බටහිර පැසිපික් සයුරේ හටගත් එකී වායු පීඩනයේ සාමාන්‍ය වේගය පැයට කි.මී. 306ක් හැටියට වාර්තා විය. ඒ වන විට මහවැලි සංවර්ධන මණ්ඩලයට අනුයුක්තව සිටි මා එප්පාවල මැඩියාව මහවැලි කඳවුරේ නේවාසිකව සේවය කළෙමි. මැදියම් රැයේ නිසල පරිසරය අවුල් කළ සුළගේ අසාමාන්‍ය ශබ්දය සමග පැටළුණ මහ වරුසාව නිසා නිදි වර්ජිතව සිටි මට යන්තමින් අඳුර වියැකුණු වහා ජනෙල් විවෘත කර බලන විට දැක ගත හැකි වුණේ මැඩියාව ගමේ කුඩා වැව අප සිටි ආසන්නයටම පැමිණ ඇති බවය.
අනපේක්ෂිත රාත්‍රීයේ නිදි නො ලත් කඳවුරු වාසි කවුරුත් එළි මහනට රොක්ව රාත්‍රීය පුරා අත් විඳි ඒ ව්‍යසනයේ දෝංකාරය ගැන කතා කළහ. ව්‍යාපෘති ඉදි කිරිම් භාර ප්‍රධාන ඉංජිනේරු එස්. කරුණාරත්න ''මාර අප්සෙට් එක...'' කියා ඉක්මන් අඩි තබමින් අප වෙතට ලඟා විය. ඒකරාශි වූ කිසිවෙකුට තවත් කාටවත්ගුඩ් මෝනින් කියන මානසිකත්වයක් නො තිබිණ. තිස් අවුරුදු මහවැලි වැඩ සටහන හය වසරකින් නිම කිරීමේ අභියෝගය භාරව සිටි හතළිස් විය නො ඉක්මවූ ජව සම්පන්න තරුණ සමූහය සිටියේ අන්දමන්ද වෙලාය.
''කරු... ස්ටෝර්ස්වල චේන් ෂෝස් කීයක් විතර ඇත්තද ?
''දහයක් දොළහක් ඇති. ඇයි... '' මගේ විමසීමෙන් පුදුමයට පත් කරු පෙරළා විමසීය.
''ඒ ටික එළියට ගන්න. අපි මෝටර් සයිකල් තියෙන ටෙක්නිල් ස්ටාෆ් එකේ අයට කියලා පාරට වැටුණ ගස් කපලා අපේ මට්ටමෙන් මහ පාරවල් ක්ලියර් කරමු.''
''ඒක මරු.....'' කී ඉංජිනේරු එස්.කරුණාරත්න, පැය බාගයක් තුළ සිය කාර්ය මණ්ඩලයට අනුයුක්ත කාර්මික නිලධාරින් ගෙන්වා හඳුනා ගත් කාර්ය සඳහා ඔවුන් පිටත් කර හැරීයේය. මොහොතකින් මා ඇමතූ එස්. කරු, බළලූවැව නේවාසික ඉංජිනේරු මැන්දිස් දින පහක නිවාඩු අනුමත කරවා ගෙන මීගමුවේ ගිය බව සිහිපත් කළ හෙයින් මා කලාවැවට යමින් සිටියදී අපේ ඉංජිනේරු බලකාය මාර්ග අවහිරයන් ඉවත් කරමින් සිටිනු දැක ගත හැකි විය.

මා යන විට කලාවැව වාන් දමමින් තිබිණ. ගංවතුර තත්වය දැක බලා ගැනීමට රොක්වී සිටි ප්‍රදේශ වාසින් අතර බළලූවැව පැත්තේ උස් බිමක සිටි ඉංජිනේරු මෙන්දිස් මා දැක අත වනනු දැක ඇතිවූයේ නිම්හිම් නැති සතුටකි. පසු අවස්ථාවක මේ ගැන විමසූ විට, ඉංජිනේරු මෙන්දිස් කීවේ සිදුවිය හැකි යම් ආපදාවක් ගැන පළවූ අනාවැකි ඇසු වහාම තමා මීගමුවේ සිට රාත්‍රී දහය වනවිට බළලූවැවට පැමිණි බවය.
වසර 46ක් පැරණි මේ සිද්ධිය මෙසේ විස්තර කළේ ආපදා අවස්ථාවක රාජ්‍ය සේවය එදා ක්‍රියාත්මක වූ ආකාරය පිළිබඳ යම් අදහසක් ඇති කර ගැනීම සඳහාය. කච්චේරිවලට අනුයුක්තව සිටි මට ව්‍යසනයකදී දෙ වරක් නො සිතා ඊට මැදිහත් විය යුතු බවට ඇති වූ අභ්‍යාසය නිසා එදා කාර්මික නිලධාරින් යොදවා මාර්ග බාධා ඉවත් කිරීමට කළ යෝජනාවට ප්‍රධාන ඉංජිනේරු වරයා අනුගත වුණේ ඉටු කළ යුතු වගකීමක් හැටියට සලකලාය. රාජ්‍ය දෙපාර්තමේන්තුවක් අමාත්‍යාංශයක් නොවූ මහවැලි සංවර්ධන මණ්ඩලයේ සම්පත් යොදා කිසිදු විධානයකින් අවසරයකින් තොරව අප ගත් තීරණ ගැන පසුව කිසිවෙකුට වගකිව යුතු නො වුණද අද රටේ තත්වය ඛෙහෙවින් වෙනස්ය.
පවත්නා ව්‍යසනය ආරම්භව දින ගණනාවක් යන තෙක් අනාථවූ පවුල් වලට රාජ්‍ය නිලධාරින් වෙනදා මෙන් ආහාර පාන ඛෙදා හැරීම ආදි මාධ්‍ය වාර්තා සුලභ නොවුණේ ඊට ඉහළින් අවසරය විධානය ලැබිය යුතුය මානසිකත්වයකින් ගෙවී ගිය එක් වසරක් තුළ රාජ්‍ය සේවය හසුරුවනු ලැබූ හෙයිනි.

පසුගිය 27 වෙනි බ්‍රහස්පතින්දා මධ්‍යහ්නය වන විට රටේ විවිධ ස්ථාන වලින් අනතුරුදායක ගංවතුර තත්වයක් සහ නාය යාම් සමග පුද්ගල අනතුරු වාර්තා වෙමින් පැවති අතර මේ ගැන කාලගුණ විද්‍යාඥයන් නොවැම්බර් 12 වෙනිදා සිට බලධාරින්ට දැනුවත් කර තිබේ. 27 වෙනි බ්‍රහස්පතින්දා මහනුවර නිල්ලඹේ ප්‍රදේශයේ වාර්ෂාපතනය මි.මි 431 වැනි ඉහළ අගයක පැවතිණ. එදින සුළගේ වේගය පැයට කි.මී.60-70ක් විය. මරණ 11 වාර්තා විය. මේ තත්වය සැලකිල්ලට ගත් වර්තමාන පාලකයන් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම් ලවා නිකුත් කළ චක්‍ර ලේඛය මගින් නොවැම්බර් 28දා නිවාඩු දිනයක් හැටියට ප්‍රකාශයට පත් කර සකල රාජ්‍ය තන්ත්‍රයම අක්‍රිය කරවීය.
එකී චක්‍ර ලේඛයේ දෙවන ඡේදයේ දැක්වෙන ''තවද, රජයේ අත්‍යාවශ්‍ය සේවාවන් සහ ආපදා සහන සේවාවන්ට අදාළ නිලධරයන් සේවයට කැඳවීමට ඉහත නිවාඩුව බාධාවක් නො විය යුතුය.'' යන ප්‍රකාශයෙන් අප තේරුම් ගත යුත්තේ මේ ලිපිය නිකුත් කරන විටද රටේ තත්වය ගැන අවබෝධයක් පැවතියද, කළ යුත්තේ කුමක්දැයි බලධාරින්ට කිසිදු අදහසක් නොවූ බවය.
ජනාධිපති වරයා අවශ්‍ය පියවර ගැනිමට තවත් දවසක් කල් මැරූ බව මහජන ආරක්ෂාව පිණිස අදාළ ගැසට් පත්‍රය 2025.11.28 වෙනි දින නිකුත් කිරීමෙන් තහවුරු වේ. එසේම රටම විදුලිය අහිමි කළුවරේද ජලය අහිමිව පිපාසයෙන්ද සිටින රටේ ජනතාව වෙනුවෙන් අත්‍යාවශ්‍ය සේවා කොමරිස් ජනරාල් වරයෙකු නම් කළේ නොවැ. 30 වෙනිදා හෙවත් තවත් දින 3කට පසුව බවද අමතක කළ යුතු නැත. මෙකී පමාවට සහ නො දැනුවත්කමට පාදක වූ අනුමාන කළ හැකි හේතු කිහිපයකි.

(1) නිලධාරින් පවත්නා තත්වය පිළිබඳ බලධාරින් දැනුවත් කර ඇතද, පැලවත්ත දේශපාලන ක්‍රියාන්විතය ඒ පිළිබඳව තීරණ ගැනීමට පමාවීම.
(2) මාලිමා ආණ්ඩුව බලයට පත් වීමට පසුව රාජ්‍ය නිලධාරීන් සද්භාවයෙන් ක්ෂණිකව ක්‍රියාත්මක වීමට බියෙන් පසුවීමය.
(3) දේශපාලන අධිකාරිය න්‍යායන් මිස දත්ත සහ විශේෂඥ උපදෙස් අනුව ක්‍රියා කිරීමට රුචි නො කිරීමය. ජනාධිපති පුද්ගලිකවම ටිපර් රථ කීයක් තිබේදැයි විමසන තැනට රටේ ආරක්ෂක තත්වය බිඳ වැටී ඇති බව මේ වනවිට රහසක් නොවේ.
මෙකී අසාර්ථකවීමි සහ කඩා වැටීම් මැද නොවැම්බරි 28 සිකුරාදා සවස් වන විට ගෙවී ගිය පැය 72 ඇතුළත මෙම ව්‍යසනයට ගොදුරුව මිය ගිය පුරවැසි මරණ සංඛ්‍යාව 46 ක්වූ අතර, පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්වූ බව වාර්තා විය. එකී තත්වය මේ ලිපිය නොවැම්බර් 30 වෙනි දින රාත්‍රී අට වන විට, පුද්ගල මරණ 334ක් සහ අතුරුදන්වීම් 370ක් වාර්තා වී ඇත. රජයේ මන්ගාමිත්වය නිසා ආපදාව පිළිබඳ ජනතාව කල් තබා දැනුවත් කළා නම් මේ තත්වය මෙතරම් උග්‍ර වන්නේ නැත. ඊට දිය හැකි හොඳම උදාහරණය කලාඔය මගීන් 70 ගණනක් සහිත අනතුරට පත් බස් රථයේ සිද්ධියයි.
පුල්මුඩේ සිට කොළඹ බලා මේ බස්රිය ගමන් අරඹන විට රටේ තත්වය නරක අතට පත්ව තිබිණ. අයහපත් කාලගුණික තත්වය නො දැනීම හෝ රියදුරාගේ ඒකාධිකාරි හැසිරීම පාලනය කළ හැකිව තිබිණ. එකී බස් රියේ සිට රෝහල් ගතවූ මගියෙකු කි පරිදි මුලින් එපා කියද්දී බස් රියැදුරා වේගයෙන් ගලන ජන පහර අතරට බස්රිය පැදවීම යනු පොලිස් ස්ථාන ගණනාවක් පසුකර පැමිණි ගමනේදී කිසිදු තැනකින් අවශ්‍ය දැනුවත් කිරීමක් නො කිරීම නොවේද? දුම්රිය පාරේ සිදුවිය හැකි අනතුරක් දැන ගත් වහා ඇඳ සිටි කමිසය හෝ ගලවා ධාවනය වන දුම්රිය නතර කිරීමට හුරුවූ සාමාන්‍ය පුරුවැසියෙක සතු වගකීම මේ ව්‍යසනය අතර අනුර කුමාර දිසානායක ඇතුළු පාලකයන් ගෙන් පිළිබිඹු නො වීය. මේ වන විට හෙක් ලක්ෂ 6ක ගොවි බිම් යට වී ඇති අතර, මේ රටට අහිමි වෙමින් පවත්නේ මාස් කන්නය බව තවම ආණ්ඩුවට මතක නැතුවා විය හැකිය.
නොවැම්බර් 12 වෙනිදා වනවිට මෝදු වෙමින් පැවති දේශගණික විපර්යාසය කාලගුණ විද්‍යා බලධාරින් රජයේ බලධාරින්ව දැනුවත් කළ බව රටම දන්නා කරුණකි.
විශේෂයෙන් ජල කළමනාකරණය යනු යල මහ දෙකට ගොවිතැන සඳහා ජලය නිකුත් කිරීම හෝ වැව් අමුණු ආරක්ෂා කිරීම පමණක් නොවේ. කොත්මලේ වික්යෝරියා වැනි මහා ජලාශවල වාන් දොරටු ජලාශ පිරි ගිය සැනින් ඉබේම වාන් දැමීම සිදුවේ. එහෙත් ඊට සමගාමීව හැම ජලාශයකම පවත්වා ජල ප්‍රමාණය සහ වර්ෂා තත්වය සමාලෝචනය කරමින් ජලාශවල ජල මට්ටම් කලින් කලට පවත්වා ගෙන යා යුතු ප්‍රමාණයන් නිශ්චිතව හඳුනා ගෙන අතිරික්ත ජලය මුහුද වෙත මුදා හැරියා නම්, මහා ජලාශ ඉබේ වාන් දොරටු විවෘත වන අවස්තාවල ගලා යන ජල ප්‍රමාණය ආරවුලකින් තොරව ගලා බැසීමේ ඉඩකඩ පවතී. එසේ වී නම් මහා ජල කඳක් වහා කඩා පැන ගංගා මෝය සිර වී ගිල්ම ගැසීමෙන් ඉහළ භූමිය යට වන්නේ නැත. මහනුවර මහා අධිකරණ භූමිය යට වීම ඊට උදාහරණයකි. මොරගහ කන්ද මාර්ගය සේදී ගියේද මේ තත්වය නිසාය.
තමන්ට පැවරුණ වගකීම ඉටු කිරීමේ බියකින් සකල රාජ්‍ය සේවයම පසුවන මොහොතක පැමිණි මේ ස්වාභාවික ව්‍යසනය හමුවේ රටේ පාලකයන්ට වඩා අසරණ වුණේ විපතට පත් ජනතාව බවට කිසිදු සැකයක් නැත. ව්‍යසනය ආරම්භ වූ පසුව මුදල් පැවතියද ඒවා වියදම් කිරිමට රාජ්‍ය නිලධාරින් ක්‍රියා නො කරන බවට වගකිව යුතු කෙනෙක් කළ ප්‍රකාශය ඉහත කී තත්වය පිළිබිඹු කිරීමකි.
රාජ්‍ය සේවකයන් තුළ පැවති බිය සැක පවත්නා බව දැනගත් පාලකයන් චක්‍ර ලේඛ ලිහිල් කිරිමේ නියෝග නිකුත් කරන විට බොහෝ දේ සිදුවී හමාරය. ලිපියේ ඉහළින් සඳහන් කළ ඉංජිනේරු මැන්දිස් අනතුරක් පිළිබඳ අනාවැකිය ඇසූ සැනින් මීගමුවේ සිය නිවසේ සිට මහ රෑ බළලූවැව රාජකාරි ස්ථානයට පැමිණියේ සද්භාවයෙනි. සිය වගකීම පිළිබඳ හැඟීමෙනි. අසාමාන්‍ය අවස්ථාවන් හෝ මහජන යහපත සැලසිය යුතු යයි රාජ්‍ය නිලධාරින්ට හැඟී යන අවස්ථාවක පවත්වා නීති රිති රෙගුලාසි වලින් ඔවුන් මුදා හැරෙති. රාජ්‍ය සේවකයා යනු රාජ්‍යයේ පුර වැසියන් සහ පාලකයන් හෙවත් ආණ්ඩුව අතර සමබරතාව පවත්වා ගෙන යාමට බැඳි සිටින්නෙකි. ඔහු සමහර විට පුරවැසි අයිතිවාසිකම් වෙනුවෙන් දේශපාලන අධිකාරියේ මැදිහත්වීම් නො තකා හරිති.
තමන් හැර රටේ සියදු දෙනාම හොරුන් ලෙස සලකා ප්‍රජාතන්ත්‍රවාදි සමාජයක් කළමනාකරණය කළ නොහැකි බවට මේ ඛේදවාචකය හොඳ උදාහරණයකි. ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සුප්‍රකට බ්‍රිතාන්‍ය සංචාරයට වැයවූ මුදල පිළිබඳ විමර්ශණයේදී ජනාධිපති ලේකම් සමන් ඒකනායක පොලිසියට කැඳවූයේ බ්‍රිතාන්‍ය මහ කොමහසාරිස් කාර්යාලය විසින් වැය කළ මුදල් විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත ප්‍රති පූරණය කිරීම නිසාය. මෙහිදී ජනාධිපති වෙනුවෙන් කළ එකී වියදම සමග පොල් ගසක් මත සිටි පුරුවැසියෙකු මුදා ගැනීමට සහ මැදවච්චියේ ජලය අතර සිරවී සිටි කාන්තාවක් මුදා ගැනීමට දෙවරක් හෙලිකොප්ටර් භාවිතා කිරීමේදී රජයේ මුදල් වැය කළේ යුද්ධය සඳහා හෝ ගුවන් ගමනක් සඳහාද නොවේ. ඒ සමග අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මඩකලපුවට ගමන් කළ හෙලිකොප්ටරයේ වියදම එක පෙළට තබා නිරීක්ෂණය කරන විට අනුර කුමාර දිසානායකලාට රාජ්‍ය පාලනය සම්බන්ධව බොහෝ දේ අළුතින් ඉගෙන ගත හැකිවේ.
මගේ ලිපිය කියවන මාලිමා මාධ්‍ය බලකාය මට කුණුහරුප ලියා එවන අවස්ථාවල පවා මා භාෂාව සංවරව පාවිච්චි කිරීමෙන් ලබන්නේ සතුටකි. මෙවර මගේ ලිපියට පාදක වූ තවමත් පහව ගොස් නැති ව්‍යසනය සම්බන්ධව මා මිත්‍ර උවිඳු කුරුකුලසූරිය සිය මුහුණු පොතේ තැබූ සටහනකින් මා විග්‍රහ කළ තත්වය තහවුරු කරමින් මේ ලිපිය අවසන් කරමි.
"ජනාධිපති ජාතිය අමතල කියනව දත්ත නැහැලු. දත්ත නැති නිසා තමා හු** මම කිව්වෙ බලයට එන්න කලිනුත් ඡායා කැබිනෙට්ටුවක් [Shadow Cabinet] නම් කරන්න කියල. එහෙම කළා නම් එතකොට ඒ ඒ නම් කරන අය දත්ත එකතු කරගෙන ප්‍රතිපත්ති හදනවනෙග පුද්ගලිකව කිව්වල එතකොට හරි හරි මචං ඒක කෙරෙනව මචං කිව්ව. ඒත් ඒව අහපු නැති නිසා ප්‍රසිද්ධියෙත් ලිව්ව. මම මේව අනුරට පුද්ගලිකව කියල සහ අහපු නැති නිසා ප්‍රසිද්ධියෙත් කිව්වෙ මේ දිනපු ජනාධිපතිට නෙමෙයි ‘මචං මම ජනාධිකමට ඉල්ලනවල උඹ මොකද කියන්නෙ’ කියල අහපු 2018දි" (උපුටා ගැනීම අවසන්ය.)
කුමාරොදය නම් පෙළ බාලංශ පෙළ පොතේ එක් පාඩමක... අපි නටමු දුවමු පනිමු. සෙල්ලම් කරමු ආදි ලෙස පටන් ගන්නා පාඩමේ පාඩම් කරමු යනුවෙන් තැනක සඳහන් වේ. මේ උදාව ඇත්තේ 54 වසරක් ඩප්පි ගල් කටස් වලින් සෙල්ලම් කළ අනුර කුමාරලා පාලකයන් ගෙවා දැමූ එක් අවුරුද්දක ක්‍රියාකාරකම් පිළිබඳ කතා කරන හෙවත් පාඩම් උගත යුතු කාලයයි. එසේ නොවන්නට ජනතාව පාඩම් කියා දෙනු නිසැකය.
(සටහන | නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
නිදහස් ලේඛක
sugathcb@gmail.com




