එය මට නොවැම්බර මීදුම මෙනි. සාටෝපයෙන් තොර ය. රිද්දනසුළු ය. එමෙන්ම විශ්මිත වන්නේ ද වෙයි. මෙවන් කවියක් ඔහු තුළින් මතුවීමේ ඉන්ද්‍රජාල කාරණාව කුමක් ද? මම සිතමි.
ඔහු ඉන්ද්‍රජාලක්කාර කවියකු නො වීම ය.
මේ මොහොතේ ගෙවී යන නොවැම්බරය වන විට ධර්මසිරි රාජපක්ෂ කවියා නික්ම ගොස් වසර නමයක් ඉක්ම ගොසිනි. ඔහු ජීවත්ව සිටි අවධියේ ඔහු ගැන කතා නො කළාක් මෙන් ම ඔහු නික්ම ගිය පසු ද ඔහු ගැන හෝ ඔහුගේ කවිය ගැන වැඩි කතා බහක් නැත. ඔහු ගැන ලිවීම හෝ කතා කිරීම වැඩියෙන්ම මඟහැරෙන්නේ ඔහු සමඟ සමාන්තර වෙමින් කවිය පෝෂණය කරන්නට දායක වූ පරාම්පරවට වීම වේදනාව ඉක්මවා යන හැඟීමක් උපද්දවයි.

වතුකරය ගැන රුපියල් දෙසීයට වැටුණු සංවාද විවාද පැනනැඟී ඇති සමයක ඔහු ස්වකීය දෙවැනි කාව්‍ය සංගහය වූ ‘ශක්තියේ පුෂ්පය’ තුළ රැඳවූ ලැයිමේ තියා ආ කඳුළ මෙනෙහි වූයේ නිතැතින් ය. කොටස් තුනකට බෙදා වෙන් කළ සංක්ෂිප්තකර කවිය ඇරඹෙන්නේ මෙහෙම ය.
ලැයිමක් ලඟින් මා හවසක යන කලට
හැඬුමක් ඇසුණි පොඩි එකෙකුගෙ කිරි කටක
රිදුමක් උණුවුණා නෑ කමට වැට දැක
කඳුළක් තියා ආවෙමි රහසෙම දුකට
ජේ.ඩී.එස්. හෙවත් ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාද්‍යවේදීයෝ සංවිධානයේ වෙබ් අඩවියේ ‘අවකාශ’ නම් කාව්‍ය තීරයේ, මෙම කවි පළ කරමින් රෝහිත භාෂණ අබේවර්ධන සහෝදරයා මෙසේ ලියා ඇත.
‘’හැත්තෑව සහ අසූව දශක දෙක තුළ සිංහල කවියේ ගමන් පථය තීරණය කිරීමෙහි ලා කළ මෙහෙය හා සසඳා බැලූ විට, අඩුවෙන්ම ඇගයුම් ලැබූ බලවත්ම කවියා ධර්මසිරි රාජපක්ෂ විය යුතු ය. දුෂ්කර දිවි සටනින් ද, මානසක අසමතුලිතතාවේන් ද, කායික ඔත්පලභාවයෙන් ද, අකාරුණික නො තකා හැරීමෙන් ද, පරිපීඩිත ධර්මසිරි, පළමු කාව්‍ය සංග්‍රහ දෙක අතර දස වසක් ද, තුන්වැන්න සඳහා විසි පස් වසක් ද කල් ගත්තේ ය. ප්‍රශස්ති ප්‍රබන්දයට හෝ රණවිරු වන්දනාවට පිරිහෙලීමෙන් වැළකී සිය කවිකමෙහි නිර්ව්‍යාජ පිළිවෙත්ගරුක ශක්තිය දිවි හිමියෙන් සුරැකි හේ, 2016 නොවැම්බර් මාසයේ කුරුවිට, කඳන්ගොඩදී සිය විඩාපත් දිවියෙන් සමුගත්තේ ය. ‘’භාෂණ මේ මතුකරන අව්‍යාජත්වය පිළිබඳ කාරණය සමකාලීන කවිය අරභයා වඩා අවධාරණය කළ යුතු සංවාද කලාපයකි. කවි ලිවීම වනාහී අද වන විට අතිශය සරල දෙයකි. කවිය සරලමතික කියවීමක්, භාවිතයක් බවට පත්වීම කතිකාමය ගොඩනැවීමකි. කවිය පිළිබඳ කතිකාව අල්ලාගත්තකුට කවි ලියන්නට පිළිවන. සමාජ මාධ්‍ය අවකාශයට අල්ලලා යන කවියක් ලිවීම එහිම දිගුවක් වැනි ය.
කතිකාව විසින් ගොඩනැංවෙන කවියේ අර්බුදය ලෙස මගේ නිරීක්ෂණයට හසුවන්නේ මෙකී කාව්‍ය ශරිරියට ආත්මයක් නොමැති වීමයි. කවියට ආත්මයක් නොමැති වීමට හේතුව වන්නේ පළමුව මෙකී කවිය යතාභූත නො වීමයි; සද්භාවී නො වීමයි. වඩාත්ම සරලව කියන්නේ නම් අව්‍යාජත්වය කවිය තුළ නො පැවතීමයි. ආත්ම විදාහරණය පිණිස කවිය සොයා පාදාගත් කිසියම් ලියන්නකු වේ නම් ඔහු දෛනික ප්‍රීනනය පිණිස සමාජ මාධ්‍ය කතිකාවට සමාන්තර වූ කල, මගේ අවබෝධය වන්නේ, මෙහිදී පවා, ඔහු කෙරෙන් කවිය අපේක්ෂා කරන අව්‍යාජත්වය අතුරුදන් වන බවයි. ‘ඔතෙන්ටික් පොයෙට්‍රි’ හෙවත් සද්භාවී හෝ අව්‍යාජත්ව කවිය යනු සද්භාවී මනුෂ්‍යත්වයක් ගැන ලිවීම හෝ අව්‍යාජ මනුෂ්‍යත්වයක් ගැන ලිවීම නොවේ. එමෙන්ම සද්භාවය ගැන හෝ අව්‍යාජභාවය ගැන කවි ලිවීමද නොවේ. සද්භාවී කවිය අවශ්‍යයෙන්ම සහ සචේතනිකවම භාවාත්මක අවංකකම රැඳුණු, ආත්ම-පරාවර්ථන කවියකි;
කවියේ පැවැත්ම වන්නේ අව්‍යාජත්වය ලෙස පැතිරී පැවතීමයි. එය කළ හැක්කේ කතිකාවෙන් මෙන්ම ව්‍යාජ කාව්‍ය අධිනිෂ්යවීම්වලින් ඔද්දල් නොවුණු ආත්මියත්වයක් සහිත කවියකුට ම පමණි. මෙකී අර්ථයෙන් සිහිපත්වන ප්‍රමුඛ ජ්‍යෙෂ්ඨයා ධර්මසිරි රාජපක්ෂ කවියා ය.
‘’අද්දැකීම් හදවත ඇතුලෙ අතුරලා, බුද්ධියට අරන්, බුද්ධිය ඇතුළෙ කපල කොටලා, පොඩි කරල දාන්න ඕනෙ. එතකොට තමයි කවියෙ සුවඳ එන්නෙ.” ධර්මසිරි රාජපක්ෂ කවියා කවිය ගැන කීවේ එලෙසින් ය.

කවි කියවීම,විඳීම මෙන්ම කවියෙහි ගැලී විඳවීම අධ්‍යාත්මයේ අවිච්ඡින්න පදාසයක් බවට පත් වූ මුල් සමයේ සිටම ධර්මසිරිගේ කවියෙහි වන හද සසලවන නිර්ව්‍යාජ ගුණයෙන් සෞන්දර්ය ප්‍රීතියට පත්ව සිටිය ද, ඔහු ‘වියතුන් සභා මැද’ දක්නට නොවුයෙන් ඔහු කොහේ කොහොම සිටින්නේ ද යන්න දැක බලා ගැනීමේ හෙවත් භෞතිකව ඔහු මුණ ගැසීමේ ලාලසාවක් සන්තානගතවැ පැවතිණ. 2003 වසරේ අගභාගයේ කිසියම් දවසක මට ඔහු දැක බලා ගන්නටත්, ඔහු සමඟ කාව්‍ය කේන්ද්‍රීය කයියක් ගසන්නටත් අවස්ථාව ලැබිණ. කුරුවිට ආනන්ද බෝධි මාවතේ, කඳන්ගොඩ ජනපදයේ පාලම අසල පිහිටි ඔහුගේ නිවසට මා පිවිසියේ ධර්මසිරි කවියාගේ තුන්වැනි කෘතිය වූ ‘සඳවතුර’ අත්පිටපත්ව තිබිය දී ය. මා ඔහු ගැන 2004 ජනේරුවේදී රාවය පත්තරයට ලීවෙමි. ‘’මම, සඳ වතුර කැටුව එන්නෙමි’ මැයෙනි. ඔහු අත් පිටපතක් අතැතිව සිටින බව කොළඹ සංස්කෘතික සමාජයට නිවේදනය කළෙමි. ඒත් සමකාලීනයන් ගහණ සංස්කෘතික සමාජය ‘සඳවතුර’ නොදැක්කා සේ පසුවිය. ඇතැම් ප්‍රකාශකයන්ට ද, ප්‍රකාශන සමාගම් ඒජන්තයන්ටද ධර්මසිරි කවියා මුණගැසෙන්නට සම්බන්ධීකරණයක් හදන්නට උත්සාහ කළෙමි. ඒත් 2010 වනතුරු නොගලා ඉවසන්නට ‘සඳවතුර’ට සිදුවිය.
ධර්මසිරිට කවිය හමුවුණේ සමනොළ ගිර පාමුලදී ය. ඔහු එබැව් මට කීවේ මෙලෙසිනි.
‘‘මගේ ගම තමා සිරිපාදෙ යන පාරේ තිබ්බ එරත්න. එහෙ තමයි අපි හැදුණෙ වැඩුණෙ. හරි දුප්පත් මිනිස්සු හිටපු ගමක්. සිරිපාදෙ වාරෙට ගමේ අය පොඩි පොඩි කඩ කරනවා. අපේ තාත්තත් කඩයක් කළා. සිරිපාදෙ වාරෙට අපිත් බඩුමුට්ටු කරගහගෙන හය හත් වතාවක් කන්ද නගිනවා. සිරිපාදෙ වාරෙට අපේ ගම්වල ගස් අතු ඉති පවා සිරිපාදෙ පැත්තට හැරිල තිබුණෙ. අපිට හරි පුදුමයි. මොකද ගස් ගල් පවා බුදුන්ගෙ සිරිපතුලට වදින එක පුදුමයක් නෙමේද? පස්සෙ අපි දැනගත්තෙ හුළං සැරේට අතු ඉති ඒ අතට නැමිල තියෙන්නෙ කියල. ඒකම තමයි කවි ඇසින් දැකීම වුණේ.”
කතාබහ අතරතුර මම ඔහුගෙන් ‘ඔබට දැනෙන හැටියට කවියට කරන්න පුළුවන් දේ කුමක්දැ’යි විමසුවෙමි.
‘‘කවියට පුළුවන් ජීවිතේ සේරම බර පටවන්න.’’ ඔහු තනි වැකියකින් එසේ කීවේ ය. ඉන්පසු මෙසේ එය ඌණ පූරණය කළේ ය. ‘’අනිත් මාධ්‍යයන්ට වඩා කවිය ප්‍රබල වෙන්නෙ ඉතාම සියුම් විදියට ඒ බර පටවන්න පුළුවන් කවිය මත හින්ද. ජීවිත තක්සලාවේ, සොබා සෞන්දර්යයේ හා ජීවන සෞන්දර්යයේ භාෂාමය එකමුතුවක් කවිය තුළ තියෙන්න ඕනෙ. එහෙම වුණාම වේදනාව තුළ පවා තිබෙන සෞන්දර්යය ඔබට පේන්න ගන්නවා.’’
ඔහුගේ කවිය පිළිබඳ මා තුළ වූ චින්තාව හැමදාම එලෙසම ය. ඔහුගේ අව්‍යාජත්වයෙහි වරනැඟෙන්නේ ආදරය පිළිබඳ දාර්ශනික එළඹුමකි; ජීවිතය පිළිබඳ දාර්ශනික කැළඹුමකි.
‘’ඔබේ කවිය ජීවන අද්දැකීම් ඇසුරින් නිර්මිත බව ඇත්ත. ඒත් ඔබේ පරිකල්පනය තුළ දාර්ශනික චින්තාවන් පෙළ ගැසී තිබෙනවා’’ යැයි මම ඔහු හමුවේදී ඔහුට කීවෙමි. ඒ දශක දෙකකට පෙර ය. ඔහුගේ පිළිතුර සමකාලීන මොහොතේ පවා කතිකාවෙන් කවි ලියන්නන් කළම්බනසුළු ය.
‘‘ජීවිතය කියන්නේ සුන්දර දෙයක් නොවෙයි. මම හරියට දුක් වින්ද පුද්ගලයෙක්. ඇත්තෙන්ම ජීවිතය කටුකයි. මේ අද්දැකීම් සුමටව මතු කරන්න නම් අපි චිරන්තන ගද්‍ය, පද්‍ය සාහිත්‍යය පරිශීලනය කරලා තියෙන්න ඕන. එහෙම නොලියවෙන ඒවා කිසි බරක් නෑ. පාවෙනවා. පාවෙන කවි.”
ධර්මසිරිගේ කවි පාවෙන්නේ නැත. එ හැම කවක්ම එකින් එක ගෙන විමසුව ද මතු වන්නේ හික්මවන ලද ඔහුගේ වේදනාවයි. ඔහුට පවා නො හසුවන ඔහුගේ අවිඥානයේ මුද්‍රාවයි. සද්භාවයේ ගැලුණු ආත්මීයත්වයේ සලකුණුවීමයි.
නොවැම්බරය වනාහී ‘සඳවතුර’ ඉහිරෙන, ‘ශක්තියේ පුෂ්පය’ මඟහැරගත් සියල්ලන්ට ම, නැවත නැවතත් ‘ඉතින් සහෝදරවරුනි’ කියා අමතන්නට සිතෙන සමයකි. ඊට ඇරඹුමක් වනු පිණිස මේ අව්‍යාජ කවියාගේ ‘‘එකම කුරුල්ලාගේ එකම නාදය” මෙසේ උපුටමි. ඊට ‘සහෝදරවරුන්ගේ’ අවසර නොපතමි.
සුළඟ දැඟළුම් නොදේවී
අහස ගොලු වී තිබේවී
එක දිගට එක කුරුල්ලෙක් හිඳ
එකම නාදෙන් ගයාවී
එවන් මොහොතක හැමවෙලේමත්
නුඹව සිහියට නැගේ වී....
(සටහන | මංජුල වෙඩිවර්ධන)
Manjula Wediwardena
Journalist/Writer
www.wediwardena.com
(මෙම ලිපිය 'අනිද්දා' ජාතික පුවත්පතේ පලවූවකි. අවධාරණ හා ජායාරුප අපෙන් - සංස්කාරක )




