මේ නව නීති සංශෝධනය සිදුවන අතරතුර විශ්ව විද්‍යාලවල පීඨාධිපතිවරුන් හා අංශ ප්‍රධානීන් පත්කිරීම ගැන විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම නිකුත් කළ ලිපියකට පිළිතුරු ලිපියක් ලෙසින් විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය මේ ගැන සිය අදහස් පළ කර තිබේ.
විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිවරයා 2025.12.3 දාතමයෙන් සියලුම විශ්ව විද්‍යාල උපකුලපතිවරුන් ආමන්ත්‍රණය කරමින් දන්වා තිබුණේ පීඨාදිපතිවරණය හා අධ්‍යනාංශ ප්‍රධානීන් පත් කිරීම විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම දැනුම් දෙන තුරු කල් දමන බවයි. විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය සිය ලිපියෙන් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිවරයාට දන්වා ඇත්තේ ඔහුගේ ඉල්ලීම මුළුමනින්ම නීති විරෝධී එකක් බවයි. 1978 දරන විශ්ව විද්‍යාල පනතේ 49 හා 51 ව්‍යවස්ථා මගින් පීඨාධිපතිවරණය ගැන පැහැදිලිව සඳහන් බව එහි දැක්වේ. එහෙත් ප්‍රතිපාදන කොමිසමේ සභාපතිවරයා ඉල්ලන ආකාරයෙන් ඡන්දය කල්දැමීමට පනතේ ප්‍රතිපාදන සපයා නැතැයි ද එහි සඳහන් වේ.

පනතට අනුව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමට මාර්ගෝපදේශ දිය හැක්කේ පවතින නීතිය තුළින් පමණක් බව ලිපියේ අවධාරණය කර ඇත. එසේම එම ලිපියේ තවදුරටත් අවධාරණය කර ඇත්තේ ආණ්ඩුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පතක් තවමත් පනතක් ලෙස සම්මත වී නැති පසුබිමක විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම සම්මත නොවූ නීතියක් ඇසුරෙන් කටයුතු නොකළ යුතු බවයි. එම නිසා නව සංශෝධනය නීතියක් ලෙස සම්මත වන තෙක් පවතින නීතිය තුළින් පිහිටා සිය ඡන්ද සහ පත්වීම් සිදු කරනු ඇතැයි විශ්ව විද්‍යාල ප්‍රජාවට සුජාත අපේක්ෂාවක් ඇතැයි එහි සඳහන්වේ. තවද සුළි කුනාටුව නිසා රටෙහි හට ගෙන ඇති කණගාටුදායක පරිසරයෙහි විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම මෙවැනි ලිපියක් යොමුකිරීමෙන් විශ්ව විද්‍යාල ප්‍රජාව අතරේ වියවුල් සහගත තත්ත්වයක් නිර්මාණය වී ඇතැයි පවසන ආචාර්ය සමිති සම්මේලනය කොමිසම මගින් යොමු කළ ලිපිය ඉල්ලා අස්කර ගෙන ඒ වෙනුවට පීඨාධිපතිවරණ හා අංශ ප්‍රධානීන් පත්කිරීම්වලට මැදිහත්වීම් නොකිරීමට සහතිකයක් දෙනු ඇතැයි අපේක්ෂා කරන බවද එම ලිපියේ සඳහන් කර ඇත.
"මේ තමයි ආපදා ධනවාදය" : පුබුදු ජයගොඩ
කෙසේ වෙතත් මේ සමග දේශපාලනික වශයෙන්ද අදාළ පනත් කෙටුම්පත ප්‍රශ්න කිරීමට ලක් වෙමින් තිබේ. පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මේ සම්බන්ධයෙන් අදහස් දක්වා තිබුණේ ව්‍යසන තත්ත්වය තුළ ආණ්ඩුව උසස් අධ්‍යාපනයට ව්‍යසනයක් ගෙන ඒමට පාරකපමින් සිටින බවටය.

" අගමැතිනිය හා අධ්‍යාපන ඇමතිනිය ලෙස හරිනි අමරසූරිය 1978 අංක 16 දරණ විශ්ව විද්‍යාල පනතට සංශෝධනයක් යෝජනා කරලා කෙටුම්පතක් පාර්ලිමේන්තුවේ සභාගත කරලා තිබෙනවා. මේ පනත මගින් විශ්ව විද්‍යාල උපකුලපතින්, පීඨාධිපතිවරුන්, අංශ ප්‍රධානී වගේ තනතුරු පත්කිරීමේ හා ඉවත් කිරීමේ බලය විශ්වවිද්‍යාල පාලක සභාවට පවරලා. පාලක සභාවට සාමාජිකයන් පත් කරන්නේ පවතින ආණ්ඩුව. ඒ සඳහා සුදුසුකම් ලබන්නේ කෙසේද කියලා නිර්ණායක නැහැ. ඒ නිසා කාලෙන් කාලෙට ඒ ඒ ආණ්ඩුවල හෙංචයියෝ ඕකට පත්වෙන්නේ. ජේආර්, ප්‍රේමදාස, චන්ද්‍රිකා, මහින්ද පාලන සමයන්වලදී විශ්ව විද්‍යාල පාලක සභාවලට කුප්‍රකට මැරයොත් පත් කෙරුණා. "
පුබුදු ජයගොඩ පවසන්නේ විශ්ව විද්‍යාල පාලක සභාව ආණ්ඩුවේ හෙංචයන්ගේ සභාවක් බවට පත් කරගත් පසු විශ්වවිද්‍යාලවල පරිපාලන තනතුරුවලට සිදුවන්නේ ද එයම බවයි.
" කියන දේ කළේ නැත්නම් අස්කරන්නත් පාලක සභාවට බලය තිබෙනවා. ඒ නිසා මීට පස්සේ විශ්ව විද්‍යාල පරිපාලනයට අංශ ප්‍රධානීන්ට පවා කරන්න තියෙන්නේ ආණ්ඩුව දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන කියන ඕන දෙයක් කරගෙන ඉන්න එක. හරිනිගේ මේ පනත විශ්ව විද්‍යාල ස්වාධීනත්වයේ ඉතිරිවී තිබෙන සොච්චමත් නාය යන මට්ටමේ ප්‍රබල දේශපාලනීකරණ කුණාටුවක්. මතක තියාගන්න. මේ වෙනස් කරන්නේ ලංකාවේ නීතිය. මේ තමයි ආපදා ධනවාදය එන විදිය"

කෙසේ වෙතත් මීට වෙනස් ලෙස නව නීතියට පක්ෂවද ඇතැම් ශාස්ත්‍රාලීහු තර්ක කරති. එහිදී නැගෙන ප්‍රධාන තර්කයක් වන්නේ උප කුලපතිවරුන්ගේ බලයේ ආනුභාවයෙන් පීඨාධිපතිවරුන් හා අධ්‍යනාංශ ප්‍රධානීන් වීමට දැරෙන උත්සාහයන්ට මෙම නව නීතියෙන් වැට බැඳෙන බවය. මෙතෙක් කල් අධ්‍යනාංශාධිපතිවරුන් (HOD), පීඨාධිපතිවරුන් (Deans) හා අධ්‍යක්ෂවරුන් යන තනතුරු පත් කිරීමේ හා ඉවත් කිරීමේ බලය උපකුලපතිවරුන් සතුව පැවති නමුත් මෙම නව නීතිය සම්මත වූ පසුව එය පාලක සභාව (Council ) සතුවන බව කියයි. මහාචාර්ය අරුණ ශාන්තආරච්චි තම ෆේස්බුක් ප්‍රොෆයිලයේ ඒ ගැන තබා තිබුණේ මෙබඳු සටහනකි.
බලය විමධ්‍යගත කරන හොඳ පියවරක් : මහාචාර්ය අරුණ ශාන්තආරච්චි
" දැන් තියන ක්‍රමවේදය අනුව, විශ්වවිද්‍යාල ඇතුලෙන් කවුන්සිල් එක නියෝජනය කරන බහුතරයක් වීසී හිත්වාදීන්ය. ඔවුන්ගෙන් ස්වාදීනත්වය ගැන කවුරුත් ප්‍රශ්න කරන්නේ නැත. රජයෙන් පත්කරන කවුන්සිල් මෙම්බර්ස්ලාටත් වඩා ඇතුලෙන් පත්වෙන කවුන්සිල් මෙම්බර්ස්ලා ඔවුන්ගේ ස්වාදීනත්වය පාවා දුන් අවස්ථා ඕනෑ තරම් ඇත. මේ නිසා කවුන්සිල් මෙම්බර්ස්ලාගේ පත්කිරීම හා ස්වාධීනත්වය ගැන කතා කරනව නම් මේ පාර්ශ්වයන් දෙකේම ස්වාධීනත්වය කතා කළ යුතුය. මේ නව ක්‍රමවේදය මගින් අභ්‍යන්තර කවුන්සිල් මෙම්බර්ස්ලාගේ ස්වාදධීනත්වය වඩාත් තහවුරු වන්නේ ඔවුන් වීසිගේ ගැත්තන් නොවන නිසාය. වර්තමානයේ Dean Election එක ලංවෙනකොට දාන් ඉත්තන් මාරු කරනවා සේ කෙටි කාලයකට අවශ්‍ය HOD පත්කර ගනී. පසුව ඔහුව Dean කර නැවත හිටපු HOD ව නැවත ස්ථාන ගත කරයි. මේවාට ඕනෑ තරම් සාක්ෂි ඇත. මේ සියලු පත්කිරීම් Council එකට පැවරීම එක්තරා ආකාරයක බලය විමධ්‍යගත කිරීමකි. VC ගේ ඒකාධීකාරී බලය කුඩුපට්ටම් කිරීමකි."

ජාතික ජන බලවේග ආණ්ඩුවට මතවාදීව හිතවත්ව අදහස් දක්වන විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ හිටපු සභාපතිවරයකු වන මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මේ ගැන පල කර තිබුණේ මිශ්‍ර අදහසකි. පීඨාධිපතිවරණයට ඉදිරිපත් වීමට අංශ ප්‍රධාන තනතුරක කටයුතු කරමින් සිටිය යුතුය යන විධිවිධානය ඉවත් කිරීමට පක්ෂ බවත් පීඨාධිපති තෝරා ගන්නේ පීඨ මණ්ඩල සාමාජික ඡන්දයෙන් බැවින් මේ සීමාව පවත්වාගෙන යාමට පදනමක් නැතැයි මහාචාර්ය දේවසිරි කියයි. එහෙත් පීඨාධිපති ඉවත් කිරීම සඳහා දැනට නොමැති විධිවිධාන ඇති කිරීමට විරුද්ධ බවත් ඒ සඳහා පාලක සභාවට වැඩිපුර බලයක් නොදිය යුතු බවත් ඔහු කියයි. මේ වෙනස්කම් සිදුකරන තෙක් පීඨාධිපතිවරණය නවත්වන්නැයි උපකුලපතිවරුන්ට දැනුම් දෙමින් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම නිකුත් කර ඇති ලිපිය මුළුමනින්ම ප්‍රතික්ෂේප කළ යුතු බවත් මහාචාර්ය දේවසිරි කියයි. ඔහු එම විරෝධයට හේතු දෙකක් පදනම් කර ගනී.
"පළමුව එය විශ්ව විද්‍යාලවලට ඇති ස්වාධීනත්වය උල්ලංඝනය කරයි. දෙවනුව වර්තමානයේ නොපවතින අනාගතයේ පැනවීම සඳහා බලාපොරොත්තු වෙන්නේ යැයි කියන නීතියක් පනවනතුරු පවතින නීතිය ක්‍රියාත්මක නොකරන ලෙස ඉල්ලා සිටීම නීතියේ පාලනයට සපුරා විරුද්ධවේ. එහිදී නීතිය අනුව කටයුතු නොකරන්නැයි උපකුලපතිවරයාගෙන් ඉල්ලා සිටී. එය බරපතල වරදකි. මේ නිසා මේ චක්‍රලේඛය මුළුමනින් ප්‍රතික්ෂේප කළ යුතුය."
" චක්‍රලේඛය ආපසු හරවන්නෙ නෑ" : විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ චක්‍රලේඛයට එසේ විරෝධය එල්ල වුවද කොමිසමේ සභාපතිවරයා පවසන්නේ එය ආපසු හරවන්නේ නැති බවයි. ප්‍රතිපාදන කොමිසමේ සභාපති මහාචාර්ය කපිල සෙනෙවිරත්න පැවසුවේ එම චක්‍රලේඛය නිකුත් කිරීමේදී විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ ඉල්ලීම් ද සලකා බැලූ බවයි. ඒ අනුව පසුගිය තුන්වැනි තමා යොමු කළ චක්‍රලේඛය තවමත් බලාත්මක බව මහාචාර්ය සෙනෙවිරත්න පවසයි.
ගිම්හාන් ද සිල්වා / සාරා දිසානායක




