The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

නැගෙනහිරින් පායා දකුණින් බැස යන පරිපාලන රන් තරුව...

T

The Leader Desk

November 18, 2025 • 6:48 AM

නැගෙනහිරින් පායා දකුණින් බැස යන පරිපාලන රන් තරුව...

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අභ්‍යන්තර සිංහල ජනයා බහුලව වාසය කරන ප්‍රදේශවල මායිමේ ගම්වල ජනතාව, දරු පවුල් පිටින් රාත්‍රියට නිවෙස්වල නොසිට අසල කැලෑ කුට්ටිවල රාත්‍රිය ගත කරන්නට පුරුදුව සිටියේ නිවෙස්වලට අඳුරේ කඩා පැන කපා කොටා ඝාතනය කරන කොටි ඝාතකයින්ගෙන් බේරීමට ය.
  • අම්පාරේ රාජකාරි කරමින් සිටි අප කීප දෙනෙකුට, මේ උතුරු-නැගෙනහිර ප්‍රශ්නයට සාමකාමී විසඳුමක් අවශ්‍යය යන මතවාදය යුද්ධයට මුහුණ දී සිටින ප්‍රජාව තුළ ඇති කිරීමේ අවශ්‍යතාව දැඩිව දැනී තිබුණි.
  • කොළඹ සිවිල් සංවිධාන බෙදා දුන්, සාමකාමී විසඳුමකට එළඹීමේ අවශ්‍යතාව ආණ්ඩුවට සහ එල්.ටී.ටී.ඊ.යට අවධාරණය කරවීමේ ප්‍රකාශනයේ වචන දෙකක් මත, ප්‍රශ්නය යුද්ධයෙන් විසඳීමට පක්ෂ පාර්ශ්වයේ මතය සභාවේ ඉස්මතු විය.
  • යුද්ධය වෙනුවෙන් පෙනී සිටි පාර්ශ්වයේ තර්කය වූයේ සිවිල් සංවිධාන, සාමකාමී විසඳුමක් අවශ්‍ය බවට දකුණේ ගෙන යන මතවාදය එල්.ටී.ටී.ඊ.යට සහය දැක්වීමක් බව ය.
අකුරු ප්‍රමාණය (Font Size):


අභ්‍යන්තර සිංහල ජනයා බහුලව වාසය කරන ප්‍රදේශවල මායිමේ ගම්වල ජනතාව, දරු පවුල් පිටින් රාත්‍රියට නිවෙස්වල නොසිට අසල කැලෑ කුට්ටිවල රාත්‍රිය ගත කරන්නට පුරුදුව සිටියේ නිවෙස්වලට අඳුරේ කඩා පැන කපා කොටා ඝාතනය කරන කොටි ඝාතකයින්ගෙන් බේරීමට ය.

ඒ වන විටත් මේ බිහිසුණු ප්‍රශ්නයට සාමකාමී විසඳුමක් පිළිබඳ සංවාදයක් රටේ සිවිල් සංවිධානවලින් මතු කරමින් තිබුණි. අම්පාරේ රාජකාරි කරමින් සිටි අප කීප දෙනෙකුට, මේ උතුරු-නැගෙනහිර ප්‍රශ්නයට සාමකාමී විසඳුමක් අවශ්‍යය යන මතවාදය යුද්ධයට මුහුණ දී සිටින ප්‍රජාව තුළ ඇති කිරීමේ අවශ්‍යතාව දැඩිව දැනී තිබුණි. ඒ සඳහා අම්පාර නගර ශාලාවේ දී සම්මන්ත්‍රණයක් සූදානම් කිරීමටත්, ඊට සිවිල් සංවිධාන නියෝජනය කරන ප්‍රධාන පෙළේ කථිකයන් කීපදෙනෙකු ගෙන්වා ගැනීමටත් යෝජනා විය. අවසානයේ සුනන්ද දේශප්‍රිය, එස්. මනෝරංජන් හෝ රාම් මානික්කලිංගම් සහ තවත් කථිකයෙකු සමග ජයතිලක බණ්ඩාර ප්‍රමුඛ කලා ශිල්පීන්ගේ ද සහභාගිත්වය තහවුරු කෙරිණි.

 

bandula
ජයතිලක බණ්ඩාරයන්ගේ ගීත ගායනා අතර සාමයේ අගය පිළිබඳව ඉහත දේශකයන් සිය දේශන පැවැත්වූහ. සභාව උණුසුම් වූයේ ප්‍රශ්න වාරයේ දී ය. කොළඹ සිවිල් සංවිධාන බෙදා දුන්, සාමකාමී විසඳුමකට එළඹීමේ අවශ්‍යතාව ආණ්ඩුවට සහ එල්.ටී.ටී.ඊ.යට අවධාරණය කරවීමේ ප්‍රකාශනයේ වචන දෙකක් මත, ප්‍රශ්නය යුද්ධයෙන් විසඳීමට පක්ෂ පාර්ශ්වයේ මතය සභාවේ ඉස්මතු විය. යුද්ධය වෙනුවෙන් පෙනී සිටි පාර්ශ්වයේ තර්කය වූයේ සිවිල් සංවිධාන, සාමකාමී විසඳුමක් අවශ්‍ය බවට දකුණේ ගෙන යන මතවාදය එල්.ටී.ටී.ඊ.යට සහය දැක්වීමක් බව ය.

සිවිල් සංවිධානවල ප්‍රකාශනයේ, සාමකාමී විසඳුමක් වෙනුවෙන් කැපවෙන ලෙස ආණ්ඩුවට “බල කරන” බවත්, ඒ වෙනුවෙන් කැපවන ලෙසට එල්.ටී.ටී.ඊ. සංවිධානයෙන් “ඉල්ලා සිටින” බවත් සඳහන්ව තිබුණි. යුද්ධ විසඳුමේ පාර්ශ්වය තර්ක කළේ එල්.ටී.ටී.ඊ.ය ඉදිරියේ බැගෑපත් වන සිවිල් සංවිධාන ආණ්ඩුවට බල කරන්නේ එල්.ටී.ටී.ඊ.යේ අවශ්‍යතාව සම්පූර්ණ කිරීමට බව ය. අවාසනාවට සභාවේ මධ්‍යස්ථ මතය මේ ප්‍රබල තර්කයට අනුගත වන ලකුණු පෙනෙන්නට විය. සුනන්ද මීට දුන් පිළිතුර, සැඩ සුළඟට හසු වූ පරඬැල් පතක් සේ ගසාගෙන ගියේ ය.

නගර ශාලාවේ පසුපස සිටි සම්මන්ත්‍රණ සංවිධායකයන් වූ වෛද්‍ය රිචඩ් පෙරේරා, තැපැල් අධිකාරි ලියණපතිරණ සහ මා, මේ උණුසුම් වාතාවරණය සමනය කරන්නට කළ යුත්තේ කුමක්දැයි කොඳුරද්දී, අපේ සහයට සිටි එක් නිලධාරියෙකු කලබලයෙන් මගෙන් ඇසුවේ “සුනිල් අයියේ, මම මේ වාදේ ඉවර කරන්නද?” කියා ය. ඒ නිලධාරියා එවක එහි සහකාර මැතිවරණ කොමසාරිස් එම්. කේ. බන්දුල හරිස්චන්ද්‍ර විය. සාමාන්‍ය කතාබහේ දී ‘මචං’ ආමන්ත්‍රණයෙන් එකිනෙකා අමතන අප අතර ‘අයියා මල්ලී’ ආමන්ත්‍රණය බෙහෙවින්ම ආගන්තුක ය. එහෙත් බන්දු බොහෝ සේ නොඉවසිලිමත් වූ විට මට ‘අයියේ’ කියා මා අමතන බව ඒ වන විට මම දැන සිටියෙමි. ඒ නිසාම ඒ ආමන්ත්‍රණයෙන්ම ඔහුගේ නොඉවසිල්ල මට පැහැදිලි විය. මා වහා ඊට පිළිතුරු දුන්නේ “උඹට පුළුවන් මඟුලක් කරලා මේක ඉවර කරපන් බන්දු. නැත්නම් තව ටිකකින් මුන් සුනන්දලාට නෙලන්නත් බැරි නෑ” කියා ය.

 

bandula harischandra89ay8
බන්දු කඩිසර ගමනින් ගොස් වේදිකාවට පැන මයිකය අතට ගත්තේ සභාව සිසාරා තියුණු බැල්මක් හෙළමිනි. මුහුණ පුරා වැවුණු කෙටි රැවුලක් ද සහිත, මඳක් කාලවර්ණ, නො උස් නො මිටි, මඳක් තර පෙනුමක් සහිත බන්දුගේ රූපය සභාවේ අවධානය දිනා ගැනීමට හේතු විය.

“මේ ප්‍රකාශනයේ තියෙන, වචන දෙකේ එකක තියෙන්නේ ආණ්ඩුවට සාමයට බල කරන බව කියලනේ. එතකොට ආණ්ඩුව කාගේද?” බන්දු සභාවෙන් ඇසීය. “ආණ්ඩුව යූ.ඇන්.පී.”, “ආණ්ඩුව රටේ”, “ආණ්ඩුවත් කොටියගේ” නානා ප්‍රකාර පිළිතුරු ඇසිණි. “මේ විහිළු කරන වෙලාවක් නෙවෙයි, බරපතල ගැටලුවක් ගැන අපි කතා කරන්නේ. ආණ්ඩුව රටේ ජනතාවගේ. නැත්නම් අපේ. මොකා ආණ්ඩු පිහිටෙව්වත් ඒ ඕනෑම ආණ්ඩුවක් අපේ.” බන්දු කියාගෙන ගියේ සභාව නිහඬ කරවමිනි

“එතකොට එල්.ටී.ටී.ඊ.ය කාගේද?” බන්දු විමසද්දී සභාව නිහඬ ය. “එල්.ටී.ටී.ඊ.ය සතුරු පාර්ශ්වය. නැත්නම් ආණ්ඩුවට එහෙමත් නැත්නම් අපිට එරෙහිව යුද්ධ වැදුණු පාර්ශ්වය. මේ සාම ඉල්ලීම යන්නේ ජනතාවගෙන් ජනතාවට. තමන්ගේ එකාට බල කරන්න පුළුවන්. තමන්ගේ හතුරට බල කළාට ඌ ගණන් ගන්නේ නෑ. ඒ නිසා හතුරගෙන් ඉල්ලන්නයි ඕනේ. අපේ ආණ්ඩුවට බල කරන්න අපිට බැරිද? ඉතින් මේකේ ඇති වැරැද්ද මොකක්ද?” බන්දු විමසද්දී මුළු සභාවම මීයට පිම්බා සේ නිහඬව සිටියහ. “එහෙම නම් දැන් ප්‍රශ්නය ඉවරයි. සභාවේ ඉදිරි කටයුතු කරගෙන යන්න” කියා බන්දු වේදිකාවෙන් බසිද්දී, අපි අත්පොළසන් දී ප්‍රීතිය ප්‍රකාශ කළෙමු. එයින් සන්සුන් වූ සභාව සාමකාමීව අවසන් කළ හැකි විය.

සභාව උණුසුම් වන ආරංචියට පොලිස් නිලධාරීන් ද සමග පැමිණ සිටි අම්පාර මූලස්ථාන පොලිස් පරීක්ෂක ධනසේකර මුතුකුඩ, නගර ශාලාවේ පිටිපස්සේ මේ තත්වය නිරීක්ෂණය කරමින් සිට සිනාසී අපට කිව්වේ “බන්දුල මහත්තයා මුල්ලේරියාවට පැන්න රාජසිංහ රජ්ජුරුවෝ වගේ හතර අතටම නෙලුවනේ” කියා ය. එදා සිට ධනසේකර බන්දුලව හැඳින්වූයේ ‘රාජසිංහ’ නමිනි.

 

n11
එම්. කේ. බන්දුල හරිස්චන්ද්‍ර රයිගම් කෝරළේ උඩුගහ පත්තුවේ හඳපාන්ගොඩ නම් සුන්දර ගම්මානයේ උපත ලැබුවේ 1963 ජනවාරි මාසයේ ය. ඔහු වැඩිමල් සහෝදරයෙක් ද, සහෝදරියක් ද සහිත පවුලක තුන්වෙනි දරුවා විය. ඔහුට බාල නැගණියක් ද සමග සිව් දෙනෙකි. අරකාවිල කරඳන කනිෂ්ඨ විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය හැදෑරූ බන්දුල හරිස්චන්ද්‍රයන් සිය ද්විතීයික අධ්‍යාපනය හැදෑරුවේ සුප්‍රකට හොරණ ශ්‍රීපාලියෙනි. අ.පො.ස. උසස් පෙළ සමත් වන ඔහු කැලණිය විශ්වවිද්‍යාලයේ සෞන්දර්ය පීඨයට ඇතුළත් ව චිත්‍ර හා මූර්ති ශිල්පය පිළිබඳව සෞන්දර්යවේදී උපාධිය හදාරා නිම කළේ ය. අනතුරුව කලක් ළමා පුවත්පතක චිත්‍ර ශිල්පියා ලෙස කටයුතු කරමින් සිට අම්පාර ඩී.එස්. සේනානායක මධ්‍ය මහා විද්‍යාලයේ චිත්‍ර කර්ම ගුරුවරයා ලෙස ගුරු සේවයට එක් විය.

එම විද්‍යාලයේම ඉංග්‍රීසි ගුරුවරියක ලෙස සේවය කළ ගාල්ලේ ගෝනාපීනුවල තෙලිකඩ ශාන්ති මෙනවිය සමග විවාහ දිවියෙන් බැඳෙන බන්දුල, ශ්‍රී ලංකා පරිපාලන සේවයට බඳවා ගැනීමට පැවැත්වූ විශේෂ තරඟ විභාගයෙන් සමත්වී 1991 දී පරිපාලන සේවයට පිවිසෙන්නේ වාර්තාවක් තබමිනි. ඒ ශ්‍රී ලංකා පරිපාලන සේවයට ඇතුළු වූ පළමු සෞන්දර්ය උපාධිධාරියා වීමේ වාර්තාවයි. පරිපාලන සේවයට බඳවා ගත් විශේෂ විභාගයේ කොන්දේසි පරිදි උතුරු නැගෙනහිර පළාත්වල වසර දහයක් සේවය කිරීම අනිවාර්ය කර තිබුණු බැවින් ඔහු මුල් වසර දහයම අම්පාරේ සහකාර මැතිවරණ කොමසාරිස්වරයා විය. ඒ වසර දහයෙන් හතක්ම බන්දු මගේ ආසන්නතම නිවැසියා විය. ඔහුගේ පුත් නිපුන සෙල්ලම් කළේ අපේ දියණිය නිරෝෂා සහ අප ළඟ හැදුණු අක්කාගේ දියණිය සනූජා සමග ය. නිපුනට එකල සනූජා ‘ලොකු අක්කී’ විය. නිරෝෂා ‘රෝසක්කී’ විය. බන්දු-ශාන්ති දෙපළගේ සිඟිති දියණිය ‘මුතු’ කුඩා නිසා ඇයට අයියා තරම් අපේ දියණියන් හා සෙල්ලම් කළ නොහැකි විය.

 

7dc99066 f702 4184 b711 a61a1a3af61a 1024x768

අනතුරුව හම්බන්තොට සහ ගාල්ල මැතිවරණ සහකාර කොමසාරිස් ලෙස සේවය කළ බන්දුල, 2005 දී ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් ලෙස පත් විය. අනතුරුව ගාල්ල දිස්ත්‍රික් අතිරේක දිසාපතිවරයා ලෙස පත්වන බන්දුල, අවස්ථා හයක පමණ වැඩ බලන දිසාපති ලෙස ද රාජකාරි කළේය. ගාල්ල මහ දිසාපති ලෙස බන්දුලව පත් කරන ලෙස එවකට ආණ්ඩු-විපක්ෂ දෙකේම මන්ත්‍රීවරුන් එක හඬින් ඉල්ලා සිටියත්, බන්දුට දිසාපති පත්වීම ලැබුණේ වව්නියාවටයි. වව්නියාවේ කීර්තිමත් සේවා කාලයකින් පසු ඔහු රත්නපුර දිසාපති ලෙස පත් වෙන්නේ මගේ අනුප්‍රාප්තිකයා ලෙසයි. රත්නපුරේ සේවයෙන් පසු සමාජ සුබසාධන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ලෙස රාජකාරි කරන ඔහු යළිත් දිස්ත්‍රික් පරිපාලනයට එක් වන්නේ හම්බන්තොට මහ දිසාපතිවරයා ලෙසයි.

මා දන්නා පරිදි ලංකාවේ පළාත් තුනක දිස්ත්‍රික්ක තුනක දිසාපතිවරයා ලෙස රාජකාරි කළ ශ්‍රී ලංකා පරිපාලන සේවයේ හෝ සිවිල් සේවයේ නිලධාරීන් එදා මෙදා තුර සිටියේ තුන් දෙනෙක් පමණ ය. ඒ හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සීයා වූ, ප්‍රථම සිංහල දිසාපති ලෙස සැලකෙන සී. එල්. වික්‍රමසිංහ, එම්. කේ. බන්දුල හරිස්චන්ද්‍ර සහ සුනිල් කන්නන්ගර වන මා යන තිදෙනා ය. සී. එල්. වික්‍රමසිංහ උතුරු මැද පළාතේත්, වයඹ පළාතේත්, සබරගමු පළාතේත් මහ දිසාපතිවරයා ලෙස කටයුතු කර ඇත. මම නැගෙනහිර පළාතේ අම්පාරේත්, සබරගමු පළාතේ රත්නපුරේත්, බස්නාහිර පළාතේ කොළඹත් මහ දිසාපති ලෙස රාජකාරි කළෙමි. අම්පාරේ මගේ අසල්වැසියා වූ බන්දුල හරිස්චන්ද්‍ර උතුරු පළාතේ වව්නියාවේත්, සබරගමු පළාතේ රත්නපුරේත්, දකුණු පළාතේ හම්බන්තොටත් මහ දිසාපති ලෙස රාජකාරි කළේය.

මීට අමතරව දිස්ත්‍රික්ක තුනක දිසාපති වූ නිලධාරීන් ලෙස බ්‍රැඩ්මන් වීරකෝන්, ගාමිණී සෙනෙවිරත්න, ඩී. පී. ජී. කුමාරසිරි යන නිලධාරීන් සිටියත්, ඔවුන්ට කටයුතු කරන්නට සිදුවූයේ පළාත් දෙකක පමණි. හම්බන්තොට දිසාපති පදවියෙන් බුද්ධ ශාසන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ලෙස පත්වෙන බන්දුල, එතනින් වන ජීවී හා වන සම්පත් අමාත්‍යාංශයේ ලේකම් ලෙස පත්ව රාජකාරි කර සිය වසර තිස් දෙකක පරිපාලන සේවා කාලය නිම කරමින් විශ්‍රාම ගත්තේ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ අතිරේක පාලක ජනරාල් ලෙස ය.

 

bandula harischa 5

විශ්‍රාම ගැනීමෙන් පසුව 2024 සැප්තැම්බර් මස, දකුණු පළාත් ආණ්ඩුකාර ධුරයට පත් කරනු ලැබූ බන්දුල හරිස්චන්ද්‍රයන් මිය යන තුරුම ඒ ධුරයෙහි කටයුතු කරමින් සිටියේය. පරිපාලන සේවයේ බන්දුල හරිස්චන්ද්‍ර කිසිදු තනතුරකින් හිස උදුම්මා නොගත්, අල්පේච්ඡතාව ඉහළින්ම අගය කළ, අවංක, නිහතමානී හා මානවවාදී ගුණයෙන් පිරිපුන් සංවේදී නිලධාරියෙක් විය. ඔහු බෙහෙවින් ගහකොළ, පරිසරය, සතා සිව්පාවට ආදරය කළ අයෙක් විය. එකල ඔහුත් මාත් බුද්ධංගල අභයභූමියේ නිවාඩු දිනවල සංචාරය කරමින්, පෞරාණික නටබුන්, ගල්ගුහා, සුන්දර සුදු වැලි තලාවලින් හෙබි වියළි ඇළ පාරවල් ගැන නිරීක්ෂණය කරමින් කල් ගෙව්වෙමු.

වරක් බුද්ධංගල කැලයේ සුන්දර ස්ථාන ඡායාරූප ගැනීමට බන්දු කැමරාවක් ද රැගෙන මා ඇතුළු තව දෙතුන් දෙනෙක් සමග ගුවන්තොටුපළ හන්දියෙන් වනයට වැදී, පැය හත අටක්ම විවිධ ස්ථාන ඡායාරූපයට නගමින් සංචාරය කර, අම්පාර නාගරික සුසාන භූමිය අසලින් යළි වනයෙන් එළියට ආවෙමු. වනයට ඇතුළු වෙද්දී අප කණ්ඩායමේ ඡායාරූපයක් ගුවන් තොටුපළ හන්දියේ දී ගත් බන්දුල, වනයෙන් එළියට පැමිණ කනත්ත අසල මහා මාර්ගයේදී යළිත් කණ්ඩායම ඡායාරූපයට නැඟීය. ඒ අතර ඡායාරූප තිහක් පමණ වනය තුළදී ගෙන තිබුණු බන්දුල, සුදර්මන්ස් ආයතනයෙන් සේයාපටල මුද්‍රණය කර බලන විට තිබුණේ අප වනයට ඇතුළු වන විට සහ පිටවූ පසු ගත් කණ්ඩායමේ ඡායාරූප දෙක පමණි. අනතුරුව ගත් ඡායාරූප කිසිවක් සේයා පටලයේ දක්නට නොලැබුණි. එය අපට කිසි දිනක පිළිතුරක් සොයා ගත නොහැකි ප්‍රශ්නයක්ම විය.

දිගාමඩුල්ලේ ආශ්චර්ය පොතේ සඳහන් පාදාගොඩ ගුණරත්න කොලුවාව සොයන්නට බන්දුල, දමන, පාදාගොඩ, වඩිනාගල ගම්වල ඇවිදිමින් වෙහෙසෙන විට, ඒ වන විට වයස හැත්තෑ ගණනක්ව සිටි මහලු ගුණරත්න ව ඔහුට හමු වූ පුවත රසවත් පුවතකි. ආර්. එල්. ස්පිටල්ගේ ‘වනසරණ’ මැකී ගිය දඩමං පොත්වල චරිතයක් වූ හෝලිකේ වන්නකු තිසාහාමි ගැන ගුප්ත කතා පුවත් සොයමින් බණ්ඩාරදූව, කහටගස්යාය පැරණි ගම්වල ඇවිද යන අතර, තිසාහාමිගේ බාල දියණිය වූ කොම්බි, බණ්ඩාරදූව ආසන්නයේ කටුමැටි කුඩා පැලකදී හමු වූයේ අප දෙදෙනාටම ය. පසුව පියසේන උඩවත්තයන් ඇයගේ කතාව ඇසුරෙන් ‘වාලිඹේ ආච්චි’ නමින් පොතක් ද පළ කළේය.

 

bandulahy8923
එකල අපේ නිල නිවසේ හෝ ඔහුගේ නිල නිවසේ හැන්දෑ ස්තෝප්පු සාකච්ඡාවේ ස්ථිර සාමාජිකයෙකු වෙමින් බොහෝ මාතෘකා අප සමග සාකච්ඡා කළේ ද බන්දුල ය. මේ සාකච්ඡා සභාවල කොහොඹානේ ධර්මපාල (සණස), වෛද්‍ය රිචඩ් පෙරේරා, තැපැල් අධිකාරි ලියණපතිරණ, ප්‍රවීණ ජනශ්‍රැති ගවේශක පානම ගුණසේකර ගුණසෝම ස්ථිර සාමාජිකයෝ වූහ. මේ සාකච්ඡා බොහෝ රසවත් වන්නේ පියසේන කහඳගමගේ මහ ලේඛකයාණන් ඊට සම්බන්ධ වූ දිනවලට ය. බන්දුලගේත් මගේත් සැන්දෑ පාද චාරිකාව, එහි දුර එක අතකට සැතපුම් දෙකකි. පාද චාරිකාව නිමවන විට සැතපුම් හතරකි.

දක්ෂ ලේඛකයෙකු වූ බන්දුල, පුවත්පත් සඟරා රැසකට ලිපි සැපයීය. ලිපියක් ලිවීමට පෙර ඒ ආශ්‍රිත අංගසම්පූර්ණ අධ්‍යයනයක් සිදු කරන ඔහු, රසවත් භාෂා රටාවක් ගොඩනැගීමට සමත් විය. හැම මොහොතම ප්‍රයෝජනවත් කාර්යයක නිරත වීම පුරුද්දක් වූ ඔහු, වව්නියාවේ සිට කොළඹ එන දිගු දුර නිල රථයේ ඉදිරි අසුන අරා එද්දී කළ සමීක්ෂණයන් ගැන මා සමග පවසා ඇත. ඒ ඉදිරියෙන් යන ත්‍රිරෝද රථවල පසුපස ලියා ඇති පාඨ පිටපත් කර ගැනීමයි. ඔහු ඒ ඇසුරු කරගෙන රසවත් ලිපියක් ද ලිව්වේය.

අම්පාරේදී ගල් ඔය යෝජනා ක්‍රමයේ ස්වර්ණ ජයන්තී උත්සවයේ සමරු ග්‍රන්ථය සංස්කරණය බන්දුලගේ ය. එහි ලිපි මාතෘකා සැකසීම කළේ සංස්කාරකවරයා වූ බන්දුල ය. ගල්ඔය වන ජීවීන් ගැන වන ජීවී සහකාර අධ්‍යක්ෂ ලියූ ලිපියේ මාතෘකාව “වන අරණ සරන්නෝ, අපිම වෙමු රකින්නෝ” නම් විය. සේනානායක සමුද්‍රය ගැන එච්. එම්. වීරසිංහ නියෝජ්‍ය ඇමතිතුමාගේ ලිපිය “වෑ කන්දෙන් එපිට බලමු” යන හෙඩිමෙන් සැරසුවේ බන්දු ය. ගල් ඔයෙන් ලද සශ්‍රීකත්වය ගැන කියවෙන රුක්මන් සේනානායකගේ ලිපියේ හෙඩිම “දිළිඳුම නිවසේ අටුවත් පිරුණා” නම් විය.

 

b56ie5090
මේ අයුරින් සහකාර කොමසාරිස්, ප්‍රාදේශීය ලේකම්, අතිරේක දිසාපති, දිසාපති, අතිරේක ලේකම්, ලේකම්, ආණ්ඩුකාර ආදී කවර තනතුරකට පත් වුවත්, ඔහු තුළ ජීවත් වූ හඳපාන්ගොඩ උපන් සුන්දර ගැමියා ආරක්ෂා කර ගැනීමට බන්දුල හරිස්චන්ද්‍රයෝ සමත් වූහ. ඒ නිසාම අද (18) පස්වරුවේ ගාල්ලේ සමනල ක්‍රීඩාංගනයෙන් අවසන් ගමන් යන දකුණු පළාත් ආණ්ඩුකාර බන්දුල හරිස්චන්ද්‍ර යනු විවිධ වගකීම් හා තනතුරු නැතුව ගත්තත් මහමෙරක් හා සමාන වටිනා මිනිසෙකි.

sunil kannangara(සටහන | සුනිල් කන්නන්ගර)
කොළඹ රත්නපුර සහ අම්පාර හිටපු මහ දිසාපති
skannangara1959@gmail.com

(vinivida.lk)

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...