ජාති, ආගම්, පක්ෂ පාට බේදවලින් තොරව, එකට එක් වෙමු. දේශපාලනය කිරීමට ඕනෑ තරම් කාලය ඇති අතර, ව්‍යසනයට මුහුණ දීමට විශාල කාලයක් නැහැ. අපි එක්ව රට ගොඩ නගමු.”
මෙය ඉකුත් 30 වන දින රාත්‍රී, ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතිය අමතමින් කළ ඉල්ලීමකි.
ඔහු මේ ඉල්ලීම කිරීමේ දේශපාලනයක් ඇත. ඔවුන්ම දසක ගණනාවක් පුරා වගා කළ ආගමික, වාර්ගික බෙදීම්, මාධ්‍යයට කෙරෙන හුදකලා ඉල්ලීමකින් තුරන් නොවන බව ඔහු නොදන්නා කාරණාවක් නොවේ. එවගේම ඔහු දන්නා කාරණාවක් වන්නේ, ඔහුගේ ඉල්ලීමට අනුව, සියල්ලන්ට එකතු විය හැක්කේ ඔහු සතු විධායක බලතල යටතේ බව සහ එයද එළෙස කියූ පමණින් සිදු නොවන බව ය. එහෙත් එම ඉල්ලීමේ ඔහුට වැදගත් කාරණාවක් ඇත. ඒ නම්, ඔහුගේ ආණ්ඩුවට ඇති විවේචන, විරෝධය විපක්ෂය විසින් ප්‍රයෝජනයට ගැනීම අහෝසි කරමින්, සක්‍රීය විපක්ෂයකින් තොර ආණ්ඩු පාලනයක් ගෙන යාම ය. ඔහුගේ ආණ්ඩුව වෙනුවෙන් උත්තර දීමට විපක්ෂය තබා ගැනීමේ දේශපාලන උපාමාර්ගයක් වශයෙනි.
එහෙත් මේ සමාජයේ නාගරික මධ්‍යම පංතික සමාජ ක්‍රියාකාරීන්, විද්වතුන්, විශේෂඥයින් ඒ ඉල්ලීම කරන්නේ, හැමෝගෙම ශක්තිය ගොනුකර ගැනීමෙන් “රට වේගයෙන් ගොඩ දා ගැනීම” ඉන් සහතික වන්නේ යැයි රටේ ජනතාවට කීමට ය. ජනතාව හසුව ඇති මෙවැනි දැවැන්ත ඛේදවාචකයකදී “අප බෙදී නොසිටිය යුතුයැයි” වැනි සුචරිතවාදී අදහසක් ඇතිව ය. එවගේම, මේ වෙලාවේ ආණ්ඩුව විවේචනය නොකළ යුතු යැයි, නොකියා කීම ය.
ප්‍රතිශ්ඨාපනයේ ආණ්ඩුවෙහි නැඹුරුව
ඒ කිසිවකින් ජනාධිපති අනුර කුමාර කියූ පරිදිම, අපට මුහුණ දීමට සිදුව ඇති, “එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැගීමේ කාර්ය භාරයට” පිටිවහලක් ලැබෙන්නේ නැත. අද මේ ඛේදවාචකය ඉල්ලා සිටින අනාගත ජාතික සංරක්ෂණ සැළසුම එමගින් හැදෙන්නේ නැත. ගම් මට්ටමින් ලබා ගත යුතු අන්තිම පුංචි කාරණාව දක්වා සියල්ල තාර්කිකව, සංරක්ෂණ සැළසුමකට ගොනු කිරීමේ වැදගත් සාකච්ඡාවක් සමග එය සම්පාදනය කළ යුත්තකි. එවගේම එයට ජාතික එකඟත්වයක් තිබීමද අවශ්‍ය වන්නකි.
ආණ්ඩුව එවැනි උත්සාහයක් ගන්නා බවක් තවමත් දකින්නට නැත. ඒ වෙනුවට, ඉකුත් දෙසැම්බර් 01 වන දින, ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කරනු ලැබ ඇති සිංහල නිවේදනයෙහි ඉංග්‍රීසියෙන් ‘Rebuilding Sri Lanka’ යැයි සඳහන් කෙරෙන “ඩිට්වා” සුලි කුණාටුවෙන් පසු “ශ්‍රී ලංකාව ප්‍රතිශ්ඨාපනය කිරීමේ” අරමුදලක් ගැන විස්තර කිරීමක් කෙරේ. එහි නිත්‍යානුකූලත්වය හා වගවීම ගැන කතාව පැත්තකින් තැබුවත්, එම අරමුදල කලමනාකරණය සඳහා පත්කර ඇත්තේ මෙරට ඉහළ පෙළේ ජාවාරම්කාර ව්‍යාපාරිකයින් බහුතරයක් සමග වන කමිටුවකි. එම කමිටුවේ සභිකයින් 11 දෙනාගෙන් 07 කු යෝධ ජාවාරම්කාර ව්‍යාපාරිකයින්ය. අනෙක් සිව් දෙනා, ජනාධිපතිගේ හිතවත්කම් අනුව, රජයේ ප්‍රධාන පරිපාලන තනතුරු සඳහා පත් කෙරුණු දේශපාලන හිතවතුන් ය. ඒ සඳහා ඇමති මණ්ඩල අනුමැතිය සහිතව එය පිහිටුවනු ලබන්නේ, ජනාධිපති ලේකම් කාර්යාලය යටතේය.

මෙම අරමුදල කලමනාකරණය කිරීමට යැයි කියූවත් කමිටුවට පවරා ඇති වගකීම් ඉන් බොහෝ එහාට යන වගකීම් වෙති. ජනාධිපති මාධ්‍ය අංශයට අනුව, ඒ වගකීම් අතර, ප්‍රතිශ්ඨාපනය සඳහාවන සමාජීය “අවශ්‍යතා තක්සේරු කිරීම, ප්‍රමුඛතා සැකසීම, අරමුදල් වෙන් කිරීම සහ අනුමත ප්‍රතිසාධන සදහා මුදල් නිකුත් කිරීමේ” බලයත් ඇත. කෙටියෙන් කිවහොත් ජනාධිපති කියූ, “එදා මෙදා තුර” ඔහුගේ ආණ්ඩුවට බාර වන “විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නය සහ නැවත ගොඩනැගීමේ කාර්යභාරය” ඔහු මෙම කමිටුවට පූර්ණ ලෙස පවරා ඇති සෙයකි. තවත් ආකාරයකින් කියන්නේ නම්, මේ රටේ ජනතාවගේ අනාගතය, ඔහුගේ ඇමති මණ්ඩලයේ අනුමැතිය ඇතිව, නිලධාරීන් සිව් දෙනෙකු සමග යෝධ ජාවාරම්කාර ව්‍යාපාරිකයින් 07 කු ඉන්නා මෙම කමිටුවට පවරා ඇත. එවගේම මෙම කමිටුව අවසන් වශයෙන් වගකිව යුත්තේ කාටදැයි වන සඳහනක් කොතැනකවත් නැත.
ප්‍රතිශ්ඨාපනය සතු බිම් මට්ටමේ සංකීර්ණත්වය
“ඩිට්වා” සුලි කුණාටුවෙන් පසු ශ්‍රී ලංකාව ප්‍රතිශ්ඨාපනය කිරීමේ කාර්ය භාරය හා වගකීම, 2004 දෙසැම්බරයේ සුනාමියට වඩා අතිශයින්ම භාරධූර ය. අති සංකීර්ණ ය. එදා විනාස වූයේ දකුණුකරයේ හා නැගෙනහිර වෙරළකරය පමණි. පළාත් වශයෙන් ගතහොත් පළාත් දෙකක, වෙරළකර ප්‍රදේශ පමණි. එදා ආණ්ඩුවට පැවරුණු වගකීම වූයේ, ඒ පළාත් දෙකෙහි, වෙරළකර ප්‍රදේශවල
(1) විනාස වූ නිවෙස් නැවත ඉදිකර දීමට හවුල් වීමත්
(2) යටිතල පසුකම් පිළිසකර කිරීමත්
(3) ධීවර ප්‍රජාවට අවශ්‍ය ආම්පන්න ලබා දීමත්
(4) අනෙකුත් ජනතාවගේ ජීවනෝපා සඳහා ආධාර කිරීමත්
(5) “ආරක්ෂිත වෙරළ තීරය” නිත්‍යානුකූලව මීටර් 100 ක් ලෙස සහතික කිරීමත් ය.
පස්වැන්න සහ රජයේ ඉඩම් පරිහරණය සඳහා වන අවසරය හැර, අනෙක් බොහෝ කාර්යන් දේශීය හා විදේශීය රාජ්‍ය නොවන සංවිධාන විසින් බාර ගනු ලැබිණ.
මෙවර ඛේදවාචකය ජාතික මට්ටමෙන් සිදු වූවකි. රටේ එක කොණක සිට අනෙක් කොණ දක්වා අඩු වැඩි මට්ටමින් වූවත් සියලු දිස්ත්‍රික්ක වලට බලපෑවකි. පරිපාලන දිස්ත්‍රික්ක 25 න් දකුණු පලාත් දිස්ත්‍රික්ක වන ගාල්ල, මාතර, සහ හම්බන්තොට හැර සෙසු දිස්ත්‍රික්ක 22 ම “ජාතික ආපදාවන්ට හසුවූ දිස්ත්‍රික්ක” ලෙස ආණ්ඩුව දෙසැම්බර 02 වන දින ගැසට්කර ඇත. එනම් පළාත් 09 න් 08 ක තත්ත්වය බරපතල ය.
දකුණේ දිස්ත්‍රික්ක 03 ට “ඩිට්වා” සුලි කුණාටුවෙන් කිසිදු හානියක් සිදු නොවුනා යැයි ඉන් නොකියවේ. ඉකුත් නොවැම්බර් 30 වන විට, දිස්ත්‍රික්ක 25 ටම අයත් අනාථ වූ 1,20,000 ට වැඩි පුද්ගලයින් සංඛ්‍යාවක් තාවකාලික රැඳවුම් මධ්‍යස්ථාන 919 ක නතරකර සිටියහ. ඉන් කියැවෙන්නේ එම දිස්ත්‍රික්ක 03 හි තත්ත්වය දෙසැම්බර් 02 වන දින වනවිට යහපත්ව ඇතැයි කීමය.
ජාතික ආපදාවන්ට හසුවූ දිස්ත්‍රික්ක 22 හි හමුදාවට පවා යන්නට නොහැකි වූ ගම්, දෙසැම්බර 01 වන දා වන විටත් තිබිණ. කිසිදු සහනාධාරයක් නොලැබුණු ගම් ප්‍රදේශ තිබිණ. එබැවින් මෙවර “නැවත රට ගොඩ ගැනීම” යනු ඉතා සංකීර්ණ ගැටළු සඳහා විසඳුම් සොයන්නට අපව ඇදගෙන යන්නාවූ ඛේදවාචකයකි. සුනාමි (2004) ව්‍යසනයේදී මෙන් සැළකිය යුතු නිවාස හා පාසල් සංඛ්‍යාවක්, ඇතැම් පූජනීය ස්ථාන, ප්‍රජා ශාලා වැනි පොදු ගොඩනැගිලි, රාජ්‍ය නොවන සංවිධානවල ආධාර හා ප්‍රජා ශ්‍රමයෙන් ඉදිවනු ඇත. එහෙත් එය විශේෂයෙන් කන්ද උඩරට දිස්ත්‍රික්ක 07 හි එළෙසින් සිදු වන්නට ඉඩ තැබිය නොහැක. ඒ දිස්ත්‍රික්කවල නාය යෑම් වලට ගොදුරුවී සම්පූර්ණ නිවාස අහිමි වූවන් අතර සැළකිය යුතු අනවසර පදිංචිකරුවන් සංඛ්‍යාවක් ඇතැයි පොදු නිගමනයක් ඇත. ඒ අතර දේශපාලන බලවතුන්ද, සල්ලිකාරයින්ද ඇත.
නිවාස සම්පූර්ණයෙන් කඩා වැටුණු හා ආපදා වලට ලක්ව ඇති නිවාස වල නිවැසියන්ට යළි ඒ ස්ථානවල පදිංචි වන්නට ඉඩ දෙනවාද නැද්ද යන්න ප්‍රතිපත්තිමය තීන්දුවකි. ඔවුන්ට සිටි තැනටම යන්නට ඉඩ දීම ලබන වසරේ හෝ ඊළඟ වසරේ නැවත එවැනිම නාය යෑම් වලට ගොදුරු වන්නට ඉඩ තැබීමක් විය හැක. එනිසා එවැනි පදිංචිකරුවන් වඩා සුරක්ෂිත ප්‍රදේශවල යළි පදිංචි කරවීමේ තීන්දුව ගත යුත්තේ ආණ්ඩුවය. එවගේම, අනාරක්ෂිත, නාය යෑමේ තර්ජන ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සිතියම්ගත කර ඇති ප්‍රදේශවල ජනතාව, ඒ ප්‍රදේශවලම තබනවාද නැද්ද යන්නත් තීන්දු කිරීමට, මේ ඛේදවාචකය විසින් බල කෙරෙන්නේය.
ආණ්ඩුවේ තීන්දුව වන්නේ, ඒ ප්‍රදේශවල ජනතාව නැවත මෙවැනි ව්‍යසනයකට ගොදුරු වන්නට, ඔවුන්ගේ පාරම්පරික ප්‍රදේශවලම පදිංචි කරවා නොතබන්නට නම්, ඔවුන් අලුතින් පදිංචි කරවන ප්‍රදේශවල යටිතල පහසුකම් හා පාසල්, රෝහල්, පොදු ගමනා ගමනය වැනි රාජ්‍ය සේවාවන්ද, ඔවුන්ගේ ජීවනෝපායන්ද මේ සමගම ස්ථාපිත කිරීමේ වගකීම ඇත්තේ ආණ්ඩුවටය.

ඊටත් වැඩි බරපතල තීන්දු ගැනීමට ආණ්ඩුවට සිදුවන්නේ, ප්‍රධාන මහා මාර්ග කිහිපයක් හා දුම්රිය මාර්ග සම්බන්ධයෙනි. කොළඹ-මහනුවර මහ මාර්ගයේ ගනේතැන්නට ඉහළින් කඩුගන්නාවේ “ගල විද්ද වංගුව” දක්වා වන කොටසෙහි නාය ගිය ස්ථාන පිළිසකර කර, ඒ මාර්ගය නැවත සුපුරුදු ධාවනයට තබා ගත හැකිද? පේරාදෙනිය විශ්ව විද්‍යාලයයේ මහාචාරිනී රේඛා නියන්තිනි සමග පේරාදෙනිය විශ්ව විද්‍යාලයයේ ලාලිත්‍යා වල්පිට හා කේ.එම්.එස්.යූ උඩුපිහිල්ල විසින් කරන ලද “ගනේතැන්න ග්‍රාම නිලධාරි වසමේ නාය යෑමේ අවකාශය” සම්බන්ධ ක්ෂේත්‍ර අධ්‍යනයට අනුව, 2023 වන විටද පහළ කඩුගන්නාව ප්‍රදේශය නාය යෑමට බෙහෙවින් ඉඩ ඇති ප්‍රදේශයක් විය. ඒ බැව් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයද තහවුරු කර ඇත.
ඉකුත් 22 වන දින ජීවිත 06 ක් බිලි වූ කඩුගන්නාවේ 97 වන සැතපුම් කණුව ආසන්නයේ නාය යෑම, ඒ ගොඩනැගිලි අනවසර ගොඩනැගිලි වූයෙන් සිදුවූවක් නොවේ. අවසර ඇතිව එහි පදිංචිව සිටියත් නාය යෑමට හසු වනු ඇත. කොළඹ-මහනුවර පාරේ 97 සහ 100 සැතපුම් කණු අතර ප්‍රදේශය, නාය යෑමේ බරපතල තර්ජන ඇති ප්‍රදේශයක් යැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ ජ්‍යෙෂ්ඨ භූ-විද්‍යඥයා ප්‍රසිද්ධියේ කියූ අවස්ථා ඇත.

එබැවින් කාගේ මුදල් වූවත් ණයට ගත් හෝ ආධාර ලෙස ලැබුණු මුදල් වූවත් රුපියල් මිලියන ගණන් වැයකර මේ කොළඹ-මහනුවර (ඒ-1) මාර්ගය අළුත්වැඩියා කර ඉදිරියටත් තබා ගැනීම, නැවත නාය යෑමට ඇති ඉඩ නොසළකා හැරීමේ තීන්දුවක් වන්නේය. එනිසා පහළ කඩුගන්නාව මග හැර, විකල්ප කොළඹ-මහනුවර මාර්ගයක් දියුණු කිරීමට, ආණ්ඩුව වහා තීන්දු කළ යුතුය. එවගේම, කොළඹ-මහනුවර මධ්‍යම අධිවේගී මාර්ගය සම්පූර්ණ කිරීමට පෙර, එය ගමන් ගන්නා ප්‍රදේශ, කෙතරම් ආරක්ෂිත දැයි වහා පරීක්ෂා කළ යුතුය. එවැනි තවත් ප්‍රධාන මාර්ග ඇත. ඒවාටද විශේෂඥ අවධානයක් යොමු විය යුතුය.
අනෙක් බරපතලම ගැටළුව වන්නේ කොළඹ-බදුල්ල දුම්රිය මාර්ගය පිළිසකර කිරීමෙහි ය. විශේෂයෙන් නාවලපිටියෙන් පසු ඉහළ කඳුකරය හරහා වන දුම්රිය මාර්ගය, සෑම වසරකම නාය යෑමට ගොදුරුවන දුම්රිය මාර්ගයකි. මෙවර එය උපරිම සෝදා පාලුවකට හසුව ඇත. අති විශාල මුදලක් වැයකර තව දුරටත් එම දුම්රිය මාර්ගය ආරක්ෂිතව නඩත්තු කළ හැකිදැයි යන්න පහසු පිළිතුරක් දිය හැකි ප්‍රශ්නයක් නොවේ. එනිසා නාවලපිටියෙන් පසු කොළඹ-බදුල්ල දුම්රිය මාර්ගයටද විකල්ප තිබේදැයි විශේෂඥ මත විමසීමක් සිදුවිය යුතුය.

හෙට වහා කළ යුත්ත
ආණ්ඩුව වෙත පැවරෙන, ජනතාව වෙනුවෙන් ආණ්ඩුව තීන්දු ගන්නේ නම් ආණ්ඩුව බාර ගත යුතු වගකීම වන්නේ, රුපියල් බිලියන ගණන් වැය කිරීමට පෙර, මේ රටේ ප්‍රධාන මහා මාර්ග සහ දුම්රිය මාර්ග පද්ධති අළුත්වැඩියා කළ යුත්තේ කෙසේදැයි විමසා සිටීමය. ඒ අනුව යටිතල පහසුකම් දියුණු කිරීම සඳහා අලුතින් සැළසුම් කිරීමය. ඒ සඳහා අනෙක් දේශපාලන පාර්ශව හවුල්කර ගැනීමත් විශේෂඥ දැනුම එකතු කර ගැනීමත් අතිශය වැදගත් බව අවිවාදිත ය. එහෙත් “එන්න, අපිත් එක්ක එකතු වන්න” යැයි කීමෙන් එවැන්නක් සිදුවන්නේ නැත. එවැනි හවුලක් ප්‍රජාතන්ත්‍රවාදී හවුලක් විය යුතුය.
ජනාධිපති අනුර කුමාර විසින් එබැවින් වහා කළ යුත්තේ “ඩිට්වා” සුලි කුණාටුවෙන් පසු ශ්‍රී ලංකාව දියුණු රටක් ලෙස ප්‍රතිශ්ඨාපනය කිරීමේ වගකීමට සියල්ලන් හවුල් කරගත හැකි “සර්ව පාක්ෂික” සභාවක් කැඳවීම ය. ඒ සර්ව පාක්ෂික සභාවෙහි අරමුණ විය යුත්තේ පළමුව මහ මාර්ග හා දුම්රිය මාර්ග පද්ධතිය නැවත පිළිසකර කිරීමට අදාල ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම ය. දෙවැන්න, නාය යෑමේ බරතල තර්ජන ඇතැයි සිතියම්ගත ප්‍රදේශවල වාසය කරන ජනතාව ආරක්ෂිතව විකල්ප ප්‍රදේශවල පදිංචි කිරීම සම්බන්ධව තීන්දු ගැනීම ය. ඒ වෙනුවෙන්, ඔවුන්ට උපදෙස් ගත හැකි විශේෂඥ කමිටුවක් පත්කර ගැනීමටද ඔවුන්ට අවසර තිබිය යුතුය.
“සර්ව පාක්ෂික” සභාවක් කැඳවීමට ජනාධිපති අනුර කුමාර තීන්දු කරන්නේ නම්, එය “ශ්‍රී ලංකාව වෙනුවෙන් අපි ඔක්කොම එකතුවෙමු” යැයි වන, මෝඩ ආතල් කතාව වැන්නක් නොව, වගකීම් සදහා ඇත්තටම හවුල් වීමකි.
(සටහන | කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
kusal.perera@gmail.com
2015 දෙසැම්බර් 04 වන දින




