The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ඉම්රාන් ඛාන් ඝාතන පුවතේ ඇත්ත නැත්ත

T

The Leader Desk

November 28, 2025 • 7:55 AM

ඉම්රාන් ඛාන් ඝාතන පුවතේ ඇත්ත නැත්ත

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ, ඔහු බන්ධනාගාරය තුළම හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව තහවුරු කරමිනි. ඉම්රාන් ඛාන් ආඩියාලා බන්ධනාගාරය තුළ දී ඝාතනය කර ඇති බවට කිසිදු නිල වාර්තාවක සඳහන් නොවුවද, සමාජ ජාල මඟින් පැතිර ගිය මෙම පුවත පාකිස්ථානය පමණක් නොව ජාත්‍යන්තරය ද කැළඹීමට ලක් කරන්නක් විය.
  • ඒ අනුව ඉම්රාන් ඛාන් තවමත් ජීවතුන් අතර සිටිය ද අතිශය දුර්වල තත්ත්වයක පසුවීම ඔහු බාහිර සමාජයෙන් වෙන් කර තැබීමට හේතු වී ඇති බවක් පාක්ෂිකයන් පවසා තිබේ.
  • මේ අතර, පාකිස්තාන ආරක්ෂක අමාත්‍ය කවාජා අසීෆ් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත්තේ ඊට ඉඳුරාම වෙනස් කතාවකි.
  • එනම් සිරගතව සිටින ඉම්රාන් ඛාන්ට තරු පන්තියේ හෝටලයකටත් වඩා ඉහළ මට්ටමේ පහසුකම් සහ ආහාරපාන ඇතුළු සැපපහසු දිවි පෙවෙතක් හිමි වන බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):


ඒ, ඔහු බන්ධනාගාරය තුළම හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව තහවුරු කරමිනි. 

ඉම්රාන් ඛාන් ආඩියාලා බන්ධනාගාරය තුළ දී ඝාතනය කර ඇති බවට කිසිදු නිල වාර්තාවක සඳහන් නොවුවද, සමාජ ජාල මඟින් පැතිර ගිය මෙම පුවත පාකිස්ථානය පමණක් නොව ජාත්‍යන්තරය ද කැළඹීමට ලක් කරන්නක් විය.

 

imran khan 1

ඉකුත් 26 වන දා තම සහෝදරයා හමුවීමට අවසර ඉල්ලා රාවල්පිණ්ඩිහි ආඩියාලා බන්ධනාගාරය ඉදිරිපිට රැස්ව සිටි ඉම්රාන් ඛාන්ගේ සහෝදරියන් තිදෙනා වන නෝරීන් ඛාන්, අලීමා ඛාන් සහ උස්මා ඛාන් යන තිදෙනා සහ පාකිස්තාන තෙහ්රීක්-ඊ-ඉන්සාෆ් (PTI) පක්ෂයේ ආධාරකරුවන් දැක් වූ නිහඬ විරෝධයකට පොලිසිය විසින් බිහිසුණු ලෙස ප්‍රහාර එල්ල කිරීම මුල් කොට, ඉම්රාන් ඛාන් සම්බන්ධ ප්‍රබල අබිරහසක් ඇතැයි මතු වූ අනුමානය, ඔහු ඝාතනය කර දේහය පිටස්තර ස්ථානයක සඟවා ඇති බවට සැක කෙරෙන බවට වන ප්‍රචාරය සමාජ මාධ්‍ය හරහා පැතිර යාමට මුල් වී තිබේ.

නමුත් ඉම්රාන් ඛාන්ගේ සුවදුක් බැලීමට පැමිණි ඔහුගේ සහෝදරියන් තිදෙනා ද බන්ධනාගාරයෙන් පිටත දී කුරිරු පොලිස් ප්‍රහාරයකට ලක්ව ඇති බවට පළ වන වාර්තා ප්‍රතික්ෂේප වී නොමැති අතර, ඔවුන් තිදෙනා මාසයක කාලයක් තිස්සේ ඉම්රාන් ඛාන් හමුවීමට අවස්ථාවක් ඉල්ලා සිටියද, මෙතෙක් ඒ සඳහා අවසර ලබා දී නොමැති වීමට නිශ්චිත හේතුවක් ද අනාවරණය වී නැත. ඒ අනුව ඉම්රාන් ඛාන් තවමත් ජීවතුන් අතර සිටිය ද අතිශය දුර්වල තත්ත්වයක පසුවීම ඔහු බාහිර සමාජයෙන් වෙන් කර තැබීමට හේතු වී ඇති බවක් පාක්ෂිකයන් පවසා තිබේ.

 



මේ අතර, පාකිස්තාන ආරක්ෂක අමාත්‍ය කවාජා අසීෆ් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත්තේ ඊට ඉඳුරාම වෙනස් කතාවකි. එනම් සිරගතව සිටින ඉම්රාන් ඛාන්ට තරු පන්තියේ හෝටලයකටත් වඩා ඉහළ මට්ටමේ පහසුකම් සහ ආහාරපාන ඇතුළු සැපපහසු දිවි පෙවෙතක් හිමි වන බවයි. හිටපු අග්‍රාමාත්‍යවරයාට බන්ධනාගාරයෙන් ලැබෙන ආහාර වට්ටෝරුව දෙස බැලූ විට එවැනි ආහාර වේලක් තරු පහේ හෝටලයකින්වත් සොයා ගැනීමට නොහැකි බවත් පාකිස්තාන ආරක්ෂක අමාත්‍යවරයා පවසා තිබේ. 

එමෙන්ම ඔහු නිරතුරු වෛද්‍ය පරීක්ෂාවන්ට ලක් කෙරෙන අතර, තමන් කැමති ඕනෑම රූපවාහිනී නාලිකාවක් නැරඹීමේ නිදහස මෙන්ම ශරීර සුවතා අභ්‍යාස කිරීමට අවශ්‍ය ව්‍යායාම උපකරණ ද ඉම්රාන් ඛාන් ට ලබා දී ඇති බව ද පාකිස්තාන ආරක්ෂක අමාත්‍යවරයා වැඩිදුරටත් අනාවරණය කර තිබේ. මීට අමතරව ඔහුට සැපපහසු ද්විත්ව ඇඳක් සහ ‘වෙල්වට්’ මෙට්ටයක් ලබා දී ඇති බවත්, සෙසු කිසිදු රැඳවියකුට ලබා දී නොමැති අන්දමින් බන්ධනාගාර අධිකාරීවරයාගේ පෞද්ගලික අධීක්ෂණය යටතේ ඔහුට මෙම වරප්‍රසාද හිමිව ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කොට තිබේ.

 mran khan2

ඉම්රාන් ඛාන්ගේ සහෝදරියන්

 

එමෙන්ම ඉම්රාන් ඛාන් ආඩියාලා බන්ධනාගාරය තුළ යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවත්, වෛද්‍ය ප්‍රතිකාර දිගටම ලැබෙන බවත් බන්ධනාගාර අධිකාරීන් ද මහජනතාවට සහතික වී ඇති බව “පාකිස්තාන් ටුඩේ” වෙබ් අඩවිය වාර්තා කර ඇත.

වර්තමාන තත්ත්වය එසේ වුව ද දූෂණ චෝදනා ඇතුළු වෙනත් චෝදනා කිහිපයකට හේතුවෙන් ඉම්රාන් ඛාන් 2023 අගෝස්තු මාසයේ සිට ආඩියාලා බන්ධනාගාරයේ රඳවා සිටින අතර, 2022 අප්‍රේල් මාසයේදී විපක්ෂය ගෙන ආ විශ්වාසභංග යෝජනාවකින් ඔහු අගමැති ධුරයෙන් ඉවත් කෙරිණි.

කවුරුන් මොනවා කීවත් ඉම්රාන් ඛාන් පසුගිය දශක කිහිපය තුළ පාකිස්තානයට අත් කර දුන් කීර්ති කදම්බය සුළුපටු නැත. 1992 වර්ෂයේ ලෝක ක්‍රිකට් කුසලාන ජයග්‍රහණය සඳහා පාකිස්තානය මෙහෙය වූ ඔහු හිටපු ජාත්‍යන්තර ක්‍රිකට් තරුවක් වන අතර, පසුව ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගත් අතර, සිය මව අනුස්මරණය උදෙසා පිළිකා රෝහලක් ඉදිකිරීම සඳහා ඩොලර් මිලියන ගණනක් අරමුදල් ලෙස රැස් කළේය. මහා දානපතිත්වයක් පදනම් කර ගත් එම ප්‍රවේශය ඔහුව දේශපාලනය කරා රැගෙන යාමට හේතු වූ අතර, එතෙක් තමන් සම්බන්ධයෙන් පැවති කෙළිලොල් ප්‍රතිරූපය වෙනුවට පාකිස්තානුවන් අතරේ නව ගෞරවනීයත්වයක් ගොඩ නඟා ගැනීමට ඉම්රාන් ඛාන් සමත් විය.

imhran khan 3

පාකිස්තාන තෙහ්රීක්-ඊ-ඉන්සාෆ් (PTI) පක්ෂයේ ප්‍රධානියා ලෙස ඉම්රාන් ඛාන් කටයුතු කරනු ලැබූ අතර, ඔහු පාකිස්තානයේ 19 වන අග්‍රාමාත්‍යවරයා ලෙස 2018 අගෝස්තු 18 සිට 2022 අප්‍රේල් 10 දක්වා පාකිස්තානයේ අගමැතිවරයා ලෙස ක්‍රියා කළේය.

2018 – 2022 බලයේ සිටින සමයේ ඉම්රාන් ඛාන් චීනයට බරව ක්‍රියා කළේ යැයි චෝදනාවලට ලක් වූ අතර, බලූකිස්තාන ආර්ථික කොරිඩෝව චීනය සමඟ ඇති කිරීමට ක්‍රියා කළත්, බලයෙන් ඉවත්වීමත් සමඟ චීන ආර්ථික ක්‍රියාකාරකම්වලින් පාකිස්තානය බැහැර වූ අතර, බලූකිස්තාන කලාපය වෙනම රාජ්‍යයක් ලෙස ප්‍රකාශ කරමින් සිටින බලූකිස්තාන බෙදුම්වාදී ගරිල්ලන්ගේ ප්‍රහාර 2024 සිට දැඩි වෙමින් පවතී.

ඔහු බලයට පත්වන විට විශාල ගෙවුම් ශේෂ අර්බුදයකට මුහුණ දුන් අතර, පසුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් (IMF) ආධාර ලබා ගැනීමට සිදු විය. උද්ධමනය සහ පාකිස්තාන රුපියලේ අවප්‍රමාණය වීම ඉතිහාසයේ ඉහළම අගයන් වාර්තා කළ බවට චෝදනා එල්ල විය. ඉස්ලාමීය මදීනා රාජ්‍යයේ ප්‍රතිපත්ති මත පදනම් වූ පාකිස්තානයක් ගොඩනැගීමේ දේශපාලන දැක්මක් ද ඔහු ඉදිරිපත් කළේය.

ඉම්රාන් ඛාන් බලයට පත්වීම සඳහා පාකිස්තාන හමුදාවේ සහය ලැබුණු බවට දේශපාලන විශ්ලේෂකයන් චෝදනා කළ අතර, පසුව හමුදාව සමඟ ඇති වූ සම්බන්ධතා පළුදු වීම ඔහුගේ බලයෙන් පහවීමට එක් හේතුවක් ලෙස සැලකේ. එමෙන්ම පන්ජාබයේ ජෙලම් දිස්ත්‍රික්කයේ අක්කර 60ක භූමි ප්‍රමාණයක් විශ්ව විද්‍යාලය සඳහා වෙන් කර තිබෙන නමුත් එහි ඉදිකිරීම් සිදුකර ඇත්තේ ඉතා සුළු වශයෙනි. එය ද ඔහු සම්බන්ධ චෝදනාවක් සේ එල්ල විය.

 adiyaa prison

ආඩියාලා බන්ධනාගාරය

 

ඉම්රාන් ඛාන් සහ ඔහුගේ බිරිඳ පුණ්‍ය ආයතනයක් හරහා දේපළ වෙළඳාමේ නිරත ව්‍යාපාරිකයෙකුගෙන් අල්ලසක් වශයෙන් ඩොලර් මිලියන ගණනක් වටිනා ඉඩමක් ලබා ගත් බවට රජයේ නිලධාරීහූ චෝදනා කළහ. එය අල්-කදීර් භාරයේ නඩුව ලෙස හැඳින්වේ. ඛාන් සහ ඔහුගේ සහයකයින් තමන් කිසිදු වරදක් කළ බව ප්‍රතික්ෂේප කරයි. 70 හැවිරිදි ඉම්රාන් ඛාන් පවසන්නේ මෙම චෝදනා දේශපාලන අරමුණක් මත එල්ල කරන ලද ඒවා බවයි. තමා බලයෙන් පහ කිරීමට දේශපාලන පක්ෂ රටේ ප්‍රබල හමුදාව සමග එකතු වී සිටින බවට ඔහු චෝදනා කරයි.

2019 දෙසැම්බර් 3 වන දින, එක්සත් රාජධානියේ ජාතික අපරාධ ඒජන්සිය (NCA) විසින් පාකිස්තානයේ ධනවත්ම සහ බලවත්ම ව්‍යාපාරිකයෙකු වන මලික් රියාස් හුසේන් සමග පවුම් මිලියන 190 ක බේරුම්කරණයක් පිළිබඳව නිවේදනයක් සිදුකරනු ලැබීය. එක්සත් රාජධානියේ ඔහුට අයත් ගිණුම්වල අත්හිටුවනු ලැබූ අරමුදල් “විදේශ රටක අල්ලස් සහ දූෂණයෙන් ලබාගත් ඒවා බවට සැක කෙරේ” යනුවෙන් එයින් කියවිණි. එම මුදල් පාකිස්තානයට ආපසු ලබා දිය යුතු බවට ද එම නිවේදනයේ දැක්විණි. 

නමුත් බහරියා ටවුන් කරච්චිට එරෙහිව පාකිස්තාන ශ්‍රේෂ්ඨාධිකරණයට පවුම් මිලියන 190ක් පියවීම සඳහා තමන්ට අයත් එක්සත් රාජධානියේ ඇති නීත්‍යානුකූල සහ ප්‍රකාශිත දේපළ විකුණු බව ඉම්රාන් ඛාන් එදිනම තම ට්විටර් ගිණුමේ සදහන් කර තිබිණි. එහෙත් වත්මන් රජය කියා සිටින්නේ පවුම් මිලියන 190 (ඩොලර් මිලියන 240) පාකිස්තානයේ භාණ්ඩාගාරයට ලබාදීම වෙනුවට; ඉම්රාන් ඛාන්ගේ රජය, කරච්චි නගරයේ වෙළඳපල වටිනාකමට වඩා අඩු මිලකට රජයේ ඉඩම් නීති විරෝධී ලෙස අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් මලික් රියාස් හුසේන්ට එරෙහිව පාකිස්තාන අධිකරණයක් විසින් ගොනු කරන ලද දඩ මුදල් ගෙවීමට එම මුදල භාවිත කර ඇති බවයි.

TOPSHOT - Supporters and activists of Pakistan Tehreek-e-Insaf (PTI) party shout slogans during a protest demanding the release of PTI leader Imran Khan, in Peshawar on January 28, 2024. (Photo by Abdul MAJEED / AFP) (Photo by ABDUL MAJEED/AFP via Getty Images)
තත්ත්වය එසේ වුව ද ඉම්රාන් ඛාන්ගේ ජනප්‍රියත්වය මේ වන තෙක් මඳක් හෝ අඩු වී නැත. 2023 මුලදී ගැලප් පාකිස්තාන් විසින් සිදු කළ සමීක්ෂණවලින් පෙනී යන්නේ, ඔහුට එරෙහි නීතිමය ක්‍රියාමාර්ග සහ අත්අඩංගුවට ගැනීම් සිදුවුවද, පාකිස්තානුවන්ගෙන් සැලකිය යුතු බහුතරයක් ඔහු කෙරෙහි අතිශය ධනාත්මක මතයක් දරන බවයි.

ඔහුට විශේෂයෙන්ම තරුණ පරම්පරාව සහ නාගරික ප්‍රදේශවල විශාල සහයෝගයක් හිමි වේ. ඔහුගේ ජනප්‍රියත්වයට ඔහුගේ විචිත්‍රවත් නායකත්ව විලාසය සහ දූෂණයට එරෙහි ස්ථාවරය හේතු වී ඇත.

ක්‍රීඩකයෙකු ලෙස ලැබූ ජාත්‍යන්තර කීර්තිය ද දේශපාලන වශයෙන් ඔහුගේ ජනප්‍රියත්වයට බලපාන අතර, දේශපාලන ජීවිතයේ විශාලතම අභියෝගවලට මුහුණ දෙමින් සිටියද, පාකිස්තානය පුරා විශාල ජනප්‍රියත්වයක් ඉම්රාන් ඛාන් තවමත් භුක්ති විඳිමින් සිටියි. ඒ අනුව ඉම්රාන් ඛාන් රාවල්පිණ්ඩිහි ආඩියාලා බන්ධනාගාරය තුළ දී ඝාතනය වූ පුවත සත්‍යයක් වී නම් එය පාකිස්තානය කණපිට හැරවීමට සමත් සිදුවීමක් වනු නියත ය.

(සටහන | ෆාතිමා හසල්දීන්)

උපුටා ගැනීම - vinivida.lk)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...