එහෙත් එළැඹී ඇත්තේ හිස් බව දරාගත්, වේදනාබර සඳකි. තිස් හත් වසරකට පෙර - 1988 නොවැම්බර් 8 වැනිදාවක උදාවූ සාහසික රැයක දී, අපේ ජීවිතවලින් සදාකාලිකවම සතුට උදුරා ගත්තේ ය. අක්කාගේත්, මගේත් ළමා ලෝකය අපට සදහට ම අහිමි කරන ලද්දේ ඒ නොවැම්බරය යි.
වමේ දේශපාලනය තම ජීවිතයේ ආත්මය කරගත් මගේ ලෝකයේ වීරයන් වූ තාත්තා සහ මාමාලා දේශපාලන ප්‍රචණ්ඩත්වය විසින් බිලි ගත්තේ අද වැනි ම දවසක ය. මං මාවත් අයිනේ, කැලෑ රොදවල, මුහුදු වෙරළේ, යුක්තියක් නොලබා වෙඩි තබා, පුළුස්සා දැමුණු ඒ සියලු තරුණ ජීවිතවල මතකය බැඳී ඇත්තේ ද මේ නොවැම්බරයට ය. මාගේ ජීවිතයේ අසමසම වීරයා අපේ ලෝකයෙන් උදුරාගත් මාසය ද මෙයයි.

බලය ගැන පරස්පරය
එතැන් සිට දශක තුන හමාරකට වැඩි කාලයක් දැන් ගත වී ඇත. දශක ගණනාවක් පුරා මාගේ තාත්තාගේ ඝාතනයට වගකිව යුතු බවට අප සැම දැන සිටි දේශපාලන බලවේගය අද රටේ පාලන බලය නිදහස් මහජන වරමකින් හිමිකරගෙන සිටී. යුක්තිය පතන දියණියක වන මට මෙය එක් අතකින් කම්පනයක් මෙන්ම කටුක සරදමක් ද සේ සැලකිය හැකි ය. අද බලයේ සිටින පිරිස, ඔවුන්ට පෙර කාලයේ පාලන බලය හෙබවූ පාලකයින්ගේ අපරාධ, දූෂණ සහ වැරදිවලට දඬුවම් දෙන බවට ජනතාවට පොරොන්දු දී ඇත. එය වැදගත් පොරොන්දුවක් වන අතර එම පොරොන්දු නිසැකවම ඉටු විය යුතු ය.
එහෙත්, මගේ ප්‍රශ්නය මෙයයි:

ඔබ අන් අයගේ ලේ වැකි දෑත් පෙන්වන අතරතුර, ඔබගේ අත්වලත් තැවරුණු අනන්ත ලේ පැල්ලම් නොපෙනෙන්නේ ඇයි? ඔබ විසින්ම සිදු කළ මිනීමැරුම් සම්බන්ධයෙන්, නීතිය ක්‍රියාත්මක කර යම් යුක්තියක් ඉටුකිරීම ගැන හැඟවුමක් කිරීම පවා ඔබ එතරම් සූක්ෂ්ම ලෙස මඟහරින්නේ ඇයි?
අද රට පාලනය කරන ප්‍රධාන පක්ෂය, තම අතීත ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් අගතියට පත් වින්දිතයින්ට යුක්තිය ඉටු කරන්නට අවශ්‍ය නීතිය ක්‍රියාත්මක කිරීමට කිසිදු පියවරක් නොගෙන, විරුද්ධවාදීන්ගේ වැරදිවලට පමණක් නීතියේ බලය යොදන්නේ නම්, එය තෝරා බේරා ඉටුකරන "යුක්තියකි"; බලයේ අත්තනෝමතිකත්වය යනු එය යි. යුක්තිය ලැබිය යුත්තේ සහ නොලැබිය යුත්තේ කුමන අපරාධවලට ද යන්න තීරණය කරන්නට හැකියාව තියෙන්නෙ අත්තනෝමතික බලයක් ඇතියවුන්ට ය. තමන්ගේ අතීතය සඟවා, අන් අයගේ වරදට පමණක් දඬුවම් දීමට ප්‍රතිඥා දෙන නායකත්වයකින්, පමාවූ යුක්තිය පිළිබඳ ප්‍රශ්නයට විසඳුම් ලැබෙනු ඇතැයි විශ්වාස කරන්නේ කෙසේද?
අභියෝගය සහ නොනිදන හඬ
අද පාර්ලිමේන්තුව තුළ ආණ්ඩුවේ මෙන්ම විපක්ෂයේ අසුන්ගෙන සිටින බොහෝ දෙනෙකුට ඇසීමට අවශ්‍ය නොවන කතා අතර මගේ තාත්තා ගේ කතාව ද තිබෙන බව මම හොඳින් දනිමි. ඔවුන්ට අනුව ඔහු අයිති වන්නේ අමතක කළ යුතු ඉතිහාසයේ සුන්බුන් ගොඩට ය. එහෙත්, මගේ තාත්තා ගේ මරණය මගේ ජීවිතයේ කිසිදාක පරණ නොවන කතාවකි. ඔහු ගේ බිහිසුණු ඉරණම කිසි දිනෙක අමතක නොවන මතකයකි. මට අහිමි කළ යුක්තිය වෙනුවෙන් මම මිය යන තුරුම කතා කරන්නේ ඔහු මගේ ලෝකයේ සදාකාලික වීරයා නිසා ය.
මේ මගේ අභියෝගයයි: රටේ පාලනය හිමි කරගෙන සිටින ඔබට, ඔබගේ අතීත වැරදිවලට මුහුණ දීමට ධෛර්යයක් තිබේ ද?
රුවන්දි සිල්වා
අවුරුදු පහෙන් පහට පාලකයන් මාරු කරමින් උදාවෙතැයි සිහින දකින කිසිදු "පුනරුදයකින්" මගේ පියාණන් ඇතුළු දේශපාලන ප්‍රචණ්ඩත්වයේ වින්දිතයින්ට සැනසීමක් හෝ යුක්තියක් ලැබෙනු ඇතැයි මම විශ්වාස නොකරමි. එහෙත්, යුක්තිය ඉටුනොවන රටක ගොඩගැසෙන හිස් බව මකා දමා, ඒ පිළිබඳ මගේ අපේක්ෂාව මම අත් නොහරින්නේ, මරා දැමෙන තුරුම තම ප්‍රතිපත්ති අත් නොහැරිය වාමාංශිකයකු වූ මගේ තාත්තා (නන්දසේන සිල්වා) ජීවත්ව සිටිය දී මා දිරිමත් කළ ආකාරය මෙනෙහි කරමිනි.
ජනතා විමුක්ති පෙරමුණේ නායකයිනි, දැන් ඔබ ලංකාවේ විධායක බලය ද, ව්‍යවස්ථාදායක බලය ද ඇතුළු රාජ්‍ය පාලන බලය සම්පූර්ණයෙන්ම අත්පත් කරගෙන අවසාන ය. ඔබ දැන් තවදුරටත් "දෑත් බැඳ ළිඳකට දැමූ මිනිහෙකු" හා සමාන කළ පක්ෂය නොවේ. යුක්තිය ඉටුකිරීම හෝ නොකිරීම දැන් ඔබට ඕනෑනම් නිදහසේ කළ හැකි තෝරාගැනීමකි. ඒ නිසාම, තිස් හත් වසරකට පසු, මේ නොවැම්බරයේත් මට අසන්නට ඇත්තෙ එකම ප්‍රශ්නයකි:
වාමාංශික මූලධර්ම මරණය තෙක්ම දිවි හිමියෙන් ආරක්ෂා කළ මගේ තාත්තා බඳු ඔබලා විසින් මරා දමන ලද මිනිසුන්ට යුක්තිය ඉටු කරන්නේ කවදාද?
(නන්දෙගෙ දුව - රුවන්දි සිල්වා)
Ruwandi Silva
අපගේ සදාදරණීය සගයෙකු වූ නන්දසේන සිල්වා සොයුරා අප සැමගෙන් කුරිරු ලෙස වියෝ කරනු ලැබ 2022 නොවැම්බර් 8 දිනට වසර 34 ක් පිරේ.
දමිළ වැසියන් ගේ ගැලවුම්කරුවා
සටන්කාමී වාම දේශපාලන ක්‍රියාකාරිකයෙකු වූ ඔහුට නිශ්චිත දේශපාලන පක්ෂයක් නොවී ය. අසාධාරණය කොතැන ද තැන නොතැන නොබලා ඊට එරෙහිව මැදිහත් වීම ඔහුගේ නෛසර්ගික ගුණයක් විය. ඒ වෙනුවෙන් ඕනෑම කැප කිරීමක් කිරීමට ඔහු මොහොතක් හෝ ප්‍රමාද නොවී ය. මෙහි දී එක් සිද්ධියක් සිහිපත් කිරීමට මම කැමැත්තෙමි. ඒ ලෝකය හමුවේ සිංහල ජනතාවගේ ප්‍රතිරූපය හා ගරුත්වය මුළුමනින්ම කෙලෙසා දමමින් එවක යූඇන්පී ආණ්ඩුවේ පූර්ණ අනුග්‍රහය හා ආශීර්වාදය ඇතිව සිංහල වර්ගවාදීන් දමිළ ජනයාට එරෙහිව මුදා හල කුප්‍රකට ජූලි ක්‍රියාන්විතයේ දී වින්දිතයින් වෙනුවෙන් නන්දේ කළ මැදිහත් වීම යි. ඔහු එහිදී දරුණු විපතකට අභිමුඛව බියෙන් ඇලළී සිටි දමිළ වැසියන් සැලකිය යුතු පිරිසකට සිය නිවහනෙහි රැකවරණය ලබා දුන්නේ සිය ජීවිතය ම පරදුවට තබමිනි.
දේශපාලන මිතුරන් නඩත්තු කිරීම
වෘත්තීයමය වශයෙන් සිවිල් ඉංජිනේරු වෘත්තිකයකු ඔහු ඔහුගේ වෘත්තියෙන් ද ඔහු විටින්විට ආරම්භ කළ විවිධ ආර්ථික ව්‍යාපාරවලින් ද යමක් ඉපයී ද ඉන් වැඩි පංගුවක් කැප කළේ ඔහුගේ පවුල සහ ඥාතීන් වෙනුවෙන් නොව මිතුරන්, විශේෂයෙන් ම දේශපාලන මිතුරන් නඩත්තු කිරීම වෙනුවෙනි. පූර්ණ කාලීන දේශපාලන ක්‍රියාකාරිකයෙකු වශයෙන් මා නඩත්තු කිරීමට ද නන්දේ ජීවිතයේ අවසානය තෙක් ම තවත් සොහොයුරන් සමග සැලකිය යුතු දායකත්වයක් සැපයූ බව සඳහන් කරන්නේ ඔහුට කරන සහෝදරාත්මක ගෞරවය පුද කිරීමක් වශයෙනි.
දුටු වැරදි ප්‍රසිද්ධියේ ම විවේචනය කිරීම
වැරැද්ද දුටු තැන මොන තරම් සමීපතම වුවත් කිසිවකුට ඔහුගේ තියුණු විවේචනයට හසු නොවී සිටිය නොහැකි විය. විශේෂයෙන් දේශපාලනයේ දී මෙය ඉතාමත් තියුණු විය. මීට 34 වසරකට පෙර 1988 නොවැම්බර් මස 8 දින ඒ බිහිසුණු රාත්‍රියේ ඔහුට අකාලයේ සිය ජීවිතයට සමු දෙන්නට සිදු වූ එක් හේතුවක් වූයේ ජවිපෙ දේශපාලනයේ ඔහු අවංකව ම දුටු වැරදි ප්‍රසිද්ධියේ ම විවේචනය කිරීම ය. (මෙහිදී මගේ බාල සහෝදරයෙකු වූ මොරටුව විශ්ව විද්‍යාලයේ NDT ශිෂ්‍ය ජයවර්ධන දිසානායක හා තවත් දෙදෙනෙකුට ද නන්දේ සමග කුරිරු මරණයක ගොදුරු බවට පත් වන්නට සිදු විය.) අද මෙන් නොව එදා ජවිපෙ දේශපාලන වැරදි සම්බන්ධයෙන් විවේචනාත්මක වීම ද ජීවිතයෙන් වන්දි ගෙවිය යුතු මරණීය වැරැද්දක් බවට පත්ව තිබුණි. (හෙට කෙසේ වේ දැයි තිර කොට කියන්නට බැරිය ) එදා අපිදු (ජනතා සංගමය ) ජවිපෙ කුප්‍රකට කැන්ගරු උසාවිය මගින් "සමූල ඝාතනීය මරණ දණ්ඩනයට" නියම කරනු ලැබූවන්ව සිටියෙමු.
නන්දේ කිසිදාක ජනතා සංගමයේ සාමාජිකයෙකුව සිටියේ නැත. එහෙත් අන් කිසිදු දේශපාලන සංවිධානයකට වඩා ජනතා සංගමයට ආදරය කළේ ය. එක් අතකින් යූඇන්පී ආණ්ඩුව ද අනෙක් අතින් ජවිපෙ ද එකිනෙක පරයන සීඝ්‍රතාවකින් භීෂණය දියත් කර තිබූ සමයක අපේ සාකච්ඡා පැවති මධ්‍යස්ථානය වූයේ ඇල්ල වැල්ලවාය පාරේ "ගස් මුදුන්" නමින් වූ නන්දේගේ ගොවිපොළ නිවහනයි. ක්‍රියාකාරී මිනිසකු (Man of Action) වූ ඔහුගේ ප්‍රධාන වැරැද්ද වූයේ මට අනුව සංවිධානමය වශයෙන් අරාජිකවාදියෙකු වීම යි. එසේ නොවූයේ නම් ඇතැම් විට නන්දේ අද ද අප අතර සිටිමින් ජන අරගලයේ ක්‍රියාකාරී පෙරමුණු සටන්කරුවකු වීමට ඉඩ තිබිණ.
ආදරණීය නන්දේ සොහොයුරාණෙනි, ඔබට මාගේ විප්ලවීය ආචාරය!
(වසන්ත දිසානායක)
දේශපාලන ක්‍රියාකාරික
ජවිපෙ හිටපු නායකයෙකි




