The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

පහතරටට යකෙකු වී උඩරටට දෙවියෙකු වූ මත්ලෝලී සහ ස්ත්‍රීලෝලී අබිමානා

T

The Leader Desk

November 9, 2025 • 8:45 AM

පහතරටට යකෙකු වී උඩරටට දෙවියෙකු වූ මත්ලෝලී සහ ස්ත්‍රීලෝලී අබිමානා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එය ප්‍රවීණ ගීත රචක ප්‍රේම කීර්ති ද අල්විස් සූරීන්ගේ පබැඳුමකි.
  • එම ගීතය තුළ පෙම්වතකු විසින් තම පෙම්වතියට ‘අබිමානා’ පැමිණිය හැකි නිසා තොට ළඟට නොයන ලෙස පැවසුව ද, මේ කියන අබිමානා කවුරුන් ද යන්න අදටත් ඒ ගීතය අසන; රස විඳින බහුතරය නොදනිති.
  • යක්ෂ භූමිකාවේ දී අබිමානා දැහැමි මිනිසුන් පිළිකුල් කරන, මතට දැඩි ගිජු බවක් දැක්වූ මත් ලෝලියෙකි.
  • රා, අබිං සහ ගංජා භාවිතයට ඇබ්බැහි වූ ඔහු සමහරකු “අභිමානා” ලෙස හඳුන්වති.
අකුරු ප්‍රමාණය (Font Size):


එය ප්‍රවීණ ගීත රචක ප්‍රේම කීර්ති ද අල්විස් සූරීන්ගේ පබැඳුමකි. එම ගීතය තුළ පෙම්වතකු විසින් තම පෙම්වතියට ‘අබිමානා’ පැමිණිය හැකි නිසා තොට ළඟට නොයන ලෙස පැවසුව ද, මේ කියන අබිමානා කවුරුන් ද යන්න අදටත් ඒ ගීතය අසන; රස විඳින බහුතරය නොදනිති.

 



ජනප්‍රවාදයට අනුව අබිමානා යනු විටෙක යක්ෂයෙකු සේම දෙවියෙකු ද ආකාරයට දෙබිඩි මුහුණුවරකින් සමාජය හමුවට පැමිණි අමනුෂ්‍යයෙකි. ඒ අනුව මිනිසුන් අතර බිය උපද්දවන්නටත්, තවත් විටෙක පුදසත්කාර ලබමින් ගෞරවාදරයට පාත්‍ර වන්නටත් අබිමානා සමත් වේ. යක්ෂ භූමිකාවේ දී අබිමානා දැහැමි මිනිසුන් පිළිකුල් කරන, මතට දැඩි ගිජු බවක් දැක්වූ මත් ලෝලියෙකි. රා, අබිං සහ ගංජා භාවිතයට ඇබ්බැහි වූ ඔහු සමහරකු “අභිමානා” ලෙස හඳුන්වති.

එහෙත්, එය ඉඳුරාම වැරදි ය. අබිමානා එනමින් හැඳින්වෙනුයේ ඔහු අබිංවලට ඇබ්බැහි වී සිටීම නිසා ය. එය “අබිමා” යන්නෙන් නිපන් වහරකි. මතට මෙන්ම ආහාරපාන ආදියට ද එපරිද්දෙන්ම කාන්තා නිරුවතට ද අබිමානා දක්වා ඇත්තේ දැඩි ගිජු බවකි. එමෙන්ම අබිමානා යක්ෂ ආත්මභවයක් ලබන්න හේතු වන්නේ ආහාරපාන ආදියට තිබූ අධික කෑදරකම නිසා බව ඔහු හා සම්බන්ධ යාතු කර්ම කවි වලින් පැහැදිලි වේ.

frrttrty

 

අතීත වකවානුවක කතරගම දෙවියන්ට පිදෙන පුද පූජාවල ඇති කැවිලි ආදිය සිරුරට දරාගත නොහැකි තරමට ගිජු ලෙස භුක්ති විඳීමේ පල විපාකයක් ලෙස අබිමානා යක්ෂ ආත්මයක් ලද බව ජනප්‍රවාදයේ එයි.

එලෙස අබිං, ගංජා ආදියෙන් දවස පුරා මත්ව සිටින අබිමානා, කාන්තාවන් නාන තොටවල් ආශ්‍රිතව සැඟවී සිටිමින් ඔවුන් නාන අයුරු නරඹමින් හෝ වන ගත පරිසරයන් තුළ සිය අනියම් සහකරුවන් හා ලිංගික සේවනයේ යෙදෙන කතුන් දෙස බලමින් තෘප්තිමත් වන්නකු බව පැවසෙයි. ඒ අනුව ඔහු දර්ශාශ්වාදය (Voyeurism) නම් ලිංගික අනුවර්තනයෙන් පෙළෙන්නකු බව ද පෙනේ.

මෙලෙස තනිව නාන කාන්තාවන් අරභයා කාමුක හැඟුම් උපදවාගත් අබිමානාගේ ඇල්ම බැල්මට ලක් වූ කාන්තාව නිවසට පැමිණෙන්නේ තෝන්තුවෙන් මෙන් රෝගීව බව පැවසේ. ඇය එතැන් පටන් හිසරදය මුල් කොටගත් විෂාද ලක්ෂණ පෙන්නුම් කරන බවත්, එම තත්ත්වයෙන් අත්මිදෙන්නට හැකිවන්නේ ශාන්ති කර්මයකින් පමණක් බවත් එකල ගැමි විශ්වාසයක් තිබී ඇත. බිංදුමතී ගීතයේ පෙම්වතා තම පෙම්වතියට නාන තොටට යන්නට එපා යැයි අවවාද කරන්නේ එනිසා ය.

monp

 

එමෙන්ම අබිමානා ද නෙත ගැටෙන අන්දමට වන රොදවල් ආදිය ආශ්‍රිත ව එළිපහළියේ ලිංගික කටයුතුවල යෙදෙන කතුනට කිලි මාලය හෙවත් අක්‍රමවත් මාස් ශුද්ධිය (Irregular periods) සහ ලේ මාලය නම් වන මාස් ශුද්ධියේ දී අධික රුධිර වහනය (Menorrhagia) හට ගන්නා බව ගැමි විශ්වාසයකි. අතීතයේ ඇතැම් ගම්බද කතුන් ඒ ආකාරයෙන් අනාචාරයේ යෙදුණු බව රොබට් නොක්ස්ගේ සුප්‍රකට ග්‍රන්ථයේ ද සඳහන් වේ. ඒ අනුව අබිමානා අනියමින් ගම්බද කතුන්ගේ චරිතය රැක දීමට ද ඉවහල් වන්නකු බව පෙනෙයි.

මේ ආකාරයට නිතර කාන්තාවන් නාන තොටවල් අවට හා කතුන් තනිව වන ගත පරිසරයන්ට පිවිසෙන අයුරු බලමින් දිවා කාලයේ කරක් ගසමින් ගෙවන නින්දාසහගත යක්ෂ ජීවිතය ඇති යැයි සිතූ නිසාදෝ, අබිමානාට අවශ්‍ය වන්නේ යක් බවෙන් මිදී දෙවියෙකු වන්නට ය. ඒ අනුව දෙවියකු වන්නට වරම් ලබා ගන්න සිතා අබිමානා පත්තිනි දෙවියන් හමුවන්නට යාමේ පුවතක් ජන සංස්කෘතියේ සඳහන් වේ.

එහෙත් මත් ලෝලියකු හා ගැහැනු සොඬකු වූ අබිමානාට මොන දෙවිකමක් දැයි සිතා දෝ, පත්තිනි දෙවියන් අබිමානාගේ කන්නලව්ව කණකට ගන්නේ නැත. යකෙකු වුවද අබිමානා බලපරාක්‍රමයෙන් අනූන වූවෙකි. තමන්ට වූ මදි පුංචිකමට පෙරළා තමන්ගේ හැකියාව පාමින් අබිමානා එම පලිය ගන්නේ පත්තිනි දෙවියන්ගේ දේව සංකේතය වූ සලඹ නිහඬ කරමිනි. මෙලෙස චණ්ඩි කමෙන් දෙවියෙකු වන්නට දත කෑ අබිමානාගේ උත්සාහය සාර්ථක නොවූ බව පහතරට ජන විශ්වාසයයි.

01 133

 

නමුත් එකල කන්ද උඩරට ගොවිබිම් පාළු කරමින්, කන්නය දෙක අස්වැන්න නැත්තටම නැති කරමින් ගොවිබිම් පුරා කෘමි වසංගතයක් පැතිර ගිය අතර, එහි ගැමියෝ ඒ සඳහා දෙවියනට කන්නලව් කළහ. එහි දී ඊට කන් දුන් සමන්, නාථ, පත්තිනි යන දෙවිවරුන් ගැමියන්ගේ අසරණකම මැඬලනු පිණිස එම වගා හානි දුරු කිරීමේ වගකීම අබිමානාට පැවරූ බව පැවසෙයි. එතැන් පටන් උඩරට දී අබිමාන දෙවි නමින් හැඳින්වුණු අබිමානා කෘෂිකර්මාන්තය වෙනුවෙන් පෙනී සිටි ප්‍රබල දෙවියෙකි.

අලුතෙන් බෝග වගාවක් ආරම්භ කරන තැන පටන් අස්වැන්න නෙළන තුරු ද, ඒ අතර වාරයේ හට ගන්නා නොයෙක් උවදුරු හමුවේ ද කන්ද උඩරට ගොවියන්ගේ එකම ගැලවුම්කාරයා වූයේ අබිමානා දෙවියන් ය. නමුත් උඩරට කෙත්වතු වල දී ගැමියන්ගේ පුද පිළිවෙත් වලට ලක් වන අබිමාන දෙවියන් සඳහා කැප කළ දේවාලයක් ඉදි වී නැත. පහත රැටියන් අතර යක්ෂයෙකු වූ අබිමානා කන්ද උඩරට දී දෙවියකු වූයේ එලෙස ය.

uthpala subha(සටහන | උත්පලා සුභාෂිනී ජයසේකර)

උපුටා ගැනීම - vinivida.lk

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...