The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

සම්මුති - විසම්මුති : නීතිපති අභියෝජක කාර්යාලයට විරුද්ධවීම, රනිල් සැනසීම සහ කලු රාජ්‍යය | සුනන්ද දේශප්‍රිය

T

The Leader Desk

December 5, 2025 • 9:34 AM

සම්මුති - විසම්මුති : නීතිපති අභියෝජක කාර්යාලයට විරුද්ධවීම, රනිල් සැනසීම සහ කලු රාජ්‍යය | සුනන්ද දේශප්‍රිය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එය පට්ට පල් බොරුවක් බව අපි දනිමු.
  • ඊට හේතුව නම් නීතිපති පසුගිය 17 දා අල්ලස් කොමිසම විසින් පවරන ලද නඩුවක චූදිතයකු වන රනිල් වික්‍රමසිංහගේ නීතිවේදීන් සමඟ සාකච්ඡාවක් පැවැත්වීමයි.
  • පාරින්ද රණසිංහ නීතිපති ලෙස පත් කරන ලද්දේ රනිල් විසිනි.
  • නීතිපති ද ඒ බව පිළිගත් නමුත් නීතිපතිවරයාට දැනුම් දීම පරීක්ෂණ දිගුවක් ලෙස අවශ්‍ය නොවන බව අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් කියා සිට තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

එය පට්ට පල් බොරුවක් බව අපි දනිමු. එසේ වෙතත් එම රීතිය අනුගමනය කිරීමට බැදී සිටින රාජ්‍ය සේවකයකු වන නීතිපති පාරින්ද රණසිංහ සේවය කරන්නේ ජනපති අනුර කුමාරගේ ජනප්‍රිය සටන් පාඨයක් වන කලු රාජ්‍යයේද යන ප්‍රශ්නය දැන් පැන නැගී තිබේ.

ප්‍රවීණ මාධ්‍යකරුවකු වන සරෝජ් පතිරණ යූ ටියුබ් වීඩියෝවක් මගින් පසුගිය දා ප්‍රශ්න කර තිබුණ් නීතිපති පාරින්ද රණසිංහ කටයුතු කරන්නේ හිටපු සහ පත් කල ජනාධිපති රනිල් වික්‍රමසිංහ සැනසීමට කියාය.

 

ඊට හේතුව නම් නීතිපති පසුගිය 17 දා අල්ලස් කොමිසම විසින් පවරන ලද නඩුවක චූදිතයකු වන රනිල් වික්‍රමසිංහගේ නීතිවේදීන් සමඟ සාකච්ඡාවක් පැවැත්වීමයි. සරෝජ් පතිරණ ප්‍රශ්න කරන්නේ නීතිපතිවරයා සාමන්‍ය පුරවැසියකුට මෙැවැනි වරදානයක් ලබා දෙන්නේ ද යන්නය. පාරින්ද රණසිංහ නීතිපති ලෙස පත්  කරන ලද්දේ  රනිල් විසිනි. ඒ ජ්‍යෙෂ්ඨත්වයෙන් එම දෙපාර්තමේන්තුවෙහි  ඊට සුදුසුකම් ලබා සිටි අයේෂා ජිනසේනට නොසළකා හරිමිනි. පාරින්ද රණසිංහ ඊට කාලගුණ සැළකුවාවත් දැයි සරෝජ් පතිරණ ප්‍රශ්න කරයි. එය කලු රාජ්‍ය ලකුණකි.

තවද එම නඩුව මෙහෙයවන අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් ද එම සාකච්ඡාවට කැඳවන ලදී. රනිල් වික්‍රමසිංහගේ නීති කණ්ඩායම ප්‍රශ්න කළේ නීතිපතිවරයාගේ පූර්ව දැනුමකින් තොරව නඩුව විමර්ශනය කිරීම සඳහා එක්සත් රාජධානියට කණ්ඩායමක් යැවීමට රහස් පොලිසිය ගත් තීරණය පිළිබඳවය. නීතිපති ද ඒ බව පිළිගත් නමුත් නීතිපතිවරයාට දැනුම් දීම පරීක්ෂණ දිගුවක් ලෙස අවශ්‍ය නොවන බව අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් කියා සිට තිබේ.  

Dileepa Peiris 2025.04.10 1
එම මිතුරු සමාගමට එම නඩුවෙහි අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටින දිලීප පීරිස් කැඳවීම සැලකිය හැක්කේ අනිසි බලපෑමක් සහ විශමාචාරයක් ලෙසය. රහස් පොලිසිය සිය එංගලන්ත සංචාරය නීතිපතිට නොදැන්වූයේ ඔහු ඊට හරස් වීමට ඉඩ තිබූ නිසා යැයි තර්ක කිරීමෙහි වරදක් නැත.

රාජපක්ෂවරුන් මෙරට පාලනය කළ භීෂණ සමයන්හි නීතිපති දෙපාර්තමේන්තුව එම භීෂනයේ කොටස්කරුවකු විය. ගෝඨාභයගේ මුස්ලිම් විරෝධී දේශපාලනයට අලඟු තබමින් බොරු චෝදනා මත රම්සි රසීක් සහ අන්හෆ් ජසීම් යන නිර්දෝශී මුස්ලිම් ක්‍රියාකාරීන් දෙදෙනෙකු දීර්ඝ කාලයක් රඳවා තබා ගැනීමට නීතිපති කටයුතු කළේය.

මෙරට නීතිපති දෙපාර්තමේන්තුව යනු ප්‍රභූ ආධිපත්‍ය දරන සාමාන්‍ය පුරවැසියකුට ඉහළ ස්ථානයක් ලබා ගැනීම දුෂ්කර අඩවියකි. ප්‍රභූ සමාජ තීරුවෙහි නීතිවේදීහු එහි දිගටම රැඳී සිටින්නේ අධිකරණ ක්ෂේත්‍රයේ ඉහළට නැගීමේ බලාපොරොත්තුවෙනි. කලු රාජ්‍යයට නැත්නම් පාර රාජ්‍යයට සම්බන්ධ පිරිස් ද එහි ඉහළ පුටු අල්ලා ගෙන සිට තිබේ. දැන් පෙනෙන විදියට නීතිපති දෙපාර්තමේන්තුව කල්පනා කරන්නේ තමන් වෙන කිසිවකුට අත නොතැබිය හැකි ශුද්ධ භූමියක් ලෙසය.

justice

වසරකට පෙර ජාතික ජන බලවේග ආණ්ඩුව බලයට පත් වීමෙන් පසු මෙරට සිටින්නේ යුක්තිය සහ වගවීම සඳහා තීරණාත්මක සන්ධිස්ථානයකය. දශක ගණනාවක් තිස්සේ, නීතිපති දෙපාර්තමේන්තුව අපරාධ නඩු විභාග කරන අතරතුර රජයට උපදෙස් දීමේ ද්විත්ව භූමිකාව රඟපා තිබේ. මෙම විධිවිධානය සාම්ප්‍රදායික එකක් බව සැබෑය. එනමුත්  විශේෂයෙන් දේශපාලනික වශයෙන් සංවේදී නඩු පරීක්ෂාවට ලක් වන විට, නීතිපති දෙපාර්තමේන්තුවෙහි අපක්ෂපාතීත්වය පිළිබඳ ප්‍රශ්න බොහෝ  මතු වී තිබේ. බොහෝ ප්‍රජාතන්ත්‍රවාදී රටවල් මෙම තත්වයට පිළියමක් ලෙස ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ මගින් ස්වාධීන අභිචෝදක කාර්යාලයක් නිර්මාණය කර තිබේ.

107375993 107050201 e6c2e6b8 939c 4749 877f 1b46804c57db

 

පසුගිය ජනාධිපති මැතිවරණයෙහි දී ජාතික ජන බලවේගයද විපක්ෂ දේශපාලන පක්ෂය වන සමගි ජන බලවේගය ද නීතිපති දෙපාර්තමේන්තුවෙහි ද්විත්ව භූමිකාව සමනය කරනු පිණිස ස්වාධීන අභිචෝදක කාර්යාලයක් පිහිටුවන බවට සපථ කළහ. එය පාස්කු ඉරිදා ප්‍රහාරයන්හි වින්දිතයිනට යුක්තිය ඉල්ලා හඬ නගන සමාජ- ආගමික ව්‍යාපාරයන්හිද මුලික ඉල්ලීමකි.

නිදසුනක් ලෙස ප්‍රගීත් එකැනැළිගොඩ පැහැර ගැනීම පිළිබඳ පවරා ඇති නඩුව දෙස බලමු. මේ වන විට එම නඩු විභාගය විශේෂ අධිකරණයක් හමුවෙහි පවා වසර හතක් පමණ පැවත තිබේ. නමුත් අවසානයක් දක්නට නැත. නීතිපති දෙපාර්තමේන්තුව නීතිඥයින් මාරු කර තිබේ. නීතිපති දෙපාර්තමේන්තුවට නඩු බහා ලීමටත්, නඩු පමා කිරිමටත්, වින්දිතයා සහ අපරාධකරු යන දෙදෙනා වෙනුවෙන් පෙනී සිටීමටත් හැකිය.

ස්වාධීන අභිචෝදක කාර්යාලයක් සඳහා නීති කෙටුම්පත් කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩගේ නායකත්වයෙන් යුත් තාක්ෂණික විශේෂඥ කමිටුවක් ජාජබ ආණ්ඩුව විසින් පත් කරන ලද්දේ මාස හයකට පෙරය. එහි වාර්තාව තවම ප්‍රසිද්ධ කර නැත.

 



ජාජබ ආණ්ඩුව මෙම පොරොන්දුව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුව හමුවෙහි ද ශපථ කළේය. අන්තර් ජාතික මූල්‍ය අරමුදල මෙරට පද්ධතිමය විනිවිදභාවය සහ කාර්යක්ෂමතාව ඇති කිරීමේ පියවරක් ලෙස ස්වාධීන අභිචෝදක කාර්යාලයක් පිහිටුවන ලෙස නිර්දේශ කර තිබේ.

මාළිමාව එහි ලාංඡනය වුවද  ජාජබ ආණ්ඩුව දුවන්නේ හාත්පස අඳුරු වීගෙන එන අහසෙහි තරු සලකුණු වත් බලමින් නොවේ.

ඊට උදාහරණයක් නම් ස්වාධීන අභිචෝදක කාර්යාලයක් පිළිබඳ සිය යෝජනාවට නීතිපති දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිතිය විරෝධය පා නිවේදනයක් නිකුත් කළ විට දෙමුඛයම වසා ගෙන සිටීමයි.  නීති විශාරදයින්ගෙන් සමන්විත එම වෘත්තීය සමිතිය ආණ්ඩුවෙන් අසා සිටියේ ස්වාධීන අභිචෝදක කාර්යාලයක් සඳහා ඇති තර්කය කුමක්ද කියාය!.

නීති නිලධාරීන්ගේ සංගමය (LOA) රජයේ නඩු පවරන අධ්‍යක්ෂ (DPP) කාර්යාලයක් පිහිටුවීමේ යෝජනාවට විධිමත් ලෙස විරුද්ධව 2025 නොවැම්බර් 14 වන දින යෝජනාවක් සම්මත කරමින් මෙසේ කීවේය. ‘මෙම පියවර ඵලදායක නොවනු ඇත. නඩු පවරන කාර්යයන් වෙන් කිරීම ස්වාධීනත්වය, විනිවිදභාවය හෝ කාර්යක්ෂමතාව වැඩි දියුණු කරන බවට කරන ප්‍රකාශය සාධාරණීකරණය කිරීම සඳහා කිසිදු ප්‍රායෝගික හෝ විද්‍යාත්මක සාක්ෂි ඉදිරිපත් කර නොමැත. මෙම පියවර අසාධාරණය‍, අත්තනෝමතික. කිසිදු තාර්කික පදනමකින් තොර ය.’

 

මා බැහැර සිට මාධ්‍ය හරහා දැක ඇති තරමට ඊට කණ පැලෙන උත්තරයක් දුන්නේ මුස්ලිම් කොන්ග්‍රසයේ ප්‍රධානි රවුෆ් හකීම් පමණය. ඔහු පාර්ලිමේන්තුවෙහි කතා කරමින් මෙසේ කීවේය.

‘නීතිපති දෙපාර්තමේන්තුව ස්වාධීන රජයේ නීතිඥ කාර්යාලයක් නිර්මාණය කිරීමට විරුද්ධ බව‍ෙ පෙනේ. එය මෙය රජය ජිනීවාහිදී ජාත්‍යන්තර ප්‍රජාවට ද ලබා දී ඇති සහතිකයකි.

නීතිපති දෙපාර්තමේන්තුව දේශපාලන අරමුණු සඳහා භාවිතා කරන ආකාරය අපි දනිමු, දැන් නීතිපති දෙපාර්තමේන්තුව  කෝපයට පත්ව  එම පියවර හෙළා දකිමින් රජයෙන් මෙම තත්වය සමාලෝචනය කරන ලෙස ඉල්ලා ප්‍රකාශයක් නිකුත් කර තිබේ.

විශේෂයෙන් නීතිපති දෙපාර්තමේන්තුව දේශපාලනික වශයෙන් අභිප්‍රේරිත නඩු පැවරීම් රාශියකට හවුල් වී ඇත. මා, (විපක්ෂ මංත්‍රීවරයකුව සිටි කාලයෙහි) ජනාධිපතිවරයා සහ තවත් කිහිප දෙනෙකු විශේෂ ජනාධිපති කොමිසමක් ඉදිරියට කැඳවා නීතිපති දෙපාර්තමේන්තුව  නඩු පවරන ලදී. එහි ප්‍රතිඵලය වශයෙන් අවසානයේ අපගේ සිවිල් අයිතිවාසිකම් අහෝසි කරන්නට ඉඩ තිබුණි.

 

hijas hනීතිඥ හෙජාස් හිස්බුල්ලා

නීතිපති නීති නිලධාරියෙකු වන නීතිඥ හෙජාස් හිස්බුල්ලාට  හිතාමතාම, ව්‍යාජ  නඩුවක් පවරා ඇති අතර, එය මගේ මතය අනුව, අපූරු සුරංගනා  කතාවකි. මත් ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පවුල්වල දුප්පත් දරුවන් පුනරුත්ථාපනය කිරීම සඳහා සේව් ද පර්ල්ස් නමින් රාජ්‍ය නොවන සංවිධානයක් නිර්මාණය කිරීම ත්‍රස්තවාදී මතවාදයන්ට සම්බන්ධ වීමට ව්‍යාජ කඩතුරාවක්  බව එය කියා සිටියේය. මහාධිකරණයේ නඩුවක් පවතී. වසර ගණනාවක් ඇදී ගොස් ඇත. නීතිපතිවරයා ගොස් දින කල් දමමින් සිටී. දින කිහිපයක්ම කල් දමා  ඇත. දැනටමත් මට දැන ගන්නට ඇත්තේ එම නඩුව තවදුරටත් ඉදිරියට ගෙන යා නොහැකි බවයි. නමුත් තවමත් නීතිපති එය ඉදිරියට ගෙන යයි. ( සකස් කරන ලද්දේ වීඩියෝවකිනි. එහි වචන එලෙසම ලියා නැති බව සළකන්න.)

නීතිපති නොදැන සිටියද ස්වාධීන අභියෝජක කාර්යාලයක් සඳහා තාර්කිකත්වය පැහැදිලිය. එකම කාර්යාලය රජයේ නීති උපදේශක සහ එහි ප්‍රධාන අභිචෝදක ලෙස සේවය කරන විට, ලැදියාවන් අතර  ගැටුම් නොවැළැක්විය හැකිය. නඩු පැවරීම් තෝරා බේරා හෝ දේශපාලනික වශයෙන් අභිප්‍රේරණය වූ බව පෙනෙන විට අධිකරණ පද්ධතිය කෙරෙහි මහජන විශ්වාසය බිඳ වැටේ. ස්වාධීන අභිචෝදක ආයතනයක් මෙම කාර්යයන් වෙන් කරනු ඇති අතර, නඩු පැවරීමේ තීරණ නීතිය සහ සාක්ෂි මත පමණක් පදනම් වන බව සහතික කරයි. මෙම ප්‍රතිසංස්කරණය අධිකරණ ස්වාධීනත්වය ශක්තිමත් කිරීම පමණක් නොව නීතියේ ආධිපත්‍යය කෙරෙහි විශ්වාසය නැවත ඇති කරනු ඇත.

මේ සඳහා ගෝලීය වශයෙන් ඇති හොඳම භාවිතයන් බලගතු උදාහරණ සපයයි. කැනඩාවේ මහජන නඩු පවරන සේවය දේශපාලන මැදිහත්වීම් වලින් තොරව ව්‍යවස්ථාපිත ස්වාධීනත්වය යටතේ ක්‍රියාත්මක වේ. ෆෙඩරල් සහ ප්‍රාන්ත මට්ටම් දෙකෙහිම ඕස්ට්‍රේලියාවේ මහජන නඩු පවරන අධ්‍යක්ෂවරු අපරාධ නඩු කටයුතුවලදී අපක්ෂපාතීත්වය සහතික කරති. ඉතාලිය ඊටත් වඩා ඉදිරියට ගොස්, අධිකරණයේ කොටසක් ලෙස නඩු පවරන්නන්ට ව්‍යවස්ථාපිත ස්වාධීනත්වය ලබා දෙයි. මෙම ආකෘතීන් පෙන්නුම් කරන්නේ ස්වාධීනත්වය යනු දේශපාලන බලවතුන්ට වඩා නීතිමය ප්‍රමිතීන්ට වගවීමය.

courtpnc9wu

 

ගෝලීය පාලනය සහ අධිකරණ ස්වාධීනතා දර්ශකය ට(2025) අනුව මෙරට අධිකරණ පද්ධතියෙහි ස්වාධීනත්ව අගය 45%ක් වන අතර එය කෙරෙහි විශ්වාසයේ අගය 35%නි.  ඩෙන්මාර්කයෙහි  ස්වාධීනත්වය 95% ක් වන අතර විශ්වාසය 75%කි.  ස්වාධීනත්වය 90%ක් වන කැනඩාවෙහි  විශ්වාසය 70%කි. ඕස්ට්‍රේලියාවෙහි විශ්වාසය 72%ක් වන්නේ ස්වාධීනත්වය 92% වන අතරය. මේ සංඛ්‍යා පෙන්වන්නේ අධිකරණ පද්ධතිය කෙරෙහි විශ්වාසය සහ එහි ස්වාධීනත්වය අතර ඇති සහ සම්බන්ධයයි.

නීතිපති දෙපාර්තමේන්තුවේ අතාර්කික දේශපාලන යෝජනාවට මෙරට සිවිල් සමාජය කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැත. සමාජ මාධ්‍යයන්හි පළ වන සිත් නළවන හෝ කලඹන පපඩම් ප්‍රවෘත්ති වලින් ගිනි කණ වැටී ඇති සමාජයක් පුරවැසි සමාජයක් බවට පත්කර ගැනීමේ අභියෝගය  මෙම සිදුවීම විසින් ද පෙන්නුම් කරයි.

ස්වාධීන අභියෝජක කාර්යාලයකට විරුද්ධ වීම දේශපාලන සහ ආර්ථික දූෂණයට වක්‍ර ලෙස උඩ ගෙඩි දීමකි. එය දූෂණයේ සහ භීෂණයේ කලු රාජ්‍යය හා සම්පාත වෙයි.

Sunanda(සටහන | සුනන්ද දේශප්‍රිය)
Journalist, Writer and Human Rights Activist
sunandadeshapriya@gmail.com

Twitter: @sunandadesh
Editor: http://srilankabrief.org

(උපුටා ගැනීම - srilankabrief.org)

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...