මෙය, ඊට දින කිහිපයකට පෙර, විපක්ෂ මන්ත්‍රී කබීර් හෂීම් විසින් පාර්ලිමේන්තුවට කියූ ඔහුගේ හිතලුවට සමාන ය. කොත්මලේ වාන් දොරටු හදිසියේ විවෘත කිරීමෙන් යටවූ ගම්පොල නගරයේ දහසක් පමණ මිය යන්නට ඇතැයි ඔහුට සිතෙන්නේ යැයි, ඔහු පාර්ලිමේන්තුවට කීවේය.
පෝල්රාජ් ඇමතිනි ඇයගේ කතාවට වැඩි විස්තර එකතු කරමින් ඔබ්සවර් පුවත් පතට කියා තිබුණේ, “කොපමණ පාසල් ළමුන් වේද, වයස අවුරුදු 05 ට නැතිනම් 10 ට අඩු දරුවන් කොපමණද, ගැහැණු සහ පිරිමි ළමුන් කොපමණද යන්න පිළිබඳ නිවැරදි සංඛ්‍යා අපට අවශ්‍යයයි” කියා ය. එවැනි නිවැරදි සංඛ්‍යා නොමැති නම්, ඇය ළමුන් 2,75,000 ක් අනාථව ඇතැයි කියූවේ කවර සංඛ්‍යා එකතු කිරීමෙන්දැයි ඇසිය යුතුය. නිලධාරීන්ට සම්පූර්ණ වර්ග කිරීමක් කළ හැක්කේ හෙට සඳුදාට (දෙසැම්බර් 08) යැයි ද ඇය ඔබ්සවර් පුවත් පතට කියා තිබුණා ය. එය කිසි විටෙක නොවන බව, මම සහසුද්දයෙන් දැන සිටියෙමි. ග්‍රාම සේවා නිලධාරීන් දක්වා රජයේ නිලධාරීන් අතරද විපතට ගොදුරු වූවන් නැතිනම් ඉන් කිසියම් පීඩාවකට නතු වූවන් ඇත. එවගේම සිදුවූ විනාසයේ බරපතලකම දරා ගැනීම ඔවුන්ටද අපහසු වන්නකි. සමස්ථ සමාජයම අබලි ගොඩක් බවට පත්වූ සෙයකි. ඇතැම් ප්‍රදේශවල ප්‍රජා මට්ටමින් තොරතුරු හුවමාරු වීමක් තවම ඇත්තේ නැත. තොරතුරු සම්බන්ධ සමස්ථය නිවැරදිව ගණනය කිරීමේ බරපතල අපහසුවක් තවම ඇත.
එනිසා පෝල්රාජ් ඇමතිනියගේ එල්ලයක් නොමැති හිස් ප්‍රකාශ තව දුරටත් ප්‍රශ්න කළ යුතුව තිබිණ. විශේෂයෙන් තාවකාලික නවාතැන් වල ළමා ආරක්ෂාව සම්බන්ධව ඇයගෙන් ප්‍රශ්න කළ යුතුව තිබිණ. “අවතැන්වූ ළමුන් හා ඔවුන්ගේ පවුල් රඳවා ඇති නවාතැන් වලට, දරුවන්ගේ ආරක්ෂාව සඳහා අපි ළමා ආරක්ෂක නිලධාරීන් යොදවා තිබෙනවා” යැයි ඇය කියා තිබිණ. ගැහැණු සහ පිරිමි ළමුන්ගේ ආරක්ෂාව සඳහා ළමා ආරක්ෂක නිලධාරියෙකු හා නිලධාරිනියක යැයි දෙදෙනෙකු යෙදවිය යුතු බව සාමාන්‍ය අවබෝධයකි. විශේෂයෙන් විපතට පත් ළමුන් සමග කතා කිරීමට, ඔවුන්ගේ විශ්වාසය දිනා ගැනීමට, ඔවුන්ගේ මව් බසින් ඔවුන් සමග කතා කළ යුතුය. එබැවින් උඩරට වැවිලිකර ප්‍රදේශ සඳහා ද්වි-භාෂා ළමා ආරක්ෂක නිලධාරීන් හා නිලධාරිනියන් අවශ්‍ය වන්නේය.

තවමත් හරියාකාරව අවසන් නොවුනු ඛේදවාචකයක් අතරතුර, සර්වප්‍රකාරයෙන් සම්පූර්ණ, කාර්යක්ෂම ආරක්ෂක ජාලයක් අපගේ වැනි රටක බලාපොරොත්තු විය නොහැකි යැයි මම දනිමි. එහෙත් මේ ආණ්ඩුව යටතේ සියල්ල ඉතා නිරවුල්ව, නිවැරදිව හා කාර්යක්ෂමව කෙරෙන්නේ යැයි ලොවට කීමට, ඇමතිනිය ගත් බාල උත්සාහය ප්‍රශ්න කළ යුතුව තිබිණ. “ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය විසින් දෙසැම්බර් 06 වන දින වන විට නඩත්තු කළ තාවකාලික නවාතැන් 950 ට වැඩි සංඛ්‍යාවක ගැහැණු පිරිමි ළමා ආරක්ෂක නිලධාරීන් යෙදෙවීමට අවශ්‍ය පහුණු පිරිස් ඔබට ඉන්නේ දැයි” ඇයගෙන් ඇසිය යුතුව තිබිණ. “පුහුණු ද්වි-භාෂා නිලධාරිනියන් කොපමණ සිටිත්දැයි” ඇසිය යුතුව තිබිණ. ඇයගෙන් ඇසිය යුතු වූ තවත් එවැනි ප්‍රශ්න තිබිණ. ඇයගේ වාසනාවට, එවැනි වෘත්තීය මාධ්‍යවේදීන් විශේෂයෙන් රජයේ මාධ්‍යයන්හි නොමැත.
ඩිට්වා සුළි කුණාටු ඛේදවාචකය තවමත් දිග හැරෙන්නකි. විපතට පත් වූ සංඛ්‍යාව තවමත් ඉහළ යන්නකි. ඉකුත් දින කිහිපයේ දැකිය හැකි වූයේ, අතුරුදන් සංඛ්‍යාවේ අඩුවක් ඇති වන්නේ, මිය ගිය සංඛ්‍යාවේ වැඩි වීමක් සමගින් වීමෙහිය. එබැවින් ඇමතිනිය කියූ, දෙමාපියන්ගෙන් තොරතුරක් ලැබෙන තෙක් හුස්ම නොසළා බලා ඉන්නා ළමුන්ගේ සංඛ්‍යාවද වැඩි විය හැකිය. අනාථ ළමුන් සම්බන්ධ කාරණාව, ලොව කොතැනක කවර ඛේදවාචකයකදී වූවත් ආණ්ඩු වලට හා බලධාරීන්ට මුහුණ දෙන්නට සිදුවන ඉතා සංවේදී සංකීර්ණ ගැටළුවකි. කොරියන් හා වියට්නාම් යුද්ධ වලින් පසුවත්, කම්පුචියාවේ පොල් පොට්ගේ විනාසයෙන් පසුවත් මේ මොහොතේ ගාසා ප්‍රදේශයේ ජන සංහාරය සහ යුක්රේන යුද්ධය සමගත් එවගේම වසර 30 ට ආසන්න අපගේ සිවිල් යුද්ධය 2009 මැයි මාසයේ අවසන් කෙරුණු පසුවත් ළමුන් අනාථවීම බරපතල ගැටළුවක් වූවකි.

අපගේ උතුරු-නැගෙනහිර ගැටළුව වූයේ අනාථ ළමුන් පමණක්ම නොවේ. ජීවිත ගැට ගසා ගැනීමට යම් ආර්ථික පිළිසරණක් සහ ආරක්ෂාවක් අවශ්‍ය වූ ළමුන් සමග යුධ වැන්දඹුවන්ද සිටීම ය. යුද්ධය නිමාකර වසරකුත් තෙමසකට පසු 2010 සැප්තැම්බරයේ 29 වන දින, එවකට කාන්තා හා ළමා කටයුතු සංවර්ධන නියෝජ්‍ය ඇමති වූ එම්.ඒ.එම් හිස්බුල්ලා නැගෙනහිර තත්ත්වය ගැන කරුණු දැක්වූ මාධ්‍ය හමුවක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙහි පැවැත් වීය. යුද්ධය හේතුවෙන් උතුරු-නැගෙනහිර වැන්දඹුවන් 89,000 ක් ඇතැයි ඔහු එහිදී කීවේය. ඉන් 49,000 ක් නැගෙනහිරත් ඉතිරි 40,000 වන්නියේ සහ උතුරේත් ඇතැයි කීය. මඩකළපුව දිස්ත්‍රික්කයේ දරුවන් තිදෙනෙකු ඇති වැන්දඹුවන් 8,000 ක් ඇතැයිද ඔහු කීය. නෝර්වේජියානු මැදිහත්වීමෙන් 2002 පෙබරවාරියේදී අත්සන් තැබුණු සටන් විරාමයට පෙර, “ශ්‍රී ලංකාවේ සන්නද්ධ ගැටුමින් විපතට පත් කාන්තාවන්ට හා ළමුන්ට ආධාර කිරීමේ විශේෂ වැඩසටහන - 2000/2001” යන යුනිසෙෆ් වාර්තාවට අනුව, යුද්ධයෙන් විපතට පත් දරුවන් 9,00,000 ක් උතුරු-නැගෙනහිර විය.
අවාසනාවකට, පැහැදිලි සංඛ්‍යාලේඛන හා දත්ත සමග නොවුනත් සිදුවීම් හා ක්‍රියාකාරිත්වයන් අනුව, යුද්ධයෙන් විපතට හා පීඩාවට පත් උතුරු-නැගෙනහිර ළමුන් සඳහා සාධාරණ සැළකීමක් නොතිබිණැයි යුනිසෙෆ් ඇතුළු සංවිධාන ගණනාවක වාර්තා සඳහන්කර ඇත. පුනරුත්ථාපන කඳවුරුවල බොහෝ රැඳවියන් ශාරීරික හා ලිංගික අතවර වලට ලක්වූ බවද අධ්‍යයන වාර්තාවල සඳහන්ව ඇත. රජයේ සුභසාධන වැඩසටහන් බොහෝ විට හමුදා නිරීක්ෂණය යටතේ ක්‍රියාත්මක කිරීමේදී යුද වැන්දඹුවන් හා අනාථවූ දරුවන් අත හැරුණු නැතිනම් සිල්ලර සැළකිල්ලකට බඳුන් විනැයිද වාර්තා වන්නේය. රාජ්‍ය මතවාදය සිංහල-බෞද්ධ මාතවාදී බලපෑමක් සහිත වූයෙන් උතුරු-නැගෙනහිර රාජ්‍ය ව්‍යාපෘති ඊට හසුවීම වැළකිය නොහැකි වූවකි.
ඩිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් දකුණේ දරුවන්ට කෙරෙන සත්කාරයේ එවැනි බලපෑම් නොතිබිය හැකි නමුත් මේ ඛේදවාචකය පැහැදිලිවම වෙනස් අභියෝග සමගින් වන මහා ඛේදවාචකයකි. මෙහි ඇත්තේ අනාථ දරුවන් සඳහා තිබිය යුතු දයාබර, ආරක්ෂාකාරී වටපිටාවක් සහතික කළ හැකි, දැනුවත් පුහුණු මානව සම්පත් සම්බන්ධයෙන් වන බරපතල ඌණතාවයකි. ඉකුත් දසකයක දෙකක, විශේෂයෙන් නාගරික හා අර්ධ නාගරික දරුවන් අතර, “මනෝ-සමාජීය” (Psychosocial : වෙනස්වන සමාජ සාධක මත ඇතිවන මානසික පීඩන හා ආතතිය වෙනුවෙන්) උපදේශන සඳහා වර්ධනය වූ ඉල්ලුම, අප නොසැළකූ පසුබිමක, මෙවැනි අභියෝගයකට මුහුණ දීම අතිශය දුෂ්කර වන්නකි.
“සමාජ සංවර්ධනය සඳහාවන ජාතික ආයතනය” විසින් යුනිසෙෆ් සහාය ඇතිව, පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුව වෙනුවෙන් 2013 වසරේදී සිදු කළ සමීක්ෂණයෙහි වාර්තාවට අනුව, පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුවෙහි ලියාපදිංචි කෙරුණු “ළමා සුරැකුම් නිවාස” 414 ක් පළාත් නවයෙහි පැවතින. ඒවා බහුතරයක් රාජ්‍ය නොවන සංවිධාන හා පෞද්ගලික සම්බන්ධකම් මත පැවතින. ඒවායේ ළමුන් 14,179 දෙනෙකු නේවාසිකව වූහ. මනෝ උපදේශකයින් 2,979 කු විය. “සියයට 60 ක් පමණ පරිවාස කොමසාරිස්වරුන් විසින් උපදේශන හැකියාවන් ඇති පුහුණු සේවක පිරිස් නොමැතිවීම විශාල ප්‍රශ්නයක් යැයි සඳහන් කළහ” යනුවෙන් එම වාර්තාවෙහි සටහන් විය. එම වාර්තාවට අනුව, අවශ්‍ය සුදුසුකම් සම්පූර්ණ නොකෙරුණු බඳවා ගැනීම් සිදුවීමේ හේතුව වන්නේ, අඩු වැටුප් ය. වාර්තාවට අනුව “අඩු වැටුප් තල මගින් හොඳ පුහුණුවක් ලැබූ කුසලතා පූර්ණ උපදේශකයින් ආකර්ශනය කළ නොහැක. දිගින් දිගටම නුපුහුණු පුද්ගලයින් බඳවා ගැනීමට හේතුවී ඇත්තේ මේ කාරණය වන්නේය.” (පිටුව-08)

මේ සියල්ල අදාල වූයේ අව වර්ධිත, අර්බුද ගහණ සමාජයක “බාල වයස්කාර හා ලියාපදිංචි නොකෙරුණු විවාහ, ගැටුම් හේතුවෙන් වන අනාරක්ෂාව, අවතැන්වීම, නිවාසයක් නොමැතිවීම, වීදි දරුවන් වීම, පවුල් ආරවුල් සහ දෙමාපිය වෙන්වීම්” හේතුවී අනාථ වූ දරුවන්ට ය. ඩිට්වා සුළි කුණාටුව විසින් ඊට හාත්පසින් වෙනස් වූ විශාල අනාථ දරුවන් පිරිසක් අපට බාර කර ඇත. ඔවුන් නොසිතු ලෙසින් හදිසියේ අනාථ වූ දරුවන්ය. සුන්බුන් වලට යටවී සිට මුදවා ගත් දරුවන්ය. නැතිනම් ගංවතුරේ ගසා ගෙන යද්දී බේරා ගත් දරුවන්ය. ඔවුන් සමහරකට දෙමාපියන් නැත. ඇතැමුන්ට සහෝදර සහෝදරියන්ද නැත. අසල්වැසියන් නැත. තිබූ පාසලත් නැත. පාසල් මිතුරන්ද නැත.
“උපදේශන හැකියාවන් ඇති පුහුණු සේවක පිරිස් නොමැති” අළස අකාර්යක්ෂම පරිවාස යාන්ත්‍රණයකින් මේ ඛේදවාචකයට මුහුණ දිය නොහැක. ඔවුන්ට රාජකාරියකට සීමා නොවන, වෘත්තීමය “මනෝ-සමාජීය” උපදේශන සේවයක් අනිවාර්ය වන්නේය. ඔවුන්ට කාරුණික, ලෙන්ගතු සහ ආරක්ෂිත පරිසරයක් අවශ්‍ය වන්නේය. ඔවුන්ට පාසල් ජීවිතය නැවත අවශ්‍ය වන්නේය. එවගේම විනෝදාංශද තිබිය යුතුය. ඒ සියල්ල ලබා දීමට ඥාතීන්ට හෝ අසල්වැසියන්ට පහසු නැත. ඇතැම් විට ඥාතීන් හා අසල්වැසියන්ද විපතට පත් වූවන් විය හැක.

කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයද, අධ්‍යාපන අමාත්‍යාංශයද හවුල් කෙරෙන විනයක්, ආරක්ෂාවක් සහ ලෙන්ගතු කමක් සහිත ළමාරක්ෂක වැඩසටහනක් සැළසුම්කර ඊට අරමුදල් යෙදවීම, මේ මොහොතේ ආණ්ඩුවේ හදිසි සහ පූර්ණ වගකීම වන්නේය. එය වෙනස්කම් සහිත ළමුන් හඳුනාගත හැකි වෘත්තීය පුහුණුවක් ලැබූ “මනෝ-සමාජීය” උපදේශකයින් ඉන්නා වැඩසටහනක් විය යුතුය. ළමුන්ට අපහසුවක් නොදැනෙන භාරකාරත්වයක් තීන්දු කළ හැකි ප්‍රාදේශීය සම්බන්ධීකරණයක් සහිත වැඩසටහනක් විය යුතුය. එය එවගේම, ළමුන්ට තමන්ගේ ගැටළු රහස්‍යභාවයක් ඇතිව කතා කළ හැකි අඛණ්ඩ නියාමනයක් සහිත වැඩසටහනක් විය යුතුය. පාසල් සඳහා වෘත්තිමය සුදුසුකම් ඇති උපදේශකයින් ලබා දෙන සහ ගුරුවර ගුරුවරියන්ට පාසලේදී මුහුණ දෙන්නට සිදුවිය හැකි ගැටළු සම්බන්ධව කලාප මට්ටමින් කෙරෙන දැනුවත් කිරීම් සැළසුම් කෙරෙන වැඩසටහනක් විය යුතුය.
එවගේම, අතීතයේ වූ බාල තීරණ හේතුවෙන් අවශ්‍ය සේවා සඳහා නොලැබුණු මානව සම්පත් මේ මොහොතේ අත්‍යාවශ්‍ය වන හෙයින්, එම සේවා ලබා ගැනීමට පැරණි වැටුප් තල වහා වෙනස් කළ යුතුව ඇත. උපදේශකයින් සඳහා වෛද්‍ය වෘත්තිකයින්ට ලබා දෙන වැටුප ලබාදීම, අද පවතින සමාජ අවශ්‍යතාව සහ වගකීම සඳහා අනිවාර්ය වන්නේ යැයි මම සිතමි. එවගේම, සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ වන ජාතික හෙද පුහුණු පාසල්වල “මනෝ-සමාජීය” උපදේශකයින් සඳහා පාඨමාලා සංවිධානය කළ හැක.
ඒ සමග මෙවැනි වැඩසටහනක කෙටුම්පතක් ආණ්ඩුව වෙනුවෙන් වහා ප්‍රසිද්ධ කිරීම, මා සිතන අයුරු, කාන්තා සහ ළමා කටයුතු ඇමතිනිය ලෙස, පෝල්රාජ් ඇමතිනියගේ වගකීම වන්නේ ය. මේ සංවේදී අභියෝගාත්මක පසුබිමෙහි, ආණ්ඩුවෙහි පාරදෘශ්‍ය භාවය හා සමාජ වග වීම සම්මුති ගැසිය යුතු වගකීමක් නොවේ. ළමුන් වෙනුවෙන් වන වැඩසටහනක් සැළසුම් කිරීම, සමාජ කතිකාවක් සමගින් විය යුතු අතර, එය ක්‍රියාත්මක විය යුත්තේද ප්‍රජා දායකත්වයක් ඇතිව ය. සියලු යටිතල පහසුකම් නවීකරණය කිරීමට “ඩිට්වා සුළි කුණාටුව” අපට නියමකර ඇත. එවගේම, මේ ඛේදවාචකයෙන් ගොඩ එන්නට පමණක් නොව, අනාගතය සඳහා අලුත් ගමනක් ඇරඹීට අලුත් පරම්පරාවක් හැදීමටද “ඩිට්වා සුළි කුණාටුව” අපට අවකාශයක් ලබා දී ඇත. ඒ සඳහා එම අවකාශය යොදා ගන්නේද නැද්ද යන්න තීන්දු වන්නේ ආණ්ඩුව ජනතාවට, සමාජයට වග කියන්නේ නම් පමණි.
(සටහන | කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
kusal.perera@gmail.com
2025 දෙසැම්බර 08




