අතුරුදන් සංඛ්‍යාව 366කි. අනතුරට පත්වූවන් මුදා ගැනීමේ මෙහෙයුම් සිව් වන දිනටත් ක්‍රියාත්මකයි.
ධාරාණිපාත වර්ෂාවෙන් සහ ජල ගැලීම් හේතු කොට, මිලියනයකට ආසන්න පිරිසක් පීඩාවට පත්ව සිටිති. රට පුරා 200,000කට අධික පිරිසක් ආරක්‍ෂිත ස්ථාන 1,275ක තාවකාලිකව ලැගුම් ගෙන සිටිතැයි, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.
ඉකුත් බ්‍රහස්පතින්දා (27) සිට, දිවයිනට ධාරාණිපාත වැසි ඇද හැලිණි. මධ්‍ය කඳුකරයේ ස්ථාන රැසක් දරුණු නාය යාම්වලට ලක් විය. ගංගා පිටාර ගැලීමෙන් රට පුරා සෙසු නගර සියල්ල ජලයෙන් යට විය.
නැගෙනහිර පළාතේ මාවිල් ආරු ජලාශයේ වේල්ල කැඩී යාමත් සමග අනතුරට පත් 120 කට අධික පිරිසක් ගුවන් හමුදා හෙලිකොප්ටර මගින් ආරක්‍ෂිත ස්ථාන කරා රැගෙන යාමට පියවර ගැනිණි. එම අනතුරට මුහුණ පෑ තවත් 2,000කට ආසන්න පිරිසක් ආරක්ෂක හමුදා මැදිහත්වීමෙන් උස් බිම් කරා ආරක්ෂිතව රැගෙන යාමට හැකි විය.

දිවයිනේ ආර්ථික අග නගරය වන කොළඹ, පවුල් රැසක් ගං වතුරට කොටුව සිටිති. නගරය සහ තදාසන්න පෙදෙස් රැසක් දැඩි ජල ගැල්මට හසුව පවතී. තවත් තාදසන්න ප්‍රදේශයක් වන කැලණියේ, හානියට පත් ජනතාව වෙත රාජ්‍ය ආයතන සහ වෙනත් ආධාර යටතේ, පිසූ ආහාර බෙදා හැරීමට කටයුතු කෙරේ. එහෙත්, එම ආධාර තවදුරටත් ප්‍රමාද බව, අවතැන් ජනතාව කියති. එම පෙදෙස් හි 17,000කට අධික පිරිසක් සිය නිවෙස් කරා යළි පිටත් වීමට හැකි වන පරිදි, ගං වතුර පහව යන තෙක් වෙනත් ස්ථානවල තාවකාලිකව රැඳී සිටිති.
ඉදිරි දින දෙක තුළ ගං වතුර ක්‍රමයෙන් පහව යනු ඇතැයි, අපේක්ෂා කෙරේ. රට පුරා විසන්ධි වූ විදුලි සහ ජල සැපයුම් යතාවත් කෙරෙමින් පවතී. විදුලි රැහැන් පද්ධති සහ ට්‍රාන්ස්ෆෝමර රැසක් ජලයේ ගසාගෙන ගියේය.
ධාරාණිපාත වර්ෂාව සහිත අයහපත් කාලගුණයෙන් කලාපයේ තවත් රටවල් කිහිපයක්ම දැඩි ලෙස විනාශයට පත් විය. ඉන්දුනීසියාවේ, තායිලන්තයේ සහ මැලේසියාවේ ගං වතුර සහ නාය යෑම්වලින් සිදුවූ පුද්ගල මරණ සංඛ්‍යාව 600 ඉක්මවා ඉහළ ගියේය. පීඩාවට පත් දස දහස් සංඛ්‍යාවක් වෙත, සති අන්තය පුරා සහන මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට බලධාරීහු පියවර ගත්හ. වියට්නාමය ද අයහපත් කාලගුණයේ බලපෑමට හසු විය.
සාමාන්‍යයෙන් සමකාසන්නව සුළි කුණාටු හට නොගැනේ. එසේ හට ගනිතත්, එවැනි සිදුවීම් විරලය. එහෙත්, ඉකුත් කාලය පුරා සමකාසන්න සුළි කුණාටුවල අඛණ්ඩ වර්ධනයක් දක්නට ලැබිණි. පසුගිය සතියේ සමකය ආසන්නයේ, එහි උතුරේ, මලක්කා සමුද්‍ර සන්ධියේ, සෙන්යාර් (Senyar) සුළි කුණාටුව හට ගත්තේය. එහි බලපෑමට හසු වූ සුමාත්‍රාවේ සහ මැලේසියා අර්ධද්වීපයේ දරුණු ජල ගැලීම් වාර්තා විය.
සමකාසන්න උතුරේ හටගත් කොටෝ (Koto) නිවර්තන සුළි කුණාටුවෙන් ෆිලිපීනයේ ගං වතුර විපත් සහ නාය යෑම් සිදු විය. අනතුරුව, දුර්වල සුළි කුණාටුවක් ලෙස එය වියට්නාමයට ඇතුළු විය. කොටෝ සහ සෙන්යාර් සුළි කුණාටුවල අසාමාන්‍ය අන්තර් ක්‍රියාකාරිත්වය, සුමාත්‍රාවේ දරුණු ජල ගැලීම්වලට බලපෑවේය. ශ්‍රී ලංකාව දිට්වා සුළි කුණාටුවේ දැඩි බලපෑමට නතු වූයේ ඉන් අනතුරුවය. එය, ශ්‍රී ලංකාව, ඉතිහාසයේ මෙතෙක් මුහුණ පෑ අභියෝගාත්මකම ස්වභාවික ව්‍යසනය බව, ජනපති අනුර කුමාර දිසානායක සඳහන් කළේය.

සමකාසන්නයේ එවැනි දේශගුණික විපත් සිදුවීමේ යම් සබඳතාවක් පවතින්නේද යන්න තවමත් සැක සහිතය. එහෙත් දේශගුණික විපර්යාස හේතුවෙන්, අඩු සංඛ්‍යාවකින් වුව, අධි තීව්‍ර තාවයෙන් යුත් සුළි කුණාටු හට ගත හැකි බවට මේ වන විට, අනාවරණය කර තිබේ.
ෆොසිල ඉන්ධන දහනයෙන් හරිතාගාර ආචරණය ඉහළ යත්ම, ලොව සාගර සහ වායුගෝල උෂ්ණත්වය ඉහළ යාම, සීග්‍රයෙන් වර්ධනය වෙමින් තිබේ. එහිදී හට ගැනෙන නිවර්තන සුළි කුණාටු අතිශය භයංකර, මරණීය විපත් ගෙන එයි.
වායුගෝල උෂ්ණත්වය ඉහළ යාම, ගෝලීය ජල චක්‍රය තව තවත් ආරෝපණය කරන්නේය. උණුසුම් සාගර, සුළි කුණාටුවලට ශක්තිය ලබා දෙයි. සාගර උෂ්ණත්වය ඉහළ යෑම කුණාටු බල ගැන්වීමට කදිම ඉන්ධනයකි.

(සටහන | Reuters, THE CONVERSATION සහ Ada Derana ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(harshaprs@yahoo.com)
12/1 /2025
Death toll hits 212 as Sri Lanka struggles with Cyclone Ditwah impact
Death and devastation: why a rare equatorial cyclone and other storms have hit southern Asia so hard




