The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

නාය යාම් නොවන පොළොව ගිලා බැසීම්

T

The Leader Desk

December 11, 2025 • 7:51 AM

නාය යාම් නොවන පොළොව ගිලා බැසීම්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එම කැළඹීමට හේතු වූයේ, එම ගිලා බැසීම භූමි කම්පාවක පෙරනිමිත්තක් සේ එම ප්‍රදේශයේ මහල් නිවාස වාසීන් අතර බොරු ආරංචියක් පැතිර යෑම ය.
  • කෙසේ හෝ එම මාර්ගයේ ගිලා බැසීම හේතුවෙන් කොළඹට ඇතුළු වන විට විකල්ප මාර්ග භාවිතා කරන ලෙස රියදුරන්ට උපදෙස් දුන් පොලිසිය, බලපෑමට ලක් වූ එම මාර්ග කොටස යථා තත්ත්වයට පත් කරන තෙක් තදබදය අවම කිරීම සඳහා එම මාර්ග අනුගමනය කරන ලෙස රියදුරන්ගෙන් ඉල්ලා සිටිනු මාධ්‍ය මඟින් අසන්නට ලැබිණි.
  • එම භීතිය තව දුරටත් යාවත්කාලීන කරමින් පසුගිය දිනවල ‘දිත්වා’ සුළි කුණාටුව මත පදනම් ව කඳුකර ප්‍රදේශවල සිදු වූ භූමි විපර්යාසයන් මේ වන විට මුළු ජාතියම බිය ගැන්වීමට සමත් ව ඇත.
  • එමෙන්ම ඉහත සඳහන් භූමිකම්පා කටකතාවකට තුඩු දුන් බොරැල්ලේ සිදුවීම ද භූගත හිඳීමකි.
අකුරු ප්‍රමාණය (Font Size):

එම කැළඹීමට හේතු වූයේ, එම ගිලා බැසීම භූමි කම්පාවක පෙරනිමිත්තක් සේ එම ප්‍රදේශයේ මහල් නිවාස වාසීන් අතර බොරු ආරංචියක් පැතිර යෑම ය. අපගේ ඥාති පවුල් කිහිපයක් ද එම මහල් නිවාස වාසීන් අතරේ සිටි අතර, ඔවුන් ගෙන් සමහරෙක් තම දරු මල්ලන් ද සමඟ තමන්ට වහා එම නිවෙස්වලින් ඉවත් වීම සඳහා එහි සත්‍ය තත්ත්වය පවසන මෙන් අපට දුරකථන මඟින් කන්නලව් කරන්නට වූහ.

කෙසේ හෝ එම මාර්ගයේ ගිලා බැසීම හේතුවෙන් කොළඹට ඇතුළු වන විට විකල්ප මාර්ග භාවිතා කරන ලෙස රියදුරන්ට උපදෙස් දුන් පොලිසිය, බලපෑමට ලක් වූ එම මාර්ග කොටස යථා තත්ත්වයට පත් කරන තෙක් තදබදය අවම කිරීම සඳහා එම මාර්ග අනුගමනය කරන ලෙස රියදුරන්ගෙන් ඉල්ලා සිටිනු මාධ්‍ය මඟින් අසන්නට ලැබිණි.

 



ගත වූ දශක කිහිපයට සාපේක්ෂව මේ වන විට අප රටේ බොහෝ දෙනෙක් ස්වාභාවික ආපදා භීතියකින් පසු වෙති. එම භීතිය තව දුරටත් යාවත්කාලීන කරමින් පසුගිය දිනවල ‘දිත්වා’ සුළි කුණාටුව මත පදනම් ව කඳුකර ප්‍රදේශවල සිදු වූ භූමි විපර්යාසයන් මේ වන විට මුළු ජාතියම බිය ගැන්වීමට සමත් ව ඇත. එමෙන්ම ඒ ඔස්සේ තැනිතලා බිම්වලට මෙන්ම වෙනත් භූ විෂමතාවයන් සහිත ප්‍රදේශවලට ද බලපාන වැදගත් භූමි විපර්යාසයන් පිළිබඳව ද මහජන අවධානය යොමු වී තිබේ.

නමුත් මේ වන විටත් බොහොමයකගේ අවධානය යොමු නොවූව ද, “බැඩ වලවල්” හෙවත් භූගත හිඳීම් (Sinkholes) සහ “ගිලා බැසීම්” (Land Subsidence) යනු ඉහත දැක්වූ ආකාරයට තැනිතලා බිම්වලට මෙන්ම වෙනත් භූ විෂමතාවයන් සහිත ප්‍රදේශවලට ද බලපාන භූමි විපර්යාසයන් දෙකකි. එමෙන්ම ඉහත සඳහන් භූමිකම්පා කටකතාවකට තුඩු දුන් බොරැල්ලේ සිදුවීම ද භූගත හිඳීමකි. එම ස්ථානයේ තිබූ පැරණි ජල නල පද්ධතියක දිගු කාලීනව තිබූ ජල කාන්දුවක් ඊට හේතු වූ බව ද පසුව අනාවරණය විය.

naya gila basim

 

භූගත හිඳීම් යනු පොළොවේ මතුපිට පස් ස්ථරය හදිසියේ හෝ ක්‍රමයෙන් පහළට කඩා වැටීමෙන් ඇතිවන විශාල වළවල් හෝ අවපාතයන් ය. භූගත හිඳීම් ප්‍රධාන වශයෙන් සිදුවන්නේ කාස්ට් භූමි (Karst Landscapes) ලෙස හඳුන්වන ප්‍රදේශවල ය.

භූගත ජලය මඟින්, විශේෂයෙන්ම තරමක් ආම්ලික ජලය, පස යට ඇති හුණුගල්, ඩොලමයිට් හෝ ජිප්සම් වැනි පාෂාණ තට්ටු කාලයත් සමඟ ක්‍රමයෙන් දියකර හරියි. මෙම දියවීම නිසා භූගතව විශාල ගුහා සහ හිස් කුහර නිර්මාණය වේ. කාලයත් සමඟ, මෙම ගුහාවේ ඉහළ පියස දරා සිටින බර අධික වූ විට, එම වහලය හදිසියේ හෝ ක්‍රමයෙන් කඩා වැටේ. එම කඩා වැටීම හේතුවෙන් මතුපිට ඇති පස් සහ පාෂාණ කොටස් හිස් අවකාශයට ඇතුළු වී විශාල වළක් නිර්මාණය වේ.

sinkhole

ආවරණ කඩා වැටීමේ හිඳීම් (Cover-collapse Sinkholes) ද මීටම සම්බන්ධ තත්ත්වයකි. මතුපිට ඇති පස් ස්ථරය සිහින් වූ විට, එයට යටින් ඇති හිස් අවකාශය කඩා වැටී එක් වරම අතිශය අනතුරුදායක ආකාරයට විශාල වළක් නිර්මාණය වීම මෙහිදී දක්නට ලැබේ.

ඝන පස් ආවරණයක් ඇති විට, භූගත ගුහාවට පස් ටිකෙන් ටික කාන්දු වී මතුපිට ක්‍රමයෙන් අවපාතයක් ඇති වීමේ මන්දගාමී ක්‍රියාවලියක් ද සිදු වන අතර එය එතරම් අනතුරුදායක නොවේ.

මීට අමතරව දිවයිනේ ඇතැම් ප්‍රදේශවල පොළොව ගිලා බැසීම් පිළිබඳව ද අසන්නට ලැබේ.

භූමි ගිලා බැසීම් යනු භූමියේ මතුපිට මට්ටම විශාල ප්‍රදේශයක් පුරා ක්‍රමයෙන් පහළට යෑමයි. ශ්‍රී ලංකාවේ මෙම සංසිද්ධිය දැවැන්ත ලෙස වාර්තා වී නොමැති නමුත්, ඇතැම් ප්‍රදේශවල අවදානම් සාධක සහ කුඩා පරිමාණයේ සිදුවීම් පවතී. එමෙන්ම ඉදිරියේ දී මහා පරිමාණයෙන් මේවා සිදුවීමේ ද යම් අවකාශයක් තිබේ.

ශ්‍රී ලංකාවේ ගිලා බැසීම් ඇතිවීමට බලපාන ප්‍රධානතම මානව හේතුව විශාල වශයෙන් භූගත ජලය පොම්ප කිරීම (Groundwater Withdrawal) බව පෙනෙයි. ජලය ඉවත් කළ විට, ජලයෙන් සංතෘප්තව තිබූ භූගත මැටි හෝ රොන් මඩ තට්ටු සම්පීඩනය වී, ඒවායේ පරිමාව අඩු වී මතුපිට පහළට යයි. නැතහොත් ගිලා බසී.

ery98y4
එමෙන්ම ජල මට්ටම අඩුවීම ද මීට බලපාන හේතුවකි. විශේෂයෙන් යාපනයේ හුණුගල් තට්ටුවේ ජල මට්ටම පහළ යෑම නිසා, හුණුගල්වල ඇති හිස් අවකාශයන්ට ආධාරක සැපයීම දුර්වල විය හැකිය.

ඊට අමතරව මෘදු පස් තැන්පතු ද මෙවන් භූමි ගිලා බැසීම්වලට හේතු විය හැක. විශේෂයෙන් ශ්‍රී ලංකාවේ පහත් වෙරළබඩ තැනිතලා සහ ගංගා මෝය ආශ්‍රිත ඩෙල්ටා ප්‍රදේශවල අලුතින් තැන්පත් වූ මෘදු මැටි සහ රොන් මඩ තට්ටු බහුලව පවතී. කොළඹ, කළුතර, මීගමුව වැනි වෙරළබඩ තැනිතලා, ගංගා මෝය ආශ්‍රිතව මෙම මෘදු පස් ස්ථර කාලයත් සමඟ ස්වභාවිකවම තමන්ගේ බරට යට වී මෙබඳු හිඳී යාමක් සිදු විය හැකිය. එමෙන්ම මෙවන් මෘදු පස් මත ගොඩනැගිලි සහ මාර්ග වැනි බර ව්‍යුහයන් ඉදිකිරීම නිසා සම්පීඩනය වේගවත් විය හැකිය.

ශ්‍රී ලංකාවේ භූගත හිඳීම් / ගිලා බැසීම් සිදුවිය හැකි ප්‍රධාන ප්‍රදේශ සහ ඒ සඳහා බලපාන හේතු වර්ග දෙකක් යටතේ හඳුනාගත හැකිය. ඒ සැබෑ භූ විද්‍යාත්මක හිඳීම් (Geological Subsidence) සහ මානව ක්‍රියාකාරකම් නිසා ඇතිවන හිඳීම් (Anthropogenic Subsidence) වශයෙනි.

සැබෑ භූ විද්‍යාත්මක හිඳීම් බොහෝ විට ඇති වන්නේ භූගතව ඇති දියවන සුළු හුණුගල් වැනි පාෂාණ නිසා පොළොව යට සෑදෙන ගුහා කඩා වැටීමෙනි.

මාතලේ දිස්ත්‍රික්කයට අයත් නගොල්ල, මඩවල, උල්පොත, උකුවෙල සේම, විශේෂයෙන්ම මාතලේ මහ නගර සභා ප්‍රදේශයේ නිවාස හා යටිතල පහසුකම් වලට හානි සිදුව ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය වාර්තා කොට තිබේ.

591948284 1483016673182593 7487090961701424843 n


මහනුවර දිස්ත්‍රික්කයේ දිගන, විජයශ්‍රීගම ද මාතලේට සමාන තත්ත්වයන් සහ භූගත කුහර පිහිටා තිබීම නිසා හිඳීම් ඇතිවීමේ අවදානමක් පවතී. එමෙන්ම යාපනය අර්ධද්වීපයේ අච්චුවේලි ද මෙවැනි අවදානමකට ලක් වූ ප්‍රදේශයකි.

එහි ඇති හුණුගල් ස්ථර අතර භූගත ජලධර පිහිටා ඇති අතර අධික ලෙස භූගත ජලය පොම්ප කිරීම නිසා හෝ ස්වාභාවික හේතූන් මත මෙම හුණුගල් ස්ථරවල හිඳීම් ඇති විය හැක. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් මෙහි භූගත හිඳීම් ඇතිවීමට හේතු සොයා බැලීම් සිදු කර ඇත.

එමෙන්ම මිනිස් ක්‍රියාකාරකම් හා සම්බන්ධ හිඳීම් බහුල ප්‍රදේශ ද මේ වන විට හඳුනා ගැනීමට ලක් ව තිබේ. මේවා පුළුල් භූ විද්‍යාත්මක හිඳීම් නොවන අතර, ඉදිකිරීම් හෝ ජල කළමනාකරණය නිසා පස් තට්ටු පහතට යෑමේ අවදානමක් පවතින ප්‍රදේශ ද තිබේ.

බදුල්ල දිස්ත්‍රික්කයේ බණ්ඩාරවෙල / ඇල්ල ආශ්‍රිතව පවතිනුයේ උමා ඔය ව්‍යාපෘතියේ භූගත උමං මාර්ග තැනීම හේතුවෙන් භූගත ජලය බැස යෑම නිසා ඇති වූ තත්ත්වයකි. එමෙන්ම මෙය ව්‍යාපෘතියක් නිසා ඇති වූ විශේෂිත හිඳීමකි.

කෑගල්ල, රත්නපුර, නුවරඑළිය, මාතලේ, බදුල්ල නාය යෑමේ අවදානම් කලාප ලෙස නම් කොට ඇතත්, එම කලාපවල සමහර නාය යෑම් ඇතිවීමට පෙර සිටම බෑවුම්වල හිඳීම් හෝ ඉරිතැලීම් ඇති වී තිබූ බව අනාවරණය වේ. මැණික් ගැරීමෙන් පසු සෑදෙන කුහර නිසි පරිදි පස් පුරවා වසා නොදැමීම නිසා මතුපිට කොටස් පසු කලෙක හිඳී යාම හෝ කඩා වැටීම සිදුවිය හැකිය. රත්නපුර දිස්ත්‍රික්කය ඇතුළු ප්‍රදේශ ගණනාවකින් එබඳු සිදුවීම් වරින් වර වාර්තා වේ.

1 118

 

අප කවුරුත් දන්නා අන්දමට ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑම නිසා මුහුදු මට්ටම ඉහළ යමින් පවතී. ගිලා බැසීමක් සිදුවුවහොත්, මුහුදු මට්ටමේ සාපේක්ෂ ඉහළ යෑම තවත් වැඩි වන අතර, පහත් බිම් ජලයෙන් යටවීමේ අවදානම ද ඉහළ යයි. වෙරළබඩ තැනිතලා ගිලා බැසීම නිසා භූගත ජල මට්ටම පහළ යන අතර, මුහුදු ජලය භූමියට ඇතුළු වී ජලය ලවණ සහිත වීම වේගවත් වේ. පුත්තලම දිස්ත්‍රික්කය තුළ මෙවන් තත්ත්වයන් පැහැදිලිව නිරීක්ෂණය වේ. මේ වන විට ඉවක් බවක් නොමැතිව සිදු වන වගුරු බිම් ගොඩ කිරීම ද මේ සඳහා බලපාන තවත් හේතුවකි.

වගුරුබිම් ගොඩකරන විට වගුරුබිමේ ස්වාභාවික ව්‍යුහය වෙනස් වී, පස් ස්ථරයේ වෙනස්කම් නිසා ද මෙම ගිලා බැසීම් සිදුවන බව නිරීක්ෂණය වේ. මෙම සියළු කරුණු සලකා බලන විට මෙම ගිලා බැසීම්වලට ප්‍රධාන වශයෙන්ම මිනිස් ක්‍රියාකාරකම් හේතු වන බව මේ වන විට නිසැක ලෙසම අනාවරණය වී තිබේ.

naya gila basim2
ඒ අනුව මෙම විපර්යාසයන් භූමියේ ස්ථාවරත්වයට සේම, පාරිසරික යහපැවැත්මට සේම, මිනිසා ගේ ඉදිරි පැවැත්මට ද තර්ජනයක් වන බව සිතා, පොළොව ගිලා බැසීමට ඉවහල් වන සියළු ක්‍රියාකාරකම් වලින් වැලකී සිටීම සමස්ත මානව වර්ගයාගේ පොදු යහපතට හේතු වන බව අවධාරණය කරනු කැමැත්තෙමි.

(සටහන | ෆාතිමා හලල්දීන්)

උපුටා ගැනීම - vinivida.lk

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...