The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

චාරිත්‍රමය පොල් ගැසීම් ඉක්මවන ප්‍රදර්ශනාත්මක දේශපාලනික පොල් ගැසීම්

T

The Leader Desk

November 17, 2025 • 6:46 AM

චාරිත්‍රමය පොල් ගැසීම් ඉක්මවන ප්‍රදර්ශනාත්මක දේශපාලනික පොල් ගැසීම්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජන සම්මතයට අනුව වස් දොස් දුරලීමට සේම වස් දොස් ඇති කිරීම පිණිස ද යොදා ගන්නා මෙම පොල් ගැසීමේ චාරිත්‍රය පසුගිය කාලය තුළ මාධ්‍ය මඟින් සමාජ කරළියට පැමිණි අවස්ථා ගණනාවක් ද නිරීක්ෂණය විය.
  • ඒ සම්බන්ධ මගේ පෞද්ගලික අදහස නම් ඒවා චාරිත්‍රමය පොල් ගැසීම්වලට වඩා ප්‍රදර්ශනාත්මක දේශපාලනික පොල් ගැසීම් බව ය.
  • පසුගිය කාලයේ පොල් මිල අසීමාන්තික ලෙස ඉහළ යාම මුල් කොට ඒ සම්බන්ධ වගකිව යුත්තන්ට එරෙහිව ද පොල් ගැසීම් පිළිබඳ රසවත් පුවත් ද ඒ අතර විය.
  • නමුත් පසුගිය කාලයේ මාතර බෝධිය අබියස ද පොල් ගැසීමක් සිදු වූ බව වාර්තා විය.
අකුරු ප්‍රමාණය (Font Size):

 

ජන සම්මතයට අනුව වස් දොස් දුරලීමට සේම වස් දොස් ඇති කිරීම පිණිස ද යොදා ගන්නා මෙම පොල් ගැසීමේ චාරිත්‍රය පසුගිය කාලය තුළ මාධ්‍ය මඟින් සමාජ කරළියට පැමිණි අවස්ථා ගණනාවක් ද නිරීක්ෂණය විය. ඒ සම්බන්ධ මගේ පෞද්ගලික අදහස නම් ඒවා චාරිත්‍රමය පොල් ගැසීම්වලට වඩා ප්‍රදර්ශනාත්මක දේශපාලනික පොල් ගැසීම් බව ය. පසුගිය කාලයේ පොල් මිල අසීමාන්තික ලෙස ඉහළ යාම මුල් කොට ඒ සම්බන්ධ වගකිව යුත්තන්ට එරෙහිව ද පොල් ගැසීම් පිළිබඳ රසවත් පුවත් ද ඒ අතර විය.

Untitled 2 5

පොල් ගැසීම යනු ආගමික ඉගැන්වීම්වලට වඩා ජනප්‍රවාද, විශ්වාස සහ යාතුකර්ම මත පදනම් වූ දේව භක්තිකයන් විසින් ඉටු කරනු ලබන චාරිත්‍රයකි. හින්දු ආගමික සංස්කෘතික සම්ප්‍රදායට අයත් මෙය මේ වන විට බෞද්ධ සමාජයට ද අවශෝෂණය වී තිබේ. නමුත් කිසිදු බෞද්ධයෙක් දෙවියන් ඉදිරියේ මිස බුදුන් ඉදිරියේ පොල් ගැසීමක් නොකරති. නමුත් පසුගිය කාලයේ මාතර බෝධිය අබියස ද පොල් ගැසීමක් සිදු වූ බව වාර්තා විය. ඒ බුදුන්ට හොරෙන් දෙවිවරුන් හා පවත්වන ගනුදෙනුවක් ලෙසින්දැයි මම නොදනිමි. ඇතැම්හු තමන්ගේ සුබ සිද්ධිය, අපල දුරු කර ගැනීම හෝ සාර්ථකත්වය සඳහා ද පොල් ගැසීම සිදු කරති.

අප රටේ වතු කරයේ දෙමළ දරුවන් පිරිසක් විභාගයකට යනු පෙර ඉන් සාර්ථක ප්‍රතිඵල අපේක්ෂාවෙන් ආසන්නතම කෝවිලකට ගොස් දෙවියන් යැද පොල් ගෙඩියක් ද ගසනු මස්කෙළිය ප්‍රදේශයේ දී මා දැක තිබේ. අප රටේ උතුරුකරයේ තත්වය ද මීට සමාන විය යුතු ය.

එමෙන්ම මෙය දකුණු ඉන්දියානු හින්දු භක්තිකයන් අතර ප්‍රචලිත පූජා චාරිත්‍රයක් වනුයේ සෘතු භේදය තදින් ක්‍රියාත්මක වන උතුරු ඉන්දියාවේ පොල් වගා නොකෙරෙන බැවිනි. මා විසින් කරන ලද විමසුම් වලට අනුව අප රටේ හින්දු සේම බෞද්ධ ජන සමාජය අතර ද ප්‍රචලිත මෙම පොල් ගැසීමේ යාතු කර්මය ඉන්දියාවේ කේරල සම්ප්‍රදායන් සහ සංස්කෘතිය මුල් කොට අප සමාජයට අවශෝෂණය වූවකි. කේරලය පොල් සම්බන්ධයෙන් කෙතරම් චිර ප්‍රසිද්ධ ද යත් කේරළයේ නම පවා පොල් හැඳින්වෙන “නාරි කේල” යන සංස්කෘත නමින් භින්න වූවක් සේ සැලකේ.

 

polnc

යාතු කර්මයක් සේම පළි ගැසීම් සඳහා වන කෘත්‍යාභිචාරයක් ලෙස ද පොල් ගැසීම සිදු කෙරෙන අතර එය හැඳින්වෙනුයේ “පලි පොල් ගැසීම” යනුවෙනි. එය ශ්‍රී ලංකාවේ සමහර දේවාල හා සම්බන්ධ, විශේෂයෙන්ම සීනිගම දෙවොල් දේවාලය හා බැඳුණු, ජනප්‍රිය විශ්වාසය මත පදනම් වූ චාරිත්‍රයකි. ඒ කෙසේ වුව මෙම පොල් ගැසීම කෝවිලක්, දේවාලයක් හෝ සංහිඳක් මුල් කොට මිස කිසි සේත්ම ගෘහස්ථ යාතු කර්මයක් ලෙස කළ නොහැකි බව ද ජන සම්මතයකි. එමෙන්ම මෙම පලි පොල් ගැසීම ඕනෑම කෙනකුට ඕනෑම කෙනකු සම්බන්ධයෙන් ඕනෑම වෙලාවක කළ හැක්කක් ද නොවේ. ඒ සඳහා යමකුට හෝ යම් පාර්ශවයකට තවකකු හෝ තවත් පාර්ශවයක් වෙතින් ප්‍රබලතම නපුරක්, විපතක්, අයහපතක් සිදුවිය යුතුම ය.

pl uy93

 

එමෙන්ම ඉන් වින්දිතයා බරපතල චිත්ත පීඩාවකට පත් විය යුතු අතර පලි පොල් ගසන අවස්ථාවේ එය ප්‍රබල ලෙස ඉස්මතු වී තිබීම ද අතිශය වැදගත් ය. පසුගිය කාලයේ දකුණු පළාතේ අතුරු මාර්ගයක නිසි පරිදි බස් රථ ධාවනය නොවීම මත ප්‍රදේශ වාසීන් ඒ සම්බන්ධ බලධාරීන්ට එරෙහිව බස් හෝල්ට් එකක පොල් ගැසූ පුවතක් ද මා අසා තිබේ. එමෙන්ම ඊට පසු දින සිටම එම මාර්ගයේ බස් ධාවනය යථාවත් වී තිබේ. ඒ ඊට දෙවියන් කන් දීමට වඩා එම පුවත ඒ සම්බන්ධ වගකිව යුත්තන්ට සැලවීම නිසා බව මගේ වැටහීම ය.

නමුත් පලි පොල් ගැසීම වැනි යාතුකර්ම සඳහා පොල් ගෙඩියක් තෝරා ගැනීමේ දී පවා විශේෂයෙන් සැලකිලිමත් විය යුතු කරුණු බොහොමයකි. මෙම චාරිත්‍රයට ගන්නා පොල් ගෙඩිය ඉතා පිරිසිදු වීම ඉතා වැදගත් වේ. එමෙන්ම එය කහ දියරෙන් හෝ පිරිසිදු ජලයෙන් සෝදා ගත යුතු වේ. එමෙන්ම ඒ සඳහා තෝරා ගන්නා පොල් ගෙඩිය කිසිදු දෝෂයක්, ඉරිතැලීමක් හෝ හානියක් නොමැති එකක්ම විය යුතු ය. විශේෂයෙන් පලි පොල් ගැසීම වැනි විශේෂ යාතු කර්ම සඳහා බොහෝ විට, හොඳින් පැසුණු, නිරෝගී, සහ අලුත් පොල් ගෙඩියක් තෝරා ගත යුතු ය.

එමෙන්ම පොර පොල් ගැසීම සඳහා යොදා ගන්නා පොල් හෝ වියළී ගසින් වැටුණු පොල් ද පලි පොල් ගැසීම සඳහා යොදා නොගත යුතු බවට පැරණි සම්ප්‍රදායන් තුළ බොහෝ කරුණු දැක්වේ. එනිසාම අද බොහෝ දෙනෙක් පලි පොල් ගැසීම සඳහා අවශ්‍ය පොල් එම දේවාල ආදියෙන්ම ලබා ගන්නා බව මා අසා තිබේ. නමුත් ඒ පොල් වල ඉහත සඳහන් ආකාරයේ “පාරිශුද්ධත්වයක්” තිබේ ද යන්න වෙනම විමසිය යුතු වේ.එමෙන්ම එලෙස පොල් ගැසීමට පෙර එම පොල් ගෙඩිය මත දල්වන ලද කපුරු පෙත්තක් තබා දෙව් පුදසුන ඉදිරියට ගොස් තම ආයාචනය කන්නලව්ව දෙවියන් හමුවේ සිදු කිරීමේ මුල් බැස ගත් සම්ප්‍රදායක් ද අප ජන සංස්කෘතියේ තිබේ.

 

v56u6bh5675567khkvbn

ඒ අනුව පලනි දිගම්බරම් මන්ත්‍රීවරයා පවසා ඇති අන්දමට වර්තමාන දේශපාලන සංස්කෘතිය තුළ ද මෙම පලිගැසීම් දක්නට ලැබෙන අතර ඒවා මාධ්‍ය හමුවේ සිදු කරන මවාපෑම් මිස සැබෑ පලිගැසීම් නොවන බව ඒ සම්බන්ධ තතු දන්නෝ දනිති. පලිගැසීමේ එක් ක්‍රමයක් වන පලි පොල් ගැසීමේදී ඒ සඳහා සුදුසු පොල් ගෙඩියක් තෝරා එය පේ කර ගැනීම ද බැරෑරුම් ක්‍රියාවලියක්ව තිබිය දී ඒ සඳහා ආණ්ඩුවේ පාර්ශවයක් විසින් වතු කම්කරු ජනතාවට පොල් සැපයීමේ කතාව (සත්‍ය නම්) මා ඉහත සඳහන් කළ දේශපාලනික පොල් ගැසීම චාරිත්‍රානුකූල පොල් ගැසීමෙන් පරිබාහිර වූවක් බව මැනැවින් සනාථ වනු ඇත.

ජන සම්මතයට අනුව මෙම පලිගැසීම් සීනිගම දෙවොල් දෙවියන් හමුවට ගොස් සිදු කිරීමෙන් වඩාත් සාර්ථක ප්‍රතිඵල ලද හැක. පොදු පිළිගැනීම අනුව දෙවොල් දෙවියන් ප්‍රධාන වශයෙන් ප්‍රසිද්ධ වී ඇත්තේ අයුක්තියට, අසාධාරණයට දඬුවම් දෙන, විපත්ති සහ රෝග දුරු කරන දෙවියකු ලෙසයි.

 

polgasima
සීනිගම දේවාලය කොළඹ-මාතර ප්‍රධාන මාර්ගයේ හික්කඩුවට ආසන්නව පිහිටා ඇති අතර පලි ගැසීම් සිදු කරන සීනිගම දේවාලයට සම්බන්ධ දියඹ දේවාලය මුහුද මැද කුඩා දූපතක වෙනම පිහිටා තිබීම විශේෂත්වයකි. වෙරළේ සිට මීටර් 100ක් පමණ දුරින් පිහිටා ඇති මෙම දූපතට යාමට බෝට්ටු භාවිතා කරනු ලැබේ.

ජනප්‍රවාදවලට අනුව දෙවොල් දෙවියන් දකුණු ඉන්දියාවේ, විශේෂයෙන් කර්ණාටක ප්‍රදේශයේ සිට මුහුදේ දී නැව අනතුරකට පත්වීමෙන් තම පිරිවර ද සමඟ ශ්‍රී ලංකාවට පැමිණි නැව්පතිවරයෙකු ලෙස සැලකේ. දෙවොල් දෙවියන් උදෙසා පවත්වනු ලබන ප්‍රධානතම ශාන්තිකර්මය වන්නේ දෙවොල් මඩුව (ගම්මඩුව) යි. මෙය පහතරට නර්තන සම්ප්‍රදායේ ප්‍රධාන අංගයක් වන අතර, ප්‍රධාන වශයෙන් රෝග නිවාරණය සහ සෙත් ශාන්ති පතා පවත්වනු ලබයි.

නමුත් බැතිමතුන්ගේ දු දොම්නස් දුරලීමට තරම් කාරුණික හදවතක් ඇති දෙවොල් දෙවියන් මෙලෙස පලිගැසීම් මඟින් මිනිසුන් නැසීමට හවුල් වීම සම්බන්ධයෙන් විවිධ ජන ප්‍රවාද පවතී. ඉන් එක් ජන ප්‍රවාදයකට අනුව දෙවොල් දෙවියන් ඇතුළු පිරිසගේ නැව මුහුදේ කුණාටුවකට හසුව කැඩී බිඳී යාමෙන් පසු එම පිරිස ගොඩ බසිනුයේ දියඹ දේවාලය සහිත කුඩා දූපතට ය. එහි දී සැරපරුෂ හා චණ්ඩ ආත්මයක් හිමි කර ගන්නා දෙවොල් දෙවියන් පත්තිනි දේවිය හා ඇති කර ගන්නා ගැටුමකින් පසුව ඇගේ ආධිපත්‍යයට නතු වීමෙන් පසු දැහැමි කාරුණික ස්වරූපයක් ආරෝපණය කරගෙන තිබේ. නමුත් අප රටේ ජනතාව පලිගැසීම සඳහා යොදා ගන්නා දියඹ දේවාලය දෙවොල් දෙවියන්ගේ පැරණි නපුරු චණ්ඩ ස්වරූපය සංකේතනය කරන්නකි.

 

pol gn834y

ඒ කෙසේ හෝ ඉහත සඳහන් අන්දමේ ප්‍රදර්ශනාත්මක දේශපාලනික පොල් ගැසීම් සම්බන්ධ ප්‍රවෘත්තිමය අගය මේ දක්වාත් ශේෂ වී නොමැති අතර දේශපාලනික සන්නිවේදන උපාය මාර්ගයක් ලෙස අදටත් එහි යම් අගයක් රැඳී තිබේ. එහෙත්, ඉදිරියේ දී දේශපාලනික අවශ්‍යතා ප්‍රබලව ඉස්මතු වන කාලයක් එළැඹෙන තෙක් මෙම සන්නිවේදන ක්‍රමෝපාය සුරැකිව තබා ගැනීමෙන් ඉන් වැඩි ප්‍රතිඵලයක් ලද හැකි බව අදාළ සියළු පාර්ශවයන්ට දන්වා සිටිනු කැමැත්තෙමි.


Thilak Senasinghe(සටහන | තිලක් සේනාසිංහ)
ගවේෂණාත්මක මාධ්‍යවේදී
thilaksenasinghe@gmail.com

(උපුටා ගැනීම- vinivida.lk)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...