The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

වතු කම්කරු වැටුප් වැඩිවීම; හාම්පුතුන්ගෙන් විෂම සැලකිල්ලක්, ආණ්ඩුවෙන් සහනයක්, විපක්ෂයෙන් විරෝධයක්

T

The Leader Desk

November 18, 2025 • 6:20 AM

වතු කම්කරු වැටුප් වැඩිවීම;  හාම්පුතුන්ගෙන් විෂම සැලකිල්ලක්, ආණ්ඩුවෙන් සහනයක්, විපක්ෂයෙන් විරෝධයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වතු කම්කරු ජනයා නිරන්තරයෙන්ම සිය නියෝජිතයන්ට හෝ වාමාංශිකයන්ට සහාය දැක්වීම නොරුස්සු එක්සත් ජාතික පක්‍ෂ නායකයෝ ඔවුන්ගේ ජන්ද අයිතිය කප්පාදු කළේ නිදහස ලබා වසරක් ගත වීමටත් පෙරාතුවය.
  • ජාතික ජනබලවේගය ආණ්ඩුවේ දෙවැනි අයවැය නොවැම්බර් 07 වැනිදා ඉදිරිපත් කළ ජනාධිපති අනුර කුමාර දිසානායක වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 400 කින් ඉහල දමන පැවසීය.
  • ඒ අනුව රුපියල් 1,350 ක්ව පැවති දෛනික වැටුප රුපියල් 1,750 ක් දක්වා වැඩි වනු ඇත.
  • වතු හාම්පුතුන් සමඟ පැවති සාකච්ජා වට කිහිපයකින් අනතුරුව ඔහුන් එකඟ වී ඇත්තේ රුපියල් 200 කින් පමණක් කම්කරුවන්ගේ දෛනික වැටුප වැඩිකිරීමටය.
අකුරු ප්‍රමාණය (Font Size):

වතු කම්කරු ජනයා නිරන්තරයෙන්ම සිය නියෝජිතයන්ට හෝ වාමාංශිකයන්ට සහාය දැක්වීම නොරුස්සු එක්සත් ජාතික පක්‍ෂ  නායකයෝ ඔවුන්ගේ ජන්ද අයිතිය කප්පාදු කළේ නිදහස ලබා වසරක් ගත වීමටත් පෙරාතුවය.

මෙවර අයවැයෙන් කිසියම් මුදලක් ලබා දෙමින් වතු කම්කරුවන්ගේ දෛනික වැටුප ඉහල දමන්නට ආණ්ඩුව ගත් පියවරට එරෙහිව නැගී සිටින්නේ එදා ඔවුන්ගේ ජන්ද හිමිකම් අහිමිකළ බලවේගයන්ගේ නව පරම්පරාවන්ය.

 

ජාතික ජනබලවේගය ආණ්ඩුවේ දෙවැනි අයවැය නොවැම්බර් 07 වැනිදා  ඉදිරිපත් කළ  ජනාධිපති අනුර කුමාර දිසානායක වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 400 කින් ඉහල දමන පැවසීය. ඒ අනුව රුපියල් 1,350 ක්ව පැවති දෛනික වැටුප රුපියල් 1,750 ක් දක්වා වැඩි වනු ඇත. වතු හාම්පුතුන් සමඟ පැවති සාකච්ජා වට කිහිපයකින් අනතුරුව ඔහුන් එකඟ වී ඇත්තේ රුපියල් 200 කින් පමණක් කම්කරුවන්ගේ දෛනික වැටුප වැඩිකිරීමටය. දින 25 ක පැමිණීමේ දිරි දීමනාවක් ලෙස ඉතිරි  රුපියල් 200 ක් ආණ්ඩුව මගින් ලබා දේ. නිෂ්පාදන පිරිවැය ඉහල යාම හා තේ වෙළඳ පොලේ මිල පහත වැටීම හේතුවෙන්   කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීමට නොහැකි බව  හාම්පුතුන් ආණ්ඩුවට හේතු දක්වා තිබිණි.

එහෙත් වතු කම්කරුවාගේ දුක්ඛිත දිවිය ගැන ජාතික ජනබලවේග ආණ්ඩුවේ නායක නායිකාවන්ට මනා අවබෝධයක් ඇතිවාට සැක නැත. දෑ වසකට පෙර 2023 ඔක්තෝබර් 15 වැනිදා එළිදැක්වූ  හැටන් ප්‍රකාශණයේ මලෛයහ ජනයාට පොහොසත් රටක් -ලස්සන ජිවිතයක් වෙනුවෙන් වූ   `ආදායම හා වේතන`` නැමති පරිච්ජේදය ඊට  සාක්ෂියක් ලෙස යළිත් සිහිපත් කළ හැක.

 


"රාජ්‍ය අංශයට වඩා පෞද්ගලික අංශයට වතු කළමනාකරණය කළ හැකිය යන වැරදි මතයක් මත සමාගම් 22 කට වතු කළමනාකාරිත්වය බාර දී ඇත. අවාසනාවකට මෙන් ඇතැම් සමාගම්වල කළමනාකරණ උපායමාර්ග ලෙස පෙනී යන්නේ කම්කරුවන් භුක්ති විඳින ඕනෑම මුල්‍ය සහ වෙනත් අයිතීන් අහිමි කිරීමෙන් ඔවුන්ගේ ලාභය උපරිම කර ගැනීමයි. පෞද්ගලික කළමනාකාරිත්වය යටතේ මෙන්ම දැනට රාජ්‍ය අයිතියේ ඇති වතුවල කම්කරුවන්ට, දෛනික වැටුප් ලබන අනෙකුත් කම්කරුවන් හා සසඳන විට ලැබෙන අඩුම වැටුපකි. මෙම තත්වය ඔවුන් දරිද්‍රතාවයට තල්ලු කරයි.සමාගම් වල කම්කරු විරෝධී ක්‍රියා අතර ස්වාධීන අනියම් සේවකයන්ගේ සේවක පදනමක් පිහිටුවීමේ පියවරක් වන බාහිර වගා ක්‍රමය [outgrow system]පුළුල් කිරීම, අත්තනෝමතික ලෙස සේවා ඉලක්ක සහ සම්මතයන් නියම කිරීම සහ සේවා ඉලක්ක සාක්ෂාත් කර නොගතහොත් අර්ධ දින වැටුප් ගෙවීම ඇතුලත්ය. නව කම්කරුවන් ලියා පදිංචිය ප්‍රතික්ෂේප කිරීම සහ කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීම වතු කළමනාකාරිත්වයට දරා ගත නොහැකි බව පවසමින් ඔවුන් යැපුම් මට්ටමේ වැටුපක දිගටම තබා ගැනීම විශාල ගැටලුවකි. ජාතික ජන බලවේගය විසින් සමාගම් වල අර්ධ වැටුප් වංචාව වලක්වනු ඇති අතර, ලාභ සඟවන්නේ ද, නැතහොත් සමුහ ව්‍යාපාර වෙත හෝ ඒකාබද්ධ සමාගම් වෙත මාරු කරන්නේද යන්න පරීක්‍ෂා කරනු ඇත. එසේම පාඩු ලබන බව ප්‍රකාශ කරන සමාගම් රජයේ විගණනයකට යටත් කරනු ඇත. ඇත්ත වශයෙන්ම පාඩු ලබන්නේ නම්, වත්මන් සමාගම්වල බදූ දීම නැවත පරීක්‍ෂා කර, සේවක සේවිකාවන්ට යහපත් රැකියා පරිසරයක් සහ ප්‍රමාණවත් වැටුපක් ලබාදීමට සුදානම් සමාගම්වලට වතු ලබා දෙනු ඇත. දැනට ඇති රජයේ වතුවල සේවය වෙනුවෙන්ද ප්‍රමාණවත් වැටුපක් සහතික කෙරෙනු ඇත.``

``කම්කරුවෝ වතු හැර යති``

වතු හිමියෝ පෙන්වා දෙන ආකාරයට තේ නිපදවන රටවල් අතරින්, ශ්‍රීලංකාව සිටින්නේ සිව්වන තැනය. චීනය, කෙන්යාව හා ඉන්දියාව, ලංකාවට ඉදිරියෙනී. එහෙත් ``සිලෝන් ටී`` සන්නාමයට ලෝක වෙළඳ පොලේ ඇත්තේ හොඳ ඉල්ලුමකි. ඒ අනෙකුත් රටවල තේ දළු නෙළීමට යන්ත්‍ර සුත්‍ර යොදා ගනිමින් නව තාක්ෂණය භාවිත කළ මුත්, ලංකාවේ එය සියයට 90 ක්ම සිදුවන්නේ මිනිස් ශ්‍රමය මගිනි. එම නිසාම ලංකාවේ තේ වලට ඉල්ලුම වැඩිය. එහෙත් ඒ හා සාපේක්ෂව නිෂ්පාදනයේ අඩුවක් පවතී.ඔවුන් පවසන ආකාරයට තේ නිපදවන අනෙකුත් රටවලට සාපේක්ෂව දිනකට කම්කරුවෙකු නෙළන අඩුම  දළු ප්‍රමාණය සටහන් වන්නේ ලංකාවේය.

 

tea planter
``1992 දී වතු සමාගම් කරනකොට කම්කරුවෝ තුන් ලක්‍ෂ විසි හත්දාහක් හිටියා. අද ඒක ලක්ෂ දෙකකට බැහැලා. අඩු ශ්‍රමිකයන් සංඛ්‍යාවක් අතරින් තමයි තේ කර්මාන්තය  කරගෙන යන්නේ. තේ කිලෝවකට රුපියල් එක්දහස් දෙසීයක් විතර යනවා නිෂ්පාදන පිරිවැය.`` වතු හාම්පුතුන්ගේ සංගමයේ ප්‍රධානි රොෂාන් රාජදුරෙයි පෙන්වාදෙයි.

වතු හිමියන් පවසන පරිදි කම්කරු හිඟයට පිළියමක් ලෙසින් පැමිණීමේ දිරි දීමනාවක් ලබා දෙමින් යළිත් වැඩි කම්කරුවන් පිරිසක් වැඩට කැඳවා ගැනීමට ආණ්ඩුව කටයුතු කර තිබේ. ජනාධිපතිවරයා සිය අයවැය ඉදිරිපත් කරමින් කියා සිටියේ වතු ආර්ථිකය නංවාලීමට ක්‍රියා නොකරන සමාගම් වල වතු 2042 දී යළි පවරා ගන්නා බවය.

ආණ්ඩුව පවසන පරිදි  වතු කම්කරුවන්ගේ දෛනික වැටුප් වැඩි කිරීමට වතු හිමියෝ එකඟ වී ඇත්තේ රුපියල් 200 කින් පමණි. ඔහුන්ගේ මැසිවිල්ල වී ඇත්තේ  දෛනික වැටුප  රුපියල් 1,750 දක්වා වැඩි කළහොත්, ඒ මත පිහිටා අති කාල දීමනා, අර්ථ සාධක අරමුදල්, ග්‍රටිවිටි ඇතුළු අනෙකුත් සහන ලබා දීමට වසරකට රුපියල් බිලියන 10 කට වඩා වැය බවය. දැන් එය සළකා බැලිය යුත්තේ රුපියල් 1,550 කටය. එළඹෙන ජනවාරියේ සිට එය ක්‍රියාත්මක විය යුතුය.

පෞද්ගලිකරණය කළ වතු 453 ක් සමාගම් 24 ක් යටතේ පාලනය වේ. 1,20,000 ක් වන කම්කරුවන් වෙනුවෙන් හා මිලියනයකට වැඩි ජනගහනයක් වෙනුවෙන් වතු රෝහල් 61 ක්, බෙහෙත් ශාලා 321 ක්, දිවා සුරැකුම් මධ්‍යස්ථාන 1,400 ක් නඩත්තු කිරීමේ වගකීම ද  තමන් දැරිය යුතු යැයි වතු හාම්පුතුන් විසින් පෙන්වා දී තිබේ.

 

tea export 1600
2025 වසරේ ජුනි මාසය වනවිට තේ අපනයනය කිලෝග්‍රෑම් මිලියන 23 දක්වා ඉහළ ගොස් ඇති බවට රේගු දත්ත විශ්ලේෂණය කරමින් එශියා සියකා ආයතනය පෙන්වා දී ඇත. එය ඉකුත් වසරේ මුල් භාගයට වඩා සියයට එකොළහක වැඩිවීමකි. මේ වසරේ මුල් මාස හය තුළ තේ අපනයනවලින් උපයාගෙන ඇති මුදල ඩොලර් මිලියන 743 ක් පමණවේ. එය 2014 න් පසු වසරේ මුල් මාස කිහිපය සඳහා ලබා ඇති ඉහළම ආදායමයි. එවකට ශ්‍රී ලංකාව කිලෝග්‍රෑම් මිලියන 157 ක් අපනයනය කර ඩොලර් මිලියන 805 ක් පමණ උපයාගෙන තිබුණි. විශේෂයෙන්ම, ඇසුරුම් කළ තේ අපනයන සීග්‍රයෙන්  ඉහළ ගොස් ඇත. එය සියලු අපනයනවලින් 46% කි. ඉකුත් වසරේ එය 39% කි.

ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාවන්ට අනුව ද ඉකුත් වසරේ පළමු කාර්තුවේදී පොල් අපනයනයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 125.6ක් වූ ආදායම 2025 වසරේ පළමු කාර්තුවේ දී  වර්ධනයක් පෙන්නුම් කරමින්, ඇමරිකානු ඩොලර් මිලියන 155ක් ලෙස සටහන්වේ. එසේම පළමු කාර්තුවේදී තේ අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 478.3ක් දක්වා සියයට 6.2කින් ද  රබර් අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 11.2ක් දක්වා සියයට 37.8කින් ද වර්ධනය පෙන්නුම් කරනු ඇත.

වතු කාර්ය සේවකයන්ට වැඩිසැළකිල්ලක්

වතු කම්කරුවන්ගේ වැටුප් ඇතුළු අනෙකුත් වරප්‍රසාද තීරණය කිරීමට  කම්කරු කොමසාරිස්, හාම්පුතුන්  හා වෘත්තීය සමිති ලෙස ත්‍රෛපාර්ශ්වික සාමුහික ගිවිසුමක්  හඳුන්වා දෙනු ලැබුවේ 1997 දී  ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග ආණ්ඩුව විසිනි. 2021 දී පැවති ආණ්ඩුව විසින්  පඩි පාලක සභාව ඔස්සේ වතු කම්කරුවන්ගේ වැටුප තීරණය කිරීම හේතුවෙන් ඊට එරෙහිව වතු හාම්පුතුන් අධිකරණය යාමත් සමඟ එතෙක් පැවති සාමුහික ගිවිසුම අහෝසි විණි.

 

tea Plantation workers

වතු හාම්පුතුන්, කම්කරුවන්ගේ දෛනික වැටුප වැඩිකිරීමට මැලි වුවද, වතු කාර්ය මණ්ඩලයේ වැටුප් සියයට 32 කින් වැඩි කිරීමට ගිවිසුමකට එළඹියේ ආණ්ඩුවේ අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නට පෙර දිනයේදීය. එම ගිවිසුම අනුව වතු කාර්ය මණ්ඩල සේවකයන්ගේ වැටුප මේ වසරේදී සියයට 20 කින් ද, ලබන වසරේදී එකතු කළ අගය මත සියයට 10 ක් ලෙසද ඉහල දැමීමට නියමිතය. ඊට අමතරව වාර්ෂික වැටුප් වර්ධකයේ වැඩිවීම් සියයට 5 හේ සිට සියයට 13 දක්වා ලැබෙන අතර නිල නිවාස දීමනාව සියයට 10 දක්වාත්, මරණාධාර දීමනාව රුපියල් 2,50,000 දක්වාත් ඉහල දමා තිබේ. වතු කාර්ය මණ්ඩලයටත්, කම්කරුවන්ටත්  හාම්පුතුන් විසින් විෂම ලෙස සලකන ආකාරය මෙයින් පෙන්නුම් කෙරේ.

පාඩු ලබන බව පවසමින් කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීමට මැලිවන වතු සමාගම්වල වාර්ෂික ආදායම් හා වියදම් පිරික්සීමට ආණ්ඩුවේ බලධාරීන් උත්සුක වුයේ නම්, මෙම විෂම ක්‍රියාවලිය ගැන මනා වැටහීමක් ලබා ගත හැකිව තිබිණි. කෙසේවුවද වසර කිහිපයකට පසුවුවද  ආණ්ඩුවද මැදිහත්ව රුපියල් 400 කින් දෛනික වැටුප් වැඩි කිරීම කෙරෙහි වතු කම්කරුවන්ට නම් සතුටට කාරණයක් විය. එහෙත් වැඩි කරනු ලැබූ දෛනික වැටුප රුපියල් 1,750  දැනට පවතින ජිවන වියදමට කිසිසේත් ප්‍රමාණවත් නොවන්නකි.

රුපියල් දෙසීයට එරෙහිව

වතු කම්කරුවන්ගෙන් බහුතරය පෞද්ගලික සමාගම් යටතේ සේවය කරන්නන් බැවින්, පොදු ජනයාගේ බදු මුදලින් ඔවුන්ට වැටුප් ගෙවීම පිළිබඳ මුලින්ම ප්‍රශ්න කරනු ලැබුවේ ප්‍රසාද් සිරිවර්ධන නම් සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරයා විසිනි. ඉන් පසු ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ පත්කළ මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ, ශ්‍රීලංකා මුස්ලිම් කොංග්‍රසයේ  මන්ත්‍රී නිසාන් කාරියප්පර්, සමගි ජනබලවේගයේ මන්ත්‍රී අජිත් පී පෙරේරා වැනි විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් අදහස් දැක්වුයේ වතු කම්කරුවන්ට රුපියල් 200 ක්  ආණ්ඩුවෙන් ලබා දීමට එරෙහිවය. වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීමට එරෙහි නොවුණත් රජයේ මුදල් පෞද්ගලික සමාගම් වෙත ලබා දීමට එකඟ නොමැති බව ඔවුහු අවධාරණය කළහ.

 

Rohini 251117
මෙම ක්‍රියාවලියේ තවත් පියවරක් තබමින්, සමගි බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණි කවිරත්න අල්ලස් හා දුෂණ කොමිසමට හා විගණකාධිපතිවරයාගෙන් ලිඛිත ඉල්ලා ඇත්තේ අයවැය යෝජනා මගින් වතු කම්කරු වැටුප් සඳහා රුපියල් බිලියන 5 ක් වෙන්කිරීම නීති විරෝධී ද නැද්ද යන්නය. පෞද්ගලික අංශයේ සේවකයන්ගේ ප්‍රයෝජනය සඳහා ඒකාබද්ධ අරමුදලින් ප්‍රතිපාදන ලබා දිය නොහැකි බව ද මන්ත්‍රිනී කවිරත්න සිය ලිපියේ අවධාරණය කර තිබේ.

මේ සම්බන්ධයෙන් කැබිනට් ප්‍රකාශක ඇමැති නලින්ද ජයතිස්ස මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියේ  වැවිලි කර්මාන්තය නැංවීමේ අරමුණින් යුතුව කම්කරුවන්ට පැමිණීමේ දීමනාවක් ලබා දී ඇති බවය. ``එය වතු සමාගම් හිමියන්ට නොව වතු කම්කරුවන් වෙනුවෙනි.``යැයි පවසමින් නලින්ද ජයතිස්ස ඇමතිවරයා පැහැදිලි කර සිටියේ `` මෙය ගොවියාට පොහොර සහනාධාර ලබා දෙනවාක් මෙන් වතු කම්කරුවා වෙත ලබා දුන් සහනයක්`` ලෙසය.



වැවිලි ක්ෂේත්‍රයේ සංවර්ධනය වෙනුවෙන් ව්‍යාපෘති දියත් කිරීමට ලෝක බැංකුව ලබා දුන් ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 5 කට වැඩි මුදලක් හිටපු මැති ඇමතිවරුන් හා ඔවුන්ගේ ඥාති මිත්‍ර ආදීන් අතරේ බෙදා ගෙන ඇති බවට විෂය බාර ඇමැති සමන්ත විද්‍යාරත්න පාර්ලිමේන්තු සභාවේදී චෝදනා කළේය. කිසිදු සංවර්ධන ව්‍යාපෘතියක් දියත් කර නොමැති හෙයින්, එම මුදල් නැවත ලෝක බැංකුවට ගෙවා ඇත්තේ  මහා භාණ්ඩාගාරයෙන් මුදල් ලබාගෙනය.

ජිවන වියදමට සාපේක්ෂව ප්‍රමාණවත් නොවුනද රුපියල් 400 කින් හෝ සිය දෛනික වැටුප වැඩිවීම ගැන ප්‍රමෝදයට පත්ව සිටී වතු කම්කරුවන්ගේ විරෝධය සමගි බලවේගයේ, මුස්ලිම් කොංග්‍රසයේ  හා පොදුජන පෙරමුණේ මන්ත්‍රීන් වෙත එල්ල වී තිබේ. මේ නිසාම වතුකරය නියෝජනය කරන, සමගි බලවේගය හා සමීපව ඇසුරුකරන මනෝ ගනේෂන්, දිගම්බරන් වැනි පක්‍ෂ නායකයන් ද පත්ව සිටින්නේ මහත් අසීරුතාවටය.    

මේ අතර ජාතික කම්කරු උපදේශක සභාව නියෝජනය කරන, සමිති 13 ක් එක්ව   ඉකුත් ඔක්තෝබර් 16  මුදල් ඇමතිවරයා වශයෙන් ජනාධිපතිවරයා වෙත යොමු කළ  අයවැය යෝජනා මාලාවේ දැක්වුයේ  වතු කම්කරු වැටුප රුපියල් 2,000 කරන ලෙසය. ඒ මැතිවරණ සමයේදී පොරොන්දු වූ පරිදිය.මෙහි විශේෂත්වය වන්නේ  යෝජනාවලිය ඉදිරිපත් කළ වෘත්තීය සමිති අතර ජනතා විමුක්ති පෙරමුණට අනුබද්ධ හා ජාතික බලවේග ආණ්ඩුවට සමීප වෘත්තීය සමිති ද නියෝජනය කිරීමය.

ඊට අමතරව ආණ්ඩුවේ පාලනයේ පවතින රාජ්‍ය වැවිලි සංස්ථාව, ජනතා වතු සංවර්ධන මණ්ඩලය සහ ඇල්කඩුව වැවිලි සමාගමේ  කම්කරුවන් විශ්‍රාම යාමේදී හා සේවය අවසන් කිරීමේදී ගෙවිය යුතු, එහෙත් 2019 වසරේ සිට නොගෙවා හිඟ හිටුවා ඇති සේවක අර්ථ සාධක හා සේවක භාරකාර අරමුදල් හා වතු කාර්ය මණ්ඩල සේවකයන්ගේ අර්ථ සාධක අරමුදල්  රුපියල් 3,380,568,367.88 කි. මෙම හිඟ මුදල් පියවීමට 2026 අයවැයෙන් මුදල් වෙන් කරන ලෙසත් ඉල්ලා තිබේ.

poor b

නාස්තිය හා දුෂණය පිටු දැකීම වෙනුවෙන් රජයට අයත් ජනතා වතු සංවර්ධන මණ්ඩලය, රාජ්‍ය වැවිලි සංස්ථාව, ඇල්කඩුව,හලාවත සහ කුරුණෑගල වැවිලි සමාගම මෙකී ආයතන පහ එක් කොට එක් වැවිලි සමාගමක් අරඹන ලෙස ද, වතු කම්කරුවන්ට හා වතු කාර්ය මණ්ඩල සේවකයන්ට ද  පර්චස් 10 ක ඉඩමක අයිතියත්, ලයින් කාමර වල යටිතල පහසුකම් ඉහල නංවා, ඉංග්‍රීසි,ගණිතය හා විද්‍යාවට ගුරුවරුන් වතු පාසැල් වලට ලබා දෙන ලෙසත්, වතු ක්ෂේත්‍රයේ පවතින බාහිර වගා ක්‍රමය  අහෝසි කරමින්,කම්කරුවන්ට අදාළ නීති පද්ධතියක් සකස් කරන්නට ද එම යෝජනාවලිය මගින්  ඉල්ලා තිබිණි.


වතු කම්කරු වැටුප් පනතක්

tea plantation

තම දෛනික වැටුප වැඩි කිරීමට සමාගම් හිමියන්ගේ නොකැමැත්තත්, ඒ සඳහා සහන දෙමින් යම් විසදුමක් ලබා දෙන්නට ආණ්ඩුව දරන උත්සහායත්, ඊට එරෙහිව විපක්ෂයේ දේශපාලඥයන් නගන විරෝධයත් හමුවේ, වික්ෂිප්තවී සිටින්නේ අසරණ වතු කම්කරුවන්ය. වසර කිහිපයකට පසුව ඔවුන්ට ලැබුණු මේ සහනයට  එරෙහිවීම අමානුෂික ක්‍රියාවකි. මෙම ක්‍රියාවලිය ඔස්සේ වතු කම්කරුවන්ගේ දෛනික වැටුප වැඩි කිරීමට සාර්ථක නොවන්නේ නම්  කළ යුතුව ඇත්තේ වැටුප් පනතක් මගින් පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමය. ඒ සඳහා අවශ්‍යතරම් ජන්ද ප්‍රමාණය ආණ්ඩුව සතුව පවතී.

සියවස් දෙකක් පුරා මෙරට ආර්ථිකය සවිමත් කරන්නට ලේ,කඳුළු,දහදිය මෙන්ම ජීවිතය පිදූ වතු කම්කරු මලෛයහ ජනයාගේ ශ්‍රම අතිරික්තයෙන්,  නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය ඇතුළු සුබ සාධන රාජ්‍ය ගොඩනැගුනු බව කිසිසේත් අමතක කළ යුතු නැත.

Ishankha Sinhaarachchi
(සටහන | ඉෂංඛා සිංහආරච්චි)
Ishankha Singha Arachchi
Freelance Journalist

ishanka.singhe@gmail.com

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

වතු කම්කරු වැටුප් වැඩිවීම; හාම්පුතුන්ගෙන් විෂම සැලකිල්ලක්, ආණ්ඩුවෙන් සහනයක්, විපක්ෂයෙන් විරෝධයක් | The Leader