The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ආර්ථික වර්ධනය වෙනුවෙන් ජාතික සමගිය උපයෝගී කරගැනීම - ජෙහාන් පෙරේරා

T

The Leader Desk

November 17, 2025 • 12:08 PM

ආර්ථික වර්ධනය වෙනුවෙන් ජාතික සමගිය උපයෝගී කරගැනීම - ජෙහාන් පෙරේරා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලංකා වාණිජ මණ්ඩලය එය අගය කළ අතර, එහි සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර පැවසුවේ අයවැය පෞද්ගලික අංශයට ස්ථාවරත්වයක් ලබාදෙන බවයි.
  • සිට පවත්වාගෙන ආ රජයේ විනය නිසා ශ්‍රී ලංකාව ඉතා ඉහළ උද්ධමනය සහ අනෙකුත් රටවල් මුහුණදුන් විනිමය අනුපාතය පහත වැටීම වැනි ගැටළු වළක්වා ගත් බවත්, මෙම අයවැය එම ස්ථාවරත්වය දිගටම පවත්වාගෙන යන බවත් ඔහු පැවසීය.
  • අන්තර්ජාතික මූල්‍ය ආයතනවල උපදෙස් පිළිපැදීමේදී රජය ප්‍රවේශම්සහගතව සහ වගකීමෙන් කටයුතු කර ඇති බව සමගි ජන බලවේගයේ මන්ත්‍රී හර්ෂ ද සිල්වා ද පැවසීය.
  • කෙසේවෙතත්, මෙම ප්‍රතිපත්ති ජනතාවගේ දෛනික ජීවිතයට බලපාන්නේ කෙසේද සහ ආර්ථික වර්ධනය සඳහා තවමත් පැහැදිලි සැලැස්මක් නොමැති වන්නේ මන්දැයි තම පක්ෂය ප්‍රශ්න කරන බවද ඔහු පැවසීය.
අකුරු ප්‍රමාණය (Font Size):

ලංකා වාණිජ මණ්ඩලය එය අගය කළ අතර, එහි සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර පැවසුවේ අයවැය පෞද්ගලික අංශයට ස්ථාවරත්වයක් ලබාදෙන බවයි. 2022 සිට පවත්වාගෙන ආ රජයේ විනය නිසා ශ්‍රී ලංකාව ඉතා ඉහළ උද්ධමනය සහ අනෙකුත් රටවල් මුහුණදුන් විනිමය අනුපාතය පහත වැටීම වැනි ගැටළු වළක්වා ගත් බවත්, මෙම අයවැය එම ස්ථාවරත්වය දිගටම පවත්වාගෙන යන බවත් ඔහු පැවසීය.


අන්තර්ජාතික මූල්‍ය ආයතනවල උපදෙස් පිළිපැදීමේදී රජය ප්‍රවේශම්සහගතව සහ වගකීමෙන් කටයුතු කර ඇති බව සමගි ජන බලවේගයේ මන්ත්‍රී හර්ෂ ද සිල්වා ද පැවසීය. කෙසේවෙතත්, මෙම ප්‍රතිපත්ති ජනතාවගේ දෛනික ජීවිතයට බලපාන්නේ කෙසේද සහ ආර්ථික වර්ධනය සඳහා තවමත් පැහැදිලි සැලැස්මක් නොමැති වන්නේ මන්දැයි තම පක්ෂය ප්‍රශ්න කරන බවද ඔහු පැවසීය.

 

ආර්ථික කටයුතුවලදී රජය අන්තර්ජාතික ප්‍රජාවට දක්වන ගෞරවය සහ කීකරුකම බොහෝදෙනකු පුදුමයට පත්කර ඇත. ජනතා විමුක්ති පෙරමුණේ මාක්ස්වාදී පසුබිම නිසා එහි නායකයන් වඩාත් නොසැලකිලිමත් ප්‍රවේශයක් ගනු ඇතැයි විශ්ලේෂකයෝ අපේක්ෂා කළහ. එහෙත් ඒ වෙනුවට, ඔවුන් අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ උපදෙස් සමීපව අනුගමනය කර ඇත. මෙය ප්‍රධාන ගැටළු දෙකක් මතුකර තිබේ. පළමුව, දුප්පතුන් තවමත් බරපතල ආර්ථික දුෂ්කරතාවන්ට මුහුණ දී සිටින අතර, රජයෙන් සුළු හෝ කිසිදු උදව්වක් නොමැත. දෙවනුව, අයවැය වර්ධනය හෝ සාධාරණත්වය ප්‍රවර්ධනය කිරීමට වඩා ආර්ථිකය ස්ථාවරව තබාගැනීම කෙරෙහි වැඩි අවධානයක් යොමුකර ඇති බව පෙනේ. සැබෑ බදු කප්පාදුවක් නොමැති අතර, බදු ක්‍රමය ප්‍රධාන වශයෙන් සාමාන්‍ය ජනතාවට උපකාර කිරීමට වඩා රජයේ ආදායම වැඩිකිරීම සඳහා නිර්මාණය කර ඇති බව දැකගත හැකිය. සාමාන්‍යයෙන්, අර්බුද හෝ ගැටුම් කාලවලදී, ව්‍යාපාර දිගටම ලාභ ලබන අතර වැඩකරන ජනතාව අරගල කරයි. මෙය රජය විසින් වෙනස් කිරීමට කටයුතු කළයුතු තත්වයකි.

 

දෙවනුව, කෙටි කාලීනව ආර්ථික වර්ධනය සහ නිෂ්පාදනය වැඩිකරන්නේ කෙසේද යන්න පිළිබඳ පැහැදිලි සැලැස්මක් අයවැයෙන් ලබානොදේ. මහවැලි ගඟ හැරවීම හෝ ඇඟලුම් කර්මාන්තශාලා 200 වැඩසටහන වැනි විශාල සංවර්ධන ව්‍යාපෘති එහි නොමැත. එය මාර්ග, ජලය, විදුලිය සහ ග්‍රාමීය ආර්ථිකය වැඩිදියුණු කිරීමට උපකාර කිරීම වෙනුවෙන් සකස් කරන ලද්දකි. රජයේ ප්‍රධාන ඉලක්කය වන්නේ, 2021 දී ඇති වූ ණය අර්බුදයක් හෝ බංකොලොත්භාවයක් නැවත ඇතිවීම වළක්වාගැනීම බව පෙනේ. එවැන්නක් කිසිදු ශ්‍රී ලාංකිකයකුට නැවත දැකීමට අවශ්‍ය නොවේ. එහෙත් අවදානමක් තිබේ. ජනතාවට අඛණ්ඩව ආර්ථික දුෂ්කරතාවන්ට මුහුණදීමට සිදුවුවහොත්, ඔවුන්ගේ කලකිරීම වර්ධනය වී පසුගිය පාලනය ඉවත්කළ ආකාරයේ මහජන කෝපයකට හේතුවිය හැකිය. ආර්ථිකය ස්ථාවරව තබාගැනීම පමණක් නොව, සැබෑ, කල් පවතින වර්ධනයක් ඇතිකිරීම නමැති සිය ප්‍රතිසාධන සැලැස්මේ ඊළඟ අදියර කරා රජය දැන් ගමන්කළ යුතුය.

සමාන ප්‍රමුඛතාව

9yvnh
ආර්ථික වර්ධනය ප්‍රවර්ධනය කිරීම සඳහා, රටේ සියලුම ජනවාර්ගික සහ ආගමික කණ්ඩායම් එකට වැඩ කිරීම අවශ්‍ය වේ. සෑම කෙනකුටම සමානව සහ සාධාරණව සලකන බවට සහතික වීමෙන් රජය යහපත් පළමු පියවරක් ගෙන තිබේ. අතීතයේ දී, යුද්ධය සහ දේශපාලන අස්ථාවරත්වය විදේශීය ආයෝජකයන් ඈත්කර තැබීය. යුද්ධය අවසන් වී වසර දහසයකට වැඩි කාලයක් ගත වී ඇතත්, ශ්‍රී ලංකාව තවමත් අනෙකුත් බොහෝ ආසියානු රටවල් තරම් විදේශ ආයෝජන ආකර්ෂණය කරගෙන නොමැත. මෙයට එක් හේතුවක් වන්නේ දූෂණයයි. එයට රජය දැන් ඉතා ධණාත්මක ආකාරයකින් ආමන්ත්‍රණය කරයි. තවත් ගැටළුවක් වන්නේ නිලධාරිවාදී ප්‍රමාදයන් වන අතර, අවාසනාවකට එය වඩාත් නරක අතට හැරී ඇති බව පෙනේ.

විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීමට ශ්‍රී ලංකාව අපොහොසත් වීමට තවත් ප්‍රධාන හේතුවක් වන්නේ යුද්ධයෙන් ඇති වූ තුවාල නිසි ලෙස සුවනොවීමයි. ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ (UNHRC) ශ්‍රී ලංකාව පිළිබඳව නැවත නැවතත් සාකච්ඡා කිරීමෙන් මෙය පැහැදිලි වේ. 2009 දී යුද්ධය අවසන් වූ දා සිට ආර්ථික ප්‍රතිසංස්කරණ අනුගමනය කිරීමේදී පෙන්නුම් කරන පරිදි, විශේෂයෙන් 2015 දී 30/1 යෝජනාව සහ පසුව ඉදිරිපත් කරන ලද (34/1, 40/1, 46/1 සහ 51/1) UNHRC යෝජනා සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී රජය එම බැරෑරුම්කම පෙන්විය යුතුය. කණගාටුවට කරුණක් නම්, UNHRC හි නිර්දේශවලට ප්‍රතිචාර දැක්වීමට වඩා IMF උපදෙස් අනුගමනය කිරීම වැදගත් යැයි රජය සලකන බව පෙනෙන්නට තිබීමයි. මෙය ආර්ථික ඉලක්කවලට ප්‍රමුඛත්වය ලබාදෙන බවට හැඟීමක් ඇති කරන අතර, කල් පවතින සංවර්ධනය සඳහා සමානව වැදගත් වන සංහිඳියාව නොසලකා හරිනු ලැබීමක් ලෙස සැලකිය හැකිය.

 

අයවැය විවාදය අතරතුර, පළාත් සභා මැතිවරණ පැවැත්වෙන්නේ කවදාද යන්න පිළිබඳව ජනාධිපතිවරයා අපැහැදිලි පිළිතුරක් ලබාදුන්නේය. වාර්ගික ගැටුම විසඳීමට උපකාර කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කොටසක් ලෙස 1987 දී පළාත් සභා ක්‍රමය නිර්මාණය කරන ලදී. එමඟින් දෙමළ සහ මුස්ලිම් සුළුතරයන්ට ප්‍රාදේශීය බහුතරයක් සිටින ප්‍රදේශ පාලනය කිරීමේදී වැඩි බලයක් ලබාදෙන ලදී. 2017 දී පළාත් සභා මැතිවරණ පැවැත්වීමට කාලය පැමිණි විට, එවකට රජය මැතිවරණ නීතිය වෙනස් කිරීමට පටන්ගෙන, ක්‍රියාවලිය අතරමග නතර කිරීමෙන් කටයුතු අවහිර කළේය. දැන්, මෙම මැතිවරණ පැවැත්වීම UNHRC යෝජනාවල කොටසක් වන අතර, යුරෝපීය සංගමයේ GSP Plus වෙළඳ ප්‍රතිලාභ යටතේ අවශ්‍යතාවකි. වත්මන් ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් ඇති බැවින්, මැතිවරණ නීතියට අවශ්‍ය වෙනස්කම් ඉක්මණින් සම්මත කර මැතිවරණ පැවැත්වීමට බලය ඇත.

ආර්ථිකය වර්ධනය වීමට නම්, රජය IMF වැඩසටහන අනුගමනය කිරීමට ලබාදෙන වැදගත්කම ම සංහිඳියාවට ද ලබාදිය යුතුය. IMF සැලැස්ම සඳහා රජයේ දැඩි කැපවීම අන්තර්ජාතික මූල්‍ය ආයතනවල සිත් ඇදගන්නා සේම, UNHRC යෝජනා නිසි ලෙස ක්‍රියාත්මක කිරීමෙන් අන්තර්ජාතික මානව හිමිකම් ප්‍රජාවෙන් ගෞරවයක් ලැබෙනු ඇත. එසේම, විදේශීය ආයෝජකයන් ආකර්ෂණය වනු ඇත. සුළුතර ප්‍රජාවන් අතර විශ්වාසය ගොඩනැඟනු ඇත. ආර්ථික සංවර්ධනය කෙරෙහි පමණක් අවධානය යොමුකිරීමෙන් වාර්ගික හා ආගමික සුළුතරයන්ගේ විශ්වාසය දිනාගත හැකි යැයි රජය සිතීම බරපතල වැරැද්දකි. ජනවාර්ගික ගැටුමේ මතුපිට ගැටළු සමඟ කටයුතු කිරීමට පමණක් නොව, එහි ගැඹුරු හේතු විසඳීමට රජය සැබවින්ම කටයුතු කරන බව මෙම ප්‍රජාවන් ද දැකගත යුතුය.

විදේශීය ආයෝජන

CG 8d362380 fimage story
'ශ්‍රී ලංකා බැරෝමීටරය' වැනි මෑත කාලීන සමීක්ෂණවලින් පෙනීයන්නේ, විශේෂයෙන් යුද්ධය පැවැති උතුර හා නැගෙනහිර ප්‍රදේශවල ජීවත් වන ජනවාර්ගික හා ආගමික සුළුතරයන් අතර විශ්වාසය පහත වැටෙමින් පවතින බවත්, එය රටේ අනෙකුත් ප්‍රදේශවලට වඩා අඩු මට්ටමක පවතින බවත්ය. සමහර විදේශීය ආයෝජකයන් දෙමළ ඩයස්පෝරාවේ සාමාජිකයන් වේ. තම මුදල් ආරක්ෂිත වනු ඇති බවට සහ රජය ජනවාර්ගික ගැටුම විසඳීමට බැරෑරුම් ලෙස කටයුතු කරන බවට ඔවුන්ට විශ්වාසයක් ඇත්නම්, ඔවුන් ශ්‍රී ලංකාවේ විශාල ප්‍රමාණයෙන් ආයෝජනය කිරීමට කැමති විය හැකිය.

එක්සත් ජාතික පක්ෂයේ (එක්සත් රාජධානියේ ශාඛාවේ) හිටපු සභාපතිවරයකු වන රොජර් ශ්‍රීවාසන් මෑතකදී ප්‍රජා නායකයන් කණ්ඩායමකට පැවසුවේ, දෙමළ ඩයස්පෝරාවේ වාර්ෂික ආර්ථික නිෂ්පාදනය ඇමරිකානු ඩොලර් බිලියන 50 අතර වන අතර එය ඉදිරියේදී දෙගුණයක් වියහැකි බවයි. සැබෑ සහ කල් පවතින සාම ක්‍රියාවලියක් ක්‍රියාත්මක වන්නේ නම් මෙයින් කොටසක් ශ්‍රී ලංකාවේ ආයෝජනය කළ හැකි බව ඔහු පැවසීය.දෙමළ ඩයස්පෝරාව ශ්‍රී ලංකාවේ විශාල වශයෙන් ආයෝජනය කිරීමට පටන් ගන්නේ නම්, එය රට දේශපාලනිකව ස්ථාවර බවත්, ආයෝජනය කිරීමට ආරක්ෂිත ස්ථානයක් බවත්, යන්න පිළිබඳව අනෙකුත් අන්තර්ජාතික ආයෝජකයන්ට ප්‍රබල පණිවිඩයක් යවනු ඇත.

rt56867878

 

රජය ආර්ථික ප්‍රකෘතිමත් වීම සහ සංහිඳියාව යන දෙකම කෙරෙහි අවධානය යොමුකරන්නේ නම්, එය විශාල ආර්ථික පිම්මක් ලබාගැනීමක් පමණක් නොව, ශක්තිමත් එකමුතුවක් ගොඩනඟා, වැඩි ආයෝජකයන් ආකර්ෂණය කර, වඩාත් ස්ථාවර ආර්ථිකයක් නිර්මාණය කිරීමක් වනු ඇත. ජාතික සමගිය මෙන්ම නිෂ්පාදනය වෙනුවෙන් ආයෝජනය කිරීමෙන්, රටට සියලු ජනතාවගේ සහ කලාපවල සැඟවුණු විභවය විවෘත කළ හැකිය. රට පුරා සිටින සෑම කෙනකුටම උපකාර වන සැබෑ ආර්ථික වර්ධනය අයවැය සමතුලිත කිරීමෙන් පමණක් නොවේ. එය පැමිණෙන්නේ සියලුම පුරවැසියන් ඇතුළත් කිරීමෙන් සහ රටේ ප්‍රගතියේ හිමිකාරිත්වය පිළිබඳ හැඟීමක් ඔවුන්ට ලබාදීමෙනි. ආර්ථිකය ස්ථාවර කිරීම පමණක් ප්‍රමාණවත් නොවේ. සෑම පුරවැසියකුටම, ඔවුන්ගේ වාර්ගිකත්වය හෝ ආගම කුමක් වුවත්, රටේ අනාගතය ගොඩනැගීමේ වැදගත් කොටසක් ලෙස හැඟෙන බවට රජය සහතික විය යුතුය.

අයවැය සහ රජයේ ප්‍රතිපත්ති ආර්ථිකය කෙරෙහි පමණක් නොව සාමාජයීය හා දේශපාලනික අවශ්‍යතා කෙරෙහි ද අවධානය යොමුකළ යුතුය. සංවර්ධන ව්‍යාපෘතිවල අරමුණ වියයුත්තේ දළ දේශීය නිෂ්පාදිතය වැඩිකිරීම පමණක් නොව, යුද්ධයේ තුවාල සුවකිරීම, සුළුතර ප්‍රජාවන්ට සහායවීම සහ බලය බෙදාගැනීම හා විශ්වාසය ප්‍රවර්ධනය කරන පද්ධති ගොඩනැගීමයි. එවිට පමණක් ශ්‍රී ලංකාවට ආර්ථිකය ස්ථාවර කිරීමේ සිට රටේ සියලු ජනතාවගේ පූර්ණ විභවය භාවිත කරන සහ ප්‍රගතියේ ප්‍රතිලාභ සාධාරණ ලෙස බෙදාගන්නා දිගුකාලීන, තිරසාර වර්ධනයක් අත්කර ගැනීම දක්වා ගමන් කළ හැකිය. සැබෑ වර්ධනය රජයේ මූල්‍ය සමතුලිත කිරීමෙන් පමණක් නොව, විශ්වාසය නැවත ගොඩනැංවීමෙන් සහ දිගු කලක් තිස්සේ අත්හැර දමා ඇති බවක් හැඟෙන ප්‍රජාවන්ට තීරණ ගැනීමේ බලය ලබාදීමෙන් සිදුවනු ඇත. ආර්ථික ප්‍රතිසංස්කරණ තරම්ම සංහිඳියාව වැදගත් ලෙස සැලකීමෙන්, රජයට සැබවින්ම කල් පවතින සහ සැමට ප්‍රතිලාභ ලබාදෙන වර්ධනය සඳහා පදනම නිර්මාණය කළ හැකිය.

jehan pereraශ්‍රී ලංකා ජාතික සාම මණ්ඩලයේ විශ්ලේෂක
ආචාර්ය ජෙහාන් පෙරේරා

jehanpc@gmail.com

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ආර්ථික වර්ධනය වෙනුවෙන් ජාතික සමගිය උපයෝගී කරගැනීම - ජෙහාන් පෙරේරා | The Leader