The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ජනතාව අපහසුතාවට පත් කරන්න ඉඩ දෙන්නේ නෑ - අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්

T

The Leader Desk

December 8, 2025 • 6:22 AM

ජනතාව අපහසුතාවට පත් කරන්න ඉඩ දෙන්නේ නෑ - අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේ වන විට ඒ සඳහා තිබෙන සැලසුම් මොනවාද?
  • ජනාධිපතිතුමා විසින් නොවැම්බර් මස 28 වැනිදා රටේ හදිසි නීතිය ප්‍රකාශයට පත් කළා වගේම විදුලිය, ජලය, මහාමාර්ග, ආහාර, අධ්‍යාපන, සෞඛ්‍ය… යනාදි වශයෙන් අත්‍යවශ්‍ය සේවා ගණනාවකුත් ප්‍රකාශයට පත් කළා.
  • ඒ පත් කිරීමේ ප්‍රධානතම අරමුණ මා මුලින් සඳහන් කළ අත්‍යවශ්‍ය සේවා රටේ ජනතාවට නිසි පරිදි ලැබීමට සැලැස්වීම හා ජන ජීවිතය යථා පරිදි පවත්වාගෙන යෑමට අවශ්‍ය කටයුතු සිදු කිරීමයි.
  • මේ ව්‍යසනය ඇති වී දවස් කිහිපයක් ගතව තිබෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

(‘දිට්වා’ ආපදා තත්ත්වය හමුවේ පීඩාවට පත් මහජනතාව වෙත සහන සැපයීම, පුනරුත්ථාපනය හා නැවත පදිංචි කිරීමේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති සමඟ කළ කතාබහකි.)

ආපදා තත්ත්වයත් සමඟ පීඩාවට පත් ජනතාව නැවත නඟාසිටුවීම සම්බන්ධයෙන් භාරධුර කාර්යක් පැවරී තිබෙන්නේ ඔබට. මේ වන විට ඒ සඳහා තිබෙන සැලසුම් මොනවාද?

ජනාධිපතිතුමා විසින් නොවැම්බර් මස 28 වැනිදා රටේ හදිසි නීතිය ප්‍රකාශයට පත් කළා වගේම විදුලිය, ජලය, මහාමාර්ග, ආහාර, අධ්‍යාපන, සෞඛ්‍ය… යනාදි වශයෙන් අත්‍යවශ්‍ය සේවා ගණනාවකුත් ප්‍රකාශයට පත් කළා. හදිසි නීතිය ප්‍රකාශයට පත් කරන ගැසට් නිවේදනයේම සඳහන් වෙනවා ඒ සඳහා අත්‍යවශ්‍ය කොමසාරිස් ජනරාල්වරයකු පත් කළ යුතු බව. ඒ පත් කිරීමේ ප්‍රධානතම අරමුණ මා මුලින් සඳහන් කළ අත්‍යවශ්‍ය සේවා රටේ ජනතාවට නිසි පරිදි ලැබීමට සැලැස්වීම හා ජන ජීවිතය යථා පරිදි පවත්වාගෙන යෑමට අවශ්‍ය කටයුතු සිදු කිරීමයි.

 

sewa

ඒ අනුව අත්‍යවශ්‍ය සේවා වශයෙන් ප්‍රකාශයට පත් කරන ලද ඒ සේවාවන්වලට අදාළ අමාත්‍යාංශ වන රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය, ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය, කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය, නිවාස ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යාංශය යන කේන්ද්‍රීය අමාත්‍යාංශ සහ ඒ යටතේ ක්‍රියාත්මක ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය, විදුලිබල මණ්ඩලය, මාර්ග සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධන මණ්ඩලය යන ආයතන මෙන්ම ත්‍රිවිධ හමුදාව නියෝජනය කරන නිලධාරීන් කණ්ඩායමක් අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් කාර්යාලයට අනුයුක්ත කරගෙන, මේ හරහා ඒ අදාළ අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු සම්බන්ධීකරණය කරගෙන මේ කටයුතු විධිමත්ව හා කඩිනමින් සිදු කරමින් තිබෙනවා.

මේ කාර්ය සිදු වන ආකාරය ගැන යම් පැහැදිලි කිරීමක් කළොත්…

අපි මෙහෙම ගනිමු: විදුලි බල මණ්ඩලයට තමන්ගේ විදුලි සපයන සම්ප්‍රේෂණගාරයක්, කුලුනක් අලුත්වැඩියා කරගැනීමට අවශ්‍ය කටයුතු කිරීමට ඒ ස්ථානයට යන්න ඕනෑ. ඒ යන මාර්ගයේ පස්කඳු කඩාවැටිලා, පාර අවහිර වෙලා යන්න විදිහක් නැති නම් ඒ ප්‍රවේශ මාර්ග විවෘත කරගන්න මාර්ග සංවර්ධන අධිකාරියේ උදවු ඕනෑ. මෙතැන සිටින ඒ මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීවරයා හරහා ඒ සම්බන්ධීකරණය හදලා ඒ කටයුතු සිද්ධ කරනවා. ඒ ආකාරයට මේ සියලු ආයතන, දෙපාර්තමේන්තු නියෝජනය වන විදිහට ඒ සියලු අත්‍යවශ්‍ය සේවා සම්බන්ධීකරණය කරමින් අප මේ කටයුත්ත කරගෙන යනවා.

මේ අත්‍යවශ්‍ය සේවා සැපයිය සැපයීමේදී ප්‍රමුඛතාව දෙන්නේ කුමන කරුණුවලටද?

 

1764600100 Sri Lanka Tri Force personnel nationwide disaster rescue relief operations 6

මේ ව්‍යසනය ඇති වී දවස් කිහිපයක් ගතව තිබෙනවා. ආපදාව ඇති වුණු මුල් පැය 24-48 ඇතුළත අප ප්‍රමුඛතාව දුන්නේ විපතට පත් ජනතාව ගලවාගැනීමේ කටයුතු කඩිනම් කිරීමටයි. විශාල අවදානමක් ගෙන ඒ සඳහා ත්‍රිවිධ හමුදාව මැදිහත් වුණා. ප්‍රධාන මෙහෙයුම් කාර්යාලයක් යුද හමුදා මූලස්ථානයේ ස්ථාපිත කර පවත්වාගෙන ගියේ ඒ නිසයි. මේ වන විට මුදාගැනීමේ කටයුතු ක්‍රමයෙන් අවසන් වෙමින් තිබෙනවා. දැන් තිබෙන්නේ ජනතාවට සහන සැලසීමයි. මේ වන විට දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල ප්‍රමුඛ කොටගත් රාජ්‍ය යන්ත්‍රණය මඟින් ඒ කටයුතු ක්‍රියාත්මකයි. මීට අමතරව, ස්වෙච්ඡා සංවිධාන, වෙනත් සංවිධාන, රාජ්‍ය නොවන සංවිධාන මේ කටයුතු සඳහා මැදිහත්ව අවශ්‍ය කටයුතු සිදු කරමින් තිබෙනවා.

මෙහිදී වෙනත් සංවිධාන හා රාජ්‍ය නොවන සංවිධාන ගැනත් ඔබ සඳහන් කළා. ඔවුන් මේ සඳහා දායකත්වය දෙන්නේ කවර ආකාරයටද?

මේ කාර්යාලයටත් රාජ්‍ය නොවන සංවිධාන නිලධාරීන් සම්බන්ධ වී ඉන්නවා. ඒ වගේම අන්තර්ජාතික සංවර්ධන ආයතන සමඟ සම්බන්ධතා ඇති නිලධාරීන් ස්වෙච්ඡාවෙන් අපට සම්බන්ධ වී සිටිනවා. ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම සඳහා මේ සියලු දෙනාගේ මැදිහත් වීම මත මේ කටයුතු කරගෙන යනවා.

මේ වන විට විදේශ ආධාර, භාණ්ඩ හා සේවා ලැබෙමින් පවතිනවා. ඒවා ජනතාව අතට පත් කරන්න නම් රේගුවෙන් ඒ දේවල් කල් නොයවා නිදහස් කරගැනීමට අවශ්‍යයි. ඒ සඳහා වැඩපිළිවෙළක් සකසා තිබෙනවාද?

gift

විදේශ රටවලින් ආධාර ලෙස ලැබෙන බඩු සියල්ල රේගු බද්දෙන් නිදහස් කර තිබෙනවා. ඒ සම්බන්ධීකරණ කටයුතු සිදු කරන්න විදේශ කටයුතු අමාත්‍යාංශයත්, මුදල් අමාත්‍යාංශයත් නිලධාරීන් පත් කර තිබෙනවා. එහිදී එවන සියලු දේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරල්ගේ නමටයි එවන්න ඕනෑ. රේගු බදු ගෙවීමකින් තොරව ඒ දේවල් නිදහස් කරගැනීමට හැකියාව ලැබෙන්නේ එහෙම වුණොත් පමණයි.

මුදල් පරිත්‍යාග කිරීමට විශේෂ ගිණුමක් තිබෙනවාද?

bank a
ඒ සඳහා අපි ‘රීබිල්ඩ් ශ්‍රී ලංකා’ යටතේ ගිණුම් අංක කිහිපයක් හඳුන්වා දී තිබෙනවා. ඒ අරමුදල මුදල් අමාත්‍යාංශය භාරයෙයි තිබෙන්නේ. ඒ සඳහා දායක වෙන්න කැමැති අයට අදාළ ගිණුම් අංකවලට පමණක් මූල්‍යාධාර යොමු කරන්න කියලා අප අවධාරණයෙන් මතක් කර සිටිනවා.

මේ කටයුත්ත සාර්ථක කරගැනීමේදී මතු වන අභියෝග මොනවාද?

මේ සෑම දෙයක්ම සිදු කිරීමට ප්‍රථමයෙන් මහාමාර්ග ප්‍රවේශ විවෘත කරගන්න ඕනෑ. මේ ව්‍යසනයෙන් මාර්ග සංවර්ධන අධිකාරියට සහ පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය යටතේ ඇති මාර්ග 256ක් විවිධ හානි නිසා අවහිර වී තිබුණා. ඒ 256න් 226ක් පමණ මේ වන විට විවෘත කර තියෙනවා. ඒ වගේම දුම්රිය ධාවනය කෙරෙහි අවධානය යොමු කළොත්: උඩරට මාර්ගයේ අඹේපුස්ස දක්වා පමණයි දුම්රිය ධාවනය වන්නේ. මුහුදුබඩ දුම්රිය මාර්ගය සම්පූර්ණයෙන් විවෘත කර තිබෙනවා. ඒ වගේම කැලණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනය වනවා. අනිත් පැත්තෙන් පුත්තලම් මාර්ගය මීගමුව දක්වා දුම්රිය ධාවනය වනවා. මේ අවස්ථාවේ තිබෙන ප්‍රධානතම අභියෝග තමයි මේ ප්‍රවේශ මාර්ග ටික කඩිනමින් විවෘත කරගැනීම. රටේ ජනතාවට අවශ්‍ය උඩරටින් එන එළවළු, පලතුරු වගේම සහල්, පොල් ආදි දේවල් ප්‍රවාහනය කරලා සාමාන්‍ය පරිදි ජනතාවට දෙන්න නම් එය යථ­ාවත් කරගැනීම අත්‍යාවශ්‍යයි. ඒ අභියෝගය ක්‍රමයෙන් ජයගෙන තිබෙනවා.

WhatsApp Image 2025 12 08 at 11.31.52 AM

ඊළඟට තිබෙන ප්‍රධාන අභියෝගය සන්නිවේදන පහසුකම් යථාවත් කරගැනීම. යම් තොරතුරක් දැනගන්න, දත්තයක් ගන්න සන්නිවේදනය ප්‍රධාන වශයෙන් බලපානවා. ඒ සඳහා සන්නිවේදන තත්ත්වය වැඩිදියුණු කරගැනීමට බිඳවැටී තිබෙන සන්නිවේදන සම්බන්ධතා යථා තත්ත්වයට පත් කරගන්න ඕනෑ. බිඳවැටී තිබුණු සන්නිවේදන ජාල විශාල ප්‍රමාණයක් මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත් කර තිබෙනවා. තව 20%ට අඩු ප්‍රමාණයක් ඉතිරිව තිබෙනවා. දිස්ත්‍රික්ක වශයෙන් ගත්තොත් අම්පාර සහ පුත්තලම් දිස්ත්‍රික්ක දෙකේ සන්නිවේදන ජාල පහසුකම් වැඩි දියුණු කිරීම පමණයි ඉතිරිව ඇත්තේ.

අනෙක් අභියෝගය කඳවුරුවල ඉන්න ජනතාව නැවත නිවෙස්වල පදිංචි කිරීමයි. ඊට පෙර සම්පූර්ණයෙන්ම විනාශයට පත් වුණ නිවාස නැවත ඉදි කර දිය යුතු වනවා. ඒ වගේම ඒ ඒ ස්ථාන ඔවුන් නැවත පදිංචි කිරීමට පුළුවන් වාතාවරණයක් තියෙනවාද; නැද්ද, වෙනත් තැනක ඒ නිවාස ඉදි කරනවාද යන්න පිළිබඳ තක්සේරුවක් කළ යුතුයි. ඒ දේවල් සොයා බලා නිවැරදි කරන තෙක් ඒ අයට කඳවුරුවල රඳවා ගන්නවද, එහෙම නැත්නම් කුලී නිවෙසක ජීවත් වෙන්න යම් ආධාරයක් දෙනවද යන්න ඉදිරියේදී රජය මඟින් තීරණයක් ගනීවි.

ඒ වගේම අර්ධ වශයෙන් හානි වුණු නිවාසවල පුද්ගලයන් ඒ නිවාසවලට යැවීමට පෙර ඒ නිවාස පදිංචියට සුදුසු යන්න සම්බන්ධයෙන් ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය, ප්‍රදේශීය ලේකම් කාර්යාල සමඟ එකතු වී ඒ නිවාස පදිංචියට සුදුසු යන්න පිළිබඳ නිසි තක්සේරුවක් කළ යුතුයි. එහෙම නැති නම් දැන් තිබෙන තත්ත්වය අනුව යම්කිසි සුළු සිදුවීමකින් පවා ඒ නි‍ෙවස ආපසු විනාශ වෙන්න තිබෙන අවකාශය වැඩියි. එමඟින් නැවත ජීවිත හානි වෙන්න පුළුවන්. මේ මූලික අභියෝග ටික තමයි මේ අවස්ථාවේ තිබෙන්නේ.

ආපදා තත්ත්වය නිසා සිදු වූ හානි පිළිබඳ තක්සේරුවක් කර තිබෙනවාද?

හානියට පත් නිවාස

දැනට දළ වශයෙන් ඩොලර් බිලියන හයත් හතත් අතර ප්‍රමාණයක හානියක් සිද්ධ වී ඇති බවට පුරෝකථනය කර තිබෙනවා. සුනාමියේදි හානියට පත් වුණේ දිස්ත්‍රික්ක 12යි. ඒ හානිය මීට අවුරුදු විස්සකට පෙර තක්සේරු කර තිබුණේ ඩොලර් බිලියන එකයි දශම දෙකත් බිලියන දෙකත් අතර කියලා. එහෙත් වර්තමානයේ මේ ආපදාව දිස්ත්‍රික්ක 22කට බලපා තිබෙනවා. එනිසා අධ්‍යාපනය, සෞඛ්‍ය හා අනෙකුත් යටිතල පහසුකම් ආදිය පිළිබඳ වෙන වෙනම නිසි පරිදි තක්සේරුවක් ලෝක බැංකුවේ හෝ ආසියානු සංවර්ධන බැංකුවේ ආධාර ඇතිව කළ යුතුව තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් වැඩපිළිවෙළක් ආණ්ඩුවට තිබෙනවාද?

දැනටමත් මුදල් අමාත්‍යාංශයේ ජාතික සැලසුම් දෙපාර්තමේන්තුව මඟින් ඒ කටයුතු ආරම්භ කර තිබෙනවා.

ආපදා තත්ත්වයත් සමඟ භාණ්ඩවල මිල ගණන් ඉහළ දමා තිබෙනවා. මේ හිතුමතේ මිල වැඩිකිරීම් පාලනය කිරීම කෙරෙහි අවදානය යොමු කර තිබෙනවාද?

groceries

ඒ සම්බන්ධයෙන් මේ වන විට මාධ්‍ය නිවේදනයකුත් නිකුත් කර තිබෙනවා. මේ අවස්ථාවේ මහජනතාව අපහසුතාවට පත් වන ආකාරයට කටයුතු කරන ඒ වෙළෙඳුන්ට හා ව්‍යාපාරවලට අපි දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරනවා. රට ජාතික ආපදාවට පත්ව තිබෙන වෙලාවක අප එකමුතුව මේ රට ඉස්සරහට අරගෙන යන්න ඕනෑ. එකාවන්ව එකට එකතු වෙන්න ඕනෑ මොහොතක් මේ ඇවිත් තිබෙන්නේ.

media relese

(සාක­ච්ඡා­ සටහන | රසික කොටුදුරගේ)
ඡායාරූපය – නිශ්ශංක විජේරත්න

උපුටා ගැනීම - silumina
 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...