The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ගම් මඩු විවිධ ප්‍රසංග | තිලක් සේනාසිංහ

T

The Leader Desk

November 11, 2025 • 5:49 AM

ගම් මඩු විවිධ ප්‍රසංග | තිලක් සේනාසිංහ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එපමණක් නොවේ; එය සශ්‍රීකත්වය හා වසංගත රෝග නිවාරණය අරමුණු කරගත් දෙවියන් උදෙසා පවත්වනු ලබන සාම්ප්‍රදායික ප්‍රජා යාතු කර්මයක් ද වේ.
  • නමුත් මේවා ද නූතන සමාජය තුළ බරපතළ ලෙසින් විෂම හා සංකීර්ණ බවට පත් වෙමින් තිබේ.
  • ඊට හේතුව අස්පර්ශනීය සංස්කෘතික උරුමය (Intangible Cultural Heritage) ලෙස මේවා ආරක්ෂා කළ යුතු බව යුනෙස්කෝව මඟින් පවා තහවුරු කොට ඇති බැවිනි.
  • මෙම මඩු ශාන්ති කර්ම දිවයිනේ විවිධ ප්‍රදේශවල විවිධ අරමුණු අනුව විවිධ නම්වලින් හැඳින්වුව ද ඒ අතරින් දෙවොල් මඩුව, ගම්මඩුව යන මඩු ශාන්ති කර්ම වඩාත් ප්‍රචලිත බවක් පෙනෙයි.
අකුරු ප්‍රමාණය (Font Size):

එපමණක් නොවේ; එය සශ්‍රීකත්වය හා වසංගත රෝග නිවාරණය අරමුණු කරගත් දෙවියන් උදෙසා පවත්වනු ලබන සාම්ප්‍රදායික ප්‍රජා යාතු කර්මයක් ද වේ.

නමුත් මේවා ද නූතන සමාජය තුළ බරපතළ ලෙසින් විෂම හා සංකීර්ණ බවට පත් වෙමින් තිබේ. එය එක්තරා අන්දමක ජාතික හා සමාජමය ව්‍යසනයකි. ඊට හේතුව අස්පර්ශනීය සංස්කෘතික උරුමය (Intangible Cultural Heritage) ලෙස මේවා ආරක්ෂා කළ යුතු බව යුනෙස්කෝව මඟින් පවා තහවුරු කොට ඇති බැවිනි.

නමුත් ඒ පිළිබඳ පැවසීමට පෙර මෙම ශාන්ති කර්ම පිළිබඳ යම් විස්තරයක් කළ යුතු වේ. මෙම මඩු ශාන්ති කර්ම දිවයිනේ විවිධ ප්‍රදේශවල විවිධ අරමුණු අනුව විවිධ නම්වලින් හැඳින්වුව ද ඒ අතරින් දෙවොල් මඩුව, ගම්මඩුව යන මඩු ශාන්ති කර්ම වඩාත් ප්‍රචලිත බවක් පෙනෙයි. ඊට අමතරව පහන් මඩුව, කිරි මඩුව ආදී මඩු ශාන්ති කර්ම ද ඇති අතර මේ සෑම මඩු ශාන්ති කර්මයක්ම පත්තිනි දේවිය කේන්ද්‍ර කොට ගත් එකක් බව ද පෙනී යයි.

devol madu
ඇය මුල් කොට ගත් පූජා පවත්වා සෙසු දෙවිවරුන්ගේ ආශීර්වාදය හා පිහිට ලබා ගැනීම, අපල උපද්‍රව, රෝග පීඩා සහ වසංගත දුරු කර ගැනීම අරමුණු කර ගත් ප්‍රජා යාතු කර්මවල ප්‍රධානියා කපු පත්තිනි, කපුරාළ හෝ කපු මහත්තයා ලෙස හැඳින්වේ. හුදෙක් යකැදුරකු නොවන ඔහු සමාජයීය වශයෙන් ද ඊට වඩා විනයක්, සංවරයක් ඇත්තකු බව පැවසෙයි.

ඒ අනුව යක් තොවිල් කරන යකැදුරන්ට මත් පැන් පානය හා පරදාර සේවනය ආදී දුරාචාර කටයුතු සඳහා හිමිව ඇති සමාජයීය අවසරය මෙම පත්තිනි කපු මහතුන්ට හිමි නොවේ. ඊට හේතුව එකී ශාන්ති කර්මයෙන් නිසි ඵල ලැබීමට නම් ඔහු සත් පුරුෂයකු වීම හා එම මඩුව හෙවත් මණ්ඩපය පරම පවිත්‍ර ස්ථානයක් ලෙස පැවතීම අනිවාර්ය බවට පවතින ජන විශ්වාසයයි.

“යක්කු එක්ක වැඩ කරන කොට එක විදිහක්. පත්තිනි මෑණියො එක්ක වැඩ කරන කොට තව විදිහක්” වරක් ඒ සම්බන්ධයෙන් මා හා අදහස් පළ කළ ගුප්ත ශාස්ත්‍ර සම්බන්ධ පරපුරකින් පැවත එන ගණේමුල්ලේ, තිබ්බටුගොඩ පියදාස විද්‍යාරත්න (විපුලසේන) මහතා කීය.

මඩු ශාන්ති කර්මයකට සූදානම් වීම ඊට මාස තුනකට පමණ පෙර සිට කළ යුත්තකි. කප් සිටුවීම සහ මඩු භූමියේ තොරණ ඉදිකිරීම එහි පූර්වගාමී කටයුතු වේ. එමෙන්ම දේවාභරණ මඩු භූමියට වැඩමවීම හා ගිනි පෑගීම පිණිස දර ලබා ගැනීම උදෙසා කරන මිල්ල කැපීම වැනි චාරිත්‍ර ද ඇත. ඒ අතර “මඩුව පේ කිරීම” යනු දෙවොල් මඩුව හෝ ගම්මඩුව වැනි ශාන්ති කර්මයක් පැවැත්වීමට පෙර දින සිදුකරන අතිශය වැදගත් චාරිත්‍රයකි.

devol madu 11
එලෙස නිසි ලෙස පේ නොවී සිදු කරන මඩු ශාන්තිකර්මය පුස්ස බින්දාක් මෙන් ඵල රහිත බව පොදු ජන විශ්වාසයයි. එහි දී කපු මහතා ඇතුළු ශාන්ති කර්මය පවත්වන පිරිස ද මස් මාංශ අනුභවයෙන් සම්පූර්ණයෙන් වැළකී, නානු ගල්වා හිස සෝදා පිරිසිදු වී තොටඹෙට යාම, නානුමුරය වැනි චාරිත්‍ර මගින් ශාන්තිකර්මය සඳහා පේ වීම හෙවත් සූදානම් වීම අනිවාර්යයෙන් කළ යුතු ය.

මෙම පේ වීම යනු ‘පෙහෙ’ යන වදන ගැමි ඌරුවට සකස් වීමකි. පෙහෙ යන්නට අරුත් සපයන දොළොස් වන සියවසේ ලියැවුණු දහම් සරණ වැනි කෘතිවලට අනුව පෙහෙ යනු ශීල සමාදානයයි. නමුත් මෙහි දී කපු මහතා හෝ එම මඩු ශාන්ති කර්මයේ ඊළඟට වැදගත් භූමිකාවක් හොබවන කොට්ටෝරු උන්නැහේලා සිල් සමාදන් නොවෙතත් පසු දින පැවැත්වෙන ප්‍රධාන ශාන්තිකර්මය සඳහා අවශ්‍ය සියලු දේ තෙල් වර්ග, පූජා භාණ්ඩ, මල් යහන් යනාදී සියලු දේ නොඉඳුල්ව පිළියෙල කර තැබීම ඔවුන් ගේ සාමූහික වගකීමකි. මෙම කොට්ටෝරු යන වදන කෝෂ්ඨාගාර යනු සංස්කෘත වදනින් ජන වහරට පැමිණි එකකි. කෝෂ්ඨාගාරය යනු භාණ්ඩ එක් රැස් කොට තබන ගබඩාව යන්න ය.

පසුව රැයක් පුරා පැවැත්වෙන මෙම ශාන්ති කර්මය මඟින් පහත රට නර්තන සම්ප්‍රදායට අයත් විවිධ නැටුම්, ගායනා, වාදන සහ පුද පූජා ඉදිරිපත් කෙරේ. පසු දා අලුයම යාගය අවසානයේ ගරා යකුමක් මඟින් ශාන්ති කර්මය නිමා කිරීම සාමාන්‍ය ක්‍රමවේදයයි. නමුත් ඉහත සඳහන් කාර්යයන්ගේ පදනම මඩුව නම් වන ශුද්ධ භූමිය පදනම් ව සිදු කෙරේ. එමෙන්ම මෙය වෛදික සංස්කෘතියේ එන යාග මණ්ඩප සැකසීමට බෙහෙවින් අනුරූප බව ඒ සම්බන්ධයෙන් කරන විමසුම්වල දී පෙනී යයි.

යාගය යන්නෙහි අර්ථය අනුව විවිධ සංස්කෘතීන් හා සන්දර්භයන් තුළ වෙනස් ආකාරයේ සැකසීම් තිබිය හැක. වෛදික සංස්කෘතියේ යාගය යන්න ඉතා පුළුල් ලෙස විස්තර වන්නකි. දෙවියන් උදෙසා කෙරෙන පූජාවන්ගෙන් සමන්විත දේව යාගය ඉන් ප්‍රධාන වේ. එමෙන්ම පීතෘ යාගය සහ භූත යාගය මළවුන් වෙනුවෙන් කෙරෙන පූජාවන්ගෙන් සමන්විත වන අතර පීතෘ යාගය උසස් තලයන්ට පත් මළවුන් වෙනුවෙන් හා භූත යාගය පොදුවේ මළවුන් සියලු දෙනා වෙනුවෙන් කෙරෙන බලි හෝ ආහාර පූජාවන්ගෙන් සමන්විත වේ.

pirith mandapa

මෙම යාග අතුරින් මනුෂ්‍ය යාගය යනු ශාන්ති කර්මයක් වශයෙන් දුගී මගී යාචකාදීන් හට රසවත් ආහාර පානවලින් කෙරෙන සංග්‍රහයන් ගෙන් යුතු එකකි. එමෙන්ම ලෞකික කිසිවක් පරිභෝජනය කළ නොහැකි තරම් උත්තරීතර තත්වයන් උදෙසා වන යාගය බ්‍රහ්ම යාගය ලෙස හැඳින්වෙන අතර පූජකවරුන් (ශ්‍රෞතීන්) විසින් මෙය චතුර්වේද මන්ත්‍ර ගායනා කිරීමට සීමා වේ. ඒ හැරුණු කොට හින්දු ආගමේ විවාහය ද යාග ස්වරූපයෙන් සිදු කෙරෙන අතර විවාහය පැවැත්වෙන ශුද්ධ ස්ථානය කල්‍යාණ මණ්ඩප ලෙස හඳුන්වනු ලැබේ. අප ජන සංස්කෘතියේ එන මඟුල් පෝරුව මීට අනුරූපව සැකසී ඇති අතර මෙහි දී එක් වරම අපගේ සිහියට නැඟෙනුයේ අප බෞද්ධ සංස්කෘතියට අයත් පිරිත් මණ්ඩපයයි.

බෞද්ධ සංස්කෘතිය තුළ දී යාග යන්න ආමිස යාගය සහ ධර්ම යාගය ලෙස දෙයාකාරයකට විස්තර වන අතර, පිරිත් පින්කම ධර්ම යාගය ලෙස හඳුන්වනු ලැබේ. පිරිත් පින්කම සඳහා තනන මණ්ඩපය මහනුවර රාජධානි සමය තුළ ධර්ම යාග මණ්ඩපය ලෙස හැඳින්වූ බවට සාක්ෂි තිබේ. එමෙන්ම පිරිත් මණ්ඩපයක ව්‍යුහය වෛදික හින්දු, පසු කාලීන බෞද්ධ ශාන්ති කර්ම සහ ඊට අදාළ ශිල්ප ශාස්ත්‍ර මත සැකසී ඇති බව පෙනේ. පිරිතේ විකාශනය තුළ කැපී පෙනෙන පරිවර්තනයක් සිදු වූයේත්, එය වර්තමාන ස්වරූපයට සකස් වූයේත් මහනුවර යුගයේ දී බව පෙනෙයි. මෙහිදී වෛදික හින්දු මහායානික අදහස් සහ දේව සංකල්ප ද ශාන්ති කර්ම ආදියට සමාන වන අයුරින් පිරිත් චාරිත්‍ර සමඟ බද්ධ වී තිබේ.

අංගුත්තර නිකායේ සප්තක නිපාතයේ මහා සඤ්ඤ සංයුක්ත නිකායේ සහාථ වග්ගයේ යඥ්ඥ ආදී සූත්‍රවල වෛදික යාග පිළිබඳ සඳහන් වන අතර ඒවායේ යාග ස්ථම්භ නම් වෘක්ෂ ස්වරූපයේ කණු විශේෂයක් පිළිබඳ සඳහන් ය. මෙය සහ සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවල එන රාජ ගහ හෙවත් ඉන්ද්‍රඛීල සහ ගම් මඩු ශාන්ති කර්මයේ එන කාල පන්දම් ගස අතර පැහැදිලි සමාන බවක් අපට පෙනේ. ඒ අනුව වෛදික යාගය බෞද්ධ පිරිත හෝ මඩු ශාන්තිකර්ම එකිනෙකින් ඉඳුරාම වියුක්ත කළ නොහැකි බව අප ගේ වැටහීම ය.

මීට මඳ කලෙකට ඉහත කඩවත ප්‍රදේශයේ කාන්තාවක විසින් පවත්වා ගෙන යන ශාස්ත්‍ර දේවාලයක ගම් මඩු ශාන්තිකර්මයක් සිදු කෙරෙන බවට බැනරයක් සවි කොට තිබෙනු දැක එහි ගිය මම එය සිදු කරන ඇදුරු පරපුර පිළිබඳ විමසා සිටියෙමි. එවිට ඒ සම්බන්ධයෙන් මට යමක් කීමට නොහැකි වූ අතර ඇය ඒ පිළිබඳ වැඩි විස්තර දැන ගත හැකි දුරකතන අංකයක් ලබා දුන්නා ය. 

 

gammadu3

 
එවිට ඒ ඇමතුමට ඇමතුමක් ගත් මගෙන් ඊට පිළිතුරු දුන් තැනැත්තා ගත් කටටම අසා සිටි පැනය වූයේ මා එසේ ඇදුරු පරම්පරා ගැන විමසීමට හේතුව කුමක් ද යන්න ය. එවිට මම ද අප ගේ ගම් ප්‍රදේශයේ මෑතක අකල් මරණ කිහිපයක් සිදු වූ බැවින් එම තත්වය මඟ හරවා ගනු පිණිස අප මරණාධාර සමිතිය මඟින් ගම් මඩු ශාන්ති කර්මයක් සිදු කර ගැනීමට අවශ්‍ය බවක් මම ඔහුට පවසා සිටියෙමි. එවිට ඔහු එසැනින් පවසා සිටියේ “ඇදුරු පරම්පරාවල් ඕනෙ නෑ. අපි වැඩේ සුපිරියටම කරලා දෙන්නම් ” යනුවෙනි.

ඒ අනුව ඔහු කී අන්දමට කපු පත්තිනි, කපුරාළ හෝ කපු මහත්තයකු නොමැති එම ගම්මඩුව දැක බලා ගැනීම පිණිස මම නියමිත දින රෑ මැදියමට ආසන්න වේලාවක එම ශාස්ත්‍ර දේවාලයට ගියෙමි. එවිට මට වැටහුණේ එය පාරම්පරික ඇදුරන් විසින් නොව අප රටේ විවිධ ප්‍රදේශ නියෝජනය කරමින් පැමිණි විශ්ව විද්‍යාල සිසුන් පිරිසක ගේ පෙළක් හෙවත් සන්දර්භයක් නොමැති විවිධ ප්‍රසංගයක් බඳු අමුතුම ඉදිරිපත් කිරීමක් බව ය. 
 
එමෙන්ම එහි කිරි වීදුරුවකට සීනි වෙනුවට ලුණු මුසු කිරීම් වැනි අතිශය නොගැළපෙන දෑ ද බහුලව දක්නට ලැබුණු බැවින් මම එම ගම් මඩු ශාන්ති කර්මයේ ප්‍රධාන ඇදුරා හෙවත් මා දුරකතන ඇමතුමක් දුන් තැනැත්තා පිළිබඳ විමසා සිටියෙමි. එවිට ඔහු ගම් මඩුව නම් වන ඒ ශුද්ධ යාග මණ්ඩපයේ පෑල දොරින් පිටතට පැමිණි අතර ගම් මඩු ශාන්ති කර්මය පැවැත්වෙන අතරේ ඔහු “බෝතලයකට ආසන්න ප්‍රමාණයක් ” හිස් කොට ඇති අයුරු මට බැලූ බැල්මටම පෙනුණි.
gammadu4
වත්මන් ජනප්‍රිය සංස්කෘතියට පිවිසි ශාන්ති කර්ම තුළින් මෙවන් ව්‍යසනකාරී ලක්ෂණ බහුලව දක්නට ලැබෙන හා අස්පර්ශනීය සංස්කෘතික උරුමය ලෙස මේවා ආරක්ෂා කළ යුතු බවට වන යුනෙස්කෝ ප්‍රඥප්තියට ශ්‍රී ලංකාව ද 2008 වසරේ අත්සන් තබා ඇති පසුබිමක මෙවන් වල්මත් වීම් වළක්වා ගැනීම සම්බන්ධ අතිශය වැදගත් කාලීන අවශ්‍යතාව බුද්ධිමත් සමාජයීය අවධානය සඳහා මෙසේ යොමු කරනු කැමැත්තෙමි.

Thilak Senasinghe
(සටහන | තිලක් සේනාසිංහ)
ගවේෂණාත්මක මාධ්‍යවේදී

thilaksenasinghe@gmail.com

(උපුටා ගැනීම- vinivida.lk)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ගම් මඩු විවිධ ප්‍රසංග | තිලක් සේනාසිංහ | The Leader