The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

උපන් ගෙයිම මළ ජාතික ආපදා කළමනාකරණ සභාව | සුනිල් කන්නන්ගර

T

The Leader Desk

December 9, 2025 • 6:07 AM

උපන් ගෙයිම මළ ජාතික ආපදා කළමනාකරණ සභාව | සුනිල් කන්නන්ගර

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේ මහා ආපදාව, 2004 අප මුහුණ දුන් සුනාමිය මෙන් කලාතුරකින් ඇති වන්නක් නොවේ.
  • වසර කිහිපයකට වරක් දිවයිනේ යම් යම් ප්‍රදේශවලට එකවර ඇද හැලෙන ධාරාණිපාත වැසි ඇති වීම, හා ඒ වැසිවලින් ගංගා ඇළ දොළ උතුරා යාම නිසා ඇති වන ගංවතුර උවදුරු අපට එතරම් නුහුරු නුපුරුදු වූවක් නොවේ.
  • සාමාන්‍යයෙන් රටේ ගංවතුර උවදුරට ලක් වන ප්‍රදේශ පිළිබඳව ජනතාවට හොඳ අවබෝධයක් ඇත.
  • ඒ හැර නිල්වලා ගඟ, ගිං ගඟ, මල්වතු ඔය, දැදුරු ඔය, මා ඔය, අත්තනගලු ඔය, ගල් ඔය ආදී ගංගා ආශ්‍රිතව ද ගංවතුර තත්ත්වයන් ඇති වේ.
අකුරු ප්‍රමාණය (Font Size):

මේ මහා ආපදාව, 2004 අප මුහුණ දුන් සුනාමිය මෙන් කලාතුරකින් ඇති වන්නක් නොවේ. ශ්‍රී ලංකාව සෑම වසරකම වාගේ ඉහළ වර්ෂාපතනයක් අත් කර ගන්නා රටකි. වසර කිහිපයකට වරක් දිවයිනේ යම් යම් ප්‍රදේශවලට එකවර ඇද හැලෙන ධාරාණිපාත වැසි ඇති වීම, හා ඒ වැසිවලින් ගංගා ඇළ දොළ උතුරා යාම නිසා ඇති වන ගංවතුර උවදුරු අපට එතරම් නුහුරු නුපුරුදු වූවක් නොවේ. සාමාන්‍යයෙන් රටේ ගංවතුර උවදුරට ලක් වන ප්‍රදේශ පිළිබඳව ජනතාවට හොඳ අවබෝධයක් ඇත.

 

ditwah 3

කළු ගඟ නිම්නය, වලවේ නිම්නය, කැලණි නිම්නය, මහවැලි නිම්නය යන ප්‍රධාන ගංගා නිම්නභූමිවල ගංවතුර සම්භාවිතාව ඉහළ ය. ඒ හැර නිල්වලා ගඟ, ගිං ගඟ, මල්වතු ඔය, දැදුරු ඔය, මා ඔය, අත්තනගලු ඔය, ගල් ඔය ආදී ගංගා ආශ්‍රිතව ද ගංවතුර තත්ත්වයන් ඇති වේ. නමුත් මෙවර ගංවතුර වලවේ, නිල්වලා, ගිං හා කළු ගංගා නිම්නයන්ට බලපෑමක් ඇති කළේ නැත. කැලණි ගඟට මෙවර විශාල ගංවතුරක් ආවේ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට ඇද හැලුණු ධාරාණිපාත වර්ෂාව නිසා ය. කැලණි ගඟෙන් උතුරේ අත්තනගලු ඔය, මා ඔය, දැදුරු ඔය, මල්වතු ඔය හා කලා ඔය යන ගංගා නිම්නයන් ගංවතුරේ දැඩි බලපෑමට හසු විය. නැගෙනහිර වෙරළට වැටෙන ගංගා නිම්නයන්ගෙන් මහවැලි ගංගා නිම්නය ප්‍රධාන වශයෙන් ගංවතුරේ දැඩි බලපෑමට අසු විය.

ditwah 1

 

පළාත් හැටියට ගතහොත් ඌව, මධ්‍යම, වයඹ, උතුරුමැද පළාත්වලට දැඩි හානියක් ද, උතුර හා නැගෙනහිර, සබරගමුව, බස්නාහිර පළාත්වලට සැලකිය යුතු හානියක් ද සිදු විය. මින් නැගෙනහිර, බස්නාහිර හා උතුරු, උතුරුමැද පළාත්වලට හානි සිදුව ඇත්තේ ගංවතුරින් වන අතර නාය යෑම් එකී ප්‍රදේශවලින් වාර්තා වුණේ නැත. මධ්‍යම, ඌව, වයඹ හා සබරගමුව ගංවතුරින් ද නාය යෑම් හා ගල් පෙරලීම්වලින් ද බරපතල ලෙස හානියට පත් විය. කවර මිනුමකින් බැලුවත් මේ ආපදාවෙන් සිදු වූ හානිය මෑත ඉතිහාසයේ සිදු වූ දරුණුතම හානිය ලෙස සැලකීමට පුළුවන.

දැන් ආපදාව අවසන්‍ ය. වින්දිතයින් සිය ඥාති හිතවතුන්ගේ අහිමි වූ ජීවිත ද, ස්වකීය දේපළ, ගේ දොර ඇතුළු හරි හම්බ කළ සියලු දේ ගැන ද පශ්චාත්තාප වෙමින් අසරණව ගත කරති. බොහෝ දෙනෙක් අනාගතයක් ගැන නිශ්චය කර ගත නොහැකිව සිටිති. ඒ අනුව ශ්‍රී ලංකා රාජ්‍ය පාලනය ද විසින් විපතට පත්ව සිටින වින්දිතයින් සඳහා සහන ලබා දී ඔවුන්ගේ අනාගත ජීවිතය ස්ථාවර කර දීම පිළිබඳ දැවැන්ත අභියෝගයකට මුහුණ දී සිටියි. එසේ වුව ද ජාතික මට්ටම, දිස්ත්‍රික් මට්ටම, ප්‍රාදේශීය මට්ටම, ග්‍රාමීය මට්ටම යන ස්ථර හතරකින් සමන්විත ශ්‍රී ලංකා රාජ්‍ය පාලන තන්ත්‍රය මේ ආපදාව සඳහා පූර්ව සූදානම සිදු කළ අන්දම පිළිබඳව බොහෝ විවේචනයන් මේ වන විට එල්ල වෙමින් තිබේ.

 

Tsunami

ආපදා කළමනාකරණය 2005 වසරට පෙර ජාතික මට්ටමෙන් මෙහෙය වූයේ සමාජ සේවා අමාත්‍යාංශයයි. ඒ යටතේ වූ සමාජ සේවා දෙපාර්තමේන්තුවේ විස්තීර්ණ ආපදා අංශය මඟින් ආපදාවලට අදාළ ජාතික මට්ටමේ සම්බන්ධීකරණය හා සම්පත් ලබා දීම සිදු කරන ලදී. නමුත් 2005 දී සුනාමියෙන් පසුව ආපදා කළමනාකරණ පණත පාර්ලිමේන්තුවෙන් සම්මත කරනු ලැබුවේ, ආපදා කළමනාකරණ ජාතික සභාව, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය යන ආයතන ස්ථාපිත කිරීම, ජාතික ආපදා කළමනාකරණ සැලැස්ම, ජාතික හදිසි මෙහෙයුම් සැලැස්ම යන සැලසුම් සැකසීම, තාක්ෂණික මෙහෙයුම් කමිටු පත් කිරීම, ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීම හා විපතට පත් වූවන්ට වන්දි ප්‍රදානය කිරීම යන කරුණු සඳහා ය.

මේ අනුව ආපදා කළමනාකරණය වෙනම අමාත්‍යාංශයක් ලෙස ස්ථාපිත වූ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව හා ජාතික ගොඩනැගිලි පරීක්ෂණ මධ්‍යස්ථානය යන ආයතන ඒ අමාත්‍යාංශයට අනුයුක්ත කරන ලදී. ඒ අමාත්‍යාංශය යටතේ මීට පෙර සමාජ සේවා දෙපාර්තමේන්තුවේ විස්තීර්ණ ආපදා අංශය, ආපදා සහන සේවා මධ්‍යස්ථානය ලෙස ක්‍රියාත්මක විය. ඒ අනුව 2005න් පසුව ආපදා කළමනාකරණය වෙනම අමාත්‍යාංශයක් වූ පසු ජාතික මට්ටමේ ආපදා කළමනාකරණ කටයුතු එම අමාත්‍යාංශය මඟින් සිදු කෙරිණ.

 

unnamed
ආපදා සම්බන්ධව පූර්ව පුහුණුව, අවදානම් නිවේදන නිකුත් කිරීම, ආපදාවට හසු වූවන් ගලවා ගැනීමේ මෙහෙයුම් සම්බන්ධීකරණය ආදී කටයුතු ආපදා කළමනාකරණ පණත යටතේ ස්ථාපිත කළ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන් සිදු වූ අතර, සහන සේවා සැපයීම සහන සේවා මධ්‍යස්ථානය ලෙස හැඳින්වෙන අමාත්‍යාංශයේ අංශයෙන් සිදු විය. ප්‍රායෝගිකව ආපදා කළමනාකරණ කටයුතු සිදු කරන දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂවරයෙකු සහ නිලධාරීන් පිරිසක් සේවය කරන ආපදා කළමනාකරණ ඒකකයක් ද ක්‍රියාත්මක ය.

එමෙන්ම ආපදා සහන සේවා නිලධාරීන් ඒ විෂය භාර අමාත්‍යාංශය මඟින් දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්ත කර ඇත. ඔවුහු සහන සේවා කටයුතු සිදු කිරීම සඳහා ප්‍රාදේශීය ලේකම්වරයාට සහය ලබා දෙති. දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ආපදා සහන සේවා නිලධාරියා, ප්‍රාදේශීය ලේකම් කාර්යාල සියල්ල සම්බන්ධීකරණය කරමින්, ජාතික මට්ටම සම්බන්ධීකරණයට අවශ්‍ය දත්ත දිස්ත්‍රික් ලේකම්වරුන්ට සපයති. එකී දත්ත මත ජාතික මට්ටමේ ආපදා කළමනාකරණ අමාත්‍යාංශය අවශ්‍ය සම්පත් දිස්ත්‍රික්කයට ලබා දීම සිදු කරන අතර, දිස්ත්‍රික් ලේකම්වරු ඒ සම්පත් ප්‍රාදේශීය ලේකම්වරු වෙත යොමු කර අවශ්‍ය මෙහෙයුම් කටයුතු සඳහා සහය වෙති. ප්‍රාදේශීය මට්ටමේ හෝ දිස්ත්‍රික් මට්ටමේ ගැටලුවක් ජාතික මට්ටමට දෙන දුරකතන පණිවුඩයකින් විසඳා ගැනීමටත්, අවශ්‍ය අවස්ථාවල රාජ්‍ය නායකයා පවා දැනුවත් කිරීමට අවශ්‍ය සන්නිවේදන ක්‍රම දිස්ත්‍රික් ලේකම්වරුන් විසින් ගොඩ නඟා ගෙන තිබුණි. විශේෂයෙන් ආපදාවක් වැනි අවස්ථාවලදී මුදල් අමාත්‍යාංශය සහ අනිකුත් අමාත්‍යාංශ, ආයතන කෙලින්ම සම්බන්ධ කරගෙන ගැටලු විසඳාගෙන සම්පත් ලබා ගැනීමට හැකියාවක් එකල දිස්ත්‍රික් ලේකම්වරු සතු විය.

මේ අන්දමින් පැවති රාජ්‍ය ව්‍යුහයකට මෙවර මේ ආපදාව කළමනාකරණය කර ගැනීම අසීරු වූ කරුණු පිළිබඳව සොයා බැලිය යුතුය. අපට වළක්වා ගත නොහැකි හේතූන් දෙකක් ද ඒ අතර පවතී. ඒවා නම්: ආපදාව එකවර රටෙන් 75% ටත් වඩා ප්‍රදේශයකට බලපැවැත්වීම යි. අනෙක් හේතුව ආපදාවත් සමග විදුලිය, සන්නිවේදනය හා ප්‍රවාහනය අකර්මණ්‍ය වී තොරතුරු ලබා ගැනීමට ක්‍රමයක් නොමැති වීම යි. මේවා ගැන සාකච්ඡා කරනවාට වඩා අපට පාලනය කළ හැකිව තිබුණු එහෙත් පාලනයක් කිරීමට අප අසමත් වූ හේතු ගැන සාකච්ඡා කිරීම සුදුසු ය.

ආපදාවක් සඳහා පූර්ව සූදානමක රට නොතිබීම මේ ආපදාව කළමනාකරණය දුෂ්කර වීමට බල පෑ ප්‍රධාන හේතුවකි. ආපදා පූර්ව සූදානම ජාතික ආපදා කළමනාකරණ සැලැස්මේ කොටසකි. මේ සිදු වූ වර්ෂාව හා ගංවතුර, නාය යෑම්වල ආපදා පිළිබඳව අප නිරන්තර අත්දැකීම් ලබන රටකි. මේ නිසා වර්ෂාව පිළිබඳ පුරෝකථන, වර්ෂාවේ ප්‍රමාණය මත ගංවතුරේ තත්ත්වය පිළිබඳ නිගමනයන්, ගංවතුරකදී යට විය හැකි ප්‍රදේශ, ඒවායින් ජනතාව ඉවත් කිරීමේදී ඉවත් කළ යුතු තැන්, නාය යෑම් සිදු විය හැකි ස්ථාන ආදිය කලින් හඳුනාගෙන ඒ පුද්ගලයින් දැනුවත් කිරීම ආදී දේ අයත් වන්නේ පූර්ව සූදානමටය. මේවා ඇතුළත් ආපදා කළමනාකරණ සැලැස්ම සකස් කිරීමේ නෛතික වගකීම ඇත්තේ ජනාධිපතිවරයා සභාපතිත්වය දරණ ආපදා කළමනාකරණ ජාතික සභාවට යි.


මෙහිදී විශේෂයෙන් පෙන්වා දිය යුත්තේ මේ ආපදා කළමනාකරණ ජාතික සභාව පිළිබඳ නීතිරීති 2005 සකස් කර තිබුණත්, මේ දක්වා එම සභාව ස්ථාපිත කර නැති බව ය. ආපදා කළමනාකරණ ජාතික සභාව නමින් නීතියෙන් නියම කර ඇති ආයතනය, අවිච්ඡින්න පැවැත්මක් සහිත රාජ්‍ය සංස්ථාවක් බව 2005 අංක 13 දරන ව්‍යසන කළමනාකරණ පනතේ 2 වගන්තියේ සඳහන් කර ඇත. මෙම ආයතනය සඳහා ආරම්භක ප්‍රාග්ධනය ලෙස රුපියල් මිලියන 10ක් ඒකාබද්ධ අරමුදලෙන් නිකුත් කරන බවත්, මෙම ආයතනය සතුව වෙනම අරමුදලක් තිබිය යුතු බවත් ඉහත පනතේම 16, 17 වගන්තිවල දැක්වේ. මේ ආයතනයට වෙනම කාර්ය මණ්ඩල සිටිය යුතු බවත්, අවශ්‍ය නම් රාජ්‍ය සේවයේ කාර්ය මණ්ඩල ද්විතීයික පදනම මත මේ ආයතනයට බඳවා ගත හැකි බවද පනතේ සඳහන්ය. එමෙන්ම ඉහත කී පනතේ 4 වගන්තියෙන් මෙම ආයතනයේ කාර්ය භාරය ද නියම කර ඇත.

ආපදාවන් කළමනාකරණයට අදාළ ජාතික ප්‍රතිපත්තිය සැකසීම මඟින් ප්‍රජාවේ ජීවිත ආරක්ෂාවත්, පරිසරයේ ආරක්ෂාවත්, ආපදා බලපෑමට හසු වූ ප්‍රදේශ සංවර්ධනය හා නඩත්තුව, ඵලදායී සම්පත් භාවිතය, මහජන දැනුවත් භාවය, ආපදා අවදානම් ප්‍රදේශවල ජීවත් වන ජනතාවගේ අවදානම් කළමනාකරණය ආදී ධාරිතා වර්ධනය, පූර්ව ආපදා සැලසුම්කරණය ආදී දේ ආවරණය කළ යුතු බවත් එහි සඳහන්ය. ජාතික ආපදා කළමනාකරණ සැලැස්ම හා ජාතික හදිසි මෙහෙයුම් සැලැස්ම සැකසීම හා විධිමත් කිරීම, එම සැලැසුම් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීම හා ක්‍රියාත්මක වීම අධීක්ෂණය ජාතික ආපදා කළමනාකරණ සභාවට පැවරෙන බව සඳහන්ය. හදිසි ප්‍රතිචාර සඳහා පහසුකම් සැපයීම, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය හා අදාළ සංවිධාන සම්බන්ධීකරණය හා අධීක්ෂණය, ජාතික ආපදා කළමනාකරණ සැලැස්ම හා ජාතික හදිසි මෙහෙයුම් සැලැස්ම ගැන ප්‍රමාණවත් ප්‍රචාරයක් දීම තහවුරු කිරීම, ආපදා කළමනාකරණ සැලසුම් සැකසීමට රාජ්‍ය ආයතනවලට අදාළ මාර්ගෝපදේශ නියම කිරීම, මහජන දැනුවත් භාවය වැඩි කිරීම ආදී කාර්යයන් ගණනාවක්ම මේ ආයතනයට නීතියෙන් පවරා දී ඇත. කොටින්ම සඳහන් කළහොත් ආපදාවක් කළමනාකරණය කිරීමට අදාළ සියලුම බලතල, වගකීම් හා කාර්ය නීතියෙන් පවරා දී ඇත්තේ ජාතික ආපදා කළමනාකරණ සභාවට ය.

 

ජාතික ආපදා කළමනාකරණ සභාවේ ජනාධිපතිවරයාගේ සභාපතිත්වය යටතේ අගමැතිවරයා උප සභාපති ලෙස ද, එක් එක් නියමිත විෂයන් භාර අමාත්‍යවරු විසි දෙනෙක්, විපක්ෂ නායකවරයා සහ තවත් විපක්ෂ මන්ත්‍රීවරු පස් දෙනෙක් ද, ආණ්ඩුකාරවරුන් නව දෙනා ද, සභාවේ ලේකම් ලෙස සභාව විසින් පත් කරන තැනැත්තා ද සාමාජිකයින් ලෙස සිටිති. ජාතික ආපදා කළමනාකරණ සභාවේ රැස්වීම් සෑම මාස තුනකටම වරක්වත් පැවැත්විය යුතු බවට පණතේ දැක්වේ. ඒ ක්‍රමයට රැස් වුණේ නම් මේ වන විට රැස්වීම් 80ක් පවත්වා අවසන් විය යුතුව තිබුණි. එහෙත් පසුගිය අගෝස්තු මාසයේ පැවැත්වූ අවසාන රැස්වීම 14 වන රැස්වීම බව දැන ගන්නට ඇත. ඊට පෙර 13 වන රැස්වීම පවත්වා ඇත්තේ 2018 අප්‍රේල් මාසයේ ය. ඉන් පැහැදිලි වන්නේ 2005 වර්ෂයේදී පාර්ලිමේන්තු පණතකින් පවරා දුන් බලය ක්‍රියාත්මක කිරීමට ජාතික ආපදා කළමනාකරණ සභාව එදා සිට කිසිදු ඕනෑකමකින් කටයුතු නොකළ බව ය. වසර විස්සක් තිස්සේ ජාතික ආපදා කළමනාකරණ සභාව ඉඳහිට රැස් වුණා හැරෙන්නට ඊට නීතියෙන් පැවරුණු කාර්ය හා කර්තව්‍ය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ව්‍යුහාත්මක රාමුව ගොඩ නඟා ගැනීමට උනන්දුවක් දක්වා නැත. ආපදා කළමනාකරණ විෂයට වෙනම අමාත්‍යාංශයක් පැවති අවස්ථාවලදී ආපදාව පිළිබඳ ජාතික මට්ටමේ නායකත්වය හා සම්බන්ධීකරණය එම අමාත්‍යාංශයෙන් සිදු කළ නිසා මේ අඩුපාඩුව ඉස්මතු වුණේ නැත.

ගෝඨාභය ජනාධිපතිවරයාගේ කාලයේ ආපදා විෂය ආරක්ෂක අමාත්‍යාංශයට අනුයුක්ත කළත්, කෝවිඩ් ආපදාව පිළිබඳ කටයුතු කිරීමට වෙනම කාර්ය සාධක බලකායක් ස්ථාපිත කළ නිසාවෙන් එදා ද මේ අඩුපාඩුව ඉස්මතු වී පෙනුණේ නැත. වත්මන් ආණ්ඩුවත් අමාත්‍ය මණ්ඩලය සැකසීමේදී ගුරු කොට ගත්තේ ගෝඨාභයව ය. ඒ අනුව ආපදා බහුල රටක ආපදා කළමනාකරණය ආරක්ෂක අමාත්‍යාංශයට පවරා එහි එක් විෂයක් බවට එය පත් කෙරුණි. ඒ අනුව පූර්ව සූදානම් වීම් පිළිබඳ සැලැස්මක් ක්‍රියාත්මක වීම සිදු වුණේ නැත.

 

ඊළඟ අඩුපාඩුව වුණේ ආපදාව සිදු වූ පසු ජාතික මට්ටමේ නිසි සම්බන්ධීකරණයක් නොවීමයි. ජාතික ආපදා කළමනාකරණ සභාව ස්ථාපිතව තිබුණා නම් ජාතික මට්ටමේ සම්බන්ධීකරණය හා අධීක්ෂණය ඒ මඟින් කළ හැකිව තිබුණි. ඒ පිළිබඳ නෛතික වගකීම තිබුණේ එතනට ය. නමුත් ඒ ආයතනය ස්ථාපිත නොකර තිබීම නිසා ඒ වගකීම නිසි ලෙස ඉටු වුණේ නැත. ආපදාව පිළිබඳ කාලගුණ අංශවලින්, ජාත්‍යන්තර මාධ්‍යවලින්, වෙබ් අඩවිවලින් කළ අනතුරු ඇඟවීම් සමාලෝචනය කර නිසි තක්සේරුවක් කර අවශ්‍ය උපදෙස් නිකුත් කළ යුතු, ජනතාව දැනුවත් කළ යුතු නෛතික රාජ්‍ය ඒකකය ස්ථාපිත කිරීම ආණ්ඩු ගණනාවක් විසින්ම පැහැර හැර තිබීම නිසා ඒ කාර්ය නිසි පරිදි ඉටු වුණේ නැත.

පසුගිය ආණ්ඩු ආපදා කළමනාකරණයක් සඳහා වෙනත් ව්‍යුහයන් යොදා ගත් නිසා මේ අඩුපාඩුව ඉස්මතු වුණේ නැත. එහෙත් වර්තමාන ආණ්ඩුව සිය පරිණත නොවූ මානසිකත්වය, අඩු හා පටු අත්දැකීම් නිසා මේ ගැන දැනුවත් ව සිටියේ නැත. එහි ප්‍රතිඵල ලෙස මේ ආපදාවේ විපතට පත් වූ ජීවිත හා දේපළ ප්‍රමාණය දැවැන්ත ලෙස ඉහළ ගියේ ය. මේ පිළිබඳව නිසි ලෙස තේරුම් ගෙන ජාතික ආපදා කළමනාකරණ සභාව දැන්වත් ස්ථාපිත කර එය සක්‍රිය කර, ඊට අවශ්‍ය දක්ෂ කාර්ය මණ්ඩලයක් බඳවා ගෙන, රටේ ආපදා කළමනාකරණයට අදාළ ප්‍රධාන රාජ්‍ය ව්‍යුහය බවට පත් කිරීමට ක්‍රියා කළොත් ඉදිරියේ නියමිත ආපදාවන්ගෙන් වන හානි අවම කර ගත හැකි වන බව සටහන් කරමි. නැතිනම් අනුන් පිට වරද පැටවීම හා කා කොටා ගැනීම අතරතුර ඊළඟ ආපදාවත් සිදු වනු ඇත.

 

sunil kannangara

(සටහන | සුනිල් කන්නන්ගර)
කොළඹ රත්නපුර සහ අම්පාර හිටපු මහ දිසාපති
skannangara1959@gmail.com

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

උපන් ගෙයිම මළ ජාතික ආපදා කළමනාකරණ සභාව | සුනිල් කන්නන්ගර | The Leader