The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

පාරවල් දෙපැත්තේ එල්ලනවාට වඩා තණකොළ වලින් ගත හැකි වැඩ තිබේ

T

The Leader Desk

November 23, 2025 • 5:09 AM

පාරවල් දෙපැත්තේ එල්ලනවාට වඩා තණකොළ වලින් ගත හැකි වැඩ තිබේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ, එම රැළියට එන්නවුන් ගව මහීෂාදීන් සේ සලකා, ඔවුන්ට ආහාර පිණිස තැබූ බවක් අඟවමින් විය යුතු ය.
  • සාමාන්‍යයෙන් එබඳු අවස්ථාවල යොදා ගත හැකි සේම මින් පෙර භාවිත වී ඇති ප්‍රචණ්ඩත්වය වෙනුවට එවන් අවමන් සහගත සරදමක් හෝ කිරීම බැරෑරුම් දෙයක් සේ අපට නොහැඟේ.
  • එහෙත්, එවැනි අවමානයකට ලක් වූවන්ගේ හඬ වේගවත්ව සමාජගත වන සමයෙක, ඔවුනට නින්දා අපහාස කිරීම සාර්ථක විසඳුමක් නොවන බව අපගේ වැටහීම ය.
  • නිශ්චිතව තහවුරු කළ නොහැකි මුත්, මතුපිටින් පෙනෙන අන්දමට ජාතික ජන බලවේග ක්‍රියාකාරීන් විසින් සිදු කරන ලද බවක් පෙනෙන මෙම ක්‍රියාවේ වුව ද එතරම් සාර්ථකත්වයක් දක්නට නොලැබෙන්නේ, එම තණකොළ අතරේ සැබැවින්ම ගවයන් ආහාරයට නොගන්නා තෘණ වර්ග ද බහුලව තිබීම නිසා ය.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒ, එම රැළියට එන්නවුන් ගව මහීෂාදීන් සේ සලකා, ඔවුන්ට ආහාර පිණිස තැබූ බවක් අඟවමින් විය යුතු ය. සාමාන්‍යයෙන් එබඳු අවස්ථාවල යොදා ගත හැකි සේම මින් පෙර භාවිත වී ඇති ප්‍රචණ්ඩත්වය වෙනුවට එවන් අවමන් සහගත සරදමක් හෝ කිරීම බැරෑරුම් දෙයක් සේ අපට නොහැඟේ.

එහෙත්, එවැනි අවමානයකට ලක් වූවන්ගේ හඬ වේගවත්ව සමාජගත වන සමයෙක, ඔවුනට නින්දා අපහාස කිරීම සාර්ථක විසඳුමක් නොවන බව අපගේ වැටහීම ය. එය ඔවුන් තවදුරටත් කුළුගැන්වීමක් වීමට ද ඉඩ තිබේ.

grasas987
නිශ්චිතව තහවුරු කළ නොහැකි මුත්, මතුපිටින් පෙනෙන අන්දමට ජාතික ජන බලවේග ක්‍රියාකාරීන් විසින් සිදු කරන ලද බවක් පෙනෙන මෙම ක්‍රියාවේ වුව ද එතරම් සාර්ථකත්වයක් දක්නට නොලැබෙන්නේ, එම තණකොළ අතරේ සැබැවින්ම ගවයන් ආහාරයට නොගන්නා තෘණ වර්ග ද බහුලව තිබීම නිසා ය. ඒ අනුව, මෙම තණකොළ එල්ලීම මඟින් ඔවුන් තුළ ගව පාලනය සම්බන්ධ නොදැනුවත්කම මැනවින් ප්‍රදර්ශනය වේ.

ස්වාභාවිකව විෂ සහිත තෘණ වර්ග සහ පෝෂණ ගුණයෙන් අඩු හෝ රසවත් නොවන තෘණ වර්ග ආහාරයට ගැනීමෙන් වැළකී සිටීමට ගවයන් තුළ පවත්නා ස්වාභාවික නැඹුරුව, ගව පාලනයේ යෙදෙන බොහෝ දෙනකුට රහසක් නොවේ. තෘණ වර්ග වැවෙන කලාපය අනුව සහ තෘණවල මේරීම් අවධිය අනුව ගවයන් ඒවා ආහාරයට ගැනීමේ වෙනස්කම් ඇති වේ. එමෙන්ම, ගවයන් ආහාරයට නොගන්නා හෝ අවම වශයෙන් ආහාරයට ගන්නා තෘණ වර්ග ද බොහොමයකි. ආහාරයෙන් පසු හානිදායක විය හැකි විෂ සහිත ශාක වර්ග ස්වාභාවිකවම මඟ හරින ගවයන් අධික කුසගින්නේ සිටින විට හෝ වෙනත් ආහාර විකල්ප නොමැති විට ඇතැම් තෘණ වර්ගවලින් ස්වල්පයක් අනුභව කරන බව ගව පාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

එමෙන්ම සමහර තෘණ වර්ගවල රසය හෝ වයනය (Texture) නිසා ගවයන් ඒවාට රුචි නොවන අතර, ඇතැම් තෘණ වර්ග මෝරා යත්ම ඒවායේ තන්තු ප්‍රමාණය වැඩි වන බැවින් ගවයන්ට දිරවීමට අපහසු සහ රළු වේ. සමහර වාර්තාවලට අනුව, ගස් යට සෙවණෙහි වැඩෙන තෘණවල පෝෂණ ගුණය අඩු වීම හෝ වෙනත් රුචිකත්වයට බලපාන හේතු නිසා ගවයෝ ඒවා අනුභව නොකරති.

 

ar3

ආර් හෝර්කින්

 

මෙවන් පසුබිමක් යටතේ, එක්තරා තෘණ වර්ගයක් සම්බන්ධයෙන් චීනයේ විශාලතම කාන්තාර භූමිය ලෙස සැලකෙන මොන්ගෝලියාවේ ආර් හෝර්කින් බැනරයෙන් විස්මිත පුවතක් වාර්තා වෙයි.

ආර් හෝර්කින් බැනරය පිහිටා ඇත්තේ චීනයේ විශාලතම වැලි භූමිය වන හෝර්කින් වැලි භූමියේ බටහිර කලාපයේ ය. බැනරයෙන් සියයට තිහක් වැලි සහිත භූමියක් වන අතර, දිගු කාලයක් තිස්සේ එහි ස්වාභාවික තණබිම්වලින් සියයට 60 ක් හායනය වී වැලි සහිත විය. දූවිලි කුණාටු මෙහි නිතර දක්නට ලැබුණි. නමුත් 2011 සිට සෑම වසරකම කිලෝමීටර් 133 ක් ‘ඇල්ෆල්ෆා’ තෘණ වර්ගය වගා කිරීම නිසා එය දැන් හරිත සාගරයක් සේ ගුවනට දිස්වෙයි.

ඇල්ෆල්ෆා (Alfalfa – Medicago sativa) ලුසර්න් ලෙස ද හැඳින්වේ. එය රනිල කුලයට හා ෆැබේසියේ පවුලට අයත් බහු වාර්ෂික සපුෂ්ප ශාකයකි. එය ලොව පුරා බොහෝ රටවල වැදගත් ආහාර බෝගයක් ලෙස වගා කරන අතර, තෘණ, පිදුරු සහ සයිලේජ් සඳහා මෙන්ම කොළ පොහොර සහ ආවරණ බෝගයක් ලෙස ද භාවිත කරයි. ඇල්ෆල්ෆා යන නම උතුරු ඇමරිකාවේ භාවිත වන අතර, ලුසර්න් යන නම එක්සත් රාජධානිය, දකුණු අප්‍රිකාව, ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තයේ බහුලව භාවිත වේ. ඇල්ෆල්ෆා උණුසුම් සෞම්‍ය දේශගුණයට ආවේණික ය. අවම වශයෙන් පුරාණ ග්‍රීකයන්ගේ සහ රෝමවරුන්ගේ යුගයේ සිට එය පශු සම්පත් ආහාර ලෙස වගා කර ඇත. ඒ අනුව එය කෘෂි ශිෂ්ඨාචාරයන් ගොඩ නැංවීමට මූලෝත්පාදක වූ ශාකයක් බව පුරාවිද්‍යාඥයන් විසින් ද තහවුරු කර තිබේ.

ar2ආර් හෝර්කින්

එමෙන්ම මොන්ගෝලියාවේ ගොවීන් උසස් තත්ත්වයේ කිරි නිෂ්පාදනය කිරීම සඳහා වරක් හිස්ව තිබූ තණ බිම් ඇල්ෆල්ෆා පදනම් කොට හරිත කෙත් බවට පත් කරමින් සිටින බව වාර්තා වෙයි. ඒ අනුව ඔවුන් මේ වන විටත් ආර් හෝර්කින් බැනරය හරිත පාරාදීසයක් බවට පත් කොට ඇත. ඇල්ෆල්ෆා ප්‍රෝටීන්, විටමින් සහ තන්තු වලින් පොහොසත් වන අතර, එළදෙනුන්ට වැඩි කිරි ප්‍රමාණයක් නිපදවීමට එය උපකාරී වෙයි. එය විස්තර වනුයේ ‘කිරි උල්පත් මැවීමක්’ ලෙසිනි.

ශ්‍රී ලාංකේය කෘෂිකාර්මික පද්ධති සහ පශු සම්පත් නිෂ්පාදන විශේෂඥ ජ්‍යෙෂ්ඨ උපදේශක, කාර්මික කෘෂිකර්ම හා පශු සම්පත් නිෂ්පාදන කළමනාකරණ විශේෂඥ මහාචාර්ය ආචාර්ය ඒ.ආර්. එම්. සියාඋල් හසන් පවසන අන්දමට, ආහාරවල රැජින ලෙස බොහෝ විට හඳුන්වන ඇල්ෆල්ෆා යනු එහි ඉහළ පෝෂණ අගය, අනුවර්තනය වීමේ හැකියාව සහ පාංශු සාරවත් බව වැඩි දියුණු කිරීමේ හැකියාව සඳහා ප්‍රසිද්ධ බහු වාර්ෂික රනිල කුලයට අයත් බෝගයකි.

ලොව පුරා හෙක්ටයාර මිලියන 32 කට වඩා ආවරණය වන පරිදි රටවල් 80 කට අධික සංඛ්‍යාවක ඇල්ෆල්ෆා වගා කෙරේ. එහි ගැඹුරු මූල පද්ධතිය සඳහා ප්‍රසිද්ධ මෙම බෝගය නියඟයට ඔරොත්තු දෙන, නයිට්‍රජන් සවි කරන සහ වාර්ෂිකව බහු අස්වැන්නක් නිපදවීමට හැකියාව ඇත. පශු සම්පත් පද්ධතිවල, ඇල්ෆල්ෆා එහි ඉහළ ප්‍රෝටීන් අන්තර්ගතය, ජීර්ණය කිරීමේ හැකියාව සහ විටමින්-ඛනිජ පැතිකඩ සඳහා අගය කරනු ලබන අතර, එය වාරික ආහාරයක් බවට පත් කරයි. පශු සම්පත් පෝෂණය සහ පාංශු වැඩිදියුණු කිරීම සඳහා ඇල්ෆල්ෆා දායකත්වය අසමසම ලෙස පවතී. මිශ්‍ර බෝග-පශු සම්පත් පද්ධතිවලට එය ඒකාබද්ධ කිරීම ගොවීන්ට ආර්ථික හා පාරිසරික ප්‍රතිලාභ ලබා දෙයි.

ar1ආර් හෝර්කින්

මහාචාර්යවරයාගේ එම අනාවරණය මත පදනම්ව, වත්මන් ආණ්ඩුව මේ වන විටත් නිසි ලෙස විසඳුම් නොලැබුණු ජනතා ප්‍රශ්න විසඳීම පිණිස එවන් නව කෘෂි ආර්ථික උපාය මාර්ගයන් හඳුනා ගෙන, ප්‍රායෝගික යථාර්ථයක් වන පරිදි ඒවාට විසඳුම් ලබා දිය යුතු ය. ඒ අනුව, අප ජාතික ජන බලවේග ආධාරකරුවන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටිනුයේ විරුද්ධ පාක්ෂිකයන් ගවයන් සේ සලකා ගවයන්ට ආහාරයට ගත නොහැකි තණකොළ මිටි එල්ලා තැබීමේ යල්පැන ගිය නිසරු ක්‍රියා අත හැර, ඉදිරි කාලය තුළ දී වත් ජනතා ප්‍රශ්න නිවැරදිව වටහා ගෙන, ඒවාට නිසි විසඳුම් දෙන ක්‍රියාවලියකට අවතීර්ණ වන ලෙස රජයට බල කරන ලෙස ය. මක්නිසාද, මේ වන විට වත්මන් ජාතික ජන බලවේග ආණ්ඩුවට එරෙහි ජන බලවේග ශීඝ්‍රයෙන් හිස ඔසවමින් තිබෙන බැවිනි.

(සටහන | ෆාතිමා හලල්දීන්)

උපුටා ගැනීම - .vinivida.lk

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...