරයකි. වත්මන් මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් එය කෙහෙල්බද්දර නැගෙනහිර ( 140) හා බටහිර (140 ඒ ) ලෙස ග්‍රාම නිලධාරී වසම් දෙකකට බෙදා තිබේ. කෙහෙල්බද්දර සිට සකල කලා වල්ලභ රජ මාලිගාවට ඇත්තේ කිලෝමීටර් දෙකකටත් අඩු දුරකි. ඒ අනුව කෙහෙල්බද්දර යනු රාජධානියේ වාසල් දොරටු අතුරින් රජ මාලිගාවට සමීපතම වාසල් දොරටුව බව නිසැක ය.

k5උඩුගම්පල පැරණි රාජකීය පොකුණේ කොටසක්
එවක සකල කලා වල්ලභ නම් රණ ශූර නරපතියා විසූ රජ මාලිගය අද හැඳින්වෙනුයේ මාලිගා ගොඩැල්ල ලෙසිනි. පසු කලෙක එනම් මහනුවර රාජධානී සමයේ එම ස්ථානයේ ඉදි වූ විහාරස්ථානය අදත් හැඳින්වෙනුයේ උඩුගම්පල මාලිගා ගොඩැල්ල උත්තරාරාම පුරාණ විහාරය යනුවෙනි.

එමෙන්ම සකල කලා වල්ලභ රජුට ආරක්ෂාව සපයන පරිවාර සේනාවන් සහිත ගම්වර අතුරින් කෙහෙළිබැදි රාළ නම් රණශූර සෙන්පතියා ගේ නායකත්වයෙන් යුතු කෙහෙල්බද්දරට එවක ප්‍රධාන තැනක් හිමි වූ බවට සැක නැත. එමෙන්ම එම ගම්වරය තුළ ඔහුගේ නායකත්වයෙන් යුතු කාය ශක්තියෙන් අනූන තරුණ පිරිසක් සිටි බව ද නිසැක වශයෙන්ම පිළිගත යුතු ය.

සකල කලා වල්ලභ රජතුමන් ගේ රණශූරත්වය හා එතුමන් නාමයට “සකල කලා” යන කොටස එක්ව තිබීම සම්බන්ධයෙන් විශේෂයෙන් සඳහන් කළ යුත්තක් ද තිබේ. මෙම සකල කලා යන්නෙන් සියළු ශිල්ප ශාස්ත්‍ර සේම සියලු සටන් කලා යන්න ද හැඟවෙන බැවිනි. මෙහිදී පොදුවේ සටන් කලා හැඳින්වීම පිණිස යෙදවෙන Martial art. යන ඉංග්‍රීසි වදන කෙරෙහි ද අප අවධානය යොමු කළ යුතු වේ.

k3උඩවල මුත්තා දේව රූපයක්
ලක් ඉතිහාසයෙන් වාර්තා වන සුවිශිෂ්ටතම රණ ශූරයකු වූ සීතාවක රාජසිංහයන්ට පෙර කාලයක ජීවත් වුවද ඔහු මෙන් කටේ කිරි සුවඳ යන්නටත් පෙර සකල විධ සටන් කලා ප්‍රගුණ කොට තිබූ සකල කලා වල්ලභයන් හීනටියන ගම් ආශ්‍රිත උඩවල ග්‍රාමයේ විසූ කේරලයේ මලයාලම් සම්භවයකින් පැවත ආ පසුව උඩවල රාළ නමින් රජ වාසල ප්‍රධාන නිලයක් හිමි කර ගත් සටන් කාමියා සමීපයේ විශේෂ සටන් පුහුණුවක් ලැබූ බව පැවසෙයි.

මේ වන විට මුළුමනින්ම සිංහල ජාතියට හා බෞද්ධාගමට අවශෝෂණය වී සිටින උඩවල රාළ ගේ පරිවාර ජනයා තුළ ද මෑතක් වන තුරුම කේරල මලයාලම් සංස්කෘතික ලක්ෂණ පැහැදිලිවම දක්නට ලැබුණු බවට තොරතුරු තිබේ. අදටත් හීනටියන පොත් ගුල් පෙරහැරේ දක්නට ලැබෙන කෘත්‍රිමව තනන ලද සත්ව අනු රූ තුළට බැස සිදු කරන විචිත්‍රවත් රංගනය හුදෙක් එම ගම්මානයට පමණක් ආවේණික වූවකි.

හීනටියන ගම්මානයේ වෙසෙන පාරම්පරික ජනතාව හා මා ජීවත්වන ගණේමුල්ල තිබ්බටුගොඩ හා හොරගොල්ල යන ගම්මාන වල ජනතාව අතර ඓතිහාසික ඥාති සබඳතාවක් තිබේ. ඒ අනුව මීට වසර පනහකට පමණ ඉහත යොවුන් වියේ දී එම හීනටියන පැවැති අවමංගල්‍ය උත්සව කිහිපයකට සහභාගීවීමට මට සිදු විය. එහි දී එවක ඒවායේ සිටි පිරිමින් ගෙන් මා දුටු සුවිශේෂත්වයක් වූයේ ඉන් සැලකිය යුතු පිරිසක් ගෝනුසු දඬු මෙන් උඩු අතට විදින ගත් රැවුල් කාරයන් වීම ය. එක් මෘත දේහයකට කර ගැසූ හය දෙනාගෙන් සිව් දෙනකුම එම රැවුල් විලාසිතාවේ අය වූහ. ඒ වන විට මා එය දුටුවේ එම ගමේ මෘත දේහ ගෙන යාමට මළ යකුන්ට බය නැති චණ්ඩි පහේ මිනිසුන් ඉදිරිපත් වන බවකි. සයිකල් හැඬලයක ස්වරූපය ගත් මෙම රැවුල් විලාසිතාව (Handlebar mustache) කේරලය ඇතුළු දකුණු ඉන්දියානු ද්‍රවිඩ ප්‍රජාව අතරේ අදටත් අතිශයින් ජනප්‍රිය ය.

k4සකල කලා වල්ලභයන් රාජධානියේ කෙත් වතු පරීක්ෂාවට යන අයුරු දැක්වෙන සිත්තමක්
ඒ කෙසේ වුව සකල කලා වල්ලභයන් ඉහත සඳහන් කෙහෙල්බද්දර කෙහෙළිබැඳි රාළ ගේත් හීනටියන උඩවල රාළගේත් රණ ශූරත්වයෙන් විශිෂ්ට ප්‍රතිඵල ලත් අවස්ථාවක් ද රාජාවලිය කෘතිය මගින් තහවුරු කොට ඇත. නමුදු ඉන් සකල කලා වල්ලභයන්ගේ රණශූරත්වය ඉස්මතු කිරීම පිණිස දෝ ඉහත සඳහන් සෙනෙවි වරුන් පිළිබඳ විස්තර ඒවායේ සඳහන් නොවේ.

සකල කලා වල්ලභ රජුගේ පියතුමන් වන අටවන වීර පරාක්‍රමබාහු හෙවත් අම්බුළුගල කුමාරයා ගේ අග මෙහෙසිය ගේ පුත් ධර්ම පරාක්‍රමබාහු (1491-1513) කෝට්ටේ රජකම් කරන සමයෙහි බලහත්කාරයෙන් හලාවතට පිවිස මුතු කිමිදීමේ යෙදුණු ඉන්දීය ආක්‍රමණික හමුදාවක් නිසා රාජ්‍යත්වයට එල්ල වූ තර්ජනය පිටු දකිනු පිණිස ධර්ම පරාක්‍රමබාහු රජු තම පියාට දාව උපන් සකල කලා වල්ලභ සහ තනිය වල්ලභ යන රණවරු උප රජ සොයුරන් හට භාර දෙනුයේ ඔවුන් පිළිබඳ තිබූ උපරිම විශ්වාසය මුල්කොට බව නිසැක ය.

kසකල කලා වල්ලභ ප්‍රතිමාවක්
එහි දී සකල කලා වල්ලභයන් තමන් සතු සුවිශේෂ රණ ශූරත්වය සේම කෙහෙළිබැඳි රාළ සහ උඩවල රාළ නම් සෙනෙවි වරුන් ඔවුන් ගේ සටන් බල ඇනි ඇතුළු පිරිවර සමඟ එම ආක්‍රමණික හමුදාවේ නායක කදිරයාන මුදලි ඇතුළු විශාල පිරිසක් ඝාතනය කොට එම සටනින් සුවිශේෂ ජයක් හිමිකර ගෙන තිබේ. ඔවුන් ගේ නම් සඳහන් නොවූවද සකල කලා වල්ලභ සහ තනිය වල්ලභ යන රණවරු උප රජ සොයුරන් කළ එම යුද්ධය පිළිබඳව රාජාවලිය ඇතුළු මූලාශ්‍රවලින් කරුණු හෙලි වේ.

සකල කලා වල්ලභයන් ගේ මඟුල් පොකුණ. මෙය ආසියාවේ විශාලතම රාජකීය නාන තටාකය බව ද පැවසෙයි.

එමෙන්ම කෙහෙළිබැඳි රාළ සමඟ එම සටනේ පෙරමුණ ගත් උඩවල රාළ හට සකල කලා වල්ලභයන් විසින් තම රාජධානියට අයත් සරුසාර කෙත් වතු සහිත ගම්වරයක් ප්‍රදානය කළ බවත් ඔහු එහි හීනටි නම් වී වර්ගය වගා කරවා සරුසාර ආදායම් ලත් බවත් පැවසේ. එම ගම් ප්‍රදේශය අදටත් හීනටියන යන නම ලැබී ඇත්තේ එනිසා යැයි කියනු ලැබේ. එමෙන්ම ඒ සමයේ සකල කලා වල්ලභයන්ගේ අනුග්‍රහ යටතේ මලයාලම් දේශයෙන් පැමිණි තවත් ජන ප්‍රධානියකු ඇරඹූ සම්බා වගාවක් ගණේමුල්ල, හොරගොල්ලේ තිබූ අතර අතීතයේ සම්බා කෙත නම් වූ කුඹුරු යාය අවට ගම්මානය ද එවක සම්බාගම නමින් හැඳින්වුණු බව පැවසේ. අද වන විටත් ඒ කුඹුරු යායේ සේම එවක තනා තිබූ වැවේ නටබුන් එහි දක්නට ලැබෙන අතර මේ වන විට එම ප්‍රදේශය හම්බාගම ලෙසින් හඳුන්වනු ලැබේ.

k10ඉහළට කරකැවුණු රැවුලක්
ඒ අනුව මලයාලම් සම්භවයක ජනතාව වෙසෙන හීනටියන සේම සම්බාගම ද වී වර්ග වල නම් මුල් කොට පට බැඳුණු ග්‍රාම නාම දෙකක් වීම විශේෂත්වයකි.

එදා මෙදා තුර ගම්වාසීන්ගේ නොමඳ ආදරය ගෞරවයට ලක් වූ උඩවල රාළ මේ වන විට උඩවල මුත්තා නමින් දේවත්වයට පත්ව ඇති අතර ඔහු වෙනුවෙන් කැප වූ ප්‍රසිද්ධ දේවාලයක් ද හීනටියන ගම්මානයේ තිබේ. නමුදු ඔහු සමඟම එවක ගෞරවනීයත්වයට පත් කෙහෙළිබැඳි රාළ නාමය වෙනුවට ඔහු ගේ නමින් යුතු කෙහෙල්බද්දර සංවිධානාත්මක අපරාධකරුවකු ගේ නමින් ප්‍රකට වීම එක්තරා ඛේදවාචකයකි.

Thilak Senasinghe
(සටහන | තිලක් සේනාසිංහ)
ගවේෂණාත්මක මාධ්‍යවේදී

thilaksenasinghe@gmail.com

(උපුටා ගැනීම- vinivida.lk)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

බොහෝ දෙනකු නොදත් කෙහෙල්බද්දර රණ විරුවා | The Leader