අතීතයට එබී බැලීම
කීර්තිමත් ලේඛකයින් සහ විචාරකයින් විසින් මෙහෙයවන ලද එළිදැක්වීමේ සාහිත්‍ය සාකච්ඡා, මාතර රාහුල විද්‍යාලයේ සහ ගාල්ලේ රිච්මන්ඩ් විද්‍යාලයේ ගත කල පාසල් කාලය වෙත මා රැගෙන ගියේය. සිංහල සාහිත්‍යය ඉගැන්වූ ආකාරය සමගින් මුලදී මට දුෂ්කරතාවන්ට මුහුණ දෙන්නට සිදු වුව ද, අවසානයේ මම සිංහල සහ ඉංග්‍රීසි සාහිත්‍ය සම්ප්‍රදා ගැඹුරින් අගය කරන්නට පටන් ගතිමි. ජ්‍යෙෂ්ඨ පාසැල් සහතික විභාගයේ ඉංග්‍රීසි විෂය නිර්දේශය සඳහා මම, මගේ මුල් සාහිත්‍ය සංවේදීතා හැඩ ගස්වා ලූ ස්ටීවන්සන් ගේ සම්පත් දූපත (Treasure Island) සමග වර්ඩ්ස්වර්ත්ගේ "ඩැෆඩිල්ස්" (Daffodils) සහ "ඕඩ් ටු ඩියුටි" (Ode to Duty) ඇතුළුව තවත් බොහෝ කවීන්ගේ ඉංග්‍රීසි කාව්‍ය ඇතුළත් සංග්‍රහයක් අධ්‍යයනය කළෙමි.
ජී. බී. සේනානායක සහ සිරි ගුනසිංහ
මහාචාර්ය සිරි ගුනසිංහ
ස්වර්ණකාන්ති ගේ පළමු ප්‍රකාශිත කාව්‍ය එකතුව සංකේතවත් කරන මෙම කෘතිය, සිංහල කවි විසි එකකින් සමන්විත වන අතර ඉන් විස්සක් නිසඳැස් (නිදහස් පද්‍ය) රචනා ය. සිංහල කාව්‍යය සාම්ප්‍රදායික ස්වරූපවලින් සහ පුරාතන භාෂාවෙන් වෙන්ව යෑම සම්බන්ධයෙන් ජී. බී. සේනානායක පුළුල් ලෙස ගෞරවයට පාත්‍ර කර තිබුන ද, එය වඩ වඩාත් සමාජ ගත කළේ ගාල්ලේ මහින්ද විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයෙකු වූ මහාචාර්ය සිරි ගුනසිංහ යි, 1956 දී ඔහුගේ මුල්ම කාව්‍ය සංග්‍රහය වන මස් ලේ නැති ඇට (Bones Without Flesh and Blood) කෘතිය මගින් සිංහල සාහිත්‍යයට නිදහස් පද්‍ය රචනා හඳුන්වා දුන්නේ ය. අලංකාරවත් සාහිත්‍යමය භාෂාව සහ සාම්ප්‍රදායික ප්‍රමිති පිළිබඳ ගුණසිංහ දැක්වූ නූතනවාදී නොසැලකිල්ල, උග්‍ර විවාදයක් ජනිත කරවමින්, එහි කලාත්මක දිශාව යළි සකස් කර සිංහල කවියේ විප්ලවීය වෙනසක් ඇති කළේ ය.
සාම්ප්‍රදායික පද්‍යයේ නොගැඹුරු බවට අභියෝග කරමින් ගුනසිංහ, කථා කරන භාෂාව යොදා ගැනීම වෙනුවෙන් සටන් කළේ ය. ලැබිය යුතු අඛණ්ඩ ශාස්ත්‍රීය අවධානය ඔහුගේ කෘතිවලට නොලැබුණ ද, මෑත කාලීන කටු ගා දැමීම් මෙම නොසලකා හැරීම ගැඹුරු කර තිබුණ ද, සමාජය හුදකලා ජාතිකවාදී හැඟීම්වලින් ඔබ්බට ගෙන යෑම සඳහා ඔහුගේ නූතනවාදී දැක්ම දැවැන්ත විභවයක් දරා සිටියේ ය. රාහුල විද්‍යාලයේ 8 වන වසරේ දී මගේ සිංහල සාහිත්‍ය ගුරුවරයා වූ එම්. එස්. සහබන්දු මහතා පැවැත්වූ පන්ති අතරතුර දී ගුනසිංහගේ නිසඳැස් කවි ගැන ඉගෙනීම විචිත්‍ර ලෙස මගේ මතකයේ රැඳී තිබේ.
ආචාර්ය ගාමිණී හත්තොටුවේගම
පසුව, 1964 දී පමණ රිච්මන්ඩ් විද්‍යාලයේ දී, ප්‍රකට නාට්‍ය රචකයෙකු, විචාරකයෙකු, අධ්‍යාපනඥයෙකු සහ ශ්‍රී ලංකා වීදි නාට්‍ය කලාවේ පියා වූ නැසී ගිය ආචාර්ය ගාමිණී හත්තොටුවේගම, ඔහුගේ පාඩම්වල දී මෙම විවාද යළි සාකච්ඡාවට ලක් කළේ ය. අකුටිල බවට හුරු නොමැතිව තිබුණ සමාජයක ඔහු, ලිංගික කුලුපග බව පිළිබඳ චමත්කාර රූපකයක් වූ, "සඳවතියේ මම ආවා සඳ පානේ සඳ උලන්ට" යන පද පෙළ ඇතුළත් ගුනසිංහගේ කවියක් විශ්ලේෂණය කළ ආකාරය තවමත් මගේ මතකයේ පවතී. මේ මතක සිහියේ තබා ගන්නා අතර ම, මා වෘත්තීමය සාහිත්‍ය විචාරකයකු නොවන බව පැහැදිලි කළ යුතු ය.
චිත්‍රය නිහඬ කවියක්, කවිය කතා කරන චිත්‍රයක්

ඉඳහිට කවි සහ ගීත ලියා ඒවා ගායනා කර ඇති මා සාකල්‍යවාදියෙකි. එසේ වුවත් ස්වර්ණකාන්තිගේ නිදහස් පද්‍ය එකතුව ගැඹුරින් ආවර්ජනය කරන්නට මට බල කර සිටියේය. 'ඔබ වින්ද ළමාවිය' කවියේ ළමා කාලය සහ වැඩිහිටි බව සහ 'සිහින' සහ 'අහසින් යති අම්මාලා' කවිවල දක්නට ඇති අන්දමට, ඇය ශ්‍රී ලංකාවේ ගත කල මුල් දිවිය සහ ඕස්ට්‍රේලියාවේ පරිණත කාන්තාවක් ලෙස ඇය සතු අත්දැකීම් අතර පවතින අසමානතා, ඇගේ කවි ජීවිතයේ ද්විත්වයන් සලකුණු කරයි. ව්‍යුහය මෙන්ම තේමාව අතින් කැපී පෙනෙන 'කය මිස සිතක්' නමැති කවිය ස්වරූපය අතින් විශේෂත්වයක් දක්වයි.
චිත්‍රය නිහඬ කවියක් බවත්, කවිය කතා කරන චිත්‍රයක් බවත් ප්ලූටාර්ක් වරක නිරීක්ෂණය කළේය. ස්වර්ණකාන්ති ඒ හා අදාළ ආවර්ජනයක් ප්‍රතිරාවයට නංවයි: “කවියක් යනු දැකිය නොහැකි පින්තූරයකි. පින්තූරයක් යනු වචන රහිත කවියකි.” එළිදැක්වීමේ දී, කථිකයන් කිහිප දෙනකු කාලය, සංස්කෘතිය සහ සන්දර්භය හරහා කවියේ භූමිකාව විතැන් වන බව අපට මතක් කර දෙමින් මෙම අදහස් පුළුල් කර ලූහ. කවියාට එය සුව පත් කිරීමේ යාත්‍රාවක් විය හැකිය; පාඨකයාට එය සහකම්පනය සහ බෙදාහදා ගත් මනුෂ්‍යත්වය උදෙසා මාවත් විවෘත කර දෙන, තමන්ගේම ජීවිත හා උද්වේගයන් ගෙන් ඔබ්බට පවතින ජීවිත හා උද්වේග උදෙසා වන කවුළුවක් විය හැකිය.
ඔරොත්තු දීමේ හැකියාව සහ අපේක්ෂා
ඓතිහාසික වශයෙන් ගත් විට: ලෝ වැඩ සඟරාව, සැළලිහිණි සන්දේශය, ගණදෙවි හෑල්ල, බුද්ධ ගජ්ජය සහ නරසීහ ගාථා යනාදි කෘති තුළ සාර ධර්ම සහ සංස්කෘතික මතකය සුරකිමින් කවිත්වය, ශ්‍රී ලංකාවේ මුල්කාලීන සාහිත්‍ය සංරක්ෂණාගාරය ලෙස සේවය කළේ ය. මතු පරම්පරාවට අත්දැකීම් ග්‍රහණය කර ගැනීමට දක්වන ඒ හා සමාන ආවේගයක් ස්වර්ණකාන්තිගේ “අප දෙදෙනා” කාව්‍යය තුළින් මට දැනේ.

අයුක්තියට අභියෝග කරමින්, ආන්තීකරණයට ලක් කරන ලද අයගේ හඬ විස්තාරණය කරමින් සහ සමාජ ආවර්ජනය පොලඹවා ලමින් කවිය, දිගු කලක් තිස්සේ විරෝධතාවේ හඬක් ලෙස පැවත ඇත. කාන්තාවක් වශයෙන් ස්වර්ණකාන්ති කාන්තාවන්ගේ දුක් වේදනා, ඔරොත්තු දීමේ හැකියාව සහ අපේක්ෂා ගැන සංවේදීතාවෙන් හා ධෛර්යයෙන් යුක්ත ව රචනා කරයි. “කය මිස සිතක්”, “වෙසතුරු සිරිත”, “ප්‍රයත්න” සහ “සායම” යනාදි කවිවල මෙය වඩාත්ම ඉස්මතු වී පෙනේ.
රූපක, උපමා සහ රිද්මය දක්ෂ ලෙස භාවිත කිරීම
වචන මාලාව පුළුල් කරමින්, අවබෝධය ගැඹුරු කරමින්, විවේචනාත්මක චින්තනය උත්තේජනය කරමින් සහ කලාවක් ලෙස භාෂාව කෙරෙහි රසිකත්වයක් පෝෂණය කරමින් කවිය, ලේඛකයා සහ පාඨකයා යන දෙදෙනා ම පොහොසත් බවට පත් කරයි. ප්‍රීතිය, ශෝකය, බලාපොරොත්තුව සහ ගැටුම් පිළිබඳ බෙදාහදා ගත් අත්දැකීම් සමග සම්බන්ධ වෙමින් ජීවිතයේ සංකීර්ණතා සැලකිලිමත් ලෙස තෝරා ගත් වචන බවට ආසවනය කරන කවිය, පෞද්ගලිකත්වය විශ්වයීය බවට පරිවර්තනය කරයි. “දුරයි”, “පිණිබිඳ” සහ “ස්නේහයෙන්” යනාදි කවිවල: රූපක, උපමා සහ රිද්මය දක්ෂ ලෙස භාවිත කිරීමෙන් ස්වර්ණකාන්ති මෙය සාක්ෂාත් කර ගනියි.
කවි ලිවීම යනු සංවේදීතාව, තීක්ෂ්ණ බුද්ධිය සහ ශිල්පීය හැකියාව වර්ධනය කිරීමයි. ස්වර්ණකාන්තිගේ පුළුල් ජීවිත අත්දැකීම් සමග, වසර ගණනාවක් පුරා ඇය සාහිත්‍යය සමඟ නියැළී සිටීම, සාහිත්‍යය කියවීම සහ පරිවර්තනය කිරීම, ඇයට සුවිශේෂී දාර්ශනික සහ භාවාත්මක ගැඹුරක් ලබා දී ඇත. ඇගේ කවි අවංක බවෙන් සහ අවදානමට බඳුන් වීමේ හැකියාවෙන් පොහොසත් ය. ඒවා ඇගේ භාෂා ග්‍රහණය පමණක් නොව ජීවමාන අත්දැකීම්, හැඟීම් දනවන කලාත්මක ප්‍රකාශන බවට හැඩ ගැස්වීමට ඇති ඇගේ හැකියාව පිළිබිඹු කරයි.
විශේෂ ප්‍රශංසාව සහ කෘතඥතාව
සරත් චන්ද්‍රජීවමෙම කාව්‍ය සංග්‍රහය දෘශ්‍යමය වශයෙන් ද කැපී පෙනේ. මෙම කෘතිය අතේ ගෙන යා හැකි ගැලරියක් බවට හරවා ලමින්, එහි කවියක් අඩංගු හැම පිටුවක් ම පාහේ ශ්‍රී ලාංකික සහ ජාත්‍යන්තර ප්‍රදර්ශනවලින් ලබාගත් වර්ණ නිදර්ශන පිටුවකින් පොහොසත් කර ඇත. කියවීමේ සංවේදී අත්දැකීම ඉහළට ඔසවා ලමින් පද සහ රූප එකිනෙක හා බැඳේ. මෙම පිටු අලංකාරවත් කරන මහාචාර්ය සරත් චන්ද්‍රජීව ගේ අසිරිමත් සිතුවම් සහ කෘතියේ නිර්මාණය කෙරෙහි ඔහු දක්වා ඇති දැඩි අවධානය වෙනුවෙන් ඔහුට විශේෂ ප්‍රශංසාව සහ කෘතඥතාව හිමි විය යුතුය.ස්වර්ණකාන්ති ගේ මංගල කාව්‍ය සංග්‍රහය පොතකට වඩා වැඩි යමක් ඉදිරිපත් කරයි. නිර්ලෝභිත්වයෙන් සහ අලංකාරයෙන් හෙබිව පිරිනමනු ලබන කාව්‍ය සහ දෘශ්‍ය කලාවේ කුලුපග සම්මිශ්‍රණයක් වන එම කෘතිය කියවිය යුතු, ළඟ තබා ගත යුතු, දැකිය යුතු සහ රස විඳිය යුතු එකකි. අඩංගු හැම වියමනක් තුළ ම ජීවිතයේ සැමරුම් උත්සවයක් ඉදිරිපත් කරන එය, හමු වන්නට තරම් වාසනාවත් වන ඕනෑම කෙනෙකුට තිළිණයක් ද වෙයි.

(සටහන | ආචාර්ය ලයනල් බෝපගේ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
(ජවිපෙ හිටපු ලේකම්වරයෙකි)
මෙල්බර්න් නුවර, ඔස්ට්‍රේලියාව
2025 නොවැම්බර් 21 වන දා
lionel.bopage@gmail.com




