The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

අටවන ජනාධිපතිගේ සතියේ ඩයරිය : ආර්ථිකයේ අඳුරු පැතිකඩ ගැන රනිල් ගෙන් විශ්ලේෂණයක්

T

The Leader Desk

November 7, 2025 • 6:14 AM

අටවන ජනාධිපතිගේ සතියේ ඩයරිය : ආර්ථිකයේ අඳුරු පැතිකඩ ගැන රනිල් ගෙන් විශ්ලේෂණයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලිහා බැලූ මල්ල තවදුරටත් ඔබා බලන්නට අවශ්‍ය නොවෙන බව බහුතර පොදු ජනතාවකගේ මෙන්ම විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ ඒකමතික මතය විය.
  • දෙවැනි අයවැයත් ඒ වගේම වනු ඇතැයි ජනතාව ඒත්තු ගෙන සිටීම නිසා අයවැය ගැන සමාජයේ කිසිම උණුසුමක් ඇති නොවූ බව දේශපාලන විචාරකයන්ගේ මතය විය.
  • "2024 අවුරුද්දේ ඉඳන් වැදගත් ම කාරණය වුණේ 2028 දී ණය ගෙවන්න ආරම්භ කරන්න පුළුවන්ද කියන කාරණය.
  • ඩොලරය රුපියල් 275 මට්ටමකට එනු ඇති බවත් එතැන් සිට තවත් අඩුවනු ඇති බවත් ආණ්ඩුවේ උදවිය විශ්වාස කළා.
අකුරු ප්‍රමාණය (Font Size):

ලිහා බැලූ මල්ල තවදුරටත් ඔබා බලන්නට අවශ්‍ය නොවෙන බව බහුතර පොදු ජනතාවකගේ මෙන්ම විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ ඒකමතික මතය විය. ඒ නිසා මේ සැරේ අයවැය ගැන ජනතාවට වගේ වගක් තිබුණේ නැත.

 


මෙවර අයවැයත් "ආව- ගියෝ" ද...?

 
වැහි කාලෙට ගෙවල් වලට එන "ආව- ගියෝ" සත්තු වගේ ම  පළමු අයවැය ඇවිත් මොකුත් ම නොකර යන්නට ගියේ ය. දෙවැනි අයවැයත් ඒ වගේම වනු ඇතැයි ජනතාව ඒත්තු ගෙන සිටීම නිසා අයවැය ගැන සමාජයේ කිසිම උණුසුමක් ඇති නොවූ බව දේශපාලන විචාරකයන්ගේ මතය විය. අයවැය ගැන මෙන්ම වත්මන් දේශපාලන වාතාවරණය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා රනිල් ඔහුගේ සමීප මාධ්‍ය හිතවතුන් මල් පාරේ කාර්යාලයට කැඳවා තිබුණේ ඉකුත් බදාදා ය. හිටපු ප්‍රවෘත්තිය අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක, හිටපු මාධ්‍ය අධ්‍යක්ෂ ශානුක කරුණාරත්න සහ ජාත්‍යන්තර කටයුතු අධ්‍යක්‍ෂ දිනුක් කොළඹගේ ඒ අතර වූහ.
 
"2024 අවුරුද්දේ ඉඳන් වැදගත් ම කාරණය වුණේ 2028 දී ණය ගෙවන්න ආරම්භ කරන්න පුළුවන්ද කියන කාරණය. එහෙම ණය ගෙවන්න පුළුවන් කියන කාරණය තාම මට නම් පෙන්නුම් කරලා නැහැ."

රනිල් තමන්ගේ දේශපාලන ඥානය අනුව පැවසූයේ එවැනි කතාවකි.

"ටුවරිසම් වලිනුත් බලාපොරොත්තු වෙච්ච ආදායම පැමිණ නැහැ නේද?"

දිනිත් ඇසූයේ සංඛ්‍යා ලේඛන කිහිපයක් ද ඉදිරිපත් කරමිනි.

"කාමර ගාස්තුත් වැඩි වෙලා, නේපාලයේ  කරදරවලින් පස්සේ සංචාරකයන්ට යන්න තැන් තිබුණේ නැහැ. ළඟම තැන තිබුණේ ලංකාව, නමුත් ලංකාව ඒකට මාකට් කළේ නැහැ. අපි තාම එක තැන හිරවෙලා ඉන්නේ. ලොකු ම අර්බුදය වෙලා තියෙන්නේ අපේ වෘත්තිකයින් වැඩි හරියක් දැන් රට ගිහිල්ලා."

රනිල්  එසේ කීවේ දිනිත් මතු කළ ප්‍රශ්නයට පිළිතුරක් වශයෙනි.
 
105047180 gettyimages 56429061 b 1
"අනෙක් අර්බුදය  තමයි අපේ රුපියල බාල්දු වෙලා. රුපියල බාල්දු වෙලා තියෙන නිසා රුපියලේ මිලත් අඩුවෙනවා. ඩොලරය රුපියල් 275 මට්ටමකට එනු ඇති බවත් එතැන් සිට තවත් අඩුවනු ඇති බවත් ආණ්ඩුවේ උදවිය විශ්වාස කළා. ඒත් දැන් වෙලා තියෙන්නේ තවත් රුපියල බාල්දු වෙන එක. අපි කතා කරන්න ඕන මේවා ගැන තමයි. වෙන වෙන වල් පල් වාගාලාප කතා කළාට වැඩක් නැහැ.''
රනිල් වත්මන් ආර්ථිකයේ අඳුරු පැතිකඩක් ගැන විශ්ලේෂණයක්ද කළේ එසේ ය.

රුපියල් ආදායම වැඩි වුණත් ඩොලර් ආදායම රටින් ඉවතට

මන්ත්‍රී කණ්ඩායම් හමුවේ දී අදහස් දක්වමින් රුවන් කීවේ හිතූ තරම් විදේශ ආයෝජන ද රටට පැමිණ නැති බවයි.
 
Ranil Wickremesinghe 1652362244301 1652362244573
"මේ සැරේ දුවන්නේ වාහන ගෙන්නිල්ලෙන් විතරයි,'' යැයි මන්ත්‍රීවරයෙක් කී කතාවකට ඌන පූරණයක් එකතු කරමින් දිනිත් පැවසූයේ  වාහන ගෙන්නනවා කියන්නේ කස්‌ටම් ආදායම වැඩි වෙන්නෙ රුපියල් වලින් පමණක් බවයි. දේශීය රුපියල් ආදායම වැඩි වුණත් ඩොලර් ආදායම රටින් ඉවතට යන බව දිනිත් විස්තර කර පෙන්වා දුන්නේය. රනිලුත් ඒ කතාව අනුමත කළේ හිස වනිමිනි.

"මේක හරියට අතට අරගෙන බැලන්ස් කරේ නැත්නම් රට වැටෙනවා."
 
රටේ සංචිත වැඩි කරන බවට කොතරම් පාරම් බෑව ද තවමත් තිබෙන්නේ රනිල් ඉතිරි කර ගිය සංචිත ප්‍රමාණය ම ය. ඉදිරියේ දී ඩොලරය තවත් ශක්තිමත් වී රුපියල තවත් අවප්‍රමාණය වීමේ අවදානමක් පවතින බව ආර්ථික විශ්ලේෂණකයින්ගේ මතයයි.
සුරතල් ප්‍රේමදාස තෙමේ ගේ දඟ වැඩ

අනුර පසුගිය අයවැය රටට ඉදිරිපත් කරද්දී ජනතාව හිටියේ බොහෝ උද්යෝගිමත්වය. ඇතැම්හු රතිඤ්ඤා පත්තු කළහ. ඇතැම්හු කිරිබත් පිසූහ. නමුත් අද ඒ ජනතාව ම ආණ්ඩුවට විරුද්ධව අවි අමෝරා සිටීම දෛවෝපගත සිද්ධියකි. මෙතරම් ඉක්මනින් කුල්ල කුජීත වූ ආණ්ඩුවක් නැති බව විපක්ෂයේ මෙන්ම ආණ්ඩුවට ඡන්දය දුන් බොහෝ දෙනෙක්ගේ මතය යි.
 


පම්පෝරි මිස මහ පොළොවේ  කිසිම දෙයක් සිදු නොවූ වසරක් ලෙස මෙය ඉතිහාසයට එක් වන්නේය.

"මේක පුස් අවුරුද්දක්" චාමර අවුරුද්ද කෙටියෙන් අර්ථ දැක්වූයේ එසේ ය.
 
ඒ උනාට වචන ටිකක් නම් මහා ඉහළින්  බැබලෙමින් තිබේ." ක්ලීන් ශ්‍රී ලංකා", රටම එකට මත්ද්‍රව්‍ය මෙහෙයුම" උඩින්ම බැබළෙන වචන දෙකකි. නමුත් ජනතාව බලාපොරොත්තු වූයේ ක්‍රමයේ කනපිට හැරවීමක් හෙවත් දැවැන්ත වෙනසකි. ඒ කිසිම දෙයක් මේ මහ පොළොවේ නම් සිදු නොවූවා මෙන්ම සිදුවන බවක් පේන තෙක් මානයකවත් නැත. විපක්ෂ නායකයා වශයෙන් සිටින ආණ්ඩුවේ සුරතල් ප්‍රේමදාස තෙමේ ගේ දඟ වැඩ නිසා ඒකාබද්ධ ජනරැලිය සිතූ තරම් උත්කර්ෂයකට ළඟා කර නොහැකි වනු ඇති බව දේශපාලක විචාරකයන්ගේ මතය යි. 
සජිත් සහ ඔහුගේ අන්තේවාසික මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් හැරුණු විට සජබ මන්ත්‍රීවරුන් බහුතරයකගේ මතය වන්නේ පොදු විපක්ෂයේ ජන රැලියට සහභාගී විය යුතු බවයි. එම රැලිය සඳහා විපක්ෂයේ පක්ෂ නායකයින් සහභාගී වීම අවශ්‍ය නොවන බව අවසානයේ දී තීරණයකට එළඹ තිබිණි. ඒ අනුව එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් හරීන් ප්‍රනාන්දු රැලියට සහභාගී කරවීමට නායක රනිල් තීරණය කළේ ය.
 

"අපිම හැමදාම මේවා ඉදිරියට ගිහින් කරලා වැඩක් නෑ. දැන් දෙවෙනි පෙළක් ඉස්සරහට එන්න ඕන."

රනිල්ගේ මතය එය විය.

රනිල් එලෙස පුළුල් දැක්මකින් කතා කළත් විපක්ෂ නායක සජිත් තවමත් සිටින්නේ "මං පොර" මානසිකත්වයේ ය.

පවුලේ හිතවතකු සමග ඉන්දියාවට ගිය සජිත්

සමගි ජන බල වේගයේ බොහෝ ප්‍රගතිශීලී මන්ත්‍රීවරුන්ට සජිත්ගේ ඇත්ත තත්ත්වය දැන් හොඳාකාරව ම වැටහී ගොස් තිබේ. සජබ ප්‍රදේශපාලන ක්‍රියාකාරී හිටපු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් ප්‍රකාශ කර තිබුණේ විපක්ෂයේ එම රැස්වීමට සජබ විදියට නොව ස්වාධීනව සහභාගී වීමට හැකියාව තිබෙන බවයි.

සජිත් ඉන්දියාවට ගොස් තිබුණේ ද තම පක්‍ෂයේ කිසිම මන්ත්‍රීවරයෙකුට කියන්නේ නැතිවය. ඒකට බොහෝ මන්ත්‍රීවරුන්ගේ හිත රිදී තිබිණි. සජිතයේ ඉන්දීය ගමන ගැනද රනිල් හමු වූ මන්ත්‍රී කණ්ඩායමේ කතාබහට ලක් විය.
 
"මෙයාගේ මෝඩකම ඒ ඉන්දියා ගමනෙනුත් තහවුරු වුණා. හරිනි ගිහිල්ලා සති කිහිපයකින් මෙයා ඉන්දියාවට ගියේ. බලන්න ඒ දෙන්නට ඉන්දියාව දුන්න සැලකිලිවල වෙනස. රනිල් නායකතුමා විපක්ෂ නායක හැටියට ඉන්දියාවට ගියාම ඔවුන් දක්වපු සැලකිල්ල අපට මතකයි. මෙයාට දීල තියෙන්නෙ කුඩම්මගෙ සැලකිල්ලක්."
මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක්ම එලෙස අදහස් පළ කළේය.

සජිත් ඉන්දියාවට ගියේ කාලයක් තිස්සේ ඔහු විසින් කරන ලද ඉල්ලීමක ප්‍රතිඵලයක් ලෙස බව ආරංචි ය.
 


"විපක්ෂ නායක විදියට ඉන්දියාවේ  යනකොට මන්ත්‍රීවරුන් කිසිවකුත් රැගෙන නොගිය එකම එක්කෙනා ලෙස සජිත් ඉතිහාසගත වන්නේ ය. සජිත් ඉන්දියාවට ගිහින් තිබුණේ පක්ෂයත් අතට ගෙන කටයුතු කරන පවුලේ හිතවතකු සමග බව ආරංචිය.

"සුව සැරිය ගෙනාවේ හර්ෂ  කියලා එයා කියනවා නම් අඩු ගානේ හර්ෂවත් ඉන්දියාවට එක්කගෙන යන්න තිබුණා. හර්ෂවත් ඉන්දියාවට එක්ක නොයාමෙන් පේන්නේ හර්ෂ සුව සැරිය ගෙනාවා කියලා සජිතුත් පිළිගන්නේ නැහැ කියන එක නේද? ඒ මොහොතේ රනිල් හමුවීමට පැමිණ සිටි සජබ මන්ත්‍රීවරයෙක්ම එසේ විමසූයේ මුවගට සිනහවක් මතු කරගනිමිනි.

සමස්ත රාජ්‍ය තන්ත්‍රය ම දැඩි කලකිරීමක
 
නොවැම්බර් 21 වැනිදා පැවැත්වෙන පොදු විපක්ෂයේ ජන රැළියෙන් අනතුරුව දෙවැනි රැලිය ජනවාරි 18 වැනිදා පැවැත්වීමට නියමිතව තිබේ. රජයක් ලෙස ගත් තීරණවලට රාජ්‍ය නිලධාරීන් කුදලා ගෙන ගොස් හිරිහැර කිරීම ගැන සමස්ත රාජ්‍ය තන්ත්‍රය ම දැඩි කලකිරීමකට පත්ව සිටිති. ආණ්ඩුවේ තීරණයකට අනුව වී ගබඩා කිරීම සම්බන්ධයෙන් චරිත රත්වත්තේ  කුදලා ගෙන ගොස් හිරිහැර කිරීම ගැන සමස්ත රාජ්‍ය තන්ත්‍රයේ බොහෝ පිරිසක් රනිල්ට ද දුරකථන ඇමතුම් ලබාදී අප්‍රසාදයෙන් කතා කර තිබිණි.
"සර් මේ විදියට අපි වාඩිවෙලා තීරණයක් ගන්නේ කොහොමද?"

රාජ්‍ය නිලධාරීන් රනිල්ගෙන් අසා තිබූ එකම ප්‍රශ්නය එය යි.

"මේ කොමිෂන් වාර්තාවලින් යන්න බැහැ. මොකද කොමිෂන් වාර්තාවලට සාක්ෂි ආඥා පනත බලපාන්නේ නැහැ. අලුතින් විමර්ශනය කරලා පෙන්වන්න ඕන."

රනිල් රාජ්‍ය නිලධාරීන්ට එලෙස උත්තර දුන්නේ ය.

"මේගොල්ලෝ නීතිය අච්චාරුවක් කරගෙන."

රනිල් මන්ත්‍රී කණ්ඩායම අමතමින්  එසේ පැවසී ය.

චරිත පිළිබඳ වජිර ගෙන් චරිත සහතිකයක්
 
charitha R
අඟහරුවාදා කොළඹ මල් පාර කාර්යාලයට එන්නට වජිර සූදානම් වී සිටින අතරතුර දුරකථන ඇමතුමක් ලැබෙන්නේ හිතවතෙකුගෙනි.

''සර් චරිත රත්වත්තේ ඇරෙස්ට් කරලා.''

මෙම ඇමතුම ලැබුණු වහාම වජිර ඉක්මනින්ම මල් පාර කාර්යාලයට පැමිණෙන්නේ නායක රනිල් දැනුවත් කර ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා ය.  වජිර මල්පාර කාර්යාලයට එන අතරතුර පක්ෂයේ නීතීඥන් සමග දුරකතනයෙන් සම්බන්ධ වෙමින් සාකච්ඡා කළේ ය.
 
නායක රනිල්, වජිරට උපදෙස් දුන්නේ රත්වත්තේට ඇප ලබාගැනීම සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කරන ලෙස යි. නායකයා ප්‍රකාශ කළ ආකාරයට ම වහා ක්‍රියාත්මක වූ වජිර අවශ්‍ය කටයුතු සොයා බැලීම සඳහා නඩු කටයුත්ත සිදුවන  උසාවියට පැමිණියේ ය. උසාවි භුමිය වෙත සවස 2.30ට පමණ රත්වත්තේ ගෙන ආවත් එහි සිදු වූ විදුලි බිඳවැටීමක් හේතුවෙන් නඩුව ඇසීම පමා විය.
රත්වත්තේට ඇපදීමෙන් අනතුරුව උසාවිය අසල දී මාධ්‍යයට අදහස් දක්වමින් වජිර කීවේ රාජ්‍ය නිලධාරීන් සත්භාවයෙන් ගන්නා තීරණවල දී සිදුවන පාඩු ගැන රාජ්‍ය පරිපාලන චක්‍රලේඛන සහ මුදල් අමාත්‍යංශයේ රෙගුලාසි අනුව ක්‍රියා කළ යුතු බවයි. රාජ්‍ය නිලධාරීන් ගන්නා තීරණවල දී රජයට ලාභයක් සිදු වූ විට කිසිදු ස්තුතියක් වත් පළ නොකෙරෙන බව ද එජාප සභාපතිවරයා සඳහන් කළේය.

"මා දන්නා චරිත රත්වත්තේ මහතා 80 දශකයේ දී ශ්‍රී ලංකාවේ තරුණ සේවා සභාව පිහිටුවීමටත් එය නිසියාකාරව රටට ප්‍රයෝජනවත් ආකාරයට හැසිරවීමටත්, නායකත්වය දුන් රාජ්‍ය නිලධාරියෙක්. එලෙසම 1988 වකවානුවේ ජනසවිය ව්‍යාපාරය ආරම්භ කරන විටත් ඒ සඳහා රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමාට අවශ්‍ය සහයෝගය ලබාදුන් රාජ්‍ය නිලධාරියෙකු ලෙස අප ඔහු දැන හඳුනාගෙන සිටිනවා. රත්වත්තේ මහතා 2001 වකවානුවේ දී රටේ ආර්ථිකය කඩා වැටුණු අවස්ථාවේ දී මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස ඉතාමත් වැදගත් සේවාවක් කරමින් ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා පියවර ගත්තා. අපරාධ හැර අනික් අවස්ථාවල රාජ්‍ය සේවකයින් බොහොම පරිස්සමින් හැසිරවීම කළ යුතුයි," යනුවෙන් ද වජිර එහි දී කීය.

(සටහන | මල් පාරේ ලියුම්කරු )

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...