කාලගුණ දෙපාර්තමේන්තුවට අනුව, රට පුරා තද වැසි සහ සුළං ඇති විය හැකි අතර, ශ්‍රී ලංකාවේ ඌව, උතුරු-මැද, උතුරු පළාත වඩාත්ම දරුණු වැසි සහ සුළං තත්ත්වයන්ට මුහුණ දෙනු ඇත. මේ අතර ඊසාන දිග මුහුදේ භුමිකම්පාවක් වාර්තා වූ නමුත් එය සුනාමියක් නොවේ යැයි කියනු ලැබිණ. දැනට නාය යෑම් හේතුවෙන් හා නාය යෑමේ අවදානම හේතුවෙන් ප්‍රධාන මාර්ග ගණනාවක්ම පොලීසිය විසින් වසා දමා ඇත. මේ තත්ත්වය තව දිනක් හෝ දෙකක් පැවතිය හැකි යැයිද අනාවැකි ඇත. එසේ වුවහොත් සිදුවිය හැකි ආපදා තව බරපතල වනු නොඅනුමාන ය.
පසුගිය අවුරුද්දේ (2024) නොවැම්බර් මස තෙවන සතියේද බරපතල වැසි තිබිණ. බස්නාහිර, දකුණ, ඌව, මධ්‍යම හා සබරගමුව පළාත් සඳහා තද වැසි සහ සුළං තත්ත්වයක් ප්‍රකාශ කෙරින. නොවැම්බර් 06 වන දින, “අකුණු සහිත තද වැසි හේතුවෙන් විය හැකි ආපදා අවම කර ගත හැකි ආරක්ෂිත පියවර ගන්නා මෙන්” ජනතාවගෙන් ඉල්ලීමක්ද කෙරුණි. උසස් පෙළ විභාගය කල් තැබිණ.

මේ බොහෝ අවදානම් තත්ත්වයන් හා ආපදා, සාමාන්‍යයෙන් අසන්නට ලැබෙන්නේ නොවැම්බර් මාසයේ වූවත් ඉතා දරුණු නාය යෑමක් කෑගල්ල දිස්ත්‍රික්කයේ අරණායකින් වාර්තා වූයේ 2016 මැයි 17 වන දින ය. අරණායක නාය යෑමේ ගල්, පස්, මඩ තොගය කි.මී 02 ක පමණ දුර පෙරළී විත් තිබුණේ ජීවිත 127 ක් බිලි ගනිමින් හා නිවාස 75 ක් සමතලා කරමින් ය.
ඊට පෙර, 2014 වසරේ ඔක්තෝම්බර් 29 වන දින උදේ කොස්ලන්ද-මීරියබැද්ද වතු යායේ නාය යෑමෙන් පුද්ගලයින් 16 දෙනෙකු මිය ගිය අතර, තවත් සියයකට වැඩි පිරිසක් සොයා ගන්නට නැතැයි වාර්තා විය. පසු දින කොස්ලන්ද හා පූණගල දෙමළ විද්‍යාල තාවකාලික නවාතැන් ලෙස යොදා ගනු ලැබිණ. ඒවායේ අනාථ වූ පුද්ගලයින් 8,539 ක් වූහ. මීරියබැද්දේ විපතට පත් වූවන්ට ගෙවූ වන්දිය, බදුල්ල දිස්ත්‍රික් ලේකම් ප්‍රධාන වූ කමිටුවකින් කරන ලද නිර්දේශයට වඩා අඩු වන්දියක් යැයි දිස්ත්‍රික් ලේකම් මාධ්‍යයට කියා තබුණි. එවගේම, බදුල්ල සහකාර දිස්ත්‍රික් ලේකම් පවසා තිබූ ආකාරයට නැවත පදිංචි කරවීමේ සමස්ථ ක්‍රියාවලියද අසම්පූර්ණ, අකාර්යක්ෂම ක්‍රියාවලියක් වූවකි. අවුරුදු 10 ට පසු, 2024 වන විටත් පූර්ණ වන්දි නොලැබුණු හා තාවකාලික පදිංචි ස්ථානවල ඉන්නා පවුල් ඇත. විපතට පත් බොහෝ දෙන පදිංචි කෙරුණු මාකල්දෙණිය ප්‍රදේශයේ, ඔවුන්ට නිසි ආදායම් මාර්ග හා ළමුන්ට පාසල් හා සෞඛ්‍ය පහසුකම් වැනි අනෙක් අවශ්‍යතා හරියාකාරව නැතැයිද වාර්තා වන්නේය.
නොවැම්බර් 26 වන විට, දින 10 ක් ඇතුළත වැසි සුළං නිසා ඇති වූ ආපදා හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 31 කි. ආපදා කලමනාකරණ මධ්‍යස්ථානයට අනුව, දිස්ත්‍රික්ක 17 ක, පවුල් 1,158 ක පුද්ගලයින් 4,008 කු බරපතල ලෙස විපතට පත්ව ඇත. “ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය” නිකුත් කර ඇති නාය යෑමේ අවදානම් පිළිබඳ දැන්වීම් වලට අනුව, මහනුවර හා නුවරඑළියේ ප්‍රදේශ ගණනාවක ජනතාව තමන්ගේ පදිංචි ස්ථාන වලින් වහා ඉවත් විය යුතුය. මහනුවර, නුවර එළිය, කළුතර, බදුල්ල, කෑගල්ල, රත්නපුර හා මාතර දිස්ත්‍රික්කවල ප්‍රදේශ ගණනාවක ජනතාව ඕනෑම වේලාවක තම පදිංචිය අතහැර ඉවත්වීමට සූදානමින් සිටිය යුතුය.
මීට අවුරුදු 11 ට පෙර කොස්ලන්දේ නාය යෑමට පෙර සිටම, පසුගිය නොවැම්බර් 22 වන දින උදයේ කඩුගන්නාවේ නාය යෑම දක්වා හැම නාය යෑමකදීම, බලධාරීන් කියන එකම කතාව නම්, “අපි ඔවුන්ට ඉවත් වෙන්න කල් තියාම කියලා තිබුණෙ” කියා ය. එසේ කියා තිබෙන්නට ඇත. ඇතැම් විට ඒ වෙනුවෙන් වෙනත් ප්‍රදේශ යෝජනා කරන්නටද ඇත. එහෙත් ඔවුන් ඉවත් වන්නේ නැත.

ඔවුන් එළෙස ඉවත් නොවන්නේ මන්දැයි යන්න පැහැදිලි කිරීමට ඇත්තේ සරළ කතාවකි. තමන්ට හුරු පුරුදු, අඩුපාඩු ඇතිව වූවත් ජීවිතය ගැට ගසා ගැනීමේ මාර්ගය හදාගෙන ඉන්නා, දන්නා හඳුණන සමාජයක්ද ඇති ප්‍රදේශය අතහැර, අලුත් ප්‍රදේශයකට ගොස්, ජීවිතය නැවත අලුතෙන් සකස් කර ගැනීමේ බර කර ගැසීමට “ගාඩි” ජනතාව මිස වෙන කිසිවකු කැමති නොවනු ඇත. එබැවින් කෙතරම් ආපදා ඇතැයි කීවත්, ආපදාවක් ඇතිවන තෙක් පදිංචිය වෙනස් කෙරෙන්නේ නැත. නමුත් ආණ්ඩුවකට, එවැනි විපත් සඳහා වන්දි ගෙවමින්, නැවත පදිංචියට අලුත් ස්ථාන සොයමින්, ඒවාටද වියදම් කරමින් ලබන වසරේ ඊළඟ ආපදාවත් මේ ලැයිස්තුවටම එකතු කර ගැනීමට සිටිය නොහැක.
මේ කතාව මා කියූවේ කොස්ලන්ද-මීරියබැද්ද නාය යෑමෙන් අනාථ වූවන් නැවත පදිංචි කිරීමේ සැළසුම් වාර්තා වූ පසුව ය. එය නැවත කියන්නට සිදුවීමත් ඛේදවාචකයකි. එය කෙටියෙන් මෙලෙස කියමි. වැසි වසින්නේය. සුළං හමන්නේය. ඒවා ස්වාභාවික ය. වැසි තද වැසි වී, ගංවතුර ගැලීමත් ස්වාභාවික යැයි කිව හැක. තද සුළං නිසා ගස් කඩා වැටීමත් එවගේම ස්වාභාවිකය. නමුත් වැසි සුළං සමඟ කඳු කඩා වැටීම, ගල් පාත්වීම අස්වාභාවික ය.

ඒවා අස්වාභාවික වන්නේ, දේශපාලන බලපුළුවන්කාරකමත් මුදල් ආයෝජනයට සූදානම් වැඩි ලාභ සඳහා කෑදර කිහිප දෙනකු විසින් පරිසරය හා හරිත ආවරණ පිළිබඳ කිසිදු තැකීමක් නොමැතිව, දසක ගණනාවක් වියළි කලාපයේ වනාන්තර කැපීම හා කන්ද උඩරට කඳුවල ස්වාභාවික හරිත වගා බිම් අත්පත් කර ගැනීමත් නිසා ය. කන්ද උඩරට මහනුවර-මාතලේ දිස්ත්‍රික්කවල කරාබු, සාදික්කා, කරදමුංගු වැනි වගාවන් සඳහාත්, නුවර එළිය, බදුල්ල දිස්ත්‍රික්කවල විශේෂයෙන් ලාභදායි අර්තාපල් හා එළවළු වගාව සඳහාත් ඇහිල්ලක් බැලිල්ලක් නැතිව කඳු සූරා ගෙන අවුරුද්දේ මාස දොළහම වගා කිරීම මේ අස්වාභාවික ආපදා වලට බරපතල හේතුවක් වේ. එබැවින් මේ කිසිවක් ස්වාභාවික ආපදා නොවේ. මේ සියල්ල සොබා දහමේ හැසිරීමට, මුදලට කෑදරයින් දේශපාලකයින් එකතු කළ විනාසයන් ය.
මේ විනාසයට ඊට අමතරව, යුනෙස්කොවෙන් 1978 දී තෙත් කලාපීය සිංහරාජ වැසි වනාන්තරය ලෝක උරුමයක් ලෙස නම් කරන විට, යෝජිත වන රක්ෂිතයක් ලෙස එකතු කළ බිම් ප්‍රමාණයද සමග එහි සමස්ථ බිම් ප්‍රමාණය අක්කර 21,903 ක් විය. සිංහරාජයේ සංරක්ෂණය සම්බන්ධව 2020 දී IUCN ලෝක පරිසර සංවිධානය විසින් කරන ලද ඇගයුම් වාර්තාවෙහි සඳහන්වන අයුරු, හේතු සාධක කිහිපයක් නිසා දසක කිහිපයක සිට එය බරපතල තර්ජනයකට ලක්ව ඇත. ඒවායේ සංක්ෂිප්තය කිවහොත්, ප්‍රධානම තර්ජනය වන්නේ, ලී කොටන් සඳහා නීති විරෝධි කැලෑ කැපීමය. නොකඩවා සිදුවන අනෙක් තර්ජන වන්නේ සිංහරාජය හරහා මාර්ග ඉදිකිරීම, සංචාරක හෝටල් සහ විවේකාගාර ඉදිකිරීම, රක්ෂිත ප්‍රදේශයෙහි ගම් ව්‍යාප්ත කිරීම සහ කුඩා පෞද්ගලික ජලවිදුලි බලාගාර ඉදිකිරීම ය. ඒ සියල්ල මුදලට කෑදරයින් හා දේශපාලුවන් එකතු කරන ආපදාවන් ය.

එවැනි පසුබිමක, ආපදාවන්ට ගොදුරු වූවන් ඒ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලම එහා මෙහා කිරීම විසඳුමක් නොවේ. හෙට අනිද්දා තවත් එවැනි ආපදා සිදුවිය හැකි ස්ථාන සම්බන්ධ අනතුරු ඇඟවීම් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයට සිදුව ඇත්තේ, නාය යෑමට ඉඩ තිබෙන ස්ථාන ඇතුළත් සිතියමක් තිබුණත් ආපදා වළකා ගැනීමේ විසදුම් නොමැති බැවින්ය. වහා අවශ්‍ය වන්නේ ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සතු ආපදා සිතියමේ වන දිස්ත්‍රික්ක වෙන් වෙන් වශයෙන් ආවරණය කෙරෙන “කන්ද උඩරට සංරක්ෂණ” සැළසුමකි.
එහි අඩංගු විය යුතු කාරණා සංක්ෂිප්තව කිවහොත්, අවදානමක් ඇති ප්‍රදේශවල ජනතාව ඉවත් කිරීම සඳහා (1) නැවත පදිංචි කිරීම් සඳහා සුදුසු ප්‍රදේශ හඳුනා ගැනීම (2) නැවත පදිංචි කිරීම සඳහා තෝරා ගනු ලැබූ ප්‍රදේශවල යටිතල පහසුකම් හා රාජ්‍ය සේවා හා පහසුකම් දියුණු කිරීම (3) බරපතල අවදානම් සහිත ප්‍රදේශ මනුෂ්‍ය වාසය හා පරිහරණය කිරීම, නිත්‍යානුකූලව තහනම් කිරීම (4) සෙසු අවදානම් සහිත ප්‍රදේශ සංරක්ෂණය කිරීම (5) එකී කාර්යන් වෙනුවෙන් අදාල පළාත් පාලන ආයතන නිල පාර්ශවකරුවෙකු කර ගැනීම සහ (6) ආපදා සිතියමේ වන දිස්ත්‍රික්ක සඳහා වගාවට, ගොඩනැගිලි ඉදිකිරීමට, යටිතල පහසුකම් සංවර්ධනයට සහ වෙනත් ඕනෑම කාර්යක් වෙනුවෙන් ඉඩම් යොදා ගැනීමේදී, මධ්‍යම පරිසර අධිකාරියේ විශේෂ අවසරයක් ලබා ගැනීම වෙනුවෙන් නීති සකස් කිරීම ය.

අවසන් වශයෙන් මෙය අවධාරණය කළ යුතුය. මෙම “කන්ද උඩරට සංරක්ෂණ” සැළසුම සඳහා පළාත් සභා සියල්ලෙහි අනුමැතිය ලබා ගත යුතුය. මේ කාලගුණික විපරියාස කන්ද උඩරට ජනතාවට පමණක් බලපාන පරිසර විනාසයක් නොවන හෙයිනි. කන්ද උඩරටින් එකතුවන වතුරට යට වන්නේ කොළඹ-ගම්පහ ජනතාවද වන හෙයිනි. නාය යෑමේ අවදානම නිසා මාර්ග වසා දැමීමෙන් අපහසුතාවන්ට පත්වන්නේ කන්ද උඩරට ජනතාව පමණක් නොවන හෙයිනි. මෙය, ජාතික ව්‍යසනයකි.
(සටහන | කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
kusal.perera@gmail.com
2025 නොවැම්බර 27 වන දින




