ඒ වගේම යකෙක් රකුසෙක් නොව හිස් පඹයෙක් කියා ය. ඒ කියන්නේ කිසිම වැඩකට නැති වචන ගොන්නක් බවයි.
ජනපති ගේ නැළවිලි ගී

ජනාධිපති පැය හතරහමාරක් තිස්සේ හොඳ නැළිවිලි ගීයක් කිව්වා නම් මීට වඩා හොඳට නිදාගන්නට තිබූ බව විපක්ෂයේ එක් මන්ත්‍රීවරයෙක් කියා තිබිණි.
"රවී කරුණානායක එක සැරයක් රොබින්හුඩ් පන්නයේ අයවැයක් ඉදිරිපත් කළා. ඒ කියන්නේ ඇති හැකි මිනිස්සුන්ගෙන් අරගෙන නැති බැරි මිනිස්සුන්ට දෙන එක. දෑකැත්තයි-මිටියයි පෙන්නගෙන ආපු මේ උදවිය දැන් කරන්නේ මොකක්ද? නැති බැරි මිනිස්සුන්ගෙන් අරගෙන ලොකු අයට සහන දෙනවා."
අයවැයේ සමස්ත සංක්ෂිප්තය විපක්ෂ මන්ත්‍රී කෙනෙක් පාර්ලිමේන්තුවේ දී ගෙනහැර දැක්වූයේ එලෙස යි.
සජිත් පැදුරටත් නොකියා ගියපු ගමන

ඔය අල්ලපනල්ලේ සමගි ජන බලවේගයේ අසමගිය දිනෙන් දින ඉරි තළා දෙකඩ වෙන තැනට ඔන්න මෙන්න ය.
සමගි ජන බලවේගයේ තුන්වෙනියා වූ හර්ෂ ප්‍රසිද්ධ මාධ්‍යයක පැවැත්වූ සාකච්ඡාවක දී ඒ දෙදරීම හොඳටම එළියට පැන්නේ ය.ඒ නොහොඳ නෝක්කාඩුව ඇතිවන්නට ආසන්න ම හේතුව සජිත්ගේ ඉන්දීය සංචාරය යි. සජිත් ඒ ඉන්දීය සංචාරය ගිහින් තිබුණේ පැදුරටත් හොරෙන් ය. රාජ තාන්ත්‍රික ගමනක්ය කියා පෙන්වන්නට හැදුවාට ඇත්තෙන් ම එය පවුලේ සංචාරයක් වගේ එකකි.
සජිත්ගේ ඉන්දීය සංචාරය ඉන්දීය රජයේ ආරාධනය මත සිදුවූ එකක් දැයි හර්ෂගෙන් මාධ්‍ය විමසූ විට ඔහු උත්තර දුන්නේ "එහෙම තමයි ආරංචි," කියා ය.
"මම ඒ ගමන ගැන දැනගෙන හිටියේ නෑ," යනුවෙන් ද හර්ෂ උත්තර දුන්නේ නෝක්කාඩු ස්වරයෙනි. "ආණ්ඩුවේ මිනිස්සු ඔය කතාව කියලා පාර්ලිමේන්තුවේදීත් මට සමච්චල් කළා," යනුවෙන් ද හර්ෂ එහි දී කීය.
"ඔය සංචාරය ගැන මම විතරක් නෙමෙයි කවුරුවත් දන්නෙ නෑ. අපිට මේ ගැන කියලා තිබුණෙත් නෑ. අපි දැනගෙන හිටියෙත් නෑ. මම මේක දැක්කේ පත්තරෙන්."
සජබ තුන්වෙනියා එහෙම කියාගෙන ගියේ ය.
සජිත්ගේ මේ අත්තනෝමතික ගමන ගැන බොහෝ දේශපාලන විදග්ධයන් කීවේ මන්ත්‍රී කණ්ඩායමෙන් හෝ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් සාමාජිකයින් එහි ගෙනයා යුතුව තිබූ බව යි.
ලක්ෂමන් ෆොන්සේකා, කුසුම් විජේතිලක, චමත් විජේසුන්දර යන අය නම්මේ ගමනට සජිත් සමග එකතු වී තිබිණි. මොවුන්ගේ තිබෙන විශේෂඥතාව කුමක්දැයි කිසිවෙක් නොදත්හ.
සෝභිත හාමුදුරුවන්ගේ සමරු වැඩසටහනට ද සජිත්ට ආරාධනා ලැබ තිබුණත් ඔහු ඊට සහභාගී වී තිබුණේ අතර මගිනි. ඒ ගැන සංවිධායකයින් පවා නොසතුටෙන් කතා කර තිබිණි. රාමඤ්ඤ නිකායේ මහනාහිමියන්ගේ අනුශාසනාව අහන්නටවත් සජිත් එහි නොසිටියේ ය.
ගුවන් යානයේ සිටි භූතයෝ හතර දෙනා

ආණ්ඩුවේ මැති ඇමතිලා දැන් දැන් විලි ලැජ්ජාව ඉවතලා සැපට හුරු වෙමින් සිටින බව කාගේ කාගේත් කතා බහට ලක් වෙන කතාවකි.
එංගලන්තයට යෑම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට ලැබුණු ආර්ථික පන්තියේ (economy class) ගුවන් ටිකට්පත්වලින් ඇමැතිවරුන් හතර දෙනකු ව්‍යාපාරික පන්තියේ (business class) ගොස් ඇති බවට සුජීව සේනසිංහ පාර්ලිමේන්තුවේදී කළ හෙළිදරව්ව ලැව් ගින්නක් සේ පැතිර ගියේ ය.
ඒ ඇමැතිවරු හතර දෙනා ආර්ථික පන්තියේ ආසනවල වාඩි වී විදුලි බුබුළු නිවා දමා ව්‍යාපාරික පන්තියේ අසුන්වලට ගොස් ඇතැයි මන්ත්‍රිවරයා එහිදී චෝදනා කළේ ය.
“එයාර් හොස්ටර්ස්ලත් බය වෙලා භූතයෝ හතරක් යනවා කළුවරේ කියලා,” යැයි සුජීව කීවේ මුළු සභා ගැබම සිනාවේ ගිල්වමිනි.
මේ විදියට මන්ත්‍රිවරුන්ට ලැබෙන ආරාධනා පත්‍රය හා ගුවන් ටිකට්පත් පාර්ලිමේන්තුව පරීක්ෂා කරන්නට ඕනෑ යැයි සුජීව යෝජනා කළේ මේ වගේ විහිළු සහගත වැඩ දවසින් දවස එකින් එක වාර්තා වෙමින් තියෙන නිසාය.
මේ කතාව නායක රනිල්ට ආරංචි වී තිබිණි.
අදාල එංගලන්ත සංචාරයට විපක්ෂ මන්ත්‍රීවරුන් දෙදෙනෙකුටත් ආරාධනා ලැබ තිබුණත් ආණ්ඩුවේ හතර දෙනෙක්ම ඊට ගොස් තිබෙන බව දැනගන්නට තිබේ.
" කථානායකතුමා සංචාරයට ගියා නම් ආණ්ඩුවේ තව එක ඇමති කෙනෙකුට යන්න තිබුණා. පසු පෙළ මන්ත්‍රී කෙනෙකුටත් විපක්ෂයේ මන්ත්‍රී කෙනෙකුටත් ඒ අවස්ථාව හිමි විය යුතුව තිබුණා," යැයි රනිල් මන්ත්‍රී කණ්ඩායමට පවසා තිබිණි.
ජනතාවගේ පුටුව කඩා වතු කම්කරුවන්ට අටුව තැනීම

වතු කම්කරුවන්ගේ පඩි වැඩිකිරීම සඳහා ගසා තිබූ ගැටේ ද ප්‍රශ්න ගොඩකට මුල පාදන බව දේශපාලන විශේෂඥයින්ගේ මතය විය.
"ආබාධිත අයට එහෙම සහනාධාර දෙන්න ක්‍රමයක් තියෙනවා, මේවා ගෙවනව නම් නීතියක් අවශ්‍යයි. නීතියක් ආවාම හරි. ඒ නීතියෙන් කියන්නේ ඕන කාටද මේ සහනය දෙන්නේ කියලා. අද තියෙන නීතිය අනුව මේක කරන්න බෑ. මූලික අයිතිවාසිකම් අනුව හැමෝටම එක විදියට සලකන්න අවශ්‍යයිනේ. තේ වතුවලට සලකනවා නම් රබර් වතු, ඇඟලුම් කම්හල්, ඔය වගේ මේ ක්‍රමය නවත්වන්නේ කොහෙද? සමාගම් කිහිපයකට විතරක් මේ සහනය දීල නවත්තන්න බැරි වෙනවා," යැයි රනිල් ඒ ගැන පුළුල් විවරණයක් කළේ එසේය.
"මෙතන කියන්නේ මහජනතාව එක කොටසක් ගෙවන සල්ලි අරගෙන තව කොටසකට දෙන්න කියලා."
රුවන් පැහැදිලි කිරීමක් කළේය.
ජනාධිපති අයවැයේදී කිව්වේ කම්කරුවන් විදේශ විනිමය ගෙනෙන්න වතු ජනතාව සුවිශේෂී කැපකිරීමක් කරන නිසා මේ දීමනාව දිය යුතු බව යැයි රජයේ හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් කරුණාරත්න කීය.
"ඒ තර්කෙට අනුව ටුවරිසම්වල ඉන්න අයට මේක නොදෙන්නේ ඇයි? එහෙම බැලුවොත් මීගමුවේ ඉන්න වෛශ්‍යාවන්ටත් මේක දෙන්න ඕන නේද?"
මුඛරි මන්ත්‍රීවරයෙක් ඒ කී කතාවට රනිල්ටත් සිනහ පහළ විය.
"නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත් පට්ටයක් ඕන කියනව වගේ වතු කම්කරුවන්ගේ මේ පඩි වැඩිවීමත් ඇත්තට ම කෙරෙන විදිහට කළොත් හොඳයි," යැයි රනිල් කීවේ තමාගේ කාලයේ වතු සේවක පඩි වැඩි කිරීමට ගත් සාධනීය පියවර පිළිබඳව ද විස්තර කර දෙමිනි.
" පඩි වැඩි කරන්න බැරි නම් වතු අපිට ආපහු දෙන්න කියලා මම කිව්වා."
රනිල් කීවේය.
ආණ්ඩුවේ පුතයින්ගේ පැටිකිරිය ගැන චාමරගේ දැක්ම

රනිල් නොදුන් වාහන දැන් මේ ආණ්ඩුව විසින් මන්ත්‍රීවරුන්ට ලබාදීමට යයි. මේ පිළිවළින් වන්නේ අවුරුදු පහේ ම ආණ්ඩුව විසින් මේ වාහන නඩත්තු කළ යුතු වීම යි.
"තමන්ගේ කියල හැඟීමක් නැති නිසා ඔය වාහනවලින් ගල්, සිමෙන්ති ගොම වගේ දේවලුත් අදීවි."
චාමර සම්පත් එසේ කීවේ ආණ්ඩුවේ පුතයින්ගේ පැටිකිරිය ගැන ඔහු හොඳාකාරව ම අධ්‍යයනය කර සිටි නිසා ය.
හරින් ගේ අලුත් පිම්ම

හරීන් එජාප නියෝජ්‍ය මහලේකම් ධුරයේ වැඩ බාර ගත්තේ පිට කෝට්ටේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී ය.
මාස හය ගත වීමට පෙර එක්සත් ජාතික පක්ෂයේ බලවේගයක් නිර්මාණය කරන බව හරීන් වැඩ බාර ගනිමින් කීවේය.
හරීන් එහි දී තවත් අලුත් කතාවක් හෙළිදරව් කළේ ය. ඒ ලබන දෙසැම්බරයේ සිට අරඹන්නට යන වැඩකි.
‘රනිල්ගෙන් ඉගෙන ගන්න’ ඒ වැඩසටහනේ නමයි. තරුණයින්ට රනිල්ගෙන් ප්‍රශ්න අසමින් දේශපාලනය ඉගෙන ගැනීමට අවස්ථාව ලබා දීම ඒ වැඩසටහනේ ව්‍යුහය යි.
හරීන් වැඩ බාර ගත් අවස්ථාවට සභාපති වජිර, අකිල, තලතා, සාගල ඇතුළු පක්ෂ ක්‍රියාකාරීහු එක් වුහ.
අරගලය පිළිබඳ නවත ම කෘතිය

එජාප කළමණාකරන කමිටුව නායක රනිල්ගේ ප්‍රධානත්වයෙන් මල් පාර කාර්යාලයේ දී පැවැත්විණි. පක්ෂය ප්‍රතිසංවිධානය, නව දිස්ත්‍රික් කළමණාකරුවන් පත් කිරීම සහ දිස්ත්‍රික් ලේකම්වරුන් පත්කිරීම පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡ කර තිබුණි.
කැලණි සරසවියේ හිටපු උප කුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර ලියූ “අරගලයේ බලය - ගෝඨාභය නෙරපීමේ සිට රනිල් සිරගත කිරීම දක්වා” කෘතිය ලබන බ්‍රහස්පතින්දා (20) පස්වරු 3.30 ට කොළඹ 07, ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී එළි දකින්නේ රනිල්- ගෝඨාභය -මහින්ද යාපා දේශපාලන කරළියේ තවත් අයගේ සහභාගීත්වයෙනි.
අරගලය සහ ඊට සම්බන්ධ සිදුවීම් මාලාව විමර්ශනාත්මකව විශ්ලේෂණය කිරීම මෙම ග්‍රන්ථයේ මූලික අරමුණ වේ.
(සටහන | මල් පාරේ ලියුම්කරු )




