The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ආපදා ධනවාදය හා වේගවත් සංවර්ධනයක සිහිනය | අජිත් පැරකුම් ජයසිංහ

T

The Leader Desk

December 1, 2025 • 8:37 AM

ආපදා ධනවාදය හා වේගවත් සංවර්ධනයක සිහිනය | අජිත් පැරකුම් ජයසිංහ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ආපදාවන් උපයෝගී කරගෙන ධනවාදය සිය උවමනාවන් ඉෂ්ඨ කර ගන්නා ආකාරය නයෝමි ක්ලයින් සිය කෘතියේ නේවා දෙයි.
  • ඉරාක සිවිල් යුද්ධය මැද ඇමරිකා එක්සත් ජනපදය ඉරාකයේ තෙල් සම්පත් ෂෙල් සහ බ්‍රිටිෂ් පෙට්‍රෝලියම් නම් බහුජාතික සමාගම්වලට හිමි වන පරිදි නීති සැකසූ අන්දම ඇය සිය කෘතියේ උදාහරණයක් ලෙස දක්වයි.
  • ලංකාවේ ආණ්ඩුව සුනාමියෙන් පසු වෙරළේ සිට මීටර් සියයක් මෙපිටින් පදිංචි වීම තහනම් කර වෙරළ ධීවරයන්ගෙන් කොල්ල කන්නට දැරූ උත්සාහය පිළිබඳව ද ඇය සිය කෘතියේ සඳහන් කරන්නීය.
  • තවත් නිදසුනක් ලෙස, යුද්ධය මුවාවෙන් ත්‍රිකුණාමලය වරාය ආසන්නයේ ඉපැරණි ගම්මානයක් වන සාම්පූර්හි වැසියන් 2007 ජුලි මාසයේදී ඉවත් කර එම කලාපය හමුදාව යටතට පවරාගත්තේ විශේෂ ආර්ථික අරමුණු සහිතව ය.
අකුරු ප්‍රමාණය (Font Size):

ආපදාවන් උපයෝගී කරගෙන ධනවාදය සිය උවමනාවන් ඉෂ්ඨ කර ගන්නා ආකාරය නයෝමි ක්ලයින් සිය කෘතියේ නේවා දෙයි.

shock docයුද්ධ, ස්වාභාවික ආපදා ආදී ව්‍යසනයන්ගෙන් කම්පිත ජනතාවන් හා රටවල් මතින් නිදහස් වෙළඳ ප්‍රතිපත්තිය ලෝකය තුළ සිය ආධිපත්‍යය තහවුරු කර ගත් අන්දම ඇය පෙන්වා දෙයි. ඉරාක සිවිල් යුද්ධය මැද ඇමරිකා එක්සත් ජනපදය ඉරාකයේ තෙල් සම්පත් ෂෙල් සහ බ්‍රිටිෂ් පෙට්‍රෝලියම් නම් බහුජාතික සමාගම්වලට හිමි වන පරිදි නීති සැකසූ අන්දම ඇය සිය කෘතියේ උදාහරණයක් ලෙස දක්වයි. ලංකාවේ ආණ්ඩුව සුනාමියෙන් පසු වෙරළේ සිට මීටර් සියයක් මෙපිටින් පදිංචි වීම තහනම් කර වෙරළ ධීවරයන්ගෙන් කොල්ල කන්නට දැරූ උත්සාහය පිළිබඳව ද ඇය සිය කෘතියේ සඳහන් කරන්නීය.

තවත් නිදසුනක් ලෙස, යුද්ධය මුවාවෙන් ත්‍රිකුණාමලය වරාය ආසන්නයේ ඉපැරණි ගම්මානයක් වන සාම්පූර්හි වැසියන් 2007 ජුලි මාසයේදී ඉවත් කර එම කලාපය හමුදාව යටතට පවරාගත්තේ විශේෂ ආර්ථික අරමුණු සහිතව ය. සාම්පූර්හි ඉඩම් අක්කර 2000කට අධික ප්‍රමාණයක් ගල් අඟුරු බලාගාරයක් හැදීමට ඉන්දීය ජාතික තාප බල සංස්ථාවට පවරා දෙන්නට ද කලක් සැලසුම් තිබිණි.

 

covid23
කොවිඩ්-19 වසංගතය සමග ආපදා ධනවාදය යළි ක්‍රියාවට නංවන්නට යම් යම් උත්සාහයන් දරන ලදී. අප මෙය ගැන සාකච්ඡා කරන්නේ මෙම ක්‍රියාමාර්ගවලට කිසිදු පක්ෂපාතිත්වයක් හෝ විරෝධයක් හෝ නැතිව සිදු වන දෙය පෙන්වා දීමට පමණකි. මන්ද, මෙම ක්‍රියාමාර්ග හරි ද වැරදි ද යන්න විනිශ්චය කිරීම තරමක් දුෂ්කර නිසා ය.

ආපදාවක් ඇති වූ හැටියේ පාලකයන්ට සිතෙන්නේ තම සිත් තුළ ඇති මනෝරාජික රාජ්‍යයන් හදාගන්නට හෙවත් මකලා හදන්නට තමන්ට අවස්ථාවක් ලැබී තිබෙන බවකි. මෙය විදෙස්ගත ප්‍රජාව, ලාංකික මධ්‍යම පන්තිය වැනි සමාජ කොටස් අතර ජනප්‍රියය. මන්ද, ඒ වෙනුවෙන් වැඩි මිලක් ගෙවන්නට සිදුවන්නේ ඔවුන්ට නොවේ. ඔවුන්ගේ සිහින ලෝක අවලස්සන කරන දිළින්දන්ටය. ඔවුන්ට ඒ මිල ගෙවන්නට සිදු වුවහොත්, ඔවුන් ද ඒ ක්‍රියාමාර්ගවලට විරුද්ධ වෙනවාය.

සුනාමි කාලය වගේ අවධිවලදී නම්, මෙකී ඊනියා වේගවත් සංවර්ධනයන් සඳහා අවශ්‍ය ව්‍යූහාත්මක ගැලපුම්වලට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව වැනි සංවිධානවල ආධාර ලැබිණි. 2004 වන විට ලංකාව පහළ මැදි මට්ටමේ ආදායම් ලබන රටක්වත් වී නොතිබිණි. දැන් ලංකාව ඉහළ මැදි මට්ටමේ ආදායම් ලබන රටකි. කාලයත්, තත්වයත් වෙනස්ය. දැන් අපට ආධාර ලැබෙන්නේ මේ රටවල් මකලා හදන්නට නොව, ආපදා අවදානම් අවම කිරීම සඳහා ධාරිතා ගොඩනැගීම වැනි දේටය. බටහිරින් උතුරා යන්නට සල්ලි ලැබෙනු ඇතැයි ද, ණය කප්පාදු වනු ඇතැයි ද සිතීම මා දකින අන්දමට නම් උවමනාවට වඩා උන්නතිකාමී සිහිනය. අපට තව ණය ප්‍රතිව්‍යූහගතකරණයකට නම් සාධාරණ හේතුවක් ඇත.

 

මහා ආපදාවක් යනු වේගවත් සංවර්ධනයකට ලැබෙන අවස්ථාවක් නොවේ. එසේ සිතන්නේ ආපදාවෙන් විපතට පත්වූ ජනයා ගැන සංවේදීකමක් නැති අයයි. මිනිසුන්ගේ ජීවිත උඩු යටිකුරු කර තමන්ගේ සිහින රාජ්‍යය නිර්මාණය කරගත හැකි යයි ඔවුහු සිතති. එහෙත්, ප්‍රජාතන්ත්‍රවාදී රටවල ඒවා සාර්ථක වන්නේ නැත. විපතට පත්ව සිටින තමන්ට සිදු වන දේ ගැන තීරණ ගැනීමේ ක්‍රියාවලියට සහභාගී වීමට ජනතාවට අවස්ථාව ලබාදීමට සිදු වේ. ජනතාව කෙතරම් මුග්ධ වුවත්, මෙය ප්‍රජාතන්ත්‍රවාදී උරුමයක් සහිත රටකි. අපේ සාමූහික ඉරණම තීරණය කළ හැකි රජවරුන් හෝ පෙරටුගාමී දේශපාලන පක්ෂ හෝ මේ පොළවේ පැළ වේ යයි මම නොසිතමි. සිතන අයට ඕනැ එකක් සිතාගත හැකිය.

වේගවත් සංවර්ධනය යනු අපට තවදුරටත් අවශ්‍ය දෙයක් නොවේ. අපට අවශ්‍ය තිරසර සංවර්ධනයකි. වේගවත් සංවර්ධනයේ රාමුව තුළ සිදු වූ දේ මෙම ආපදාවේ ද ප්‍රධාන ලක්ෂණ වේ. තිරසර සංවර්ධනය යනු අපට දරාගත හැකි සංවර්ධනයයි.

AJITH PARAKUM(සටහන | අජිත් පැරකුම් ජයසිංහ)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
ajithperakum@gmail.com


(මෙම ලිපිය praja.lk හි පලවූවකි

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...