The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ආපදා මළ සිරුරු ගැන ඉහලින්ම දී ඇති නියමයන් දෙකකම වලංගුභාවය ගැටළුවක්

T

The Leader Desk

December 9, 2025 • 10:18 AM

ආපදා මළ සිරුරු ගැන ඉහලින්ම දී ඇති නියමයන් දෙකකම වලංගුභාවය ගැටළුවක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දිට්වා සුළි කුණාටුව ශ්‍රී ලංකාවට කඩා වැදීමෙන් අඟහරුවාදා (9) වනවිට 638ක් මරණයට පත්වූ බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කර තිබුණි.
  • සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා සහ පොලිස්පතිවරයා විසින් ඉඩ සලසා දී ඇති පරිදි ආපදාවෙන් මරුමුවට පත්වූවන් උසාවි නියෝගයකින් තොරව වල දැමීමට අවකාශය සපයා ඇත.
  • එම චක්‍රලේඛ දෙකම ව්‍යවස්ථාපිත නීතිය උල්ලංඝනය කරන අනීතික නියෝග බව අධිකරණ වෛද්‍ය විශේෂඥ මතයයි.
  • මොකද මළ සිරුරු නිසි පරිදි හඳුනා ගෙන ඒ සම්බන්ධයෙන් විධිමත් ආකාරයට කටයුතු කරන්න තියෙන ඉඩ මේ චක්‍රලේඛ දෙක මගින්ම වළක්වා ඇති නිසා”.
අකුරු ප්‍රමාණය (Font Size):

දිට්වා සුළි කුණාටුව ශ්‍රී ලංකාවට කඩා වැදීමෙන් අඟහරුවාදා (9) වනවිට 638ක් මරණයට පත්වූ බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කර තිබුණි. 191ක් ආගිය අතක් නැත.
WhatsApp Image 2025 12 09 at 6.24.01 PM
 
WhatsApp Image 2025 12 09 at 3.33.32 PM 1"උද්ගතවී ඇති හදිසි ආපදා තත්වය හේතුවෙන් සිදුවන හදිසී මරණ සඳහා පශ්චාත් මරණ පරික්ෂණ පැවැත්වීම" යනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ විසින් පසුගිය නොවැම්බර් 28 දින ද, "දිවයිනටම බලපෑ අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් ඇතිවු ස්වභාවික ආපදාවන් වලදී මරණයට පත්ව ඇති පුද්ගලයන්ගේ මළ සිරුරු කඩිනමින් බැහැර කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම" යන ශිර්ෂය යටතේ පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය විසින් නොවැම්බර් 29 දින ද උපදෙස් මාලා නිකුත් කරනු ලැබුණි.
 
සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා සහ පොලිස්පතිවරයා විසින් ඉඩ සලසා දී ඇති පරිදි ආපදාවෙන් මරුමුවට පත්වූවන් උසාවි නියෝගයකින් තොරව වල දැමීමට අවකාශය සපයා ඇත. එසේ වුවත් එම අවසරය විදේශික මළසිරුරු සම්බන්ධයෙන් ක්‍රියාත්මක කිරීම වලක්වා තිබේ.

එම චක්‍රලේඛ දෙකම ව්‍යවස්ථාපිත නීතිය උල්ලංඝනය කරන අනීතික නියෝග බව අධිකරණ වෛද්‍ය විශේෂඥ මතයයි.

“අපරාධ හංගන්න පුළුවන්”
Dhananjaya Waidyaratneවිශ්‍රාමික අධිකරණ වෛද්‍ය නිලධාරි ධනංජය වෛද්‍යරත්න
අදාල චක්‍රලේඛ ක්‍රියාත්මක කිරීමෙන් මරණ පරික්ෂණ පැවැත්වීම සඳහා බලපැවැත්වෙන ශ්‍රි ලංකාවේ එකම නීතිය වන අපරාධ නඩු විධාන සංග්‍රහයේ 369 වන වගන්තිය උල්ලංඝනය කෙරෙන බවත්, එම වගන්තිය අභිබවා යාමේ කිසිදු නෛතික ප්‍රතිපාදනයක් නොමැති බවත් වෝහාරික අධිකරණ වෛද්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවිණතම විශේෂඥවරයකු වන විශ්‍රාමික අධිකරණ වෛද්‍ය නිලධාරි ධනංජය වෛද්‍යරත්න කියා සිටියේ ය.

"පැහැදිලිවම මේ චක්‍රලේඛ දෙකම අනීතිකයි. මේකෙන් අපරාධ සඟවන්න පුලුවන්. ඒ වගේම තමා මැරුණු මිනිස්සුන්ට යුක්තිය ඉටු වීම ඇහිරෙන්නත් පුලුවන්. මොකද මළ සිරුරු නිසි පරිදි හඳුනා ගෙන ඒ සම්බන්ධයෙන් විධිමත් ආකාරයට කටයුතු කරන්න තියෙන ඉඩ මේ චක්‍රලේඛ දෙක මගින්ම වළක්වා ඇති නිසා”.

විශේෂඥ වෛද්‍ය  ධනංජය වෛද්‍යරත්න වැඩිදුරටත් පවසා සිටියේ සෞඛ්‍ය සහ ජනමාධ්‍ය  අමාත්‍යාංශයේ ලේකම්වරයා වන විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සහ පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය විසින් මළ සිරුරු බැහැර කරලීම සම්බන්ධයෙන් නිකුත් කොට තිබෙන අදාල චක්‍රලේඛ දෙක මගින් ව්‍යවස්ථාපිත අපරාධ නීතියේ ඒ සම්බන්ධයෙන් බලාත්මක සියළු  වගන්ති  ඉතා බරපතල ලෙස උල්ලංඝනය කෙරෙන බවයි .
 
circular 11
"පාර්ලීමේන්තුව විසින් සම්මත කරලා පනවපු නීතියක් වෙනසකට හරි ඒක නොතකා හැරලා හරි චක්‍රලේඛ නිකුත් කරන්න රාජ්‍ය නිලධාරින්ට පුලුවන්ද? මේක ඉතාම බරපතල තත්වයක්. 369 වගන්තියට වෙනත් විකල්පයක් නෑ. සෞඛ්‍ය ලේකම්වරයා, පොලිස්පති වරයා නෙමෙයි අපි දන්න විදිහට අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්ටවත් බලයක් නෑ ව්‍යවස්ථාපිතව සම්මත වුණු නීතියකට පිටින් ගිය චක්‍රලේඛ නිකුක් කරන්න," යැයි පැවසු විශේෂඥ වෛද්‍යවරයා දැඩිව අනතුරු අඟවා සිටියේ මේ මළ සිරුරු කඩිනමින් බැහැර කිරීම සඳහා දී ඇති අලුත් නියෝග නිසා ඉදිරියේදි විසදුම් නොමැති අර්බුද ගණනාවක් මතු විය හැකි බවයි.
අපරාධ නඩු විධාන සංඟ්‍රහයේ මරණ පරික්ෂණ පරිච්ඡේදයේ  369 වගන්තිය මෙසේ දැක්වෙයි.

"මරණ පරික්ෂණයක් මේ සංග්‍රහයේ විධි විධාන යටතේ හැර පවත්වනු නොලැබිය යුතුය" .

එහිම 370 (1)  වගන්තියේ, (අ), (ආ), (ඈ) උප වගන්ති යටතේ ඒ සම්බන්ධයෙන් තවදුරටත් නෛතික අර්ථ කථන දක්වා තිබෙන අතර, එය හදිසි මරණ පරීක්ෂකවරුන්ගේ සිට වෝහාරික වෛද්‍ය විශේෂඥවරුන්ගේ කාර්යභාරය තෙක්ම විහිද යන්නකි.

අධිකරණ බලය අවභාවිතා කිරීමක්
 
Landslide 1
ශ්‍රි ලංකාවේ ව්‍යවස්ථාපිත අපරාධ  නීතිය මගින් පිළිගෙන ස්ථාපිත කොට තිබෙන මළ සිරුරු හඳුනා ගැනීමේ  විද්‍යාත්මක පරික්ෂණයේ ප්‍රධානතම අංගය වන්නේ පශ්චාත් මරණ පරික්ෂණ ක්‍රියාවලිය යි. එය  පිළිගත් නීති රාමුවක් යටතේ සිදු  වන්නේ එම ක්‍රියාවලියේ ප්‍රධානතම සහ අවසාන බලධාරියා අධිකරණය පමණක්ම වන බැවිනි. පශ්චාත් මරණ පරික්ෂණ ක්‍රියාවලියක ප්‍රධාන විමර්ශකයා වන්නේ අධිකරණය මිස අමාත්‍යාංශ ලේකම්වරුන් හෝ පොලිස්පතිවරයා හෝ වෙන යම් රාජ්‍ය බලධාරියකු හෝ නොවේ. කවර හෝ මළ සිරුරුක පශ්චාත් මරණ පරික්ෂණයක් සිදු කිරීම අවශ්‍ය වන විට ඒ සඳහා මහේස්ත්‍රාත්වරයකු විසින්ම ලිඛිත නියෝගයක්  විධිමත්ව සහ නිල වශයෙන් අදාල බල ප්‍රදේශයේ වෝහාරික අධිකරණ වෛද්‍ය  විශේෂඥවරයාට හෝ සුදුසුකම් ලත් වෛද්‍යවරයකුට හෝ පමණක් නිකුත් කරන්නේ ඒ අනුවය. එවැනි බලයක් සහිත ව්‍යවස්ථාපිත නීතියක් කවර ආකාරයකින් හෝ වෙනසකට ලක් කොට රාජ්‍ය බලධාරින් විසින් චක්‍ර ලේඛ නිකුත් කරන්නේ කෙසේ දැයි ගැටළුවකි.

පොලිස්පති චක්‍ර ලේඛයේ ආරම්භයේම මෙසේ දැක්වෙයි.

" ස්වාභාවික ආපදාවන් වලදි මරණයට පත් වූ පුද්ගලයන්ගේ හඳුනා ගත් හෝ හඳුනා නොගත් මළ සිරුරු රෝහල් මෘත ශරීරාගාරයන් හී දීර්ඝ කාලයක් තැම්පත් කර තැබිමේදි විදුලිය නොමැති වීම හා රෝහල් කාර්ය මණ්ඩලය ඇතුළු අනෙකුත් පහසුකම් කළමනාකරණය කර ගැනීමේ ප්‍රායෝගික ගැටලු මත එම මෘත ශරීර කඩිනමින් බැහැර කිරීම සඳහා අවශ්‍ය කටයුතු සලසන ලෙස ශ්‍රී ලංකා පොලිසීය විසින් සෞඛ්‍ය අමාත්‍යාංශය, අධිකරණ අමාත්‍යාංශය සහ අනෙකුත් ආයතන වෙතින් ඉල්ලීම් කර ඇත".
 
පැහැදිලිවම පොලිස්පතිවරයා මෙය ඔහුගේ සහ පොලිස් දෙපාර්තමේන්තුවේ බල සීමාවෙන්  පිට යෑමකි. මළ සිරුරු කඩිනමින් බැහැර කිරීම සඳහා කටයුතු යොදන්නැයි පොලිස්පතිවරයා අනෙකුත් අමාත්‍යාංශ වෙතින් ඉල්ලා සිටින්නේ කෙසේද? එවැනි බලයක් පොලිස්පතිවරයා සතු නොවේ. හඳුනා ගත් හෝ නොගත් යනුවෙන් පැවසීමද අතිශයින්ම බරපතල කරුණකි. මන්ද යත් මළ සිරුරක් හඳුනා ගැනීම විධිමත්ව සිදු විය යුතු වනවා සේම එය ඉන් අනතුරුව බල පැවැත්වෙන නෛතික කාරණාවන් ගණනාවක් සමඟම බද්ධ වී ඉදිරියට යන්නකි. ඥාතීන්ට මළ සිරුරු නිසි පරිදි භාර දීම, මරණ සහතික නිකුත් කිරීම මෙන්ම අපරාධයක හේතුවෙන් සිදුවු හෝ නොවූ මරණයක් ලෙසට සහතික කර ගැනීමද පශ්චාත් මරණ පරික්ෂණයක් මගින් බලාපොරොත්තු වන ප්‍රධාන කරුණු කිහිපයකි. අවිධිමත්ව නිසි විමර්ශනයකින් හෝ සාක්ෂි විමසීමකින් තොරව මළ සිරුරු බැහැර කිරීම  හේතුවෙන් පසුව ගැටලුකාරී තත්වයට මුහුණ පාන්නේ ද මරණකරුගේ සමීපතමයන්මය. නිසි මරණ සහතිකයකින් තොරව ඔවුන්ට යම් වන්දි මුදලක් හෝ මරණකරුට හිමි රක්ෂණ හිමිකමකට හෝ අයිතිවාසිකම් කීමට ඉඩක් නොලැබෙන්නේ ය.
රාජ්‍ය නිලධාරින් අර්බුදයකට
 
ditwah hdf839fff
පශ්චාත් මරණ පරික්ෂණයකින් තොරව මළ සිරුරු බැහැර කිරීම සඳහා පොලිස්පතිවරයා චක්‍රලේඛයක් නිකුත් කර තිබියදී ජනාධිපති යටතේ තිබෙන ආරක්ෂක අමාත්‍යාංශය විසින් සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන් හා ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත නිකුත් කර ඇති උපදෙස් මාලාවක දැක්වෙන පරිදි මියගිය අය වෙනුවෙන් ගෙවනු ලබන රුපියල් දශලක්ෂයක වන්දිය ලබා ගැනීම සඳහා මරණ සහතිකය අනිවාර්ය වේ.

doc c94tu989“මියගිය පුද්ගලයාගේ මරණ සහතිකයෙහි සහතික කළ පිටපත” ජීවිත හානි වන්දි ලබා ගැනීම සඳහා අවශ්‍ය ලේඛන මාලාවෙන් එකක් ලෙස ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා විසින් සුළි කුණාටුවෙන් දස මාසයකට පෙර මේ වසරේ ජනවාරි 21 වන දින නිකුත් කර ඇති මාර්ගෝපදේශයේ සඳහන් වේ.  

එකම කරුණක් සම්බන්ධයෙන් රාජ්‍ය බලධාරීන් දෙදෙනකු විසින් එකිනෙකට පරස්පර  නියමයන් දෙකක් ඉදිරිපත් කොට ඇති විටෙක පහළ රාජ්‍ය නිලධාරින් කවර උපදෙස් අනුගමනය කළ යුතුව ඇද්දැයි ගැටලු සහගතය.

මේ අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවේ හදිසි මරණ පරීක්ෂකවරුන්ගේ සංගමය විසින් අධිකරණ අමාත්‍යවරයාගෙන් ඉල්ලා ඇත්තේ මේ සම්බන්ධයෙන් තමන්ට නිසි උපදෙස් සහිත චක්‍රල්ඛයක් නිකුත් කරන ලෙසටයි. එමෙන්ම පශ්චාත් මරණ පරික්ෂණයක් නොපවත්වා මළ සිරුරු නිදහස් කිරීමට යෑමෙන් ඉදිරීයේදි හදිසි මරණ පරීක්ෂකවරුන්ට අධිකරණය හමුවට පවා යෑමට සිදුවනු ඇතැයිද එම සංගමයේ සභාපති අනුර හේරත් අනතුරු අඟවා තිබුණි.
 
අනෙක් පසින් පශ්චාත් මරණ පරික්ෂණයක් නොපවත්වා සිරුරු බැහැර කිරීමට කටයුතු යොදන ලෙස පොලිස්පතිවරයකු විසින් ඉල්ලා සිටීම ක්ෂේත්‍රයේ විශේෂඥවරුන්ගේ විමතියට හේතු වී තිබේ . ඕනෑම තත්වයක් යටතේ සිදුවු මරණයකට බලපෑ හේතු සොයා බලා අධිකරණයට  කරුණු වාර්තා කිරීම වෝහාරික  අධිකරණ වෛද්‍ය විශේෂඥවරුන්ගේ කාර්යකි. පොලීසියේ වගකීම වන්නේ එයට අවැසි පහසුකම් සැපයීම සහ විමර්ශන කටයුතු සිදු කිරීම ය. වෝහාරික විශේෂඥවරුන්ගේ කාර්ය කිරීම පොලීසියේ වගකීමක් නොවන අතර නීතිමය වශයෙන් ගත් කලද එයට ඉඩක් නැත. වෝහාරික හෝ පොලිස් විමර්ශන සඳහා බාධා ඇති වන ගැටලු සහ  අපහසුතාවයන්  මෙන්ම ප්‍රායෝගික නොහැකියාවන් ද ද්විතියික කාරණාවන්ය. එයින් ව්‍යවස්ථාපිත නීතිය අභිබවා යෑමට බලය හෝ ඉඩක් පැවරෙන්නේ නැත.එමෙන්ම පශ්චාත් මරණ පරික්ෂණ කටයුතු වැනි අතිශයින්ම වැදගත් සහ තීරණාත්මක කාර්යයක් සිදු නොකොට බැහැර කිරීමටද අවසරයක් නැත. විමර්ශන සඳහා පහසුකම් සහ අනෙකුත් සම්පත්වල ඌණතාවයක් පවතින්නේ නම් පොලීසිය ප්‍රමුඛ පාර්ශවයන්ගේ වගකීම එම පහසුකම් සලසා දෙන ලෙසට රාජ්‍ය බලධාරින් වෙතින් ඉල්ලා සිටීම මිස මරණ පරික්ෂණ පැවැත්වීම නොකරන තැනට කටයුතු යෙදීම නොවේ.
ditwah deaths0x87y089
 
"හැම මළ සිරුරක්ම හඳුනා ගත යුතුයි. පොළව යට වැළලුණු සිරුරුත් එයට අයිතියි. ඒක නොතකා හරිනවා කියන්නේ අශීලාචාර නීති ක්‍රියාත්මක කරනවා කියන එක නෙමෙයිද? මේ වගේ තීන්දු තීරණවලින් සිද්ධ වෙන්නේ ස්වාභාවික විපතක් අතර වුණත් සිද්ධ වෙන්න පුලුවන් අපරාධවලට අනියමින් හෝ ඉඩ දීමක් නෙමෙයිද?” යනුවෙන් විමසා සිටි වෝහාරික විශේෂඥ ධනංජය වෛද්‍යරත්න වැඩිදුරටත් පවසා සිටියේ සෞඛ්‍ය ලේකම්වරයාගේ සහ පොලිස්පතිගේ චක්‍රලේඛ දෙක මගින් අපරාධ විමර්ශන කටයුතු පිළිබඳව ඉදිරියේදී දැඩි අර්බුදකාරි තත්වයක් ඇති විය හැකි බවයි.

සැක සහිත ඔනෑම මළ සිරුරක පශ්චාත් මරණ පරික්ෂණය සිදුවිය යුත්තේ මහේස්ත්‍රාත් නියෝග මත වෝහාරික විශේෂඥවරයකුගේ මැදිහත් වීම මතය. එහි අරමුණ අපරාධයක් සිදුව ඇද්දැයි සනාථ කර ගැනීමයි. පොලිස්පති චක්‍රලේඛයේ මෙසේ දැක්වේ.

අශිලාචාර නීතියක්

"ආපදා තත්වය හේතුවෙන් මරණයට පත්වූ පුද්ගල මෘත ශරීර එම ඥාතීන් විසින් හඳුනා ගෙන ඇත්නම් සහ එයට අදාල වෙනත්  නෛතික  ගැටළුවක් මතු නොවන අවස්ථාවන්හීදී පශ්චාත් මරණ පරික්ෂණයකින් තොරව එම මෘත දේහ ඥාතීන් වෙත මුදා හැරීම සඳහා අදාළ අංශ සමඟ සම්බන්ධවී කඩිනමින් ක්‍රියාමර්ග ගත යුතු අතර...."
 
මෙම වගන්තියට අනුව පශ්චාත් මරණ පරික්ෂණ පැවැත්වීමට නියෝග දීමේ මහේස්ත්‍රාත් අධිකරණය සතු බලය පොලිස්පතිවරයා සතු කර ගෙන තිබේ. අනෙක් පසින් මතුවන ගැටළුව නම්  එසේ මළ සිරුරු බැහැර කිරීම පිළිබඳව ස්ථානීය නිරික්ෂණයකින් අනතුරුව තීරණය කිරීමේ බලය පවරා ඇත්තේ කා වෙතද යන වගයි?  එය නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ සිට කොස්තාපල් නිලය දක්වා වන අයකු විය හැකියි. ඒ කවරෙකු වුව අදාල තීන්දුව ගනු ලබන්නේ ඔහු හෝ ඇය විසින් ඒ අවස්ථාවේදී ගන්නා පෞද්ගලික නිරීක්ෂණයක් මත විනා නෛතික පටිපාටියක් අනුගමනය කිරීමෙන් නොවේ. ඉතා පැහැදිලිවම එය අධිකරණය සතු බලය අන්සතු කිරීමක් සහ එයට අභියෝග කිරීමකි.
නමුත් ශ්‍රි ලංකාවේ බල පැවැත්වෙන අපරාධ නීතිය යටතේ මරණ පරික්ෂණය හෝ පශ්චාත් මරණ පරික්ෂණ කටයුතු වෛද්‍යවරුන්ගෙන් හෝ හදිසි මරණ පරික්ෂකවරුන්ගෙන් හෝ පිටස්තරව වෙනත් කිසිදු පාර්ශවයක් හෝ පුද්ගලයකු වෙත හෝ පවරා නැත. එය එසේ වීමට නම් පවත්නා නීතිය පාර්ලීමේන්තුවෙන් සංශෝධනය කළ යුතුය. එය චක්‍රලේඛ මගින් කළ හැකි කාර්යයක් නොවේ.

අපරාධවලට උඩගෙඩි දීමක්
 
ditwah deaths0cr89yee
මරණකරුගේ සමීපතමයන්ගේ කැමැත්ත මත පශ්චාත් මරණ පරික්ෂණයක් සිදු නොකිරීමට ඉඩ සලසා දීම ද නොතකා හැරිය නොහැකි වරදක් වන අතර, එය ද පශ්චාත් මරණ පරික්ෂණ ක්‍රියාවලිය සහ අපරාධ විමර්ශන ක්‍රියාවලිය ආපස්සට හැරවීමකි. කිසිදු අවස්ථාවක පවුලේ සමීපතමයන්ගේ හෝ වෙන යම් සිවිල් පාර්ශවයක හෝ අභිමතය මත පමණක් යමින් පරණ පරික්ෂණ හෝ අපරාධ විමර්ශනයක් හෝ සිදු නොවන්නේ ය. නමුත් මෙහි එම අයිතිය සිවිල් පාර්ශවය වෙත පවරා තිබේ. මේ පිළිබඳව විමසීමේදි වෛද්‍ය වෛද්‍යරත්න කියා සිටියේ මෙමගින් අපරාධ යටපත් වීමේ වැඩි ඉඩක් පවතින බවකි.
 
"ලෝකේ දැනට හඳුනා ගෙන තිබෙනවා වැඩිම අපරාධ සිදුවන්නේ එයට ගොදුරුවන තැනැත්තාගේ පවුලේ අයකු වෙතින් හෝ සමීපතමයකු වෙතින් හෝ කියලා. ඒ බව පොලිස්පතිවරයා දන්නේ නැද්ද? ස්වාභාවික විපතක් අතරදි වුණත් පුද්ගලික අරියාදු කෝන්තර පිරිමහ ගන්න අය ඉන්නවානේ. පස්යට වැළලෙන්නම ඕනේ නෑ. යම් සිදුවීමක් වෙන කොට යමෙකුට බැයිද තමන්ගේ තරහ කාරයෙක්ගේ බෙල්ල මිරිකලා මරලා දාන්න. එහෙම නැත්නම් දුෂණයක් කරන්න. ඒ නිසා අනිවාර්යෙන්ම පශ්චාත් මරණ පරික්ෂණයක් අවශ්‍ය ද නැද්ද කියලා සමීපතමයන්ගෙන් අහන එකම වරදක්. මම කියන්නේ සෑම මළ සිරුරක්ම පූර්ණ කාය ව්‍යවච්ඡේදනයකට ලක් නොකළත් අවම වශයෙන් බාහිර පරික්ෂණයක් හෝ සිදු කළ යුතුමයි. ඒක කරන්න ඕනේ පොලිසිය හරි වෙන යම් කවුරු හරි නෙමෙයි. වෝහාරික විශේෂඥවරුන්.”
පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වීමට ඇති බාධාවට හේතුවක් වශයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාගේ ලිපියේ දක්වා ඇත්තේ “මෘත ශරීර විශේෂඥ අධිකරණ වෛද්‍යවරයකු සේවයේ නියුතු රෝහලකට ප්‍රවාහනය කිරීමේ දුෂ්කරතාව” යි.
 
ditwah deaths jaoud8
“ඒකට අවශ්‍ය මානව සම්පත්වල හිඟයක් තියෙනවා නම් මේ රටේ විශ්‍රාමික වෛද්‍ය විශේෂඥවරුන් ඉන්නවා ඔවුන්ව කැඳවන්න. එහෙම නැතුව අඩුපාඩු හරි කලබලය ගැන හරි කියලා මළ සිරුරු නිකම්ම වළ දාන්න දෙන්න එපා. ඒක නීතිය නෙමෙයි. අපරාධවලට උඩ ගෙඩි දීමක්," විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා කීය.

සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාගේ මෙම අන්තර්කාලීන විධිවිධාන චක්‍රලේඛය වලංගු වන්නේ ‘මහේස්ත්‍රාත් පරීක්ෂණ අවශ්‍ය නොවන මරණ’ සඳහාය.

“අදාල ප්‍රදේශයේ හදිසි මරණ පරීක්ෂකවරුන්ට සිදු කළ හැකි මරණ පරික්ෂණ (මහේස්ත්‍රාත් පරීක්ෂණ අවශ්‍ය නොවන) අදාල ප්‍රදේශයේ ආසන්න ප්‍රාදේශිය රෝහලේ ආයතනගාර වෛද්‍යවරයා / වෙනත්  සුදුසු වෛද්‍යවරයකු විසින් ඉටු කර යුතුය,” යි සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාගේ උපදෙස් මාලාවේ දැක්වේ.
 
මහේස්ත්‍රාත් පරීක්ෂණ අවශ්‍ය නොවන්නේ ආපදාවෙන් මිය යන කවරෙකුගේ මෘත ශරීරයන් සම්බන්ධයෙන් දැයි කොළඹ මහ රෝහලේ හිටපු අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ විසින් පැහැදිලි කර නැත.

එමෙන්ම මේ සම්බන්ධයෙන් විෂය බාර අධිකරණ අමාත්‍යාංශයෙන් හෝ නීතිපති දෙපාර්තමේන්තුවෙන් හෝ අවම වශයෙන් අධිකරණ වෛද්‍යවරුන් වෙතින් හෝ මේතාක් නිල පැහැදිලි කිරීමක් ද සිදුවී නොමැත.

- කේ. විජේසිංහ 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...