The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

සම්මුති විසම්මුති : නිදහසෙන් පසු කේරළයේ සංවර්ධනය සහ ලංකාව පසුබැසීම | සුනන්ද දේශප්‍රිය

T

The Leader Desk

November 7, 2025 • 10:14 AM

සම්මුති විසම්මුති : නිදහසෙන් පසු කේරළයේ සංවර්ධනය සහ ලංකාව පසුබැසීම | සුනන්ද දේශප්‍රිය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නිරපේක්ෂ දරිද්‍රතාව සහ දරිද්‍රතාවයේ සීමාව යනු දෙකකි.
  • නිරපේක්ෂ දරිද්‍රතා සීමාව පහළ ආදායම් රටවල් සඳහා දිනකට ඒක පුද්ගල ආදායම ඇමෙරිකානු ඩොලර් 2.15 එනම් ශ්‍රී ලංකා රුපියල් 658ක් ලෙස ලෝක බැංකුව විසින් නියම කර ඇත.
  • දරිද්‍රතාවයේ සීමාව දිනකට ඩොලර් 3.65 ( රු.1100)කි.
  • නමුත් ලංකාණ්ඩුවේ දත්ත අනුව මෙරට නිරපේක්ෂ දරිද්‍රතාවය දිනක ඒක පුද්ගල ආදායම රුපියල් 544ට අඩු ලෙස දක්වයි.
අකුරු ප්‍රමාණය (Font Size):

නිරපේක්ෂ දරිද්‍රතාව සහ දරිද්‍රතාවයේ සීමාව යනු දෙකකි. නිරපේක්ෂ දරිද්‍රතා සීමාව පහළ ආදායම් රටවල් සඳහා දිනකට ඒක පුද්ගල ආදායම ඇමෙරිකානු ඩොලර් 2.15 එනම් ශ්‍රී ලංකා රුපියල් 658ක් ලෙස ලෝක බැංකුව විසින් නියම කර ඇත. දරිද්‍රතාවයේ සීමාව දිනකට ඩොලර් 3.65 ( රු.1100)කි. නමුත් ලංකාණ්ඩුවේ දත්ත අනුව මෙරට නිරපේක්ෂ දරිද්‍රතාවය දිනක ඒක පුද්ගල ආදායම රුපියල් 544ට අඩු ලෙස දක්වයි. ඉන් අදහස් වන්නේ ආහාර, ජලය, සනීපාරක්ෂාව, නිවාස, සෞඛ්‍යය, අධ්‍යාපනය වැනි මූලික අවශ්‍යතා සපුරා ගැනීමට අසමත් වන ජන කණ්ඩායමයි.

2024 දී මෙරට මුළු ජනගහනය ආසන්න වශයෙන් මිලියන 22 ක් වන අතර, සාමාන්‍ය දරිද්‍රතා රේඛාවට පහළින් 24.5%කි ජනයා ජීවත් වෙයි. එය දළ වශයෙන් මිලියන 5.4 කි. මෙරට නිරපේක්ෂ දරිද්‍රතාවයේ ජීවත්වන පුද්ගලයින් ගැන සංඛ්‍යා ලේඛන නැතත් එය තරමක ජනගහණයක් බව සැලකේ.

 


කේරළය මෙන්ම ලංකාව ද උසස් සාක්ෂරතාව සහ සමාජ සංවර්ධන මට්ටමක් සම්බන්ධයෙන් ප්‍රසිද්ධය. එනමුත්  නිදහසෙන් පසු ලංකාව සහ කේරළය ගත් මඟ එකිනෛකට වෙනස්ය. ලංකාව 1948 දී නිදහස් වූ අතර, කේරළය 1956 දී ඉන්දියාවේ ප්‍රාන්තයක් ලෙස පිහිටුවන ලදී. දෙරටම අධ්‍යාපන හා සෞඛ්‍යය මත අවධානය යොමු කළත්, දේශපාලන තීරණ සහ ආර්ථික ප්‍රතිපත්ති අතින්  වෙනස් විය.

කේරළ මාදිලිය: මානව සංවර්ධනය මූලික කරගත් මඟ

කේරළයේ සාර්ථකත්වය “කේරළ මාදිලිය” ලෙස හැඳින්වේ. මෙය දළ දේශීය නිෂ්පාදනයේ වර්ධනයට වඩා මානව සංවර්ධනය මත අවධානය යොමු කළ මඟකි. කේරළය 1970 දශකයේ ඉඩම් සංශෝධන මගින් ගොවීන්ට භූමිය ලබාදී, සමාජ සමානත්වය තහවුරු කළේය. 1980–1990 දශකයේ අධ්‍යාපන හා සෞඛ්‍යය මත දැඩි ආයෝජන සිදු කිරීමෙන් සාක්ෂරතාව 96% ඉක්මවා ඉහළ නැංවීය.

1 LbPHy is9OOBroiKvVs2Bw

 

1996 දී ‘ජනතා සැලසුම් ව්‍යාපාරය’ මගින් ප්‍රාදේශීය පාලන බලය ජනතාවට ලබාදී, 1998 දී කුඩුම්බශ්‍රී වැඩසටහන මගින් ගෘහණියන්ගේ ආර්ථික සහ සමාජ බලය වැඩි කළේය. කේරළය අන්ත දුප්පත් බවින් නිදහස් වූයේ මෙම මෙම ප්‍රතිපත්ති මතය. එය අඛණ්ඩ ප්‍රතිපත්ති, ජනතා සහභාගීත්වය, සහ සමාජ සහජීවනය මත ගොඩ නැගුණි.

ශ්‍රී ලංකාව: සමාජ සාර්ථකත්වය අතර ආර්ථික අභියෝග

p01d3zmn
ලංකාව ද නිදහසෙන් පසු සමාජ සුබසාධන රාජ්‍යයක් ලෙස පියවර තැබීය. 1950–1960 දශකයෙහි අධ්‍යාපන හා සෞඛ්‍යය සඳහා නොමිලේ සේවාවන් ලබා දී, සාක්ෂරතාවය 90% දක්වා ඉහළ නැංවිණි. නමුත් 1956 සිංහල පමණක් පනත මගින් ආරම්භ වූ වාර්ගික ආතතීන් 1983 දී කළු ජුලිය හරහා යුද්ධයක් බවට පරිවර්තනය විය. විපාකය වූයේ ආර්ථිකය දැඩි බලපෑමකට ලක්වීමයි.

1977 දී J.R. ජයවර්ධන විසින් ආර්ථික විවෘත ප්‍රතිපත්ති ආරම්භ කිරීමෙන් පසු ඇති වූයේ අසමාන වර්ධනයකි. යුද්ධය නිසා ආයෝජන අඩු විය. 2009 යුද්ධය අවසන් වූ පසු, විදේශ ණය මත ගොඩනැගුණු ව්‍යාපෘති මගින් ණය උගුලකට රට හසු විය. මෙරට 1948 සිට 2025 දක්වා පාලනය කළේ මූලික වශයෙන් බණ්ඩාරනායක සහ සේනානායක පවුලය.

පාර්ලිමේන්තු මැතිවරණයකින් බලයට පැමිණි ප්‍රථම මාක්ස්වාදී පාලනය (1957) කේරළය විය. නිදහසින් පසු ශ්‍රී ලංකාවේ ද මාක්ස්වාදී පක්ෂ බලය අල්ලා ගැනීමේ අද්දරට පැමිණි නමුත් පොදු පෙරමුණක් ගොඩ නැගීමට අසමත් වීම නිසා එම අවස්ථාව මඟ හැරුණි.

 

keraladsa

කේරළය 1956 සිට පාලනය කරන ලද්දේ කොමියුනිස්ට්වාදීන්ගේ නායකත්වයෙන් යුත් වාම ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ (වසර 35ක්) සහ කොන්ග්‍රස් පක්ෂය මූලිකත්වය ගත් එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ (වසර 25ක්) විසිනි. වාම ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සමාජවාදී වාම දේශපාලනය මත පදනම්ව සමාජ සමානත්වය, ප්‍රාදේශීය පාලන බලය, සහ සුභ සාධන රාජ්‍ය මත අවධානය යොමු කළේය. එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ මධ්‍යස්ථ මූලධර්ම මත පදනම්ව විවෘත ආර්ථික ප්‍රතිපත්ති සහ නවීකරණයය ප්‍රවර්ධනය කළේය.

කේරළයෙහි දක්නට ලැබුණ වැදගත් සාධකයක් නම් සමාජ සාධාරණත්වය සහ සුභ සාධන රාජ්‍ය පිළිබඳ තිබූ බහු පාක්ෂික එකඟත්වයයි. විවෘත ආර්ථිකයක පිළිවෙත එම රාමුව තුළ පවත්වා ගැනුණි.  

 

0357fe7cb6132d57c58f0d80c1fa4a14
අඛණ්ඩ ප්‍රතිපත්ති සහ ජනතා සහභාගීත්වය කේරළ මාදිලියෙහි සාර්ථකත්වයට මූලික හේතුවක් විය. පක්ෂ දෙක අතර දේශපාලන තරඟය තිබුණද අධ්‍යාපන, සෞඛ්‍යය, සහ දුගී බාව පිටුදැකීම  යන අරමුණු දෙපාර්ශවයම අඛණ්ඩව පවත්වා ගෙන ගියේය. කේරළය නිරපේක්ෂ දරිද්‍රතාවයෙන්  නිදහස් වීමේ දේශපාලන පදනම එයයි. එම දිනා ගැනීම ලද ඉන්දියාවේ පළමු රාජ්‍යය සහ චීනයෙන් පසු ලෝකයේ දෙවැනි ප්‍රදේශය ලෙස කේරළය ඉතිහාසයට එක් වෙයි.

ලංකාව පෙන්වා දෙන්නේ දේශපාලන අස්ථාවරබව සහ වාර්ගික ගැටුම් ආර්ථිකය විනාශ කරන බවයි.  දූෂණය හැර අන් කිසිදු ප්‍රශ්නයක් යක් සම්බන්ධයෙන් මෙරට බහු පාර්ශවීය ප්‍රවිශ්ඨයක් නොවීය.

ඉතිහාසීය කාලසටහන

1960 දශකයේදී, එක්සත් ජාතීන්ගේ අධ්‍යයනයක් අනුව, කේරළයෙහි පවුල් 90% කට වැඩි ප්‍රමාණයක් දුප්පත්කමේ රේඛාවට පහළ සිටි අතර, එය ඉන්දියාවේ අඩුම ආර්ථික මට්ටමක් වූ රාජ්‍යයක් ලෙස සැලකුණි. 1970 දශකයේ ඉඩම් සංශෝධන මගින් භූමිය නැවත බෙදාගැනීම සිදුකිරීම, 1980 දශකයේ අධ්‍යාපන හා සෞඛ්‍යය මත දැඩි ආයෝජන, සහ 1996 දී ආරම්භ කළ “ජනතා සැළැස්ම” මගින් ප්‍රාදේශීය පාලන විප්ලවය මෙම මඟට මූලික සාධකයක් විය.

kutumbashree

 

1998 දී කුටුම්භශ්‍රී වැඩසටහන ආරම්භ කිරීමෙන් ගෘහණියන්ගේ ආර්ථික සහ සමාජ බලය වැඩි විය. 2012 වන විට දරිද්‍රතාවය 11% දක්වා පහත වැටී තිබුණි. 2023 වන විට එය 0.55% ලෙසින් ඉන්දියාවේ අඩුම අගය විය. අවසාන පියවර වූ ‘නිරපේක්ෂ ද්‍රරිද්‍රතාවය පිටුදැකීමේ ව්‍යාපෘතිය’’ 2021 දී ආරම්භ වී 2025 දි එය අවසානයට පැමිණයේය.

කටුම්භශ්‍රී වැඩ සටහන රජයේ ඉතා සාර්ථක, සහභාගීත්ව දරිද්‍රතාවය තුරන් කිරීමේ සහ ස්ත්‍රී සවිබල ගැන්වීමේ මෙහෙයුම වන අතර එය සමාජ සාධාරණත්ව අරගලයේ යගදාවකි. එහි 45 ලක්ෂයකට වැඩි  ස්ත්‍රීන් සහභාගී වෙයි.   එය ලොව විශාලතම ස්ත්‍රී ජාලයන්ගෙන් එකකි.

මෙරට පසුගිය දේශපාලන පෙරළියෙහි ප්‍රථම ජන රැල්ල බවට ‘ගැහැණු එක මිටට’ නම් ආශ්වාද ජනක රැස්වීම් මාලාව පත් විය. එනමුත් අද එම වචන අසන්නටවත් නොලැබේ. දැන් එම ගැහැණු විසිරී ගොස්ය. එම ස්ත්‍රී අභිලාශය සංවිධානාත්මක ව්‍යාපාරයක් බවට ගොඩ නැගීමට ජාතික ජන බලවේගය පියවර ගත්තේ නැත.  ඊට හේතුව එහි පුරුෂාධිපත්‍යය  සහ සමාජ වෙනසක් පිළිබඳ සංයුක්ත අදහසක් නොමැති වීම විය යුතුය.

NPPs Policy Statement and Womens Representation 548x365

 

කුඩුම්බශ්‍රී ප්‍රාදේශීය දේශපාලනයේ ස්ත්‍රීන් සඳහා තීරණාත්මක පුහුණු භූමියකි. කේරළයේ පළාත් පාලන ආයතනවලට තේරී පත් වූ ස්ත්‍රීන්ගෙන් බහතර ප්‍රතිශතයක් (70% ක් පමණ) කුඩුම්බශ්‍රී ජාලයෙන් පැමිණ ඇති අතර එමගින් පාලනයේ ස්ත්‍රී නියෝජනය ඉහළ නංවා ඇත.

ස්ත්‍රී සවි බල ගැන්වීම එහි තවත් අරමුණකි. නායකත්ව පුහුණුව, ස්ත්‍රී පුරුෂ භාවය, ස්වයං ඉගෙනීම් වැඩසටහන් සහ කාන්තාවන්ට එරෙහි හිංසනය ආමන්ත්‍රණය කිරීම සඳහා "ස්නේහිත" ස්ත්‍රී පුරුෂ භාවය පිළිබඳ උපකාරක වැඩ සටහන් ද ඊට ඇතුලත්ය. 2020 වන වට එහි සාමාජිකාවන්ගේ ඉතුරුම් ඉන්දීය රුපියල් බිලියන 40ක් විය. එමගින් අති විශාල ක්ෂුද්‍ර මූල ණය වැඩ සටහනක් එය පවත්වා ගෙන යයි.

සමාජ පරිවර්තනය සඳහා ස්ත්‍රී සහභාගිත්වය ඇති කිරීම මගින් ස්ත්‍රීන්ගේ  ආත්ම විශ්වාසය, චිත්ත ධෛර්යය සහ නායකත්ව කුසලතා සැලකිය යුතු ලෙස ඉහළ නැංවීමට කුටුම්භශ්‍රී සමත් වී තිබේ. තවද  සාම්ප්‍රදායික ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ සම්මතයන්ට අභියෝග කර පවුල් සහ ප්‍රජාවන් තුළ ඔවුන්ගේ භූමිකාව  සහ තීරණ ගැනීමේ බලය වැඩි කර ඇත.

 

Kudumbashree A group of caterers trained by Kudumbashree. e1679020580662

කුටුම්භශ්‍රී සහ ග්‍රාමීන් සභා මගින් සියලුම ආගමික සහ ජාතික කණ්ඩායම් එක් කරන වැඩසටහන් ක්‍රියාත්මක කළහ. පීඩිත කුළ  සහ අනෙක් එවැනි  අඩු ආදායම් කණ්ඩායම් සඳහා විශේෂිත සහය ලබා දීමෙන් සමාජ සන්සුන්තාවය තහවුරු කර ගැනීමට කේරළයට හැකි විය. සමාජ විගණන සහ ග්‍රාමීන් සභා මගින් පවත්වන විවෘත විගණන මගින් දූෂණය වැළැක්වීමේදී විශේෂිත සාර්ථකත්වයක් ලබා ගැනීමට ද මෙම වැඩ සටහන් සමත් විය.  

ක්‍රම වෙනසක් සඳහා ලංකාවට කේරළයෙන් උකහා ගත හැකි පාඩම් බොහෝය.

555810426 25070024865969342 8959844417318968889 n(සටහන | සුනන්ද දේශප්‍රිය)
Journalist, Writer and Human Rights Activist
sunandadeshapriya@gmail.com

Twitter: @sunandadesh
Editor: http://srilankabrief.org

(උපුටා ගැනීම - srilankabrief.org)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...