The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

දිත්වා සුළි කුණාටුවට ශ්‍රී ලංකාව සූදානම් ව නොසිටියේ ඇයි? | ලයනල් බෝපගේ

T

The Leader Desk

December 7, 2025 • 7:34 AM

දිත්වා සුළි කුණාටුවට ශ්‍රී ලංකාව සූදානම් ව නොසිටියේ ඇයි? | ලයනල් බෝපගේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙය අනතුරු ඇඟවීමකින් තොරව පැමිණි දෙවියන්ගේ ක්‍රියාවක් නොවේ.
  • කෙසේ වෙතත්, කිසිදු කාලගුණ විද්‍යා ආයතනයක් සති දෙකකට පෙර අනතුරු ඇඟවීමක් නිකුත් නොකරන බව අප මතක තබා ගත යුතුය; ඒ එවැනි සිදුවීම් අතිශයින් ම අවිනිශ්චිත සහ අනපේක්ෂිත බැවිනි.
  • නොවැම්බර් 18 සහ 24 වන දින අතර, කාලගුණ විද්‍යා ආයතන, දිත්වා සුළි කුණාටුව බවට පත් වුන චක්‍රිය සම්භවය අනාවරණය කර ගෙන, එය නිරීක්ෂණය කළේය.
  • නොවැම්බර් 28 වන දා කුණාටුව ගොඩ බිමට පතිත වන්නට සති දෙකකට පෙර අනතුරු ඇඟවීම් පැවතුණේ ය.
අකුරු ප්‍රමාණය (Font Size):


පශ්චාත් ආපදා විශ්ලේෂණ වලින් එළිදරව් වෙන අපහසුදායක සත්‍යය පැහැදිලි යි: කුණාටුව නිරීක්ෂණය කර අනාවැකි පළ කරන ලද අතර, 470 ඉක්මවා ගිය මරණ සංඛ්‍යාවකට දායක වෙමින් සහ 14 ලක්ෂයකට වඩා වැඩි පිරිසක් පීඩාවට පත් කරමින් ශ්‍රී ලංකාවේ අනතුරු ඇඟවීමේ සහ ප්‍රතිචාර දැක්වීමේ පද්ධති ඉතා විනාශකාරී ලෙස අසාර්ථක වූ බවයි.

 

Untitled 114

මෙය අනතුරු ඇඟවීමකින් තොරව පැමිණි දෙවියන්ගේ ක්‍රියාවක් නොවේ. මෙය වළක්වා ගත හැකිව තිබූ ඛේදවාචකයකි. සන්නිවේදනයේ පද්ධතිමය අසාර්ථකභාවයන්, තොරතුරු බෙදා හැරීමේ දී දක්වන ලද වෙනස්කම් සහ අවදානමට ලක් විය හැකි ප්‍රජාවන් සොබාදහමේ කෝපයට එරෙහිව අනාරක්ෂිත තත්වයකට පත් කරන ලද නිල ප්‍රතිචාර මගින් එය වඩා අයහපත් තත්වයට පත් කරන ලදි.

කෙසේ වෙතත්, කිසිදු කාලගුණ විද්‍යා ආයතනයක් සති දෙකකට පෙර අනතුරු ඇඟවීමක් නිකුත් නොකරන බව අප මතක තබා ගත යුතුය; ඒ එවැනි සිදුවීම් අතිශයින් ම අවිනිශ්චිත සහ අනපේක්ෂිත බැවිනි. සමහර විට ඔවුන් අනතුරු ඇඟවීම් දින හතකට පෙර නිකුත් කරන නමුත් ඔවුන් එසේ කරන්නේ දැඩි අවිනිශ්චිතතාවකින් යුතුව යි. දින තුනකට පෙර එසේ කිරීම පමණකි, පොදුවේ පිළිගත් නිවැරදිතාව වන්නේ. ඕස්ට්‍රේලියාවේ ද එය එසේ වෙයි.

whe 2

කුණාටුව පුරෝකථනය කලත්, ඇහුම්කන් දුන්නේ කව්ද?

නොවැම්බර් 18 සහ 24 වන දින අතර, කාලගුණ විද්‍යා ආයතන, දිත්වා සුළි කුණාටුව බවට පත් වුන චක්‍රිය සම්භවය අනාවරණය කර ගෙන, එය නිරීක්ෂණය කළේය. ඉන්දියානු කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව (IMD) වර්ධනය වන අඩු පීඩන පද්ධතිය වැඩි සැලකිල්ලකින් යුතුව නිරීක්ෂණය කළේය. නොවැම්බර් 28 වන දා කුණාටුව ගොඩ බිමට පතිත වන්නට සති දෙකකට පෙර අනතුරු ඇඟවීම් පැවතුණේ ය. දළ කාලගුණ විද්‍යාත්මක දත්ත තිබුණේය. කලාපීය නිරීක්ෂණ ක්‍රියාත්මක වූයේය.

di

එහෙත් කෙසේ හෝ මෙම තොරතුරු සම්භාරය ඵලදායී ලෙස ක්‍රියාවට පරිවර්තනය කරන්නට අපොහොසත් විනි. විද්‍යාත්මක ව දැන සිටි දේ සහ සාමාන්‍ය පුරවැසියන් වෙත සේන්දු වූ දේ අතර පැවති විසන්ධි වීම රටේ ආපදා කළමනාකරණ ඉතිහාසයේ ඉතාමත් ම හානිකර ආයතනික අසාර්ථකත්වයන් ගෙන් එකක් නියෝජනය කලේය.

ශ්‍රී ලංකා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නොවැම්බර් 24 වන දා සිට සාමාන්‍ය වර්ෂාපතන සහ ගංවතුර අනතුරු ඇඟවීම් නිකුත් කළ නමුත් අවශ්‍ය ව තිබුන හදිසිය සහ නිශ්චිත බව එහි නොතිබුණි. IMD වැනි ජාත්‍යන්තර ආයතන විශේෂ "සුළි කුණාටු" සහ "අධික අවපාත" පිළිබඳව අනතුරු ඇඟවීම් සහ පෙර දා සිදු කරන තීරණාත්මක යාවත්කාලීන කිරීම් නිකුත් කරමින් සිටියදී, ශ්‍රී ලංකාවේ දී ඒවා එක්කෝ ප්‍රමාදයට ලක් විය; එසේ නැතහොත් ඒවා මුළුමණින්ම සඳහන් නොකෙරිණි. "අධික වර්ෂා අනතුරු ඇඟවීමක්" සහ "සුළි කුණාටු අනතුරු ඇඟවීමක්" අතර වෙනස තීරණාත්මක වන්නේ එය, මිනිසුන් රැකවරණය ලබා ගන්නේ ද එසේ නැතහොත් ඔවුන්ගේ එදිනෙදා ජීවන කටයුතු කර ගෙන යන්නේ ද යන්න එයින් තීරණය කරන හෙයිනි.

whe 2 1
භාෂා දෙකේ අන්දරය: විපතේ දී වෙනස්කම් කිරීම

සමහර විට අනාවැකි අසාර්ථකත්වයේ දරුණු ම වරද තහවුරු කරන ලක්ෂණය වූයේ අනතුරු ඇඟවීම් ප්‍රචාරණයේ දී පැවති භාෂාව අනුව වෙනස්කම් කිරීමයි. වචනානුසාරයෙන් ගත් විට, භාෂා කිහිපයකින් සන්නිවේදනය කිරීම ජීවිතය හා මරණය අතර වෙනස අදහස් කල හැකි රටක, තීරණාත්මක අනතුරු ඇඟවීම් බොහෝ විට නිකුත් කරන ලද්දේ සිංහලෙන් සහ ඇතැම් විට ඉංග්‍රීසියෙන් පමණකි. දෙමළ කතා කරන ප්‍රජාවන්, විශේෂයෙන් උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල, අයුතු අන්දමේ තොරතුරු පරතරයකට මුහුණ දුන්හ.

v57i7887සමාජ මාධ්‍ය පෝස්ටුවක්

බොහෝ විට සිංහල (සහ සමහර විට ඉංග්‍රීසි) භාෂාවෙන් පමණක් නිකුත් කරන ලද තීරණාත්මක, හදිසි අනතුරු ඇඟවීම්, විශේෂයෙන් උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල දෙමළ කතා කරන ප්‍රජාවන්ට ජීවිත තර්ජන හා අදාළ තොරතුරු එක්කෝ පැය ගණනක් ප්‍රමාද වී ලැබුණි; එසේ නැතහොත් ඒවා කිසිසේත්ම දෙමළ භාෂාවෙන් තිබුනේ නැත. මෙය තාක්ෂණික දෝෂයක් නොවීය. එය ජනගහනයෙන් සැලකිය යුතු කොටසකට ඔවුන් කතා කරන භාෂාව මත පදනම්ව ජීවිත තර්ජන හා අදාළ තොරතුරු ලබා නොදුන් පද්ධතිමය අසාර්ථකත්වයක් වූයේය.

සුළි කුණාටුවක් එළඹෙන විට,  මිනිත්තු සහ පැය ගණනින් ගත වන කාලය වැදගත් වේ. දෙමළ භාෂාවෙන් අනතුරු ඇඟවීම් ප්‍රමාද වීම හෝ නොමැති වීම, මාරාන්තික ප්‍රතිවිපාක ඇති කළ තොරතුරු අසමමිතියක් නිර්මාණය කළේය. ජනගහනයෙන් සමහර දෙනෙකුට හදිසි අනතුරු ඇඟවීම් ලැබුණු අතර අනෙක් අය සම්පූර්ණයෙන්ම නොදැනුවත්වම ගොදුරු බවට පත් වූහ.

මෙය හුදෙක් මෙහෙයුම් අසාර්ථකත්වයක් පමණක් ම නොවේ; සියලු පුරවැසියන්ට, ඔවුන් කතා කරන භාෂාව කුමක් වුවද, සමාන ආරක්ෂාවක් සැපයීමේ දී සහ ජීවිතාරක්ෂක තොරතුරු ලබා දීමේ දී සමාන ප්‍රවේශයක් හිමි විය යුතුය යන මූලධර්මය මූලික ලෙස උල්ලංඝනය කිරීමකි.

ඉතා කුඩා, ඉතා ප්‍රමාද වුන ආණ්ඩුවේ ප්‍රතිචාරය

ditwah 1
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC) සහ අදාළ බලධාරීහු අර්බුදය දිග හැරෙද්දී පැහැදිලි කළ නොහැකි මන්දගාමිත්වයක් සහිතව කටයුතු කළහ. සමහර නිවැසියෝ කිසිදු නිල අනතුරු ඇඟවීමක් නොලැබුණු බව වාර්තා කළහ. ප්‍රදේශ කිහිපයක, සියළු දෙයක් ම ඉතා වේගවත් ව සිදු වුන අතර ඔවුන්ට වේගවත් ගංවතුරක් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමක් ලැබී තිබුනේ නැත. අගනුවරට ආසන්න ප්‍රදේශවල පවා, අවදානමට ලක් විය හැකි ජනයාට නිල ඉවත් වීමේ නියෝග කිසි විටෙක නොලැබුන බව හෙළි වන හෙයින් මෙය භයානක ය.

කුණාටුව රට පුරා දැවැන්ත හානියක් සිදු කිරීමෙන් පසුව, නොවැම්බර් 29 වන දා හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කරන ලදී. සති දෙකකට පෙර අනතුරු ඇඟවීම් ලබාගත හැකි වූයේ නම්, කුණාටුවේ මාර්ගය ප්‍රාදේශික මට්ටමින් නිරීක්ෂණය කරන ලද්දේ නම්, විනාශය ඒ වන විටත් සිදු වෙමින් තිබිය දී, ඉන් පසුව පමණක් නිල හදිසි අවස්ථා ප්‍රකාශ පැමිණියේ ඇයි? ප්‍රමාදය සිදු වූයේ කාලගුණ විද්‍යා ආයතන සහ ආපදා කළමනාකරණ බලධාරීන් අතර සම්බන්ධීකරණයක් නොමැති වීම නිසා ද, නැතහොත් තර්ජනය අන්තරාදායක ලෙස අවතක්සේරු කිරීම නිසා ද, නැතහොත් ඒ දෙකම නිසා ද?

සැබෑ තර්ජනය අවතක්සේරු කිරීම

ditwah 3
පුරෝකථනය අසාර්ථක වීමට තවත් තීරණාත්මක සාධකයක් වූයේ ප්‍රාථමික තර්ජනය පිළිබඳව දක්නට ලැබෙන වරදවා වටහා ගැනීමකි. IMD ආයතනය අඩු පීඩන පද්ධතිය, වර්ධනය වන සුළි කුණාටුවක් ලෙස නිරීක්ෂණය කරද්දී, ශ්‍රී ලංකාවේ ප්‍රධාන බලපෑම ඇති වූයේ සුළි සුළං වලට වඩා අසාමාන්‍ය වර්ෂාපතනයක් සහ පසුව ඇති වූ නායයෑම් වලිනි. පෙර නොවූ විරූ වර්ෂාපතනය දරන්නට බැරි තරම් වේගයකින් ගංගාවන් සහ ජලාපවහන පද්ධතීන් මුළුමණින් විනාශයට පත් කර දැමීය. නායයෑම් ප්‍රජාවන් සම්පූර්ණයෙන් මිහිදන් කර ලීය. එහෙත් මුලින් නිකුත් කල දේශීය සන්නිවේදන, මෙම ගංවතුර සහ නායයෑම් අවදානම අවතක්සේරු කර ඇති බව, ඊට වඩා පොදු කුණාටු පිළිබඳ අනතුරු ඇඟවීම් වෙත අවධානය යොමු කර ඇති බව පෙනේ.

කාලගුණ විද්‍යාත්මක අනාවැකි, ස්ථාන ගත කරන ලද අවදානම් තක්සේරු කිරීම්වලට පෙරලීමේ දී පවතින පරතරයක් මෙයින් හැඟවේ. සුළි කුණාටුවක් ළඟ එන බව තේරුම් ගැනීම එක කාරණයකි; එය නායයෑම්වලට ගොදුරු විය හැකි, ඒ වන විටත් සංතෘප්ත ව පැවති උස් බිම් මත වාර්තාගත වර්ෂාපතනයක් පතිත කරන බව තේරුම් ගැනීම තවත් කාරණයකි. දෙවැන්න සඳහා කාලගුණ විද්‍යාව පමණක් නොව, භූ විද්‍යාව, ජල විද්‍යාව සහ දේශීය අවදානම් තත්වයන් පිළිබඳ සමීප දැනුමක් අවශ්‍ය කෙරේ. අධික වර්ෂාවේ සිට විපත්තිකාරී ගංවතුරක් දක්වා වූ වේගවත් උත්සන්න වීම බොහෝ දෙනෙකු පුදුමයට පත් කළේය. සියවස් ගණනාවක් තිස්සේ පැවතුණ ගංගාවෝ, හදිසියේ ම නිවාස, පාලම් සහ ජීවිත ගසා ගෙන යන ජල ප්‍රවාහ බවට පත් වූයේය. පරම්පරා ගණනාවක් තිස්සේ පැවතුණ කඳු බෑවුම්වල විසූ ජන ප්‍රජාවන් මිහිදන් කර දැමුණේ ය.

පද්ධතිමය අසාර්ථකත්ව සහ පද්ධතිමය විසඳුම්



දිට්වා සුළි කුණාටුව පිළිබඳව ප්‍රමාණවත් ලෙස පුරෝකථනය කිරීමට සහ අනතුරු ඇඟවීමට අපොහොසත් වීම, ශ්‍රී ලංකාවේ ආපදා සඳහා සූදානම් කර තිබෙන යටිතල පහසුකම්වල පවතින ගැඹුරු පද්ධතිමය ගැට‍ළු හෙළිදරව් කර ලයි. එසේ වුවත්, කාලගුණ පුරෝකථනය කිරීම ම තාක්ෂණික අභියෝගවලින් පිරී පවතී. සුළි සුළං ගමන් ගන්නා මාර්ග නිරීක්ෂණය කළ හැකි වුවද, විශේෂයෙන් වර්ෂාපතනය සහ නායයෑම් වලින් දරුණුතම බලපෑම්වලට ලක් වන ස්ථාන නිශ්චිත ලෙසම පුරෝකථනය කිරීම සංකීර්ණ කාරණයක් ව පවතී. ශ්‍රී ලංකාවට කාලගුණ විද්‍යාත්මක පුරෝකථන භූ විද්‍යාත්මක අවදානම තක්සේරු කිරීම් සමඟ ඒකාබද්ධ කරන, වැඩිදියුණු කළ ආකෘති නිර්මාණ හැකියා අවශ්‍ය ය.

සන්නිවේදන යටිතල පහසුකම් සම්බන්ධයෙන් ගත් විට, අනතුරු ඇඟවීමේ පද්ධති, පසුව ආ අදහසක් ලෙස නොව, පෙරනිමියෙන් (ස්වයංක්‍රීය ව) ම බහු භාෂාමය විය යුතුය. බහු නාලිකා - රූපවාහිනිය, ගුවන්විදුලිය, ජංගම අනතුරු ඇඟවීම්, ප්‍රජා ජාල, ආගමික ආයතන - තුලින් තොරතුරු එක වරම සහ සියලු භාෂාවලින් ගලා යා යුතුය. අවශ්‍ය තාක්ෂණය පවතී; අවශ්‍යව ඇත්තේ එම තාක්ෂණය අපක්ෂපාතී ලෙස යොදා ගැනීම සඳහා පවතින ආයතනික කැමැත්ත සහ මෙහෙයුම් රාමුවයි.

whe 5ඉන් පසු ආයතන අතර සම්බන්ධීකරණය කිරීම එයි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, පළාත් පාලන බලධාරීහු සහ සන්නිවේදන ජාල, අනතුරු ඇඟවීම් උත්සන්න කිරීම සහ හදිසි ප්‍රතිචාර දැක්වීම ඇරඹීම සඳහා පැහැදිලි ප්‍රොටොකෝල (protocols) සහිත ඒකාබද්ධ පද්ධතියක් වශයෙන් ක්‍රියාත්මක විය යුතුය.

අවසාන වශයෙන්, සමහර විට තීරණාත්මක වශයෙන්, අනතුරු ඇඟවීම් සැලකිල්ලට ගන්නා අන්දම පිළිබඳව සංස්කෘතික විතැන් වීමක් සිදු විය යුතුය. බොහෝ විට, ආපදා අනතුරු ඇඟවීම් සාමාන්‍ය දෙයක් ලෙස දක්නා ලැබේ. සැබෑ හදිසි අවස්ථාවක් පැන නැඟුණු විට, ජනයා තමන්ට ලැබෙන තොරතුරු විශ්වාස කර කටයුතු කරන අන්දමට, සූදානමින් යුක්ත ව සිටින සංස්කෘතියක් ගොඩනැගීම සඳහා, කාලයත් සමඟ පවත්වා ගන්නා ස්ථිරසාර, පැහැදිලි සහ විශ්වාසදායක සන්නිවේදනයක් අවශ්‍ය කරයි.

අසාර්ථකත්වයේ පාඩුව

okh1129b1 fhd
470 කට වැඩි තහවුරු කළ මරණ සහ විනාශයේ බලපෑමට ලක් වූ පුද්ගලයින් මිලියන 1.4 කට අධික සංඛ්‍යාවක් මෙම අසාර්ථකත්වය සඳහා රට ගෙවන අධික වන්දිය වන්නේය. ගම්මාන මුළුමණින් ජලයෙන් යට වී හෝ මිහිදන් කරනු ලැබ ඇත. යටිතල පහසුකම් විනාශයට ලක් වී ඇත. ජීවිත සුනුවිසුනු කරනු ලැබ ඇත. මේවා හුදෙක් සංඛ්‍යාලේඛන පමණක් නොවේ; ඔවුහු පියවරුන් හා මව්වරුන්, පුතුන් හා දියණියන්, පාඩුව අවම කර ගත හැකිව තිබූ මුළු මහත් ප්‍රජාවන් වෙති.

ව්‍යසනයේ පරිමාණය අපේක්ෂා කරන්නට අපොහොසත් වීම සම්බන්ධයෙන් ආණ්ඩුව නිසි ලෙස විවේචනයන්ට ලක් ව ඇත. අපහසුතාවයට පත් වුවද, සමාජයන් ඉගෙන ගන්නේ, පද්ධති වැඩිදියුණු වන්නේ සහ අනාගත ඛේදවාචක වළක්වා ගන්නේ එලෙස බැවින් ධනාත්මක හා නිර්මාණාත්මක විවේචන අත්‍යවශ්‍ය වන්නේය. දළ කාලගුණ විද්‍යා දත්ත, ප්‍රාදේශීය වශයෙන් ලබා ගත හැකිව තිබුණි. කුණාටුව නිරීක්ෂණය කරනු ලැබිණ. තර්ජනය සැබෑ සහ දැනුවත් එකක් වූයේය. එසේ වෙතත්, සාධනීය ලෙස පුරෝකථනය කිරීම, උත්සන්න වන අවදානම් තත්වය පිළිබඳ පැහැදිලි ලෙස සන්නිවේදනය කිරීම සහ ශ්‍රී ලංකාවේ සියළුම පුරවැසියන්ට කාලෝචිත ලෙස අනතුරු ඇඟවීම් ලබා දීම යන මේ කරුණු අසාර්ථක විය.

විපක්ෂයේ උමතු කුහක බව

 



විපක්ෂයේ උමතු ප්‍රතිචාරයට සවන් දීමෙන් පසුව, පෙර කාලයේ දී, රට හොඳින් පාලනය කරන ලද්දේ යයි, වගකිව යුතු ලෙස හා දූෂණයෙන් තොරව පැවතියේ යයි යන හැඟීම කෙනෙකුට ඇති විය හැකිය. ස්වාභාවයෙන් ම, මෙහි කිසිම ආකාරයක තේරුමක් නැත. පෙර පැවති ආණ්ඩු, එනම්, දැන් විපක්ෂය, ආපදා හසුරුවා ඇති ආකාරය පිළිබඳව ශ්‍රී ලංකාව ඇති තරම් නරක අත්දැකීම් ලබා ඇති බව මතක තබා ගැනීම වටී. වත්මන් ආණ්ඩුව සම්බන්ධයෙන් පවතින ගැට‍ළු පෙන්වා දීම වැදගත් වන නමුත් දිස්ත්‍රික්ක 25 තුළ ම අවම වශයෙන් වසර 25 ක් තිස්සේ මෙවැනි ව්‍යසනයක් සඳහා අවශ්‍ය කරන තත්වයන් ගොඩ නැඟෙමින් පැවතී ඇත

දේශීය භූ විද්‍යාඥයෝ සහ ආපදා විශේෂඥයෝ මධ්‍යම කඳුකරයේ අවදානම පිළිබඳව වසර ගණනාවක් පුරා සාකච්ඡා කර තිබේ. වනහරනය, දුර්වල කෘෂිකාර්මික හා ඉදි කිරීමේ පිළිවෙත්, වෙනස් වන පාරිසරික සාධක සහ පාංශු සංයුතිය යන සියල්ලම අනතුරට ලක් විය හැකි ප්‍රදේශවල අවදානම වැඩි කරන්නට දායක වේ. පසුගිය දශක කිහිපය තුළ, භයානක බෑවුම් පෙන්වා දෙමින් ද, කඩිනමින් ඉවත් වන ලෙස ඉල්ලා සිටිමින් ද විශේෂඥයෝ යලි යලිත් අනතුරු ඇඟවීම් (අළුත් ම අනතුරු ඇඟවීම නොවැම්බර් අග දී) නිකුත් කර තිබේ. ඇත්තෙන්ම, ආණ්ඩුව ක්‍රියා කිරීම අතින් මන්දගාමී වූයේය. කෙසේ වෙතත්, බලයේ සිටියදී විපක්ෂයට මෙම ගැට‍ළුව විසඳා ලන්නට දශක ගණනාවක් තිබුන නමුත් ඔවුහු එසේ නොකරන්නට තීරණය කළ බව මතක තබා ගැනීම වැදගත් ය.

ඉදිරි ගමන


දිත්වා සුළි කුණාටුව හුදකලාව ගෙන නොදැකිය යුතුය. එය පුළුල් ගෝලීය දේශගුණික රටාවක කොටසක් නියෝජනය කරයි. චීනයේ සිට තමිල්නාඩුව දක්වා, වියට්නාමය, තායිලන්තය, ඉන්දුනීසියාව සහ ශ්‍රී ලංකාව හරහා මෑත සති කිහිපයේ පැතිර ගිය සිදුවීම්, ඉදිරි වසර වල දී අප සූදානම් ව සිටිය යුතු දේශගුණික විපත්වල පරිමාණය පිළිබඳව තියුණු අනතුරු ඇඟවීමක් ලෙස සේවය කරයි.

විපක්ෂයේ කුහක උමතුව, දැනට කරන්නට තිබෙන වැදගත් කටයුතුවලින් අපගේ අවධානය ඉවතට යොමු නොකල යුතුය. ශ්‍රී ලංකාව ‍යළි ගොඩ නැංවීමේ දී, දිත්වා සුළි කුණාටුවේ පාඩම් උකහා ගෙන හැම මට්ටමක ම පවත්වා ගන්නා ආපදා සූදානමක් ඇතුළත් කර ගත යුතු වේ. අනාගත සුළි කුණාටු එළඹෙනවා ඇත. දේශගුණික විපර්යාස විසින් වඩා ආන්තික කාලගුණය, වඩා දැඩි වර්ෂාපතනය සහ නිතර හට ගන්නා ව්‍යසන පිළිබඳව පෙර නිමිති දක්වා ලනු ලැබේ. ප්‍රශ්නය වන්නේ ශ්‍රී ලංකාව තවත් දිත්වාවකට මුහුණ දෙනු ඇත් දැයි යන්න නොවේ. ප්‍රශ්නය වන්නේ, එය සිදු වන විට, අපගේ බහුවිධ සමාජයේ හැම කෙනෙකුට ම අනතුරු ඇඟවීම් නියමිත වේලාවට ළඟා වේද යන්නයි; ජීවිත බේරා ගන්නා අන්දමට, වේගවත් ලෙස සහ තීරණාත්මකව, පවතින අනාවැකි අනුව, ආණ්ඩුවේ ආයතන කටයුතු කරයි ද යන්නයි.

දිත්වා සුළි කුණාටුවේ පුරෝකථන අසාර්ථකත්වය අනිවාර්ය වූවා නොවේ. මෙය පෙර පැවති පරිපාලනය දශක ගණනාවක් තිස්සේ නොසලකා හැර තිබුන, නිශ්චිත, හඳුනා ගත හැකි පද්ධතිමය දුර්වලතාවන්ගේ ප්‍රතිවිපාකයකි. ඒ දුර්වලතා ආමන්ත්‍රණය කළ හැකිය. ඒවා ආමන්ත්‍රණය කළ යුතුය. අහිමි වූ ජීවිත ඊට වඩා අඩු යමක් ඉල්ලා නොසිටී.


දේශපාලන පක්ෂ, ආණ්ඩුවේ නිලධාරීහු, මාධ්‍ය සංවිධාන සහ සිවිල් සමාජ කණ්ඩායම්, දේශපාලන ආරවුල් සහ දොස් පැවරීමේ සූදුවල නිරත වනවාට වඩා, සැබෑ ලෙසම වැදගත් වන කරුණු කෙරෙහි අවධානය යොමු කළ යුතු වේ. ඒ කරුණු නම් මෙම ව්‍යසනයෙන් පාඩම් උකහා ගැනීම සහ අනාගත අර්බුද වෙනුවෙන් විශාල ආපදා සූදානමක් ගොඩ නඟා ගැනීම යි. ඇඟිලි දික් කිරීමේ කාලය ගෙවී ගොස් ඇත. දැන් එළඹ ඇත්තේ සාමූහික ක්‍රියාමාර්ග සහ වැඩිදියුණු කරන ලද සූදානමක් සඳහා ගත කල යුතු කාලය යි.

Lionel Bopage(සටහන | ආචාර්ය ලයනල් බෝපගේ)

සමාජ හා දේශපාලන විශ්ලේෂක
(ජවිපෙ හිටපු ලේකම්වරයෙකි)

මෙල්බර්න් නුවර, ඔස්ට්‍රේලියාව
2025 දෙසැම්බර් 5 වන දා

lionel.bopage@gmail.com

සබැඳි ලිපි :

දිට්වා ගැන ඉන්දීය කාලගුණ අංශ ලංකාව දැනුවත් කළ බවට එරට මාධ්‍ය වාර්තා

පළමු රතු නිවේදනය !

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

දිත්වා සුළි කුණාටුවට ශ්‍රී ලංකාව සූදානම් ව නොසිටියේ ඇයි? | ලයනල් බෝපගේ | The Leader