The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

රටක අයවැය කුමක් සඳහාද? | කුසල් පෙරේරා

T

The Leader Desk

November 13, 2025 • 8:04 AM

රටක අයවැය කුමක් සඳහාද? | කුසල් පෙරේරා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ආර්ථික වර්ධනය, දළ දේශීය නිෂ්පාදනය, උද්ධමනය, ඒක පුද්ගල ආදායම, දළ දේශීය නිෂ්පාදනයට සාපේක්ෂ අයවැය හිඟය, දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස වාර්ෂික විදේශ ණය සේවාකරණය වැනි කිසිත් ඔවුන්ට අදාල නැත.
  • තවදුරටත් එය පැහැදිලි කරන්නේ නම්, මුදල් ඇමති ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මෙවර ඔහුගේ අයවැය මගින් ඉදිරිපත් කළ සංඛ්‍යා දත්ත නිදසුන් ලෙස ගත හැක.
  • වසරේ පළමු භාගය තුල සියයට 04.6 ක් වූ ආර්ථික වර්ධනය, මෙම 2025 වසරේ පළමු භාගයෙහි සියයට 04.8 දක්වා ඉහළ ගියේය.
  • වඩාත් ප්‍රගතිශීලි සහ සාධාරණ බදු ක්‍රමයක් තහවුරු කර, දැනට 25 ට 75 ක් වන “සෘජු” සහ “වක්‍ර” බදු අනුපාතය, 40 ට 60 ක් දක්වා ක්‍රමානුකූලව අඩු කෙරෙන්නේ ය.
අකුරු ප්‍රමාණය (Font Size):


ආර්ථික වර්ධනය, දළ දේශීය නිෂ්පාදනය, උද්ධමනය, ඒක පුද්ගල ආදායම, දළ දේශීය නිෂ්පාදනයට සාපේක්ෂ අයවැය හිඟය, දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස වාර්ෂික විදේශ ණය සේවාකරණය වැනි කිසිත් ඔවුන්ට අදාල නැත. ඔවුන්ට අදාල එකම එක දෙයකි. ඔවුන්ට අදාල වන්නේ, වැදගත් සාමකාමී ජීවිතයක් සඳහා වන ආදායමක් නොකඩවා ලැබෙන්නේද නැද්ද යන්න පමණි. අනතුරුව ඔවුන් බලන්නේ ඒ ජීවිතයට අවශ්‍ය සේවා පහසුකම් හිරිහැරයකින් තොරව ලබා ගැනීමේ අවකාශයක් තිබේද නැද්ද යන්න ය.


තමන්ගේ අයවැය ජනතාවට යැයි කීම

 

budget anura


ආණ්ඩු විසින් ඉදිරිපත් කරන වාර්ෂික අයවැය මගින් වැදගත් සාමකාමී ජීවිතයක් සඳහා ජනතාවට විසදුම් දෙන්නේ නැත. ඒවායින් කෙරෙන්නේ විවෘත වෙළදපල ආර්ථිකයක පැවැත්මට අදාලව, සම්මත සැකැස්මක් තුල ඉලක්කම්  පෙළගැස්වීමක් පමණි. එළෙස ඉලක්කම් පෙළ ගැස්සීමේදී තමන්ගේ ආණ්ඩු පාලනය සාර්ථක යැයි කීමට තමන්ගේ ඉලක්කම් සාධාරණය කරනු ලැබේ. තවදුරටත් එය පැහැදිලි කරන්නේ නම්, මුදල් ඇමති ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මෙවර ඔහුගේ අයවැය මගින් ඉදිරිපත් කළ සංඛ්‍යා දත්ත නිදසුන් ලෙස ගත හැක. මේ මෙවර අයවැයෙහි ඔහු ඉදිරිපත් කළ දත්ත කිහිපයකි.

1. 2024 වසරේ පළමු භාගය තුල සියයට 04.6 ක් වූ ආර්ථික වර්ධනය, මෙම 2025 වසරේ පළමු භාගයෙහි සියයට 04.8 දක්වා ඉහළ ගියේය.

2. වඩාත් ප්‍රගතිශීලි සහ සාධාරණ බදු ක්‍රමයක් තහවුරු කර, දැනට 25 ට 75 ක් වන “සෘජු” සහ “වක්‍ර” බදු අනුපාතය, 40 ට 60 ක් දක්වා ක්‍රමානුකූලව අඩු කෙරෙන්නේ ය.

3. මධ්‍යම රජයේ විදේශ මුදල් ණය “සේවාකරණය” දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 04.5 ක් නොඉක්මවන මට්ටමක පවත්වා ගන්නේ ය.

4. 2028 වසරේ අප ගෙවිය යුතු ණය සේවාකරණය ඩොලර් මිලියන 3,259 කි. එය 2025 වසරට සාපේක්ෂව, ඩොලර් මිලියන 824 ක වැඩි වීමක් පමණි. 


මෙවැනි ගණන් හිලව් ජනතාවට අදාල නැත. එහෙත් ඉලක්කම් පිරි අයවැය ඉදිරිපත් කරමින් හැම අණ්ඩුවක්ම, හැම මුදල් ඇමතිවරයෙකුම කියන්නේ එය ජනතාවට සුවපහසු අනාගතයක් ලබා දීමට යැයි කියා ය. මුදල් ඇමති වශයෙන් අයවැය ඉදිරිපත් කරමින් ජනාධිපති අනුර කමාර කියුවේ, “අපගේ ප්‍රධානම උපායමාර්ගික අරමුණ වන්නේ, වසර කිහිපයකින් සියයට 07 ඉක්මවා යන වර්ධනයක් ළඟා කර ගනිමන් එහි ප්‍රතිලාභ රටේ සෑම ප්‍රදේශ, ප්‍රජාවන් සහ සමාජ කණ්ඩායම් අතර සාධාරණව බෙදී යන බව සහතික කිරීමයි.” කියාය. (2026 අයවැය කතාව/2.1 තිරසර හා සැමට ප්‍රතිලාභ සැළසෙන ආර්ථික වර්ධනයක් ඃ පිටුව - 05)
 
 
වසර කිහිපයකින් සියයට 07 ඉක්මවා යන වර්ධනයක් ගැන ජනාධිපති අනුර කුමාර දිසානායක සාඩම්බරයෙන් පවසන්නේ, “2019 වසරේ ආර්ථික තත්ත්වය” නැවත අත්පත් කර ගැනීමට අවුරුදු 10 ක් ගත වන බව බොහෝ අය කියා තිබුණද, ඔහුගේ ආණ්ඩුවට පෙර පැවති එම තත්ත්වය 2025 වසර අවසානයේ දී අත්පත් කර ගැනීමට හැකි වනු ඇතැයි කියා ය. (2026 අයවැය කතාව/පූර්විකාව ඃ පිටුව - 02)
 
මේ ජ.වි.පෙ/මාලිමා ආණ්ඩුවේ ප්‍රධානියා වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක පෙර පැවති තත්ත්වය - 2019 වසරේ ආර්ථික තත්ත්වය කියුවාටත් කලින් අත් පත්කර ගන්නේ යැයි සාඩම්බරයෙන් කියන විට, ඔහුගේ දේශපාලනය කවරක් වන්නේද? ඔහුගේ දේශපාලනය ජයවර්ධන ජනාධිපති 1978 විවෘත වෙළඳපල ආර්ථිකයක් තහවුරු කළ ධනේශ්වර ජාවාරම්කාර දේශපාලනයේ ඊළඟ දිගුව ය. අවුරුදු 40 ක් අසාර්ථකවූ, ඒ කාලය තුල ජාවාරම්කාරයින්ගේ අති දූෂිත ගනුදෙනු වෙනුවෙන් හවුල්කර ගත් දේශපාලන නායකත්වය සමග ඉතිහාසයේ එතෙක් නොවුනු වෙළඳපල කඩා වැටීමකට හේතු වුනු පසු රාජ්‍ය මැදිහත්වීම් සමගින් ජාවාරම්කාර ධනේශ්වරය නැවත ගොඩ දමන වික්‍රමසිංහ-ජා.මූ.අරමුදලේ දේශපාලනයේ ඉදිරි ගමනකි.
 
 
tea state worker 
එය දැකිය හැක්කේ ජාවාරම්කාර වෙළදපල ආර්ථිකයෙහි ව්‍යාපාරික වගකීම් වෙනුවෙන් රාජ්‍ය ආදේශ කිරීමේ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ දේශපාලනයෙහි ය. ඔහු මේ අයවැයෙන් යෝජනා කරන්නේ පෞද්ගලික සමාගම් යටතේ වන වැවිලිකරයේ ශ්‍රමිකයින්ට මහජන මුදලින් මාසික දීමනාවක් ගෙවීමට ය. එය පෞද්ගලික සමාගම් සතු වගකීමක් ආණ්ඩුවේ ප්‍රතිපත්තිමය තීන්දුවක් ලෙස රාජ්‍යයට පවරා ගැනීමකි. එහි දේශපාලනය වන්නේ, පෞද්ගලික සමාගම් උපයන ලාභයෙන් ඉතාම සුළු ප්‍රතිශතයක් හෝ තම සේවක සේවිකාවන්ට ලබා දීමට නුසූදානම් ජාවාරම්කාර ධනේශ්වරයක, ඒ ව්‍යාපාර අතීතයේ මෙන් රජයට පවරා නොගෙන, ඒවායේ මූල්‍ය වගකීම් රජය බාර ගෙන, ලාභය පෞද්ගලික සමාගම් වලට ඉතිරි කිරීමේ දේශපාලනයකි. 

ජ.වි.පෙ/මාලිමා ආණ්ඩුවේ “2019” ආදර්ශය 

අයවැයේ ආර්ථික ආදර්ශය ලෙස ඔහු ආඩම්බරයෙන් කියූ 2019 වසරේ මෙරට පැවතියේ “අපි නිර්මාණය කරන්නේ ශිෂ්ඨ සම්පන්න රටක්. සතා සිවුපාවාට පවා ආදරය කරන රටක්. මනුෂ්‍යත්වය පිරුණු රටක්” (2026 අයවැය කතාව/38. සමාප්තිය ඃ පිටුව - 54) යැයි ඔහු කියන වර්ගයේ මානුෂීය රටක් දැයි මඳක් විමසා බැලිය යුතුය.
 
 
child 251028
තව මසකින් පමණ යා හැකි යැයි ඔහු ආඩම්බර වන 2019 වසරේ ලංකාවේ පැවතියේ අමනුස්ස සමාජයකි. මනුස්සකමක් නැති, විනයක් සදාචාරයක් නැති, ජාවාරම්කාර ලාභ වෙනුවෙන් නඩත්තු කෙරුණු ආර්ථිකයකි. “සමාජ සංවර්ධනය” සමග කිසිදු ඥාතිත්වයක් නොමැති, ග්‍රාමීය ජීවිත අද්දරින් තබා ගන්නා, අධි තරගකාරී නාගරික වෙළඳපලක අති කුහක, ආත්මාර්ථකාමිත්වයෙන් ක්ෂය වූ නාගරික සමාජයක් පවත්වා ගන්නා දූෂිත වෙළඳපල ආර්ථිකයකි. ජයවර්ධන ජනාධිපති විසින් 1978 සිට තහවුරු කෙරුණු සහ එතෙක් ඉතිහාසයෙහි අසන්නට නොවුනු එහෙත් 2019 වන විට ස්ත්‍රී දූෂණ (289), බාලවයස්කාර දැරිවියන් දූෂණය (1490), ළමා හිංසන (2,342) හා ළමා ලිංගික අපචාර (1,180) දහස් ගණනින් වාර්තා වුනු, මිනී මැරීම්, කප්පම් ගැනීම්, කොන්තරාත් ඝාතන පිළිබදව දිනපතා මෙන් අසන්නට ලැබෙන, හන්දි ගානේ අන්තරායකාරී මත්ද්‍රව්‍ය අලෙවි වන සමාජයක් නිර්මාණය කළ විනාසකාරී අමනුස්ස ආර්ථිකයකි.
රජයේ වියදම් සඳහා යැයි මහජනතාවගෙන් එකතු කර ගන්නා ආදායම්, 2019 වැනි දූෂිත, විනාසකාරී ආර්ථිකයක් පවත්වා ගැනීම වෙනුවෙන් වැය කෙරෙන ආකාරය ඉදිරිපත් කිරීම, රටේ ජනතාව වෙනුවෙන් අයවැය ඉදිරිපත් කිරීමක් නොවේ. එය ජාවාරම්කාරයින් වෙනුවෙන් ඉදිරිපත් කෙරෙන්නකි. රටට අවශ්‍ය වන්නේ “ජාතික සංවර්ධනය” සඳහා වන වියදම් සහ ඒ වියදම් වෙනුවෙන් ආදායම් එකතු කර ගන්නා සැළසුමකි. 

මොකක්ද එතකොට අයවැයක් කියන්නේ? 

වාර්ෂික අයවැයක් විය යුත්තේ “ජාතික සංවර්ධනය” සඳහා වාර්ෂිකව කෙරෙන වියදම හා ඒ වෙනුවෙන් ආදායම් සෙවීම පිළිබඳ සවිස්තරාත්මක ලේඛනයකි. එවැන්නක් සඳහාවන මූලික කොන්දේසිය වන්නේ, ආණ්ඩුවක් සතුව “ජාතික සංවර්ධන” සැළසුමක් තිබීමය. එවන් සැළසුමකට දිසා නිතියක්, ප්‍රතිපත්තිමය අන්තර්ගතයක් තිබිය යුතුය. එය ස්ථිරවම, “2019 යතාර්ථයෙන් වහා ඉවත්වීමේ” දිසානිතියක් සහිත සැළසුමක් විය යුතුය.
 
 


 දියුණු ශිෂ්ඨ සමාජ පැවැත්මක් වෙනුවෙන් මහජන සෞඛ්‍ය, අධ්‍යාපනය, මගී ප්‍රවාහනය, නිවාස සම්බන්ධයෙන් ඇති විෂමතා ඉවත් කිරීම සමග තමන්ගේ ප්‍රදේශයේ වැදගත් සාමකාමී ජීවිතයක් ගත කිරීම සඳහා අවශ්‍ය ආදායම උපයා ගැනීමේ හැකියාව සියල්ලන්ට අයිතියක් ලෙස තහවුරු කෙරෙන සංවර්ධනයක් විය යුතුය. ස්ත්‍රී දූෂණ, බාලවයස්කාර දැරිවියන් දූෂණය, ළමා හිංසන හා අපචාර, මිනී මැරීම්, කප්පම් ගැනීම්, කොන්තරාත් ඝාතන සහ හන්දි ගානේ අන්තරායකාරී මත්ද්‍රව්‍ය අලෙවිය සහමුලින් නවතා දැමෙන, සමාජ විනයක් සදාචාරයක් තහවුරු කෙරෙන ජාතික සංවර්ධන සැළසුමක් ක්‍රියාත්මක කිරීමේදී අවශ්‍ය වන ආදායම හා වියදම වාර්ෂිකව සැළසුම් කිරීමක් විය යුතුය.    
 
ජනතාවගේ ජීවන තත්ත්වය ක්‍රමිකව දියුණු කිරීම වෙනුවට අවුරුදු 48 ක් පුරා දූෂණය හා සමාජ පිරිහීම වගා කරමින් ජාවාරම්කාරයින් වෙනුවෙන් පවත්වා ගත් ජයවර්ධන ජනාධිපතිගේ විවෘත වෙළදපල ආර්ථිකයට මූලික වශයෙන් වෙනස් වූ විකල්පයක් ඉදිරිපත් කිරීම රාජ්‍ය ප්‍රජාතන්ත්‍රීය කිරීමත් සමග විය යුත්තකි. එවැනි “විකල්ප” සැළසුමක් මැතිවරණ වලට සීමාවන, නිශ්ක්‍රීය පටිපාටික ප්‍රජාතන්ත්‍රවාදයක් නොවේ. එය පැහැදිලි කළහොත් මැතිවරණයකින් ආණ්ඩු පාලනයක් පත්කර, ඊළඟ මැතිවරණය තෙක් ආණ්ඩුවට දොස් කියන්නට ඇති නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය නොවේ. එය ඕනෑම ආණ්ඩුවකට ඕනෑම වෙලාවක හකුළා දැමිය හැකි නිදහසක් පමණි. “ප්‍රජාතන්ත්‍රවාදය” විය යුත්තේ, මූලික මානව අයිතිවාසිකම් පූර්ණ ලෙස ආරක්ෂා කෙරෙන, මැතිවරණයෙන් පත් කෙරෙන ආණ්ඩුව ක්‍රියාත්මක කළ යුතු, අවම වසර 05 ක ජාතික සංවර්ධන සැළසුම එහි සම්පාදනයේ සිට ජනතාවට සක්‍රීයව දායක විය හැකි සහභාගී ප්‍රජාතන්ත්‍රවාදයක් ස්ථාපිත කිරීමකි.
 
budget 2026 251106
එවැනි සැළසුමක් සඳහා වාර්ෂිකව අවශ්‍යවන ආදායම හා එය ක්‍රියාත්මක කිරීමේදී වාර්ෂිකව වැය කෙරෙන මුදල සවිස්තරාත්මකව ඉදිරිපත් කෙරෙන ලේඛනය, වාර්ෂික අයවැය වන්නේය. එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කිරීමට පෙර බහුතරයක් පළාත් පාලන ආයතන හා පළාත් සභා විසින් සම්මත කිරීම, සක්‍රීය ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණයකි. එය වඩාත් ශක්තිමත් සක්‍රීය ප්‍රජාතන්ත්‍රවාදයක් වන්නේ සංවර්ධන සැළසුම ක්‍රියාත්මක කිරීමේ “අර්ධ-වාර්ෂික කාර්ය-සාධන වාර්තාව” සමාජ කතිකාවක් වෙනුවෙන් ප්‍රසිද්ධියට පත්  කෙරෙන්නේ නම් ය. 
අවසන් වශයෙන් කිව යුත්තේ පිරිහුණු, විනාසකාරී, දූෂිත සමාජයක් නඩත්තු කෙරෙන මේ විවෘත වෙළදපල ආර්ථිකය සමගින් අවුරුදු 40 ට වැඩි කාලයක් පැමිණි ගමන දැන් කෙළවර කළ යුතුය. ඒ වෙනුවට ආරම්භ කළ යුතු ගමන කවරක් විය යුතුදැයි වහා සාකච්ඡා කළ යුත්තකි. මේ විනාසකාරී ආර්ථිකයට විකල්පයක් තෝරා ගැනීම කල් තැබිය නොහැකි නිසා ය.  
 
kusal perera2
(සටහන | කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
kusal.perera@gmail.com

2025 නොවැම්බර 12 වන දින

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

රටක අයවැය කුමක් සඳහාද? | කුසල් පෙරේරා | The Leader