පෙත්සම්කාර හිමිවරුන් දෙදෙනා අධිකරණයෙන් පිටව යන අයුරු
මේ අතර එහි තැන්පත් කෙරුණු බුද්ධ ප්‍රතිමාව පොලීසිය විසින් ඉවත් කිරීමත් නැවත වැඩම කිරීමත් සම්බන්ධව ආණ්ඩුව සහ විපක්ෂය ඇතුළු විවිධ පාර්ශව තමන්ගේ දේශපාලනයට සරිළන අයුරු ප්‍රකාශ නිකුත් කරමින් සිටිති.
ඒකාබද්ධ විපක්ෂය විසින් ආණ්ඩුවට එරෙහිව හෙට (නොවැම්බර් 21) නුගේගොඩ පැවැත්වෙන රැස්වීම සංවිධානය කරනු ලැබුවේ, මීට මාසයකටත් වඩා කලින් ය. ඒ කාලය තුල, විපක්ෂයේ ඒකාබද්ධවීමද අවුලක් බවට පත් විය. අවසානයේ එය නාමල් රාජපක්ෂගේ ව්‍යාපෘතියක් යැයි කියනු ලබන තත්ත්වයට පත් විය. 21 නුගේගොඩ විපක්ෂ රැස්වීමත් එහි ආරම්භයේදී “ආණ්ඩු විරෝධයේ ජන හඬ” යැයි කියූවට, පසුගිය දින කිහිපයෙහිදී ත්‍රිකුණාමල විහාරයේ බුද්ධ ප්‍රතිමාව සම්බන්ධ ආරවුල ඊට ගැට ගැසූ ආණ්ඩු විරෝධයක් බවට එය පත්කර ගෙන ඇත.
මෙය ඉතා පැහැදිලිව විනාශකාරී ගමනකි. නුගේගොඩින් ආරම්භ විය යුත්තේ ත්‍රිකුණාමලයට යන ගමනක් නොවේ. අපේ රටේ ප්‍රධාන ආගම් සතරින් සිංහල-බෞද්ධ හා හින්දු-දෙමළ ප්‍රජාව ලක්ෂයකට ආසන්න සංඛ්‍යාවක් බැගින්ද ඉස්ලාමීය ප්‍රජාව ලක්ෂ එකහමාරකට ආසන්නවද ත්‍රිකුණාමලය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කාලාන්තරයක සිට ඉන්නා බැව්, ජනගහන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත පෙන්වන්නේ ය.
එබැවින් ත්‍රිකුණාමලය ප්‍රදේශයේ සාමය පවත්වා ගැනීම අවුල් කෙරෙන ගමනක් නුගේගොඩින් ආරම්භ නොකිරීමේ වගකීමක් ආණ්ඩු පක්ෂයට පමණක් නොව, විපක්ෂයටද ඇත. ප්‍රදේශයේ සාමය ආරක්ෂාවන අයුරු කටයුතු කරන මෙන් දෙපාර්ශවයටම අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල විසින් විශේෂ දැනුම් දීමක් කර ඇත්තේ එහි නලියන සංවේදී තත්ත්වය හේතුවෙනි.
සිංහල-බෞද්ධ සමාජයේ සීමිත පිරිසක් අතර නඩත්තුවන ජාතිවාදී ආගම්වාදී අන්තවාදය, ප්‍රධාන ධාරාවේ දේශපාලන නායකයින් විසින් අනුමත කිරීම නිසා, ජාතිවාදී ආගම්වාදී නැඹුරුවක් දකණේ සමාජයෙහි ඇත. මේ අන්තවාදී සුළුතරයට සිංහල සමාජයෙහි ලොකු හඬක් ඇතැයි පෙනෙන්නේ සාම්ප්‍රදායික මැතිවරණ දේශපාලනයෙහි අනුග්‍රහය නිසාවෙනි. එහි පලය වී ඇත්තේ, මේ රටේ නිදහසින් පසු මේ වනවිට අවුරුදු 77 ක් කිව හැකි වැදගත් සමාජ-ආර්ථික දියුණුවක් “ජාතික” වශයෙන් නොමැති වීමය. එසේ වන්නේ කොළඹ කේන්ද්‍රීය ආණ්ඩු බලය හැමවිටම බහුතර සිංහල දේශපාලනයක් වීමෙන් “ජාතික” යැයි වන තේරුම් ගැනීම, උතුරු-නැගෙනහිර අමතක කෙරුණු තේරුම් ගැනීමක් වීමෙනි.

මෙහි ඛේදවාචකය දිග හැරෙන්නේ කොළඹ කේන්ද්‍රීය ආණ්ඩු බලය සඳහා ඡන්ද එකතු කිරීමේදී මිලියන 10 ක් පමණ වන සිංහල ග්‍රාමීය ඡන්ද සතු වැදගත්කම, ආණ්ඩු බලය ලබා ගත් පසු නොවැදගත් වීමෙහි ය. ආණ්ඩු බලය ලබාගත් පසු වැදගත් වන්නේ කොළඹ දිස්ත්‍රික්කය සහ එහි පරිධියේ ඇති අසල්වැසි ප්‍රදේශ ඇතුළත් වෙළදපල පමණි. පසුගිය දසක දෙකක පමණ කාලයේ ඊට එකතු වූයේ නාගරීකරණය ව්‍යාප්තව ඇති ගම්පහ දිස්ත්‍රික්කයත් කුරුණෑගල දිස්ත්‍රික්කයේ දකුණට වන ප්‍රදේශත් කළුතර දිස්ත්‍රික්කයට අයත් වූවත් කළුතර සමග කිසිදු සමාජ-ආර්ථික සම්බන්ධයක් නැති හොරණ-බණ්ඩාරගම ප්‍රදේශත් පමණි. සිංහල සමාජයේ අනෙකුන් සිංහල ජාතිය බේරා ගැනීමට යැයි ඡන්දය දී භාර්යාව, අක්කා නගෝ මැද පෙරදිග නැතිනම් සයිප්‍රස් ගොස් එවන මුදල් වලින් අඩාල වූ පවුල් නඩත්තු කරති. තරුණ ස්වාමි පුරුෂයින්, අයියා මලෝ කොරියාවේ යන්නට දඟලති. තවත් පිරිස් කොළඹට පැමිණ කිසිදු හව්හරණක් නැති අවිධිමත් රැකියා කරමින් හම්බ කරන සොච්චම ගම යවති. කෙටියෙන් කිවහොත් ගමේ ජනතාවට තමන් උපන් ගමේ වැදගත් ස්ථාවර ජීවිතයක් ගත කළ හැකි නිත්‍ය ආදායමක් සොයා ගත නොහැක.
හෙට 21 වන සිකුරාදා නුගේගොඩ වේදිකාවට ගොඩවන මේ නායකයින් හැමෝම ත්‍රිකුණාමලය ගැන ලොකුවට කතා කර, රට ජාතිය බේරා ගැනීමට පොරොන්දුවී යනු ඇත. සිංහල ජාතිය බෙරා ගැනීමට පොරොන්දුවන කිසිදු දේශපාලන නායකයෙකුට මේ සිංහල ජනතාවට තමන් උපන් ගමේ වැදගත් ස්ථිර ආදායමක් ලබා ගත හැකි ග්‍රාමීය සමාජ-ආර්ථික සංවර්ධනයක් පොරොන්දු විය නොහැක. ඒ සදහා කිසිදු සංවර්ධන සැළසුමක් ඔවුන්ට අතීතියේදී තිබුණේද නැත. දැන් ඇත්තේද නැත. එනිසා මෙය අවසන් කරන්නට, මා මීට දින කිහිපයකට පෙර නාමල්ට සැබෑ සිංහල-බෞද්ධයෙකු වන්නට නම් ඔහු කළ යුතු යැයි කියූ කාරණා කිහිපය මේ සැමටත් වලංගු හෙයින් ඒවා මෙහි පහතින් සටහන් කර නවතිමි.

"ආර්ථික අර්බුදයට වඩා බරපතල ලෙස ජන ජීවිතය බිඳ දමන සමාජ පිරිහීම සමග නාමල්ට සැබෑ බෞද්ධ නායකයෙකු විය හැක්කේ සිංහල සමාජයේ රේක්කයෙන් ඡන්ද එකතු කරන නායකයෙක් ලෙස නොවේ. ස්ත්‍රී දූෂණ, බාලවයස්කාර දැරිවියන් දූෂණය, ළමා හිංසන හා ලිංගික අපරාධ කිසිවක් ගැන අසන්නට නොමැති කරුණාවන්ත සමාජයක් සහතික කළ හැකි නායකයෙක් ලෙස ඉදිරිපත් වන්නේ නම් පමණි. ආත්මාර්ථකාමයෙන් පෙළෙන, අනෙකාට ඊර්ෂ්‍යා කරන, කුහක මිනිසුන් වෙනුවට පරාර්ථකාමය අගයන, අනෙකාට ගරු කරන, කප්පම් ගැනීම්, මිනීමැරීම්, අන්තරායකර මත්ද්‍රව්‍ය සොයන්නටවත් නොමැති ශිෂ්ඨ මිනිසුන්ගේ සමාජයක් සහතික කළ හැකි නායකයෙක් ලෙස ඉදිරිපත් වන්නේ නම් පමණි. සියලු ජන වර්ග වලට, සියලු ආගමික ලබ්ධිකයින්ට සමානයින් ලෙස සාර්ථක, ගෞරවනීය ජීවිතයක් සහතික කළ හැකි විකල්ප ප්‍රජාතන්ත්‍රවාදී “සමාජ සංවර්ධන” වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන්නාවූ නායකයෙකු වන්නේ නම් පමණි."
(සටහන | කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
kusal.perera@gmail.com
2025 නොවැම්බර 20 වන දින
සබැඳි ලිපි :
ත්‍රීකුණාමලයේ ඇති වූ සිදුවීම වැනි සිදුවීම් නැවත රටේ ඇති වෙන්න හොඳ නැහැ - විපක්ෂනායක




