The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ස්වාභාවික ආපදාවේ පසු කොටස දැන් අප හමුවේ

T

The Leader Desk

December 2, 2025 • 9:01 AM

ස්වාභාවික ආපදාවේ පසු කොටස දැන් අප හමුවේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නමුත් ඒ මෙම ස්වාභාවික ආපදාවේ පසු කොටස අපට ඉතිරි කරමිනි.
  • ඒ අතර ආපදාවට ලක් වූ ජනතාවට සහන සැලසීමේ කටයුතු විධිමත් කිරීම සඳහා බාධාවකින් තොරව ප්‍රසම්පාදන කටයුතු සිදු කිරීමට සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකටම රුපියල් මිලියන 50 බැගින් ලබා දීමට පියවර ගෙන ඇති බව ද ඔහු සඳහන් කොට තිබිණි.
  • විපතට පත් ජනතාව සඳහා ලබා දෙන වියළි ආහාර ද්‍රව්‍ය දීමනාව මුදලක් ලෙස බැංකුගත කිරීමට අමතරව, අවශ්‍යතාව මත වියළි ආහාර මලු ලෙස ලබා දීමට ද ප්‍රාදේශීය ලේකම්වරුන්ට බලය පවරා තිබේ.
  • ගංවතුරෙන් හානියට පත් නිවාසවල මඩ සහ සුන්බුන් ඉවත් කර පදිංචියට සුදුසු පරිදි සකස් කර ගැනීම සඳහා රුපියල් 10,000ක අත්තිකාරම් මුදලක් ලබා දීමට ද රජය තීරණය කර ඇති බව මෙහි දී ප්‍රකාශ විය.
අකුරු ප්‍රමාණය (Font Size):

නමුත් ඒ මෙම ස්වාභාවික ආපදාවේ පසු කොටස අපට ඉතිරි කරමිනි. මෙම ගංවතුරෙන් පසුව ද වසංගත රෝග සහ වාහක රෝග පැතිරීමේ දැඩි අවදානමක් පවතින බවත්, ඒ සම්බන්ධයෙන් මහජනතාව දැඩි අවධානයකින් කටයුතු කළ යුතු බවත් ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ සහකාර ලේකම් ජයතිස්ස මුණසිංහ, ත්‍රිවිධ හමුදා ආරක්ෂක මූලස්ථානයේ ඊයේ (01) පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් අවධාරණය කර සිටියේය.

 



ඒ අතර ආපදාවට ලක් වූ ජනතාවට සහන සැලසීමේ කටයුතු විධිමත් කිරීම සඳහා බාධාවකින් තොරව ප්‍රසම්පාදන කටයුතු සිදු කිරීමට සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකටම රුපියල් මිලියන 50 බැගින් ලබා දීමට පියවර ගෙන ඇති බව ද ඔහු සඳහන් කොට තිබිණි.

විපතට පත් ජනතාව සඳහා ලබා දෙන වියළි ආහාර ද්‍රව්‍ය දීමනාව මුදලක් ලෙස බැංකුගත කිරීමට අමතරව, අවශ්‍යතාව මත වියළි ආහාර මලු ලෙස ලබා දීමට ද ප්‍රාදේශීය ලේකම්වරුන්ට බලය පවරා තිබේ.

දින 07ක් සඳහා ලබා දෙන මෙම දීමනාව යටතේ තනි පුද්ගලයෙකුට රුපියල් 2100ක්, දෙදෙනෙකුගෙන් යුත් පවුලක් සඳහා රුපියල් 4200ක්, තිදෙනෙකු සඳහා රුපියල් 6300ක්, හතර දෙනෙකු සඳහා රුපියල් 8400ක් සහ පස් දෙනෙකු හෝ ඊට වැඩි පවුල් සඳහා රුපියල් 10,500ක් වශයෙන් මුදල් වෙන් කර ඇති අතර ප්‍රදේශයේ පවතින තත්ත්වය මත කමිටු තීරණ අනුව සුදුසු පරිදි සහන සැලසීමට අවසර ලබා දී තිබේ.

fl1

 

ගංවතුරෙන් හානියට පත් නිවාසවල මඩ සහ සුන්බුන් ඉවත් කර පදිංචියට සුදුසු පරිදි සකස් කර ගැනීම සඳහා රුපියල් 10,000ක අත්තිකාරම් මුදලක් ලබා දීමට ද රජය තීරණය කර ඇති බව මෙහි දී ප්‍රකාශ විය. එමෙන්ම ආරක්ෂක ලේකම්වරයා විසින් නිකුත් කරන ලද සංශෝධිත චක්‍රලේඛයකට අනුව, නිවසේ අයිතිය නොසලකා ආපදාවට ලක්වූ සෑම පදිංචිකරුවෙකුටම මෙම දීමනාව ලබා ගැනීමට හිමිකම් ඇති බව සහකාර ලේකම්වරයා පෙන්වා දී තිබේ.

එමෙන්ම දරුණු ලෙස ආපදාවට ලක් වූ ප්‍රදේශවල බිඳ වැටී තිබූ සන්නිවේදන කටයුතු මේ වන විට යථා තත්ත්වයට පත් කරමින් තිබෙන අතර, සහන සේවා කටයුතුවල නිරත නිලධාරීන් මෙම ව්‍යසනකාරී තත්ත්වය හමුවේ දැඩි කැපවීමකින් කටයුතු කරන බැවින් ඔවුන්ට උපරිම සහයෝගය ලබා දෙන ලෙස ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටී.

පසුගිය දිනවල ඇති වූ ‘දිට්වා’ සුළි කුණාටුව පදනම් කර ගත් අධික වර්ෂා සහ සුළං තත්ත්වය මෑත ඉතිහාසයේ අපට අත් විඳීමට සිදු වූ බරපතලම ස්වාභාවික ආපදාවක් බවට සැක නැත. එහෙත් පසුගිය කාලවකවානුවල මෙන් මෙවන් කාලගුණික අනතුරු සංඥා හමුවේ රාජ්‍ය යාන්ත්‍රණය තුළ පූර්ව සූදානමක් තිබිණි නම් මෙම ආපදාවේ බරපතලකම අවම කර ගත හැකිව තිබූ බවට බොහෝ දෙනකු පළ කරන අදහස් පිටු දකින්නට අපට ද නොහැක.

..

 

පසුගිය දා මේ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කළ අනුර කුමාර දිසානායක ද මෙම ස්වාභාවික ආපදාවෙන් මියගිය අයට යළි පණ ලබා දිය හැකි නම් එය ද කරන බවට අතිශය හැඟීම් බර ප්‍රකාශයක් සිදු කරනු අසන්නට ලැබිණි. නමුදු එය ඔහු තුළ පවතින විශේෂ මානුෂීය ගුණයක් නොවන බවත්, මෙරට හයක් හතරක් දත් කුඩා දරුවාගේ සිට සෑම ජාතියකටම ආගමකටම අයත් සියළු තරාතිරම් වලට අයත් ජනී ජනයා තුළ පහළ වන පොදු සිතුවිල්ලක් බවත් අපගේ වැටහීම ය. ඒ අනුව, ‘ගිය නුවණ ඇතුන් ලබා වත් ඇද්දවීමට නොහැක’ යන ජන පිරුළ සිහි ගන්වමින් වර්තමානයේ එළඹ ඇති තත්ත්වයන්ට මුහුණ දීම සම්බන්ධයෙන් සියළු පාර්ශවයන්ගේ අවධානය යොමු කරවනු කැමැත්තෙමු.

ගංවතුර තත්ත්වයකින් පසු විවිධ රෝග පැතිර යාමට ප්‍රධාන වශයෙන් හේතු වන්නේ ජලය අපවිත්‍ර වීම, කසළ හා අපද්‍රව්‍ය මිශ්‍ර වීම, සහ මදුරුවන් බෝවීම සඳහා ස්ථාවර ජලය රැඳී තිබීමයි.

 

ap2

එමෙන්ම ගංවතුරකින් පසු බහුලව ඇතිවිය හැකි රෝග පීඩා කිහිපයක් කෙරෙහි ඔබගේ අවධානය යොමු කරනු කැමැත්තෙමු. ඉන් පළමු වැන්න වනුයේ ජලයෙන් බෝවන රෝග (Water-borne Diseases) ය. අපිරිසිදු පානීය ජලය සහ ආහාර නිසා ඇතිවන පාචනය (Diarrhea), උණ සන්නිපාතය (Typhoid Fever), හෙපටයිටිස් A (Hepatitis A) සහ කොළරාව (Cholera) ඒ අතර වේ. පාචනය යනු වෛරස්, බැක්ටීරියා (E. coli, Salmonella), සහ පරපෝෂිතයන් නිසා ඇතිවන බහුලම රෝගයකි. මෙයින් රෝගියා විජලනය වීමට ඉඩ ඇත. උණ සන්නිපාතය ද බැක්ටීරියාවක් මගින් පැතිරෙන උණ රෝගයක් වන අතර, හෙපටයිටිස් A යනු අපවිත්‍ර ජලය සහ ආහාර මගින් බෝවන තවත් වෛරස් රෝගයකි. කොළරාව දරුණු පාචනය ඇති කරන බැක්ටීරියා ආසාදනයකි.

le

 

මේ අතර සෑම ජල ගැලමකින් පසුව සතුන් සහ මඩ මගින් බෝවන රෝග (Zoonotic and Soil-borne Diseases) ද සමාජය පුරා පැතිර යා හැක. මී උණ (Leptospirosis/ Rat Fever) යනු මීයන් වැනි සතුන්ගේ මුත්‍රා මගින් දූෂිත වූ ජලය හෝ මඩ සමඟ සම ස්පර්ශ වීමෙන් බෝවන රෝගයක් වන අතර ඉන් දරුණු උණ සහ වකුගඩු වලට හානි සිදුවිය හැක. පිටගැස්ම (Tetanus) යනු ගංවතුර ජලයේ හෝ මඩේ ඇති බැක්ටීරියා තුවාල හරහා ශරීරගත වීමෙන් ඇතිවිය හැකි රෝගයකි.

කෘමි දෂ්ටන මගින් බෝවන රෝග (Vector-borne Diseases) ද ජල ගැලමකින් පසුව පහසුවෙන් ව්‍යාප්ත විය හැකි රෝග තත්ත්වයක් වන අතර, ජලය බැස යාමෙන් පසු රැඳී පවතින නිශ්චල ජලය මදුරුවන් බෝවීමට හොඳ පරිසරයක් සපයයි. ඩෙංගු (Dengue) යනු මදුරුවන් මගින් බෝවන වෛරස් උණ රෝගයකි. එය ද සෑම වැසි සමයකින් පසුවම ව්‍යාප්තියක් පෙන්වන්නකි. මැලේරියාව (Malaria) ද මදුරුවන් මගින් බෝවන රෝගයකි.

මේ අතර ජල ගැලීම් වලින් පසුව සමේ රෝග (Skin Infections) වල ව්‍යාප්තියක් පෙන්වයි. අපිරිසිදු ජලයට දිගු කලක් නිරාවරණය වීම නිසා සමේ කැසීම, ආසාදන, සහ තුවාල ආසාදනය වීම ඇතිවිය හැක. ශ්වසන රෝග (Respiratory Infections) සරණාගත කඳවුරු වැනි ජනාකීර්ණ ස්ථානවල එකට සිටීම නිසා සෙම්ප්‍රතිශ්‍යාව, උණ, සහ නියුමෝනියාව වැනි රෝග පහසුවෙන් පැතිර යා හැකිය. තෙත් පරිසරය නිසා දිලීර ආසාදන (Fungal Infections) ද ඇතිවිය හැක.

 

fl2

එමෙන්ම ඉහත සඳහන් රෝග අවදානම් පිටු දැකීම පිණිස අනුගමනය කළ හැකි ප්‍රාථමික සෞඛ්‍ය පිළිවෙත් ද බොහොමයකි. පානය සඳහා උණු කර නිවාගත් ජලය හෝ ක්ලෝරීන් යෙදූ ජලය පමණක් භාවිතා කිරීම ඉන් පළමු සුව පිළිවෙත යි. ආහාර ගැනීමට පෙර සහ වැසිකිළි භාවිතයෙන් පසු සබන් යොදා දෑත් හොඳින් සේදීම ද අතිශය වැදගත් ය. හොඳින් පිසූ ආහාර පමණක් අනුභව කරන්න. අමු එළවළු සහ පලතුරු ලුණු වතුරෙන් හොඳින් සේදීමත් ඉතා වැදගත් ය. ගංවතුර ජලයේ හෝ මඩේ වැඩ කිරීමේදී බූට් සපත්තු පැළඳීමෙන් හා අවශ්‍ය නම් වෛද්‍ය උපදෙස් මත මී උණට එරෙහිව නිවාරණ ඖෂධ ගැනීමෙන් එම අවදානම ද පිටු දැකිය හැක.

ජලය රැඳී ඇති ස්ථාන පිරිසිදු කර මදුරු කීටයන් බෝවීම වළක්වා ගත හැකිය. මදුරු දැල් හෝ විකර්ෂක භාවිතා කිරීම ද වැදගත් ය. උණ, පාචනය, වමනය, දැඩි හිසරදය, හෝ මාංශ පේශි වේදනාව වැනි රෝග ලක්ෂණ ඇත්නම් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගැනීම ද වැදගත් වන අතර, මෙය ජල ගැලීම් සහ ගංවතුර ආපදාවන්ට ලක් වූ සහ ලක් නොවූ සැමට දිය යුතු පොදු උපදෙසකි.

Screenshot 2024 12 25 at 10.13.44 copy(සටහන | රීටා ජෙනට් පෙරේරා)

madampagereetajenet@gmail.com

උපුටා ගැනීම - vinivida

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...