The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

දෙඤ්ඤං කරිඤ්ඤං | සුනිල් කන්නන්ගර

T

The Leader Desk

November 14, 2025 • 7:06 AM

දෙඤ්ඤං කරිඤ්ඤං | සුනිල් කන්නන්ගර

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සුපුරුදු ලෙස විරුද්ධ දේශපාලකයන් චෝදනා කළේ, ආණ්ඩුව රජයේ සීනි කම්හල් දෙක ඉන්දීය සමාගම්වලට විකිණීම සඳහා මෙසේ එම සීනි කම්හල් ආශ්‍රිත ප්‍රශ්න හිතාමතාම ඔඩු දුවන්නට හැර ඇති බව ය.
  • එසේ වුවත්, වඩාත් මධ්‍යස්ථව අදහස් දැක්වූ අය පැවසුවේ පැලවත්ත හා සෙවනගල සීනි කම්හල්වල ගබඩා සීනිවලින් පිරී ඉතිරී ඇති බව ය.
  • ඒ, සීනි අලෙවිය පහත වැටී ඇති නිසා බව ද ඔවුහු පෙන්වා දුන්හ.
  • “අලි මදිවාට හරක්” කීවා සේ, ගබඩාව පිරී ඇති නිසා අලුතින් සීනි හදා ගබඩා කරන්නත් තැනක් නැත.
අකුරු ප්‍රමාණය (Font Size):


සුපුරුදු ලෙස විරුද්ධ දේශපාලකයන් චෝදනා කළේ, ආණ්ඩුව රජයේ සීනි කම්හල් දෙක ඉන්දීය සමාගම්වලට විකිණීම සඳහා මෙසේ එම සීනි කම්හල් ආශ්‍රිත ප්‍රශ්න හිතාමතාම ඔඩු දුවන්නට හැර ඇති බව ය.

එසේ වුවත්, වඩාත් මධ්‍යස්ථව අදහස් දැක්වූ අය පැවසුවේ පැලවත්ත හා සෙවනගල සීනි කම්හල්වල ගබඩා සීනිවලින් පිරී ඉතිරී ඇති බව ය. ඒ, සීනි අලෙවිය පහත වැටී ඇති නිසා බව ද ඔවුහු පෙන්වා දුන්හ. ඒවායින් නිපදවන සීනි හා අතුරු නිෂ්පාදනය වන එතනෝල් අලෙවි නොවන්නේ නම් ගබඩා උතුරා යාම් වළක්වා ගත නොහැක. එය හරියට භාණ්ඩාගාරය උතුරා ගියා වගේ ය. එකතු කරන ආදායම වියදම් කරන්න ක්‍රමයක් නැත්නම් භාණ්ඩාගාරය උතුරා යන්නා සේ; නිපදවන සීනි විකුණන්න බැරි වෙන කොට සීනි කම්හල් ගබඩා ද ඉබේටම උතුරා යයි. ගබඩා උතුරා යනකොට සමාගමට සල්ලි ලැබෙන්නේ නැතත්, එයින් සීනියෙන් උතුරා යාමේ ප්‍රීතිය නොඅඩුව භුක්ති විඳිය හැකි ය.

image 045a0f286c

 

භාණ්ඩාගාරය උතුරා යන කොට විපක්ෂයේ හර්ෂ සිල්වා පවා සතුටු වුණු නිසා, සීනි උතුරා යාම ගැන පක්ෂ විපක්ෂ කාටත් සම සමව සතුටු විය හැකි ය. නමුත් සමාගමට සල්ලි නොලැබෙන නිසා උක් ගොවීන්ට ගෙවන්න ක්‍රමයක් නම් නැත. “අලි මදිවාට හරක්” කීවා සේ, ගබඩාව පිරී ඇති නිසා අලුතින් සීනි හදා ගබඩා කරන්නත් තැනක් නැත. ඒ නිසා ගොවීන් කපන උක් අඹරා සීනි නිපදවන්න විදියක් ද නැත.

මේ දුෂ්කර දූෂිත චක්‍ර මාලයෙන් මිදෙන්න බැරුව දඟලද්දී, ගොවීන් උද්ඝෝෂණ කරන්න පටන් ගත්තට ආණ්ඩුවට කළ හැකි කිසිවක් ද නැත. ඒ නිසා ආණ්ඩුවේ සීනි සමාගමේ ලොක්කෝ මේ ප්‍රශ්නය විද්‍යාත්මකව විශ්ලේෂණය කර ගබඩාවල ඇති සීනි තොග අලෙවි කිරීමට අපූරු උපක්‍රමයක් සොයා ගත්තෝය. ඒ, සීනි අලෙවිසල් ජාලයක් රට පුරා පටන් ගැනීම ය. ඉන් පළමු දුඹුරු සීනි අලෙවිසල සුනිල් හඳුන්නෙත්ති කර්මාන්ත ඇමතිගේ සුරතින් ඉකුත් දා නුගේගොඩ දී ආරම්භ කළේ උත්සවාකාරයෙනි.

 



දැන් කර්මාන්ත ඇමතිවරයා ඇතුළු ආණ්ඩුවම සිතා සිටින්නේ දුඹුරු සීනි මිලදී ගැනීමට සිටින කොළඹ ජනතාව ඇඹලයන්, කුහුඹුවන් මෙන් ලවක් දෙවක් නැතුව වට වී නුගේගොඩ වෙළෙඳසලෙන් දුඹුරු සීනි කිලෝ එක දෙක රැගෙන යනු ඇතැයි කියා විය යුතු ය.

සාමාන්‍යයෙන් දුඹුරු සීනි වෙළෙඳපොළේ තිබුණේ සුදු සීනි මිලට වඩා රුපියල් 100-120කට වඩා වැඩි මිලකට ය. ගේ ළඟ කඩෙන් රුපියල් 275/=ට සුදු සීනි ගන්න පුළුවන්කම තිබියදී නුගේගොඩට ගොස් දුඹුරු සීනි කිලෝ එකක් ඊට වඩා රුපියල් 100ක් පමණ වැඩි මිලක් ගෙවා ගෙන එන අය කොපමණ සිටී දැයි සැක හැර දැන ගන්න දැන් ඉතින් බාධාවක් නැත. ඒ සඳහා කළ යුත්තේ හැමදාම හවසට කීදෙනෙක් දුඹුරු සීනි මිලට ගත්තේදැයි සොයා බලා මාධ්‍ය නිවේදනයක් නිකුත් කිරීම පමණකි.

මට හිතුණේ මේ ඇමතිතුමාව අනුගමනය කරමින් කෘෂිකර්ම ඇමතිතුමාට කොළඹ ආසන්නයේ බත්තරමුල්ලේ දැනට බී ළූණු හා අල කඩයක් පටන් ගන්න හිතුණොත් වෙන දේ ගැන ය. වී අස්වනු නෙළන කාලෙට බී ළූණු නැති නිසා ඒ වෙනුවට හාල් විකුණන්නත්, අල නැති කාලෙට ඒ වෙනුවට එළවළු මැස්සක් එහි තබාගෙන එළවළු විකුණන්නත් පුළුවන. එතකොට පොළොන්නරුවේ වී ගොවියාත්, නුවරඑළියේ එළවළු ගොවියාත්, වැලිමඩ අල ගොවියාත්, දඹුල්ලේ ලොකු ලූනු ගොවියාත් සැනසෙති. එපමණක් නොවේ, පසුගිය දිනවල වෙළෙඳ ඇමතිතුමා බී ළූණු ගෙඩියේ වට මැනීමට ගොස් සිදු කරගත් ආපදාවට ප්‍රතිකාර ගන්න විවේකයක් ලබා දෙන්නටත් එයින් හැකි වනු ඇත.

 



අනික විපක්ෂයේ ඒකාබද්ධ වෙන්න හදන උන්නැහේලාට ආණ්ඩුවට පාඩමක් උගන්වන්නත් මේ දුඹුරු සීනි කඩේම අපූරුවට යොදා ගත හැකිය. ඒ, ලබන විසි එක්වෙනිදාට නුගේගොඩ ආ පසුව කෙළින්ම දුඹුරු සීනි කඩයට ගොස් සීනි කිලෝ එකක් මිලට ගැනීමෙන්ම විරෝධය ආරම්භ කිරීමෙනි. එක පැය භාගයක් තිස්සේ කට්ටිය සීනි ගත්තොත් කඩේ හිස් වෙනවා ෂුවර්ය. ඊට පසු එන අයට “සීනි ඉවරයි” කියා කඩේ අයට කියන්න සිදු වුණොත්, “වහා සීනි දෙනු” කියා වෙන කොහේවත් නොගිහින් විරෝධය එතැනින්ම ඇරඹිය හැකි වනු ඇත.

එතකොට හරියකට සීනි කඩයක්වත් කරගන්න බැරි උන් ආණ්ඩුවක් කරන්නේ කොහොමදැයි උජාරුවෙන් කෝචොක් කරමින් විරෝධයෙන් නුගේගොඩ ගිගුම් දෙවන්නත් පුළුවන.

චන්ද්‍රිකා මැතිනියගේ පාලන කාලයේ අපේ කළුතර දිස්ත්‍රික්කයේ නායකයා වූ රත්නසිරි වික්‍රමනායක ඇමතිතුමා ඔය විදියටම බත්තරමුල්ලේ පැලවත්ත හන්දිය ආසන්නයේ කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය ළඟ තේ කඩයක් දැම්මේය. එය නම් කළේ “තේ වාඩිය” නමිනි. තේ වාඩිය පටන් ගත් ඇමතිතුමා අපේ ගමේ ලොක්කා නිසා මට හිතුණේ වැඩේ නැඟලා යනු ඇතැයි කියා ය. වාඩිවල අනන්ත අප්‍රමාණ පොල් කට්ටෙන් තේ බී ඇති මාත් තේ වාඩියට ගියේ ගමේ ක්‍රමයට හකුරු කෑල්ලක් කා කහට කෝප්පයක් බොන්න ය. අන්තිමට සිදු වුණේ රූබර ලලනාවක් ගෙනවිත් දුන් තේ එකක් බී, ලොකු බිලකුත් ගෙවා යටි හිතෙන් බැන බැන ආපසු යන්න ය. නමුත් ඒ තේ වාඩියේ පරමායුෂ මාසයක්වත් තිබුණේ නැත. ඒ චන්ද්‍රිකාගේ ආණ්ඩුව ය, නමුත් අනුරගේ මේ සුපිරි ආණ්ඩුවේ එහෙම දේ වෙන්නේ නැත.

අපේ සුනිල් හඳුන්නෙත්ති ඇමතිතුමා මේ වැඩේට බැහැලා කර ගැසූ නිසා මේ වැඩේට හුදී ජනයෙක් ලෙස උදව් කරන්න ඕනෑ ය. මොනවා වුණත් එතුමයි මමයි දෙන්නම සුනිල්ලා ය. ඒ නිසාම මේ සීනි කඩේ ජනප්‍රිය කර කඩ ජාලය ව්‍යාප්ත කරන්න මගේ “සුනිල යෝජනා” ටික දෙන්නම ඕනෑ ය.

 

v6ub56dr
ඇමතිතුමා කිව්ව විදියට උක් ආශ්‍රිත නිෂ්පාදන හැටියට උක් පැණි, සක්කර කැට, උක් දඬු, උක් පත්‍රවලින් වියූ බෑග් ආදී නානා ප්‍රකාර දේ පමණක් නොව, මෙතැන සීනි ආශ්‍රිත නිෂ්පාදනත් සියල්ලම මෙතන විකුණන්නට පටන් ගත යුතු ය. සීනි මුරුක්කු, සීනි බෝල, සීනි දමා හැදූ කිතුල් හකුරු, සීනි පතුරු ආදී සීනි යන නම සහිත සියල්ල එකම වහලක් යට දී පාරිභෝගිකයාට ගන්නට සැලැස්විය යුතු ය. කෘෂිකර්ම නියෝජ්‍ය ඇමති සම්බන්ධ කරගෙන හම්බන්තොට පැත්තෙන් සීනි කැකිරි ගෙන්වාගෙන මොනරාගල සීනිවලින් හැදූ පැණි සමග කන්නත් මේ සීනි කඩ ජාලයේ පහසුකම් දිය යුතුය. මේ සේරම කිරීමට සීනි කඩේට සේවයේ යෙදවිය යුත්තේ “සූකිරි බටිල්ලන්” ය. සූකිරිත් සීනිවලින්ම වැඩි දියුණු කරන නිෂ්පාදනයක් නිසා එයත් අපූරුවට ගැලපෙනු ඇත.

මේ මොනවා තිබුණත් නැතුවම බැරි තවත් එක සීනි නිෂ්පාදනයක් මේ සීනි කඩේ විකුණන්න තියන්නම ඕනෑ ය. අනික ඒකට එච්චර ඉඩකඩ යන්නේත් නැත. ඕනෑ නම් සීනි කඩේ පිටිපස්ස පැත්තේ වුණත් ඒවා විකිණිය හැකිය. ඒ සීනි කරිඤ්ඤංය. මුලින්ම හඳුන්නෙත්ති ඇමතිතුමා පැලවත්ත සෙවනගල සීනි සමාගම්වලින් අඩු මිල බෝතලයක් දෙන බව කියා ජන මනස උද්දීපනය කළ තිබුණු නිසා එවිට ඒ පොරොන්දුවත් මේකෙන්ම ඉටු වෙනවා නිසැක ය. ඒ වගේම ඒකේ පූර්ව ප්‍රචාරක පාඨය හැටියට “දෙඤ්ඤං කරිඤ්ඤං” යන පාඨය ලොකුවට ලියූ බිල්බෝඩ් රටපුරා පිහිටුවීම ද සුදුසු ය. එවිට වැඩේ නැඟලා යන එක අති ෂුවර් ය.

sunil kannangara(සටහන | සුනිල් කන්නන්ගර)
කොළඹ රත්නපුර සහ අම්පාර හිටපු මහ දිසාපති
skannangara1959@gmail.com

(vinivida.lk)

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...