The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

වෛද්‍යවරුන්ගේ අපැහැදිලි බෙහෙත් වට්ටෝරු 'ලෙඩේ' සුව අතට හැරේද?

T

The Leader Desk

November 20, 2025 • 8:03 AM

වෛද්‍යවරුන්ගේ අපැහැදිලි බෙහෙත් වට්ටෝරු 'ලෙඩේ' සුව අතට හැරේද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එමඟින් වෛද්‍ය සභාව සඳහන් කරන්නේ, ඇතැම් වෛද්‍යවරුන් විසින් නිකුත් කරනු ලබන කියවීමට අපහසු බෙහෙත් වට්ටෝරු සම්බන්ධයෙන් මහජනතාවගෙන් සේම ඖෂධවේදීන්ගෙන් ද පැමිණිලි ලැබී ඇති බවයි.
  • ඒ අනුව පැහැදිලි බවක් නොමැති, කියවීමට අපහසු බෙහෙත් වට්ටෝරු නිසා රෝගීන්ට සහ ඖෂධවේදීන්ට නිවැරදි ඖෂධ හඳුනා ගැනීම අපහසු වී ඇති අතර, එය රෝගියාගේ ආරක්ෂාවට තර්ජනයක් බව ද වෛද්‍ය සභාව අවධාරණය කරයි.
  • එමෙන්ම වෛද්‍ය වෘත්තිකයන් සඳහා වන ආචාරධර්ම සහ හැසිරීම් මාර්ගෝපදේශවල බෙහෙත් වට්ටෝරු ලිවිය යුතු ආකාරය පිළිබඳ නිශ්චිත උපදෙස් අඩංගු බව ද ශ්‍රී ලංකා වෛද්‍ය සභාව මේ මඟින් පෙන්වා දී තිබේ.
  • එමෙන්ම ඉහත සඳහන් මාර්ගෝපදේශ දැඩිව පිළිපැදීමට අපොහොසත් වීම, වෛද්‍ය වෘත්තීය අක්‍රමිකතා ලෙස සැලකෙන බවත්, 1990 වෛද්‍ය විනය (ක්‍රියා පටිපාටි) Medical Disciplinary (Procedure Regulations) 1990 යටතේ එවන් වෛද්‍යවරුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බවත් වෛද්‍ය සභාව අවධාරණය කොට තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):


 එමඟින් වෛද්‍ය සභාව සඳහන් කරන්නේ, ඇතැම් වෛද්‍යවරුන් විසින් නිකුත් කරනු ලබන කියවීමට අපහසු බෙහෙත් වට්ටෝරු සම්බන්ධයෙන් මහජනතාවගෙන් සේම ඖෂධවේදීන්ගෙන් ද පැමිණිලි ලැබී ඇති බවයි. ඒ අනුව පැහැදිලි බවක් නොමැති, කියවීමට අපහසු බෙහෙත් වට්ටෝරු නිසා රෝගීන්ට සහ ඖෂධවේදීන්ට නිවැරදි ඖෂධ හඳුනා ගැනීම අපහසු වී ඇති අතර, එය රෝගියාගේ ආරක්ෂාවට තර්ජනයක් බව ද වෛද්‍ය සභාව අවධාරණය කරයි.

medicine letter

එමෙන්ම වෛද්‍ය වෘත්තිකයන් සඳහා වන ආචාරධර්ම සහ හැසිරීම් මාර්ගෝපදේශවල බෙහෙත් වට්ටෝරු ලිවිය යුතු ආකාරය පිළිබඳ නිශ්චිත උපදෙස් අඩංගු බව ද ශ්‍රී ලංකා වෛද්‍ය සභාව මේ මඟින් පෙන්වා දී තිබේ. නියම කරන ඖෂධයේ නිරවුල් බව හා රෝගියාගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා මෙම මාර්ගෝපදේශ අත්‍යවශ්‍ය වන බව අවධාරණය කරන ශ්‍රී ලංකා වෛද්‍ය සභාව, මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් තමන්ගේ ආචාරධර්ම සහ හැසිරීම් මාර්ගෝපදේශවල ඇතුළත්, ‘බෙහෙත් වට්ටෝරු ලිවීම සහ නිර්දේශ කිරීම’ යන පරිච්ඡේදයේ දක්වා ඇති උපදෙස් තරයේ පිළිපදින ලෙසට වෛද්‍ය සභාව සිය නිවේදනය මගින් වෛද්‍යවරුන්ගෙන් ඉල්ලා සිටියි.

එමෙන්ම ඉහත සඳහන් මාර්ගෝපදේශ දැඩිව පිළිපැදීමට අපොහොසත් වීම, වෛද්‍ය වෘත්තීය අක්‍රමිකතා ලෙස සැලකෙන බවත්, 1990 වෛද්‍ය විනය (ක්‍රියා පටිපාටි) Medical Disciplinary (Procedure Regulations) 1990 යටතේ එවන් වෛද්‍යවරුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බවත් වෛද්‍ය සභාව අවධාරණය කොට තිබේ.

අප කුඩා කාලයේ කියවීමට අපහසු අකුරු සඳහා ‘වෙද අකුරු’ යන නාමය භාවිතා විය. ඊට හේතුව බොහෝ වෙද මහතුන් ලියූ බෙහෙත් සීට්ටු හෙවත් කසාය වට්ටෝරු සාමාන්‍ය කෙනකුට පහසුවෙන් කියවා ගත නොහැකි වීමය. ඊට හේතුව පැහැදිලි අත් අකුරු මඟින් එම වෛද්‍ය ක්‍රමය සාමාන්‍ය ජනතාව හමුවේ විවෘත වීමත්, එමඟින් එය අවභාවිතාවන්ට ලක් වීමේ හැකියාව පාරම්පරික වෙදුන්ගේ අවධානයට යොමු වීමත් බවත් ඇතැම්හු කියති.

මේ අතර, සාමාන්‍යයෙන් බ්ලොක් අකුරුවලට වෙනස්ව, ලිවීම වේගවත් කිරීමේ අරමුණින් සැකසුණු වැල් අකුරු (Cursive) ක්‍රමයක් ද අතීතයේ භාවිත විය. පැරණි ගිහි පැවිදි උගතුන් අතර භාවිත වූ මෙම අකුරු ක්‍රමය ඉංග්‍රීසි ඇතුළු ලොව විවිධ භාෂාවන්හි දක්නට ලැබෙන අතර, විධිමත් ලේඛනවල මෙන්ම පෞද්ගලික සන්නිවේදනයේ ද ප්‍රසිද්ධියේ භාවිත වී තිබේ. ලිවීමේ වේගය වැඩි කිරීමට ඉඩ සලසන, කලාතුරකින් පෑන එසවීම හේතුවෙන් මෙම වැල් අකුරු ක්‍රමය අතීතයේ උගතුන් අතර බෙහෙවින් ප්‍රචලිත විය.

නමුත් වෛද්‍යවරුන් විසින් නිකුත් කරන අපැහැදිලි බෙහෙත් වට්ටෝරු ඒ ගණයට අයත් නොවේ. ඒවා ලිවීමට බලපාන ප්‍රධාන හේතු කිහිපයක් ඇතැයි පැවසෙයි. මේ වන විට අනාවරණය වී ඇති අන්දමට කාලය පිළිබඳ දැඩි පීඩනය (Severe Time Pressure) ද ඒ සඳහා ඉවහල් වන ප්‍රධාන හේතුවකි.

doctor checking

ශ්‍රී ලංකාව ද ඇතුළු බොහෝ රටවල රාජ්‍ය හෝ පෞද්ගලික සායනවලදී වෛද්‍යවරුන්ට ඉතා කෙටි කාලයක් තුළ විශාල රෝගීන් සංඛ්‍යාවක් පරීක්ෂා කිරීමට සිදු වීම ඒ සඳහා වන ආසන්නතම හේතුවක් සේ ගැනෙයි. එමෙන්ම යම් රෝගියකුගේ රෝගී තත්ත්වය ඉක්මනින් තක්සේරු කර, ප්‍රතිකාරය තීරණය කර, එය ඉක්මනින් ලිවීමේ අවශ්‍යතාවය නිසා ද ඇතැම් වෛද්‍යවරුන්ට අකුරු ක්‍රමවත් ලෙස ලිවීමට ප්‍රමාණවත් කාලයක් නොලැබෙන බව ද පැවසෙයි. ඒ අතරේ දිගු, වෙහෙසකර සේවා මුර (Shifts) වලදී, විශේෂයෙන් රාත්‍රී සේවා මුරවලදී, අතේ මාංශ පේශි වෙහෙසට පත්වීම නිසා ලිවීමේ පැහැදිලි බව අඩු වීම ද තවත් ආසන්න හේතුවකි.

නමුත් ඉහත සඳහන් හේතූන් සියල්ල නිශ්චිත හේතූන් නොවන අතර, ඒවා පුද්ගල බද්ධව ද වෙනස් වීමේ ස්වභාවයක් පළ කරන බව නිරීක්ෂණය වී තිබේ.

කෙසේ වෙතත්, වර්තමානයේ ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) සහ ජාත්‍යන්තර සෞඛ්‍ය ආයතන අවධාරණය කරන්නේ රෝගියාගේ ආරක්ෂාව සඳහා විද්‍යුත් බෙහෙත් නියම කිරීම (e-Prescribing) අත්‍යවශ්‍ය වන බවයි. එමගින් මෙම ගැටලුව සම්පූර්ණයෙන්ම තුරන් කළ හැකි බව ද ඉන් අවධාරණය කෙරේ.

එමෙන්ම ඖෂධ වැරදීම් (Wrong Medication) ඉතා බරපතළ ප්‍රතිඵල ඇති කරවන්නක් බව මේ වන විට අනාවරණය වී තිබේ. අකුරු අවුල් සහගත වීම නිසා ඖෂධ නාමයක් වෙනත්, සමාන ශබ්දයක් හෝ පෙනුමක් ඇති ඖෂධ නාමයක් ලෙස ඔසුසල් සේවකයා විසින් වැරදි ලෙස කියවා එම ඖෂධය ලබා දිය හැකිය. උදාහරණයක් ලෙස: Lorazepam වෙනුවට Labetalol ලබා දීම ඒ සඳහා වන නිදසුනක් සේ දක්වනු ලැබේ.

ඖෂධ ලබා දීමේ වැරදි මාත්‍රාව (Incorrect Dosage) ද මෙම තත්ත්වයේ බරපතළ බව තීව්‍ර කරවන්නකි. අංක සහ මාත්‍රා ප්‍රමාණයන් පැහැදිලි නැති විට, රෝගියාට නියමිත ප්‍රමාණයට වඩා අඩු (Underdose) හෝ අධික (Overdose) මාත්‍රාවක් ලැබිය හැකිය. අධික මාත්‍රාවක් (Lethal Dose) මාරාන්තික විය හැකිය. එමෙන්ම වැරදි භාවිත උපදෙස් (Wrong Instructions) හා ඖෂධය ගත යුතු ආකාරය (උදා: දිනකට කී වරක්, කෑමට පෙර/පසු) පිළිබඳ උපදෙස් පැහැදිලි නැති විට, රෝගියාට වැරදි වේලාවට හෝ ක්‍රමයට ඖෂධය භාවිත කිරීමට සිදු වේ.

hospital farmercy

බෙහෙත් වට්ටෝරුව කියවීමට නොහැකි වූ විට බෙහෙත් දීම ප්‍රමාද වීම (Delayed Dispensing) ද සුලබව සිදුවේ. එහි දී ඖෂධවේදියා නැවත වෛද්‍යවරයා අමතා පැහැදිලි කරගත යුතු වේ. එහෙත් මෙය ප්‍රායෝගිකව ඉතා දුෂ්කර වූවකි. එමෙන්ම මෙය රෝගීන්ට ඖෂධ ලබා දීම ප්‍රමාද කරයි. ලොව පුරා වාර්තා වන දත්ත අනුව, නොපැහැදිලි බෙහෙත් වට්ටෝරු හේතුවෙන් සිදුවන ඖෂධ වැරදි නිසා මරණ සහ බරපතළ රෝගී තත්ත්වයන් ඇති වන බව ද වාර්තා වේ. ඒ අනුව මෙම බරපතළ අර්බුදය ජය ගැනීම සඳහා ගෝලීය වශයෙන් යොදා ගන්නා ප්‍රධාන විසඳුම වන්නේ විද්‍යුත් බෙහෙත් නියම කිරීම (Electronic Prescribing/e-Prescribing) ය.

medicine computer

වෛද්‍යවරුන් අතින් ලිවීම වෙනුවට පරිගණක මගින් ඖෂධ නියම කර මුද්‍රිත පිටපතක් හෝ ඩිජිටල් පිටපතක් ඔසුසල් වෙත යැවීම මගින් බෙහෙත් වට්ටෝරුවේ 100%ක පැහැදිලි බවක් සහතික කරයි. එමෙන්ම ඔබ බෙහෙත් වට්ටෝරුවක් ලබා ගත් විට, ඔබටම එය කියවීමට නොහැකි නම් වෛද්‍යවරයාගෙන් හෝ ඔසුසල් සේවකයාගෙන් පැහැදිලි ලෙස මුද්‍රිත පිටපතක් ඉල්ලීම හෝ එහි සඳහන් විස්තර පැහැදිලි කර ගැනීම ඉතා වැදගත් වේ.

 ඒ කෙසේ හෝ වෛද්‍ය විද්‍යාව හා ඒ හා සබැඳි විද්‍යා තාක්ෂණයන් මෙතරම් දියුණු යුගයක වෛද්‍යවරුන්ගේ අපැහැදිලි අත් අකුරු මුල් කොට මහජනතාවට මෙතරම් ශෝචනීය තත්ත්වයක් උද්ගත වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ අවධානය යොමු වීම අතිශය පැසසුම් කටයුතු ය.

renuka 1
(සටහන | ඒ.ජී රේණුකා දමයන්ති)
නිදහස් මාධ්‍යවේදිනී
renudamayanthi2024@gmail.com

(උපුටා ගැනීම - vinivida.lk)
 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...