එක කණ්ඩායමක් ආණ්ඩුව ය. අනෙක් කණ්ඩායම සමගි ජන බලවේගය යි. නුගේගොඩ රැස්වීම පටන් ගන්නට පෙර සහ රැස්වීම පවත්වා අවසන් වූ පසුව ආණ්ඩුව හැසිරුණු ආකාරය නිසා ඔවුන්ට තිබිච්ච බය හොඳට ම පෙන්නුම් කර තිබිණි.
සජිත් නම්‍යශීලී වෙයි
සමගි ජන බලවේගය නුගේගොඩ රැස්වීමෙන් පසුව "අපිත් රැස්වීම් දෙකක් තියෙනවා" යැයි තීරණයකට එළඹ ප්‍රකාශයට පත් කළේ ය. ඒත් ඒ රැස්වීම් ලත් තැනම ලොප් වී ඇති බව ආරංචිය. ඊට පසුව සජිත් "මම යූ.එන්.පී එක්ක එකතු වෙන්න සූදානම්," යැයි ප්‍රකාශයක් නිකුත් කළේ ය. ඒ ආසන සංවිධායකවරුන් පත් කරන රැස්වීමක දී ය. සජිත්ගේ ඒ නම්‍යශීලී බවට වහා ප්‍රතිචාර දැක්වූ රනිල් "එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එකතු කිරීමේ වගකීම බාර ගැනීමට ගත් තීරණය සම්පූර්ණයෙන් ම පිළිගන්නා බව'' සඳහන් කරමින් ප්‍රකාශයක් එජාපයෙන් නිකුත් කළේ ය. එජාප- සජබ එකතු කිරීමේ වැඩ කටයුත්තට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පෞද්ගලිකවම ඉදිරිපත් වීම ගැන විශේෂ කෘතඥතාවය පළ කරන බවද එම ප්‍රකාශයේ දැක්විණි. ඒ අනුව එජාප සජබ දීගයේ ඉදිරි කපුකම් කරන්නට කමිටුවක්ද පත් කෙරිණි. නියෝජ්‍ය නායක රුවන්, මහලේකම් තලතා, සහ ජාතික සංවිධායක සාගල ඒ කමිටු සාමාජිකයෝයි.

සියලු සාකච්ඡා මේ ත්‍රිපුද්ගල කමිටුව විසින් මෙහෙයවන බව එක්සත් ජාතික පක්ෂය නිවේදනය කළේ ය. පක්ෂය ඇතුලෙන් එල්ල වන විරෝධය මැඩ පවත්වා ගැනීමට සජිත් මේ කරන්නේ බොරුවක් නේදැයි එජාපයේ තරුණ නියෝජිතයෙක් රනිල්ගෙන් විමසු අවස්ථාවේ ඔහු කිසිදු පිළිතුරක් නොදී මඳ සිනහවකින් ඉවත බලා ගත්තේ ය.
"අපි අපේ වැඩේ අවංකව කරමු, එච්චරයි."
මද නිහැඬියාවකින් පසුව රනිල් එසේ පැවසී ය.
රනිල් ගෙ නඩුවට සාක්කි හොයන්න මාරපන ගිය නඩය

රනිල්ගේ නඩුවට අලුතින් සාක්කි හොයන්නට කියා එංගලන්තයට ගිය නඩය කළේ හරියට කළුවා මාරපන් ගියා වගේ වැඩක් නොවේ දැයි වජිර විමසූයේ ප්‍රස්තා පිරුළක් ද උපහැරණ කර දක්වමිනි.
''කළුවා මාරපන ගියා කියන්නේ මොකක්ද...?'' යැයි තරුණ දේශපාලනඥයෙක් විමසූයේ ඇත්තෙන්ම රනිල්ගේ නඩුවට සාක්කි හොයන්නට එංගලන්තයට ගිය නඩය සහ කළුවා මාරපන යෑම අතර සහ සම්බන්ධයක් ගළපා ගන්නට නොහැකි වූ බැවිනි.
කළුවා නම් වැඩකාර කොල්ලෙක්ට ස්වාමියා දිනක් " කළුවො හෙට උදේ මාරපන ගිහින් වරෙන්," පෙර දින රාත්‍රියේ පැවසූ බවත් කළුවා මාරපන යා යුතු කාරණය ස්වාමියාගෙන් නොඅසාම එදින උදේ නිකරුනේ මාරපනට ගොස් නැවත අදාළ නිවෙසට පැමිණීම එම ප්‍රස්තා පිරුළට නිමිත්ත වී ඇති බවත් ඇසූ පිරූ හිටපු ඇමතිවරයෙක් තරුණ දේශපාලනඥයාට විස්තර කර දුන්නේ ය.
"අලුත් ප්‍රස්ථා පිරුළ හැදෙන්න ඕන රනිල්ගෙ නඩුවට සාක්කි හොයන්න එංගලන්තෙ ගියා වගේ කියලා," යැයි හරීන් කියූ එම කතාවෙන් රනිල්ටත් හිනා ගියේය.
ඇත්තෙන් මේ කාරණය ප්‍රස්ථා පිරුළකට හොඳ නිමිත්තකි.
රනිල් විකුණා ටිල්වින් බේරා ගැනීමේ වෑයම

රනිල්ගේ නිල සංචාරය ගැන මේ වන විටත් සාක්කි ලබාගෙන හමාරය. ඒ සාක්කි අනුව මේ මෙය නිල සංචාරයක් නොවන බව ආණ්ඩු පක්ෂයේ සාක්කිවලින් කියැවිණි. එංගලන්තයට ගිය නඩය සාක්කි ගෙන ඇත්තේ කොළඹ දී සාක්කි ගත් රජයේ නිලධාරීන්ටත් වඩා ධුරාවලියෙන් පහළ නිලධාරී පිරිසකගෙනි. සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ දී ධුරාවලියෙන් ඉහළ නිලධාරීන්ගෙන් සාක්කි ගෙන පහළ නිලධාරීන්ගෙන් සාක්කි ගන්නට විශාල මුදල් කන්දරාවක් වැය කරමින් එංගලන්තයට යන්නේ කුමට ද? අනෙක මහේස්ත්‍රාත් පවසා තිබෙන්නේ එංගලන්ත වුල්වහැම්ටන් විශ්වවිද්‍යාලයෙන් Mutual Legal Assistance( අන්‍යෝන්‍ය නීති ආධාර)ලබා ගන්නා ලෙස යි. ඒ කියන්නේ ලංකාව විසින් බ්‍රිතානයට ලියූ පසු පසු බ්‍රිතාන්‍ය පොලිසිය පියවරක් ගෙන ශ්‍රී ලංකාවට අදාළ තොරතුරු දැනුම් දීමයි. ඉල්ලා තිබුණේ එපමණකි. එවැනි තත්ත්වයක් යටතේ මේ නඩය එංගලන්තයට යාම කළුවා මාරපන යෑමේ දෙවන කොටසයි.
එහෙම එංගලන්තයට ගිය කල්ලියෙන් තුන්දෙනෙක් ම ඊට සම්බන්ධ නැති අය බවට ද විපක්ෂයට තොරතුරු ලැබී තිබිණි.
"රනිල්ගේ නඩුවට සාක්කි හොයන මුවාවෙන් මේ අය ගිහිල්ල තියෙන්නේ ටිල්වින්ගේ එංගලන්ත ගමනට පසුබිම හදන්න. උද්ඝෝෂණ නවත්වන්න."
මන්ත්‍රීවරයෙක් ඔහුට ලැබුණු රහසිගත තොරතුරක් ගෙනහැර දැක්වී ය. නමුත් මේ නඩය ගිය ඇත්ත හේතුව පවා ඔවුන්ට සාර්ථකව ඉටු කර ගැනීමට නොහැකි වූයේ ය. එංගලන්තයේ දමිළ ප්‍රජාව ටිල්වින් එන විට මග දෙපස සිට හූ කීමෙන්ම ඒ නඩය ගිය වැඩේ හරියට කර නැති බවට ඔප්පු වන්නේ ය.
ටිල්වින් එංගලන්තයේ දී හමු වූ දෙමළ කණ්ඩායමකට විරුද්ධ තවත් කණ්ඩායමක් මෙලෙස ඔහුට හූ තබා ඇති බව ආරංචිය.
මම හිටියේ එක දවසයි එයාල දවස් පහයි
රනිල්ගේ නඩුවේදී ගත් සාක්කි මේ එංගලන්තයේ ගිය නඩය සොයාගත් කරුණු සමග පරස්පර විරෝධී නම් සාක්කි සියල්ල බිඳ වැටෙනු ඇත. අලුතින් යමක් සොයා නොගෙන ඔවුන් තියෙන දේම කියනවා නම් තවත් සාක්ෂි කුමටද?
"මේ පස් දෙනා එංගලන්තයේ ගිහින් තවත් පහක් හිටියා. මම හිටියේ එක දවසයි නේ..."
රනිල් කීවේය.
''ඒ කියන්නේ මේ ගමනින් සිදුවුණා කියන පාඩුව ගැන හොයන්න තවත් හතර පස් ගුණයක් වියදම් කරනවා...?"
රුවන් කීවේය.

සාක්කි සමග නඩුව මෙහෙයවන්නේ නීතිපති දෙපාර්තමේන්තුවයි. නීතිපති දෙපාර්තමේන්තුවටත් නොකියා දැන් ඒ වැඩේ කරන්නේ කොහොමදැයි උභතෝකෝටිකයකි.
"ඒ අය එංගලන්ත ගමන ගියේ වහගෙන. ඒ උනත් අපට ඒකෙ ආරංචිය ආව නිසා තමයි ප්‍රශ්නය ඇදුණේ."
හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කීය.
රනිල්ගේ එංගලන්ත ගමන නිල එකක්ද? නැද්ද? යන්න ගැන සාක්කි තිබෙන බව දිලීප අධිකරණයට දැනුම් දී තිබිණි. එහෙම සාක්කි තිබුණා නම් තවත් මේ හොයන්නේ මොනවාද? දිනිත් එසේ තර්කයක් ගෙන ආවේය.
රනිලුත් නඩු දමයි ද...?
දිලීප අධිකරණයේ එදා කී දේට අමතර යමක් එංගලන්තේ ගිය නඩය ගෙනාවා නම් එය අධිකරණයට ඉදිරිපත් කළ හැකිද? එදා අධිකරණයේ දී කියැවුණේ ලබාගත් සාක්කි ප්‍රමාණවත් බවයි. සාක්කි ලබාගෙන බී වාර්තාව දුන් පසුව නැවත සාක්කි ගැනීමේ සම්ප්‍රදායක් තිබේද? මේ ආකාරයේ අට අනුවක් ප්‍රශ්න දැන් පැන නැගෙමින් තිබේ.
"එහෙම බැලුවොත් සාක්කි නැතුව මේක කළා කියල සර්ට නඩු දාන්න පුළුවන් නේද?''
එජාප නීතිඥවරයෙක් ගෙනා තර්කය රනිල් අනුමත කළේය.
මේ පටලැවිල්ල නිසා එංගලන්තේ ගිය නඩය හොඳටම ඉහළින් බැණුම් අසා තිබෙන බව ආරංචිය.
ඉලේපෙරුමට රනිල් ගෙන් උපදෙසක්

අරුණ පුවත්පතේ කර්තෘවරයා සී.අයි. ඩී කැඳවීම සම්බන්ධයෙන් දිනිත් සහ හිටපු මාධ්‍ය අධ්‍යක්ෂ ශානුක රනිල්ට දැනුම් දුන්නේ ය. අනතුරුව ශානුකගේ ජංගම දුරකථනයෙන් ම අරුණ කර්තෘවරයා ඇමතූ රනිල් කරුණු කාරණා විමසා බැලුවේ ය. රනිල් එහි දී උපදෙස් දුන්නේ හැම විටම නීතිඥ උපදෙස් අනුව ක්‍රියා කරන ලෙසයි.
''සී.අයී.ඩී එකට නොයා ඉන්න එපා නීතිඥ උපදෙස් අනුව වැඩ කරන්න, එච්චරයි."
යනුවෙන්ද අරුණ කතුවරයා අමතමින් රනිල් කීය.
එකමුතුව ඉදිරියට ගෙන යා යුතු යි
නුගේගොඩ රැලියට පැමිණි අයට ස්තූති කිරීම වෙනුවෙන් විශේෂ මාධ්‍ය හමුවක් කොළඹ නිපෝන් හෝටලයේ දී පැවැත්විණි. මෙම මාධ්‍ය සාකච්ඡාවට එජාපය නියෝජනය කරමින් ආ සභාපති වජිර, එකමුතුව ඉදිරියට ගෙන යා යුතු බවත් ඒ සඳහා සමගි ජන බලවේගයට ද ආරාධනා කර සිටින බවත් කීය.
මෙම මාධ්‍ය හමුවට පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම්, පොදුජන එක්සත් පෙරමුණේ නායක අනුර ප්‍රියදර්ශන යාපා, පිවිතුර හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල, ටිරාන් අලස්, මහින්ද අමරවීර, සංජීව එදිරිමාන්න, ප්‍රේමනාත් සී දොලවත්ත සහභාගී වී සිටියහ
(සටහන | මල් පාරේ ලියුම්කරු )




