The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

සංගීත සාද තුළිනුත් මත් රකුසා එළියට...!

T

The Leader Desk

November 5, 2025 • 8:52 AM

සංගීත සාද තුළිනුත් මත් රකුසා එළියට...!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මුහුණු පොත (Facebook) ඇතුළු විවිධ සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ප්‍රචාරය දෙමින් ඔවුන් මේ අවස්ථාවට පිරිස් කැඳවා ඇති අතර, මේ සාදයට තරුණ තරුණියන් 600ක් පමණ සහභාගි වී තිබේ.
  • ‘රටම එකට’ මත්ද්‍රව්‍ය රටින් තුරන් කිරීමේ ව්‍යාපෘතියට සමගාමීව සිදු කරන මෙහෙයුම් අතරතුර නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයට ලද රහසිගත තොරතුරක් මත මේ සංගීත ප්‍රසංගය පැවැති ස්ථානය අවට මෙහෙයුමක් සිදුකර මේ පිරිස අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසා තිබේ.
  • මෙහි සිටි තරුණ තරුණියන් 600ක් අතරින් සැක කටයුතු ලෙස හැසිරුණු කිහිප දෙනකු අත්අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේදී සහ ප්‍රශ්න කිරීමේ දී මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි මෙම තරුණ පිරිස අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
  • මෙලෙස අත්අඩංගුවට පත් තරුණ තරුණියන් කඩුවෙල, හෝමාගම, නුගේගොඩ, ආදී තදාසන්න ප්‍රදේශවලින් මෙන්ම මීගමුව, අනුරාධපුරය, ගාල්ල, නුවරඑළිය, හැටන් ඇතුළු විවිධ ප්‍රදේශවල පදිංචිකරුවන් බවත්, මොවුන් වයස අවුරුදු 16 සිට 35 අතර වයස් කාණ්ඩවල පසු වන බවත් පොලිසිය පවසයි.
අකුරු ප්‍රමාණය (Font Size):


මුහුණු පොත (Facebook) ඇතුළු විවිධ සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ප්‍රචාරය දෙමින් ඔවුන් මේ අවස්ථාවට පිරිස් කැඳවා ඇති අතර, මේ සාදයට තරුණ තරුණියන් 600ක් පමණ සහභාගි වී තිබේ.

 

360 F 286294841 zDc1n1bpVkDgLTdHxp3ARJ72EoaYgPeW

‘රටම එකට’ මත්ද්‍රව්‍ය රටින් තුරන් කිරීමේ ව්‍යාපෘතියට සමගාමීව සිදු කරන මෙහෙයුම් අතරතුර නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයට ලද රහසිගත තොරතුරක් මත මේ සංගීත ප්‍රසංගය පැවැති ස්ථානය අවට මෙහෙයුමක් සිදුකර මේ පිරිස අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසා තිබේ. මෙහි සිටි තරුණ තරුණියන් 600ක් අතරින් සැක කටයුතු ලෙස හැසිරුණු කිහිප දෙනකු අත්අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේදී සහ ප්‍රශ්න කිරීමේ දී මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි මෙම තරුණ පිරිස අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය අතර කුෂ් (Kush), පිල් (Pill) නමැති වර්ගයේ ඩාන්සින් ටැබ්ලට් (Dancing Tablets), මැන්ඩි (Mandy), හෑෂ් (Hash), ගංජා, කේරළ ගංජා, ෆී කැප් (Fee Cap) නමැති මත් කරල්, විදෙස් රටවල නිෂ්පාදිත නීති විරෝධී දුම්වැටි සහ අයිස් (Crystal Meth/Ice) මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් තිබූ බව ද පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.

මෙලෙස අත්අඩංගුවට පත් තරුණ තරුණියන් කඩුවෙල, හෝමාගම, නුගේගොඩ, ආදී තදාසන්න ප්‍රදේශවලින් මෙන්ම මීගමුව, අනුරාධපුරය, ගාල්ල, නුවරඑළිය, හැටන් ඇතුළු විවිධ ප්‍රදේශවල පදිංචිකරුවන් බවත්, මොවුන් වයස අවුරුදු 16 සිට 35 අතර වයස් කාණ්ඩවල පසු වන බවත් පොලිසිය පවසයි.

 

Cocaine party addiction 1
දිවයිනේ විවිධ ප්‍රදේශවල සංවිධානය කෙරෙන මෙවැනි සාදවලට පැමිණෙන තරුණ තරුණියන් පිළිබඳ මව්පියන් මීට වඩා සැලකිලිමත්ව සොයා බලා ක්‍රියා කළ යුතු බවටත්, නැතහොත් ඉදිරියේ දී තරුණ පිරිස මත් රකුසාගෙන් බේරා ගැනීම එතරම් පහසු කාර්යයක් නොවන බවටත් පොලිසිය මව්පියන්ට දැනුම් දීමක් ද සිදු කරයි.

සංගීත සාද සහ මත් ද්‍රව්‍ය සුසංයෝගය යනු සාමාන්‍යයෙන් රාත්‍රී සමාජ ශාලා සාද, වෙරළ සාද සහ වෙනත් සමාජ උත්සව වැනි අවස්ථාවන්වලදී මත්ද්‍රව්‍ය යොදා ගැනීමේ සමාජමය නැඹුරුවක් දක්නට ලැබීමයි. ලොව බොහෝ රටවල සේම ශ්‍රී ලංකාව තුළ ද මෙවැනි සාද ආශ්‍රිතව භාවිත වන බවට වාර්තා වන “සාද මත්ද්‍රව්‍ය” (Party Drugs) භාවිතය මේ වන විට සමාජ පිළිලයක් බවට පත් වෙමින් තිබේ.

ඒ අතුරින් එක්ස්ටසි/මැන්ඩි (Ecstasy/MDMA) සාද මත් ද්‍රව්‍ය ලෙස වඩාත් ප්‍රචලිතය. එය ප්‍රීතිය, ආත්ම විශ්වාසය සහ ශක්තිය වැඩි කිරීම සඳහා කෘත්‍රිම උත්තේජක බලපෑම් ඇති කරයි. මේවා රාත්‍රී සමාජ ශාලා සහ විද්‍යුත් සංගීත සාදවලදී නිතර භාවිත වනු දක්නට ලැබේ. ඒ අතර මොළයට කරනු ලබන කෘත්‍රිම බලපෑම් මඟින් උත්තේජක වර්ග (Stimulants) භාවිතාව ද මෙවැනි අවස්ථාවල සිදු කෙරෙයි. මේ වන විට අප සමාජය පුරා අයිස් නමින් ප්‍රචලිත ක්‍රිස්ටල් මෙත් (Crystal Meth/Ice) මෙවන් අවස්ථාවල භාවිත කෙරෙන ඉතා ඉක්මනින් ඇබ්බැහි කරවන ප්‍රබල උත්තේජකයකි. මේ වන විට මෙම “අයිස් කඳු ගණන්” අප රටින් හමුවීම මෙහි බියකරු බව සමාජය හමුවේ ගෙන හැර දක්වන්නකි.

 

Young girl buying drugs inside of night club at party time.
මීට අමතරව කොකේන් (Cocaine), ඇම්ෆෙටමින් (Amphetamine) වැනි උත්තේජක සේම කෙටමින් (Ketamine) ආදී නිර්වින්දක ද සාදවලදී භාවිත වන බවට වාර්තා වේ. අප රටේ බහුලව වාර්තා වන බවට තොරතුරු නොමැති වුව ද එල්එස්ඩී (LSD) ද මානසික විකෘතිතා ඇති කරන මත් ද්‍රව්‍යයකි. සංගීතය, නර්තනය, සහ විදුලි ආලෝකකරණය වැනි සාද පරිසරය මෙවන් මත්ද්‍රව්‍ය මඟින් ලැබෙන ආස්වාදය වැඩි කිරීමට දායක වන අතර ප්‍රකෘති ලෝකයෙන් අත් මිදී මායාකාරී ලොවක සැරිසැරීමට ලැබෙන අවකාශයත් මුල් කොට බොහෝ දෙනකු මේවාට යොමු වන බව පැවසෙයි.

“ෆේස්බුක් සාද” (Facebook Parties) යනුවෙන් හැඳින්වෙන ෆේස්බුක් ඔස්සේ සංවිධානය කරනු ලබන තරුණ තරුණියන්ගේ සාද ද මෙම මත් රකුසා සමාජ කරළියට එන ස්ථාන ලෙස හඳුනා ගත හැක. ශ්‍රී ලංකාව තුළ, මෙම සාද සම්බන්ධයෙන් නිරන්තරයෙන්ම මත්ද්‍රව්‍ය භාවිතය සහ නීති විරෝධී ක්‍රියාකාරකම් පිළිබඳ වාර්තා වීම නිසා මේවා සමාජයේ අවධානයට ලක්ව තිබේ.

මෙම සාද ප්‍රධාන වශයෙන් සංවිධානය කරනු ලබන්නේ ෆේස්බුක් වැනි සමාජ මාධ්‍ය හරහා, බොහෝ විට පුද්ගලික සිදුවීම් (Private Events) හෝ “වට්ස්ඇප්” (WhatsApp) සමූහ ඔස්සේ ආරාධනා යැවීමෙනි. බොහෝ විට වෙරළබඩ හෝටල්, නිවාඩු නිකේතන, හෝ නගරාශ්‍රිත රහසිගත ස්ථානවල පවත්වනු ලබන මේවා ප්‍රධාන වශයෙන්ම උසස් සමාජ ස්ථරවල සහ නාගරික මධ්‍යම පාන්තික තරුණ තරුණියන් ඉලක්ක කර ගනී. එමෙන්ම උසස් වෘත්තීය මට්ටමේ තරුණ තරුණියන් ද සිටින බව මේ වන විට ලැබී ඇති වාර්තා මඟින් තහවුරු වේ.

 

party drugs covid

මෙලෙස මත්ද්‍රව්‍ය භාවිතය නිසා අනාරක්ෂිත ලිංගික හැසිරීම්, ලිංගික විෂමාචාර ඇතුළු සහ සමාජ විරෝධී ක්‍රියා වැනි බරපතළ ගැටලු ද ඇති විය හැකි බව සමාජ විශ්ලේෂකයන් පෙන්වා දී තිබේ. මෙම මත්ද්‍රව්‍ය අධික ලෙස ගැනීමෙන් හෝ වෙනත් මත්ද්‍රව්‍ය සමඟ මිශ්‍ර කිරීමෙන් අධික විජලනය, වෙහෙස, මානසික අවුල් සහගත තත්ත්වයන් සහ මත්ද්‍රව්‍ය අධි මාත්‍රාවෙන් මිය යාම වැනි දේ සිදුවිය හැකි ය. එමෙන්ම එම තරුණ පිරිස් මඟින් මේවා සමාජගත වීමේ පහසු අවකාශයක් පවතින බව ඔවුන්ගේ නිගමනයයි. එමෙන්ම ඇබ්බැහිකාරක සේ සැලකෙන මේවා භාවිතය විෂාදය (Depression), මතකය සහ අවධානය පිළිබඳ ගැටලු ඇති කිරීමට හේතු වන අතර ඒවායින් ශරීරයේ ස්නායු පද්ධතිය අඩාල වීම මත මොවුන්ගේ ජීවිත ඉතා ඛේදනීය ඉරණමකට පත් වීමේ පහසු අවකාශයක් පවතී.

ddfwrb34456jjkki78

 

ශ්‍රී ලංකාව තුළ මෙම මත්ද්‍රව්‍ය පැතිරවීම ජාත්‍යන්තර මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ශ්‍රී ලාංකේය අතරමැදියන් ලවා කරවන්නකි. එමෙන්ම ඒ සඳහා වැය කරන මුදල් දස දහස් ගණනින් වර්ධනය වී තමන් වෙත ලැබෙන බව ඔව්හු දනිති. ඉහත සඳහන් ඒවා අතරින් විෂ මත්ද්‍රව්‍ය ගණයෙහි ලා සැලකෙන වර්ග සන්තකයේ තබා ගැනීම, භාවිත කිරීම සහ ජාවාරම් කිරීම සපුරා තහනම් වන අතර, ඒ සඳහා බරපතළ නීතිමය ක්‍රියාමාර්ග ගනු ලැබේ. ඒ අනුව වත්මන් රජය මඟින් දියත් කොට ඇති ‘රටම එකට’ මත්ද්‍රව්‍ය රටින් තුරන් කිරීමේ ව්‍යාපෘතිය ඔස්සේ ද ඉහත සඳහන් සංගීත සාද උප සංස්කෘතිය කෙරෙහි දැඩි අවධානය යොමු කිරීමෙන් එම ව්‍යාපෘතියේ සාර්ථකත්වය වඩාත් හොඳින් තහවුරු කර ගත හැකි බව අපගේ වැටහීම ය.

renuka damayanthi(සටහන | ඒ.ජී රේණුකා දමයන්ති)
නිදහස් මාධ්‍යවේදිනී
renudamayanthi2024@gmail.com

(උපුටා ගැනීම - vinivida.lk)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...