The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

සම්මුති- විසම්මුති : ලක්මාලි සහෝදරියගේ මාක්ස්වාදී පාඩම | සුනන්ද දේශප්‍රිය

T

The Leader Desk

November 14, 2025 • 10:46 AM

සම්මුති- විසම්මුති : ලක්මාලි සහෝදරියගේ මාක්ස්වාදී පාඩම | සුනන්ද දේශප්‍රිය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඇය කී කතාව කෙටියෙන් මෙසේය.
  • එනම් ඔවුන් වර්තමානයෙහි ධනේශ්වර සංවර්ධනයට පහසුකම් සලසන්නේ ඉන් පසු එළඹෙන සමාජවාදී අවදියට ප්‍රවිශ්ඨ වීමට බවයි.
  • වත්මන් අයවැය යෝජනා මගින් වඩාම සතුටට පත්ව සිටින්නේ ව්‍යාපාරික ප්‍රජාව බව රහසක් නොවේ.
  • සමහර විට ඇය සාධාරණ කරන්නට ඇත්තේ එවැනි ප්‍රශංසා ලැබීමයි.
අකුරු ප්‍රමාණය (Font Size):


ඇය කී කතාව කෙටියෙන් මෙසේය. සමාජවාදය පිහිටුවීමට පෙර ධනවාදය සංවර්ධනය කිරීම ය. කාල් මාක්ස් ධනවාදයට විරුද්ධ වූයේ නැත. (එනිසා ජවිපෙ ද ධනවාදයට විරුද්ධ නැත) අද ජාතික ජන බලවේගය කරමින් සිටින්නේ සමාජවාදයට යෑම පිනිස ධනවාදය සංවර්ධනය කරමින් සිටිමය. හැම ( සමාජවාදී) රටකම සිදු වුයේ එය යි. චීනය අද එරට පවතින්නේ ධනවාදී ක්‍රමයක් යැයි කියන්නේ නැත. (ලංකාවේ ද එයම සිදුවිය හැකිය)

 



ලක්මාලි මංත්‍රී  සහෝදරියගේ කතාවෙන් ඇඟවෙන්නේ වත්මන් ආණ්ඩුවේ දේශපාලන දර්ශනයයි. එනම් ඔවුන් වර්තමානයෙහි ධනේශ්වර සංවර්ධනයට පහසුකම් සලසන්නේ ඉන් පසු එළඹෙන සමාජවාදී අවදියට ප්‍රවිශ්ඨ වීමට බවයි.

වත්මන් අයවැය යෝජනා මගින් වඩාම සතුටට පත්ව සිටින්නේ ව්‍යාපාරික ප්‍රජාව බව රහසක් නොවේ. සමහර විට ඇය සාධාරණ කරන්නට ඇත්තේ එවැනි ප්‍රශංසා ලැබීමයි. ඇය මෙම කතාව මාක්ස්වාදය යනු ජවිපෙ පංති පහ හෝ පංති හත හෝ අධ්‍යාපන කදවුරුවලදී කරනු ලබන දේශණ යැයි සිතා සිටින තරුණ තරුණියන්ට කීවේ නම් ප්‍රශ්නයක් නැත. නමුත් දැන් ඇය කර ඇත්තේ රට හමුවෙහි ජාතික ජන බලවේගයේ ආර්ථික පිළිවෙත මාක්ස්වාදී එකක් යැයි ප්‍රකාශ කිරීමය.

මෙය විහිළුවක් නොවේ. රැවටීමකි.

leninicuyf
රුසියානු විප්ලවයේ ඉතිහාසය පිළිබඳ කියවන විට මෙම අවධි දෙකේ විප්ලවය පිළිබඳ න්‍යාය මුලින්ම ඉදිරිපත් කරන ලද්දේ ලෙනින් විසින් නොවන බව තේරුම් ගත හැකිය. එම මතය ඉදිරිපත් කරන ලද්දේ ලෙනින්ගේ මාක්ස්වාදී දේශපාලන පසමිතුරන් වූ මෙන්ෂෙවිකයන් විසිනි.

1971න් පසු ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනය  සතුරන් ලෙස සැලකූ අනෙක් වාමාංශික පිරිස් හැදින්වීමට යොදා ගත් පදය මෙන්ෂෙවිකයන් යනුය. විජේවීර සිය ලිපි වලදී මෙන්ෂෙවික් යන පදය පාවිච්චි කළේ ගැරහීමටය. දැන් ඇත්ත වශයෙන්ම නම් ලක්මාලි මංත්‍රී  සහෝදරිය ප්‍රකාශ කරන්නේ විජේවීර විසින් හෙළා දුටු මෙන්ෂෙවික් දේශපාලනයයි.

ජවිපෙ තමන් අනන්‍ය කර ගන්නේ රුසියානු විප්ලවයේ බොල්ෂෙවික් ධාරාවටය. එහි ප්‍රධානියා වූයේ  වැලැඩිමීර් ඉලියිච් ලෙනින්ය. මෙන්ෂෙවික් ධාරාවෙහි නායකයා වූයේ ජොර්ජි  ප්ලෙකනොව්ය. මේ දෙදෙනා නොදියුණු රටකට මාක්ස්වාදය ගැලපීම දෙවිදියකට අර්ථ දැක්වූහ. වඩා දාර්ශනික පොත පත ලීවේ ප්ලෙකනෙව්ය. ලෙනින් ප්‍රායෝගික තත්වයන්ට ප්‍රතිචාර දැක්වීය.

ජවිපෙ ලක්මාලි මංත්‍රී සහෝදරිය අපට කියන්නේ මාකස් සහ ලෙනින් කියවන්නේ නම් වර්ථමානයෙහි ජවිපෙ- ජාජබ ආණ්ඩුව ගෙන යන ධනේශ්වර ආර්ථික පිළිවෙත අපට තේරුම් ගත හැකි බවයි. ඇයට අනුව මේ ආණ්ඩුව කටයුතු කරන්නේ අවදි දෙකේ විප්ලවයේ හෝ සමාජ පරිවර්තනයේ මාක්ස්වාදී න්‍යාය අනුවය.

මෙම න්‍යාය ලක්මාලි මංත්‍රී  සහෝදරිය  ඉගෙන ගන්නට ඇත්තේ ජවිපෙ පංති සහ අධ්‍යාපන කඳවුරු වලින් විය යුතුය. බොහෝ විට ජවිපෙ සිය පක්ෂ කේඩරයට උගන්වන දේශපාලන පංති සහ පාඩම්වල මෙම තර්කය තිබෙනවා ඇත.

මෙය මුසාවාදයකි. ජනයා රැවටීමට ගෙතූ ප්‍රබන්ධයකි.

ma en
මා එසේ කියන්නේ කාල් මාක්ස්ගේ කිසිදු ලියවිල්ලක අවධි දෙකේ විප්ලවයක් ගැන කතා නොවන නිසාය. මාක්ස් සහ එංගල්ස් සිය න්‍යාය ගොඩ නැගුවේ සංවර්ධිත රටවල දී සමාජවාදී විප්ලවය ජය ගනු ඇතයි යන උපකල්පනය මතය. නිර්ධන පංති දේහපාලන පක්ෂයක් මැදිහත් වී  ධනේශ්වර විප්ලවයක් මගින් සංවර්ධනය ඇති කළ යුතු යැයි ඔවුන් කී තැනක් නැත.  

වර්තමාන ජාජබ ආණ්ඩුව කටයුතු කරන්නේ කාල් මාක්ස් පවා කියූ විදිහට ධනේශ්වර ක්‍රමය වර්ධනය කිරීම යැයි කීම නොදන්නාකම ප්‍රකාශ කිරීමටත් වඩා වංචාවකි. ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තිය මාක්ස්ගේ නොව අයිඑම්එෆ් නොහොත් ජ්‍යාතන්තර මූල්‍ය අරමුදලේය.

1905  සිට 1917 දක්වා කාලයෙහි රුසියානු සමාජය සහ ආර්ථිකය සමාජවාදී විප්ලවයකට මෝරා නැති බැවින් සමාජවාදී විප්ලවයක් කළ නොහැකි බවටත් කළ යුතුව ඇත්තේ ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවයට සහාය දීම බවත් කියා සිටියේ මෙන්ෂෙවික් නායකයින්ය. ඊට හේතුව වශයෙන් ඔවුන් දැක් වූයේ රුසියාවෙහි පැතිරුණ රදල ක්‍රමයක් සහ නොදියුණු ධනේශ්වර ක්‍රමයක් පැවතීමයි.  අද ලංකාවෙහි තත්වය ඊට සහමුලින්ම වෙනස්ය. ධනේශ්වර නිෂ්පාදන සබඳතා රට පුරාම පැතිර තිබේ. රදල ක්‍රමයක් අද මෙරට නැත.

1905 විප්ලවයේ අසාර්ථකත්වයෙන් පසුව  ලෙනින්අවධි දෙකේ  න්‍යාය අර්ධ වශයෙන් පිළිගනිමින් ‘සමාජ ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවයේ උපක්‍රම දෙක’ නමින් කෘතියක් සම්පාදනය කළේය. ධනේශ්වර විප්ලවය ලිබරල් ධනපති පංතිය විසින් මෙහෙයවිය යුතු යැයි මෙන්ෂෙවික් නායකයින් කියා සිටි අතර බොල්ෂෙවික් නායකයා වූ ලෙනින් කියා සිටියේ එය නිර්ධන පංතිය විසින් මෙහෙයවිය යුතු බවයි. ලෙනින්ගේ අවධි දෙකේ විප්ලවය 1917 පෙබරවාරි විප්ලවයේ සිට ඔක්තෝබර් විප්ලවය වන විට අහෝසි වී ගියේය.  එම වෙනස සාධාරණ කරමින් ඔහු ‘අප්‍රේල් තිසීස’ නම් ලිපි පෙළක් ලිවීය.

 

JVP2
අද ජවිපෙ යනු නිර්ධන පංතියේ පක්ෂයක් යැයි එහි ප්‍රධානීන්වත් කියන්නේ නැත. එය මෙහෙයවන ධනේශ්වර විප්ලවයක්  ද නැත. මංත්‍රී සහෝදරියගේ න්‍යාය වාශ්ප වී යන්නේ එලෙසය.

විප්ලවයේ අවිධි දෙකේ න්‍යාය පසුව චීන විප්ලවයේ නායකයා වූ මා ඕ සේතුං විසින් තවදුරටත් වර්ධනය කරන ලදී. පශ්චාත් 71 විජේවීර මාඕ සේතුං විරෝධියකු වූ බව අපි දනිමු. ලක්මාලි මංත්‍රී  සහෝදරිය  මාඕ සේතුංගේ නම කීවේ නැත්තේ ඒ නිසා විය හැකිය. සමහර විට ඇය ඔහුගේ කෘති කියවා නැතිවා වෙන්නට පුළුවන. අවධි දෙකේ විප්ලවය පිළිබඳ දිර්ඝ ප්‍රවාදයක් මා ඕ සේතුං ද ඉදිරිපත් කළේය

1940 ජනවාරි මාසයේදී ලියන ලද "නව ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ" නම් රචනාව මගින් මාඕ සේතුං විසින් අදියර දෙකක විප්ලවයක් පිළිබඳ ඔහුගේ න්‍යාය ඉදිරිපත් කරන ලදී. මාඕ තර්ක කළේ රටේ අර්ධ යටත් විජිත සහ අර්ධ වැඩවසම් ස්වභාවය හේතුවෙන් චීන විප්ලවයට වෙනස්, අදියර දෙකක් හරහා යා යුතු බවය. අද මෙරට පවතිනවාට වඩා සහමුලින්ම වෙනස් සමාජ ආර්ථික රටාවක් එරට තිබුණි.

මා ඕට අනුව පළමු අදියර අධිරාජ්‍යවාදය සහ වැඩවසම්වාදය පෙරලා දැමීම අරමුණු කරගත් නව ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවයකි. මෙම අදියරේදී කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වය යටතේ සියලුම විප්ලවවාදී පන්ති (නිර්ධන පංතිය, ගොවි ජනතාව, බුද්ධිමතුන් සහ දේශීය ධනේශ්වරය) ඇතුළත් "ඒකාබද්ධ ආඥාදායකත්වයක්"  පවත්වා ගනු ඇතයි ඔහු ලිවීය.

දෙවන අදියර පළමු අදියරෙන් පසුව සිදුවන සමාජවාදී විප්ලවය, නිර්ධන පංතියේ ආඥාදායකත්වය යටතේ සමාජවාදී සමාජයක් ස්ථාපිත කිරීමට මග පෑදීමය.

මේ න්‍යාය භාවිතාවෙහි දී දූවිලි බවට පත් විය. 1949 චීන විප්ලවය ජය ගත් අතර එය කෙලින්ම සමාජවාදී පරිවර්තනයක් සඳහා ඉදිරියට ගියේ ය. පළමු අදියරක් නොතිබුණි. හවුල් ආණ්ඩුකරණයක් ද නොතිබුණි.

 

clwEYRIWYERWHD
ඉතිහාසීය වශයෙන් හෝ න්‍යායික වශයෙන් පදනමක් නැති මංත්‍රී සහෝදරියගේ කතාවෙන් තවත් වැදගත් ප්‍රශ්නයක් මතුවේ. එනම් ආණ්ඩුව කරවන්නේ ජවිපෙ ද ජාජබ ද යන ප්‍රශ්නයයි.

අගමැති හරිනි වික්‍රමසුරිය ප්‍රසිද්ධියේ කියා ඇති පරිදි ඇයගේ දේශපාලනය පදනම් වන්නේ මාක්ස්වාදය මත නොවේ. ජවිපෙ නොවන ජාතික ජන බලවේගය ලෙස පාර්ලිමේන්තුවෙහි සිටින මංත්‍රීවරුන් සහ මංත්‍රීවරියන් පනහකට ආසන්නය. ලක්මාලි මංත්‍රී සහෝදරියගේ මෙම න්‍යාය ඔවුන්ට ආදේශ වන්නේ කෙසේදැයි යන්න විමසා බැලීමට වැදගත්ය. ඇයගේ මෙම තර්කය අපට තවත් කරුණක් අවධාරණය කරයි. එනම් ආණ්ඩුවේ කටයුතු පාලනය වන්නේ පැලවත්ත පක්ෂ කාර්යාලයෙන් බවට වන චෝදනාව සත්‍ය බවයි. යූ ටියුබ් නාලිකාවකට අදහස් දක්වන මහාචාර්ය ජයදේව උයන්ගොඩ කියන්නේ ආණ්ඩුව පැලවත්ත විසින් පාලනය කිරීම ඇත්තක් බවත් එලෙස ජවිපෙ විසින් ආණ්ඩුව පාලනය කිරීම වරදක් නොවන බවයි.

එම සමීකරණය තුල ජාතික ජන බලවේගය නැත. ජාතික ජන බලවේගය ලෙස  මෙම ආණ්ඩුව පත් කිරීමට දායක වූ බලවේග සහ පුද්ගලයින් රට පුරාම කලකිරීමට පත්ව සිටින්නේ ද තමන් ආණ්ඩුකරණ සමීකරනයෙන් හැලී යමින් 88-89 ජවිපෙ කේඩරය යළි බලය අල්ලා ගනිමින් සිටින නිසාය. ලක්මාලි මංත්‍රී සහෝදරියගේ කතාව යළිත් සනාථ කරන්නේ ද පැලවත්ත ආධිපත්‍යයි. එය ජවිපෙට හොඳ විය හැක. නමුත් ආණ්ඩුවට අසුභය.

sunanda deshapriya(සටහන | සුනන්ද දේශප්‍රිය)
Journalist, Writer and Human Rights Activist
sunandadeshapriya@gmail.com

Twitter: @sunandadesh
Editor: http://srilankabrief.org

(උපුටා ගැනීම - srilankabrief.org)

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...