දැන් දේව වාක්‍යයක් සේ සමාජ ජාලා වල නැවත නැවතත් පළ කිරිමින් සිටී.
"දිට්වා" සුළි කුණාටුව පැමිණියේ මාලිමාවේ උදවියට දිට්ඨධම්ම වේදනීය කර්මය පඩිසන් දීමට යැයි කතාවක්ද දැන් පැතිරෙමින් තිබේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මාසයකට පමණ පෙර අනතුරු අඟවා තිබියදීත් අර්බුදය කළමනාකරණය කරගත්තේ නැතැයි තවත් චෝදනාවකි.
හත් පොළෙහි ගා ගත් මාලිමා ආණ්ඩුව

කෙසේ වුවද ආණ්ඩුව හත් පොළේ ගාගෙන බැරි බැරියාවෙන් පෙළෙන කළ රනිල් පක්ෂ නායකයෝ කැඳවී ය. හමුව පැවැත්වුණේ මල් පාර දේශපාලන කාර්යාලයේ ය. තමා දේශපාලන පක්ෂ නායකයින් මෙන්ම නියෝජිතයන් කැඳවීමට තීරණය කර ඇති බව රනිල් මුලින්ම කීවේ රනිල් ආණ්ඩු කළ සමයේ මාධ්‍යයේ ලොක්කන් වූ දිනිත්, ශානුක සහ දිනුක්ටයි. එය හොඳ අදහසක් බව දිනිත් චින්තක ඇතුළු සියල්ලෝ ම අනුමත කළහ.
අනතුරුව පක්ෂ නායක හමුවට වට පිටාව එළි පෙහෙළි කෙරිණි. රනිල් පක්ෂනායක හමුවක් කැඳවන්නට යන බවට මාධ්‍යයේ පූර්ව ප්‍රතිචාරයක් පළ කෙරිණි. මේ පුවත දුටු ආණ්ඩුවේ ඇත්තන්ගේ ඉහ මොළ තවත් රත් වූ බව කියති. කාලගුණ ව්‍යසනයෙන් හෙම්බත්ව සිටි ඔවුහු " මේ මිනිහා මොන අටමගලයක් අටවන්න යනවාදැයි" සිතාගන්නට බැරිව තෘෂ්නිම්භූතව සිටි බව ආරංචි ය.
රනිල් පක්ෂ නායක සහ නියෝජිත හමුව කැඳවූයේ ඉකුත් බදාදා ය. එදින පාර්ලිමේන්තු දවසකි.බොහෝ පක්ෂ නායකයෝ ව්‍යසනයෙන් හෙම්බත්ව සිටි තම පාක්ෂිකයන්ගේ සැප දුක් බලන්නට ගම් රටවලට ගොස් සිටියහ. එහෙත් පක්ෂ තිස්පහක් පමණ නියෝජනය කරමින් නායකයෝ සහ නියෝජිතයෝ එහි පැමිණ සිටියහ.
ආණ්ඩු බලය පැලවත්තෙන් පාර්ලිමේන්තුවට ගන්න

මල් පාරට ආ දේශපාලන පක්ෂ නියෝජිතයින් සාදරයෙන් පිළිගත් රනිල් ආණ්ඩුවට යෝජනා කිහිපයක් ද ඉදිරිපත් කළේ නිහතමානීව ඒවා පිළිගෙන හැදෙනවා නම් හැදෙන්නත් එක්ක ය.
"පැලවත්තෙන් බලය ඉවත් කරලා ආපහු පාර්ලිමේන්තුවට බලය පවරන්න ජනාධිපතිවරයා වහා ක්‍රියා කරන්න ඕන"
රනිල් කීවේ කතාව අරඹමිනි.
''හරි නම් දැන් ජනාධිපති පක්ෂ නායකයෝ කැඳවලා ඒ තීරණය ගන්න ඕන. දැන් රාජ්‍ය බලය ක්‍රියාත්මක කරන්නේ ජනාධිපති කාර්යාලයෙන් හෝ අගමැති කාර්යාලයෙන් නෙමෙයි. පැලවත්තේ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලයෙන්"
රනිල් කී කතාව සියල්ලෝම අනුමත කළහ.
''ආපදා මෙහෙයුම් වැඩ පවා කෙරෙන්නේ ජනාධිපති සහ අගමැති කාර්යාල වල ඉඳලා නෙමෙයි. ප්‍රධාන ආපදා මෙහෙයුම් කාර්යාලය කරගෙන තියෙන්නේ පැලවත්තේ දේශපාලන කාර්යාලය.''
රනිල්ගේ විවේචන මෙන්ම යෝජනා පක්ෂ නායකයන් මුනිවත රකිමින් අසාගෙන සිටියේ ඒවායින් ඔවුන්ට ගන්නට පාඩමක් තිබෙනවා මෙන්ම ගම් මට්ටමින් ජනතාව දැනුවත් කිරීමට හොඳ ඉලක්ක ඒ කතාවේ ගැබ්ව පවතින බැවිනි.
සියල්ල දත් පාලක උත්තමයෝ

" ප්‍රධාන කාරණය තමයි මේ වෙලාවේ ආණ්ඩුව තමන්ගේ තරම තේරුම් ගන්න ඕන"
හිටපු කතානායක මහින්ද යාපා කී කතාව අනුමත කළ රනිල් රජයට අත්දැකීම් අඩු නිසා පාර්ලිමේන්තුව විසින් ආපදා කළමනාකරණය සහ ප්‍රතිසංස්කරණය පිළිබඳ අධීක්ෂණ කමිටුවක් පත් කිරීම සුදුසු බවට යෝජනා කළේය. එහි සභාපතිත්වය පළපුරුදු මන්ත්‍රීවරයෙකු විසින් දැරිය යුතු බවත් විපක්ෂයේ කබීර් හෂීම් වැනි මන්ත්‍රීවරයෙක් ඊට පත් කළ හැකි බවත් කීය.
"සර්, ඒක හොඳ යෝජනාවක් තමයි, හැබැයි මං හිතන්නෙ නෑ සියල්ල දත් පාලක උත්තමයෝ ඔය යෝජනා පිළිගනීවි කියලා."
රාජිත කීවේ උපහාසය ද මතුකරමිනි.
"යටිතල පහසුකම් විශාල වශයෙන් බිඳ වැටිලා තියෙන්නේ.සංස්කෘතික වටිනාකම් තියෙන තැනුත් ඒ අතර තියෙනවා"
අනුර යාපා කීවේය.
ඊට පිළිතුරක් දෙමින් රනිල් කීවේ ප්‍රතිසංස්කරණය කිරීම සඳහා මඟ පෙන්වීමට සියලු ආගමික, දේශපාලන නායකයින් සහ විවිධ අංශවල ප්‍රමුඛ පුද්ගලයින්ගේ රැස්වීමක් කැඳවිය යුතු බවයි.
''පළවෙනි රැස්වීමේ මුලසුන රටේ මහනායක හිමිවරුන් හතර දෙනා විසින් දරනවා නම් ඒක ලොකු හයියක් වේවි.ආණ්ඩුව උන්වහන්සේලාට ඒකට ආරාධනා කරන්න ඕන.අනෙක් ප්‍රධාන ආගමික නායකයන්ටත් ඊට ආරාධනා කළ යුතුයි.එතකොට පොදු සමාජයේ හොඳ මතයක් හැදෙනවා. කරූ ජයසූරිය වගේ කෙනෙක් සභාවේ කැඳවුම්කරුවන්ගෙන් කෙනෙක් ලෙස කටයුතු කිරීම සුදුසුයි. අනෙක් කැඳවුම්කරු රජය විසින් පත් කළ හැකියි.''
රනිල් එහි සංයුතිය ගැන තමාගේ මතය පළ කළේ ය.
බඩ විරේක බෙහෙත් දීලා මොකක්ද මැහුවා වගේ

ආපදාව වුණාට පස්සේ ආණ්ඩුව හැසිරිච්ච විදිය ගැන මතය මොකක්දැයි මෙහි දී තරුණ මන්ත්‍රීවරුන් ඇසූ පැනයකට පිළිතුරු දුන් රනිල් කීවේ ආපදාවෙන් පසු නොවැම්බර් 28 වැනි සිකුරාදා නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම නිසා ආපදා කාර්යයන් පවරා ඇති සියලුම දෙපාර්තමේන්තු, අංශ සහ අනෙකුත් නිලධාරීන් අක්‍රිය වූ බවයි.
"ඒ තීරණය හරියට බඩ විරේක බෙහෙත් දීලා අර මොකක්ද මැහුවා වගේ නේද සර්...?'' යැයි තරුණ මන්ත්‍රී කෙනෙක් කී කතාවට රනිල්ටත් හොඳටම හිනා ගියේය.
"ආණ්ඩුව දැනුත් වරදක් කරමින් ඉන්නේ. පාර්ලිමේන්තුව, කැබිනට් මණ්ඩලය සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC) මග හරිමින් ආධාර දීම දේශපාලනීකරණය කිරීමට කටයුතු කරමින් ඉන්නවා. ඒ වගේම තවත් සමාන්තර ආපදා සහන අරමුදලක් පිහිටුවා තිබෙනවා. මේ ව්‍යසනයට මුහුණ දෙන්න ආණ්ඩුවට උපාය මාර්ගයක් තිබුණේ නැහැ. පුනරුත්ථාපනය සහ අලුත්වැඩියාව සඳහා සැලසුම් ද ඇත්තේ නැහැ."
රනිල් සංෂිප්ත උත්තරයක් දුන්නේ ය.
හැදෙනවා නම් ආණ්ඩුවට රනිල් ගෙන් උපදෙසක්

මේ අර්බුදය රනිල් දකින හැටි මෙන්ම ඊට ඔහුගේ පිළිතුරු දැනගැනීමට බොහෝ දේශපාලන පාක්ෂණ නායකයන් මෙන්ම නියෝජිතයන් උනන්දුවූයේ අර්බුද කළමනාකරණයෙහිලා දැනට ලංකාවේ සිටින අංක එකේ මිනිසා රනිල් බව හොඳට ම දන්නා නිසා ය. විපක්ෂයේ නායකයින් පමණක් නොව ආණ්ඩුව ද එය හොඳාකාරව ම දන්නේය. ආණ්ඩුව රනිල්ට මෙච්චරටම බයවී ඇත්තේ ඒ නිසා ය.
"නොවැම්බර් 28වෙනි දිනට අදාළව ආපදා කළමනාකරණයේ අඩුපාඩු ගැන වාර්තා කරන්න රජයේ සහ විපක්ෂයේ සමාන සාමාජිකයින් සංඛ්‍යාවක් සහිත විපක්ෂයේ මන්ත්‍රීවරයෙකුගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් වහාම පත් කරන්න ඕන. කමිටුව මාස 6 ක් ඇතුළත වාර්තා ඉදිරිපත් කළ යුතු වනවා. දිස්ත්‍රික්කවල සහන සහ ප්‍රතිසංස්කරණ කටයුතු දිස්ත්‍රික් ලේකම්වරුන්ට බාර දිය යුතුයි. දිස්ත්‍රික් ලේකම්වරුන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට වාර්තා ඉදිරිපත් කළ යුතු වනවා. දේශපාලන සහ ජනතා විමුක්ති පෙරමුණේ කාඩර්වරුන් ඒවායින් ඉවත් කළ යුතු ම යි. අය වැය මේ අවස්ථාවේ දී අදාළ කරගත යුතු නැහැ. හානියේ තරම දැනගත් පසු 2026 ජනවාරි මාසයේදී නව අය වැයක් ඉදිරිපත් කිරීමට හැකියි."
රනිල් කී කතාව ඇසූ විපක්ෂ දේශපාලන නියෝජිතයන් කීවේ ආණ්ඩුවට හැදෙන්නට නම් ඔය උපදෙස් ටිකම ප්‍රමාණවත් බවයි.
කලබල නොවී ටිකක් ඉමු

හමුව අවසානයේ නායකයින් සියලුම දෙනා වෙතින් රනිල්ට යෝජනාවක් ඉදිරිපත් කෙරිණ.
"මේකට හොඳට ම පලපුරුද්ද තියෙන්නේ සර්ට. ඒක ගැන කතා දෙකක් නැහැ.ඒ නිසා ඉක්මනින් වගකීම බාරගන්න ඕන නැද්ද...?'' යැයි ඔවුහු විමසූහ.
රනිල් ඊට පිළිතුරු දුන්නේ ඉතා සැහැල්ලුවෙනි.
"තාම මැරුණේ කවුද? අතුරුදන් වුණේ කවුද? කියලවත් හොයාගෙන නෑනේ. ඒවා හොයාගන්න තුරුවත් කලබල නොවී ටිකක් ඉන්නකෝ!''
රනිල්ගේ ඒ උත්තරයට කවුරුත් සෑහීමකට පත්වුණා සේ පෙනුණි.
රනිල් කැඳවූ මෙම හමුව සඳහා හිටපු කථානායක මහින්ද යාපා අබේවර්ධන,හිටපු අමාත්‍යවරුන් වන ටිරාන් අලස්,උදය ගම්මන්පිල ,සරත් වීරසේකර,ජී.එල්.පීරිස්,අනුර ප්‍රියදර්ශන යාපා,නිමල් සිරිපාල,රාජිත සේනාරත්න,දුමින්ද දිසානායක,පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වඩිවෙල් සුරේෂ්,රවී කරුණානායක,හිස්බුල්ලා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වේලුකුමාර්, අසංක නවරත්න,ප්‍රේමනාත් සී .දොළවත්ත,හිටපු ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමාන්,එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් සභාපති වජිර අබේවර්ධන, මහ ලේකම් තලතා අතුඅතුකෝරල, ජාතික සංවිධායක සාගල රත්නායක,උපනායක අකිල විරාජ් ,නියෝජ්‍ය මහ ලේකම් හරීන් ප්‍රනාන්දු ඇතුළු පක්ෂ 35ක පමණ නියෝජිතයෝ සහභාගී වූහ.
වජිර ගේ මාධ්‍ය හමුවට මාධ්‍යයෙන් ඉහළ ප්‍රතිචාරයක්
සුළි කුණාටුව දවසේ වජිර වර්ෂාව මධ්‍යයේ ම මල් පාර කාර්යාලයට පැමිණ එහි සිටි අය සමග කතා බහ කර යම් කරදරයක් විපතක් සිදුවී ඇත්නම් වහාම තමා දැනුවත් කරන ලෙස ඔවුනට දැනුම් දුන්නේ ය. වජිර දිස්ත්‍රික්ක විසි පහේම තමාට හිතවත් රාජ්‍ය නිලධාරීන් සමග කතා බහ කර රටේ තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වී තිබිණි. එසේම ඇතැම් නිලධාරීන් වජිර සමග ඔවුන්ගේ ප්‍රදේශයේ ජනතාවට ඇති ගැටලු පිළිබඳ පවසන විට ඒවා නිරාකරණය කරගැනීමට මැදිහත් වුණේ ද හිටපු රාජ්‍ය පරිපාලන ඇමැතිවරයා වශයෙන් මෙවැනි ආපදා තත්ත්ව බොහෝමයකට මුහුණ දී ඒවා කළමණාකරනය කළ පළපුරුද්ද නිසාවෙනි.
වජිරට ඇතැම් ප්‍රදේශවල සිය හිතවතුන් කතා කළේ ඔවුන්ට ඇති ගැටලු අඩුපාඩු කියන්නට ය. වජිර කරමින් සිටි වැඩ ද පසෙකලා ඔවුන්ගේ දුරකතන ඇමතුම්වලට පිළිතුරු දුන්නේ මේ අවස්ථාවේ අසරණ වූ ජනයාට කුමක් හෝ පිළිසරණයක් වීමේ අරමුණෙනි. නායක රනිල්ද වජිරට කිහිප වතාවක්ම දුරකතනයෙන් කතා කර රටේ තත්ත්වය විමසා සිටියේ වජිරට වඩා මේ දේ දැන ගැනීමට වෙන කෙනෙක් නැති බව දන්නා නිසා ය.
රටේ හැම කොනකටම කතා බහ කර වජිර රටේ තත්ත්වය පිළිබඳ හොඳින් දැනුවත් වී සිටි නිසාම ඒ පිළිබඳව නායක රනිල්ද දැනුවත් කර තිබුණි. තත්ත්වය කළමණාකරනය කරන්නට වජිර විසින් සකස් කරන ලද යෝජනා පිළිබඳවද නායක රනිල් දැනුවත් කළේ ය. වජිර මාධ්‍ය හමුවක් කැඳවා එම යෝජනා මාධ්‍යයට ද ඉදිරිපත් කළේ ය. මාධ්‍යයෙන්ද ඊට ඉහළ ප්‍රසිද්ධියක් ලබා දී තිබිණි.
කොළඹ පොත් දොරට වැඩීමේ උත්සවයකදී රනිල්ට ශානි හමුවී යැයි සමාජ මාධ්‍යයේ තොරතුරක් පළ වී තිබිණි. හිතවත් මාධ්‍යවේදියෙක් ඒ කතාව රනිල්ගෙන් විමසී ය.
" ඔව් මට මිනිහා හම්බ වුණා. මම හලෝ කියල කතා කළා. මිනිහා බය වෙලා දිව්වනේ."
රනිල් කීවේ මා හඬින් හිනැහෙමිනි
(සටහන | මල් පාරේ ලියුම්කරු)




