"මොකද රාසම්මා ?" රාමය්යා ඇසුවේ ඇගේ ස්වභාවය අමුතු නිසා ය.
"අය්යය්යෝ....මේ පාරත් ගහල ගිහින් වගේ" රාසම්මා ගේ දෑසේ කඳුළු පිරී ගියේ නිමේෂයෙනි. රාමය්යා ට ඇය කියන දේ වැටහෙයි. ඔහුට ද වේදනාව නැතුවා නොවේ. නමුත් ඒ බවක් පෙන්වන්නට ඔහු නොකැමති වූයේ ඉන් රාසම්මා ගේ හිත තවත් තැලෙන නිසා ය.
"ඇඟ රිදෙනව නම් මම වෙනිවැල්ගැට ටිකක් තම්බල ගේන්නම්. රාසම්මා නිදා ගන්න"
"ඉස්පිරිතාලෙට යන්න වෙයි"
"දළු ලොරිය යනකොට මඩොල්කැලේට යමු"
රාසම්මා ඇගේ නිවසේදී
රාසම්මා මව් පදවිය ලබන්නට සිටියේ පුදුම තරමේ ආසාවකිනි. විවාහ වී දෙවෙනි තුන්වෙනි මාසයේ පමණ ඇය මුල්වරට ගැබ් ගත්තාය. නමුත් ගැබට මාස තුනක්වත් ගතවුණේ නැත. එය ගබ්සා විණි. එතැන් පටන් මේ අවුරුදු කීපයට ගැබ් ගත් වාර ගණන රාසම්මාටවත් මතක නැත. ඒ හැම දරු ගැබක්මත් මාස දෙකෙන් තුනෙන් ගබ්සා වී ගියේය. මෙදා සිදුවී ඇත්තේත් එයම ය. රාසම්මා ට මහා දුකක් දැනිණි. රාමය්යා මොකුත් නොකියන එක ඊට වඩා දුකකි. ඇය දන්නා එක ගෑනු කෙනෙකුට පිට පිට ගබ්සා දෙකක් සිදුවීම නිසා මුලින්ම ආඩපාලි කියා ඇත්තේ ඇගේ කසාද මිනිහා ය.
"උඹ ඉතින් ළමයෙක් වදන්ඩවත් පිනක් ඇති එකියක්යැ. පව්කාර ගෑනි" කියමින් බීගෙන ඇවිත් සැමියා තමාට හිංසා කරන බව ඇය රාසම්මා ට කියා තිබුණේ හැඬූ කඳුළිනි. රාමය්යා තමාගේ ම මාමා වුවත් ඔහු ලැබුණේ පිනකට ය. ඉඳහිට දවසක මත්පැන් ටිකක් තොල ගාගෙන ආවත් කවදාවත් "උඹ නොදකින්" කියාගෙනවත් නැත. අසනීපයක් වුණොත් ඇයට නිදා ගන්නට සලස්වා රාමය්යා ගෙදර සියලු වැඩ කරයි.
රාසම්මාව දළු ලොරියේ නංවාගෙන රාමය්යා සුපුරුදු පරිදි මඩොල්කැලේ රජයේ රෝහලට ගියේය.
යා යුතුම නිසා ගියත් රෝහලෙන් දෙන බේත් පෙති රාසම්මා කටේ තිබ්බේ නැත.
"දොස්තර මහත්තයට පෙන්නන්න ඕන නිසා ගියාට මට ඔය ඉස්පිරිතාලවල ඉංග්‍රීසි බේත් අල්ලන්නෙ නෑ. මම ගෙදර ඇවිත් ඒව පැත්තකට දාල අත්බේත් හදාගෙන බොනවා"
රාසම්මා කියන විදිහට එකවතාවෙන්ම අත්බෙහෙතෙන් ගුණ ලැබේ. ඇයට අත්බෙහෙත් තරම් ඉංග්‍රීසි බෙහෙත් විශ්වාස නැත. ඇයටම මතක නැති තරමට ගබ්සාවන් සිදු වී තිබුණත් ඇය එක් දිනක්වත් රෝහල්ගත නොවූවාය.
ඇගේ නිවසේ සාලය කොටසේ සිට ඉදිරිපස දොර දක්වා වැටී තිබූ පටු කොරිඩෝවෙහි වූ ප්ලාස්ටික් පුටුවේ ඇය වාඩි වුණාය. මිදුලේ කීප දෙනෙක් කලබලෙන් යනු දැක රාසම්මා තුළ ඇති වූයේ කුතුහලයකි. ඇය පුටුවෙන් නැගිට ඉදිරිපසට ගියාය.
රාසම්මා වෙසෙන නිවාස පේළිය
"මරුත්තු විච්චි" රාසම්මා ට ඉබේම වාගේ කියවිණි. ඇය දිගු සුසුමක් හෙලුවාය. ලයිමේ එහා පේළියේ ගෙදරක තරුණියක් ගැබ්ගෙන සිටියාය. ලොකු බඩකුත් ඔසවාගෙන තාරාවියක මෙන් දෙපැත්තට පැද්දෙමින් ඇය ඇවිදින අයුරු රාසම්මා බලා සිටියේ ආසාවෙනි. එවැනි තත්ත්වයකට පැමිණෙන්නට රාසම්මාත් සිහින මැව්වාය. නමුත් ඇගේ ඒ පැතුම මෙතෙක් ඉටුවී නැත.
මරුත්තු විච්චි ගියේ ඒ බඩදරු අම්මාගේ ගෙදරට ය.
"එයාට අද බබා හම්බ වෙනව ඇති" සතුට පමණටම දුක ද මිශ්‍ර වූ සිතිවිලි රාශියකින් රාසම්මා ගේ සිත පිරී ගියේය.
රාසම්මලා ගේ තරුණ කාලයේ වතුවල ගැබිනි මව්වරුන් දරු ප්‍රසූතිය සඳහා රෝහල්ගත වුණේ නැත. කවදාවත් මාතෘ සායනවලට ගියේත් නැත. අතීතයේ සිංහල මව්වරුන් මෙන් ඔවුන් ද දරුවන් බිහි කළේ ගෙදර ය. ඒ සඳහා ඔවුන්ට උපකාර කළ කාන්තාව හැඳින්වූයේ "මරුත්තු විච්චි" ලෙසිනි. ඒ "වින්නඹු අම්මා" ලෙස අප අතීතයේ හැඳින්වූ කාන්තාව වැනි කෙනෙකි. වින්නඹු මාතාව හෙවත් වර්තමානයට අනුව පවුල් සෞඛ්‍ය සේවිකාව ඒ තනතුර ලබන්නේ අධ්‍යාපන සුදුසුකම් තුළිනි. නමුත් මරුත්තු විච්චිලා මෙය පාරම්පරික ව කරගෙන ආවා විනා අමුතුවෙන් මේ සම්බන්ධව පාඨමාලා හදාරා හෝ රෝහල්වලට ගොස් ප්‍රායෝගික පුහුණුවක් ලබා හෝ මේ කටයුත්තට පිවිසුණු අය නොවේ. එසේ වුවද කවදාවත් ඔවුන්ට වැරදුණේ නැත. ඔවුන් අතින් ප්‍රසූතියේදී දරුවකු මියගිය අවස්ථාවක් අසන්නම නැත. ඔවුන් ට ඉතා හොඳ දැනුමක් ඒ සම්බන්ධයෙන් තිබිණි.

තේ වතුවල කම්කරු කාන්තාවෝ ඇඟපත වෙහෙසා වැඩ කරති. දරු ගැබත් ඔසවාගෙන දිනපතා කඳුවල නගිමින් තේ දළු නෙළීම ද සුළුපටු ව්‍යායාමයක් නොවේ. මුළු මාස නවය පුරාම මෙසේ වෙහෙසවන ඔවුනට දරුවකු ප්‍රසූත කිරීම එතරම් අමාරු කර්තව්‍යයක් නොවේ. දවස පුරා තේ වත්තේ වැඩ කර ඉන්පසු ප්‍රසූත අමාරු දැනෙන විට ගෙදරට ගොස් කවුරුන් අතේ හෝ මරුත්තු විච්චි ට පණිවිඩයක් යැවීම ඔවුන්ට මහ කාරියක් නොවේ.
දරු ප්‍රසූතිය සඳහා වන කතුරු ආදී සියලු ආම්පන්න මරුත්තු විච්චි ළඟ තිබේ. එපමණක් නොව පුසුතිය පහසු වීම සඳහා උදරයේ ගල්වනු ලබන තෙල් වර්ග ද රැගෙන එයි. ගෙදර කාමරයක් තිබේ නම් දරු ප්‍රසූතිය සඳහා යොදා ගන්නේ එම කාමරයයි. කාමරයක් නැති ලයිම් ගෙයක් නම් සාලය කෑල්ලේ මුල්ලක සාරිවලින් වටේට තිර ඇද සකස් කරනු ලබයි. එතුළට යාමට අවසර ඇත්තේ එම ගැබිනි මවටත්, මරුත්තු විච්චිටත් පමණි. දරුවා බිහි වීම පහසු වනු පිණිස බඩේ තෙල් ගැල්වීම ආදී නොයෙකුත් ප්‍රතිකාර කර දරුවා ප්‍රසූත වනවිට ක්‍රමානුකූලව දරුවාට මවගේ යෝනි මාර්ගය ඔස්සේ පිටතට එන්නට මරුත්තු විච්චි උදව් කරයි. බිහිවූ පසු පෙකනිවැල ද කපා දමයි.
රාක්ෂාව තේ කම්හල පිටුපසින් බංගලා ලයිමට යන පාර
මේ සියල්ල කර අවසානයේ මවට සුදුසු කෑම බීම ගැනද ඇය පවුලේ අය දැනුවත් කරයි. මුලින්ම මවට ලැබෙන්නේ තැම්බුම් හොද්දක් සමග බත් ය. ඉන්පසු එළවළු වර්ග කීපයක්, කඩල කව්පි මුංඇට වැනි ධාන්‍ය වර්ගයක් සමග මාළු ද එකතු කර සුප් සාදා ඒවාද බොන්නට දෙයි. මාළු වෙනුවට ඇතැම් විට ළපටි කුකුල් මස් ද එකතු කෙරේ. මවට හොඳින් කිරි එරෙන්නටත්, දරුවා නිරෝගී ව වැඩෙන්නටත් මරුත්තු විච්චි උපදෙස් දෙන්නීය. දරුවා බිහිවූ පසුවත් ඇය වරින්වර ම පැමිණෙයි.
මරුත්තු විච්චිලා වැඩි දෙනෙක් දෙමළ ජාතික කාන්තාවන් ය. නමුත් ඒ ඒ ප්‍රදේශවල ජීවත් වන සිංහල සේම, මුස්ලිම් ජාතික කාන්තාවෝ ද මරුත්තු විච්චිලා ලෙස අතීතයේ සේවය සැපයූහ.
මේ සේවය වෙනුවෙන් ඔවුන් ට මුදල් ලබා දෙයි. සමහරු මුදල් වෙනුවට හාල්, පොල් වැනි වියලි ආහාර ද්‍රව්‍ය ලබාදෙන අවස්ථා ද ඇත. හැම ලයිමක් කිට්ටුවම එකල මරුත්තු විච්චිලා සිටියහ.
තවත් කොටසක් ලබන සතියේ
ස්තුතිය - මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර, සමාජ ක්‍රියාකාරී වීරේ වීරසිංහම්, පන්විල පත්මසීලන් යන මහත්වරුන් ට සහ පන්විල, ගාලකඩේ සූරිය කුමාරි මහත්මියට
ඡායාරූප - ඉන්දු පෙරේරා සහ අන්තර්ජාලය
සටහන : ඉන්දු පෙරේරා
සබැඳි ලිපි :
